Wednesday 20 September 2017

අමතක වීමක් නිසා සිදුවූ අකර තැබ්බයක්...........

  මා දකුණු පළාතේ විදුහලක සේවය කරද්දී විදුහල් ශිෂ්‍ය නිවාසයේම කාමරයක නතරවී සිටියෙමි. ශිෂ්‍ය නිවාසය භාරව සිටි මගේ මිත්‍ර ආරියරත්න, විදුහලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ  අතර විදුහලේ ජේෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩායම භාර ලුතිනන් වරයාද විය.

ඒ කාලයේ ඉතාම ජනප්‍රිය BSA මෝටර් සයිකලයක්ද ඔහුට තිබිණ. සති අන්ත වලදී අප දෙදෙනා මෝටර් සයිකලයෙන් ගමන් යාමට පුරුදුවී සිටියෙමු. ශිෂ්‍ය නිවාසයට යාමට පඩි කිහිපයක් නැගීමට තිබෙන නිසා රාත්‍රියට ප්‍රවේශම සඳහා මෝටර් සයිකලය පඩි උඩින් තල්ලු කර ආලින්දයට දැමීම අමාරුවෙන් වුවත් කළයුතු කාර්යයක් විය.

එක් සෙනසුරාදා දිනයක අප දෙදෙනාටම අවශ්‍යතාවක් සඳහා ගාල්ලේ බැංකුවකට යාමට සිදු  විය. අප දෙදෙනා මෝටර් සයිකලයෙන් ගාලු ගියෙමු. මට තවත් හිතවතෙකු හමුවීමට මාතර යාමට තිබුණු බැවින් ඒ බව ආරිට පවසා බස් රථයකින් ගියෙමි. ශිෂ්‍ය නිවාසයේ ගුරුවරු කවුරු හෝ සිටිය යුතු නිසා ආරි ඉක්මණටම ආපසු යන බව කිවේය.

මගේ හිතවතා හමුවී දහවල් ආහාරයත් ම්හුගේ නිවසින්ම ගත් මා සවස හයට පමණ ශිෂ්‍ය නිවාසයට පැමිණ පුරුදු පරිදි සාමාන්‍ය වැඩ වල යෙදී සිට, ආරිත් සමග රාත්‍රී ආහාරයද ගතිමි. තව ටික වෙලාවක් සතුටු සාමිචියේ යෙදී සිටි අපි  නින්දට සුදානම් වීමු.

මෝටර් සයිකලය ආලින්දයට දැමීම පිණිස එලියට ගිය ආරි, කලබලයෙන් මගේ කාමරයට පැමිණ

‘හරි වැඩේනේ, බයික් එක නැහැනේ. හොරෙක්වත් ගෙනිච්චාද දන්නේ නැහැ.’ හති ලමින්  මට කිවේය.

ඔහු විහිලුවක්‌ කරන්නේදැයි සිතු මා

‘එහෙනම් වෙන එකක් ගන්න එකහෙ තියෙන්නේ ‘ මමද විහිළුවක් කලෙමි.

‘මේ දයා, විහිළුවක් නෙමෙයි ඇත්තටම බයික් එක නැහැ. එළියට යමු ටිකක් බලන්න’

මම ශිෂ්‍යයින් දෙදෙනෙකුටත් කතාකර විදුලි පන්දමත් රැගෙන ආරි සමග එළියට ගියෙමි. නේවාසික සිසුන්ද කලබල විය. කෝකියෝ දෙදෙනාද සිද්ධිය සැලවී දුවගෙන ආහ.

ඇත්තටම මෝටර් සයිකලය නැත. ටික වෙලාවක් වටපිට සොයා බැලු අපි සොරකමක් සිදුවී ඇති බව අනුමාන කර මේ බව පොලිසියට දැන්වීමට තීරණය කළෙමු.

වේලාව රාත්‍රී දහය පමණ වී ඇත. අපි පයින්ම පොලිසියට ගියෙමු. පැමිණිලි ලියා ගන්නා පොලිස් නිලධාරියා මුලික විස්තර සටහන් කරගත් පසු මෝටර් සයිකලය පිලිබඳ තොරතුරු දීම සඳහා ආරි ඔහුගේ කමිස සාක්කුවේ තිබුණු කඩදාසි කිහිපයක් පිටතට ගත්තේය. එසේ ගනිද්දී කුඩා කඩදාසි කැබෙල්ලක් බිමට වැටිණ. එය බස් ටිකට් පතකි. එය අහුලාගත් මම  ගුලිකර විසිකරන්නට තැත් කරන විටම, ආරි එය ඉල්ලා ගෙන නලළට අත තබාගෙන

‘හරි වැඩේනෙ, අද උදේ ගාල්ලේ ඉඳලා මම ආපසු ආවේ බස් එකේනෙ. ඔය ඒ බස් ටිකට් එකනේ. මෝටර් සයිකලය තවම බැංකුව ළඟනෙ’

කි විට මට සිනහව මැඩ පවත්වා ගන්නට නොහැකි විය.

සිදුවන්නේ කුමක්දැයි වටහා නොගත් පොලිස් නිලධාරියා

‘ඉක්මන් කරන්න ඔය විස්තර ටික මට දෙන්න.’ යයි තරමක් උස් හඬින් කිවේය.

මහත් අසීරුවට පත්වූ ආරි ගොත ගසමින්

‘.....රාලහාමි.  ම් ...ම් ...ම්   පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නවා’ යයි තතනමින් කිවේය.

‘මොනවා ...... දැන් බයික්  එක නැතිවූ බවක් නේද කිව්වේ. මොකක්ද මේක බොරු පැමිණිල්ලක්ද ?’

 ‘නැහැ රාලහාමි අමතක වීමක්’

‘මොකක්ද මට තේරෙන්නේ නැහැ මේ දෙබිඩි බාසාව. පැමිණිල්ල දානවද නැද්ද කියන එක විතරක් මට කියන්න.’

ආරි බිරාන්තව සිටින විට මම විස්තරය කීවෙමි.  උපහාසාත්මක සිනහවක් පැ පොලිස් නිලධාරියා, විහිලුවට මෙන් පරුෂ වචන කිහිපයක්ද කියා .........

‘දැන් මේ පැමිණිල්ලේ කොටසක් ලියලා. මේක කැන්සල් කරන්න බැහැ. එහෙනම් මේක ‘ඉල්ලා අස් කර ගන්නවා’ කියා යටින් ලියා අත්සන් කරන්න’ කියා

පැමිණිලි පොත අප දෙසට තල්ලු කළේය. මටද, පැමිණිල්ල ඉල්ලා අස් කර ගැනීම පිලිබඳ සාක්කියකට අත්සන් කරන්නට සිදුවිය.

මහත් ලැජ්ජාවට පත්වූ අපි පොලිස් නිලධාරියාට ස්තුති කර එන්නට සැරසෙන විට ඔහු

‘එහෙම යන්නට බැහැ. මෝඩ වැඩ කළාට නීතියට අනුව පැමිණිල්ල ඉල්ලා අස් කර ගැනීම ඕ අයි සි අනුමත කරන්නට ඕනෑ. යමු කාමරයට’

යයි කියා අප සමග ඇතුලට ගියේය.

ඕ අයි සි විස්තරය අසා සාවඥ  සිනාවක් පා,

‘මෝටර් සයිකලයේ පාරේ යන කොටවත් සිහි බුද්ධියෙන් යන එක හොඳයි.’

කියමින් පොලිස් පොතේ අවලංගු කළ පැමිණිල්ලට අනු අත්සනක් තැබිය.

කිසිවක් කතා නොකර පොලිසියෙන් පිටතට පැමිණි පසු

‘දැන් ඉතින් මොකද කරන්නේ.’  කියා මම ඇසීමි.

‘බයික් එක බැංකුව ඉදිරිපිට දැම්මේ. රෑ උනාට කරන්නට දෙයක් නැහැ. මේ දැන් වාහනයක් කුලියට අරගෙන යමු.’ ආරි කිවේය.

කළ හැකි වෙනත් කිසිම දෙයක් නොමැති නිසා මම ඔහුගේ යෝජනාවට කැමති වීමි.
කුලී රථයකින් නැවත ගාල්ලට යන විට  රාත්‍රිය දොළහ ට ආසන්නය.

එදින උදේ  ආරිට තවත් සගයෙක් මුණ ගැසී ඔහු සමග කතා කරමින් ගොස් මෝටර් සයිකලය ගැන අමතකවී බස් රථයෙන් ආපසු ගිය බව ඔහු නැවතද මා සමග කියා

‘ඔය වගේ අමතකවීම් කාටත් වෙනවා.’ කියාද කිවේය.

‘මම නිශ්ශබ්දව නොඇසුනා මෙන් සිටියෙමි.’

කුලී රථයකින් බැංකුව අසලට යනවිට මෝටර් සයිකලය වටා පිරිසක් රැස්වී සිටින බව අපි දුටුවෙමු. ඒ අය පොලිස් නිලධාරින් දෙදෙනෙකු සහ බැංකුවේ ආරක්ෂක නිලධාරින්  කිහිප දෙනෙකි.

පිරිස අතරින් පොලිස් නිලධාරියා වෙත ගිය ආරි ‘සමාවෙන්න රාළහාමි. මේ බයික් එක මගේ.’ කියා බැගෑපත් විය. 

‘හා ..... හා.... ඔයාද අයිතිකාරයා. මෙච්චර වෙලා මොන .......... ගියාද ? අපට පණිවුඩයක්‌ ලැබුනා මේ  මෝටර් සයිකලය අත් අඩංගුවට ගන්නටය කියළා.’ පොලිස් නිලධාරියා කිවේය.

‘රාලහාමි මේ පොඩි අමතකවීමක්   උනේ. මෙන්න මගේ විස්තර’ කියා ආරි ඔහුගේ ලියවිලි පොලිස් නිලධාරියාට පෙන්වා මෝටර් සයිකලය නිදහස් කර දෙන ලෙස ඉල්ලා සිටියේය.

‘එහෙම කරන්නට බැහැ. මේක ඉහළින් ආපු නියෝගයක්. පොලිසියට යන්නට වෙනවා.’ කි පොලිස් නිලධාරියෙක් මෝටර් සයිකලයේ යතුර ඉල්ලා ගත්තේය.

නැවත ගාල්ල පොලිසියේ රස්තියාදු  වීමට සිදුවිය. අප දෙදෙනාගෙන් සහ බැංකු ආරක්ෂක නිලධාරියාගෙන් කට උත්තර ලබාගෙන  මෝටර් සයිකලයේ යතුර අයිතිකරුට භාර දෙන විට අලුයම දෙක පසුවී තිබිණ.

මෙය නොසැලකිල්ල නිසාම නොව අවධානයෙන් තොර බව නිසාම සිදුවන අමතකවිමකි. Absent-mindedness යනුවෙන් හඳුන්වනුයේ මෙවැනි අමතක වීම්ය. මිට පෙර සහ පසුවත් අමතක විම් නිසා ඔහුට සිදුවී ඇති බොහෝ සිද්ධි ගැන කල්පනාකාර බලන විට මෙය ඔහුගේ චරිත ලක්ෂණයක් බව පැහැදිලි වේ.

මෝටර් සයිකලයේ අයිතිකරු වන ආරි ඔහුගේ දරුණු අමතක වීම  නිසා දැඩි අසහනයකට පත්විය. මධ්‍යම රාත්‍රියේ කුලී වාහනයකින් යාම සඳහාත් ලොකු මුදලක් වැය කිරීමට සිදුවිය.


බොහෝවිට මෝටර් සයිකලයේ පිටුපස ආසනයේ යන මමද මිත්‍රයා වෙනුවෙන්, නිදි වරමින් හාස්‍යය මුසු  පිඩාවක් වින්දෙමි.   

11 comments:

  1. ඔයින් බේරුනා මදැයි. ගාල්ලට යනකොට ඇත්තටම බයික් එක උස්සල තිබුණනං තමයි වැඩේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      දැන් කාලෙනම් පැය හත අටක්, පොලිසියෙන් ඇවිත් බලන තුරු කිසිම භාණ්ඩයක් උස්සන්නේ නැතිව ඔහොම පාරේ තිබෙන්නේ නැහැ.

      Delete
  2. හම්මේ....හ්.. ඔයින් ගියා මදැයි.. බයිසිකලය නතර කල තැන මතක්වීම පොලීසියටත් ගොස් බස් ටිකට් එක දකින අවස්තාව දක්වා පමාවීමට හේතුව නම් වටිනා බයිසිකල් එක කොයි මොහොතේ හෝ හොරෙක් ගෙනයාවීයැයි යටි සිතේ පැලපදියම් වී තිබූ මූලික උපකල්පනයයි.. එහෙම උනාම එතනින් එහාට හිතන්න ඉඩ දෙන්නේ නෑ.. ඒකත් එක්තරා මානසික රෝගී අවස්තාවක් .. කලඹල අවස්තාවක නිදහස් මනසකින් කටයුතු කරන්න අපිට ඉඩ දෙන්නේ නැත්තේ මේ වගේ හිතේ පැලපදියම් වෙච්චි සිතුවිලි..
    අදත් අගනා කතාවක්.. ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍ර,
      ඔබ සඳහන් කර තිබෙන මුලික උපකල්පන ස්වභාවය මේ සිද්ධියට පාදක වි තිබෙන බව විශ්වාස කළ හැකියි. මෝටර් බයිසිකලය හොරු ගෙනයන්නට ඇතැයි යන මතයේම සිටි නිසා ඔහුට වෙන අයුරකින් සිතන්නට බැරි වෙන්නට ඇති. මගේ මේ මිතුරා පිළිබඳවම තවත් මෙයට වඩා හාත්පසින්ම වෙනස් සිද්ධියක් පසුව පළ කරන්නම්. ඒ පිළිබඳවත් ඔබගේ විග්‍රහය දෙන්න.

      Delete
  3. ඔහොම කට්ටිය ඉන්නව දයා මහත්තය..

    මගෙ යාලුවෙක් එක පාරක් හොන්ඩා සී එම් බයික් එකක් ගත්ත.මමත් ගියා ඌ එක්ක කුරුණෑගල වෙඩිසිංහ එකට බයික් එක ගන්ට. ඒ කරල මම ආපහු වැඩට ගියා වැලිකන්දෙ.

    යාලුවගෙ ගෙවල් වාරියපොල. වාරියපොල කිව්වට එතනිනුත් තව යන්ට ඕන හද්ද වන්නිකරේට. ඕකා ඒ කාලෙ යන්තම්පලාවෙ කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටිය හින්ද සතිපතා ගෙදර යනව. සඳුද පාන්දරම ගෙදරින් ආවත් එක දෙක වෙනව ඔෆිස් එකට එනකොට. අපෙ ලොක්කගෙ ආඩපාලි අහන්ට බැරි හින්දමයි ලෝන් එකකුත් අරගෙන බයික් එකක් ගත්තෙ.

    "මචං උඹ එහෙනං පළයං...මම අනිද්ද උදෙම්ම එන්නං...ඔන්න බලපං ආය මොනවද හත වෙනකොට මම ඔෆිස් එකේ..මේක මරු බාණ්ඩෙ..ඇරල දැම්මෑකි ආය නෑ..."

    ඌ එහෙම කියල කුරුල්ල වගෙ ඉගිලිල ගියා බයික් එකේ කෙල්ල බලන්ට...යන්නෙම් දක්නා සේ මා සිත්ගත්තාවූ ඒ. ලාලනී..බී..ලාලනී...සී. ලාලනී...අන්න ඒ සිංදුවෙ තාලෙට තමයි ගියේ...

    උගෙ කතාව ඇත්තත් තමයි සී.එම්. එක කියන්නෙ හොඳ ස්ටේබල් බයික් එක.ආය මොනවද හාලි ඩේවිඩ්සන් වගෙ තමයි...හෙහ්,හෙහ්,

    ඉතිං සඳුද උදේ අපි සැදී පැහැදී හිටිය මූ බයික් එකේ එනකල් පිළිගන්ට. ඔහෙ නෑ..හත හතාමාර වුනා..අපි අපේ රාජකාරිවලට යන්ට ගියා...

    "මේ හෝතඹුව ඉක්මනට එන්ට ගිහිල්ල ඇණගත්ත වද්ද බං කොහෙහරි"

    අපි එහෙමත් කතාවුනා.. ආය ඉතිං ඒ කාලෙ මොබයිල් ෆෝන්ස් තියා අපේ ඔෆිස් එකට ලෑන්ඩ් ෆෝන් එකක්වත් තිබුනෙ නෑ...සියලු සන්නිවේදන කටයුතු බයි රේඩියෝ සෙට්...

    "වැලිකන්ද කෝලිං බකමූණ..වැලිකන්ද කෝලිං බකමූණ ඕවර් ඇන්ඩ් අවුට්......"

    "බකමූණ කෝලිං වැලිකන්ද බකමූණ කෝලිං වැලිකන්ද ..හූම්ම්..හූම්ම්...හූම්ම්ම්ම්...ඕවර් ඇන්ඩ් අවුට්.."


    ඒ ඔය රේඩියෝ සෙට් දෙබසක්...:)

    දවල් කෑමට ආපහු අපි චමරියට එන්නෙ දොළහමාර වගෙ වෙනකොට. ඒ එනකොටත් මූ නෑ..හවස්වෙනකොටත් මූ නාවොත් අපි හිතාගෙන හිටියෙ වැලිකන්ද පොලිසියටවත් ගිහිල්ල මඟ දිගට තියන පොලිස් ස්ටේෂන් වලින් විස්තර අහන්ට...

    ඔන්න තුන වගෙ වෙනකොට මේ ගස්ගෝනා එනව බෑග් එකකුත් කරේ එල්ලගෙන. පාං කියාගන්ට බැරි සයිස් එකෙං..

    "මොකද බං උනේ? කෝ බයික් එක? ඇක්සිඩන්ට් එකක්වත් උනාද?" අපි කට්ටියම එක පාරම ඇහුව.

    "මාර වැඩේනෙ බං උනේ..."

    "මොකක්ද?"

    "බස් එකේ දඹුල්ල හරියෙ එනකොටනෙ මතක් වුනේ බයික් එක එගොඩහ ඒබරං ලොකු අප්පච්චිලයි ගේ පිටිපස්සෙ දර මඩුවෙයි කියල"


    පලි- උගෙ ගෙදර ගාවට බයික් එක ගන්ට බෑ. ඔය ඒබරං ලොකු අප්පච්චිලයි දරමඩුවෙ තමයි බයික් එක නයිට් පාකිං......

    ReplyDelete
    Replies
    1. ඒ. ලාලනී..බී..ලාලනී...සී. ලාලනී.
      ++++++++++++

      Delete
    2. ස්තුතියි රවී,
      මම හිතාගෙන හිටියේ මෙවැනි දෙයක් සිදුවී ඇති මුල්ම වතාව මෙය විය හැකිය කියලයි. දැන් බලන කොට ඒ චරිත ලක්ෂණයම තිබෙන තවත් අය ඉන්නවානේ. ඔබගේ යාළුවාට ඔය වගේ තවත් සිද්ධි වෙලා නැද්ද? මගේ යාළුවාට සිදුවූ මෙයට වඩා බෙහෙවින් වෙනස් සිද්ද්ධියක් ගැන පසුව ලියන්නම්.
      මට ඔය වගේ තවත් සිද්ධියක් මතක් වෙනවා. විභාග දෙපර්තමෙන්තුවේ අවුරුදු පහලොවක් පමණ වැඩකළ කාර්යාල සහායකයෙක් බොහොම අමරුවෙන් එයාගේ ගම් ප්‍රදේශය වන කළුතර, අධ්‍යාපන කාර්යාලයට මාරුවක්‌ හදාගත්තා. මිනිහා කළුතර වැඩ භාර ගැනීමට නියමිත දිනයේත් අමතක වී කොළඹ විභාග දෙපාර්තමේන්තුවට ඇවිත් පොත අත්සන් කරන්නට හදන කොට තමයි මතක් වෙලා තිබෙන්නේ එදා සිට එයා කළුතර බව.

      Delete