Monday 26 June 2017

කරදරකාරී බාධක රැසකට පසු සාර්ථක වූ විදේශ ගමන .........

   මෙය දශක හතරකට පමණ ඉහතදී මුහුණ පෑ සිද්ධි මාලාවකි. ඒ මා විද්‍යා අධ්‍යාපන නිලධාරිවරයෙකු ලෙස සේවය ආරම්හ කළ මුල් කාලයේදිය. 

ආසියා පැසිෆික් අධ්‍යාපන සංවර්ධන ආයතනය (Asia Pacific Institute for Educational Development –APIED) මගින් මෙහෙයවූ ජීව විද්‍යාව වැඩ මුළුවක ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස සහභාගී වීමට මා තෝරාගෙන තිබිණ. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ බව මට ලිපියකින් දන්වන ලදී.  ඊට සති තුනකට  පසුව පිලිපීනයේ මැනිලා නුවරදී පවත්වනු ලබන එම වැඩ මුළුවේ වැඩ සටහනද එවා තිබුණු අතර, සහභාගී වීමට කැමැත්ත දක්වන ප්‍රකාශයක්ද අත්සන් කර යැවිය යුතුව තිබිණ. හදිසියකදී ඇමතීම සඳහා දුර කථන අංකයක්ද ඒ මගින් ඉල්ලා තිබිණ. මට පෞද්ගලික දුරකථනයක් නොතිබුණු නිසා එවකට උසස් නිලයක් දැරූ අසල්වැසි නිවසක හිතවතෙකුගේ දුරකථන අංකය, ඔවුන් සමග සාක්ච්ඡා කර අමාත්‍යංශයට යැවීමි.

දින දහයක් යනතුරුත් පණිවුඩයක් නොලැබුණු නිසා, අමාත්‍යංශයට ගොස් විපරම් කර බැලීමි. මා දී තිබුණු දුරකථන අංකයට පණිවුඩ දෙකක්ම දුන් බව විෂයය භාර ලිපිකරු මට පවසා, ඒ බවට ගොනුවේ තබා තිබුණු සටහනක්ද මට පෙන්විය. අසල්වැසියාට දුරකථන පණිවුඩය ලැබී ඇතත්, එය මට නොදුන්  බව මම වටහා ගතිමි. ඒ ගමනට පමණක් වලංගු හදිසි ගූවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීමටත්, ගුවන් ටිකට් පත් ලබාගැනීම පිණිසත් අවශ්‍ය අයදුම් පත් මිටියක්  ඔහුගෙන් ලැබිණ. ආධුනිකයෙකු වූ මට එම අයදුම් පත් පුරවන ආකාරය තේරුම් කර දීමට කාරුණික වූ ලිපිකරු මහතා ආගමන විගමන දෙපාර්තමේන්තුවට සහ ගුවන් ටිකට් පත් නිකුත් කරන ආයතනයට දීම සඳහා අවශ්‍ය ලිපිද සකස් කර දුන්නේය. මට නියමිත වේලාවට දුර කථන පණිවුඩය  නොලැබීම පළමුවැනි බාධකයයි.

පසුදින ආගමන විගමන දෙපාර්තමෙන්තුවට ගොස් අවශ්‍ය කටයුතු සම්පුර්ණ කරගැනීමට පැය පහක්‌ පමණ ගතවිය. විදේශ ගමන් බලපත්‍රය  සතියකින් ලබාගත හැකි බව දැනගන්නට ලැබුණි. ඊ ඟට ගුවන් ගමන් ටිකට් පත  නිකුත් කරනු ලබන ස්ථානයට ගියෙමි. විදේශ ගමන් බලපත්‍රය නොමැතිව ගුවන් ටිකට් පත නිකුත් කළ නොහැකි බව ඔවුහු පැවසිහ. මෙය දෙවන බාධකයයි. කෙසේ වෙතත් පොරොත්තු ආසන වෙන් කිරීමේ ලේඛනයේ මගේ නමද ඇතුලත් කළ හැකි බව දැන ගතිමි.

ගුවන් ගමන් සහ විදේශ සංචාර වලට ආධුනිකයෙකු වූ මට බොහෝ දේ නිරාකරණය කරගත යුතු විය. මෙවැනි ගමනක් යාමට ලැබී ඇති බව වැඩිපුර ප්‍රචාර නොකරන ලෙසද කිහිප දෙනෙක් උපදෙස් දුන්හ. මා එවකටත් බාලදක්ෂ සේවයේ නිරතව සිටි නිසා, උපදෙස් ලබාගැනීම පිණිස මගේ සමීප හිතවතෙකු වූ pබාලදක්ෂ කොමසාරිස් තුමා හමුවීමි. ඔහු මට සියලු විස්තර පැහැදිලි කරදී අවශ්‍ය වුවහොත් හමුවීම පිණිස මැනිලා නුවර බාලදක්ෂ මුලස්ථානයේ නිලධාරියෙකුට ලිපියක්ද දුන්නේය. මෙය මට මහත් අස්වැසිල්ලක් විය.සංචාරක චෙක්‌ පත් (Travellers’ cheques) මගින් විදේශ මුදල්ද සුළු ප්‍රමාණයක් තමන් ළඟ තිබිය යුතු බවද කි ඔහු එය ලබාගන්නා ආකාරයද විස්තර කර දුන්නේය.

ඒ කාලයේ එදේශ විනිමය නිකුත් කළේ කොළඹ හෝ ප්‍රධාන නගර වල පිහිටි බැංකු වලින් පමණකි.  එදින බැංකුවට ගොස්  විදේශ මුදල් ලබාගැනීම සඳහා ඉල්ලීමක් කළවිට, ගුවන් ටිකට් පත නොමැතිව නිකුත් නොකරන  බව දැන ගතිමි. මෙය තුන්වන බාධකයයි.   

ගුවන් ගමන් බලපත්‍රය, ගුවන් ටිකට් පත, විදේශ විනිමය යන සියල්ල එකිනෙකට තදින් බැඳී තිබෙන ජාලයක් බව තේරුම ගතිමි.

සියල්ලටම ඇත්තේ තව දින තුනකි. ආගමන විගමන කාර්යාලයෙන් ගුවන් ගමන් බලපත්‍රය ලබාගතිමි. එදින සවස් වනවිට ගුවන් ටිකට් පතද ලබාගතිමි.  කටුනායක ගුවන් තොටින් පිටත් වී, බැංකොක් ගොස් එහි පැය හතරක් සිට මැනිලා නුවරට යන බව ටිකට් පත නිකුත් කළ නිලධාරිනිය මට පැවසුවාය. මාද පළපුරුදු සංචාරකයෙකු ලෙස ඇයට සවන් දුන් නමුත්, ඒ නුහුරු නුපුරුදු දේ මගේ සිතෙහි තදින් වැඩ කරමින් තිබුණි. ලැබුණු ගුවන් ටිකට් පත තීරු දහයක් දොළහක් තිබුණු තරමක පොත් පිංචකි.

අවශ්‍ය ලිය කියවිලි සියල්ලම රැගෙන නැවත බැංකුවට ගොස් විදේශ විනිමය ගැන කථා කළෙමි. සංචාරක චෙක් පත් නිකුත් කරනුයේ නියමිත ගමන ආරම්භ කිරීමට පැය විසි හතරක්‌ ඇතුළතදී පමණක් බව එවෙලේ දැනගතිමි. මෙය හතරවන බාධකයයි. අවශ්‍ය නම් ගුවන් තොටුපලේ බැංකුවෙන් වුවද ලබාගත හැකි බවද බැංකු නිලධාරියා කිවේය.

ගමනට තව ඇත්තේ දින දෙකකි. විදේශ විනිමය අතේ නැතත් ගමන යා හැකිය. සවස ගෙදර යනවිට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපියක් ලැබී තිබිණ. එහි අවධාරණය කර තිබුණේ මා විසින් වැඩ මුළුවේදී, විෂයය පිලිබඳ  ශ්‍රී ලංකාවේ ප්‍රගති වාර්තාවක් (Country report) ඉදිරිපත් කළ යුතු බවත්, විදේශ නිවාඩු අයදුම් පතක් අමාත්‍යංශයට ඉදිරිපත් කළ යුතු බවත්ය. මේ සියල්ලටම ඇත්තේ හෙට දිනය පමණකි. මේ කිසිවක් මට කලින් නොකිව්වේ ඇයිද යන්න මට මහත් ගැටලුවකි. මෙය පස්වන බාධකයයි.

සියල්ලටම ඇත්තේ තව එක් දිනයක් පමණකි. ප්‍රගති වාර්තාව සකස් කිරීමට කාලයක් නැත. මේ හයවන බාධකයයි. 

සතියකට අවශ්‍ය ඇඳුම් සකස් කර ගැනීම, ගුවන් ගමන තහවුරු කර ගැනීම, අධ්‍යාපන අමාත්‍යංශයට ගොස් නිවාඩු ලියවිල්ල අත්සන් කිරීම, විදේශ විනිමය ලබාගැනීම  වැනි අත්‍යවශ්‍ය කටයුතු කිරීමටත් ඇත්තේ තව පැය කිහිපයකි.

පසුදින, කෙසේ හෝ සියල්ල යාන්තමට හෝ අවසන් කරගෙන කටුනායක ගුවන් තොටට ගියෙමි. එය මගේ පළමු ගුවන් ගමන විය. අනිකුත් අය කරන දේ නිරීක්ෂණය කර මමද  ගුවන් තොටෙහි  අවශ්‍ය දේ සියල්ල කරගතිමි. පිටත්වීම් මැදිරියට ගොස් වාඩිවී සැනසුම් හුස්මක් හෙලා, පසුගිය දින කිහිපයේදී කඩිමුඩියේ කළ කී දේ සියල්ලත්, මුහුණ පෑ බාධක මැඩගත් ආකාරයත්   ආවර්ජනය කළෙමි. නියමිත වේලාවට ගුවන් යානයට ඇතුල්වී සුව පහසුවට වාඩිවී වැඩ මුළුව සඳහා අවශ්‍ය අපගේ ප්‍රගති වාර්තාව සකස් කිරීමට පටන් ගත්තෙමි.  පැය දෙකකදී පිටු පහක පමණ වාර්තාවක් සකස් කර ගත හැකි විය. මේ වන විට අමාරු බාධක කිහිපයකින් පැන ගෙන සිටියෙමි. තවත් පැය දෙකකින් පමණ ගුවන් යානය බැංකොක් ගුවන් තොටට ලඟාවිය. ගමනේ ඉතිරි කොටස ආරම්භ කිරීමට තවත් පැය කිහිපයක් තිබුණු නිසා විවේකාගාරයට ගොස් සැනසිල්ලේ සිටියෙමි.

මෙහි ටික වේලාවක් සිටින විට, එහි පැමිණි තවත් මගියෙකු  මා ඉදිරිපිට වූ  ආසනයක වාඩිවි APIED නම පිට කවරයේ තිබුණු වාර්තාවක් කියවන්නට විය. ඔහුද මා යන ගමනම යන කෙනෙක් බව එයින් අවබෝධ කර ගත්තෙමි. සුදුසු අවස්ථාවක් බලා මම ඔහු සමග  කථා කළෙමි. වැඩ මුළුවේ ඉන්දියාව නියෝජනය කරනුයේ ඔහුය.

ඔහු නමින් මිශ්රා  ය. ඔහු මෙවැනි  වැඩ මුළු වලට සහභාගිවී පළපුරුද්ද ඇති අයෙකි. ආගිය තොරතුරු කතාබස් කිරීමේදී, ඔහු ඉන්දියාවේ ගුරු විද්‍යාලයක ජීව විද්‍යා අධ්‍යාපනය පිලිබඳ උපදේශකවරයෙකු බව දැනගතිමි. අප දෙදෙනා අපගේ වාර්තා හුවමාරු කරගෙන කියවිමු. පිටු තිහක් පමණ වූ ඔහුගේ වාර්තාව පරිගණක ගතකර පොතක් ලෙස සකස් කර තිබුණි. ඔහු සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මගේ වාර්තාවටත් අලුත් කරුණු කිහිපයක් ඇතුලත් කළ හැකි විය. එහෙත් මගේ වාර්තාව තවමත් සංස්කරණය නොකළ අත් පිටපතකි.

අපගේ ගමනේ ඊළඟ කොටසට නියමිත  ගුවන් යානයට ගොඩවන වේලාව එළඹියේය. මිශ්රාට ලැබුනේ යානයේ තරමක් පසුපස ආසනයකි. අපි පැය තුනකින් පමණ  මැනිලා ගුවන් තොටින් බැස්සෙමු. අප පිටතට එනවාත් සමගම අපගේ නම් විශාලයට ලියන ලද කාඩ් බෝඩ් තීරු ඔසවාගත් කිහිප දෙනෙකු අප බලාපොරොත්තුවෙන් සිටියහ. බංගලාදේශ නියෝජිත වරියත්, නේපාල රටේ නියෝජිතයාත් අප ආ යානයේම  ගමන් කර තිබුණි. පැමිණ සිටි අය විසින් අප සිව් දෙනා කැටුව හෝටලයකට ගොස් අපගේ නවාතැන් පහසුව සලසා දුන්හ. එදින රාත්‍රී ආහාරයට පෙර පැයක පමණ, අවශ්‍යතා පිලිබඳ අවිධිමත් සාකච්ඡාවක්‌ හෝටලයේදී පවත්වන බවත් දැනුම් දෙන ලදී.

රටවල් සියල්ලේම නියෝජිතයෝ සාකච්ඡාවට සහභාගී වුහ.  ටික වෙලාවක් සාකච්ඡා කිරීමෙන් පසු පිටපත් සකස් කිරීම සඳහා සියලු දෙනාගේම වාර්තා එකතු කර ගන්නා ලදී. මගේ වාර්තාව පිළිබඳව උද්ගතවී ඇති තත්ත්වය, සාකච්ඡාව මෙහෙයවූ නිලධාරිනියට කී විට, එය පරිගණක ගත කර පිටපත් සකස් කිරීම ලිපිකාරිණියකට පවරන ලදී. ඇය  විනාඩි දහයක්‌ ඇතුළතදී එය සකස් කර කියවා බැලීමට ආපසු මට දුන්නාය. එහි තිබුණු අපගේ ශ්‍රී ලාංකික නම් ගම් පවා සියල්ල නිවැරදිව පරිගණක ගත කිරීම ගැන මම පුදුමයට පත්වීමි. එය සංස්කරණය කර ආපසු දී විනාඩි කිහිපයකදී පොතක් මෙන් සකස් කර නියමිත පිටපත් සංඛ්‍යාව මා අත පත් කළාය. තවත් එක් බාධකයකින් පහසුවෙන්ම පැන ගතිමි.

පසුවදා, මැනිලාහි ‘ක්වෙසෝන් සිටි’(Quezon City) නගරයේ  පිලිපීන විශ්ව විද්‍යාලයේ විද්‍යා අධ්‍යාපන මධ්‍යස්ථානයේදී (UPSEC) වැඩ මුළුව ආරම්භ විය. ආසියාතික සහ පැසිෆික් කලාපයේ රටවල් වල නීයෝජිතයින් පසළොස්  දෙනෙකු සහ තවත් රටවල් කිහිපයකින් පැමිණ සිටි නිරික්ෂක්යින්ද ඇතුළුව පිරිස විසි පස් දෙනෙක් සිටියහ. ආරම්භක දේශනය, වැඩ මුළු අධ්‍යක්ෂක තුමාගෙන් විය. මේ සඳහා පැමිණියේ මා හොඳින් දැන සිටි ශ්‍රී ලංකාවේ මහාචාර්ය වැලන්ටයින් බස්නායක මැතිතුමාය. එතුමා වැඩ මුළු අධ්‍යක්ෂක ධුරය හෙබවීම මටද ආඩම්බරයක් විය. 

උදේ වරුව වෙන් කර තිබුණේ ඒ ඒ රටවල වාර්තා ඉදිරිපත් කිරීමටය. ඊට කලින් වාර්තා ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ සටහන් කරන ලෙස ඉල්ලන පත්‍රිකාවක් අප අතට එවන  ලදී. ජපන්. මැලේසියානු, ඉන්දුනිසියානු  සහ කොරියන් සගයින් ලේඛනයේ තිබුණු උපකරණ සියල්ලම පාහේ ලකුණු කර තිබුණි. මගේ වාරය පැමිණි විට මට ලකුණු කළ හැකි වුයේ ශීර්ෂ ප්‍රක්ෂේපකය (Over-head Projector- OHP) පමණකි. එයට වුවද මගේ සුදානමක් නොවිය. මම නැවතත් අසරණ තත්වයකට පත්වීමි. එය හත්වන බාධකයයි. 

ඊට පසු   රටේ නමෙහි අකාරාදී පිළිවෙලට වාර්තා ඉදිරිපත් කරන ලදී. ඒ ඒ රටෙහි තාක්ෂණ ප්‍රගතියද වාර්තා ඉදිරිපත් කිරීමේදී දකින්නට ලැබිණ. වාර්තා කියවීම ආරම්භ වීමත් සමගම ලිපිකාරිණිය, මගේ වාර්තාවේ තිබුණු වගු තුනක පාරදෘශ්‍ය පිටපත් (Transparencies) මට ගෙනවිත් දුන්නාය. මා සඳහන් කළ එකම ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණයට ගැලපෙන එකම දෙය වන වගු,  මගේ වාර්තාවෙන් හඳුනා ගෙන ඇය එසේ කරන්නට ඇත. ජපානයේ මිතුරා තම වාරය පැමිණිවිට වෙදිකාවට ගොස් සියලු දෙනාටම හිස නමා ආචාර කර, යම් කිසි උපකරණ කිහිපයක් මේසය උඩ සකස් කර, ආපසු පැමිණ තම ආසනයේ වාඩිවී, දුරස්ථ පාලකයක් හසුරුවමින් තම වාර්තාව ඉදිරිපත් කළේය එය කාගේත් ප්‍රශංසාවට ලක්විය. මගේ වාරයේදී, ලිපිකාරිණියට ස්තුති වන්නට සකස් කර දුන් පාරදෘශ්‍ය පිටපත් නිසා අපේ  ජාම බේරා ගතහැකි විය.

ඒ දින හතරේදී ජීව විද්‍යා අධ්‍යාපනයේ නව ප්‍රවණතා, සරල ප්‍රායෝගික ක්‍රියාකාරකම්, නව ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ භාවිතය, පරිසර අධ්‍යාපනය, අපද්‍රව්‍ය කළමනාකරණය වැනි විෂයය කොටස් ගැන මනා අවබෝධයක් ලබාගැනීමට හැකිවිය. මෙසේ ලබාගත් දැනුම අපගේ විෂයය මාලා සංවර්ධනයේදී මහෝපකාරි විය.


ඒ වන විට. තාක්ෂණය අතින් අප බොහෝ පසු පසින් සිටියත්, අද අප ලබා ඇති දියුණුව ප්‍රසංශනීයය. කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල්මේ වන විට අධ්‍යාපනයට නව තාක්ෂණය ශීඝ්‍රයෙන් භාවිත කරන ආකාරය නම් අපට තවමත් බොහෝ  දුරස් බව පෙනේ.    

12 comments:

  1. මුල්වරට මා මුණ ගැසී ඇති අයෙකුගේ නමක් මේ බ්ලොගයේ.
    වැලන්ටයින් බස්නායක.
    ඔහු පේරාදෙණිය වෛද්‍ය පීඨයේ.
    පානබොක්කේ වීසී කාලේ  වරින් වර වැඩ බැලුවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      මහාචාර්ය බස්නායක තුමා මා හඳුනා ගත්තේ 1980 දී. ඒ ඔහු School Biology Project එක කරද්දී. ඔහු ඒ කාලයේ පේරාදෙණියේ Professor of Medicine. පසුව 1984 දී ඔහුගේ මුලිකත්වයෙන් SLASME - Sri Lanka Association for Science and Mathematics Education පටන් ගත්තා. ඔහු මිය යන තුරුම අප සමග ව්‍යාපෘති රාශියක වැඩ කළා.ඉතාමත් නිහතමානි මහත්මයෙක්.
      සන්නස පත්‍රයේ ඔබගේ 'සුදානම් සරිරේ' ලිපිය කියෙව්වා. එක හරිම කාලීනයි. සුබ පැතුම්.

      Delete
  2. ආවත් එකින් එක බාධාවෝ පෙරට
    මාවත් විවර වේ යහපත් වූ හිතට
    කීවත් මොකද රට වෙනුවෙන් ගිය නුඹට
    මාවත් පුරා තුතිමල් පිබිදෙයි යසට......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,

      පළමු වරට පිට රටකට යන ගමන
      කොහොමත් කරුණක්ය සිත යට වද දෙවන
      බාධක එන විටදී සැනසුම සුන් කරන
      අදිටන තමයි ඇති පිළිවෙත සිත නිවන

      ඔබට ජය !

      Delete
  3. හරි හමන් බාධා දෙකයි මට අනුව නම් තිබිල තියෙන්නෙ.එකක් කෝල් එක,අනික රිපෝට් එක ගැන දැනුම් නොදීම.මොනව උනත් වැඩ කාරයාට බොරු බෑ කියන්නෙ මේ වගේ අවස්ථා වලට වෙන්ටැ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,
      මා ආපසු පැමිණ මාසයකින් පමණ පළමු බාධකය මග හැර ගැනීමට දුර කථනයක් ලබා ගත්තා. දෙවන බාධකයත් කිසිම විමර්ශනයක් නොමැතිව මතකයෙන්ම කර ගත්තා. පිලිපිනයේදී එය කරගත් නිසා වාර්තාව නිසි පිළිවෙලකට තිබුනා. අන්තිමට ඒ එකක් වත් බාධක නොවෙයි. වැඩ කිරීමට ශක්තියක් ලැබීම.

      Delete
  4. වැඩක් සාර්ථක කරගන්න අවශ්‍යතාවය තියෙනවනං මොන බාධක ආවත් ඉලක්කෙට යන්න පුලුවන්.
    අසල්වැසියොනං වැඩි හරියක් ඔහොම අය තමයි ඉන්නෙ.

    ReplyDelete
  5. ස්තුතියි ප්‍රසන්න,
    නියමිත දිනට කලින් සියලුම අවශ්‍යතා කර ගන්නට තිබීම අභියෝගයක් උනා. ඒ වෙලාවේ හැටියට සියල්ල තනිවම කර ගන්නට ශක්තිය ලැබුණා.
    ඒ කාලේ බොහෝ අය ටෙලිෆෝනය හැම කෙනෙකුටම ලබාගත නොහැකි වටිනා ආභරණයක් ලෙසටයි සැලකුවේ.

    ReplyDelete
  6. දුරකථන ඇමතුම ලැබී සියල්ල කරදරයක් නැතුව කෙරුණාට වඩා බාධක ජයගනිමින් සාර්ථක කරගත් දේවල් ගැන ඇති මානසික සතුට වැඩියි. ඒ වගේම ඒවයින් පරිණත බවක් ලබනවා. සතුටක් දැනුනු ලිපියක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්,
      සිදුවූ සියල්ල කරදර වාගේ දැනුනේ ගමනටත්, ගමනට අවශ්‍ය දේ ගොනු කර ගැනීමටත්, සමුලුවටත්.වාර්තාවක් ඉදිරිපත් කිරීමත් යන සියල්ලටම නවකයෙක් වූ නිසයි. සියල්ල කරගත් පසු සිතට ලොකු සැහැල්ලුවක් දැනුනා.

      Delete
  7. බාධා මැදින් හෝ ඉලක්කය ජය ගැනීමයි වටින්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්,
      පසුව බලන විට ඒ එකක් වත් බාධක නොවෙයි. අධිෂ්ඨානයකින් යුතුව වැඩ කිරිමට හොඳ මග පෙන්වීමක් බව මට තහවුරු වූවා.

      Delete