Tuesday, 7 April 2026

සිංහල අලුත් අවුරුදු සිරිත් විරිත් වල විද්‍යාත්මක පසුබිමක් තිබේද ?

 

සිංහල අලුත් අවුරුදු සිරිත් විරිත් වල විද්‍යාත්මක පසුබිමක් තිබේද ?

සෑම වසරකම අප්‍රියෙල් නොහොත් (මාස නම් කිරීමේ සිංහල ක්‍රමය අනුව), බක් මාසයේ දෙවන සතියේදී උදාවන  සිංහල අලුත් අවුරුද්ද, සංස්කෘතික මුහුණුවරකින් යුක්ත ජාතික උත්සවයක් ලෙස පැවැත් වේ. මේ නිසාම ශ්‍රී ලංකාවේ මෙම  උත්සව සමය ආරම්භවීම සනිටුහන් කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහයද ලැබේ. අනාදිමත් කාලයක සිට පැවත එන, සම්ප්‍රදායික  වත් පිළිවෙත් මෙන්ම ජාතික ක්‍රීඩා රාශියක් ද මෙම උත්සව සමයේදී කළ එළි  බැසීම විශේෂත්වයකි.  


        අලුත් අවුරුදු සිරිත් විරිත් හෙවත් චාරිත්‍ර වාරිත්‍ර 

සිංහල අලුත් අවුරුදු සිරිත්, විරිත් බොහෝවිට සම්ප්‍රදායික සහ සංස්කෘතික වටිනාකමක් ඇති සංසිද්ධි ලෙස පිළිගැනීමත් සමගම, ඒවා සැමරීමේ  ක්‍රියාකාරකම් වලට පාදක වන,  විද්‍යාත්මක, ජ්‍යෝතිශ්ශාස්ත්‍රීය (astronomical), හා පාරිසරික (ecological) පසුබිම්ද තිබෙන බව හඳුනාගත හැකිය. මේ අනුව අපගේ පැරණි සිරිත් විරිත්, ජාතියේ ජීවනාලිය ලෙස සැලකිය හැකි කෘෂි කර්මාන්තය සමග මැනැවින් බද්ධ වී  ඇති ආකාරය පැහැදිලි වේ. භුගෝලීයව  ශ්‍රී ලංකාවද   අයත් වන, නිරක්ෂයට උතුරෙන් සහ දකුණෙන් පිහිටි ඝර්මකලාපීය භුමි තීරයට, අප්‍රියෙල් මාසය ආරම්භ වනවිටම,  සූර්යයා ආසන්න වශයෙන්  අංශක 90 ක කෝණයකින් ඍජුව මුදුන් වේ. මෙසේ  පතිත වන සුර්ය රශ්මි කදම්බ වලින් භුමියට  උපරිම ආලෝක ශක්තිය සහ තාප ශක්තිය ලැබේ. (මෙම ශක්ති ප්‍රභේද දෙක වෙන වෙනම තරංග ආයාම (wave lengths) වලින් යුක්තය.)   මේ ආකාරයට ලැබෙන සූර්ය ශක්තිය නිසා  කෘෂි භෝග වල, උපරිම ප්‍රභාසංශ්ලේෂණයක් සිදුවන අතර, එම සාධකය මගින්  සශ්‍රීක භෝග පලදාවක් ලැබීම ආහාර සුරක්ෂිත භාවය වැඩිදියුණු වීමකි. නිරක්ෂයේ සිට අංශක හතක්  පමණ උතුරෙන් පිහිටි ශ්‍රී ලංකාවේ පදිංචි ජනතාව අතීතයේදී  සිටම  මෙම ස්වාභාවික ගෝලීය පාරිසරික  ලක්‍ෂණය හඳුනාගෙන, එය සැමරීම සඳහා පවත්වන ‘බක්මහ  උත්සව මාලාව’ පොදුවේ  ‘සූර්ය මංගල්‍යය’ ලෙසද නම්කර ඇත්තේ මේ නිසාය. අපේ අසල්වැසි දකුණු ආසියාතික රටවල්  කිහිපයකම සූර්ය භ්‍රමණයට අනුරූප මෙවැනි බොහෝ උත්සව පැවැත්වේ.

මේ නිසා අපගේ පැරණි සිරිත්, පෘථිවි  භ්‍රමණය (rotation)  සහ පරිභ්‍රමණය (revolution), පරිසර නීති රීති, කෘෂි කර්මාන්තය  සහ සමාජ සංවිධාන වැනි අංශ වලට දැඩි සම්බන්ධයක් සහිත  විද්‍යාත්මක පදනමක් මත ගොඩ නැගුණු අදහස් වලින් සමන්විත බව තහවුරු වේ. 

එමෙන්ම අලුත් අවුරුදු සමයේදී කරනු ලබන ජාතික ක්‍රීඩා, විශේෂයෙන්ම ගැමි ජනතාව සඳහා විනෝදය, සාමුහික භාවය, මානසික සෞඛ්‍යය, චිත්ත ධෛර්යය ආදිය ගෙන දෙන, පංච දැමීම, කැට ගැසීම, එළුවන් කෑම, තාච්චි පැනීම, ඔංචිලි පැදීම, හැංගිමුත්තම් කිරීම, ලී හරඹ, කොට්ටපොර සහ රබන් ගැසීම වැනි ක්‍රීඩා  ප්‍රධාන ය.  මෙම ක්‍රීඩා වල විශේෂත්වයක් වනුයේ, ඒ සඳහා  පරිසරයට සම්බන්ධ ස්වාභාවික දේ භාවිතය සහ අනුකරණය කිරීමයි. මේ සියල්ල අලුත් අවුරුද්ද හා සම්බන්ධ විරිත් ලෙස සැලකිය හැකිය.    

 

අලුත් අවුරුදු නැකැත් 

සිංහල අලුත් අවුරුද්දේ විශේෂ ලක්ෂණයක්  වන්නේ එම මංගල්‍යයට අදාළ සියලුම වැඩ කටයුතු, සුභ නැකත් වලට අනුකූලව සිදුකිරීමයි. නැකැත් යන වචනය, නක්ෂත්‍ර, नक्षत्र (nakṣatra) යන  සංස්කෘත වචනයෙන් බිඳී  ආ එකකි. මෙයින් අදහස් වන්නේ, රාත්‍රී අහසේ දකින්නට ලැබෙන ‘තරු රටා’ පිහිටීම සහ ඒවායේ බලපෑම් සිදුවිය හැකි ආකාරය පිලිබඳ විමසිලිමත් වීමකි. මෙසේ අහසේ හඳුනාගෙන ඇති තරු රටා - මේෂ, වෘෂභ, මිථුන, කටක,  ……… මීන - ආදී වශයෙන් රාශි 12 ක් ලෙසද දැක්වේ. පුරාණ ඉන්දියාවේ ඍෂි වරුන් විසින් සෘග් වේදය සහ වෙනත් දාර්ශනික ධර්ම ග්‍රන්ථ වල  දැක්වෙන ආකාරයට  ජ්‍යෝතිෂ කටයතු සඳහා භාවිත කර ඇති රාශි, මේ ආකාරයට මිශ්‍ර  සිංහල නම් වලින් හැඳින්වේ. ලග්න වශයෙන් දැක්වෙන්නේද මෙම රාශි වේ.  බටහිර ජ්‍යෝතිෂ කටයුතු වලදී රාශි මාලාව Zodiac ලෙස දැක්වේ.



       

                                 රාශි චක්‍රය

                                                                                                                                                                                                         

සෑම වර්ෂයක් තුළදීම  සූර්යයා, පෘථිවිය සහ චන්ද්‍රයාද ඇතුලු   සෞර ග්‍රහ  මණ්ඩලය, මෙම රාශී  වෙත එකින් එකට සමීප වෙමින් පරිභ්‍රමණය වේ. මෙම ගමනේදී එම ආකාශ වස්තු, විශේෂයෙන්ම චන්ද්‍රයා එක් එක් රාශියේ දී පෘථිවිය මත කරනු ලබන ආකර්ෂණ බලපෑම්  ස්වභාවය, නැකැත් ලෙස සැකෙවින් දැක්වේ. මෙහිදී සෞරග්‍රහ මණ්ඩලයේ චක්‍රාකාර ගමන, අලුත් අවුරුදු නැකැත් සමග සමපාත කර ගැනීම සඳහා, මේෂ රාශිය චක්‍රයේ පළමු රාශිය ලෙස අංකනය කර, දෙවන, තුන්වන, හතරවන ආදී රාශි අනුපිළිවෙලට අංක දීමෙන් පසු  මීන රාශිය 12 වන රාශිය වේ. මේ අනුව සුර්ය පරිභ්‍රමණය මේෂ රාශියේ සිට මීන රාශියට ගොස් චක්‍රය සම්පූර්ණ කර යළිත්  මේෂ රාශියටම සම්ප්‍රාප්ත වේ. මේ ආකාරයට වාර්ෂිකව අප්‍රියෙල් මාසයේදී සිදුවන සූර්යයා  ‘මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රාන්තිය’  අලුත් අවුරුදු උදාව ලෙස නම් කර තිබේ.  



විශේෂයෙන්ම, ශ්‍රී ලාංකිකයින්ගේ  ප්‍රධාන ආහාරය වන බත් සැපයීමේ කෘෂි භෝගය වන, වී වගාවේ යල අස්වැන්න ලබාගන්නේ අප්‍රියෙල් මාසය මුළදී ය. මේ නිසා අලුත් අවුරුදු සමයේදී ගොවියාට තම ගොවි බිමෙන් විවේකයක් ලැබෙන අතර, උත්සව සමය අවසන් වීමත් සමගම, ඔහුට ඊළඟ කන්නය සඳහා සූදානම් වීමට සිදුවේ. සම්ප්‍රදායිකව රටේ  විවිධ ප්‍රදේශවල පවත්වනු ලබන   “අලුත් සහල් මංගල්‍යය”, “කරල් පෙරහැර” වැනි සිරිත්ද  සූර්යයාට, වැසි රටාවට, හා භූමියට ස්තූති පුදකිරීමේ සහ ප්‍රණාමය දැක්වීමේ සංකේත ලෙස සැලකිය හැකිය.


අලුත් අවුරුදු නැකත් අනුව කටයුතු කිරීම 

  1. පුණ්‍ය කාලය සහ නොනගතය - අලුත් අවුරුදු උදාවත් සමග එළඹෙන සංක්‍රාන්ති කාලය වන  ‘පුණ්‍ය කාලයේ’ මුල් පැය කිහිපය ‘නොනගතය’ ලෙස හැඳින්වේ. මෙයින් දැක්වෙනුයේ ‘නැකැත් නොමැති කාලය’ බවයි.  පසුගිය වර්ෂයේ (2025) පුණ්‍ය කාළය යෙදී ඇත්තේ අප්‍රියෙල් 13 වන ඉරිදා රාත්‍රී 8.57 සිට පසුදා (සඳුදා) පෙරවරු 9.45 දක්වාය.  සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම සඳහා යම්කිසි කාලයක් ගත වේ. වර්තමානයේ ගණනය කර ඇති ආකාරයට මෙම කාලය පැය 12 ක් පමණ වේ. සූර්යයා සෑම රාශියකම දින 30 ක් පමණ ගතකර, ඊළඟ රාශි ගතවීම සඳහා දළ වශයෙන් පැය 12 ක්  පමණ ගතවන බව දැක්වේ. මෙසේ වෙන්වන පුණ්‍ය කාලයේ මුල් කොටස වන, නොනගතයේ දී සියලු වැඩ කටයුතු නතර කර,  විවේකයෙන්  සිට,  ආගමික වතාවත්වල යෙදීම යහපත් බව තීරණය කර තිබෙන්නේ, මානසික සුවයක් ලබාගැනීම සඳහා අනගි වත් පිළිවෙතක් ලෙසටය. මෙම විවේකය  විශේෂයෙන්ම කෘෂි කටයුතු වල යෙදෙන ගැමියාට සහ ගැමි බිරිඳට හෝ වෙනත් රැකියාවල යෙදෙන අයට, තම සාමාන්‍ය දෛනික වැඩ කටයුතු  පසෙකට දමා, එම කාලය තුළදී ආහාර පාන පවා නොගෙන, නිදහසේ සිටීම සඳහා සැකසුණු උපක්‍රමයක් ලෙස සැලකිය හැකිය. මේ ආකාරයට අලුත් අවුරුද්ද සමරන මුළු රටේම ජනතාව එක්තරා කාලසටහනකට අනුව කටයුතු කිරීමද  වැදගත් සමාජ විද්‍යාත්මක ලක්ෂණයක් වන්නේය.

  2. ආහාර පිසීම, ආහාර අනුභවය, සහ දෛනික වැඩ කටයුතු ආරම්භ කිරීම - අලුත් අවුරුද්දේ පළමු ආහාර වේල  සකස් කිරීමේ නැකත සාමාන්‍යයෙන් යෙදෙනුයේ පුණ්‍ය කාලයේ අවසන් පැය  කිහිපය තුළදීය.  පැරණි සම්ප්‍රදාය අනුව, ගෙදර මුළුතැන්ගෙයි ඇති ලිපෙහි ඇති අළු ඉවත් කර, අලුතින් දර දමා ගිනි අවුළුවා අලුත් සහලෙන් බතක් පිසීම පාරම්පරික වැදගත් සිරිතකි. පසුගිය එක්  වර්ෂයක මේ සඳහා නියම කර තිබුණේ,   මෙම නැකත අවස්ථාවේදී,  සුදු පැහැති  වස්ත්‍ර හැඳ  දකුණු දිශාව බලා බත් සමග  දීකිරි සහ විළඳ මිශ්‍රිත කිරිබතක් සකස් කිරීම යෝග්‍ය  බවයි. ඊට පැය දෙකකට පසු එළඹි යෝජිත නැකතේදී, සුදු වස්ත්‍රවලින් සැරසී දකුණු දිශාව බලා, පොල්තෙල් පහනක් දල්වා ආගම සිහිකර, සූර්ය නමස්කාරය කර  ආහාර අනුභවය සුදුසු  බවද  සඳහන් කර තිබුණි. එක්  එක්  වර්ෂ වලදී මෙම නැකත් වේලාවල් වෙනස් වීමද ස්වාභාවිකය. මෙසේ වනුයේ සෞර  ග්‍රහමණ්ඩලයේ චලනය ඕවාලාකාර පථයක සිදුවන නිසාය.                

            නිවසක ප්‍රධානියා සහ නිවසේ උපයන්නා පියා ය. එහෙත් ඉපයීම්  කළමනාකරණය කරමින් 

දරුවන් රැකබලා ගන්නා තැනැත්තිය මවයි. ඒ දෙදෙනාගේ ආශිර්වාදය ඇතිව දරුවන් ද, 

සමග එකට එකතුවී, දයාව, කරුණාව, සෙනෙහස  පෙරදැරි කර ගනිමින් ආහාර අනුභවය 

එකමුතුකම විදහා දක්වන සංකේතයකි.             

පැරණි සිංහල ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ කෘෂිකර්මාන්තය බැවින්  ඒ අනුව වැඩ 

කටයුතු ආරම්භ කිරීමේ චාරිත්‍රයේ දී පැළයක් සිටුවීම, පැළයකට පස් දැමීම, පැළයකට ජලය 

දැමීම හෝ එය සංකේතවත් කරමින්  තම ජීවන වෘත්තියට ගැළපෙන යමක් කිරීමට පුරුදුව 

සිටියේ ය. නූතනයේ දී අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු කරන අය පොත්පත් කියවීම සිදු කරති. 

දෛනික කටයුතු ආරම්භ කිරීමත් සමගම සිදුවන තවත් වැදගත් කාර්යයක් වනුයේ ‘ගනුදෙනු 

කිරීම’යි. අතීතයේ දේ  ගැමි ගෘහිණිය විසින් කරන ලද වැදගත් කාර්යයක් වනුයේ පානීය 

ජලය  ලබාගත්, ගෙවත්තේ පිහිටි ලිඳ වෙත ගොස් ජලය සමග ‘සිතුවිලි ගනුදෙනුවක්’ කිරීමයි.  

මේ සඳහා  බොහෝවිට ප්‍රථමයෙන් පැරණි කලගෙඩිය, දහයියා (වී පොතු) වැනි පහසුවෙන් 

දැවෙන ද්‍රව්‍යයක් ලිපෙහි දමා පුළුස්සා එයින් ලැබෙන තාපය කලගෙඩිය තුළට යැවීමට 

සලස්වයි. මෙසේ කළ විට  වසරක් පුරා පාව්ච්චි කළ කලගෙඩියේ ඇති ඉතා සියුම් සවිවර   

ව්‍යුහයේ තැන්පත්ව තිබිය හැකි බැක්ටීරියා, දිලීර ආදිය විනාශවී  නැවුම් භාවයක් ඇතිවන  

බැවින්, මෙම ක්‍රමවේදය නොදැනුවත්වම වාගේ කරන යහපත් විද්‍යාත්මක සෞඛ්‍යාරක්ෂක 

පිළිවෙතක් ලෙස සැලකිය හැකිය.

බොහෝ අවස්ථාවලදී පවුලේ දෙමාපියන් සහ වෙනත් වැඩිහිටියන් අතර මුදල්  ගනුදෙනු 

සිදුවන අතර, පවුලේ දරුවන් සහ අසල්වැසි දරුවන්ටද මුදල් හෝ වෙනත් ත්‍යාග දීමද සමහර  

ප්‍රදේශවල දකින්නට ලැබෙන වැදගත් චාරිත්‍රයකි. මෙමගින් පරිත්‍යාගය සහ අත්හැරීමේ ගුණය 

වැඩිදියුණු වේ.

  1. හිසතෙල් ගෑමේ මංගල්‍යය

සිංහල අලුත් අවුරුදු නැකත්වලින් වර්තමානයේ ක්‍රියාවට නංවන තවත් ප්‍රබල නැකතක් වන්නේ ‘හිසතෙල් ගෑමේ මංගල්‍යය’යි. මෙයද බොහෝ විට  රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුවන්නෙකි. මේ සඳහා රටේ බෞද්ධ  විහාරස්ථානයක් හෝ බෞද්ධ පූජනීය ස්ථානයක් කේන්ද්‍ර කරගැනීමද දකින්නට ලැබේ. බොහෝ විට අලුත් අවුරුදු උදාවෙන් දින තුනකට පමණ පසුව මේ සඳහා නැකැත් පිළියෙළ වේ. 2025 වසරේ හිස තෙල් ගෑමේ නැකැත යෙදී තිබුණේ අප්‍රියෙල් මාසයේ 16 වෙනි  බදාදා පෙරවරු 09.04 ටය. 

හිසෙහි ගැල්වීම සඳහා නූතනයේ භාවිතාවන ක්‍රීම් වර්ග හෝ වෙනත් ආලේපන වෙනුවට, පැරැන්නෝ භාවිත කර ඇත්තේ  ශාක වලින් ලබාගන්නා  පොල් තෙල්, තැඹිලි තෙල්  වැනි ඖෂදීය ගුණයෙන් යුක්ත තෙල් වර්ගවේ. හිස කෙස් වල වියලි ගතිය මගහැරවීමටත්, හිස කෙස්  කූප සෞඛ්‍යය  සඳහාත්, සමහර අවස්ථාවලදී හිසරදය මැඩලීම සඳහාත් මේවා ප්‍රයෝජනවත් වී තිබේ.  සෞඛ්‍යයට හිතකර මෙම පැරණි සම්ප්‍රදාය තවදුරටත් රැකගැනීමේ පියවරක් ලෙස, හිස තෙල් ගෑම අලුත් අවුරුදු චාරිත්‍ර වලට ඇතුලත් කර ඇති බව සිතිය හැකිය.  එමෙන්ම මේ සඳහා භාවිත කරන ද්‍රව්‍ය සහ ශාක වර්ගවල ඖෂධීය ගුණ ජනතාවට මතක් කර දීමේ අදහසක් ලෙසට ද මෙම චාරිත්‍රය වැදගත් වේ.

අප්‍රියෙල් මාසය අව් රශ්මිය  තදින් දැනෙන කාලයක් බැවින්, වාතයේ ජලවාෂ්ප සංතෘප්තතාව (humidity) ඉහල යාම  නිසා,  මේ දිනවල  මිනිසාගේ ශරීරයේ උණුසුමද වැඩිවී  ඩහදිය වැගිරීම ස්වාභාවිකය. මෙම විපර්යාසයට පිළියමක්  ලෙස අලුත් අවුරුද්දේදී  මේ ආකාරයට හිසට සත්කාරයක් සිදු කරන බව විශ්වාස කළ හැකිය. මෙය මගින්, එළඹෙන අවුරුද්දේ නිරෝගී දිවියක් ගත කිරීමට  ලැබීම හා ප්‍රඥාව වැඩිදියුණු වීමත්  එහි අරමුණු වී තිබේ.

හිසතෙල් ගෑමේ දී ගමේ විහාරස්ථානයට මුල් තැනක් හිමි වන බව දැකිය හැකිය. බොහෝවිට මේ සඳහා අවශ්‍ය ‘තෙල් හා නානු’ සකස් කරනුයේ ගමේ විහාරස්ථානයේ  නායක ස්වාමීන් වහන්සේ ආයුර්වේද වෛද්‍ය වරයෙකුගේද සහාය ඇතිවය. ශ්‍රී ලංකාවේ  ආයුර්වේද දෙපාර්තමේන්තුවද  නානු හා තෙල් සකස් කර විහාරවලට බෙදා දීමත්, මහනුවර අව‍ට විහාර, දේවාලවලට නානු බෙදාදීම දළදා මාලිගාව මගින් සිදු කරන බවද වාර්තා වේ.

           හිස තෙල් ගෑමේ ක්‍රියාවලිය අදියර දෙකකින් යුක්තය. මෙහි පළමු පියවර වනුයේ     

           විශේෂයෙන් සකස්කල මහත් ඖෂදීය ගුණයෙන් යුක්ත ‘නානු’ හිස ගැල්වීමයි. පැරණි

වට්ටෝරුවලට අනුව, නානු සෑදීමට ගන්නා ඖෂධ වර්ග මෙසේය: කලාඳුරු අල, කුංකුමප්පු, සුදුහඳුන්, විශ්ණුක්‍රාන්ති, ගෝරෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරන්මුල්, සැවැන්දරාමුල්, නෙළුම්දඬු, ගොඩමානෙල් අල, බෙලිමුල්, වෙනිවැල්ගැට, ඊතණ යන වර්ග යි. මෙම ඔසු වර්ග 14 සම ව ගෙන තලා, අලුත් මුට්ටියක දමා තම්බා, ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් සම්මත ක්‍රමයට  පත අට පත දෙකට සිඳගත යුතු යි. ඉන් පසු නුග පත් කොටා ඒවායේ යුෂ ද දෙහි ඇඹුල් ද ඉහත සඳහන් දියරයට දමා හොඳට කලවම් කළ යුතුය. පසුව ඒ සියල්ල පිරිසුදු රෙදි  කඩකින්  පෙරාගන්නා අතර, එසේ  ලැබෙන දියරය ‘නානු’ ලෙස හැඳින්වේ.

එමෙන්ම හිසතෙල් ගෑම සඳහා භාවිත කෙරෙන සුවිශේෂී ‘තෙල්’ මිශ්‍රණය  සාදා ගැනීම සඳහා, පිරිසිදු තල තෙල්, මී තෙල්, අබතෙල්, කොහොඹ තෙල් හා එඬරුතෙල් යන තෙල් වර්ග එකට මිශ්‍ර කොට පැයක් පමණ හිරු එළියේ තබා, එයට සම ප්‍රමාණයක් පිරිසිදු පොල් තෙල්ද මිශ්‍ර කරන බව  ආයුර්වේදයේ සඳහන්ය. 


හිසේ තෙල් ගැල්වීමෙන් හිසරදය, අකලට හිසකෙස් පැසීම, ආදියට ගුණදායක බව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දැක්වේ. වා පිත් සෙම් නැසීමේ බලයත්, බුද්ධි වර්ධනයත් මෙන් ම, ගතට සිතට සුව සහනය එක් කිරීමේ ප්‍රබල ශක්තියත්ද  මේ ඔසුවල අඩංගුය.

ඒ ඒ වර්ෂවල නැකත්වලට අනුව හිස තෙල් ගෑමේදී හිසට ඉහලින් තබන ඖෂධ පත්‍ර විශේෂද වෙනස් වේ. ඇතැම් විට බෝ පත්‍ර  සමග, නා, කොහොඹ, කොලොන්, දිවුල්, නුග, ඉඹුල් වැනි ශාකවල පත්‍රද  හිස තෙල් ගෑමේදී හිසට ඉහලින් රඳවා තැබීමත් දෙපතුලට යටින් තැබීමත්  සිරිතක් වශයෙන් කරන බවද  දකින්නට ලැබේ. මෙම සෑම ඖෂධීය ශාක පත්‍රයකින් ම මිනිසාට සෙතක් සැලසෙන බව  පිළිගත් සත්‍යයකි.


මෑතකදී සිට, ශ්‍රී ලංකාවේ  සිංහල අලුත් අවුරුදු මංගල්‍යයේ නව අංගයක් ලෙස පැළයක් හෝ පැළ කිහිපයක් සිටුවීම සඳහාද නැකත් වේලාවක්  වෙන්කර තිබීම අනාගතයට බෙහෙවින් ප්‍රයෝජනවත්වන පරිසර හිතකාමී සුවිශේෂ ආරම්භයකි. 

සමහර අවස්ථාවලදී  සිංහල බෞද්ධ සංස්කෘතියක් උරුම කරගත් පවුල්වල අය වුවද, අලුත් අවුරුදු සමය සම්ප්‍රදායානුකූලව ගත කිරීමට මැලිකමක් දක්වති. මෙසේ කළ විට සිදු වන්නේ ඔවුන්ගේ දරුවන්ට එම චාරිත්‍ර ධර්ම, සිංහල සංස්කෘතික උරුමය සහ ආගන්තුක සත්කාර, වැඩිහිටියන්ට ගරු කිරීම ආදිය හුරු නොවීමයි. දැනුමින් කොතරම් පොහොසත් වුවත් රටක සංස්කෘතිය, ජාතික අනන්‍යතාව, ජාතික උත්සව, ආගමික හැදියාව ආදියෙන් තොර තැනැත්තා සමාජානුයෝජනය නොවූ කෙනෙකු ලෙස සැලකිය හැකිය. එබැවින් සතුට සමඟිය පිරුණු ජීවිතයක් දරුවන්ට උරුම කර දීම පිණිස සෑම සිංහලයකුම විසින්ම තමන්ට හැකි පරිදි, සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සහ වාරිත්‍ර විධි ඉටු කිරීම අතිශය වැදගත් ලෙස සැලකේ.

මේ ආකාරයට සිංහල අලුත් අවුරුදු උත්සවය, සමාජයීය සහ  සංස්කෘතික මංගල්‍යයක් වුවද, ඒ හා සම්බන්ධ කරගත හැකි විද්‍යාත්මක  තොරතුරු රැසක්ද තිබෙන බව  හඳුනාගත හැකිය. මෙහි සඳහන් කර ඇති ආකාරයට සුභ නැකැත් සහ වෙලාවල් තීරණය කිරීම සඳහා උපයෝගී කරගෙන තිබෙන බොහෝ සිද්ධාන්ත, නවීන විද්‍යාවට ඉතා සමීප බවක් දක්වයි. විද්‍යාව, නවීන තාක්ෂණය, පරිගණකය  සහ ගණිත ක්‍රම   එතරම් දියුණු නොවී තිබියදීත්, පැරණි දාර්ශනිකයින් විසින් ශාස්ත්‍රානුකුලව සොයා ගෙන, අලුත් අවුරුදු උදාවට ගැලපෙන සේ සකස් කර ඇති නැකැත් සහ වෙනත් වත්පිළිවෙත් සඳහා පාදක වී ඇති විද්‍යාත්මක සංකල්ප කිහිපයක් සැකෙවින් මෙසේය.. 

  1. පෘථිවියේ  භ්‍රමණය සහ පරිභ්‍රමණය, චන්ද්‍රයා පෘථිවිය වටා සිදුකරන  චලනය සහ සෞරග්‍රහ මණ්ඩලයම එක්තරා ක්‍රමයකට වරින්වර, විශ්වයේ ඇති රාශි වශයෙන් දැක්වෙන තරු රටා වලට සමීප වීම.

  2. අභ්‍යවකාශයේ ඇති සෑම වස්තුවක්ම, එකිනෙකෙහි ස්වාභාවික පිහිටීම සහ  ස්කන්ධය  වැනි භෞතික ලක්ෂණ අනුව,  ඒවායේ  අඩු වැඩි වශයෙන් පවතින  ගුරුත්ව බලය   (gravitational force) නිසා  පද්ධතියේ පිහිටා ඇති වෙනත් වස්තු කෙරෙහිද  ආකර්ශණයක් (attraction) සිදුවන බව.

  3. සෞර ග්‍රහ  මණ්ඩලයේ  චලනය අනුව සහ රාශි 12 ට ගැලපෙන පරිදි  පෘථිවි වර්ෂය,  මාස 12 කට බෙදා වෙන් කිරීම. (රාශි දෙකක් අතර කෝණය අංශක 30 ක් ලෙස අනුමාණ කර තිබේ.) 

  4. සෞර ග්‍රහ මණ්ඩලයේ  විවිධ ග්‍රහ වස්තු, ඒවායේ ගුරුත්වාකර්ෂණය නිසා,  අඩු වැඩි වශයෙන් පෘථවි ග්‍රහයා මත විශේෂ ගුරුත්ව බලපෑමක් ඇතිකරන බව.

  5. මෙසේ සිදුකරන බලපෑමට,  මිනිසා විවිධ ආකාරයට ප්‍රතිචාර දක්වන ආකාරය සහ ඒවාට ගැලපෙන පරිදි, පොදුවේ මිනිස් සංහතිය වෙනුවෙන් සකස් කරනු ලබන සුභ වේලාවන්  නැකැත් ලෙස නම් කිරීම.

  6. ඝර්ම කලාපිය රටක් වන ශ්‍රී ලංකාව වැනි රටවල වර්ෂය පුරාම, කෘෂිකාර්මික වගා වල උපරිම  ප්‍රභාසංස්ලේෂණය සඳහා ඉවහල් වන  ශක්තිය සපයන්නේ සූර්යයා ය. මෙයට උපහාර දැක්වීමක්  වශයෙන් සූර්ය මංගල්‍යය අති උත්කර්ෂවත්  අන්දමින් පැවැත්වීම සඳහා, භූගෝලීය, පාරිසරික, දේශගුණික සහ සමාජයීය සාධක වලට අදාළ වන ආකාරයට, ඒ ඒ කාර්යයන් සඳහා සුදුසු නැකැත් සකස් කිරීම සඳහා අවශ්‍ය නිර්ණායක සකස් කිරීම. 

  7. ස්වභාවධර්මය විසින් නොමිලේ ලබා දී ඇති, පිරිසිදු වාතය, පිරිසිදු ජලය, හරිත ශාක වැනි පාරිසරික වස්තු හැකිතරම් දුරට ජීවිතයට ලං කර ගැනීමට සහ ඒවා ජීවිතයට බද්ධ කර ගැනීමට හිස තෙල්  ගෑම වැනි අවස්ථා වලදී  විද්‍යා සංකල්පද උපයෝගී කර ගත හැකි බව  පෙන්වා දීම.

  8. ප්‍රයෝජනවත් ශාකයක පැළයක් රෝපණය කිරීම මගින් බලාපොරොත්තු වන එක් අරමුණක් වනුයේ එම ශාකය වර්ධනය වීමත් සමග වායු ගෝලයෙන්  කාබන්ඩයොක්සයිඩ් යම්කිසි ප්‍රමාණයක් අවශෝෂණය කර ගැනීමෙන්  වාතය පිරිසිදු කිරීමයි. ( එක්  මිනිසෙකු තම ජීවිත කාළය තුළදී මුක්ත කරනු ලබන කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය අවශෝෂණය කර ගැනීම සඳහා වෘක්ෂ 400 ක් පමණ අවශ්‍ය වන බව ගණනය කර තිබේ.)      

දයාරත්න වීරසේකර