Wednesday 25 October 2017

අතීත අධ්‍යාපන තොරතුරු ආවර්ජනා ......... 1 . ‘ගමේ පාසැලේ සිට විශ්ව විද්‍යාලයට ......’

   1960 දශකයේ මුල් වර්ෂ වලදී  අත් විඳි, දශක හයකට පසු නැවත ආපසු හැරි බලන විට තරමක මිශ්‍ර හැඟීම සහිත සිතුවිලි ධාරාවකින් යුක්තව මෙනෙහි කළ හැකි සිද්ධීන් සමුහයක්‌ මෙසේ පෙළ ගස්වමි.
.
මා පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වයක් ලබා ප්‍රදේශයේ තිබුණු මධ්‍ය විද්‍යාලයට  ඇතුළත්වූයේ 1950  වර්ෂයේදීය. ගමේ ප්‍රාථමික විද්‍යාලයේ සිට ශිෂ්‍යත්වයක් ලබා මධ්‍ය විද්‍යාලයට ඇතුලත් වීම ඒ කාලයේ විශාල ජයග්‍රහණයකි. ඊට පසු විශ්ව විද්‍යාලයයේ විද්‍යා අංශයට ඇතුළත්වීම සහ   අපගේ ගමෙන් එසේ කළ හැකිවූ ප්‍රථමයා වීමද මා ලැබූ තවත් ජයග්‍රහණයකි. ඒ 1960 වසරේදීය.

රටෙහි එවකට තිබුණේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයය පමණකි. ඒ වන විට, එහි කලා පීඨ, කෘෂි විද්‍යා  පීඨය  සහ පශු  වෛද්‍ය පීඨය  ස්ථාපිත කර තිබුණේ පේරාදෙණියේය. විද්‍යා පීඨය, වෛද්‍ය විදා පීඨය සහ ඉංජිනේරු විද්‍යා පීඨ පවත්වා ගෙන යන ලද්දේ කොළඹය.  අප ඇතුළත්වූ විද්‍යා පීඨය පිහිටියේ දැනට කොළඹ විශ්ව විද්‍යාලයය තිබෙන රීඩ් මාවතට සහ තර්ස්ටන් මාවතට මැදිවූ පරිශ්‍රයේය. රීඩ් මාවතෙන් අනික් පැත්තේ තුරඟ තරඟ පිටිය පිහිටා තිබුණි. සිසුන් සඳහා ශිෂ්‍ය නිවාස කිහිපයක්ද විය. මෙම ශිෂ්‍ය නිවාස සඳහා විශාල මුදලක් ගෙවීමට අවශ්‍ය නිසා අපට ඒවායේ නේවාසික වීමට වත්කමක් නොවීය.

මධ්‍ය විද්‍යාලයේ  සිටියදී ශිෂ්‍යත්ව ආධාර මුදල වශයෙන් රජය මගින් ලබාදුන්නේ මසකට රුපියල් විස්සකි. මේ මුදලින් කෙසේ හෝ අපට සියලුම නේවාසික පහසුකම් නොඅඩුව ලැබුණි, විශ්ව විද්‍යාලයට ඇතුළත්වූ පසු ශිෂ්‍යත්ව ආධාර  මුදල රුපියල් සියයක් විය.

කොළඹ සිට සැතපුම් පනහක පමණ ඈතින් පිහිටි නිවසේ සිට විශ්ව විද්‍යාලයට පැමිණීම අපහසු නිසා මට කොළඹ නවාතැනක් සොයාගැනීමට සිදුවිය. පියාගේ හැඳුනුම් කමක් මත මට නාරාහේන්පිට පදිංචිව සිටි දේශීය වෛද්‍යවරයෙකුගේ නිවසෙහි නතරවීමට කතිකා කර ගතිමු. තිඹිරිගස්යාය පාරේ අවසානයේම තිබුණු මෙම පැරණි නිවසට යාබදව පිහිටි, ගෙහිමියාට අයිති ගරාජයක් වැනි පැරණි ගොඩනැගිල්ලක ලෑලි ගසා වෙන් කරන ලද කාමර නේවාසිකයින්ට කුලියට දීම සඳහා සකස්කර තිබුණි. මෙයින්, කුඩා මේසයක්, පුටුවක් සහ  විදුලි පහනක් පමණක් තිබුණු කුඩා කාමරයක්‌ මට ලබාගත හැකි විය. එයට  මාසික කුලිය රුපියල් හැත්තෑවකි.  නිදා ගැනීම සඳහා, ඇඳක් නොලැබුණු නිසා රුපියල් හතළිහකට බුරු ඇඳක් මිලයට ගැනිමට සිදුවිය. කාමරවල නේවාසිකව සිටි අප පස් දෙනෙකුට භාවිත කිරීමට තිබුණේ බාල්දි වැසිකිළියකි. නගර සභාවේ සේවකයෙකු එය හිස්කර පිරිසිදු කරනුයේ දහවල් දහයට පමණ වන නිසා බොභෝ දිනවල උදයේ එය පෙත්තටම පිරි තිබිණ. මුල් දිනවල ඉතාමත් අමාරුවෙන් වැසිකිළිය පාවිච්චි කර, පසුව එම කටයුත්ත සඳහා විශ්ව විද්‍යාලයයේ වැසිකිලි පහසුකම් ලබාගැනීමට  පුරුදු වුයෙමි.

අපට දිය නෑම සඳහා නාන කාමර නොවිය. වැසිකිලියට යාබදව සකස් කර තිබුණු වතුර ටැංකියෙන් බාල්දියකින් දිය ඇද නෑමට සිදුවිය. වතුර ටැංකියද දිය සෙවෙල බැඳී ඉතාමත් අපිරිසිදු තත්වයක තිබුණු නිසා ටික දිනකට පසු  මට තවත් සගයෙකුගේද සහාය ඇතිව එය පිරිසිදු කර ගැනීමට සිදුවිය.

මා හැර, නේවාසිකව සිටි අනික්‌ සියලු දෙනාම කාර්යාල වල වැඩ කළ අය නිසා පීටින් ආහාර ගැනීමට පුරුදුව සිටියහ. මට පාඩම් කිරීමට තිබෙන නිසා ගෙදරින් රාත්‍රී ආහාර  සැපයිය හැකිදැයි මම වෙද මහතාගෙන් විපරම් කළෙමි. වැඩ කරන දින වලදී මට විශ්ව විද්‍යාල ආපන ශාලාවෙන් ආහාර ගතහැකි බවද ඔවුනට පැවසීමි. දෙමහල්ලන් සාකචඡා  කර, මසකට රුපියල් විසිපහකින් මට අවශ්‍ය උදේ ආහාරය, රාත්‍රී ආහාරය සහ සවස තේ සැපයීමට කැමති වුහ.  මේ සමගම ඔවුන් සියල්ලෝම මට ගෙදර කෙනෙකුට මෙන් සැලකීමටද  පුරුදු වුහ.

මා ද, ඒ සියල්ලට ප්‍රති උපකාරයක්‌ වශයෙන් ඉඩ ඇති වේලාවට ගෙදර දරුවන් දෙදෙනාගේ ඉගෙනීමේ කටයුතුවලට උදව් කළෙමි.

නවාතැන මට ඉතාමත් ප්‍රිය මනාප තැනක්‌ විය. ලෑලි ගසා වෙන්කර තිබෙන කුඩා කාමරයට වී තනි පංගලමේ පාඩම් කිරීමත්, බුරු ඇඳේ නිදාගැනීමත් මට අලුත්ම අත් දැකීම් විය. මේ නිසා සරල, චාම් ජිවිතය පිළිබඳව හොඳ අවබෝධයක්ද  ලැබිණ. ගෙදර කුඩා දරුවන් දෙදෙනාට පාඩම් කටයුතුවලට උදව කිරීමෙන්ද මම නොමඳ ආශ්වාදයක් ලැබුවෙමි.

මාගේ නවාතැන ඉදිරිපිට තිඹිරිගස්යාය පාරේ ධාවනය වන, මාර්ග අංක 111 නාරාහේන්පිට-පිටකොටුව  බස් රථය තුන්මුල්ල හන්දිය හරහා තර්ස්ටන් පාර ඔස්සේ  යාම  මට තවත් පහසුවක් විය. මේ නිසා නවාතැනේ සිට විශ්ව විද්‍යාලයට මිනිත්තු දහයකින් පමණ යාමට හැකිවිය. විශ්ව විද්‍යාලයය අසල බස් නැවතුම දක්වා යාමට බසයට අය කළේ ශත පහළොවකි. සමහර දිනවල තුන්මුල්ල හන්දියෙන් බැස ඉතිරි කොටස පයින් යාමටද පුරුදු වූවෙමි. එසේ කළ විට බස් ගාස්තුව ශත දහයක්‌ පමණක් වූ නිසා ශත පහක්‌ ඉතිරි කර ගැනීමටද හැකි විය. එවකට විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා අංශ ප්‍රධානියා වූ මහාචාර්ය මයිල්වාගනම් මහතා ද දිනපතාම තිඹිරිගස්යාය අසල සිට විශ්ව විද්‍යාලයට පයින්ම යනු දකින්නට ලැබුණි.

ජීව විද්‍යා අංශයේ වූ අපගේ දේශන පැවැත්වුයේ තර්ස්ටන් පාරෙන් ඇතුල්වන දොරටුව අසලම පිහිටි  ශාලාවේය. අපගේ විද්‍යාගාරද ඒ අසලම විය. රසායන විද්‍යාව සඳහා පමණක් තරමක් දුරින් පිහිටි පැරණි ගොඩනැගිලි සංකීර්ණයට යාමට සිදුවිය. ජීව විද්‍යා අංශයේ සිටියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හතලිස් දෙනෙක් පමණකි. මෙයින්ද පසළොස් දෙනෙක් පමණ පළමු වසර අවසානයේදී ගෞරව උපාධි අංශ වෙත යොමු වුහ. භෞතීය විද්‍යා අංශයේ සියලුම සිසුන්ද අප සමග පළමු වසර රසායන විද්‍යා දේශන වලට සහභාගී වුහ. පළමු වසරේ තවත් විශේෂ  දෙයක් වූයේ ඉංජිනේරු පීඨයට සහ වෛද්‍ය  පීඨයට තේරී ඇති රසායන විද්‍යාවෙන් යම්කිසි මට්ටමකට අඩුවෙන් උසස් පෙළ ලකුණු ලබා සිටි සිසුන්ද අඩු සුදුසුකම් සපුරා ගැනීම සඳහා අපත් සමග රසායන විද්‍යා දේශන වලට සහභාගී වීමයි. මේ නිසා රසායන විද්‍යා දේශන සඳහා සියයකට අධික සිසුන් පිරිසක් සිටියහ.

අපගේ පළමු වසර සත්ත්ව විද්‍යාව සහ උද්භිද විද්‍යාව දේශන සියල්ලම කරනු ලැබුවේ එම අංශ දෙකෙහි පීඨාධිපති මහාචාර්ය වරුන් විසිනි. මුල් දින කිහිපයේදී ඔවුන්ගේ දේශන වල අගක් මුලක් සොයා ගැනීමට නොහැකි තරමට අවුල් සහගත විය. අධ්‍යාපන මාධ්‍යය  ඉංග්‍රීසි වූ  ගම්බද විදුහලකින් පැමිණි මට, සාමාන්‍ය ව්‍යවහාර භාෂාව වුයේ සිංහල නිසා මෙසේ වන්නට ඇත. එහෙත් සති කිහිපයකදී  මහාචාර්ය වරුන්ගේ ව්‍යක්ත ඉංග්‍රීසි උච්චාරණය තේරුම් ගනිමින් දේශන සටහන් ලියා ගැනීමටද හැකිවිය.

සත්ත්ව විද්‍යා මහාචාර්යවරයා සිසුන් සමග කතාබස් නොකරන දේශන වලට හැර, වෙන කිසිම අවස්ථාවක තම කාමරයෙන්වත් පිටතට නොඑන ගුප්ත කෙනෙකු විය. ඔහුගේ දේශන වුයේ පයිල් කවරයක තිබෙන පැරණි සටහන් කියවීමයි. කෙසේ වෙතත් එතුමාගේ රුප සටහන් ඉතාමත් පැහැදිලි ඉතා හොඳින් නම්කළ ඒවා විය. විවිධ වර්ණ වල රට හුණු වලින් විස්තරාත්මකව අඳින ලද  රුප සටහන් දේශනයට වඩා ප්‍රයෝජනවත් විය. ඔහු ඉතා වේගයෙන් දේශනය කියවන අතර බොහෝ විට අපට සම්පූර්ණ වාක්‍ය ලියා ගැනීමට නොහැකි වේ. මේ නිසා සෑම දිනකම දේශනයෙන් පසු අප හතර පස් දෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායම් එකතුවී දිනයේ දේශන සටහන් සංසන්දනය කර අඩුපාඩු සම්පුර්ණ කර ගැනීමට  පුරුදු වි සිටියෙමු. අප බොහෝවිට මෙය කළේ දේශන ශාලාව ඉදිරිපස තිබුණු විශාල මගුල් කරඳ ගස යට සෙවනේ වාඩිවී සිටය. බොහෝ විට පැයක දේශනය සම්පුර්ණ කර ගැනීමට තවත් පැයක පමණ වේලාවක් ගතවිය. (අද ඒ මගුල් කරඳ ගස එහි නැත)

උද්භිද විද්‍යා මහාචාර්යවරයාගේ දේශන වලද කිසිම ගොනුවක් නොවිය. ඔහුගේ  දේශනවලදී වැඩි කොටසක්  පුස්තකාල විමර්ශන වලට යොමු කිරීම් වශයෙන් දෙන ලදී. මෙසේ නිර්දේශ කරන සමහර විමර්ශන සඳහා පුස්තකාලයේ තිබෙන්නේ එකම පොතක් පමණකි. සමහර දිනවල ඔහුට අමතකවී එකම දේශනය නැවත කරගෙන ගිය අවස්ථාද තිබිණ.

අපගේ ප්‍රායෝගික වැඩද මෙහෙයවන ලද්දේ අදාළ මහාචාර්යවරුන් විසිනි. අවසාන උපාධියට පෙනී සිට ප්‍රතිඵල බලාපොරොත්තුව සිටින සහායක  ප්‍රදර්ශකයින් (demonstrators), මහාචාර්ය වරුන්ගේ  උපදෙස් මත, අපට ප්‍රායෝගික වැඩ වලදී උපකාර කළහ.

අප බොහෝ දෙනෙකු දිවා ආහාරය ගත්තේ ප්‍රධාන ශාලාවට ඔබ්බෙන් පිහිටි ආපන ශාලාවෙනි. කෑම පිඟානක් සඳහා උදයේම මුදල් ගෙවා ටෝකන් පතක් ලබාගත යුතු විය. එළවලු දෙකක්, මස් හෝ මාළු කෑල්ලක් සහිත කෑම එකක මිල ශත පනහක් විය. බොහෝ විට ආහාරයට ලැබුනේ ගව මස් හෝ ඌරු මස්ය. ඒ කාලයේ කුකුල් මස් බෙහෙවින් හිඟ මාංශයකි. තැම්බූ බිත්තරයක් හෝ ඔම්ලට් එකක් සහිත කෑම පිඟානක  මිල ශත පනස් පහක් විය.

හකුරු කෑල්ලක් සමග කහට තේ එකක් ශත පහක්‌ වූ අතර කිරි තේ එකක මිල ශත දහයකි. තේ බිම සඳහා අතුරු පසක් වශයෙන් තිබුණු හැලප, ලැවරියා, කිඹුල් බනිස්, තල ගුලි වැනි ඕනෑම එකක මිල ශත පහක් විය.
අද පවත්නා මිල ගණන් සමග සසඳා බලන විට දශක හයකට පමණ ඉහතදී තිබුණු මිල ගණන් සාධාරණ බවක් පෙනේ. ඒ කාලයේ උපරිම ශිෂ්‍යාධාරය වශයෙන් ලැබුණු රුපියල් සියය දෙස බලන විට, අද ලබන රුපියල් පන්දහසක ශිෂ්‍යාධාරය එදා මෙන් පනස් ගුණයකින් පමණ වැඩි වී ඇත. එසේ වුවත් අද බොහෝ සිසුනට එම මුදලෙන් අවශ්‍ය සියල්ල කරගත නොහැකිය. මෙයද විවෘත ආර්ථිකයේ සහ උද්ධමනයේ අනිසි විපාක විය හැකිය.

මේ ආකාරයට, අලුත් වට පිටාවක හමුවූ, නුහුරු දේ ඉක්මණින්ම ජිවීතයට අදාළ කර ගනිමින්, අධ්‍යාපන කටයුතු කර ගෙන යන විට නොදැනීම වාගේ පළමු වසර අවසන් විය. ශිෂ්‍යත්ව ආධාර වශයෙන් ලැබෙන රුපියල් සියයෙන් නවාතැන් ගාස්තු, බස් ගාස්තු, ආහාර පාන වියදම් ආදිය යන්තමින්වත් සපුරා ගැනීමට හැකිවීමද විශේෂත්වයකි. කෙසේ වෙතත්, අමතරව, දෙමාපියන්ගෙන් ලැබුණු, මසකට රුපියල් දහයක්‌ වැනි මුදලින් කීයක් හෝ ඉතිරි කර ගැනීමටද  හැකිවූ බව විශේෂයෙන් සඳහන් කළ හැකිය. මෙසේ බලන කළ එදා විශ්ව විද්‍යාල අධ්‍යාපනය අද තරම් පීඩාකාරී නොවුණේදැයි සැකයකි.

34 comments:

  1. අගේ අැති විස්තරයක්.
    ඒ කාලෙ තිබුණ ගණං මිනුම් එක්ක බලනකොට දැන් තියෙන තත්වෙ ගැන පුදුම හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      මා හිතන්නේ ඒ කාලේ සරල ජිවිතයට හුරුවී සිටි නිසා මුදලට ඒ තරම් වටිනාකමක් දීමට කවුරුත් උනන්දු උණේ නැහැ

      Delete
  2. ශිෂ්‍යාධාරය රුපියල් සියයක් කියන්නේ ලොකු ගානක් මගේ හිතේ.. 1961 කසාද බැඳලා යද්දී අපේ තාත්තාගේ දවසේ පඩිය රු.2 ලු.. :)

    1988 වගේ ඉඳල 92/93 වගේ වෙනකල් මටත් ලැබුන ශිෂ්‍යාධාරයක් ඒකත් මාසෙකට රුපියල් සීයයි.. මාස තුන හතරකට සැරයක් තමයි ඕක ලැබෙන්නෙත්.. ඒකෙන් වැඩියෙන්ම කරේ ගෙදරට හාල් පොල් ගෙනිච්ච එක.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්‍යාණ,
      80-90 කාලයේදී පාසැල් ශිෂ්‍යත්වාධාරය මසකට රුපියල් සියයක් ලැබුනා නේද? රුපියල් විස්ස සියයක් වී තිබෙන්නේ අවුරුදු තිහකට පස්සේ. පෙනෙන හැටියට අපී කවුරුත් එකම බෝට්ටුවේ ගමන් කර තිබෙනවා වගෙයි!!!

      Delete
  3. ඔබගේ ගම මතුගම අවට ප්‍රදේශයකද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Unknown
      පිළිතුර ඉතා කෙටියෙන් 'ඔව්'

      Delete
  4. අතී තේ වූ මතක එකිනෙක මුල සිටම හොඳ හැටි බලා
    සිතී මෙන් යම් විටෙක සිත තුළ නැගෙයි සතුටක් පියඹලා
    එතී දිවියේ දුක සතුට හැම වරින් වර නිති ළංවෙලා
    ඇතී හැමටම මෙවන් සිතුවිලි මතක ඇතුළේ හැංගිලා...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී,
      කලකිනි දුමී ඔබගේ සටහන් දුටුවේ තොරතුරු නොමැත කිසිවෙක්වත් මට කිව්වේ
      සතුටකි නැවත දැකුමට ඔබ අප හමුවේ නැවතත් කවි ලියමු නිතරම මේ පිටුවේ

      ඔබට ජය !

      Delete
  5. අතී තේ වූ මතක එකිනෙක මුල සිටම හොඳ හැටි බලා
    සිතී මෙන් යම් විටෙක සිත තුළ නැගෙයි සතුටක් පියඹලා
    එතී දිවියේ දුක සතුට හැම වරින් වර නිති ළංවෙලා
    ඇතී හැමටම මෙවන් සිතුවිලි මතක ඇතුළේ හැංගිලා...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ස්තුතියි දුමී,
      අතී තයෙ සිදුවීම් වැලකුත් මහත් සතුටින් පසුකළා
      සිතී මෙන් යළි නැවත ඒ ගැන නැවුම් මිහිරක් එයි ගලා
      එතී එම කම්කටොලු දිවියට කලක් තිස්සේ මුසු වෙලා
      ඇතී අපමණ ලකුණු ආ මග සනිටුහන් ලෙස ඉදි වෙලා.

      ඔබට ජය !!

      Delete
  6. තාත්තා ලියලා තියෙන මේ විස්තර වල කොටස් ඉස්සර වරින් වර අහලා තිබුණත් මෙහෙම පෙළට මම දැනගත්තෙත් මේ පෝස්ට් එකෙන්. මේ වගේ මතක එකතු කරලා තාත්තාට memoir එකක් ලියන්න පුළුවන් දැන්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලී දුව,

      Blogs වල ලියනලද දේවල් උනත් එකතු කරලා memoir එකක් ලියන්නට පුළුවන් වගෙයි. ඒ ගැන කල්පනා කර බලන්නට ඕනෑ

      Delete
    2. Mr. Daya,

      Please write an English version of your memoirs too.

      With your vast experience in numerous fields and considering the compassionate way you look at life in general and last but not least your phenomenal memory I am sure it would be a resounding success.

      Well...Some thing similar to "Grass for my feet" by J. Vijayatunga I hope ...:D

      Delete
    3. Ravi,
      Thank you very much.To start with, I thought of writing my Blog posts in English, but I changed the idea thinking about a wider spectrum of readers. That is why I concentrated more on Sinhala. However, now it has become only English. I will seriously consider your request and switch on to English also, depending on the subject.
      Good luck to you.

      Delete
    4. Reminded me of the memoirs of the Civil servants, Devendra and Chandrasoma (Principal Collector of Customs)

      Delete
  7. මේක කියෙව්වාහම අඩන්නද හිනාවෙනන්ද කියලා හිතා ගන්න බැහැ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උදාර,
      අඬන්න නම් එපා !. කාලයාගේ ඉක්ම යාමත් සමග සිදුවන වෙනස් විම. ආරථික විද්‍යාඥයෝ මේකට උද්ධමනය කියා කිව්වත් මෙය ඊටත් වඩා එහාට ගිය සංසිද්ධියක්. ඒ නිසා මේ තත්ත්වයට සිනහ වෙන්න මෙහෙම කාලයකුත් තිබිල කියා. අපේ තාත්තලා පුංචි කාලේ තඹ සතය ලොකු මුදලක්. සතයටත් වඩා අඩු මුදලේ කාසි තිබිලා. ශත භාගය හඳුන්වා ඇත්තේ සල්ලිය කියලා. සල්ලියෙන් භාගය අලුක්කාල. ඒකනේ ඔය තවමත් ව්‍යවහාරයක් තිබෙන්නේ රුපියල් අස්සේ අලුක්කාල් ගහනවා කියලා

      Delete
  8. මටත් රජයේ ශිෂ්‍යාධාර වගේම ජපන් ශිෂ්‍යාධාරත් ලැබුණා. උසස් පෙළ එක ටියුෂන් එකකට ගෙව්වේ ඒකෙන්. එව්වත් නොතිබ්බනං අද උසස් පෙළත් අසමත්.

    මට තිබුණු උසස් පෙළ ප්‍රතිඵලය අනුව විශ්ව විද්‍යාලයකට ඉල්ලුම් කරන්න පුළුවන්කම තිබිලා තියෙනවා. කරුමෙට ඒක ඒ දවස්වල දැනගෙන හිටියෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුරංග,
      ඔය ටියුෂන් වැඩෙත් දෙමාපියන්ට ඉහුලුම් නොදෙන බාධකයක්නේ. අපේ කාලේ ටියුෂන් තිබුනේ නැහැ. පහේ ශිෂ්‍යත්වයට ඉස්කෝලේ ගුරුවරු සවසට නොමිලයේම ඉගැන්වුවා. හොඳට වැඩ කරන අයට පැන්සලක්, කොපි පොතක් වගේ තෑගිත් දුන්නා.
      /මට තිබුණු උසස් පෙළ ප්‍රතිඵලය අනුව...../ ඔබටත් සන්නිවේදනයේ අඩුපාඩුවක් නිසා ඒ අවස්ථාව මග හැරිලා වගෙයි. මේ ලෙසට‍ වු තවත් අය ගැන මා අසා තිබෙනවා.

      Delete
  9. අපේ සීයාගේ පඩිය වූ රුපියල් 2.25න් හොඳ සපත්තු කුට්ටමක් සත 25 මගේ පියාට අරන් දුන් කතාවක් ආච්චි ඒ දිනවල කිව්වා. මා පාසල් යන කාලයේ ප්ලේන්ටියක් රුපියලක්, රෝල් එකක් රුපියල් 1.25 සහ බිත්තර පාන් එකක් රුපියල් 2 වූ කාලය මතකයි. උදේට ගෙදරින් රුපියල් පහේ කාසියක් දෙනවා. මගේ විවේක කාලයේ ආහාරය වුණේ ඉහත කී ජාති තුනයි. ප්ලේන්ටිය මග හැර ඉතිරි කරගන්නා සල්ලි වලින් සිකුරාදා දවස් වල කූල් බීම බෝතලයක් 5 ට බොන්න පුරුදු වෙලා හිටියා. ඒ වගේම රුපියලක රටකජු කෑමත් ඒ දිනවල පුරුද්දක්. මම ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබා නැතත් ක්‍රීඩා කටයුතු සඳහා නිතර පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ගොස් තිබෙනවා. කැන්ටිමේ රුපියල් 6 බත් එක සහ රුපියල් 2 අඩු දෙතුන් පාරක් කනවා. මම හිතන්නේ අපි රුපියල් 1000 කින් මාසේ ගෙවා ගත් හැටි අපිට තව ටික කලකින් මේ වගේ කියන්න පුළුවන් වේවි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර,
      එක පරම්පරාවක ජිවන රටාව, ආහාර පාන, ගමන් බිමන්, ඇඳුම් පැළඳුම්, ගති පැවතුම් ආදිය ඊළඟ පරම්පරාවට අමුතු ලෙස දැනෙනවා. මා හිතන හැටියට දශක හතරකදී පහකදී පමණ මේවායේ වෙනසක් දැනෙනවා. දැනට තාක්ෂණ දියුණුව නිසා මේ වෙනස් වීමේ වේගයත් වැඩි වෙන බවයි පෙනෙන්නේ. සමහරවිට ඔබගේ දරුවන් හෝ මුණුපුරන් ඔය කියන විස්තරය සත්‍යයෙන් තොර යයි සිතන්නට පුළුවනි.

      Delete
  10. /අපගේ පළමු වසර සත්ත්ව විද්‍යාව සහ උද්භිද විද්‍යාව දේශන සියල්ලම ../

    අද හැමෝම ලියන විදිහට සත්ව කියා නොව සත්ත්ව කියා ලියන තවත් පුද්ගලයකු මම මේ දැක්කමයි.

    අපිට පහ වසරෙ සිංහල උගන්වපු (සිංහල කිව්වට ඒ කාලෙ බාලාංශ පංතිවලට ඉංග්‍රීසි ඇරෙන්න අනිකුත් විෂයයන් සියල්ලම ඉගැන්නුවෙ පංති භාර ගුරුතුමා හෝ ගුරුතුමියමයි. ඒ තත්වය වෙනස් වෙලා එක එක් විෂය විවිධ ගුරුවරු උගන්වන්න පටන් ගත්තෙ 6 වසරෙ ඉඳල ) මුදියන්සෙ මහත්මය මට මතකයි ඔය වගෙ බොහෝ දෙනෙක් වරද්දන වචන ගැන විශේෂයෙන් කියල දුන්න.

    සත්ත්ව විද්‍යාව, තත්ත්වය, ත්‍රෛයිලෝක නායක... ඒ මට මතක වචන කිහිපයක්...:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රවී,
      ඔබට වගේම අපටත් අටවැනි සහ ජේෂ්ඨ පන්ති වලදී ඉතා හොඳින් සිංහල ඉගැන්වූ ගුරු මහත්මයෙක් සිටියා. ඒ නිසා තමයි තුන වසරේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්තත් හොඳට සිංහල ලියන්නට ශක්තිය තිබෙන්නේ. දැන් ලියන අය වරද්දන එකේ සීමාවක් නැහැ. රූපවාහිනියේ පවා බොහෝ විට සිංහල වැරදියි. මේවා ගැන සොයා බලන අය අඩුයි. දන්නා අයත් ඔහේ කරබාගෙන ඉන්නවා.

      Delete
    2. විද්‍යාලයය?

      Delete
    3. නිදහස් අධ්‍යාපනය රටට හඳුන්වාදුන් අචාර්ය. සි.ව්බ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන් විසින් ආරම්භ කරන ලද පළමුවෙනි මධ්‍ය විද්‍යාල වලින් එකක් වන, එතුමාගේ මන්ත්‍රී ආසනය වූ මතුගම, පිහිටුවන ලද මධ්‍ය විද්‍යාලයය. මෙය පසුව අචාර්ය. සි.ව්බ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයය ලෙස නම් කරන ලදී.

      Delete
  11. ඉතා වටිනා මතකයන්.

    Did you maintain a diary?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay,
      මා බොහෝ විට ලියන්නේ මතකයෙන්මයි. ඒ යටගියාවේදී මුණ පෑ ගැටළු, ඇසුරු කළ හිත මිතුරන්, ආගිය ගමන් බිමන්, ඉගෙනගත් දේ, අධ්‍යාපන කටයුතු සඳහා ලබාදුන් දායකත්වය, සමාජ සාධාරණත්වය පිලිබඳ සිතුම් පැතුම් වැනිදේ උපේක්ෂාවෙන් යුතුව මෙනෙහි කරන විට මතකය අලුත් වෙනවා. Diary සටහන් නම් නැහැ.

      Delete
  12. මේකේ තියෙනවා හරක් මස් හෝ ඌරූ මස් හෝ මාළු අඩංගු දිවා ආහාර පැකට් එකක් ශත පනහයි කියලා. ඒ වගේම ඔබ අර කබල් බෝඩින් කාමරයට රුපියල් 70 ක් ගෙව්වයි කියලත් තියෙනවා.

    ඒ කියන්නේ කෑම පැකට්ටුවක මිල වගේ 140 ගුණයක් කාමරේට ගෙවලා.

    ම ඒ ගණන් අදට බැලුවොත් අද කැම්පස් එකෙන් මස් අඩංගු කෑම එකක් රුපියල් 70 කට වගේ ගන්න පුළුවන්. පිටින් ගන්නවා නං අඩුම ගානේ 120 ක් වත් වෙනවා.

    ඉතින් හැත්තෑවට කෑම පැකට් එකක් ගන්න මිල එදාට සාපේක්ෂව 140 න් වැඩි කලොත් 9800 ක්. ඒ කියන්නේ අද බෝඩින් කාමරයකැ මිල එච්චර වෙන්න ඕනි. ඒ ගානට තුන් වේලම කෑමත් එක්ක කාමරයක් හොයා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කැම්පස් අවට හොද තත්වේ ෆෑන් අනං මනං එක්ක, හොද බාත්රුම් තියෙන කාමර 6500 ක් වගේ තමයි වෙන්නේ.

    අනික ඔබ අර කබල් කාමරේට ඒ කාලේ රුපියල් 70 ක් ගෙවනවා මදිවට කෑම ගන්නත් එහෙටම තව 25 කුත් ගෙවලා. ගණන් හිලව් නිවැරදි නැද්ද? නැත්තම් ඒ ගෙදර අයිතිකාරයා අමු කුනෙක්‌ද?

    ReplyDelete
  13. ස්තුතියි උපාලි,
    ඔබගේ ගණනය කිරීමත් තර්කයත් බොහෝදුරට හරි. ඒ උනත් ඔය දශක පහ හය ඉක්ම යාමේදී භාණ්ඩ සහ සේවා මිල ගණන්වල වැඩිවීම සාපේක්ෂ න්‍යාය වලට අනුකුල කරන්නට බැහැ. ම‍ා කියන කාලයේ නවාතැනක් සොයා ගැනීම හරිම අමාරුයි. ම‍ා අසා ඇති ආකාරයට විශ්ව විද්‍යාලය සඳහා කුලියට ලබාගෙන තිබුණු නේවාසිකාගාර වලට මසකට රුපියල් 160 ක් අය කළා. කල්යාමේදී බොහෝ ගෙවල්වල නේවාසිකයින් සඳහාම 'ඇනෙක්සි', කාමර ආදිය සකස් කරන්නට පටන් ගත්තා. සැපයුම වැඩි වන විට කුලිය අඩුවන්නට ඇති. ආහාරපාන වල මිල ගණන් එසේ නොවන්නට ඇති.

    ReplyDelete
  14. දයා මහත්මයා,

    ඔබතුමා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ යුගයේ නවක සිසුන් සදහා නවක වදය තිබුනද? අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය වැනි සංවිධාන තිබුනද? පැහැදිලි කිරීමක් කරන්න මැතිතුමා. (මා විශ්ව විද්‍යාල සිසුවියක්)

    තිළිණි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිලිණි,
      ඔබ අසා තිබෙන්නේ මා ඊළඟ blog post එකට ලියන්නට සිතමින් සිටින කරුණු ටිකක් ගැන. අද හෙටම එය ලියනවා. ඔබ අධ්‍යාපනය ලබන්නේ කොයි විශ්ව විද්‍යාලයේද?

      Delete