Friday 28 July 2017

පත්වීම ලැබුණු පළමු දිනයේම නුහුරු රාජකාරි ගැටලුවකට මුහුණ දීම ....

  මා විද්‍යා අධ්‍යාපන නිලධාරි තනතුරෙහි මුල් පත්වීම ලැබුවේ රත්නපුර ප්‍රාදේශීය අධ්‍යාපන දෙපාර්තමෙන්තුවටය. එදීන උදයේම කාර්යාලයයට ගොස් වැඩ භාරගත් විගසම, අධ්‍යක්ෂක තුමා මා හට කාර්යාලයේ අනිකුත් නිලධාරීන් හඳුනා ගෙන පැයකින් පමණ ඔහු නැවත හමුවන ලෙස කීවේය. කාර්යාලයේ අනිකුත් නිලධාරීන් හත් අට දෙනාද හඳුනාගැනීමෙන් පසු මම අධ්‍යක්ෂක තුමා හමුවීමට ගියෙමි.

මා සමග ඉතාමත් සුහදව ආ ගිය තොරතුරු කථා කළ ඔහු මා අමතා මෙසේ කීවේය.

‘පුරුදු වෙන්නත් එක්ක ටිකක් ගැටළු සහිත රාජකාරි වැඩක්‌ පවරනවා සුදුසුය යි සිතන ඕනෑම ආකාරයකට එය පරීක්ෂා කර තොරතුරු ලබාගෙන සතියක් ඇතුළත මට නිර්දේශ සහිත වාර්තාවක් දෙන්න’

තනතුරේ රාජකාරි ගැනවත් නිසි අවබෝධයක් නොතිබුනු මට මෙය බලාපොරොත්තු නොවූ ගැටළුවක් නිසා කිසිවක් නොකියා බලා සිටියෙමි.

නැවත මට කථා කළ ඔහු
‘රාජකාරියට බය වෙන්නට දෙයක් නැහැ.  මේකයි කරන්නට තිබෙන්නේ. සීවලී සෙන්ට්‍රල් එකේ ගුරුවරු දොළොස් දෙනෙකුගේ විතර අතිරික්තයක් තිබෙනවා. නොයෙකුත් හේතු නිසා මේ අය ගුරුවරු නැති තැන් වලට මාරු කරන්නට අමාරුයි. හෙටම ඉස්කෝලෙට ගිහින් රාජකාරි වැඩ පටන් ගන්න. මාරු කිරීමට සුදුසු අය ගැන මට නිර්දේශ දෙන්න. අවශ්‍ය සමහර තොරතුරු මේ ෆයිල් එකේ තියෙනවා’ 

කියා ලිපි ගොනුවක්ද මට දුන්නේය.

තරමක් චකිතයකින් මෙන් ඔහු දෙස  බලා මා පුටුවෙන් නැගිට සිටින විටම

‘හැබැයි ප්‍රින්සිපල් තරමක් අමාරුකාරයා. ප්‍රවේශමෙන් වැඩ කරන්න’ කියා කීවේය

මෙය මට ඉතාමත් හොඳ අභියෝගයක් බව තේරුම් ගත් මා, ලිපිගොනුවේ තිබුණු තොරතුරු කියවා පසුදින විදුහලට ගියෙමි. නිර්දේශිත සංඛ්‍යාවට වඩා විදුහලේ ගුරුවරු දොළොස් දෙනෙක් අතිරික්ත බව ගොනුවෙහි ලිපියක සඳහන් කර තිබුණි.

විදුහලට ගොස්, විදුහල්පති කාර්යාලයේ ආලින්දයේ හිඳගත්  මා සේවකයෙකු අත විදුහල්පතිට පණිවුඩයක් යැවීමි. විනාඩි දහයකට පමණ පසු ඔහුගෙන් ලැබුණු කැඳවීම අනුව කාමරයට ගොස් ඔහු ඉදිරිපස පුටුවේ වාඩිවී මම කවුරුදැයි හඳුන්වා දුනිමි. මා අලුත් ව්ද්‍යා අධ්‍යාපන නිලධාරිවරයා බව කීවිට ඔහු පැළඳ සිටි උපැස් යුවලට උඩින් මා දෙස බලා ගැඹුරු ස්වරයකින් කථා කළේය. 

‘ආ එක හොඳයි අපට උසස් පෙළ විද්‍යා පංති වලට උගන්වන්න ගුරුවරු දෙන්නෙක් අඩුයි. ඉක්මණටම ගුරුවරු පත්කරන්නට ඕනෑ‍’

එය නොඇසුනාක් මෙන් මමද  මට අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා පවරා ඇති ක්ෂණික රාජකාරිය පැහැදිලිකර දුනිමි.

මෙය අසා තරමක් කෝපයට පත්වූ විදුහල්පති

‘ඔය එක එක්කෙනාගේ තීරණ අපට අවශ්‍ය නැහැ. ගුරුවරු නැතිව මම ඉස්කෝලේ වැඩ කරගන්නේ කොහොමද?’  කියා තරමක් උස් හඬින් කීවේය.

‘මේක ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂක තුමාගේ නියෝගයක්. මට මේ ගැන තොරතුරු ලබාගැනීමට කරුණාකර විදුහලේ කාල සටහන දෙන්න.’ 

මමද පළපුරුදු නිලධාරියෙකු ලෙස ඉල්ලීමක් කළෙමි.

‘නොහඳුනන අයට විද්‍යාලයයේ ලියකියවිලි දෙන්නට බැහැ.’ යි ඔහු කී විට,

මගේ බෑගයේ තිබුණු  පත්වීමේ ලිපිය ඔහුට පෙන්වීමට සිතුන නමුත් ම්ගේ නිලයේ ආත්ම ගරුත්වයද ආරක්ෂා කර ගත යුතු නිසා,

‘එහෙමනම් මගේ අනන්‍යතාවයත් අරගෙන හෙට උදේට එන්නම්’ කියා මම පුටුවෙන් නැගිට්ටෙමි.

එවිට මාදෙස බැලූ විදුහල්පතිතුමා, ලාච්චුවක් ඇර රෝල් කර තිබුණු කාල සටහන සකස් කරන ලද  විශාල ප්‍රමාණයේ කඩදාසි කිහිපයක් මේසය මතට දමා

‘ඕවා පිටට ගෙනයන්නට බැහැ. මෙහෙ ඉඳගෙන ඕන දෙයක් කරගන්න’

කියා හඬ තරමක් බාල කර කීවේය. කාල සටහන් විදුහල්පති මේසය උඩ දිග හැරීම නුසුදුසුයයි මට හැඟුනි. මම කඩදාසි රෝල් කිහිපයත් ගෙන කාර්යාලයෙන් එළියට ආවෙමි.

කවුරු නැතත් විද්‍යාගාරයේ සිටින නොහඳුනන විද්‍යා ගුරුවරයෙකුගෙන් වුවත් උපකාරයක්‌ ලබාගත හැකි බව මට මතකයට ආවේය. කොරිඩෝරය දිගේ ටික දුරක් යන විට කාර්යාල සහායක මා පිටුපසින් පැමිණ

‘සර් කොහාටද යන්න ඕනෑ’ කියා මගෙන් ඇසීය.

මට විද්‍යාගාරය පෙන්වන ලෙස ඔහුට කීවෙමි. අප විද්‍යාගාරය අසලටම යනවිට ඉදිරියෙන් ආ තවත් ගුරු මහත්මයෙක්

‘මහත්මයා දැකලා පුරුදු වගෙයි. අද මෙහි රාජකාරි වැඩකටද?’ කියා මගෙන් ඇසීය.

විදුහල්පතිට වඩා යමක් තේරුම් ගත හැකි උප ගුරුවරු සිටින බව මම වටහා ගතිමි. මට හදිසියේ හමුවුයේ මගේ ගම් ප්‍රදේශයේම කෙනෙකු වන දිවාකර මහතාය. මා ඒ බව නොදැන සිටියද, ඔහු එම විදුහලේ කලක්‌ සේවය කර තිබෙන කළා උපාධිධාරියෙකි. මා සමග විද්‍යාගාරයට ගිය ඔහු අංශ ප්‍රධාන විද්‍යා ගුරු මහතාට මා  හඳුන්වාදී  මට අවශ්‍ය කාරණයද පැහැදිලි කර දුන්නේය.

මිට සති දෙකකට පමණ ඉහතදීද  අධ්‍යාපන කාර්යාලයයේ වෙනත් නිලධාරියෙකු මට පැවරුණු කාරණය සඳහාම පැමිණ, විදුහල්පති සමග බහින් බස් වී පිටවී ගිය බව දිවාකර මහතා මට රහසින් පැවසීය.

මගේ රාජකාරිය සඳහා විද්‍යාගාර කාමරයේ ඉඩකඩ ඇති මේසයක් සහ අවශ්‍ය ලිපිද්‍රව්‍යද ලැබිණ. ටික වෙලාවකින් ඔවුන්ගෙන් තේ කෝප්පයක්ද ලැබිණ.

කාල සටහන් පෙරලාගත් මට විදුහලේ කාල සටහන්වල  ව්‍යුහය ගැන අවබෝධයක් ලබාගැනීමට ටික වෙලාවක් ගතවිය. මා කලින් සති අන්තය දක්වාම ගුරුවරයෙකු ලෙස සේවය කළ මධ්‍ය විද්‍යාලයයේද ගුරුවරුන් සියයක පමණ ගුරු මණ්ඩලයේ කාල සටහන් සකස් කිරීම භාරව සිටියේ මා නිසා මෙම කාලසටහන අවබෝධ කර ගැනීම පහසු විය. පැයකට පමණ පසු නැවත පැමිණි දිවාකර මහතා උපකාරයක්‌ අවශ්‍ය නම් දන්වන ලෙස කීවේය. මට අවශ්‍ය මුලික සටහන් සකස් කර ගත් මා  කාර්යාලයට ගොස් විදුහල්පතිට කාල සටහන් භාරදී පසු දින නැවත පැමිණෙන බව කියා  ආපසු යාමට සැරසෙන විට

‘ලොග් පොතේ සටහනක් කරනවා නේද ?’ කියා ලොග් පොත මට දුන්නේය.

අමාරුකාර විදුහල්පතිවරයාගේ සැර බාලවී ඇති බව මට දැනුනි.

පසුවදා උදේ මා විදුහල්පති කාර්යාලයට ගිය විට ඔහුගේ කලින් දිනයේ තිබුණු ගාම්භීර ලීලාව නැත. මට කාල සටහන්වල තොරතුරු සෙවීම සඳහා යාබද කාමරයේ මේසයක් සහ පුටුවක් තබා තිබුනි. එසේ වුවත් මා කලින් දිනයේ පරිදි විද්‍යාගාරයටම් ගියෙමි.

එදින සවස් වනවිට මට අවශ්‍ය සියලු තොරතුරු අවසන් කර ගත හැකි විය. මා ආපසු පිටත්වීමට පෙර දිවාකරටත් අනිකුත් විද්‍යා ගුරුවරුන්ටත් ස්තුති කළෙමි. විදුහල්පති කාර්යාලයට යනවිටම් මා සමග තරමක් සුහදව කතාකළ වීදුහල්පතීතුමා  විද්‍යා  උපාධිධාරීන්  දෙදෙනෙකු ලබාදෙන ලෙස මගෙන් කාරුණිකව ඉල්ලා සිටියේය,

ඒ සමගම  විදුහලෙන් ස්ථාන මාරු කිරීමට සුදුසු ගුරුවරුන්ගේ ලේඛනයක්ද හොර රහසේ මෙන් මා අත තැබීය. එහි ගුරුවරු සය දෙනෙකුගේ නම් විය.

මගේ සමීක්ෂණය සඳහා විදුහල්පතිතුමාගේ සහ ගුරු මණ්ඩලයේ සහයෝගය ඉතා හොඳින් ලැබුණු බවත් එය අගය කරන බවත් මගේ දෙවන දින ලොග් සටහනෙහි සඳහන් කළෙමි.

දින කිහිපයකට පසු මගේ ගුරු මාරු නිර්දේශ, හේතු සහිතව අධ්‍යක්ෂක තුමාට භාර දුනිමි. එහි දොළොස්  දෙනෙකුගේ නම් විය. මා කලින් සිටි විද්‍යාලයයේ කාල සටහන් සකස් කර තිබුණු නිසා හසු නොවන්නට කළ හැකි  ‘සම්‍යක් ප්‍රයෝග’ ගැන දැනගෙන සිට්යෙමි. මෙහිද මට ඒවා පහසුවෙන් හඳුනාගත හැකි විය.

එක් උදාහරණයක් පමණක් මෙහි දැක්විය හැකිය. විදුහලේ නවවන ශ්‍රේණියේ පන්ති දහසයක්‌ තිබිණ. මෙම පන්ති සියල්ලේම සංගීතය ඉගෙන ගන්නා සිසුන් සිටියේ  හතලිස්   දෙනෙකු පමණකි. මේ සියලු දෙනාම පන්ති දෙකකට පමණක් සීමා  කළේ නම් සතියකට කාල ඡේද හතරකින් පිරිමසා ගත හැකිය. එහෙත් පැවති කාල සටහනට අනුව ඒ සිසුන් පන්ති දහසයේම විසිරි සිටි නිසා ඒ සඳහා  කාල ඡේද තිස් දෙකක්  වෙන් කර තිබුණි. සෑම ශ්‍රේණියකම වාගේ සමාන්තර පන්ති වල සංගීතය ,නැටුම්, චිත්‍ර, කෘෂි විද්‍යාව වැනි විෂයයන් සඳහා  මෙසේ කර තිබුණි. මෙය ඇත්ත වශයෙන්ම සම්පත් හරිහැටි කළමනාකරණය නොකිරීමකි.

මා දොළොස්  දෙනෙකු අතිරික්ත ගුරුවරු ලෙස නිර්දේශ කළ අතර, විදුහල්පති තුමා මට දුන් ලේඛනයේ සිටි ගුරුවරු හතර දෙනෙක්ද ඒ අතර වුහ. නිර්දේශිත එක්‌ එක් ගුරුවරයාගේ කාල සටහනේ කාල ඡේද අනිකුත් ගුරුවරුන් අතර බෙදා දිය හැකි ආකාරයද මගේ වාර්තාවේ සඳහන් කළෙමි.

ඊට සති කිහිපයකට පසු විද්‍යා උපාධිධාරී ගුරුවරුන් ලැබුණු පසු විදුහල්පතිතුමාගේ ඉල්ලීමද නොපිරිහෙලා ඉටුකිරීමට හැකිවිය.

මා නිර්දේශ කළ දොළොස් දෙනාගෙන් දස දෙනෙකුට පදිංචි ස්ථාන අසල පාසල්වලට ස්ථාන මාරු යවා ඇති බව පසුව දැනගන්නට ලැබිණ. එසේ කරනලද ගුරු මාරු වෙනස් කරගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ බවද විශේෂයෙන් සඳහන් කළ හැකිය.

කාර්යාලයට නවකයකු වූ  මාහට ඊළඟ නිලධාරි රැස්වීමේදී අධ්‍යක්ෂක තුමාගෙන් ප්‍රසංශාවක් ලැබීම කාටත් පුදුමයක් විය.

පරිගණක නොතිබුණු ඒ කාලයේ ගුරුවරු සියයක් පමණ සිටින විදුහලක කාල සටහන සකස් කිරීම එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවීය. එම අපහසු කාර්යය මා කලින් සේවය කළ  විදුහලේදී ප්‍රායෝගිකව් ඉටු කර තිබුණු නිසා, මට රාජකාරි වැඩ භාරගත් දිනයේම  පැවරුණු ගුරුමාරු අභියෝගය ජය ගන්නට හැකිවිය.


එම විදුහල්පති තුමා පසුව මගේ හොඳ මිතුරෙකු විය.         

10 comments:

  1. ප්‍රථම දිනයේ ලැබුණු ඒ අභියෝගෙ අකුරට සිදු කෙරූ
    එයම නුඹගේ ඉදිරි ගමනට ශක්තියක් වෙයි නිරතුරූ
    තවම පාසල්වලදි හමුවෙයි වැඩිපුරත් මේ ගුරුවරූ
    නුඹම වැනි නිළධාරියෙක් තව සිටීනම් එය මරු මරූ....


    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,
      ගුරුවරු සම්පතක් වේ පාසැල් මවට
      සේවය මගින් හැරවේ සිසු යහ මගට
      නොදනිම වුවත් අඩුවෙන් වැඩ කරන විට
      සම්පත් අපතෙ යනවා පාඩුව රටට

      මබට ජයම !

      Delete
  2. නුඹම වැනි නිළධාරියෙක් තව සිටීනම් එය මරු මරූ... !!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්,
      ලියා තිබෙනා 'කොමෙන්ට්' වැකියත් බලන විට හරි මරු මරූ... !!!

      Delete
  3. ඔබ වගේ අත්දැකීම් සපිරි කෙනෙකුට ඔය වැඩේ කරන්න පුලුවන් උනත් දැන් ඉන්න උඩිං පාත් වෙච්ච බොහෝ දෙනෙකුට ඔ‍යාකාරයට වැඩ කළ නොහැකි බව මගේ හැඟීමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      අත්දැකීම් ලබාගනුයේ උපන්දා සිටම. ඒවා හොඳට මුවහත් කිරීම පාසැලේ ප්‍රධාන කාර්යයක්. පාසලේ විවිධ විෂයය බාහිර ක්‍රියාකාරකම් තිබෙන්නේ මේ නිසයි. ඒ උනත් අවාසනාවකට දැන් private tuition නමැති පිළිලය නිසා සිසුන් බොහෝ දෙනෙක් ඒවාට සම්බහ්ධ වෙන්නේ නැහැ.

      Delete
  4. Trans Sylvania,

    Thank you very much for your 'graphical' comment !!!

    ReplyDelete
  5. /* මේකයි කරන්නට තිබෙන්නේ. සීවලී සෙන්ට්‍රල් එකේ ගුරුවරු දොළොස් දෙනෙකුගේ විතර අතිරික්තයක් තිබෙනවා. නොයෙකුත් හේතු නිසා මේ අය ගුරුවරු නැති තැන් වලට මාරු කරන්නට අමාරුයි. */

    ප්‍රශ්න දෙකක්.

    මේ උපකල්පනය සඳහා භාවිතා කළ ගුරු සිසු අනුපාතයේ (හෝ වෙනත් නිර්නායකයක් වුනි නම එහි) අගය කුමක් ද?

    ඊළඟට ගුරුවරයෙකුට සතියේ ඇති කල පරිච්ඡේදවලින් කොපමණ ප්‍රතිශතයක් අවමයක් ලෙස සේවය කළ යුතු යැයි සැළකුවා ද?

    ස්තුතියි!

    ReplyDelete
  6. You really should write a book - memoirs.

    ReplyDelete
    Replies
    1. Agreed 100%, your writing style is really unique. effortless and flowing

      Delete