මන්නාරමේ ‘බැඔබාබ්’ ගසෙහි ගෙඩියට බොහෝ දුරට සමාන ගෙඩියක් ඇති ගසක් දකුණේ ද දකින්නට ලැබේ.
මන්නාරම
අධ්‍යාපන චාරිකාවකදි දකින්නට ලැබුණු‘බැඔබාබ්’(Baobab) ගසක ඡායාරුප සහ ලබාගත් ඵල (ගෙඩි) කිහිපයක් අපොස
උසස් පෙළ සිසුන්ගේ කාර්ය සැසියකදී පෙන්වා විස්තර කර දීමට මට අවස්ථාවක් ලැබිණ.
බැඔබාබ් ඵල හල් ඵල
ශ්‍රී
ලංකාවේ තෙත් කලාපයේ පහත් බිම්වල සරුවට
වැඩෙන ඒක දේශීය ශාකයක් වන හල් ගසෙහි ගෙඩියද ‘බැඔබාබ්’ ගෙඩියට බොහෝ දුරට
සමානය. එම සිසුනට ‘බැඔබාබ්’ ගෙඩියේ ව්‍යුහය විස්තර කරමින්
එහි ඇති පිටි කර ගත හැකි මදයෙන්, අප්‍රිකානු රටවල ඉතාමත් පෝෂ්‍යදායී ආහාර සකස් කර
ගන්නා බව පැහැදිලි කළෙමි. එය පෙනුමෙන් ‘හල්’ගෙඩියකට බොහෝදුරට සමාන බව කියන විට, එක් සිසුවෙක්
අත ඔසවා, තම ගෙවත්තේ හල් ගසක් තිබෙන බවත් ඒ දිනවල ගසෙහි ගෙඩි බරවී ඇති බවත්
කීවේය. තවත් කිහිප දෙනෙක් හල් ගස් දැක
තිබෙන බවත්, එහෙත් වැඩි විස්තර නොදන්නා බවත් කීහ.
බැඔබාබ්
ගස ඉඹුල් (කොට්ට පුළුන්) ගස අයිති බොම්බේසී (Bombaceae} කුලයට අයත් වන අතර, හල් ගස (හොර )
ඩිප්ටෙරෝකාර්පේසී (Dipterocarpaceae) කුලයට අයත් බව ඔවුනට පෙන්වා දුනිමි. Vateria copallifera යන උද්භිද විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබන හල්
ශාකය,
ශ්‍රී ලංකාවට ආවේණික, ඒක දේශීය ශාකයක් වන නිසාත්, දැනට වඳවී යාමේ තර්ජනයට මුහුණ පා
තිබෙන නිසාත්, මේ ගස ගැන උසස් පෙළ ව්‍යාපෘතියක් ලෙස අධ්‍යයනයක් කිරීම වැදගත් බව මම
ඔවුනට පැහැදිලි කර දුනිමි.
සතිදෙකකට
පමණ පසු එම සිසුන් විසින් හල් ගස ගැන ලියන ලද වාර්තා කිහිපයක් ඇගයීම පිණිස ගුරු
මහත්මියක් විසින් මා වෙත එවන ලදී. ඔවුන්
ගස ගැන තොරතුරු රැසක් සොයාගෙන ඇත. මේ අතර හල් ඵලයේ ව්‍යාප්තිය, ප්‍රරෝහණය, පුෂ්පයේ ව්‍යුහය, මදය
ආහාර සඳහා ගැනීම, ගසේ පොතු භාවිතය ආදී කරුණු සඳහන් කර තිබිණ.
ප්‍රරෝහනය
වන හල් ඵලයක්
අප කුඩා කළ වාසය කළ මහ ගෙදර ගෙවත්තේද පැරණි හල්
ගසක් තිබුණි.(කළුතර දිස්ත්‍රික්කයේ වරකාගොඩ) සෑම වසරකම එම ගසෙහි සෑදෙන ගෙඩි වල මදයෙන් හල් පිට්ටු, හල් හැලප හල්
පුඩින් ආදි අතුරුපස සකස්කර, ආහාරයට ගැනීම මතකයට නැගුනු නිසා දැනට භාවිතයෙන් බොහෝ
දුරට ඉවත්වී ගොස් ඇති හල් ශාකය පිලිබඳ
වැදගත් කරුණු අළලා සටහනක් තැබීමට අදහස් කලෙමි.
හල් ගස්වල මල් පිපී ගෙඩි හටගන්නේ අප්‍රියෙල්,
මැයි මාස වලදීය. අගෝස්තු මාසය වනවිට පැසුණු ගෙඩි බිමට වැටේ. ආහාරය සඳහා ගනු ලබන්නේ
හල් ගෙඩියේ මදයයි නැතහොත් ඉතාමත් මාංශල බීජ පත්‍රයි. එක ගෙඩියක මදය ග්‍රෑම් සියයක්
පමණ තිබේ. මෙහි මදය පිටි කර ගැනීම වෙනුවට සිහිනියට සූරා ගැනීම පිණිස ක්‍රමයක්
ගැමියා භාවිත කරයි. මේ සඳහා සාදා ගන්නා උපකරණය ‘හල් කටුව’ ලෙස හැඳින්වේ. එය
සාදනුයේ තරමක් ඝනකමින් යුත් බෙලෙක්
තහඩුවකිනි. යකඩ ඇණයකින් තහඩුව සිදුරු කළ විට අනික් පැත්තේ උල සහිත තුඩු
සෑදේ.සම්පූර්ණ තහඩු කැබෙල්ලේම මෙසේ තුඩු
සෑදෙන ලෙස සිදුරු කරගෙන, තුඩු පිටතට සිටින සේ සිලින්ඩරාකාරව නවා ගත් විට ‘හල් කටුව’ සෑදේ. ‘හල් කටුව’ වර්තමානයේ කැරට් වැනි අල වර්ග
සිහින් කර ගැනීම සඳහා පාවිච්චි කරන ‘ග්රේටරයක’ (Grater) ගැමි
ආකෘතිය ලෙස සඳහන් කළ හැකි වේ. හල් ගෙඩි දහයක පමණ මද සූරා ගත් විට සිහින් හල් මද කිලෝ ග්‍රෑම් එකක් පමණ ලැබේ.
හල් මද තද තිත්ත රසකින් යුක්තය. තිත්ත රස ඉවත්
කිරීමටද ගැමියා පහසු උපක්‍රමයක් භාවිත කරයි. හල් මදයට තිත්ත රසය ගෙන දෙන එහි
අන්තර්ගත (රසායන) ද්‍රව්‍යය ගලායන ජලයේ දියවී යන බව ඔහු දැනගෙන තිබේ. මේ නිසා ඔහු පන්
මල්ලක අසුරා කට බැඳ සකස් කර ගත් හල් පිටි
ගැමි පරිසරයේම තිබෙන කුඹුරේ, ගලායන ජලය ඇති වක්කඩක බැඳ තබයි. වක්කඩේ බැස යන
ජලය පන් මල්ලේ සිදුරු හරහා ගොස් හල් පිටි හොඳින් සේදී යන විට තිත්ත ද්‍රව්‍යයද ඒ
සමග ඉවත්වේ. එක් දිනක පමණ කාලයක් මෙසේ වක්කඩේ බැඳ තැබූ විට හල්පිටි වල තිත්ත ගතිය
සම්පූර්ණයෙන්ම නැතිවී යයි.
මෙසේ සකස් කර ගත් හල් පිටි වලට පාන් පිටි සීනි සහ
ලුණු පදමට දමා හොඳින් අනා වියලි මුද්දරප්පලම්ද එකතු කර කොළපත් ගොටුවල අසුරා මුල්
බැඳ, හොදින් වණ්ඩුවේ තම්බා ගනු ලැබේ. පැය දෙකක් පමණ තැම්බුණු පසු ඉතාමත් රසවත් ඇති
හල් මුලක් / පුඩිමක් ලැබේ.
හල් ගසේ පොත්තද ප්‍රයෝජනයට ගත හැකි අවස්ථාවක්
පැරණි ගැමියා හඳුනාගෙන තිබේ. තෙත් කලාපයේ කඳු බෑවුම්වල කිතුල් ගස් බහුලය. මේ ප්‍රදේශ
වල ගැමියා කිතුල් මල් මැද ලබාගන්නා තෙල්දියෙන් පැණි සහ හකුරු සාදා ගනියි.
තෙල්දියෙන් කොටසක් පැසෙන්නට හැර ලබාගන්නා කිතුල් රා ගැමියාගේ ප්‍රණීත පානයකි.
වැඩිපුර ඇති තෙල්දිය ස්වභාවිකව සිදුවන පැසීම නතර කිරීම සඳහා හල් පොතු පාවිච්චි
කරනු ලැබේ. ගැමියා මෙම දැනුම පාරම්පරිකව ලබාගෙන ඇත.
විද්‍යානුකුලව, සීනි ද්‍රාවණයක් ලෙස සැලකිය හැකි
තෙල්දිය පැසීම සිදුවනුයේ වාතයේ ඇති යීස්ට් විශේෂ මගිනි. මෙම පැසීම හල් පොතු මගින්
වැලකෙනුයේ එහි ඇති යීස්ට් නාශක හෝ හෝ යීස්ට් වලට සීනි මද්‍යසාර වලට හැරවීමේ ක්‍රියාවලිය
නතරකිරීමේ හැකියාවක් තිබෙන නිසාය. මෙම හැකියාව පාරම්පරික ගැමි දැනුමකි.
හල් ගසේ මුල්වල පොත්තෙන් වැගිරෙන ලාටු වලින් දුම්මල විශේෂයක්ද ලැබේ. මෙම හල්
දුම්මල දහනය කිරීමෙන් ලැබෙන දුම් විෂබීජ නාශකයක් ලෙසද මදුරුවන් පළවා හැරීමටද භාවිත
කෙරේ.
අප ගෙවත්තේ වැඩුණු විශාල හල් ගසේ තවත් සුවිශේෂී
ලක්ෂණයක්ද සිහියට නැගේ. වනාන්තර වල තිබෙන, තුරු වියනට උඩින් නෙරා වැඩෙන
නෙරු ශාක විශේෂ වලට සුළඟට නොපෙරලී සමතුලිතව සිටීම සඳහා මුල් වලින් කොටසක්
පොලොව මතුපිටට නෙරා ගොස් ගස වටේට ආධාරක ලෙස විදේ. මේවාට කයිරු මුල් යයි කියනු ලැබේ. විශාල හල් ගස් වල පොලොව මතුපිට මුල්වල ගසට
සම්බන්ධ කොටස තරමක් ඉහලට කයිරු මුල් ලෙස දකින්නට ලැබේ. අප ගෙවත්තේ වැඩුණු විශාල
හල් ගසේ මේ මුල් කෙතරම් උසට වැඩී තිබේදැයි කියතොත්, කුඩා අප හැඟී මුත්තන් සෙල්ලම්
කරන විට මේ මුල් අතර සැඟවී සිටීම අපට මහත් ආශ්වාදයක් විය.
හල්
ගසේ විශාල කයිරු මුල්
හල් ගසේ පොතුවලින් මෑතදී ‘කොපලිෆෙරෝල්’ (Copalliferol) නමැති
බැක්ටීරියා නාශකයක්ද නිස්සාරණය කර තිබේ. මෙම
නිස්සාරකයට එම නම යොදා ඇත්තේ එහි උද්භිද විද්‍යාත්මක නාමය වන Vateria copallifera හි විශේෂ
නාමය ඇසුරෙනි.
ශ්‍රී ලංකාවට ආවේනික හල් ශාකය වඳවී යාමට ඉඩ නොදී
සංරක්ෂණය කරගැනීම කාලීන අවශ්‍යතාවකි.