Wednesday 9 August 2017

ඔහු ‘ඇඳ’ උඩ ......... වැඩි පරෙස්සමට මෙට්‍රසය ‘ඇඳ’ අසල බිම .......

 ජයේ විභාග සඳහා නියමිත විෂයය නිර්දේශ, වසර හත අටකට වරක් සංශෝධනය කිරීම කාලීන අවශ්‍යතාවයකි. මෙයින් බලාපොරොත්තු වනුයේ යල් පැනගිය විෂයය කරුණු ඉවත් කර නව දැනුම විෂයය නිර්දේශ වලට ඇතුලත් කිරීමය. මෙසේ කළ විට එම සංශෝධන පිළිබඳව හැකි ඉක්මනින් විෂයය උගන්වන ගුරුවරුන් දැනුවත් කිරීම අධ්‍යාපන අමාත්‍යංශයේ වගකීමය. මේ සඳහා යොදා ගනු ලබන ක්‍රම වේදය වනුයේ, සේවාස්ථ ගුරු පුහුණුවයි. මෙම කඩිනම් වැඩ පිළිවෙල සාක්සාත් කර ගැනීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය සහ විභාග දෙපාර්තමේන්තුවද සම්බන්ධ කර ගැනේ. අපොස උසස් පෙළ විද්‍යා විෂයය නිර්දේශ සංශෝධනය කළ එක් වතාවකදි ගුරු සේවාස්ථ පුහුණු සැසි කිහිපයක සේවය කිරීමට මටද ඇරයුමක් ලැබිණ.

හය දෙනෙකුගෙන් යුක්ත අප කණ්ඩායම භාරව සිටියේ රසායන විද්‍යා අධ්‍යක්ෂක වරයෙකු වූ අපගේ ජේෂ්ඨයෙකු වන තිලක්ය. ඔහු ප්‍රවේශමට වැඩ කිරීම ගැන ඕනෑවටත් වඩා උනන්දු වන කෙනෙකි. මෙම ලක්ෂණය නිසා සමහර අවස්ථාවලදී සාමුහික තීරණ ගැනීමද අපහසුවේ. එක් ගුරු සේවාස්ථ පුහුණුවක් පැවැත්වුයේ ම්හියංගණය මහා විද්‍යාලයේය. සේවාස්ථ පුහුණුව සඳහා ගුරුවරු තිස් දෙනෙක් පමණ සහභාගිවුහ.

නේවාසික පහසුකම් සැපයීම සඳහා සුදුසු ස්ථානයක් සපයා ගැනීමට විදුහල්පති තුමාට නොහැකිවී තිබීම නිසා අපට දින දෙකක් නතර වීමට සිදුවුයේ විද්‍යාලයේ විද්‍යාගාරයට යාබද පන්ති කාමරයකය. පුහුණුව සඳහා අවශ්‍ය සමහර විද්‍යා උපකරණ එකලස් කරගැනීම සහ ඉගැන්වීමේ උපකරණ සකස් කර ගැනීම වැනි වැඩ කටයුතු රාත්‍රී කාලයේදීත් කළයුතු නිසා අපී එසේ කිරීමට කැමති වූවෙමු. අපට රාත්‍රියේ නිදා ගැනීම සඳහා සුදානම් කර තිබුණේ පැදුරු සහ කොට්ට පමණකි.

‘මට පිට කොන්දේ වේදනාවක් තියෙනවා  බීම පැදුරක් උඩ  නිදා ගන්නට නම් බැහැ.’  කියමින් තිලක් පෙරැත්ත කරන්නට විය.

එවලේම අප ගැන සොයා බැලීමට විදුහල්පති තුමා පැමිණියේය.

‘අපි මේ රාජකාරි වැඩකට ඇවිත් තියෙන්නේ. මට කොන්දේ අමාරුවකුත් තියෙනවා මටනම් පැදුරක නිදාගන්නට බැහැ.ඇඳක් දෙන්න බැරිනම් මෙට්‍රස් එකක්වත් දෙන්න.’  තිලක් ඇවටිලි කළේය.

‘මෙහෙ ඇඳන් සොයා ගන්න නම් බැහැ සර්. අපේ පුතා බිම දමා නිදාගන්න මෙට්‍රස් එකවත් දෙන්නම්’ කී විට තිලක් කැමති විය.  

ඔහුගේ බලවත් ඉල්ලීම නිසා එක් මෙට්‍රසයක් පමණක් විදුහල්පති නිවසින් ලබාගතහැකි විය.

තිලක්, අපට වෙන්කර තිබුණු පන්ති කාමරයේ ගුරු මේසයට ඩෙස්ක් එකක් යාකර ඒ මත මෙට්‍රසය දමා තාවකාලික ඇඳක් සකස් කර ගත්තේය. ඔහු සිරිත් පරිදි වතුර වීදුරුවක්‌, ඉටිපන්දමක් සහ ගිනිපෙට්ටියක්, කුඩා විදුලි පන්දමක් තාවකාලික ඇඳ අසල පුටුවක් මත තබා ගත්තේය. අප අනික් පස්දෙනා පන්ති කාමරයේ බිම, පැදුරු දමාගෙන නිදා ගැනීමට තැන් පිළියෙළ කර ගතිමු.

පසුදින කිරීමට නියමිත ඉගැන්වීම් වැඩ වලට සුදානම් වීම සඳහා එදින  බොහෝ රෑ බෝ වන තුරු නිදා ගැනීමට නොහැකි විය. අපට සපයන ලද අති පැරණි මේස විදුලි පංකාවේ අමිහිරි නාදයත්, කණ අසලම ‘රුං..... රුං’ ගාමින් සිටින මදුරුවන් නිසාත් නින්ද අසලකවත් නොවිය.

රාත්‍රී එකොළහට පමණ විදුලි පහන නිවා නිදා ගතිමු. විනාඩි කිහිපයකින්  ගිනිකුරක්‌ ගසා ඉටිපන්දම දල්වාගත් තිලක් යමක්‌ කරන්නට සුදානම් විය.

‘මොකද තිලක් නැගිට්ටේ. ‘ඇඳ’ හොඳ මදිද? අපට නම් පැදුර ඇඳකට වඩා හොඳයි.’ මම කීවෙමි.

මම නැගිට විදුලි පහන දල්වීමි. නොනිදා සිටි කව්රුත් කලබල වුහ.

‘මම මේ කල්පනාකළේ මේ මේසේ ඇඳකට වඩා උසනේ. ඒ වගේම පටුයි. මාව මේකෙන් බිමට වැටෙයිද දන්නේ නැහැ කියල බය හිතුනා’ තිලක්‌ගේ පිළිතුර විය.

‘එහෙනම් මෙට්‍රස් එක බිම දමාගෙන ඒක උඩ නිදා ගන්න’ මම කීවෙමි.

‘බිම සීතලයි. එහෙම නම් බැහැ’ කී ඔහු මේසය සහ ඩෙස්ක් එක බිත්තිය අසලට තල්ලු කර මෙට්‍රසය බිමට දැම්මේය.

‘දැන් මොකක්ද කරන්න හදන්නේ.’ මම ඇසුවෙමි.

‘මේසය උස නිසා ඒකෙන් බිමට වැටෙයි කියා මට බය හිතුනා. දැන් බිමට වැටුනත් මෙට්‍රස් එක උඩටනේ. ඒක නිසා වැටුනත්  අතක් පයක්‌ කැඩෙන එකක් නැහැ.’ කියා

ඇතිරිල්ලක් මේසය උඩ දමා ඒ මත නිදාගත්තේය.

නින්දෙන් මෙන් සිටි, අන් සැමටම එය අසා සිනහව නතර කර ගැනීම අපහසු විය.

තිලක්, මෙවැනි බොහෝ අවස්ථාවලදී අනවශ්‍ය ලෙසට ප්‍රවේශම් වීමට පෙළඹීම නිසා ඔහුට අවාසි සිදුවී  ඇති බව කවුරුත් දනිති.


19 comments:

  1. මේක කියවලා මට මතක් වුණේ ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසහහනක් වුණු 'The Sketch Show' හි තිබුණු එක් විහිළුවක්. ටික දවසකට ගෙදරින් පිටව යන නිසා නිවසේ 'ආන්ස්වරින් මැෂින්' එකක් සවි කරන දෙපලක්, එහි සඳහන් කල යුතු පණිවිඩය ගැන වාද කරනවා. ඔවුන් වඩාත්ම සැලකිලි වන්නේ එම පණිවිඩය අනුව ඔවුන් නිවසේ නැති බව දැනගෙන කවුරුන් හෝ ගේ බිඳීවි කියන බය. බොහෝ තර්ක කලත් පණිවිඩය ගැන එකඟතාවයකට එන්න බැරි වූ නිසා, ඔවුන් නිවසේ තියන එකම වටිනා භාණ්ඩය වන 'ආන්ස්වරින් මැෂින්' එකත් රැගෙන බැහැරව යන්න තීරණය කරනවා. මෙහි වීඩියෝව යූටියුබ් හි ඇති. දැනට හොයාගන්න බැරි වුණා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර,
      'The Sketch Show'වීඩියෝව ලැබුනොත් පළ කරන්න. මේ ලක්ෂණය නිසා බොහෝ විට ආශ්‍රය කරන අය අසීරු තත්ත්වයට පත් වෙනවා.

      Delete
  2. හහ්..හහ්..හා.. මිස්ටර් බීන් ව මතක් වෙන්නේ මට විතරද?

    ReplyDelete
    Replies
    1. මිස්ටර් බීන්ගේ වැඩවල innovative ගතියක් තිබෙනවා නේද? ඒ උනාට මේවා ටිකක් අසම්මත (eccentric) වැඩ වගෙයි අපට දැනිල තිබෙන්නේ.

      Delete
  3. තිලක් කිව්වාම සිහිවුනේ අපට හිටි ගුරු-හොරෙක්.
    නිකං ඉන්නමයි බැලුවේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      මට පෙනෙන හැටියට තිලක්ලා වැඩි දෙනෙකුට සාමාන්‍යයෙන් නොගැලපෙන මොකක් හරි දෙයක් තිබෙනවා. (නමේ අකුරුවල දෝෂයක්වත්ද?)

      Delete
  4. එසේ නම් ඔබ කාට හෝ තිබුනානේ තිලක්ට නොදෙන්න ඔහුගේ මෙට්‍රසයේ නිදා ගන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්,
      විහිළුවක් කළත් ඒක serious ගන්න නිසා කවුරුවත් ඒ වගේ දේවල් වලට පෙළඹෙන්නේ නැහැ.

      Delete
    2. /එසේ නම් ඔබ කාට හෝ තිබුනානේ තිලක්ට නොදෙන්න ඔහුගේ මෙට්‍රසයේ නිදා ගන්න/

      එහෙම නිදාගෙන ඉන්නකොට ඇත්තටම තිලක් වැටුනනං එහෙම මහ ජංජාලයක් වෙන්නෙ...එහෙමනම් දයා මහත්තයල තාම තිලක්ගෙන් බැණුං අහනව..:)

      Delete
  5. මාර චරිතයක්නෙ

    ReplyDelete
    Replies
    1. චරිතය නම් මාරම තමයි.
      Overcoat, hand gloves, goggles ආදිය නැතිව chemistry lab එකට යන්නේවත් නැහැ.

      Delete
  6. බොහොම සිනහා නැගී එනවා කියව යද්දී මෙය ටිකක්
    එහෙම ගති ඇති මිනිස්සුන් තව ඉන්නවා අප වට ගොඩක්
    කොහොම පහදා දෙන්න හැදුවත් හිතන්නෑ ඒ ගැන ටිකක්
    කොහොම ඒ රෑ නිදාගත්තද මෙට්ටෙ නැතුවම ඒ තිලක්.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,
      බැ රි ම තැනදී නොදැක්ක වගෙ මගහරිනව මිසක්
      කි සි ම දෙයක් නොකළෙමු අපි ඇතිවන ලෙස සැකක්
      කොහොම උනත් වැඩ ගැන නම් සිතනාවිට දුකක්
      හ රි ම අහිංසක මිනිසෙකි! මගෙ මිතුරා තිලක්

      ඔබට ජය!

      Delete
  7. නියම කථාව. තිලක් මෙට්ටය උඩට වැදෙනවාත් ඒ සමඟම ටෝච් එක පෙරලී විත් තිලක් ගේ ඔළුවේ වදිනවාත් මැවී පෙනුනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්,
      හරි අගෙයි. ඔබට මැවි පෙනෙන ආකාරයට කතාවේ දෙවෙනි කොටසකුත් ලියන්නට හැකි බව මට දැන් තේරෙනවා. ටෝච් එක, ඉටිපන්දම සහ ගිනිපෙට්ටිය, වතුර වීදුරුව ආදිය එයාට නැතුවම බැහැ. (ටෝච් එක තිබියදීත් ඉටිපන්දම සහ ගිනිපෙට්ටිය තබාගන්නේ ටෝච් එකේ බල්බය එහෙම දැවී යාවියයි සැකයක් ඇති නිසා).

      Delete
  8. හැක්.. අර ෆයිනල් ඩෙස්ටිනේෂන් එකේ වගේ මැරෙන්න තියෙනවනං ඔය කොහොම පරිස්සං උනත් බේරෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      වැඩි දෙනෙක් එහෙම හිතුවට, මෙවැනි ගති ලක්ෂණ ඇති අය කල්පනා කරන්නේ වෙනස් ආකාරයකට. ඒවායින් අවසානයේදී පාඩුව සිදුවන්නේ තමන්ටමයි. ඒ උනත් එවන් අය සිතන්නේ තමන් දිනුවා කියායි.

      Delete