Sunday, 8 November 2020

 පරිසරය  උණුසුම් වීම හඳුනාගැනීමේ මිනුම් දණ්ඩ - ‘කාබන් පා සටහන’


    පෘථිවිය මත සිටින සියලුම ජීවීන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය වන මහඟු සම්පත වන ජලය භාවිත කිරීමේදී අදෘශ්‍යමානව වැය වන  අතාත්වික ජලය පිළිබඳව ‘ජල පා සටහන’ (water footprint) ලිපියෙන් කරුණු ස්වල්පයක් ඉදිරිපත් කිරීමට හැකිවිය. එම ලිපිය බොහෝ දෙනෙකු කියවා ඇති බැවින් එවැනිම තවත් සංකල්පයක් සඳහා මෙසේ සිත් යොමු කළෙමි. මෙම සංකල්පය බොහෝ දුරට අදාළ කරගතහැකි වනුයේ ‘පරිසරය උණුසුම් වීම’  සිදු වන්නේ කෙසේද යන්න විමසා බැලීමටය.


ලෝකයේ බොහෝ රටවල විද්‍යාඥයින්  විසින් පසුගිය දශක කිහිපය තිස්සේ කර  ඇති, කාලගුණ දත්ත විශ්ලේෂණ, කර ඇති විවිධ පර්යේෂණ, සකස්කර තිබෙන සමානාකෘති  (simulations) ආදී විවිධ ක්‍රමවේද   මගින් ලබාගෙන ඇති තොරතුරු අනුව, දේශගුණ විපර්යාස සඳහා කෙලින්ම බලපානුයේ, ‘හරිතාගාර වායු’ බව නිසැකවම තීරණය කර තිබේ. වායු ගෝලයේ අන්තර්ගත වායු වලින් ඉතා සුළු ප්‍රතිශතයක් වශයෙන් ඇති, කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්  වැනි වායු නිසා පරිසරය උණුසුම් වන බව හඳුනාගෙන තිබේ. මෙයින්ද වැඩිම  බලපෑමක් සිදු කරනුයේ  කාබන් ඩයොක්සයිඩ් වායුවයි. මෙම වායු ‘හරිතාගාර වායු’ ලෙස හඳුන්වනුයේ, පෘථිවිය මත ප්‍රශස්ත උෂ්ණත්වයක් පවත්වා ගැනීම සඳහා  මූලික වන නිසාය.  මෙම වායු පෘථිවිය වටා ‘පොරවනයක්’ මෙන් ක්‍රියාකර පෘථිවිය මත ඇතිවන උෂ්ණත්වය, ජීවීන්ට හිතකර මට්ටමකට පවත්වා ගැනීමට උපකාරී වේ. එසේ වුවත් මෑත කාලයේදී මිනිසාගේ බලපෑම නිසා, මෙම වායු, විශේෂයෙන්ම, කාබන්ඩයොක්සයිඩ් වායුව, අධිකතර ප්‍රමාණයක් වායු ගෝලයට එකතු වීම නිසා ‘පොරවනය’ තුළ උවමනාවටත් වඩා උණුසුම ඒකරාශී වීම ආරම්භ වී තිබේ. මේ නිසා  පරිසරය ප්‍රශස්ත උණුසුම් මට්ටමක  තබාගැනීමේ ස්වාභාවික ක්‍රියාවලිය  උඩු යටිකුරුවී ගොස්, අද පවතින අවාසනාවන්ත තත්ත්වය උදාවී තිබේ.

 

පසුගිය දශක කිහිපය තිස්සේ ලෝකයේ විවිධ පරිසර සංවිධාන වලට සම්බන්ධ පරිසර විද්‍යාඥයින්ගේ  මහත් ඇප කැපවීම මගින් දේශගුණ විපර්යාස ඇතිකරවනු ලබන හරිතාගාර වායු මගින් සිදු වන හානිය පිලිබඳ දළ ප්‍රමාණික අවබෝධයක් ලබාගැනීම පිණිස ක්‍රම වේදයක් සකස්කර තිබේ. මෙම ක්‍රමවේදය ‘කාබන් පා සටහන’ (Carbon footprint) ලෙස හැඳින්වේ.


දේශගුණ විපර්යාස  සඳහා වැඩිපුර බලපෑමක් ඇතිකරනු ලබන කාබන්ඩයොක්සයිඩ් වායුව මූලික කර ගනිමින්, මෙම ක්‍රමවේදයේ හරය  ‘කාබන් පා සටහන’ (Carbon foot-print) ලෙස නම්කර තිබේ. මෙහිදී, කාබන්ඩයොක්සයිඩ් වායුව ටොන් එකක් මගින් සිදුවන දේශගුණ විපර්යාස කාරක විභවය (potential), ඒකකයක් ලෙස සලකා, අනිකුත් හරිතාගාර වායු සමග සංසන්දනය කිරීමෙන්, මෙම සංසිද්ධිය හා සම්බන්ධ වැදගත් තොරතුරු රාශියක් ලබාගෙන ඇත. මෙම තොරතුරු ස්වල්පයක් වගුවක් ලෙස දැක්විය හැකිය. (වගුව බලන්න) 



හරිතාගාර වායුවේ නම


රසායනික සූත්‍රය

වායුගෝලයේ ක්‍රියාත්මක කාලය (වර්ෂ)

ගෝලීය උණුසුම් කිරීමේ විභවය 

කාබන් ඩයොක්සයිඩ්,

CO2

30–95

1

මීතේන්,

CH4

12

28

නයිට්‍රස් ඔක්සයිඩ්

N2O

121

265

ක්ලොරෝෆ්ලුරෝකාබන්

CCl2F2

100

10,200

 

 හරිතාගාර වායුවල,  දේශගුණ විපර්යාස කාරක විභව 

                                                                                                                              

මෙම වගුවේ සඳහන් තොරතුරු  අනුව, CO2 වායුව ඒකකයක් ලෙස ගත් විට, (CH4)  මීතේන් වල විභවය ඒකක 28 කි. නැතහොත් කාබන්ඩයොක්සයිඩ් මෙන් 28 ගුණයකි. (N2O) නයිට්‍රස් ඔක්සයිඩ් එමෙන් 265 ගුණයකි. කාබන්ඩයොක්සයිඩ් සමග සංසන්දනය කිරීමේදී, මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් වඩාත් ප්‍රබල දේශගුණ විපර්යාස කාරක ලෙස පෙනෙන්නට ඇතත්, ඒවා වායුගෝලයේ ඇති ප්‍රතිශතය ඉතාමත් අල්ප බැවින් ඒවායින් සිදුවන හානිය තරමක් දුරට නොසලකා හැරිය හැකිය. තවත් වැදගත් සාධකයක් වන, ඒ ඒ වායුව වායුගෝලයේ රැඳී පවතින ආයු කාලයයද  වගුවෙහි දක්වා තිබේ. මේ අතින්  බලන විට මීතේන් වායුවේ ආයු කාලය කාබන්ඩයොක්සයිඩ්  ආයු කාලයට වඩා අඩුය. මේ ආකාරයට සංසන්දනය කරනවිට  ක්ලොරෝෆ්ලුරෝකාබන්, නයිට්‍රස් ඔක්සයිඩ් වලටත් වඩා, ඉතාමත් දරුණු ගණයේ  දේශගුණ විපර්යාස කාරක වායු විශේෂයක් බවද තහවුරු වේ.


මේ ආකාරයට සිදු කර ඇති ගවේෂණ රාශියක දත්ත සම්පිණ්ඩනය කර ‘කාබන් පා සටහන’ අර්ථ දක්වනුයේ මෙසේය.

CO2e - සංකේතයෙන් දැක්වෙන්නේ,  මුක්ත වන කාබන්ඩයොක්සයිඩ් වායුව මෙට්‍රික් ටොන් වලිනි.

යම්කිසි කෙනෙකුගේ හෝ ආයතනයක වගකීමේ පරාසයට ඇතුලත් වියහැකි,  තුන් ආකාරයක හරිතාගාර වායු මෝචන, දැක්විය හැකිය. මේවා නම්:

  1. ආයතනයේ පූර්ණ පාලනයේ පවතින වායු මෝචන:                                          ස්ථානීය ඉන්ධන දැවීම්, නිෂ්පාදන ක්‍රියාවලියේදී සිදුවන වායු මෝචන, වාහන ධාවනයේ  මෝචන මේ ගණයට වැටේ.

  2. විදුලි බල භාවිත මෝචන:  

            ආලෝකකරණය, සිසිලනය / උණුසුම් කිරීම, විදුලි උපකරණ  (විදුලි බල භාවිතය නිසා සිදුවන   

            වායු මෝචන වක්‍ර සිදුවීම්ය)

  1. ආයතනයේ පාලන සීමාවෙන් බාහිර, නිෂ්පාදන සහ සේවා වල මෝචන: 

             නිශ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයුම සහ ප්‍රවාහනය ( වායු මෝචන වක්‍ර සිදුවීම්ය) 


මේ සියල්ලම සැලකිල්ලට ගෙන, කාබන් පා සටහන සකස් කිරීම බෙහෙවින් දුෂ්කර කාර්යයකි. එසේ වුවත් ප්‍රායෝගිකව භාවිත කිරීම සඳහා මෙම ගණනය කිරීමෙහි නිරවද්‍යතාව ප්‍රමාණවත්ය. 

  

කාබන් පා සටහන ගණනය කිරීමේ විවිධ පරිගණක මෘදුකාංග දැනට භාවිතයේ පවතී. මේවා මගින් සියයට සියයක් නිවැරදි දත්ත ලබාගත නොහැකි වූවත්, එසේ ලැබෙන දත්ත බොහෝ ප්‍රයෝගික කාර්යයන් සඳහා බහුලව භාවිත වේ.

 

ගණනය කරන ලද කාබන් පා සටහනක් පිලිබඳ විග්‍රහයක් මගින් මේ පිලිබඳ අවබෝධයක් ලබාගත හැකිය. 


එක්තරා ආයතනයක් විසින්, කාබන් පා සටහන ගණනය කිරීම සඳහා තෝරාගන්නා ලද යම්කිසි  පුද්ගලයෙකුගේ  තොරතුරු සැකෙවින් මෙසේය :

 

‘ඔහු මධ්‍යම පන්තික ව්‍යාපාරිකයෙකි. නවීන පන්නයේ මොටර් රථයක් පාවිච්චි කරයි. පවුලේ සාමාජිකයින් පස් දෙනෙකි. පවුලේ සියලු දෙනාම පෝෂ්‍යජනක ආහාර ගනිති. ඔහු වසරකට වරක්වත් ගුවන් ගමනක් යයි,’


ඔහුගේ මෙම තොරතුරු සහ තවත් කරුණු රාශියක් පරිගණක ගත කිරීමෙන් මෙවැනි ප්‍රතිඵලයක් ලැබී තිබේ.


“ඔහුගේ  ‘කාබන් පා සටහන’ කාබන්ඩයොක්සයිඩ් ටොන් 41.48 කි. මෙය පිරිමැසීම සඳහා වසරකට, සාමාන්‍ය ප්‍රමාණයේ  වෘක්ෂ 593 ක් අවශ්‍ය වේ.”


මේ බෙහෙවින් සිත් ඇද ගන්නාසුළු විග්‍රහය ගැන තවදුරටත් සලකා බැලීමේදී, පරිසරයේ සිදුවන ස්වාභාවික යාන්ත්‍රණ ගැන තවත් කරුණු කිහිපයක් හඳුනාගත හැකිය. මුලින්ම කාබන්ඩයොක්සයිඩ් ටොන් 41.48 ක් සහ වෘක්ෂ 593 ක් යන කියමනෙහි සැඟවී ඇති, සරල ගණිත යෙදුම ගැන සලකා බලමු.

  

මෙම දත්ත සඳහා භාජන වූ පුද්ගලයා  එක් වසරක් තුලදී, තමන්ගේ  සියලුම ජීවන කාර්යයන් කිරීමේදී,  කාබන්ඩයොක්සයිඩ්  ටොන් 41.48  කට අනුරුප පරිසර හානියක් කර තිබේ. මෙසේ සිදුවී ඇති හානිය නැවත යථා තත්වයට පත් කිරීම සඳහා, නැතහොත් එම වායු ප්‍රමාණය ප්‍රභාසංස්ලේෂණය සඳහා උරා ගැනීම පිණිස, හරිත ශාක (වෘක්ෂ) 593 කට  වර්ෂයක් ගතවනු ඇත. මෙම සරල ගණිත හරඹය තවත් ඉදිරියට ගෙන ගිය කළ, සරල නිගමනයකට එළඹිය හැකිවේ. එය නම්:


සාමාන්‍ය ප්‍රමාණයේ වෘක්ෂයක් විසින්, වසරක් තුලදී, කාබන්ඩයොක්සයිඩ් ටොන් 0.07 ක් වායු ගෝලයෙන් ලබාගන්නා බවයි.

පොදුවේ, පරිසර සම තුලිතතාවය සඳහා, වෘක්ෂ හෝ වෘක්ෂ සමූහයක් තිබෙන වනාන්තර වල ඇති වැදගත් කම මෙයින් මොනවට පැහැදිලිවේ. සාමාන්‍ය ජීවිතයක් ගතකරන එක පුද්ගලයෙකුගේ ‘කාබන් පා සටහන’ මෙතරම් විශාල වන්නේ නම් බිලියන 7.7 ක් වන ලෝක ජනගහනය මගින් ඇතිකරනු ලබන ‘කාබන් පා සටහන’ කෙතරම් විශාල විය හැකිද?

                   

මෙහි  වගුවේ දැක්වෙන පරිදි ලෝක ජනගහනයෙන් 41.57 % ජීවත්වන   චීනය, ඉන්දියාව සහ  ඇමෙ. එක්සත් ජනපදය මගින් ජගත්  කාබන් පා සටහනෙහි  විශාල දායකත්වයක් දක්වන බව පෙනේ. ජනගහනය අතින් බොහෝ දුරට සමාන කමක් ඇති ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව, ජගත්  කාබන් පා සටහන සඳහා පිලිවෙලින් 0.33% සහ 0.28 % බැගින් දායක කරති. 


‘කාබන් පා සටහන’ ගණනය කිරීම මගින්, දේශගුණ විපර්යාසවල බලපෑම නිසා, ලෝකයේ ඇතිවිය හැකියයි අනුමාන කරනු ලබන  බරපතල අර්බුදයක තොරතුරු හෙළි වෙමින් පවතී.

මෙම ගණනය කිරීම් වලදී,  කාබන්ඩයොක්සයිඩ් වායුවේ අන්තර්ගත කාබන් ප්‍රමාණය පමණක් යොදා ගැනීම, සම්මතයක් ලෙස පිළිගෙන ඇත. මේ සඳහා පරමාණුක සහ අනුක භාර උපයෝගී කර ගන්නා, සරල රසායන විද්‍යා මූල ධර්මයකටද යොමුවිය යුතුවේ. එය මෙසේය:


කාබන්ඩයොක්සයිඩ් වායුවේ රසායනික සූත්‍රය CO2    වේ. එහි අණුක භාරය  වනුයේ  අණුවේ සංයුතියේ ඇති C පරමාණුවේත් O පරමාණු දෙකෙහිත් පරමාණුක භාර දෙකෙහි ඓක්‍යයයි.  කාබන් පරමාණුවේ (C) පරමාණුක භාරය 12 සහ ඔක්සිජන් පරමාණුවේ (O) පරමාණුක භාරය 16 නිසා, CO2 හි අනුක භාරය 44කි. (12 + (2  X 16) = 44 ). මේ නිසා   COයම්කිසි ස්කන්ධයක 12 / 44 ක් කාබන් වේ. නැතහොත් CO2 ග්‍රෑම් 44 ක කාබන් ග්‍රෑම් 12 කි.


2010 වසරේදී  කරන ලද ජගත් කාබන් පා සටහන ගණනය කිරීමකදී, උපයෝගී කර ගෙන ඇති ආකාරයට, එම වසරේදී  වායු ගෝලයට මුදා හැර තිබෙන,    කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ගිගා ටොන්  33කි.   (නැතහොත්  ටොන් 33,000,000,000 හෝ  ටොන් 33 x 109 වේ.) 


මෙම කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයෙහි කාබන් ගිගා ටොන් 9 ක් තිබෙන බව පරමාණුක භාර මගින් ගණනය කළ  හැකිය. (12 ÷ 44) x 33 = 9    මේ නිසා ඉහත ගණනය කිරීමට අනුව 2010 වර්ෂයේදී ‘ජගත්  කාබන් පා  සටහන’  කාබන්  ගිගා ටොන් 9 කි. (9 Gt)     නැතහොත්  (ටොන් 9.0 x 109 ) ක් හෝ නැතහොත් කාබන් ග්‍රෑම් 9,000,000,000,000 කි. (ග්‍රෑම් 9.0 x 1012 )  


වෙනත් ආකාරයකින් දක්වතොත්  කාබන්  ගිගා ටොන්  එකක් ලබාගැනීම සඳහා  කාබන්ඩයොක්සයිඩ් ගිගා ටොන්   3.67 ක්  අවශ්‍ය වේ.    

                                                                                                 

  •   තේරුම් ගැනීමේ පහසුව සඳහා, අදාළ විශාල සංඛ්‍යා මෙසේ දැක්විය හැකිය.   

 

   

දහස සිට ට්‍රිලියනය  දක්වා, සංඛ්‍යාවල වටිනාකම  වැඩිවන ආකාරය වගුවේ දැක්වේ. මෙහි වැඩිවීම සිදුවන්නේ වරකට දහස් ගුණයකිනි. උදාහරණයක් වශයෙන්, දහස දහසෙන් ගුණ කළ විට මිලියනයක් ලැබේ. එසේම මිලියනයක් දහසෙන් ගුණකළ විට  බිලියනයක් ලැබේ. බිලියනය හඳුන්වනුයේ ගිගා (Giga) ලෙසටය. එහි සංකේතය G වේ. ට්‍රිලියනයක් යනු බිලියන දහසකි. එහි සංකේතය T වේ. මෙම සංකල්පය සහ එහි විශාලත්වය පහසුවෙන් තේරුම් ගැනීම සඳහා, එයට අනුරූප තවත් සංසන්දනය කිරීමක් ඉදිරිපත් කළ හැකිය. 


  • ගොඩබිම ජීවත්වන ප්‍රමාණයෙන් විශාලතම සත්ත්වයා ඇතාය. ඇතෙකුගේ බර ටොන් 6.8 යයි සිතමු. ගිගා ටොන් එකක් සඳහා එවැනි ඇතුන් මිලියන සියයක් අවශ්‍යය. 


  • එමෙන්ම ගිගා ටොන් 9 ක් යනු සාමාන්‍ය ප්‍රමාණයේ මිනිසුන්, මිලියන 132 ක ගේ  බරෙහි එකතුව හා සමාන කළ හැකිය.  මෙය දැනට ලොව සිටින මිනිස් ජනගහනය මෙන් විසි ගුණයකි.


ගණනය කිරීම තේරුම් ගැනීමෙන් පසුව නැවත පරිසරය උණුසුම් වීම පිලිබඳ සිත් යොමු කරමු.


2010 වසරේදී කරන ලද ගණනය අනුව, දැනට පවතින තත්ත්ව යටතේ,  එක් වර්ෂයක් තුලදී  වායු ගෝලයට එකතු වන  කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ගිගා ටොන් (Gt) 9 ක් බව ඉහත දකින්නට ලැබුණි. 


මෙම දත්ත ආශ්‍රීතව, පරිසරය උණුසුම් වීම පිලිබඳ තවත් අනතුරු හැඟවීමක් ගැන මෑතදී යලිත්  අවධානය යොමු කර තිබේ. මෙම හෙළිදරව්ව  කර ඇත්තේ, ඇමෙරිකාවේ  ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලන ආයතනය  (National Oceanic and Atmospheric Administration - NOAA ) මගින්ය. 


2015 වර්ෂයේදී ලෝක නායකයින් 190 දෙනෙකු පමණ සහභාගී වී දේශගුණ විපර්යාස වල බලපෑම මගින් සිදුවිය හැකි මහා ව්‍යසනය මැඩලීම සඳහා ගතයුතු වැදගත් පියවර පිලිබඳ ඓතිහාසික ප්‍රඥප්තියට අත්සන් තබන ලදී. මෙහි ඉතාමත් වැදගත් කරුණ වනුයේ 2025 වසර වනවිට, උපරිම පරිසර උෂ්ණත්වය වැඩිවීම 1.5°C මට්ටමේ තබාගැනීමයි. (මෙම ඉලක්කය එළඹීම දැනට සැක සහිතය) 


මෙම තොරතුරු ඔස්සේ කරන ලද ගණනය කිරීම් වලට අනුව 2100 වසර වනවිටද, පරිසර සමතුලිතතාව පවත්වාගැනීම සඳහා සමස්ත ලෝක පරිසර උෂ්ණත්වය කිසිසේත් 2°C කින් ඔබ්බට යාම වැළක්විය යුතුය. මෙය මහත් අභියෝගයක් බව දැනටම හෙළි වෙමින් තිබේ. විවිධ ගණනය කිරීම් මගින් හෙළි කරගෙන ඇති පරිදි, 2100 වනවිට, පෘථිවිය මිනිස් වාසයට සුදුසු තත්ත්වයට පවත්වා ගැනීම සඳහා, වායු ගෝලයේ රැඳී  තිබිය හැකි උපරිම කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ගිගා ටොන් (Gt)  565 කි.


කලින් සඳහන් කළ පරිදි,  2010 වසරේ ගණනය කර තිබෙන ආකාරයට, නොයෙකුත් හේතු නිසා,  වසරකට කාබන්ඩයොක්සයිඩ් ගිගා ටොන් 9 ක් වායුගෝලයට මුක්ත වේ. මෙම ශත වර්ෂය අවසාන වීමට තවත් වසර 80 ක් තිබේ. මෙහි දැක්වෙන වගුව අනුව වායු ගෝලයට මුක්ත වන  කාබන්ඩයොක්සයිඩ් වායුව, වසර 95 පමණ වායුගෝලයේ රැඳී පවතී. දැනට පවතින තත්ත්ව යටතේ,  එක් වර්ෂයක් තුලදී  වායු ගෝලයට එකතු වන  කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ගිගා ටොන් (Gt) 9 ක් බව පිළිගැනීමක් ඇත.


2020 වසර වන විටත්, අද තිබෙන තත්ත්වය මේ ආකාරයටම තිබී, දැනට සිදුවන ලෙස, වායු ගෝලයට  කාබන්ඩයොක්සයිඩ් මුක්ත වීම, ඉදිරියටත් පැවතුනහොත්, ඒ වන විට ගිගා ටොන් 720 ක්   (80 x 9 = 720) වායු ගෝලයට මුක්ත වනු ඇත. අනාගත මහා ව්‍යසනයකට භාජන නොවීම සඳහා  සමස්ත ලෝකය විසින්ම 2100 වසර වනවිට මුක්ත කළ හැකි උපරිම  කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ගිගා ටොන්  (Gigatons - Gt)  565 කි.


මෙය බලාපොරොත්තු විය හැකි උපරිමයට වඩා බෙහෙවින් වැඩිය. (ගිගා ටොන් 155 පමණ). මේ නිසා දැනට  පවතින තත්ත්ව යටතේ  වුවත්, පරිසරය උණුසුම් වීමේ කඩයිම් ඉක්ම ගොස් සිදුවිය හැකි,  මහත් ව්‍යසනයක පෙර නිමිති පහළ වෙමින් පවතී. දේශගුණ විද්‍යාඥයින්ගේ  පෙරැයීම්  අනුව, 2030 වනවිට පරිසරය  උණුසුම් වීම 1.5°C කට සීමා කර, ඒ මට්ටම දිගටම පවත්වා ගතහොත් 2100 වනවිට බලාපොරොත්තු  උෂ්ණත්ව උපරිම සීමාවේ නතර වේයයි උපකල්පනය කළ හැකිය. 


මිනිස් සංහතිය සඳහා තිබෙන එකම වාසස්ථානය වන, පෘථිවි ග්‍රහයා බේරාගැනීම පිණිස සමස්ත ලෝක වාසී ජනතාවගේම අවධානය යොමු විය යුතු අවදානම් අවස්ථාවකට අපි සියලු දෙනාම මුහුණ පා සිටිමු.

 

අනාගතයේදී  සිදුවිය හැකි, අති මහත් ආපදාවෙන් මිහිකත බේරාගැනීම පිණිස, ප්‍රථමයෙන් මුළු මහත් ජනතාවටම දේශගුණ විපර්යාස පිලිබඳ දැනුවත් වීමක් අවශ්‍යය. දෙවනුව, ලබාගත් දැනුම ආශ්‍රීතව පරිසරයට හිතකර වන ආකාරයට තම ක්‍රියාකාරකම් පාලනය කරගත යුතුය. තුන්වෙනුව පරිසරය සුරැකීම සම්බන්ධ කටයුතු වලට ක්‍රියාශීලීව තම දායකත්වය දැක්විය යුතුය. මේ ආකාරයට  ලෝකවාසී සියලු දෙනාම තම ‘කාබන් පා සටහන’ අඩු මට්ටමකින් තබාගැනීමට තීරණය කළහොත් මිස අනාගතයක් ගැන බලාපොරොත්තු ඇතිකරගත නොහැකි වනු ඇත. 


ඉදිරියේදී ඇතිවියහැකි ආපදා මගහරවා ගැනීම සඳහා, කාබන් පා සටහන සංකල්පයත් සමග බැඳී ඇති අදහස් ප්‍රකාශ කිරීමේ තවත් පරිසර හිතකාමී යෙදවුම් දෙකක්ද ක්‍රමක්‍රමයෙන් සමාජ ගත වෙමින් තිබේ. ‘කාබන් ප්‍රතිසමතුලිත තාවය’ (Carbon offsetting) සහ ‘කාබන් මධ්‍යස්ථ භාවය’ (Carbon neutrality), යනුවෙන්, හැඳින්වෙන මෙම නව ක්‍රමවේද ඔස්සේද  ‘මිහිකත සුරැකීමේ මහා ප්‍රාතිහාර්යය’ සඳහා දායක වීම, අනාගත පරම්පරා වල මෙහෙවර විය යුතු බව අවධාරණය කර ගනිමු. 



Friday, 30 October 2020

 

ජල භාවිතය පිලිබඳ නව සංකල්පයක්  - ජල පා සටහන(Water footprint)


මිනිසා, සතා සීපාවා, ගහකොළ ආදී සෑම ජීවියෙකුගේම දිවි පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන ජලය,  මහඟු සම්පතකි. සාගර සහ මුහුදු වල කරදිය තිබෙන අතර ගොඩබිම ජලාශ, ගංගා, ඇලදොළ ආදියේ සහ භූගතව තිබෙනුයේ මිරිදිය වේ. මිරිදියෙන්ද විශාල ප්‍රතිශතයක් ( 70% පමණ)  හිමාලය වැනි කඳු ශිඛර මුදුන්වල සහ පෘථිවියේ ධ්‍රැව ප්‍රදේශවල අයිස් තට්ටු ලෙස පවතී. මිනිසාගේ සහ අනිකුත් සතුන්ගේ පානීය ජලය මිරිදිය වේ.  පෘථිවියේ වාසය කරන බිලියන 7.5 ට වැඩි  ජනගහනය සඳහා ඇත්තේ, එහි තිබෙන ජලයෙන් 0.007 % ක ප්‍රමාණයක් පමණකි.   මුළු ලොව තිබෙන සියලුම ජලය, ලීටර් 5 ක ජෝගුවකට පුරවා තිබේයැයි සිතුවොත්,  අපට බීම සඳහා එයින්  ගත හැක්කේ ජලය මේස හැඳි එකක් පමණකි. ජලයේ විරල බව මෙතරම් තීව්‍ර  වුවද,  ජලය අපවිත්‍ර නොකර, අපතේ නොයවා   බොහෝ අරපරිස්සමෙන් භාවිත කළ යුතු සම්පතක් බව තැකීමක් බොහෝ අය තුළ නොමැති බව දකින්නට ලැබේ. 


ජලය පිලිබඳ පොදු කරුණු ස්වල්පයක් සලකා බැලීමෙන් මෙම ස්වාභාවික සම්පත  පිලිබඳ දළ අවබෝධයක් ලබාගත හැකි වනු ඇත.


  • මිනිසෙකුට ආහාර නොමැතිව සති කිහිපයක් ජීවත් විය හැකි වූවත් ජලය නොමැතිව සතියක්වත් ජීවත් විය නොහැකිය.

  • අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි ජල ප්‍රමාණයක් පානය කිරීමද  ශරීරයට අහිතකරය.

  • සාමාන්‍ය  වැඩුණු මිනිසෙකු ප්‍රාශ්වාස කිරීම මගින් පමණක් දිනකට ජලය මිලි ලීටර් 250 ක් පමණ පිට කරයි.

  • ලෝක ජනගහනයෙන් මිලියන 780 කට පමණ පානය කිරීමට සුදුසු ජලය නොලැබේ.

  • සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල, මිනිසා පෙළෙන ආබාධ වලින් 80% පමණ අනාරක්ෂිත ජලය නිසා වැළඳෙන ඒවාය.

  • එක්සත් ජාතීන්ගේ අධ්‍යයනයකට අනුව 2025 වන විට, ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකකට පමණ, දැඩි ජල හිඟයකට මුහුණ පෑමට සිදු වනු ඇත.

  •  ලෝකයේ වාර්තාගත, හෙක්ටෙයාර් බිලියන 1.4 ක් පමණ වන වගා බිම්  වලින් 60 % ක්  පමණ වර්ෂා ජලයෙන් පෝෂණය වන අතර ඉතිරි 40 % ට ජලය ලබා ගනුයේ වාරි මාර්ග ඔස්සේය.

  • ලෝකයේ සියලුම ගංගා වල ඇති ජල ප්‍රමාණයට වඩා ජලය වායු ගෝලයේ තිබේ.

  • වායු ගෝලයේ ඇති ජලය මගින් පරිසර උෂ්ණත්ව පාලනයද සිදු කරනු ලබයි.

  • ජලය මිදී අයිස් වන විට සියයට නවයකින්  පමණ  පරිමාව වැඩිවේ.

  • ද්‍රව්‍ය වැඩිම සංඛ්‍යාවක් ද්‍රාවණය වන එකම ද්‍රාවකය ජලය වේ.(සාර්වත්‍ර ද්‍රාවකය)

  • අවුරුදු මිලියන ගණනකට පෙර පෘතුවියේ තිබුණු මුළු ජල ප්‍රමාණයම විවිධ ආකාරයෙන් අදටත් තිබෙන බව සත්‍යයකි.

  • පිපිඤ්ඤා ගෙඩියක සංයුතියෙන් 95 % පමණ ජලය වේ.

  • අවුරුදු 100 ක් තුලදී එක් ජල අණුවක්, අවුරුදු 98 ක් සාගරයේද, මාස 20 ක් අයිස් ලෙසද, සති දෙකක් පමණ විල්, වැව්, ගංගා, ඇළ, දොළ ආදියේද, සතියකට අඩු කාලයක් වායු ගෝලයේද සැරි සරයි. 

  • ජාත්‍යන්තර දේශ සීමා, මායිම්  ඔස්සේ හෝ  දේශ සීමා හරහා ගලා බසින, ගංගා 260 ක් පමණ ලෝකයේ ඇත.

  • වානේ ටොන් එකක් නිපදවීම සඳහා ජලය ටොන් 300 ක් පමණ අවශ්‍ය වේ. (ජල පා සටහන අනුව )

  • හතර දෙනෙකුගෙන් යුත් පවූලකට දිනකට අවශ්‍ය ආහාර සැපයීම සඳහා ජලය ගැලොම් 6800 ක්‌ (ලීටර් 30,000 පමණ) වැය වේ. (ජල පා සටහන අනුව )

  • ශ්‍රී ලංකාවේ නිවාස සහ ආයතන සියයට දහයකට පමණ නළ ජල සැපයුම් ඇත.

  • දළ වශයෙන් ගණන් බලා ඇති පරිදි ශ්‍රී ලංකාවේ නළ ජලය පාවිච්චි කරන නිවාස හෝ වෙනත් ආයතන  වලින් 10 % ක පමණ (50,000 පමණ) ජලය  බින්දුව බැගින් හෝ අපතේ යන බව පෙනේ.

  • තත්පරයකට ජල බින්දුව බැගින් අපතේ යන ජල කරාමයකින් වර්ෂයකදී ජලය ලීටර් 3000 ක් පමණ අපතේ යනු ඇත.

  • ජල ඒකකයක් රුපියල් 50/= බැගින් මිළ  කළහොත් මෙම වාර්ෂික අපතේ යාම එක් පාරිභෝගික  ස්ථානයකින් රුපියල් 450/= ක් පමණ වේ.

  • මෙය වාර්ෂිකව රුපියල් ලක්ෂ විස්සක්  පමණ වියහැකි  බරපතල ජාතික අපරාධයකි. 

අපට අත්‍යාවශ්‍ය මහඟු ස්වාභාවික සම්පතක් වන ජලය පිලිබඳ විවිධ කරුණු රාශියක් ගැන මෙසේ  සැළකිලිමත්වූයේ  ජල භාවිතය හා සම්බන්ධ අතාත්වික (ඇසට නොපෙනෙන) ඉතාවැදගත් සම්බන්ධයක් පැහැදිලි කිරීමටය.

‘ජල පා සටහන’ වශයෙන් නම් කෙරෙන මෙම නව චින්තනය  දැනට ක්‍රමක්‍රමයෙන් සමාජගත වෙමින් පවතින, නුදුරු අනාගතයේදී මිනිසාට තම එදිනෙදා වැඩ කටයුතුවලදී බොහෝ විට ආදේශ කර ගැනීමට සිදුවන බලගතු සංකල්පයක් විය හැකිය.   

පා සටහනයනු  යම්කිසි කාර්යාවලියක් ආරම්භයේ සිට එහි අවසානය දක්වා සෑම පියවරකදීම ජල ‘භාවිතය සහ කළමනාකරණය’ සම්බන්ධව එක් එක්‌ පුද්ගලයාට, පුද්ගල කණ්ඩායමකට  හෝ ආයතනයකට පැවරෙන බර හෝ වගකීම හඳුනා ගැනීම සඳහා යෝජනා කර ඇති මිනුම් දණ්ඩකට අනුරූප උපකල්පනයකි.                               මෙම උපකල්පනයේ‘භාවිතය සහ කළමනාකරණය’ යනු නිශ්චිත කාල සීමාවක් තුළදී, ඇත්ත වශයෙන්ම පාවිච්චි කළ හෝ / සහ  එම පාවිච්චිය නිසා දූෂිත භාවයට පත්කරන ලද මිරිදිය පරිමාවයි.


මෙය 2004 වර්ෂයේදී යුනෙස්කෝ’ ආයතනය හා සම්බන්ධ පරිසර විද්‍යාඥයෙකු ලෙස කටයුතු කළ, මහාචාර්ය ජෝන් ඇලන් විසින් ඉදිරිපත් කරන ලදුව, වැඩිදුර අධ්‍යයනය කර අනාගතයේදී ප්‍රයෝගික මට්ටමේ  සංකල්පයක් ලෙස සලකා බැලීමට බලාපොරොත්තු වන සංකල්පයකි.  එම අදහස ඉතාමත් සරලව පහත දැක්වෙන අයුරු අර්ථ දැක්විය හැකිය.


යම්කිසි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක්, භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය, සැපයීම සහ භාවිතය උදෙසා, සෑම අයුරින්ම භාවිත කරනු ලබන මිරිදිය (ජලය) ප්‍රමාණය ජල පා සටහන (water footprint) වේ’.


ජල පා සටහන පිළිබඳව පාසැල් සිසුවෙකු විසින් නගන ලද ප්‍රශ්නයක්‌ සඳහා  පරිසර විද්‍යාඥයෙකු විසින් සපයන ලද පිළිතුරක් මෙසේ දක්වියහැකිය. 


සරල උදාහරණයක්‌ මගින් මෙම සංකල්පය පැහැදිලි කළ හැකිය. කෙනෙකු කෝපි කෝප්පයක් බොන විට, අපට එකවරටම හැඟී  යනුයේ එම කෝපි කෝප්පය සකස් කිරීම සඳහා අවශ්‍ය වනුයේ එහි ඇති ජලය පරිමාව පමණක් බවයි. එය 250 ml යයි සිතමු. අප එසේ සිතුවත් කෝපි කෝප්පය සකස් කිරීම සඳහා මූලික වන සියලුම කාර්යය සඳහා ජලය 140 L  (140,000 ml)  ක්‌ පමණ වැය වන බව ගණනය කළ හැකිය. එය සත්‍යයකි.  එහෙත් ඔබ එම අදහස ප්‍රතික්ෂේප කරනු ඇත. 


මෙම අදහස තරමක් ගැඹුරින් කල්පනා කර බලන විට, කෝපි වැවීම, කෝපි බීජ නිෂ්පාදනය, කෝපි ඇට වලින් කෝපි කුඩු සකස් කිරීම, ඒවා සුරක්ෂිතව ඇසීරීම, ඇසුරුම් නැව් ගත කිරීම, ප්‍රවාහනය, බෙදාහැරිම වැනි සෑම අදියරයකදීම අනියමින් හෝ ජලය අවශ්‍ය වේ. 


මෙසේ අදෘශ්‍යමානව වැය වන්නේයැයි අනුමාන වශයෙන්  සලකනු ලබන  ජල ප්‍රමාණය  අතාත්වික ජලය ලෙස හැඳින්වේ. මේ නිසා බීමට සකස් කරන ලද කෝපි කෝප්පයේ ‘ජල පා සටහන නමැති අදහසට  කෝපි කෝප්පයේ අඩංගු ජලයට අමතරව, ඉහත දැක්වූ  සියලුම අවස්ථාවලදී භාවිත වූ අතාත්වික ජලයෙන් කොටසක්ද  අයත් වේ. මෙය ගණනය කළ විට, කෝපි කෝප්පයේ අන්තර්ගත ජලය මෙන් 560 ගුණයක් පමණ වන බව විශ්වාස කළ හැකිද? එය ජලය ලීටර් 140 ට අනුරූප වේ. 


මේ ලෙසටම ‘තේ කෝප්පයක ජල පා සටහන’, ජලය 35 L (35,000 ml) බව ගණනය කර තිබේ.


අප නිතර භාවිත කරනු ලබන ආහාර වර්ග කිහිපයක ගණනය කරන ලද ‘ජල පා සටහන්’ දැක්වෙන සටහන බලන්න. මෙහි තේ සහ කෝපි කෝප්ප සංසන්දනය කළවිට, කෝපි කෝප්පයේ ජල පා සටහන තේ කෝප්පයේ  ජල පා සටහන මෙන් සිව් ගුණයක් බව පෙනේ. මෙවැනි භාණ්ඩවල මිල නියම වනුයේද මෙම සංකල්පයට  අනුරූපවය. 


එමෙන්ම ගව මස් කුකුල් මස් වලට වඩා මිල අධික වනුයේද මේ නිසා බව සාධාරණීකරණය කළ හැකිය. එම සටහනෙහි දැක්වෙන චීස් පෙත්තක හෝ හැම්බර්ගරයක මිල එතරම් අධික වනුයේද මේ නිසාම බව තීරණය කළ හැකිය. 


ජල පා සටහන පිළිබඳව සලකා බැලීමේදී ජල සංරක්ෂණය සඳහා නව දැක්මක් ඔස්සේ සිතා  බැලිය යුතු කාලය එළඹ තිබේ. මෙහිදී අතාත්වික ජලය ගැන දැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේය.


මේ සියල්ලෙන්ම පැහැදිලි වනුයේ ඕනෑම සේවාවක‌ හෝ නිෂ්පාදනයකට අදාළ  ක්‍රියාදාමයේ  සෑම පියවරකදීම වාගේ  ජලය යම්කිසි ප්‍රමාණයක් අවශ්‍ය වන බවයි. නවීන තාක්‍ෂණයත් සමග වේගයෙන් වෙනස් වන ජල කළමනාකරණයේ සිද්ධාන්ත වලට මේ වන විට ජල පා සටහනද මුල ධර්මයක් ලෙස  අන්තර්ගතවී ඇත.


තවත් බොහෝ නිෂ්පාදන හෝ සේවා සඳහා මෙවැනි 'ජල පා සටහන්' සකස් කර ඇති අතර එයින් කිහිපයක් පහත   වගුවේ දක්වා ඇත.


ජල පා සටහන මෙන්ම කාබන් පා  සටහන’ , ‘නයිට්‍රජන් පා  සටහනවැනි තවත් සංවර්ධනය ඉලක්ක කරගත් නව සංකල්ප නිරතුරුවම මිනිසාගේ දැනුම් සම්භාරයට එකතු වෙමින් පවතී.

 

(පොත පත ඇසුරෙනි.)