පරිසර හිතකාමී සෑම කෙනෙක්ම නිර්මාංශ අහාර ගන්නා
අය විය යුතු ද? නොඑසේනම් නිර්මාංශ අහාර ගන්නෝ
සියලු දෙනාම පරිසර හිතකාමීන්ද?
මෙය පරිසර අධ්‍යාපනය සහ පරිසර සංරක්ෂණය ගැන
උනන්දුවක් දක්වන සෑම කෙනෙකු විසින්ම විසඳා ගතයුතු, එසේම එහි සීමා ගැන තීරණය කරගත
යුතු ගැටළුවක් ලෙස දැක්විය හැකිය.
පරිසර අධ්‍යාපන වැඩ සටහනකදී අප කණ්ඩායමකට මුහුණ
පෑමට සිදුවූ එබඳු ගැටළුවක් පිලිබඳ සටහනකි මෙය.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දියත් කරනු ලැබූ
ද්විතීය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතියේ පරිසර අධ්‍යාපන උපදේශක ලෙස සේවය කරද්දී,
පරිසර අමාත්‍යාංශයේ පවත්වනලද වැඩ මුළුවකට සහභාගිවීමට මා නම් කරන ලදී. එම වැඩ
මුළුවේදී දින දෙකක විවිධ පරිසර පද්ධති නිර්ක්ෂණ චාරිකවකටද සහභාගී වීමට සිදුවිය.
අට දෙනෙකුගෙන් යුක්ත අප කණ්ඩායම භාරව ගියේ විශ්ව විද්‍යාලයක පරිසර විද්‍යාව පිළිබඳ
ජේෂ්ඨ කථිකාචාර්යවරයෙකි. මෙම සංචාරයේදී,
දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජෛව විවිධත්ව සංරක්ෂණය පිලිබඳ බොහෝ කරුණු අධ්‍යයනය කිරීමට
හැකිවිය. දෙවන දිනයේ දිවා භෝජනය සඳහා අපට
කථිකාචාර්යවරයාගේ ඥාතියෙකු විසින් ආරාධනා කර තිබිණ. ඔහු බලංගොඩ ප්‍රදේශයේ වතු අධිකාරිවරයෙකු වන අතර
දිවා ආහාරය සකස් කර තිබුණේ ඔහුගේ නිල නිවාසයේය.
කථිකාචාර්යවරයා විසින් අප හඳුන්වා දුන් පසු, ටික
වෙලාවක් පිළිසඳරේ යෙදී සිටි අපි, දිවා ආහාරය සඳහා හිඳ ගතිමු.
‘අද
අලුත් මාළු සොයා ගන්නට බැරි උනා. ඒ නිසා ටින් මාළු තෙම්පරාදු කරලා සකස්
කළා.’ කි ගෙහිමියාද අප සමග අහාර ගැනීම
පිණිස හිඳ ගත්තේය.
විවිධ ආකාරයට සකස් කළ එළවලු ව්‍යංජන රාශියක්, එළවලු සලාදයක්, සුප් භාජනයක්ද සමග තම්බන ලද එළවලු ද වෙනම භාජනයක අසුරා හිබිණ. නිවසේ කෝකියා විශාල
බඳුනක දමන ලද තවත් දුම් දමන කුකුල් මස් කරියක් ගෙනවිත් මේසයේ පසෙකින් තැබිය.
‘මස් නොකන අයත් ඉන්නවද?’ කියා ඔහු ප්‍රශ්න කළ විට
අප අතර සිටි නිර්මාංශික දෙදෙනා තමන් මස්
නොකන බව කිහ.
‘ඒක හොඳයි. මමත් මස් කන්නේ නැහැ.’ කි ඔහු
‘එළවලු ඕනතරම් කන්න.’ කියා එළවලු බඳුන ඔවුන් වෙත ට
කිට්ටු කළේය.
ගෙහිමියා
නිර්මාංශ කෙනෙක් බව දැන ගැනීමෙන් පසුවත්,
ආගන්තුක අප මස් ආහාරයට ගැනීම සුදුසුද යන්න මට මහත් ප්‍රහේලිකාවක් විය. අන්
අයටද එසේම සිතෙන්නට ඇත.
තව ස්වල්ප වෙලාවකින් කෝකියා දුම් දමමින් තිබෙන
ඉමිහිරි සුවඳක්ද සහිත තවත් බඳුනක් පසෙක
තිබුණු කුඩා මේසය මත තැබිය.
එය ගෙනා පසු ගෙහිමියා තම ඥාතියා වන
කථිකාචාර්යවරයාට කනට කිට්ටු කර රහසින් යමක් කිවේය.
මඳ සිනහවක් පෑ ඔහු,
‘බෑ.. බෑ... බෑ...., මම නම් ප්‍රතිපත්තියක්
වශයෙන් දඩ මස් කන්නේ නැහැ. මේ මහත්වරුන්ගෙනුත් අහලා බලමු.’ යයි කියා
අප දෙස බලා. ඉතාමත් සිහින් හඬකින්, නොකැමැත්තෙන් මෙන්,
‘මුව මස් උයලා තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවනම්
කන්න.’ කීවිට
අප එකිනෙකාගේ මුහුණු දෙස බැලුවෙමු.
කිසිවෙකු කිසිවක් කතා නොකළහ.
දින දෙකක් තිස්සේ ජෛව විවිධත්ව සංරක්ෂණය පිලිබඳ
නොයෙකුත් පැතිකඩ ගැන විවිධ ප්‍රායෝගික අත්දැකීම් ලැබූ අපි, වඳවී යන තර්ජනයට මුහුණ
පා සිටින සතුන් ගැන විශේෂ අවධානයක් යොමු කළෙමු. ශ්‍රී ලංකාවට ආවේනික තිත්මුවා
දඩයම් කිරීම සහ වාසස්ථාන අහිමිවීම නිසා වඳවීමේ තර්ජනයට තදින්ම මුහුණ පා සිටින බව
පසුගිය දින දෙකෙහිදී කිහිප වරක්ම සකච්ජා කළෙමු.
අද, කවුරුන්හෝ, එම අහිංසක තිත් මුවෙකුගේ දිවි
හානිකර ලබාගන්නා ලද මස් වලින්, මෙම නිවසේ සකස් කළ ව්‍යංජන බඳුනක් ආහාරය සඳහා අප ඉදිරියේ තබා ඇත.
අප කණ්ඩායමේ නායකයා ප්‍රතිපත්තියක් වශයෙන් එය
මුලින්ම ප්‍රතික්ෂේප කළේය. කණ්ඩායමේ දෙදෙනෙක් නිර්මාංශ ආහාර ගන්නා අය වුහ. ඉතිරි අප සය දෙනාද, ප්‍රතිපත්ති
ගරුකව එම මස් ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප
කළෙමු. ගෙහිමියාත් නිර්මාංශී අයෙකි. එසේනම් නීති විරෝධිව දඩයම් කරන ලද අහිංසක
මුවෙකුගේ මස් බව ඔහු දැනුවත්ව සිටියදීත්
ආගන්තුකයින්ට සංග්‍රහ කිරීම සඳහා සකස් කළේ කුමන හේතුවක් නිසාද? අප කෑදර කමින් එම මස්, රස කර කර භුක්ති විඳියයි
ඔහු සිතන්නට ඇද්ද?. මේ සියල්ල අපට මහත් ප්‍රහේලිකාවක් විය.
සොබා දහම සුරැකීමේ ජාත්‍යන්තර සංවිධානය (International Union for Conservation of Nature – IUCN) විසින් සකස් කරනු ලබන රතු දත්ත පොතෙහිද සටහන්වී
ඇති, වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති, ශ්‍රී ලංකාවේ තිත් මුවා, දඩයම් කිරීම නීතියෙන්
දඬුවම් විඳිය හැකි වරදකි. මුව මස් විකිණීම, ළඟ තබාගැනීම, ආහාරය සඳහා සකස් කිරීම
ආදී සියල්ලම නීති විරෝධිය. නීතියෙන් තහනම් කර නැතත්, එම මස් බුදින අයද වරදෙහි
කොටස් කරුවන් වනු ඇත.
කෙසේ වුවත් වතු පාලක ඥාතියා එතරම් දුරට සිතන්නට
නැත. පැමිණෙන අමුත්තන්ට ඉහලින්ම සංග්‍රහ කිරීමට අවශ්‍ය බව ඔහු සිතුවා විය හැකිය.
අප සියලු දෙනාම මහත් අසීරු තත්ත්වයකට පත්වූ බව දුටු ඔහු, ඒ පිලිබඳව අප සැමගෙන්
සමාව අයැද සිටියේය.
අප නායක කථිකාචාර්යවරයා ඔහුට සියල්ල විස්තර කරදී අප නිරත වී සිටි කාර්යය
මනාව පැහැදිලි කර දුන්නේය.
නිර්මාංශ ආහාර රටාව ගැනද ඔහු කාලින තොරතුරුද සහිත
පැහැදිලි කිරීමක් කරන ලදී. ඔහු පළ කළ අදහස් මෙසේ දැක්විය හැකිය.
“මිනිස් ශිෂ්ඨාචාරයේ මුල් අවදිවල සිටම මිනිසා අහාරය සඳහා වන සතුන්
දඩයම් කිරීමට සහ මත්ස්‍යයින් ඇතුළු වෙනත් ජලජ ජීවීන් අල්ලා ගැනීමටත් පටන් ගෙන ඇත.
පසුව, භෝග වර්ග වගා කිරීමට පුරුදු වූ ඔහු, ප්‍රධාන වශයෙන් කිරි, ලෝම සහ සම්
ලබාගැනීම සඳහා සතුන් ඇතිකිරීමටද යුහුසුළු විය. ඒ සමගම වන සතුන් දඩයම් කිරීමද කරගෙන
යන ලදී.
තාක්ෂණ දියුණුවත් සමගම සතුන් ඇති කිරීමද විශාල
වශයෙන් දියුණුවී ගව, බැටළු සහ එළු පට්ටි
ආරම්භ විය. මේවා මගින් කිරි සහ කිරි ආහාර
නිෂ්පාදන, විවිධ ආකාරයට සකස් කල මාංශමය ආහාර, බැටළු ලොම් වලින් සකස් කල ඇඳුම ආදිය
ලොව ප්‍රචලිත වන්නට විය. ඇතිකරන සතුන් සඳහා සුදුසු ආහාර සැපයීමට විශාල තණබිම් අවශ්‍ය විය. තණබිම්
සකස් කිරීමට වනාන්තර හෙළි පෙහෙළි කිරීමට සිදුවිය. මෙසේ වනාන්තර සිමා වන විට වන
සතුන්ද වඳ වීමේ තර්ජනයට මුහුණ පෑහ.
මේ වන විට, රටෙහි මිනිස් ගහණයට වඩා කිහිප ගුණයක්ම
ගවයින් සිටින රටවල් කිහිපයක්ද ලෝකයේ ඇත, දකුණු ඇමෙරිකාවේ උරුගුවේ රාජ්‍යයේ මිනිස්
ජන ගහනය මිලියන තුනක් පමණ වන අතර රටෙහි ගව ගහනය මිලියන දොළහක් පමණ වේ.
මිනිසා විසින් පරිසර සමතුලිතතාවය සහ ජෛව
විවිධත්වය පිළිබඳ හොඳින් අවබෝධ කර ගැනීමෙන් පසුව වනජීවී සංරක්ෂණය පිළිබඳව සිත්
යොමු කරන ලදී. අප්‍රිකානු මහාද්වීපයේ සමහර රටවල ආහාරය සඳහා දඩමස් මත යැපෙන ජන කොටස් තවමත් සිටිති. ඔව්හු
දඩ මස් හඳුන්වනුයේ ‘කැලෑ මස්’ (bush meat)
ලෙසටය. ලෝකයේ සෑම රටකම පාහේ දැනට වනජීවී සංරක්ෂණය සඳහා රක්ෂිත වනාන්තර සහ අධි
රක්ෂිත වනාන්තර කලාප වෙන්කර තිබේ.
ශ්‍රී ලංකාවේද දැනට සම්පුර්ණ භුමි ප්‍රමාණයෙන් 29
% පමණ වනාන්තර තිබේ. මෙයින් සෑහෙන ප්‍රතිශතයක් රක්ෂිත වනාන්තර ලෙස නම්කර ඇත. ඒ
සමගම වන සතුන් දඩයම් කිරීම පිළිබඳවද දැඩි
නීති රීති පනවා තිබේ.
රංචු වශයෙන් ජීවත්වන, ශ්‍රී ලංකා තිත්මුවා රක්ෂිත
වනාන්තරවලට පමණක් සිමා නොවී, මිනිසා ජීවත්වන ගම් බිම් අසලටද පැමිණේ. සමහර
අවස්ථාවලදී එසේ පැමිණෙන සතුන් කුරිරු මිනිසාගේ උගුල් වලට හෝ තුවක්කු උණ්ඩයට ලක්වේ.
මෙම අවාසනාවන්ත තත්ත්වය හොඳින් තේරුම් ගතහොත්
දඩමස්, විශේෂයෙන්ම මුව මස්, ආහාරයට
ගැනීම ප්‍රතික්ෂේප කළ හැකිය.
ආගමික පසුබිම හෝ අහිංසාවාදී බව නිසා, නිර්මාංශ
ආහාරයට පුරුදුවූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ලෝකයේ විවිධ රටවල ජීවත්වෙති. එසේම, පරිසර
සංරක්ෂණය ගැන දැඩි උනන්දුවකින් සිත් යොමු
කරන අතරම, නීති විරෝධී නොවන මස් මාංශ
අනුභව කරන අයද සිටිති.
තමන්ගේ සිතුම් පැතුම් මත, මස් මාශ ආහාරයට ගැනීම
හෝ නිර්මාංශ වීම යන දෙකෙන් එකක් තෝරා ගැනීම සඳහා කාටත් නිදහස තිබේ.”
කථිකාචාර්ය තුමාගේ කෙටි දේශනය ඉතාමත් කාලින අදහස්
ප්‍රකාශ කිරීමක් විය.
පරිසර සංරක්ෂණය සඳහා මස් මාංශ අනුභවයෙන් තොරවීම එක් අංශයකි.
අවිහිංසාවාදීව මස් මාංශ අනුභවයෙන් වැලකීම තවත්
පැත්තකි.
ප්‍රතිපත්ති ගරුකව දඩමස් අනුභව නොකිරීම වනසතුන්
කෙරෙහි අනුකම්පාව දැක්වීමකි.
ඉතාම වටිනා සටහනකි
ReplyDeleteවැව් ඉස්මත්ත,
Deleteඔබට ස්තුතියි
කිරි මස් මාලු සිරුරට ගුණ ඇති නේද
ReplyDeleteපිරි පුන් අයෙක් කෑවොත් එය වරදක්ද
දිරි ගෙන පරිසරේ රැක්කොත් හොඳ නේද
පරි සර රකින්නා මස් වැළකිය යුතුද
ජයවේවා!!!
ස්තුතියි දුමි,
Deleteගහ කොළ සතා සීපාවන් මනහාර
මතු පරපුරට දැක ගැනුමට ඉඩ නෑර
වනසා දැමුවහොත් නොම දැක හරි පාර
කවදා දකින්නද? දියුණුව තිරසාර
ඔබට ජයම !
වඳවී යන සතුන් අප ආරක්ශා කල යුතුයි....විවාදයක් නෑ..හැබැයි ඉතින් උන් මේ ලෝකෙ ඉන්නෙ ආහාර දාමයෙ කොටසක් විදිහට නේ..ඉතින් කනවනම් කෑවත් ඇති වරදකුත් නෑ
ReplyDeleteතඩි මල්ලි,
Deleteඔබ හරියට හරි. මා මේ සටහන ලිවීමට සිතුවේ ප්‍රායෝගිකව අත්දුටු සිද්ධිය ආශ්‍රිතව වනජීවී සංරක්ෂණය පිළිබඳව ඇති දුර්මතය ගැන සැලකිලිමත් වීමටයි. ජෛව ලෝකයේ විවිධත්වය රඳා පවතිනුයේ අහාර දාම සහ ආහාර ජාල මත බව සත්‍යයක්. මිනිආද එම සංසිද්ධි වලට යම්කිසි ප්‍රමාණයක දායකත්වයක් සපයනවා. එසේ වුවත් මිනිසාගේ නොමිනිස් කම නිසා සිදු කරන පරිසර හානි බොහෝ විට නැවත යථා තත්ත්වය ගෙන ආ නොහැකියි.
වනාන්තරවල ජීවත්වන සතුන් අසීමිත ලෙස මිනිසුන්ගේ ග්‍රහණයට අහුවෙනවනං ඒක වරදක් තමයි. ඒත් ආහාර දාමයේ හැටියට උං වෙන සතෙකුගේ හෝ ගොදුරක් විය යුතුයි.
ReplyDelete'මස් පිණිස ඇති කරන සතුන්' ආහාරයට ගැනීම පරසර සංරක්ෂණයට බලපෑමක් කරන එකක් නෑ මම හිතන්නෙ.
ස්තුතියි ප්‍රසන්න,
Deleteආහාර දාමයකදී හෝ ආහාර ජාලයකදී එක සතෙකු තවත් සතෙකුගේ ආහාරය වීම ස්වාභාවික සංසිද්ධියකි. පරිසර සමතුලිතතාවය රඳා පවතිනුයේ මේ නිසයි. මිනිසා මෙම සමතුලිතතාවයට අනිසි ලෙස ඇතුල් වූ විට විශේෂයෙන්ම විශාල වශයෙන් සතුන් දඩයම කිරීම හෝ වන විනාශය සිදු කරන විට ඉතාමත් සංවේදී පරිසර සමතුලිතතාව අකර්මන්‍ය වී අනර්ථකාරී ප්‍රතිඵල ලැබෙනවා. වනජීවී සංරක්ෂණයේ ප්‍රධානටහම අරමුණ වනුයේ ජාන සමුච්චය (Gene pool) නොනැසී පවත්වා ගැනීමයි. මෙය දුර්වල වු විට හෝ ශුන්‍ය වූ විට සත්ත්ව හෝ ශාක විශේෂය වඳවී යාමට තුඩු දේ.
තිත් මුවා කොහොම වෙතත් වල් ඌරන්,මොණරුන් ඇතුළු බොහෝ සත්වයින් ඉන්නවා තම ප්‍රජාව තුල අධික ලෙස වර්ධනය වූ එවැනි සතුන්ගේ මස් ආහාරයට ගන්න කැමති අයට ඒසඳහා ඉඩ ලබා දිය යුතුයි.විශේෂයෙන් නීති පනවා සංරක්ෂණය කිරීමට අවශ්‍ය නොවන සතුන් සම්බන්ධයෙන් රජයට පුළුවන් ඒ වැනි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න.
ReplyDeleteස්තුතියි මනෝජ්.
Deleteවඳවී යාමේ තර්ජනයට තවමත් හසුවී නැති වල් ඌරන්, මොනරුන් වැනි සතුන් ගැන වුවද ඔබ කියන පරිදි ලිහිල් තත්වත්යක් අනුගමනය කළහොත් ඔවුන්ද ඉතා ඉක්මණට රතු දත්ත පොතට ඇතුලත් වීම නොවැලක්විය හැකියි. මෙයට සම්බන්ධ ක්‍රියාදාමයන් පවතිනුයේ විෂම චක්‍රයකය. (vicious circle) . තාක්ෂණ සහ වෛද්‍ය විද්‍යාවේ දියුණුව සමග මිනිසාගේ පරම ආයුෂ වැඩිවෙමින් තිබේ. ජනගහනයද ශිඝ්‍රයෙන් වැඩිවේ. මිනිස් වාසස්ථාන, මහාමාර්ග, සංවර්ධන කටයුතු ආදිය සඳහා වනාන්තර විනාශ වේ. ඉතිරි වනාන්තර වලද ඉසුලුම් ධාරිතාව (carrying capacity) අඩු වෙමින් පවතී. මේ නිසා වන සතුන් අතරද ජීවත්වීමේ තරඟයක් පවතී. මෙවැනි පසුබිමක සතුන් දාදයම් කිරීමේ නීති රීතිද ලිහිල් කළහොත් කුමන සතුන් වුවද වඳවී යාම වැළක්විය නොහැකිය.
පෙරේතකමින් දඩමස් හොයාගෙන ගිහිල්ල කාපු අතීතයක් මටත් තිබුන. හැබැයි දැනට නං දඩමසින් ඈත් වෙලා ඉන්නෙ. මොකද වඳවෙමින් යන සතුන් මැරීම තහනම් කර ඇති නීතියට අවනත වෙන්න එපැයි. අනෙක් මස් මාලු නං කනව.
ReplyDeleteස්තුතියි රාජ්,
Deleteයථාර්තය දැක දැනුවත් වීමෙන් පසු ඔබ අනුගමනය කරන පිළිවෙත ඉතාමත් නිවැරදි ක්‍රමයයි.
දැනට ලොව පුරා අධ්‍යාපනයෙන් සහ විවිධ මාධ්‍ය ඔස්සේ කරගෙන යන විද්‍යාත්මක වනජීවී සංරක්ෂණ ක්‍රමවේද මගින් වනජීවීන් වඳවී යාම බොහෝ දුරට අඩු කර ගත හැකි වන බවට පිළිගැනීමක් තිබේ. සමතුලිත ආහාරයකට අවශ්‍ය ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් ලබාගතහැකි මස් පිණිසම ඇති කරන සතුන්ගේ මස් කෑම හෝ නොකෑම පෞද්ගලික අදහසක් පමණයි.
ඔසී රටේ කැන්ගරු වැනි මස් හඳුන්වන්නේ යනුවෙනි. ඒ දඩ(යම්) කිරීම ක්‍රීඩාවක් නිසා යැයි සිතමි.
ReplyDelete
Delete(ළඟඳීම බලාපොරොත්තුවන්න "ඔසී රටේ අපේ කතා" කෙටිකතා සංග්‍රහය)
ස්තුතියි රසික,
Deleteඔබ සඳහන් කර ඇත්තේ 'bush meat' යන්න යයි සිතමි. අප්‍රිකානු රටවල පවා කිරි ලබාගැනීම සඳහා සතුන් ඇති කරන අතරම ආහාරය සඳහා වන සතුන් දඩයම කර දඩ මස්ද ලබාගන්නවා. වනාන්තරයෙන් ලබාගන්නා මස් නිසා 'bush meat' යනුවෙන් ව්‍යවහාර කරනවා ඇති.
"ඔසී රටේ අපේ කතා" කෙටිකතා සංග්‍රහය පලවෙන්නේ බ්ලොග් පොස්ට් වලද, නැතිනම් සිංහල පුවත්පත් වලද?
Deleteආගම් විස්වාස ආදිය ගාව ගන්නේ නැතුව නවීන ඝාතන ක්‍රමවලින් හැකි පමණ වේදනා අඩුව මරණ (humane slaughter) ඇති කරන සතුන්ගේ මස් විතරක් තියනව නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. දඩමස් ගැන නම්: වඳවීමේ තර්ජනයට පත්වය් ඇති සතුන් මැරීම කොහොමත් නොකල යුතුයිනේ.
ReplyDeleteවල් ඌරු මස් කෑම ගැන මට එතරම් ප්‍රශ්නයක් නෑ. ඒත් මරණ විදිහ වේදනා සහගත නම් කන එක ගැන ගිල්ටි හිතෙනවා
ස්තුතියි Pra Jay,
Deleteදැන් බොහෝ රටවල මස් පිණිස ඇති කරන සතුන්ගේ මස් ලබාගැනීමට humane slaughter ක්‍රම භාවිත වෙනවා. අනාගතයේදී ජගත් මිනිස් ජනගහනයට අවශ්‍ය ප්‍රෝටීන ඇතුලු බොහෝ පෝෂක ලබාගැනීම සඳහා මස් මාංශ වැඩි වැඩියෙන් අවශ්‍ය වන බව පෙනෙන්නට තිබෙනවා.
අනිච්චානුකව කරන මදුරුවෙක් තැලීම වගේ දෙයක් හැර මම කිසිම සතෙක් හිතා මතා මරන්නේ නෑ.. අඩුම තරමින් ඉඳ හිට ගෙමිදුලට එන සර්පයෙක් ගෝනුස්සෙක් වත් නොකරම බැරි උනොත් මිසක් මරන්නේ නැ අල්ලලා කෑලේට විසිකරනවා මිසක්.. (නමුත් ගෙදරට තර්ජනයක් වෙන මීයන්, කැරපොත්තන් වගේ උන් නම් රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා මරලා දානවා)
ReplyDeleteමස් කෑම ගැනත් එහෙමයි. ඕනෙම මසක් රසට උයලා තිබ්බොත් කනව.. ඒත් ගෙදර උයන්නේ මාළු කරවල නැත්නම් උපරිම චිකන් විතරයි.. :)
ඔය කියපු තැන එදා මම හිටියානම් මුවමස් කන්න ඉඩ තිබ්බා.. එහෙම බැලුවම මං කිසිම ප්‍රතිපත්තියක් නැති එකෙක්.. හැක්..
සාකච්ඡාවට බඳුන් විය යුතු මාතෘකාවක්. ස්තූතියි ඔබට..
ස්තුතියි කල්‍යාණ,
ReplyDeleteඔබ කර තිබෙන විස්තරය කාටත් සාධාරණ දෙයක්. සංරක්ෂණය කළ යුත්තේ නැතිවියාමේ තර්ජනයට ලක්වන ජීවීන්. මදුරුවන් කැරපොත්තන් වැනි ජීවීන් ඉතාමත් ශීඝ්‍රයෙන් බෝවන නිසා වඳවීමේ වීමේ තර්ජනයක් නැහැ. මේ සතුන්ට අහිතකර රසායනික ද්‍රව්‍ය වලට එරෙහිව ප්‍රතිශක්තිය ලබා ඉක්මනටම පරිණාමය වන්නටත් පුළුවනි. මිනිසාට වසර දහස් ගණනකින්වත් එසේ කළ නොහැකියි. ඒ උනත් සමහර සර්පයින් එම තර්ජනයට ගොදුරුවෙලා. ඔබ පොදුවේ සතුන් වෙනුවෙන් අනුගමනය කරන පිළිවෙත සාධාරනයි. මසට ඇතිකරන සතුන්ගේ මස් කෑදර කම නිසා නොමැතිව පෝෂණය සඳහා ආහාරයට ගැනීම අවශ්‍යයි. දඩමස් ගැනනම් දෙවරක් සිතිය යුතුයි.
සමහරවිට ඔබ වුවත් ඒ අවස්ථාවේදී සමස්ත කණ්ඩායම නිසා මුව මස් ප්‍රතික්ෂේප කරන්නට තිබුනා.
ස්තුතියි. මේ ගැන තව දුරටත් සාකච්ඡා කරමු.
තිත් මුවා වඳ වෙමින් පවතින සතෙක් ද ..?? ඒක දැන ගත්තෙ අද
ReplyDeleteඉස්සර මාත් නිර්මාංශයි.. කේක් කන්නෙත් නෑ බිත්තර හිංද ...
දැං කිසිම කෑමක් තෝරන්නෙ නෑ ... මේසෙට එන ඕනම කෑමක් කනව ...
කිසිම කෑමකට වැඩිය ආසයි කියල නෑ ...
පරිසර ප්‍රශ්නෙට නං ඉතිං ඔය වගේ සීනිබෝල උත්තර වැඩක් නෑ ..
මිනිස් ගහනය පාලනය කිරීම තමා එකම උත්තරේ ...
කරන්ඩ බැරිම දෙයත් ඒකයි ..
ReplyDeleteස්තුතියි ඇනෝ,
/මිනිස් ගහනය පාලනය කිරීම තමා එකම උත්තරේ ...
කරන්ඩ බැරිම දෙයත් ඒකයි ../
හොඳම පිළියම ඒකද කියන එකත් සැකයි. නෝර්වේ ස්වීඩන් වගේ රටවල් වල ජනගහනය පාලනය කරලා උපත් අනුපාතය සහ මරණ අනුපාතය සම තත්ත්වයක තිබෙනවා. ඒ උනත් එම රට වලත් පරිසර ගැටළු රාශියක් තිබෙනවා. ඔවුන්ද වනජීවී සංරක්ෂණය ගැන දැඩි උනන්දුවක් දක්වනවා.
ඕනෑම ජීවි ගහනයක සමතුලිත තත්ත්වය, මිනිසාගේ හෝ වෙනත් බලපෑමක් නිසා වෙනස් වූ විට බලාපොරොත්තු නොවන විපර්යාස සිදු වෙනවා. බොහෝවිට ස්වාභාවික ආපදා නිසා පරිසරයට සිදුවන හානි කල් යාමේදී යථා තත්ත්වයට පත් වෙනවා.
වටිනා අදහස්! ස්තූතී
ReplyDeleteස්තුතියි 'නොදන්නා'
ReplyDeleteලිපිය පළකර වසර දෙකෙකට පසු, ඔබ එය කියවා අදහස් පළ කිරීම ගැන ස්තුතියි.තවත් මෙවැනි අදහස් හුවමාරුවකින් නැවත හමුවෙමු.