Wednesday 7 June 2017

භීෂණ සමයේ තවත් රසබර සිද්ධියක්.....

  හැත්තෑ ගණන්වල දකුණේ භීෂණය පවතිද්දී රාජකාරි මට්ටමින් මුහුණ පෑමට සිදුවූ කරදරයකින් බේරීමට හැකිවූ ආකාරයයි මේ. එවකට රත්නපුර දිස්ත්‍රික්කයේ විද්‍යා අධ්‍යාපන නිලධාරිවරයා ලෙස සේවය කලෙමි. අපේ අධ්‍යක්ෂක වරයා වුයේ ඉතාමත් දක්ෂ නීති ගරුක රාජකාරිය දේව කාරියටත් වඩා ඉහළින් සලකන මහත්මයෙකි.

‘සැමටම විද්‍යාව’ යන සංකල්පය රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතරතුරදී ජේවීපී ත්‍රස්තවාදය හිස එසවීම නිසා එය බොභෝ දුරට අඩපන විය.   6 සිට 10 ශ්‍රේණි පවත්වන සියලුම පාසල්වල විද්‍යාව ඉගැන්වීම ආරම්භ කිරීම නිසා කටයුතු රාශියක් සංවිධානය කරන්නට සිදුවිය. ක්ෂේත්‍ර නිලධාරින්වූ අපට වැඩ කටයුතු බහුල විය. අලුතින් ගුරුවරු බඳවා ගැනීම, ගුරු සේවස්ථ පුහුණුව, උපකරණ සහ වෙනත් අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, ඉගැන්වීම අධීක්ෂණය වැනි වැඩ කටයුතු රාශියක් එකවර කිරීමට සිදුවිය. විද්‍යා අධ්‍යාපන නිලධාරිවරුන්ට කිසිම විවේකයක් නොමැති ලෙස වැඩ කටයුතු අධික විය.

අපගේ ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂක තුමාගේ උපදෙස වුයේ කොයි තරම් වැඩ අධික වුවත් මසකට අඩුම තරමින් පාසල් විස්සකවත් පන්ති  අධීක්ෂණය කළයුතු බවයි. සෑම මාසයකම  පළමු වැඩකරන දිනය වනවිට සෑම නිලධාරියෙකුගේම යෝජිත මාසික වැඩ සටහන ඔහුගේ අත්සන සඳහා ඉදිරිපත් කළ යුතු විය.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් වලට විද්‍යා උපකරණ  සහ රසායන ද්‍රව්‍ය බෙදා හැරිම සඳහා සෑම දිස්ත්‍රික්කයකම ප්‍රාදේශීය ගබඩා කිහිපය බැගින් ආරම්භ කරන ලදී. මෙම ගබඩා පිහිටවුයේ ගමන් පහසුකම තිබෙන මහා විද්‍යාලයකය. එම මධ්‍යස්ථාන ඇති සෑම පාසලකම ජෙෂ්ඨ  විද්‍යා ගුරුවරයෙකුද උපකරණ බෙදා දීම සඳහා  සහාය කරගතහැකි විය.

රටේ බොහෝ තැන්වල යම් යම් කලබකාරී වාතාවරණයක් පවතින එක්‌ දිනක  පොලිස් නිලධාරින් දෙදෙනෙකු මා පදිංචි නිවසට පැමිණ,  කට උත්තරයක්‌ ගැනීම සඳහා එම සතියේ සිකුරාදා උදේ නවයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස මාහට වාචිකව පවසා, පණිවුඩය ලැබුණු බවට ඔවුන් ළඟ තිබුණු පොතක අත්සන් කිරීමට කීවේය. මම  එම නිලධාටීන් නොහඳුනන නිසා අත්සන් කිරීම ප්‍රත්ක්ෂේප කළෙමි. එය ඉහළින් ලැබුණු පණිවුඩයක් නිසා මගේ අත්සන අවශ්‍යම බව ඔවුහු කියා සිටියහ. මා පොලිසියට පැමිණ ස්ථානාධිපති වරයා ඉදිරියේ මිස අත්සන් නොකරන බව තරයේම කියා සිටින විට ඔවුන් එයට එකඟ විය. මේ සඳහා මට නීති උපදෙස් ගැනීමට තිබෙන නිසා පැයක පමණ කාලයක් අවශ්‍ය බව කියා මගේ අසල්වැසි මිතුරෙකු වූ නීතිඥ වරයෙකු වහාම හමුවී ඔහු සමග පොලිසියට ගියෙමි. මගේ මිතුරා ස්ථානාධිපති වරයා හොඳින් හඳුනන්නෙකි.

කිසියම් සිද්ධියක් සඳහා කට උත්තරයක් ගැනීම පිණිස  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි දොඩම්පේ මුදලාලි  හතරවන තට්ටුවෙන් බිමට පැන්නේද මේ කාලයේමය.

පොලිස් ස්ථානාධිපති වරයාට විස්තරය කී පසු, ඔහු පණිවුඩ සටහන් පොත පෙරලා බලා

‘මේ ඇඹිලිපිටියේ ඉස්කෝලෙක ඇසිඩ් බෝතල් වගයක් හොරු අරගෙන ගිහින් කියල තියන සිද්ධියට කට උත්තරයක් ගන්නටයි එන්න කියලා තියෙන්නේ’

කී ඔහු මා පෙන්වා

‘මේ මහත්මයා කවූද ?’ කියා ඇසිය.

‘මේ මගේ හිතවතෙක් රත්නපුරේ විද්‍යා අධ්‍යාපන නිලධාරි වරයා’

‘ඉහළින් නියෝගයක් නිසා මේකට යන්නම වෙනවා.’ ස්ථානාධිපති වැඩි  දුරටත් කිවේය.

මගේ මිතුරාද මා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාමට කැමැත්ත පළ කළේය.

ස්ථානාධිපති වරයාට ඊට වඩා කළහැකි දෙයක් නොමැති බව අපට පැහැදිලි විය.  ස්ථානාධිපති වරයාගේ උපදෙස් පරිදි, පොලිස් පොතේ අත්සන තබන බවට ලියා, මම අත්සන් කලෙමි. මගේ මිතුරාද සාක්ෂියක් ලෙස අත්සන තැබිය. පසු දින උදයේම මම අධ්‍යාපන කාර්යාලයට ගොස් අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා  හමුවී මෙම විස්තරය කීවෙමි.

ඔහු මේ ගැන කිසිවක් දැන සිටියේ නැත. පරිපාලන නිලධාරිවරයාගෙන් මේ ගැන විපරම් කළ විට ඒ ගැන කිසි තොරතුරක් ඔහුද නොදන්නා බව කිවේය. ටික වෙලාවකට පසුව කාමරයට පැමිණි පරිපාලන නිලධාරි වරයා විද්‍යා ගබඩාව තිබෙන විදුහලෙන් සොරකමක් ගැන පණිවුඩයක් ලැබුණු බව අධ්‍යක්ෂක තුමාට කීවේය.

මඳක් කල්පනා කරමින් සිටි අධ්‍යක්ෂක තුමා,

‘පොලිසියෙන් පණිවුඩය කිව්වා මිසක ලියුමක් දුන්නේ නැද්ද?’
කියා මගෙන් ඇසිය. 

එවැනි කිසිදෙයක් නොමැති බවත් මා පොලිසියට ගොස් පණිවුඩය ලැබුණු බවට පොතක අත්සන් කළ බවත් කිවේමි.

‘රටේම නිතිය වල් වැදිලා, මිනිස්සු රාජකාරියත් එක්ක සෙල්ලම් කරනවා’ කියමින් අධ්‍යක්ෂක තුමා

‘මේ වෙනත් දෙපාර්තමේන්තුවක අය, මගේ කාර්යාලයේ නිලධාරියෙක් කැඳවන විට එය මුලින්ම මට දන්වන්නට එපායැ’  කියා

ලිපි ගොනුවක් පෙරලා මගේ මාසික වැඩ සටහන තෝරා එලියට ගත්තේය. ඔහු එය කියවා බලා දින කිහිපයක් අසු වන සේ රතු පෑනෙන් රවුමක් ඇන්දේය. එම කඩදාසියේම පහලින් වගන්තියක්  ලියා අත්සන් කර මට පෙන් විය. එහි මෙසේ ලියා තිබිණ.

‘විද්‍යා අධ්‍යාපන නිලධාරි ...... මයා.   අත්‍යාවශ්‍ය සමීක්ෂණයක් සඳහා මෙහි රවුමකින් දක්වා තිබෙන විදුහල්වල  10 ශ්‍රේණිවල විද්‍යාව සහ ගණිතය විෂයයන් ඉගැන්වීම අධීක්ෂණය කර  සවිස්තර වාර්තාවක් ......... දිනට පෙර මා වෙත ඉදිරිපත් කරන්න.’

විෂයය භාර ලිපිකරු කැඳවු ඔහු ඒ සඳහා ලිපියක් සකස් කරන ආකාරය පිළිබඳව උපදෙස් දුන්නේය.

මම පුදුමවි බලා සිටින විට

‘අධ්‍යාපන නිලධාරියෙකුට තිබෙන්නේ ඉගැන්වීම සොයා බලන එක මිසක පොලිසියේ වැඩ නොවෙයි’

කියා ලිපිකරු විසින් ගෙනෙන ලද ලිපිය අත්සන් කර, මා අතට දී, පිටපතක් මගේ පෞද්ගලික ලිපි ගොනුවට  දමන ලෙස ඔහුට කිවේය.

‘මාසික වැඩ සටහනේ ආකාරයට රාජකාරි කටයුතු කරන්න. ඉතුරු ටික මම බලාගන්නම්’

කි අධ්‍යක්ෂක තුමා ලිපිකරු නැවත කැඳවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුට මේ සඳහා ‌යැවීම පිණිස ලිපියක් සකස් කරන ලෙස කියා, එහි අඩංගු විය යුතු වගන්තිද  සඳහන් කළේය. එහි තිබුණේ අත්‍යාවශ්‍ය පාසල් රාජකාරියක් සඳහා යොදවා ඇති මා, එම දිනවල කිසිසේත්ම නිදහස් කළ නොහැකි බවය.

‘සී අයි ඩී යන්න ඕනෑ නැහැ. ඔය ඉස්කෝල වලට ගිහින් නියමිත රාජකාරි කරන්න’ කියා

ඔහු  මට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

අධ්‍යක්ෂක තුමාගෙන් මට ලැබුණු ලිපිය පරිදි, මා කලින් යොදා ගත් නියමිත විදුහල්‌ වලට ගොස් සියලුම ශ්‍රේණි වල විද්‍යාව සහ ගණිතය අධීක්ෂණය කර, එම විදුහල්වල අදාල ලොග් සටහන්ද තබා, සවිස්තර වාර්තාවක් අධ්‍යක්ෂක තුමාට ඉදිරිපත් කළෙමි.

නියමිත සිකුරාදා දිනය පසුවිය. ඊළඟ සතියද පසුවිය.  සී අයි ඩී යෙන් නැවත කැඳවීම් නොලැබුණි. මම නිශ්ශබ්දව සිටියෙමි.

අධ්‍යක්ෂක තුමාගේ ලිපියෙන් ඔවුනට රාජකාරිය පිලිබඳ වැදගත් පාඩමක් කියා දෙන්නට ඇත ! 


           

14 comments:

  1. දැන් නම් ලංකාවේ එහෙම අධ්‍යක්‍ෂලා නෑ. නිලධාරිත් නෑ, පොලිස්කරුවනුත් නෑ කියා සිතනවා!.

    (නිලධාරිවරයා නොව නිලධාරියා නේද නිවැරදි යෙදුම?)

    ReplyDelete
    Replies
    1. රසික ස්තුතියි,
      තවමත් එහෙම අය ටික දෙනෙක් ඉන්නවා

      ගුරුවරයා, කතුවරයා වගේ තැන්වලත් එසේ යොදනවා.

      Delete
  2. රසික කිව්වා වාගේ දැන් මේ වගේ අධ්‍යක්ෂක වරු නැතිව ඇති. මම ඒක කියන්නෙ තවත් හේතුවක් නිසා. සුමානෙ මුල ඒ සුමානෙ සිදුකල යුතු දේවල් ගැන සාකච්චා කර එකඟ වීම පෞද්ගලික අංශයේ අදත්තියෙනවා. මම හිතන්නේ නැහැ මේවගේ කරන අධ්‍යක්ෂක වරු අද ඉන්නවා කියා.

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි ඉයන්,
      අපි සේවයට ගිය මුල් කාලේදී එහෙම ප්‍රධානින් හමුවූ නිසා හොඳට වැඩ කිරීමටත් රාජකාරියට මුල්තැන දෙන්නටත් ඉගෙන ගත්තා. එහෙම ප්‍රධානින් තවමත් ටික දෙනෙක්වත් ඇති. ඒ කාලයේ මාසය මුලදී කරන සාකච්චාව හොඳ මාසික සැලැස්මක්.

      Delete
  3. පොලිසියේ රාජකාරිය අපරාධ වලක්වීමයි. අපේ යුතුකම හැකි පමණින් එයට උදව් වීම මිස bureaucratic මහන්තත්වය පෙන්වීම නොවේ. උදාහරණයක් වශයෙන් අම්ල බෙදාහැරි අනෙක් පාසල් හඳුනා ගැනීම පොලීසියට වැදගත් වියහැකිව තිබුණි. කාලකන්නි ජෙප්පන් ගේ අමන මෝඩ ක්‍රියා හමුවේ තමන්ගේ හිස උදුම්මා නොගෙන කටයුතු කලානම් හොඳ බව මගේ අදහසයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රභාත්,
      ඔබ හිතන ආකාරයත් ඔය ගැටලුවේම එක පැත්තක්

      Delete
    2. ප්‍රභාත්,
      ඔබේ කතාවෙත් ඇත්තක් තිබෙනවා. අපි හැකි පමණින් අපරාධ වැළැක්වීමට පොලිසියට හෝ අන් කවරෙකුට උනත් හැකි සෑම උදව්වක්ම දියයුතුයි.
      එසේ කියා මිනිස්සුන්ව නිරපරාදේ රස්තියාදු කල යුතු නැහැ.
      ඔබ සමහරවිට දන්නවා ඇති පාසලට ලැබෙන රටහුණු කුරත් ලේඛනගත ( ) කල යුතුයි කියා. ඒ කියන්නේ ඔය සියළුම දේවල් කොහේ හරි ලියවිලා තිබෙනවා. අනික ඔය සියළුම විස්තර තියෙන්නේ අද්යාපන කාර්යාලයේ මිසක් එක් එක් නිලධාරියා ලඟත් නොවේ.
      ඔය කියන ලොකු මහත්තයා පොලිසියට ලිව්වේ කුමක්ද කියා අපි නොදන්නා නිසා අපිට ඔහු හිස උදුම්මාගෙන වැඩ කළා කියා කියන්නටත් නොහැකියි. බොහෝ විට ඔහු පොලිසියට අවශ්‍ය දේ කුමක්ද අසා එය ලබා දෙන්නට ඇති. කවුද දන්නේ.
      දැන් ඊළඟට බලන්න පොලිසිය නැවත කවදාවත් මේ මහතා ගෙන් ඔය සිද්දිය ගැන කිසිම විමසීමක් කරලා නැහැ නේ. ඒ කියන්නේ ඇත්තටම ඔහුගෙන් ලබාගන්නට දෙයක් තිබිල නැහැ නේද.
      තවත් දෙයක්, රජයේ වැඩ කරන සහ කලයුතු ක්‍රමයක් තිබෙනවා, පොලිසියට හෝ කාටවත් අනුන්ගේ අධිකාරිය ඉක්මවා (නීත්‍යානුකුලව නම්) කටයුතු කරන්නට බැහැ.

      Delete
    3. Thank you 'Hat...'
      //රජයේ වැඩ කරන සහ කලයුතු ක්‍රමයක් තිබෙනවා// රාජ්‍ය සේවයේ සිටියත් බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් තමයි ඔය කාරණය. සති දෙක තුනකට පසු සිද්ධිය ගැන විපරම් කර බැලුවා. ඔබ කි ආකාරයට සියලුම විස්තර තොග පොත්වල සටහන් කර තිබිලා. ප්‍රාදේශීය පොලිසියට අවශ්‍ය සියලු විස්තර විදුහල්පති සපයලා.

      Delete
  4. තවත් සිත් රැඳි සිද්ධියක්
    අදත් ලියලා මතකයක්
    මෙයත් බැලුවේ ගෙන ඉඩක්
    මමත් ලිව්වා තුති කවක්....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,

      'නිවහන' වෙතට අපගේ
      පැමිණෙන නිතර වාගේ
      කවි ලියනා අගේ
      පුදමි ඔබටත් තුතිය මාගේ

      ඔබට ජයම !

      Delete
  5. හොඳ වෙලාවට. එහෙම නැත්තං තව කෙනෙක් හතරවෙනි තට්ටුවෙන් පනිනව. හැක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,

      ඒ කාලයේ කුමකින් කුමක් වේදෝයි සිතා ගන්නවත් බැහැ.භීෂණය කියන එක තේරෙන්නේ ඒක දුටු අයට විතරයි.

      Delete
  6. අධ්‍යක්ෂකතුමා තමන්ගේ දෙපාර්තමේන්තුවේ කෙනා බේරා ගත්තා.ඇසිඩ් බෝතල් කිහිපයක් සම්බන්ධයෙන් හතරවෙනි තට්ටුව එන්න කියලා කිමෙන්ම ඉහළින් ඇවිත් තියෙන්නේ ලොකු නියෝගයක් බවයි පේන්නේ.

    ReplyDelete
  7. ස්තුතියි මනෝජ්,

    තමන්ගේ නිලධාරියා නිත්‍යානුකුලව බේරා ගැනීමට අධ්‍යක්ෂක තුමා සම්‍යක් ප්‍රයෝගයක් යෙදුවේ ඉහළින් දී තිබුණු නියෝගයේ අඩුපාඩුවක් තිබුණු නිසයි.

    ReplyDelete