Thursday 24 August 2017

වන සංරක්ෂණය සඳහා අප කාටත් දායක විය හැකි සරල ප්‍රවේශයක්.....

    ලෝකයේ බොහෝ රටවල විශාල වශයෙන් වනාන්තර විනාශ වීම නිසා දැනට මහත් පරිසර අර්බුද රාශියක පෙර නිමිති පහළ වෙමින් තිබේ. මිහිකත උණුසුම් වීමට බලපාන ප්‍රධානතම හේතුව වශයෙන් වන විනාශය හඳුනාගෙන තිබේ. අද පවත්නා වේගයෙන් වන විනාශය සිදු වුවහොත්  2030 වසර වන විට ලොව තෙත් වනාන්තර වලින් ඉහිරී වනුයේ සියයට දහයක පමණ ප්‍රමාණයක් බව ප්‍රක්ෂේපණ වලින් හෙළිවී තිබේ. මේ ගැන විශේෂ අවධානයක් යොමුකළ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2011 වසර ජගත් වනාන්තර වර්ෂය ලෙස නම්කර, ලොව පුරා එයට අදාළ විවිධ ව්‍යාපෘති සංවිධාන කරණ ලදී. ඒ වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයීමෙන් පවත්වන ලද සුවිශේෂී එක්දින වැඩ මුළුවකට අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රියාත්මක වූ දිවිතීය අධ්‍යාපන නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් සහභාගී වන ලෙස මට ඇරයුමක් ලැබිණ. එහිදී වන සංරක්ෂණය පිලිබඳ අමුතුම ආකාරයේ පිවිසුමක්‌ පිලිබඳ මනා අවබෝධයක් ලබාගැනීමට මට  හැකිවිය.

2011 ජගත් වනාන්තර වර්ෂයේ ලාංඡනය පහත දැක්වේ.

2011 ජගත් වනාන්තර වර්ෂයේ ලාංඡනය

මෑතදී කරන ලද ගණනය කිරීම් වලට අනුව වසරකදී ලෝකයේ වනාන්තර හෙක්ටයාර් මිලියන 15  ක්‌ පමණ කපා විනාශ කෙරේ. එසේ වුවද නැවත වන වගා කිරීමේ ප්‍රතිශතය ඉතාමත් අඩුය. මෙම වන විනාශය  වාර්ෂිකව වැඩි වෙමින් පවතී.

වනාන්තර වල ගස් කපා ලබාගන්නා දැව වලින් තුනෙන් එකක් පමණ විවිධ ආකාරයේ කඩදාසි සහ කඩදාසි ආශ්‍රීත නිෂ්පාදන වලට අදාළ කර්මාන්ත සඳහා යොදා ගනු ලැබේ. මේ අතර ප්‍රවෘත්ති පත්‍ර නිෂ්පාදනය, ඇසුරුම් කඩදාසි සහ කාඩ් බෝඩ් නිෂ්පාදනය, පොත්පත් නිෂ්පාදනය, ලිවීමේ කඩදාසි නිෂ්පාදනය වැනි දේ ප්‍රමුඛ වේ. නව තාක්ෂණික ක්‍රමවේද භාවිතය මගින් මෙම අති මහත් දැව පරිභෝජනයෙන්   ඉතා සුළු කොටසක් අඩු කර ගැනීමට හැකිවී ඇතත්, එම ද්‍රව්‍ය සඳහා ඇති අධික ඉල්ලුම නිසා අමුද්‍රව්‍ය ලබාගැනීම සඳහා වනාන්තර වල දැව නිරතුරුවම ලබාගැනීමට සිදුවී තිබේ. මා සහභාගි වු වැඩ මුළුවේදී සාකච්ඡාවට භාජනවූ නව තාක්ෂණයට බෙහෙවින් සමීප, සරල ක්‍රියාකාරකමක් මගින් අප බොහෝ දෙනෙකුට වන සංරක්ෂණය සඳහා පහසුවෙන්ම දායක විය හැකි බව පෙන්වා දිමට කැමැත්තෙමි.

දැනට අපගේ බොහෝ ලිය කියවිලි සඳහා පරිගණකය භාවිත කිරිමට පුරුදුවී සිටිමු. සමහර අවස්ථාවලදී අපගේ ලිය කියවිලි පරිගණකයට ඈඳී  ඇති  මුද්‍රණ යන්ත්‍රයකින්ම මුද්‍රණය කර ගැනීමට සිදුවේ. විශේෂයෙන්ම කාර්යාල, පාසැල්, විශ්ව විද්‍යාල වැනි ආයතනවල ලේඛන පිටපත් සිය ගණනක් එකවර මුද්‍රණය කිරිමට සිදුවේ.

මේ සියලුම පරිගණක මුද්‍රණ අවශ්‍යතා සඳහා පමණක් ලොව පුරා, වසරකට මුද්‍රණ කඩදාසි කොළ බිලියන 115 කට වැඩියෙන් භාවිත වන බව ගණන් බලා තිබේ.

පරිගණක මුද්‍රණ කටයුතු වලදී  ඉතාමත් සරල අරපරිස්සම් කිරීමක් මගින් අපට වනාන්තර වලින් ස්වල්පයක්වත් විනාශ නොවී රැක ගැනීමට දායක විය හැකි බව ඔබට විශ්වාස කළ හැකිද?

එය කරනුයේ  
පරිගණක මුද්‍රණය නතර කිරීමෙන්ද?   නැත.

නොඑසේනම් අඩුවෙන් මුද්‍රණය කිරීමෙන්ද?  එසේත් නොවේ.

මුද්‍රණය කරන පිටපත් සංඛ්‍යාවේ අඩුවක්ද නොමැතිව අපට, කඩදාසි කොළ බිලියන 115 කට වැඩියෙන් වැය වීම අඩුකර,  වනාන්තර සංරක්ෂණයටද දායක විය හැකි මගක් තිබේ. එය කුමක්ද?

පරිගණක වාර්තාවක් මුද්‍රණය කිරීමට කලින් මොහොතක් කල්පනා කිරීමෙන් මෙය කළ හැකිවේ.

මේ සරලම සංරක්ෂණ ක්‍රියාවලියේ ආරම්භය පිණිස, පරිගණක මුද්‍රණය සඳහා යොදා ගනු ලබන අකුරු වල ප්‍රමාණය (Font size) ගැන සිතන්න.

මෙම ක්‍රියාදාමයට දායක වීම සඳහා අකුරු වල ප්‍රමාණය (Font size)  එකකින් අඩු කරන්න.
දැන් මේ ගැන තව ටිකක් කල්පනාකාර බලමු. 

ඔබගේ අකුරුවල  ප්‍රමාණය  (Font size) 11 නම් එම  ප්‍රමාණය  (Font size) 10 කරන්න  එය ප්‍රමාණ 31 නම් ප්‍රමාණ 30  කරන්න. කළයුත්තේ මෙපමණකි.

මෙය ක්‍රියාත්මක වන ආකාරය පහත දැක්වෙන අයුරු මඳක් විමසා බලමු.


ප්‍රමාණ (Font size)  11 න් මුද්‍රණය කලවිට පිටු 39 කි

උදාහරණයක් වශයෙන් පිටු 39 සහිත යම්කිසි වාර්තාවක්  ප්‍රමාණ 11 න් මුද්‍රණය කළේයයි සිතමු. මෙම වාර්තාවම  ප්‍රමාණ 10 න් මුද්‍රණය කළහොත් ඒ සඳහා අවශ්‍ය වනුයේ පිටු 32 ක් පමණකි.


එම වාර්තාවම ප්‍රමාණ (Font size) 10  න් මුද්‍රණය කළවිට පිටු 32  කි

මෙම වාර්තාවේ පිටපත් 100 ක්‌ සකස් කිරීමට අවශ්‍ය වෙතොත්  ඒ සඳහා ප්‍රමාණ 11 න් මුද්‍රණය කළවිට කඩදාසි 3900 අවශ්‍ය වන අතර ප්‍රමාණ 10  න් මුද්‍රණය කළවිට අවශ්‍ය වනුයේ කඩදාසි 3200  පමණකි. මෙය සියයට 18 ක අඩුවීමකි.

සියලු දෙනාම මෙම ක්‍රමය භාවිත කළහොත් වසරකට මුද්‍රණ කඩදාසි කොළ බිලියන 20.7 ක් ඉතිරි කර ගත හැකි වේ.

සමස්ත වන විනාශයෙන් තුනෙන් එකක් පමණ වියහැකි හෙක්ටයාර මිලියන 5 ක් පමණ වනාන්තරවලින්, කඩදාසි වර්ග නිපදවීම සඳහා පමණක් දැව උපයෝගී කරගනු ලැබේ. මෙයින්  පරිගණක මුද්‍රණ කටයුතු සඳහා පමණක් අවශ්‍ය කඩදාසි නිෂ්පාදනයට යොදා ගනු ලබන්නේ එයින්  සියයට එකක්  යයි.සිතමු. (මෙය මිට වඩා වැඩිය). එයට අනුරුප වනාන්තර  ප්‍රමාණය හෙක්ටෙයාර් පනස් දහසකි. එක හෙක්ටයාරයක ගස් සියයක් තිබේ යයි අනුමාන කළතොත්, ඒ සඳහා කැපී යන ගස් සංඛ්‍යාව ලක්ෂ පනහකි.     (50,000  X 100 = 5,000,000)

අප කලින් සාකච්ඡා  කළ පරිදි, අකුරු ප්‍රමාණය (Font size) එකකින් අඩු කළහොත් කඩදාසි ප්‍රමාණය සියයට 18 කින් අඩුවන නිසා එයට අනුරූපීව, කැපෙන ගස් ප්‍රමාණයෙන් ද සියයට දහ අටක්  අඩුකර ගත හැකි වනු ඇත. එසේනම් මෙසේ කිරීමෙන් ගස් ලක්ෂ  නවයක්  (900,000) ක්‍ (5,000,000 /100 x 18 = 900,000) බේරා ගතහැකි වන බව ගණනය කළ හැකිය. 

මෙය ආශ්චර්යයක් ලෙස පෙනෙනු ඇත. එසේ වුවත්, එය යථාර්ථයයි. නව තාක්ෂණික ලෝකයේ, ඉතාමත් සරල පුරුද්දක් මගින් ජගත් පරිසර සංරක්ෂණය සඳහා අප කාටත් දායක විය හැකි බව ඔබට මෙයින් වටහා ගත හැකි වනු ඇත.


“එකක් අඩු කිරීම” ‘MINUS ONE

“එකක් අඩු කිරීම” යන අදහස ඇති ‘MINUS ONE’ , පරිසර හිතකාමී සංකල්පයක් ලෙස සමාජ ගත වෙමින් පවතී.

කෙසේ වෙතත්, මෙම පිළිවෙත සඳහා පරිගණක මුද්‍රණයෙන් වරකට පිටපත් එකක්, දෙකක් හෝ කිහිපයක් පමණක් ලබාගන්නා කෙනෙකුට දායකත්වයක් දැක්විය නොහැකිය. අඩුම වශයෙන් පිටු හතක් වත් මුද්‍රණය කිරීමේදී මෙම වාසිය එක පිටුවකින් ලබාගත හැකි වේ.  


විනාශය අබියස ඇති වනාන්තර සම්පත.

මෙම ක්‍රමවේදය මගින් නියම ප්‍රතිඵල ලබාගත හැකි වනුයේ පරිගණක මුද්‍රිත පිටපත් විශාල වශයෙන් ලබාගැනීමට අවශ්‍ය ව්‍යාපෘති වාර්තා, සම්මන්ත්‍රණ වාර්තා, පාසල්වල සහ විශ්ව විද්‍යාල වල අත් පිටපත් ආදිය මුද්‍රණයේදී වඩාත් සැලකිලිමත් වීමෙනි.


අනාගතයේදී ගසක වැදගත්කම

වන සම්පතෙහි අනාගතය ගැන දකින ඉන්දීය චිත්‍ර ශිල්පියෙකු විසින් අඳින ලද චිත්‍රයකින්, අනාගතයේදී ගසක් ආරක්ෂා කර ගැනීමට මුරකාවල් පවා දමන්නට සිදුවීය හැකිවේය යි යන සංකල්පනාව මෙසේ දක්වා තිබේ.

වන සම්පත රැක ගැනීමට සුළු වශයෙන් හෝ දායක වීම කාගේත් යුතුකමකි.


10 comments:

  1. Replies
    1. ස්තුතියි ඉයන්,
      මෙය ප්‍රායෝගිකව කිරීමට අවස්තාවක් ලැබෙයිද?

      Delete
  2. දැනුමට යමක් ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,
      ඔබගේ පරිසර දැනුමට එකතු කර ගන්න

      Delete
  3. හොඳ දැනුවත් කිරීමක්.
    ඔය වගේම ඇසුරුම්කරනය සඳහා භාවිතා කරන කාඩ්බෝඩ් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙනුත් සෑහෙන ගස් ප්‍රමාණයක් ඉතුරුකරගන්න පුලුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      කාඩ් බෝඩ් ගැන ඒ වන විට නම් එතරම් තොරතුරු තිබුණේ නැහැ. සමහරවිට දැන්නම් තිබෙන්නට පුළුවන්

      Delete
  4. ‘MINUS ONE’ සංකල්පය මට ප්‍රයෝගිකව කරන්න පුළුවන් වේවි බොහෝ දුරකට.මෙතුවක් කල් මේ ගැන හිතා තිබුනේ නැහැ.ස්තුතියි මේ දැනුවත් කිරීමට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්,
      ඔබගේ ප්‍රතිචාරය ඉතාමත් අගය කරනවා. එය කෙසේ හෝ ප්‍රායෝගිකව කරන්න. ඔබගේ ප්‍රයත්නය නිසා එක ගසක් වත් සංරක්ෂණය වේනම්, එය මිහිකත සුරැකීමේ වැදගත් ක්‍රියාවලියටට කෙලින්ම දායක වීමක්.

      Delete
  5. ගහක් නැති තැන සිසිලක් තව හිතාගන්නටවත් නැතී
    රටක් දියුණුව ලබන්නා තැන ගස්ද වැල්ද පිරිහී යතී
    හෙටක් වෙණුවෙන් සොයුරනේ අද ගහට වැලට ඇල්මක් ඇතී
    එකක් අඩුකර රකිමු ගස් වැල් එයම හෙට යහපත් වෙතී....

    පරිසරය කියන්නේ මම කැමතිම මාතෘකාවක්. ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
  6. ස්තුතියි දුමි,
    උණුසුමින් ලොව මුදා හරිමින් සතුට සම්පත ගෙන දෙවන්නේ
    සතා සිපාවටත් එක ලෙස සෑම කල්හිම පිහිට වන්නේ
    සිසිල සෙවනත් දැව සමග පලවැලත් සැමටම ලබාදෙන්නේ
    සම්පතකි වන ගහණයන්. එයිනි අප නිරතුරු රැකෙන්නේ

    ඔබට ජයම !

    ReplyDelete