Tuesday 29 August 2017

කාර්යාල දුම්රිය ගමනේදී කාන්තාවන්ගෙන් සිදුවූ අතවරයක්......

   බස් ගමනාගමනයේ අපහසු කම නිසාම මගේ කාර්යාල ගමනෙන් වැඩි කොටස දුම්රියෙන් යන එක පහසු නොවේදැයි මගේ මිතුරා සිරිසෝම, දිනක් මගෙන් ඇසීය. කෙසේ වෙතත් නිවසේ සිට කිලෝමීටර් හත අටක්‌ බස් රථයේ ගොස් නැවත දුම්රියේ යාම කරදරයක් වුවත් සිරිසෝමගේ පෙරැත්තය නිසාම ටික දවසක්වත් දුම්රියේ යාමට තීරණය කළෙමි. 

දුම්රිය ගමන ඇඟට තෙහෙට්ටුවක් නොමැති රසවත් ගමනක් බව මම පසුව තේරුම් ගතිමි. එකල මා සේවය කළේ මැලේ විදියේ තිබුණු විභාග දෙපාර්තමේන්තුවේ නිසා කොම්පඤ්ඤ වීදියෙන් බැස විනාඩි දෙකකින් පමණ කාර්යාලයට යාමට හැකිවිය. ඒ සමගම අලුතින් මිතුරන් රාශියක් දැන හඳුනා ගැනීමටත් දුම්රිය ගමන ප්‍රයෝජනවත් විය.

අප පානදුර දුම්රියපලින් ගොඩ වනුයේ මාතර සිට පැමිණෙන සමුද්‍රදේවී දුම්රියටය. මෙම දුම්රියේ මැදිරි ආසනවලට අයිතිය ‘පවරාගෙන’ සිටින පිරිසක්ද සිටින බව මා දැනගත්තේ ටික කලකට පසුවය. විශේෂයෙන්ම දකුණේ ඈත සිට පැමිණෙන කාන්තාවන් එම ආසන තමන්ගේ බව එකහෙලාම ප්‍රකාශ කරති. සමහර කාන්තාවන් ඇඳුම් ඇඳීම සහ හැඩ වැඩ වීම කරනුයේද දුම්රියේදී බව කලකදී දැන ගතිමි.

‘මල්ලි වැරදිලාවත් පස්වෙනි කොම්පාර්ට්මන්ට් එකට නම් නගින්නට එපා. ඒක බලගතු කාන්තා රාජධානියක්. එලියට තල්ලු කර දමයි’ 

ගමනට නුපුරුදු මට, පළපුරුදු අලුත් මිතුරෙකුගෙන් උපදෙසක්ද ලැබුණි.

‘ඒ කොම්පාර්ට්මන්ට් එක ලේඩීස් ඔන්ලි ද?  මම ඇසීමි.

‘ලේඩීස් ඔන්ලි ඒවා මේ කෝච්චියෙ නැහැ. ඒ උනත් දන්නේ නැද්ද බලගතු පක්ෂය ඒක බුත්තියට සින්න කරගෙන!’ කිහිප දෙනෙක්ම මට කීහ.

මමද  අනිකුත් මිතුරන් මෙන් ඒ උපදෙස අකුරටම පිලිපැද්දෙමි.

එක් දිනක්‌ අධික වර්ෂාව නිසා මා ගෙදර සිට පැමිණෙන බස් රථය මිනිත්තු කිහිපයක් ප්‍රමාද විය. මා දුම්රියපලට  එනවිටම දුම්රිය පිටත්විය. හෙමින් ඇදෙන දුම්රියේ කිට්ටුවම තිබුණු මැදිරියේ අත් වාරුවක එල්ලී  බිම නොවැටී යන්තම් ගොඩවිමි. දුවන්නට සිදුවූ නිසා ඇතිවූ හතිය මග හැරුණු පසු මැදිරිය ඇතුලට යාමට සිතා වට පිට බැලීමි.

මට කරකියා ගත හැකි දෙයක් නැතිවිය. එය කාන්තා රාජධානියයි. හිස් ආසන  කිහිපයක්ද විය. එහෙත් ඒවා නොදුටුවා සේ මම හිට ගෙන මුහුද පැත්ත බලාගෙන සිටියෙමි.

‘අන්න අද අමුත්තෙක් අපේ එකට නැගලා. එයා පිරිමිද ගෑණුද කියලා බලන්නකෝ!’

එක් කාන්තාවක් එසේ කියන විට සියල්ලෝම වාගේ  මහ  හඬින් සිනහ වුහ.

කුමක් කරම්දෝයි සිතමින් සිටින විට,

‘බැඳලා නැත්නම්........ මෙන්න මෙනෙවියෝ දෙන්නෙක් අතර සීට් එකේ මැද්දේ ඉඩ තිබෙනවා. ලක් බයි චාන්ස් ’

තව කෙනෙකුගේ කට හඬ ඇසින.

මෙය ඇසී මට ආ සිනහව අමාරුවෙන් මැඩ ගත්තෙමි.

‘ඒ උනාට වැඩක්‌ නැතුවා වගෙයි........ කන් ඇහෙන්නේ නැති එක්කෙනෙක්ද කොහෙද?’ ඒ තව කට හඬකි.

පානදුරයේ සිට මොරටුව  දක්වා දුම්රිය ශීඝ්‍ර ගාමිය. කෙසේ වෙතත් මට මොරටුවට යන තුරුවත් තව මිනිත්තු දහයක් පමණ මෙම අතවරයට් ලක්වීමට සිදුවන බව  දන්නෙමි. කිසිවක් නොඇසුනා ලෙස සිටීම හොඳම පිළියම බව තේරුම් ගෙන ඔවුන් කියන දේ පමණක් අසා ගෙන සිටියෙමි.

ටික වේලාවක නිශ්ශබ්දතාවය නිසා මම මැදිරිය ඇතුලත දෙස හොර ඇසින් බැලීමි. එක්‌ කාන්තාවක් මා සිටි පැත්තට පිටුපා සිටගෙන, හැඳ සිටි සාරිපොට පහලට දමා, යමක් කරනු දුටුවෙමි.

‘ඔන්න මේ පැත්තනම් බලන්න එපා........... මම උදේ වැරදුනු දෙයක් හරී ගස්ස ගන්න හදනවා’ 

ඒ කාටත් ඇසෙන සේ ඇය විසින් කරන ලද තහංචි පැනවීමක් විය යුතුය.

‘අනේ,....... අරයා බලා ඉන්නවානම් ඇවිත් මගේ මේ හැට්ටේ කටුව ගහන්න කියන්න. ගෙදරදී  නම් කටුව ගහන්නේ මගෙ මහත්තයා.’ 

ඒ සිටගෙන සිටි කාන්තාවයි.

ඇය ‘අරයා’ යනුවෙන් හැඳින්වුයේ මා විය යුතුය.

නැවත මඳ නිශ්ශබ්දතාවයකින් පසුව

‘ගොලුවෙක්ද කොහෙද  මොරටුවෙදී  බැස්සේ නැත්නම් ‘රැග්’ එකක් දෙමු’

එය තරුණ කාන්තා කට හඬක්‌ බව සිතා ගතිමි.

‘නැහැ අනේ,,,,,,, අඳ, ගොළු, බිහිරි ඔක්කොම තියෙන එක්කෙනෙක්.’

තව එකියක් කීවාය.

‘එහෙනම් මොරටුවෙන් බස්සලා ගොළු මඩමට යවමුද? තව කාන්තාවකගේ කට හඬයි.
    
මට සිනහවත් සමග තරමක අසීරුතාවයක්ද ඇති විය. මෙය මොවුන්ගේ අකාරුණික භාවයද විහිලුවට ඇති කැමැත්තද යන්න තේරුම් බේරුම් කරගැනීමට නොහැකි තත්වයට මම පත්වූයෙමි. කොයි එකටත් මෙවැනි අවස්ථා වලදී ගොළු වත රැකීම හොඳම පිළිවෙත බව මම විශ්වාස කළෙමි.

දුම්රිය වේගය අඩුවන විට මොරටුව ආසන්න බව දැනුණි. සම්පූර්ණයෙන් නතර කිරීමටත් පෙර දුම්රියෙන් බැසගත් මම, කාන්තාවන්ගේ සිනහ හඬ මැද දුව ගොස් සුපුරුදු මැදිරියට ගොඩ වුයෙමි.

මගේ සුපුරුදු සගයින් සමග සිදුවූ දේ විස්තර කලෙමි.

‘මමත් දවසක් වැරදිලා ඕකට නැගල හරි අමාරුවක වැටුනා,’ එක්‌ අයෙකු කිවේය.

මීට කලින්ද කිහිප දෙනෙකුම, කාන්තාවන් ‘බලෙන්  වෙන්කර ගෙන තිබුණු’ මැදිරියට වැරදීමකින් ගොඩවී බැට කා ඇති බව මගේ සගයින්ගෙන් දැන ගත්තෙමි.  



27 comments:

  1. පුරුෂ හින්සනය හෙලා දකිමු !

    ReplyDelete
  2. හින්සනයක් කරල නෑනෙ යාලු, මොනව වුණත් මටත් ආසයි ඔය කොම්පාර්ට්මන්ටි එකේ ගොහිං එන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නයනේ,
      මම ඒකට අතවරයක් කියා කිව්වට එය 'පුරුෂ හිංසනයක්' කියන්නට නම බැහැ. මම ඒකෙන් විනෝදයකුත් ලැබුවා. තව හිටියා නම් මාව ආබාධිතයෙක් යයි සලකලා එවැනි තැනකට ගෙනයන්නත් වෙනවා.

      Delete
    2. ස්තුතියි වැව් ඉස්මත්ත,
      ඔබ ප්‍රමාද වැඩියි.දැන් වෙනම 'ladies only' මැදිරි දාලා කියා ආරංචියි.

      Delete
  3. හපොයි තව පොඩ්ඩෙන් ඔෆිස් නෙමෙයි යන්න වෙන්නේ අඳ ගොළු බිහිරි විද්‍යාලයට. ඔය කාන්තා රාජධානිය පෙට්ටියට නැගලා අපූරු පාඩමක් උගන්නපු පොලිස් ඉන්ස්පෙක්ටර් කෙනෙක්ගේ කතාවක් මම අහලා තියෙනවා. පොරටත් ඔහොම බයිට් එක දෙනකොට පොලිස් අයිඩෙන්ටි එක පෙන්නලා පොදු ස්ථාන වල අශෝභන ලෙස හැසිරීම සහ බලපෑම් කිරීම යටතේ අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කරලා. ඊට පස්සේ සෙට් එක කට වහගෙන ගියාලු :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උදය,
      මා හිතන්නේ ඔය කියන පොලිස් ඉන්ස්පැක්ටර් ඒ මැදිරියේ යන්නට ඇත්තේ මගේ ගමනට පස්සේ වෙන්නට ඇති. මට වෙච්ච දේ කාගෙන් හරි අහලා අර පිරිමි 'බයිට්' එකට ගන්නට හදන බවලතුන්ට පාඩමක් උගන්නන්නට ගියාද දන්නේ නැහැ.

      Delete
  4. ඔන්න බලහල්ලකෝ පිරිමියෙකුට තනි පන්ගලමෙ ගමනක්වත් යන්ට බරි හැටියක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තඩි මල්ලි,
      ඉස්සර කාන්තාවකට කන්කසන්තුරේ සිට දෙවුන්දරට උනත් මග තොටේ කිසිම කරදරයක් අතවරයක් නැතුව පයින් යන්නට පුළුවන් කම තිබුනලු. දැන් ඒක වෙනස් කරන්නට වෙලා මේ විධියට 'පිරිමියෙකුට පානදුරේ සිට මොරටුවටවත් කාන්තාවන්ගෙන් අතවරයක් නොමැතිව දුම්රියෙන් යන්නට බැහැ.'

      Delete
    2. පොඩි අඩුපාඩුවක් උනා.
      ඉස්සර කාන්තාවකට 'අතේ මැණිකකුත් තියාගෙන කන්කසන්තුරේ සිට .....'

      Delete
  5. හැක්.. හැක්.. බලාගෙන ගියාම පුරුෂාධිපත්‍ය එහෙම පිටින්ම බිඳ වැටෙන කෝච්චි පෙට්ටිත් තියෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      මෙය පුරුෂාධිපත්‍යය බල හීන කළ සිද්ධියක් ලෙස නොවෙයි මට පෙනෙන්නේ.කැලයේ සිටින සතුන් පවා රංචුවේ සිටින විට උන්ට වැඩි ජවයක් තිබෙනවා. එය 'රංචු මානසිකත්වය' {Herd mentality). මෙතනත් ඒකම වෙන්නට හැකි නේද?

      Delete
  6. ලූෂන් බුලත්සිංහල ගේ අප්‍රකට ගීතයක්

    රචනය සහ ගායනය ලුෂන් බුලත්සිංහල
    තාරාවෝ ඉගිළෙති නාට්‍යයෙනි
    සංගීතය ගුණදාස කපුගේ (විය යුතුයි)

    සූර විරුවනේ අසව්!
    ගෘහ මූලිකයිනේ අසව්!!

    පුරුෂ භාවයයි අපේ ආයුදේ
    ඔබ නිදා වැටුණොතින් හොරු ගනී ආයුදේ
    පිබිදියව් පුරුෂයින් මිහිතලේ

    පුරුෂ භාවයයි අපේ ආයුදේ
    ඔබ නිදා වැටුණොතින් හොරු ගනී ආයුදේ
    පිබිදියව් පුරුෂයින් මිහිතලේ

    පුරුෂ ශක්තියෙන් සුගන්ධ
    පුෂ්පයෙන් ලොවක් තතන්න
    වීදුරු නල වල සිරවී බැරි වෙතේ

    පුරුෂ ශක්තියෙන් සුගන්ධ
    පුෂ්පයෙන් ලොවක් තතන්න
    වීදුරු නල වල සිරවී බැරි වෙතේ

    නව ආරක තටු මැවෙන්න
    ඉපැරණි තටු හලව් බිමට
    කුරුළු වේශයෙන් නැගී යමව් අම්බරේ

    නව ආරක තටු මැවෙන්න
    ඉපැරණි තටු හලව් බිමට
    කුරුළු වේශයෙන් නැගී යමව් අම්බරේ

    ජන්මයෙන්ම ස්ත්‍රි චිත්තයේ
    පුරුෂ ප්‍රතිබිම්භය පුංචි වී තියේ

    ජන්මයෙන්ම ස්ත්‍රි චිත්තයේ
    පුරුෂ ප්‍රතිබිම්භය පුංචි වී තියේ

    මෙහෙම ඩිංග ඩිංග පුංචි වී ගියොත් අපේ බලේ
    පුරුෂ ප්‍රාණියා පොළෝ තලේ නැතේ අනාගතේ

    මෙහෙම ඩිංග ඩිංග පුංචි වී ගියොත් අපේ බලේ
    පුරුෂ ප්‍රාණියා පොළෝ තලේ නැතේ අනාගතේ

    මෙතනින් අහන්න.
    http://www.infolanka.com/miyuru_gee/eee/e158.ram

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      ගීතය නම සිද්ධියට හොඳටම ගැලපෙනවා. එය කවදාවත් අසා නැහැ. Link ඒකෙන් අසන්නට උත්සාහ කළා. ඒ උනත් එය play වෙන්නේ නැහැ. මෙය ප්‍රචාරය තහනම් කළ එකක්ද?

      Delete
    2. You can use VLC player to play the .ram file

      Delete
  7. මරු අත්දැකීමක්. මේ කට්ටියේ කෙනෙක් වෙන තැනකදී තනියම ඉද්දි මුණ ගැහුණෙ නැත්ද? රංචුවක් එකට ඉන්නකොට සාමාන්‍ය අයත් වීරයෝ හෝ හිංසකයො වෙනවනෙ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්,
      ඒ අය බහින්නේත් අපට පස්සේ. නගින්නෙත් අපට කලින්. ඒක නිසා ඔක්කොම සීට් බුක් කර ගෙනමයි එන්නේ. මෙය 'රංචු මානසිකත්වය' {Herd mentality) හෝ රසික සඳහන් කරන ආකාරයට Pack mentality කියන්නත් පුළුවනි.

      Delete
  8. මේක පැක්-මෙන්ටලිටි නේද?
    ගෑණු පිරිමි වෙනසක් නෑ!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      ඔය සත්තුන්ගේ pack වල නම් ගැහැණු පිරිමි දෙවර්ගයම සිටිනවා නේද?

      Delete
  9. mamath okata nagga dawasak
    mama unge bath ekakuth kawa mage wage
    un mas ekka eda indan ambanaa fit

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රන්සතු,
      මටත් දෙන්නෙකුගේ මැද්දෙන් වාඩි වෙන්නත් ඉල්ලීමක් කළානේ. ලජ්ජා බය නැතිව ගිහින් මැද්දෙන් වාඩි උනා නම මටත් ලේසියෙන්ම බත් කෑම කොහොම උනත් එකියක් යාලු කර ගන්න නම තිබුනා.

      Delete
  10. හපොයි වෙච්ච දෙයක්.

    ඒක නෙවෙයි සමුද්‍ර දේවි එකේ පානදුරෙන් නගිනකොට හිස් සීට් තිබුණද? මේ ගොඩක් ඉස්සර වෙච්ච සිදුවීමක් වෙන්න ඇති :)

    ඒ කම්පාට්මන්ට් වල එකකින් අනිත් එකට ඇතුලෙන් යන්න බැරිද?

    මමත් කැම්පස් ඉන්න කාලේ හැමදාම යන්නේ කෝච්චියේ. අපේ ගෙදරටත් බස් නැවතුමට වඩා දුම්රිය නැවතුම ලඟයි, ඒ නිසා පහසුයි. අනිත් එක බස් වල හරි කරදර. කන පැලෙන්න සංගීත සංදර්ශන දාල, කොන්දොස්තර බනින්න බලාගෙන මයි ඉන්නෙ, වාඩි වෙන්න හම්බුනත් සීට් පොඩි නිසා එහා පැත්තේ මනුස්සය කරේ, හිටගෙන ගියොත් එක්කෝ ඇඟේ. බ්රේක් ගහනවා විනාඩියෙන් විනාඩියට, ගෙදර ගියාම නිකන් රෝලර් කොස්ටර් රයිඩ් එකක් ගිහින් ආව තරම් හති.

    ඔෆිස් ට්‍රේන් වල සීට් බුක් කරන ඒවා, කල්ලි ගැහෙන ඒවා තිබුනට, කවුරුවත් ඇඟේ හේත්තු වෙන්න එහෙම එන්නෙ නෑ. නිදියගෙන ගියත් කිසි බයක් නෑ. හිටගෙන ගියත් ඇඟට කිසි මහන්සියක් නෑ. ගෙදර ගිහින් රෑ වෙනකම් පාඩම් කරන්නත් පුළුවන් ඕන නම්, කිසි වෙහෙසක් නැති නිසා. ඒගොල්ලෝ ඔබතුමාට වගේ නිකන් කොලොප්පන් කරන්න නම් කැමති ඇති, මගෙත් දවසක් බහින්න බලද්දී සෙරෙප්පුව නෑ, ටිකක් එහාට වෙන්න තියල, මාව බයිට් කරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මානවිකා නංඟී,
      බස් ගමන ගැන ඔබේ විග්‍රහය හරියට හරි. ඒ උනාට කලකට පස්සේ තිබුනනේ Inter city බස්. ඒවා ටිකක් හොඳයි.
      මේ කියන කාලෙ කෝච්චියේ තිබුනෙත් ලි බංකු වගේ සීට්. දැන් වගේ මැදිරි එකක සිට අනිකට යාමට හැකි වෙන ලෙස යාකර තිබුනෙත් නැහැ. ඒ අය කියපු සමහර දේවල් මම ලිව්වෙත් නැහැ. දෙපැත්ත කැපෙන විහිලු වැඩිපුර කිව්වේ.

      Delete
  11. පිම් මෙ දුවලා එල්ලුනානේ පැන ගෙනම ගොස් මහ පිනුම්
    දුම් රියේ ඒ මැදිරියේ හිටි ගෑණු අයගේ මහ කියුම්
    ගම් ගොඩේ ඒ කතාබහනම් හිතට දෙන්නේ නෑ රිදුම්
    දුම් රියෙන් ගොස් බේරුනා ඇති උන්දැලාගේ නෙත් බැලුම්......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,
      කාන්තාවන් එකතු වූ විට කියන කරනා බොහෝ දේ
      කතා කරනා ඕප දුපද කාගෙ කාගෙත් හරි වැරදි දේ
      අමුත්තෙක් ගොඩ උනොත් ඔහු හට දෙන්න ඇතිවන තුරු වදේ
      නියම තැන මේ මැදිරියයි. ඉන්නේ කවුරුත් හරි කදේ

      ඔබට ජය !

      Delete
  12. Replies
    1. ස්තුතියි ඩබ්.කේ.,
      වැටුණු අමාරු තත්ත්වය හොඳට තේරුම ගත්තා වගෙයි.

      Delete
  13. ඈ යකෝ තොපි හතර පස්දෙනෙක්ට සෙට් වෙලා ඕකට නගින්න බැරි උනාද?

    ReplyDelete