Sunday, 3 September 2017

ජලය සහ ජල පරිහරණය පිළිබඳව අප දැනුවත්ද ?

   පිරිසිදු පානීය ජල පහසුකම් ලැබීම, මිනිස් අයිතිවාසිකමක් බව, 2010 වර්ෂයේදී පැවැත්වූ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමකදී, වැඩි ඡන්දයකින් සම්මත කර ගන්නා ලදී. මෙම යෝජනාවට රටවල් 122 ක් පක්ෂ වූ අතර නවසීලන්තය, ඊශ්‍රායලය, ඩෙන්මාර්කය, ජපානය, එක්‌සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 42 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඡන්දය නොදුන් රටවල මතය වූයේ එවැනි මිනිස් අයිතිවාසිකමක් පිළිබඳව ජාත්‍යන්තර නීති පද්ධතියේ පැහැදිලි සඳහන් කිරීමක් නොමැති බවයි. 

මිට පෙර 1992 වසරේදී දී බ්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ නුවරදී පවත්වන ලද එක්සත් ජාතීන්ගේ පාරිසරික සහ සංවර්ධන සමුළුවේදී, න්‍යාය පත්‍රය 21 (Agenda 21) අනුව, මාර්තු මස 22 වන  දින ජගත් ජල දිනය ලෙස යෝජනා කරන ලදුව, 1993  මහා මණ්ඩල සැසි වාරයේදී සම්මත කර ගන්නා ලදී. ඉන්පසු, සෑම වර්ෂයකම මාර්තු මස 22 දිනය ලෝක ප්‍රජාව විසින් තම රටවල රාජ්‍ය නායකත්වයේ අනුග්‍රහය යටතේ, ජලය සහ ධරණීය සංවර්ධනයට අදාල, පිරිසිදු පානීය ජලය සහ ජල පහසුකම් ලබාදීම වැනි ජල වැඩ සටහන් සඳහා ප්‍රමුඛතාව ලබාදීමද මෙදිනදී කෙරෙන සුවිශේෂී කාර්යයකි.

  මීට දශක තුනකට පමණ ඉහතදී පවත්වන ලද, මා විසින් සංවිධානය කරන ලද ගුරු සේවාස්ථ පුහුණු සැසියකදී, ජලය පිලිබඳ වැදගත් කරුණු පොතපතින් සොයාගැනීම, කණ්ඩායම් පැවරුමක් ලෙස දෙන ලදි. එහිදී ලබාගන්නා ලද තොරතුරු අදටද බොහෝ සෙයින් වැදගත් කමක් ඇති නිසා මෙසේ සටහනක් තබමි. (එවකට අන්තර්ජාල පහසුකම් ඉතාමත් සීමිත විය)
ජල සංරක්ෂණය සහ ජල කළමනාකරණය පිළිබඳව අපගේ මුතුන් මිත්තන් නව තාක්ෂණයට බොහෝ දුරට සමීප ක්‍රමවේද දැනගෙන සිටි බවටද  අපගේ ඉතිහාසය සාක්ෂි දරයි.
ජලය පිළිබඳව පොත් පත් වලින් ලබාගෙන ඇති  වැදගත් කරුණු කිහිපයක් පහත දැක්වේ.

  • ජල අණුවක හයිඩ්‍රජන් පරමාණු දෙකක් සහ ඔක්සිජන් පරමාණු එකක් තිබේ. මෙම         සංඝටක දෙකම වායු වුවත් එම පරමාණු සංයෝජනයෙන් ලැබෙන ජල අණුව ද්‍රවයකි 
  • ජලයේ සංයුතිය  ආකාර කිහිපයකින් 
  • සමස්ත ලෝකයේම තිබෙන මිරිදියෙන්  70 % පමණ ඇත්තේ ග්ලෙසියර් අයිස් කුට්ටි       වලය.
  • ද්‍රව්‍ය වැඩිම සංඛ්‍යාවක් ද්‍රාවණය වන එකම ද්‍රාවකය ජලය වේ.(සාර්වත්‍ර ද්‍රාවකය)
  • ලෝක ජනගහනයෙන් මිලියන 780 කට පමණ පානය කිරීමට සුදුසු ජලය නොලැබේ.බෝතල් කළ ජලය නිපදවීම සඳහා ලොව පුරා  අවුරුද්දකදී වැය කරන විශාල  මුදලින් අඩක් ජල ව්‍යාපෘතියක යෙදවුවහොත්  මුළු ලෝකයේම පානීය ජල අවශ්‍යතාවෙන් පෙලෙන සියලු දෙනාටම ගුණාත්මක ජලය සැපයිය හැකිය.
  • හතර දෙනෙකුගෙන් යුත් පවූලකට දිනකට අවශ්‍ය ආහාර සැපයීම සඳහා ජලය ගැලොම් 6800 ක්‌ (ලීටර් 30,000 පමණ) වැය වේ. (කලින් ලිපියක සඳහන් කරන ලද ජල පා සටහන අනුව 

  • අපගේ අහාර පාන කිහිපයක 'ජල පා සටහන්' ජල ලීටර වලින් 
  •  පිපිඤ්ඤා ගෙඩියක 95 % පමණ ජලය තිබේ.
  • මිනිසෙකුට ආහාර නොමැතිව සති කිහිපයක් ජීවත් විය හැකි වූවත් ජලය නොමැතිව සතියක්වත් ජීවත් විය නොහැකිය.
  • සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල මිනිසා පෙළෙන ආබාධ වලින් 80% පමණ අනාරක්ෂිත ජලය නිසා වැළඳෙන ඒවාය.
  • ජලය මිදී අයිස් වන විට 9 % ක්  පරිමාව වැඩිවේ.
  • වානේ ටොන් එකක් නිපදවීම සඳහා ජලය ටොන් 300 ක් අවශ්‍ය වේ. (ජල පා සටහන අනුව )
  • සාමාන්‍ය  වැඩුණු මිනිසෙකු ප්‍රාශ්වාස කිරීම මගින් දිනකට ජලය මිලි ලීටර් 250 ක් පමණ පිට කරයි.
  • ජල කාර්යක්ෂම පිඟන් සේදීමේ යන්ත්‍රයක එක් වරකට ජලය ලීටර් 15 ක් පමණ වැය වන අතර  එම කාර්යයම අතින් කිරීම සඳහා  ජලය ලීටර් 100  ක් පමණ වැය වේ.
  • කෝපි කෝප්පයක ජල පා සටහන තේ කෝප්පයක ජල පා සටහන මෙන් සිව් ගුණයකි.
  • ලෝකයේ විවිධ මිනිස් කණ්ඩායම් අතර ක්‍රි. පූර්ව 3000 සිට මේ දක්වා ජලය සම්බන්ධ අර්බුද නිසා ගැටුම් 265 ක් පමණ සිදුවී තිබෙන බව වාර්තා වේ.
  • එකම තත්ත්ව යටතේ උණු ජලය සිසිල් ජලයට වඩා ඉක්මනින් මිදේ.
  • මුළු ලොව තිබෙන සියලුම ජලය ලීටර් 5 ක ජෝගුවකට පුරවා තිබේයැයි සිතුවොත් අපට බීමට ඉතිරි වනුයේ ජලය මේස හැඳි එකක් පමණකි.
  • ලෝකයේ ඇති මිරිදියෙන් 90 % ක් පමණ ඇත්තේ ඇන්ටාක්ටික් මහාද්වීපයේ අයිස් වලය.
  • වායු ගෝලයේ උෂ්ණත්වය පාලනය කරනුයේ ජලයයි.
  • පෘථිවියේ වාසය කරන බිලියන 6.8 ක ජනගහනය සඳහා ඇත්තේ එහි තිබෙන ජලයෙන් 0.007 % ක ප්‍රමාණයක් පමණකි.
  • අවුරුදු මිලියන ගණනකට පෙර පෘතුවියේ තිබුණු මුළු ජල ප්‍රමාණයම විවිධ ආකාරයෙන් අදටත් තිබෙන බව සත්‍යයකි.
  • අවුරුදු 100 ක් තුලදී එක් ජල අණුවක්, අවුරුදු 98 ක් සාගරයේද, මාස 20 ක් අයිස් ලෙසද, සති දෙකක් පමණ විල්, වැව්, ගංගා, ඇළ, දොළ ආදියේද, සතියකට අඩු කාලයක් වායු ගෝලයේද සැරි සරයි.
  • අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි ජල ප්‍රමාණයක් පානය කිරීමද  ශරීරයට අහිතකරය.
  • ලෝකයේ සියලුම ගංගා වල ඇති ජල ප්‍රමාණයට වඩා ජලය වායු ගෝලයේ තිබේ.
  • ඇමෙරිකා එක්සත් ජනපදයේ නයගරා දිය ඇල්ලේ එක් තත්පරයකදී ඇද හැලෙන ජල ප්‍රමාණය ගැලොම් 750,000 පමණ වේ. (ලීටර් 3,000,000 පමණ)
  • ජාත්‍යන්තර දේශ සීමා, මායිම්  ඔස්සේ හෝ  දේශ සීමා හරහා ගලා බසින, ගංගා 260 ක් පමණ ලෝකයේ ඇත.
  • ලෝකයේ වාර්තාගත හෙක්ටෙයාර් බිලියන 1.4 ක් පමණ වන වගා බිම්  වලින් 60 % ක්  පමණ වර්ෂා ජලයෙන් පෝෂණය වන අතර ඉතිරි 40 % ට ජලය ලබා ගනුයේ වාරි මාර්ග ඔස්සේය.
  • දළ වශයෙන් ගණන් බලා ඇති පරිදි අප රටෙහි නළ ජලය පාවිච්චි කරන නිවාස වලින් 10 % ක පමණ ජල බින්දුව බැගින් හෝ අපතේ යන බව පෙනේ.
  • තත්පරයකට ජල බින්දුව බැගින් අපතේ යන ජල කරාමයකින් වර්ෂයකදී ජලය ලීටර් 3000 ක් පමණ අපතේ යනු ඇත.
  • එක්සත් ජාතීන්ගේ අධ්‍යයනයකට අනුව 2025 වන විට ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකකට පමණ දැඩි ජල හිඟයකට මුහුණ පෑමට සිදු වනු ඇත.
  • එක් බීර වීදුරුවක්‌ නිෂ්පාදනය සඳහා ජලය ගැලොම් 20 ක් (ලීටර් 90 ක්) පමණ වැය වනු ඇත. මෙය බීර වීදුරුවක ජල පා සටහනවන්නේය.
ජලය මහඟු සම්පතක් නිසාත්, මිනිසාගේ අනාගතය තීරණය වනුයේ ප්‍රධාන වශයෙන්ම ජලය මත නිසාත්, මුළු ලෝක ප්‍රජාවගේම අවධානය ජල සම්පත සුරැකීම කෙරෙහි යොමු කළ යුතු නිසාත් මාර්තු මාසයේ 22 දින ලෝක ජල දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය  විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

වර්තමාන ලෝක ආර්ථිකය මුහුණ පා තිබෙන උග්‍රතම ගැටලුව, ජල අර්බුදය බව, 2014 වර්ෂයේදී, පැරිස් නුවර පවත්වන ලද ජල සම්මුති සමුළුවේදී, තීරණය කරන ලදී. එහිදී සාකච්ඡා වූ පරිදි, ඉදිරි දස වසර තුලදී ලෝකයේ ජීවත් වන සෑම කෙනෙකුටම ජල හිඟය, ගංවතුර, යටිතල පහසුකම් අඩාල වීම, ව්‍යාපාර බිඳ වැටීම, ආර්ථික අර්බුද වැනි ජලයට අදාල ව්‍යසන එකකට හෝ කිහිපයකට මුහුණ පෑමට සිදුවන බවට ඉඟියක් පළ කරන ලදී.

ගෙදර දොර එදිනෙදා  කටයුතු සඳහාත්, පානය කිරීම සඳහාත් ජලය වැදගත් වන්නා සේම බල ශක්තිය නිෂ්පාදනය සඳහාත් ජලය අවශ්‍ය වේ. දැනට ගෝලීය ජල භාවිතයෙන් 15 % පමණ බල ශක්ති ජනන ක්‍රියාවලියන් සඳහා වැය වන බව ගණන්  බලා තිබේ. ලෝක බැංකුව මගින් කරන ලද ගණනය කිරීම් වලට අනුව 2035 වනවිට ජගත් බල ශක්ති අවශ්‍යතාව 35 % කින් වැඩිවන විට, බලශක්ති ජනනය සඳහා ජලය  වැය වීම 85 % කින් වැඩි වනු ඇත.

බල ශක්ති විශේෂයක් ලෙස විදුලිය නිෂ්පාදනය කිරීම පිණිස ජලයේ විභව ශක්තිය, ඉන්ධන හෝ න්‍යෂ්ටික බලය වැනි කුමන ක්‍රමයක් යොදා ගනු ලැබුවත් එම යන්ත්‍ර සුත්‍ර සිසිල් කිරීම සඳහා ජලය අවශ්‍ය වේ.

මෙසේ කල්පනා කර බලන විට ජලය කෙතරම් මහඟු සම්පතක්ද යන්න හොඳින් පැහැදිලි වේ. අපගේ දෛනික ජීවිතයේ, උදේ නින්දෙන් පිබිදුනු වේලේ සිට රාත්‍රියේ ආපසු නින්දට යන තුරු කරන කියන සෑම  ක්‍රියාවකදීම කෙලින්ම ජලය අවශ්‍ය වන ක්‍රියාවන් ඇත්තේ කිහිපයක් වුවත්, සෑම ක්‍රියාවක් සඳහාම සැඟවුණු හෝ අතාත්වික ජල පරිමාවක් තිබේ. මේ නිසා අප සෑම  කෙනෙක්ම ජලය හෝ වෙනත් භාණ්ඩ හෝ සේවා පරිහරණයේදී  අවබෝධයකින් යුතුව කටයුතු  කර ජල නාස්තිය වලක්වා ගතහොත්  දිය පිපාසයෙන් පෙළෙන අපගේ මිහිතලය වෙනුවෙන් උපරිම යුතුකම ඉටු කළා වනු ඇත.
 
ජල දූෂණ මං අහුරමු.  ජලය අපතේ නොයවමු.  මහඟු ජල සම්පත සුරකිමු.


10 comments:

  1. Replies
    1. ස්තුතියි තඩි මල්ලි,

      Delete
  2. Replies
    1. ඔබටත් ස්තුතියි ඩියෝන්,

      Delete
  3. වැදී සෛල තුළ නිරන්තරයෙන් සජල තත්වෙට පත්කර
    බැඳී සිරුර හා සිටින සගයෙකි වටී තරමට මහමෙර
    දිදී අවධානයම ජලයට එළවමුද අපි කරදර
    මදී දැණුවත් සමාජෙම තව රකිමු ජලතල සුමිතුර....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,
      කැලය සුන්කර දමා ඇත අද පරිසරයෙ නැහැ තිබුණු මනහර
      නිලය තිබුනත් එයින් පල නැහැ නිරතුරුව ඇති වෙතොත් හිරිහැර
      බලය යොදවා උනත් කම් නැත ලබා ගන්නට ලොවක් තිරසර
      ජලය ගැන අප හිතනවා මදි. එයින් කාටත් ලැබෙයි කරදර

      ඔබට ජයම !

      Delete
  4. හොඳ විස්තර ටිකක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න.

      Delete