Wednesday, 30 August 2017

ගංවතුරේ පදිමින් සිටි ඔරුවට ගසක සිටි පොළඟෙක් පැන්නා...........

   ප කුඩා කළ ජීවත්වූ යේ කළු ගඟට කිට්ටුවෙන් පිහිටි රමණිය ගම් ප්‍රදේශයකය. අප්‍රියෙල් අවුරුදු නිවාඩුව කෙළි දෙලෙන් ගතකරන අපට ඊළඟට එළඹෙන වෙසක් සමය තවත් ආශ්වාද ජනක කාලයකි. වෙසක් කූඩු තැනීම, වෙසක් බලන්නට යාම, පන්සල් යාම වැනි දෙයටත් වඩා අප ප්‍රිය කළේ නොවරදාවාම ඒ දිනවලට වර්ෂාවත් සමග එන ගංවතුරේ කෙසෙල් කොට පහුරු පැදිමටය. අවුරුදු දිනවල වැසි වසින විට,

‘මේ පාර නම්.... හතලිස් පස් දොහේ ගංවතුර සිකුරටම එනවා’

යයි අපගේ සීයා කියන විට අපට පහුරු පැදීම සිහිවේ. 

අවුරුද්දට හිස තෙල් ගා අවසන් වූ වහාම,  අවුරුදු සංග්‍රහ සඳහා කෙසෙල් කැන් කැපු පසු ඉතිරිවන කෙසෙල් කොට එක්රැස් කර එකට අමුණා ගෙන, අපි පහුරු පැදීමට සුදානම් වන්නෙමු.

වැඩිහිටියන් වු පසුද කෙසෙල් කොට පහුරු කෙසේ  වෙතත් ගංවතුරේ ඔරු පැදීමට නම් පුදුම ආශාවක් තිබිණ. මගේ සේවා ස්ථානයේ සිටි එක් මිතුරෙකු වන ගුණසිරිද ගංවතුර ගලන  ප්‍රදේශයක පදිංචි කරුවෙකි. කාර්ය මණ්ඩලයේ එක වයසේ අප කිහිප දෙනෙක්ම විය.

මැයි මාසයේ වෙසක් පොහොය පසුවී සතියකින් පමණ තද වැසි වැස ගංවතුර ගැලිය. මා ඔරු පැදීමට කැමති බව දන්නා ගුණසිරි,

‘මේ සෙනසුරාද ගංවතුරේ ඔරු පදින්නට යමුද? කියා මගෙන් ඇසිය.

මම එම යෝජනාවට කැමති වීමි.

‘අපේ බාප්පලාගේ ගෙදර ඔරුවක් තියෙනවා. එහෙ මල්ලි කෙනෙක් ඉන්නවා ඔරු පදින්නට හරිම දක්ෂයා’ මම එයාටත් කතා කරලා ඔරු පදින්න ලැහැස්ති කර ගන්නම්’ කී  ඔහූ

‘ටිකක් දුරට  ගියොත් ඔරුවේ හිඳ ගෙනම ඉදුණු කැබෙල්ල ගෙඩි කන්නත් පුළුවන්’ කියා තවත් රසවත් දෙයක් මතක්‌ කළේය.

දං සහ කැබෙල්ල මා ඉතා ප්‍රිය කළ කැලෑ පලතුරු විය.

‘එහෙනම් අපි සෙනසුරාදා උදේ අපේ බාප්පලාගේ ගෙදරට යමු’. කියා ගුණසිරි ගමන ස්ථිර කළේය.

සෙනසුරාදා උදේ, අපගේ තවත් සගයෙකු සහ මම,  ගුණසිරි සමග ඔහුගේ බාප්පලාගේ ගෙදරට ගියෙමු. ගුණසිරිගේ ඤාති සොහොයුරා වූ සරත්, හෙදරට පේන තෙක් මානයේ ගංවතුර අසල තැනක, ඔරුව සුදානම් කර තිබිණ. දං  සහ කැබෙල්ල එකතු කර ගැනීම සඳහා වේවැල් කූඩා  දෙකක්ද සපයාගෙන තිබුණි.

ඔරුව අසලට පැමිණි අපට ඉමක්‌ කොනක් නොපෙනෙන තෙක් මානයේ ගංවතුර මහා සාගරය මෙන් දීස්විය. තරමක් ඈත ගංවතුරෙන් යටවූ මූකලන් වල කුඩා පඳුරු වල මුදුන් කොටස් පමණක් ජලයෙන් උඩට දකින්නට ලැබිණ. උදයේ හිරු රැස් වැටි දීප්තිමත්ව බැබලෙන මහා ජලස්කන්ධය, කුඩා කළ දුටු ගංවතුරට වඩා අමුතු සුන්දරත්වයකින් යුක්ත බව මට දැනුනේය. 

මේ ජලයෙන් යටවී තිබෙනුයේ ගැමියාට බත සපයන මහා කුඹුරු යාය බව අප දැන ගත්තේ ඒ බව ගුණසිරි ප්‍රකාශ කළ පසුවය.

අපි ඔරුවට ගොඩ වී කොල්ලෑව  මත පා තබා ලෑලි තට්ටුව මත හිඳ ගතිමු. සරත් ඔරුව දන වටක් පමණ ගැඹුරට තල්ලු කර ඔරු තල්ලේ එක පැත්තක හිඳ ගත්තේය ඔරු තල්ලේ අනික් කෙළවරෙහි හිඳගත් ගුණසිරි හබල මෙහෙයවා ඔරුව දියත් කළේය. සරත් ද හබල ගෙන දෙතුන් වරක් හබල් ගා, ඔරුව නිසි මගට ගත්තේය. දක්ෂ ඔරු පදින්නන් වූ සරත් සහ ගුණසිරි ගංවතුරේ විශාල රවුමක් ඔස්සේ ඔරුව පදවා පැය කාලකදී පමණ මුකලාන ඇති ප්‍රදේශයට් ලඟාවිය.

ඉදී දම්පැහැ වූ දං  පොකුරු ඔරුවේ ගෑවෙන මට්ටමේය. අප  ඇති තරම් දං  කා, තොල කට දම් පැහැ කර ගත්තෙමු. ටික වේලාවකින්  එක කුඩයක් දං වලු  වලින් පිරි ගියේය.

‘දන් මේ හරිය කොච්චර ගැඹුරුද? ‘

ඒ ගැන කිසිවක් නොදත් මම ගුණසිරිගෙන් ඇසුවෙමි.
.
‘දන් පඳුරක් අඩි දහයක් දොළහක්‌ විතර උසයි.’ එය ඔහුගෙන් ලැබුණු පිළිතුරයි.

මට ගැඹුරු දිය ගැන බිය මුසු චකිතයක් ඇතිවිය.

‘තව එහා කැබැල්ල තිබෙන හරිය මීටත් වඩා ගැඹුරුයි.’ 

මෙයින් මගේ චකිතය තවත් වැඩිවිය.
     
මූකලානේ තවත් ඔබ්බට ඔරුව පදින විට රන්වන් පැහැයට ඉදුණු කැබෙල්ල ගෙඩි වලින් වැසි තිබුණු  කැබෙල්ල යාය හමුවිය. එහි අතරින් පතර දම්පාට මල්පොකුරු වලින් පිරීගිය මුරුත ගස්ද දකින්නට ලැබුණි. කැබෙල්ල ගස් වල මුදුන් ජල මට්ටමෙන් තරමක් ඉහලට වැඩී තිබෙන නිසා, ඉදුණු ගෙඩි කඩා ගැනීම සඳහා, ඔරුව මත සිටගෙන අත දිගු කිරීමට සිදුවිය. මෙය තරමක් අසීරු කාර්යයක් විය.

ගුණසිරි ඔරුව කැබෙල්ල ගසක කඳ අසලටම ගෙන ගස තදින් අල්ලා ගත් පසු, ඔරු තල්ල මත හිටගත් සරත් කැබෙල්ල කඩා, කුඩයට දැමීම පිණිස අපට දුන්නේය. කූඩය පිරි ගිය පසු අප ආපසු හැරෙන විටම ‘දඩා..ස්’ යන ශබ්දයෙන් යමක්‌ ඔරුව මතට වැටුණි. කැබෙල්ල ගෙඩි ගැන සිත් යොමු කරගෙන සිටි අපට, ශබ්දය ඇසුන නමුත් එය කුමක්දැයි නොදත්තෙමු.

තරමක් කලබල වූ සරත් හබලත් අතට ගෙන ඔරුවේ කඳ ඇතුලෙහි යමක් පිරික්සන්නට විය.

‘දඟලන්නට එපා, ඔරුවට සතෙක් ගොඩවෙලා ’.

’සතෙක් ? මොකෙක්ද ? කිඹුලෙක්ද?   මම ඇසිමි.

‘කිඹුලෙක් නෙමෙයි. තඩි පොළඟෙක්.’

අපට කර කියා ගත හැකි දෙයක් නොවිය.

‘ගුණසිරි අයියේ, අයියා ගහ අල්ල ගෙන ඔහොම ඉන්න. මම සර්පයාව ‘ඩීල්’ කර ගන්නම්’  කී සරත්  හබල මානා ගෙන බලා සිටින අතර, ගුණසිරි  ගස තදින් අල්ලාගෙන සිටි.

හබල් නොගා එකතැන තිබෙන ඔරුව එහෙට මෙහෙට පැද්දේ.

අතේ කිසිවක් නොමැති අනීක්‌ සගයාත් මමත් බිරාන්තව සිටිමු.

අපි තවමත් පොළඟා නොදුටුවෙමු. ටික වේලාවකින් ඔරු කඳ ඇතුලතින් හිස එලියට දැමූ සර්පයා ඔරුවේ ඉදිරි තල්ල දෙසට ඇදෙන්නට විය. මා ජීවිතයටම දැක ඇති විශාලතම පොළඟා ඌ විය හැකිය. සාමාන්‍ය පිඹුරෙකු තරම් විශාල මේ විෂ ඝෝර සර්පයා ඊ ළඟ මොහොතේ කුමක් කරයිද යන්න අප කාටත් සිතාගන්නටවත් බැරිවිය. පොළඟා ඔරු තල්ල මතට ඇදෙනවාත් සමගම ක්‍රියාත්මක වූ සරත්, දෑත බදා  ඔසවා ගත්  හබලෙන් මරු පහරක් ගැසිය. එය පොලගාගේ හිස කුඩු පට්ටම් කිරීමට සමත් විය. ටික වෙලාවක් දැඟලු  පොළඟා ඔරු කඳ ඇතුලට වැටුණි.

ප්‍රහාරය නිසා ඔරුව ගැස්සුණු බැවින් ගුණසිරි කැබෙල්ල ගස අල්ලාගෙන  සිටි ග්‍රහණය මිදී ගොස්,  ඔරුව එකතැන කැරකෙන්නට විය. කඩිනමින් හබල අතට ගත් ගුණසිරි, කිහිප වරක් හබල් ගා කැරකෙන ඔරුව මෙල්ල කර ගත්තේය.

ගංවතුර නිසා කොටුවූ පොළඟා කැබෙල්ල ගසට නැග සිටින්නට ඇති බවත්, ඌ ගෙවීගිය සති දෙකකට වඩා කාලයක් නිරාහාරව සිටින්නට ඇති බවත් ඔවුන්ගේ මතය විය. කැබෙල්ල ගෙඩි කැඩිමේදී ගස සෙලවීම නිසා පොළඟා ඔරුව මතට වැටෙන්නට ඇති බව ඔව්හු කීවෝය. කෙසේ වුවත්. අපගේ බය සැක තවමත් තිබේ. තවත් පොළඟුන් ගසේ සිටිදැයි බියක්ද ඇතිවිය.

ජලය අඩි විස්සක් පමණ ගැඹුරු තැනකදී අපට අත්වන්නට තිබු ඉරණම සරත්ගේ හබල් පහරින් විසඳන්නට හැකිවීම ගැන සතුටු  වූවෙමු. එසේ වුවත් දින ගණනක් නිරාහාරව සිටි, අපට කිසිම හානියක් නොකළ අසරණ සර්පයාට අත්වූ ඉරණම ගැන මහත්සේ පම්පා වුවෙමූ.

‘ඔහොම දවස් ගනන් කෑම නැතිව කොටු වෙලා සිටින සර්පයෝ හරිම භයානකයි. ඒ වගේම හරිම විෂ සහිතයි. වෙලාවේ හැටියට නොමරා වෙන කරන්නට දෙයක් නැහැ.’ යයි සරත් කිවේය.

‘ආත්මාරක්ෂාව සඳහා කරන ලද නොවැලක්විය හැකි දෙයක් ‘ කියා  ගුණසිරිද සරත් කළදේ අනුමත කළේය.

අප අනතුරකින් බේරා ගැනීම ගැන සරත්ට ස්තුති කළෙමි.

‘අපි කුඩා කාලයේ මේ හරියේදී ගංවතුරේ පදිමින් සිටි ඔරුවකට නයෙක් ගොඩ වෙලා කලබලවීම නිසා ඔරුව පෙරලිලා  කීප දෙනෙක්ම දියේ ගිලී මැරිලා තියෙනවා’ සරත් ලොමු ඩැහැගන්වන පැරණි සිද්ධියක් මතක්‌ කළේය.

විනෝදයට ඔරු පැදීම අමතක කර දැමූ  අපි, හැකි ඉක්මණින් ආපසු නිවෙස් ‌ බලා පැමිණියෙමූ..


 


Tuesday, 29 August 2017

කාර්යාල දුම්රිය ගමනේදී කාන්තාවන්ගෙන් සිදුවූ අතවරයක්......

   බස් ගමනාගමනයේ අපහසු කම නිසාම මගේ කාර්යාල ගමනෙන් වැඩි කොටස දුම්රියෙන් යන එක පහසු නොවේදැයි මගේ මිතුරා සිරිසෝම, දිනක් මගෙන් ඇසීය. කෙසේ වෙතත් නිවසේ සිට කිලෝමීටර් හත අටක්‌ බස් රථයේ ගොස් නැවත දුම්රියේ යාම කරදරයක් වුවත් සිරිසෝමගේ පෙරැත්තය නිසාම ටික දවසක්වත් දුම්රියේ යාමට තීරණය කළෙමි. 

දුම්රිය ගමන ඇඟට තෙහෙට්ටුවක් නොමැති රසවත් ගමනක් බව මම පසුව තේරුම් ගතිමි. එකල මා සේවය කළේ මැලේ විදියේ තිබුණු විභාග දෙපාර්තමේන්තුවේ නිසා කොම්පඤ්ඤ වීදියෙන් බැස විනාඩි දෙකකින් පමණ කාර්යාලයට යාමට හැකිවිය. ඒ සමගම අලුතින් මිතුරන් රාශියක් දැන හඳුනා ගැනීමටත් දුම්රිය ගමන ප්‍රයෝජනවත් විය.

අප පානදුර දුම්රියපලින් ගොඩ වනුයේ මාතර සිට පැමිණෙන සමුද්‍රදේවී දුම්රියටය. මෙම දුම්රියේ මැදිරි ආසනවලට අයිතිය ‘පවරාගෙන’ සිටින පිරිසක්ද සිටින බව මා දැනගත්තේ ටික කලකට පසුවය. විශේෂයෙන්ම දකුණේ ඈත සිට පැමිණෙන කාන්තාවන් එම ආසන තමන්ගේ බව එකහෙලාම ප්‍රකාශ කරති. සමහර කාන්තාවන් ඇඳුම් ඇඳීම සහ හැඩ වැඩ වීම කරනුයේද දුම්රියේදී බව කලකදී දැන ගතිමි.

‘මල්ලි වැරදිලාවත් පස්වෙනි කොම්පාර්ට්මන්ට් එකට නම් නගින්නට එපා. ඒක බලගතු කාන්තා රාජධානියක්. එලියට තල්ලු කර දමයි’ 

ගමනට නුපුරුදු මට, පළපුරුදු අලුත් මිතුරෙකුගෙන් උපදෙසක්ද ලැබුණි.

‘ඒ කොම්පාර්ට්මන්ට් එක ලේඩීස් ඔන්ලි ද?  මම ඇසීමි.

‘ලේඩීස් ඔන්ලි ඒවා මේ කෝච්චියෙ නැහැ. ඒ උනත් දන්නේ නැද්ද බලගතු පක්ෂය ඒක බුත්තියට සින්න කරගෙන!’ කිහිප දෙනෙක්ම මට කීහ.

මමද  අනිකුත් මිතුරන් මෙන් ඒ උපදෙස අකුරටම පිලිපැද්දෙමි.

එක් දිනක්‌ අධික වර්ෂාව නිසා මා ගෙදර සිට පැමිණෙන බස් රථය මිනිත්තු කිහිපයක් ප්‍රමාද විය. මා දුම්රියපලට  එනවිටම දුම්රිය පිටත්විය. හෙමින් ඇදෙන දුම්රියේ කිට්ටුවම තිබුණු මැදිරියේ අත් වාරුවක එල්ලී  බිම නොවැටී යන්තම් ගොඩවිමි. දුවන්නට සිදුවූ නිසා ඇතිවූ හතිය මග හැරුණු පසු මැදිරිය ඇතුලට යාමට සිතා වට පිට බැලීමි.

මට කරකියා ගත හැකි දෙයක් නැතිවිය. එය කාන්තා රාජධානියයි. හිස් ආසන  කිහිපයක්ද විය. එහෙත් ඒවා නොදුටුවා සේ මම හිට ගෙන මුහුද පැත්ත බලාගෙන සිටියෙමි.

‘අන්න අද අමුත්තෙක් අපේ එකට නැගලා. එයා පිරිමිද ගෑණුද කියලා බලන්නකෝ!’

එක් කාන්තාවක් එසේ කියන විට සියල්ලෝම වාගේ  මහ  හඬින් සිනහ වුහ.

කුමක් කරම්දෝයි සිතමින් සිටින විට,

‘බැඳලා නැත්නම්........ මෙන්න මෙනෙවියෝ දෙන්නෙක් අතර සීට් එකේ මැද්දේ ඉඩ තිබෙනවා. ලක් බයි චාන්ස් ’

තව කෙනෙකුගේ කට හඬ ඇසින.

මෙය ඇසී මට ආ සිනහව අමාරුවෙන් මැඩ ගත්තෙමි.

‘ඒ උනාට වැඩක්‌ නැතුවා වගෙයි........ කන් ඇහෙන්නේ නැති එක්කෙනෙක්ද කොහෙද?’ ඒ තව කට හඬකි.

පානදුරයේ සිට මොරටුව  දක්වා දුම්රිය ශීඝ්‍ර ගාමිය. කෙසේ වෙතත් මට මොරටුවට යන තුරුවත් තව මිනිත්තු දහයක් පමණ මෙම අතවරයට් ලක්වීමට සිදුවන බව  දන්නෙමි. කිසිවක් නොඇසුනා ලෙස සිටීම හොඳම පිළියම බව තේරුම් ගෙන ඔවුන් කියන දේ පමණක් අසා ගෙන සිටියෙමි.

ටික වේලාවක නිශ්ශබ්දතාවය නිසා මම මැදිරිය ඇතුලත දෙස හොර ඇසින් බැලීමි. එක්‌ කාන්තාවක් මා සිටි පැත්තට පිටුපා සිටගෙන, හැඳ සිටි සාරිපොට පහලට දමා, යමක් කරනු දුටුවෙමි.

‘ඔන්න මේ පැත්තනම් බලන්න එපා........... මම උදේ වැරදුනු දෙයක් හරී ගස්ස ගන්න හදනවා’ 

ඒ කාටත් ඇසෙන සේ ඇය විසින් කරන ලද තහංචි පැනවීමක් විය යුතුය.

‘අනේ,....... අරයා බලා ඉන්නවානම් ඇවිත් මගේ මේ හැට්ටේ කටුව ගහන්න කියන්න. ගෙදරදී  නම් කටුව ගහන්නේ මගෙ මහත්තයා.’ 

ඒ සිටගෙන සිටි කාන්තාවයි.

ඇය ‘අරයා’ යනුවෙන් හැඳින්වුයේ මා විය යුතුය.

නැවත මඳ නිශ්ශබ්දතාවයකින් පසුව

‘ගොලුවෙක්ද කොහෙද  මොරටුවෙදී  බැස්සේ නැත්නම් ‘රැග්’ එකක් දෙමු’

එය තරුණ කාන්තා කට හඬක්‌ බව සිතා ගතිමි.

‘නැහැ අනේ,,,,,,, අඳ, ගොළු, බිහිරි ඔක්කොම තියෙන එක්කෙනෙක්.’

තව එකියක් කීවාය.

‘එහෙනම් මොරටුවෙන් බස්සලා ගොළු මඩමට යවමුද? තව කාන්තාවකගේ කට හඬයි.
    
මට සිනහවත් සමග තරමක අසීරුතාවයක්ද ඇති විය. මෙය මොවුන්ගේ අකාරුණික භාවයද විහිලුවට ඇති කැමැත්තද යන්න තේරුම් බේරුම් කරගැනීමට නොහැකි තත්වයට මම පත්වූයෙමි. කොයි එකටත් මෙවැනි අවස්ථා වලදී ගොළු වත රැකීම හොඳම පිළිවෙත බව මම විශ්වාස කළෙමි.

දුම්රිය වේගය අඩුවන විට මොරටුව ආසන්න බව දැනුණි. සම්පූර්ණයෙන් නතර කිරීමටත් පෙර දුම්රියෙන් බැසගත් මම, කාන්තාවන්ගේ සිනහ හඬ මැද දුව ගොස් සුපුරුදු මැදිරියට ගොඩ වුයෙමි.

මගේ සුපුරුදු සගයින් සමග සිදුවූ දේ විස්තර කලෙමි.

‘මමත් දවසක් වැරදිලා ඕකට නැගල හරි අමාරුවක වැටුනා,’ එක්‌ අයෙකු කිවේය.

මීට කලින්ද කිහිප දෙනෙකුම, කාන්තාවන් ‘බලෙන්  වෙන්කර ගෙන තිබුණු’ මැදිරියට වැරදීමකින් ගොඩවී බැට කා ඇති බව මගේ සගයින්ගෙන් දැන ගත්තෙමි.  



Monday, 28 August 2017

භීෂණය (71 කැරැල්ල) ආරම්භ වූ දින මතක සටහනක්....

  ශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා තෝරාගනු ලබන්නේ අඩුම වශයෙන් වසර පහක් වත් ඉගැන්වීමේ පළපුරුද්ද ඇති ගුරුවරුන්ගෙන් ඉතා සුළු පිරිසකි. එවකට මෙම පාඨමාලාව පැවැත්වුයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ පමණකි. මේ සඳහා වසරක් අධ්‍යයන නිවාඩු  ලැබේ. 1970 වසරේ ජුනි මාසයේදී දී මෙම පාඨමාලාව සඳහා තේරුණු අපට අවසාන විභාගයට පෙනී සිටීමට නියමිතව තිබුනේ 1971 අප්‍රියෙල් මාසයේ දෙවන සතියේය.

විද්‍යා අංශයෙන් පාඨමාලාව සඳහා තේරුණු අප තිදෙනෙකුට, මාර්තු මාසයේ මැද සිට අප්‍රියෙල් මාසයේ විභාගය අවසන් වනතුරු පමණක්, ජේම්ස් පීරිස් නේවාසිකාගාරයේ නතර වීමට පහසුකම් ලැබිණ. බොභෝ දිනවල අපට දේශන හෝ නිබන්ධන පන්ති පැවැත්වුයේ උදය වරුවේ පමණකි. එදින අප්‍රියෙල් මස පස් වෙනිදාය  උදේ පළමු දේශනයෙන් පසු පැය දෙකක පමණ විවේකයක් ලැබුණු නිසා එක්තරා නිබන්ධනයකට අවශ්‍ය කරුණු සාකච්ඡා  කිරීම සඳහා පහල මාලයේ කොනක තිබුණු අපගේ කාමරයට ගොස් වැඩ කරමින් සිටියෙමු. එදින ඉතාමත් තද අව් රශ්මියක් තිබුණි. ශ්‍රී ලංකාවට හිරු මුදුන් වනුයේ අප්‍රියෙල් මාසයේ මුල් දින කිහිපයේදී නිසා තද හිරු රශ්මිය ඇති වන බව දැනගෙන සිටියෙමු.

මේ දිනවල විශ්ව විද්‍යාලය තුළ යම්කිසි අසහනකාරි බවක් උද්ගතවී තිබෙණු අපටද ආරංචි විය. එසේ වුවත් ඒ ගැන වැඩි තොරතුරක් අපට නොලැබුණි. නේවාසිකාගාරයේ සිසුන් වැඩිහිටියන් වු අප සමග වැඩි භජනයක් නොවිය. ඔව්හු අප ‘බාප්පලා’ යන අන්වර්ථ නාමයකින් හැඳින්වූ බව අපට ද දැන ගන්නට ලැබුණි.

එක් වරටම අපගේ කන් බිභිරි කරවන අති මහත් ශබ්දයකින් යුක්තව පිපුරුම් හඬක් සමගම යම්කිසි ඉදිකිරීමක් කඩා වැටෙනවාක් වැනි බිහිසුණු  ශබ්ද මාලාවක්ද ඇසෙන්නට විය. අපගේ කන් අගුල් වැටි, තොල කට වේලි, කථාකර ගැනීමටවත් නොහැකිව මඳ වෙලාවක් බිරාන්තව සිටියෙමු. ඇඳෙන් බිමට බැස ගැනීමටවත් නොහැකි තරමට දෙපා වෙව්ලන්නට විය.

විනාඩි දහයක් පමණ වන විට දේශන ශාලාවල සහ නේවාසිකාගාර වල සිටි සිසු සිසුවියන් මහත් ඝෝෂා කරමින් තැන්තැන් වල රොක් වන්නට විය. විශාල කලබලයක් හටගෙන තිබෙන බව අපට පැහැදිලි විය. අපී කළ යුත්තේ කුමක්ද යන්නවත් සිතා ගන්නට නොහැකිව තුෂ්නිම්භූතව බලා සිටියෙමු. පැය භාගයක් පමණ ගතවන විට පොලිස් රථ සහ යුද හමුදා රථ රාශියක් පැමිණ සන්නද්ධ හමුදා භටයින් සෑම තැනකම මුරකාවල් දමා සිසුන් තැන් තැන් වලට රැස්කර වට කර තැබීම ආරම්භ කළේය. දේශන ශාලා ගොඩනැගිල්ල ඉදිරියේ සිය ගණනක හමුදා බල ඇණියකි. අප සිටි  නේවාසිකාගාරය  තුළ සිටි සිසුන් සියලු දෙනාම පිටතට ගොස් ඇති බව අපට දැනුණි.

ටික වෙලාවකින් අවි අමෝරාගත් හමුදා භටයන් දෙදෙනෙකු අප සිටි තැනට පැමිණ

‘තවම මේක ඇතුලේ  මොන මගුලක්  කරනවද?  බහිනවා .... එලියට .....’
කියමින් මොර දෙන්නට විය.

‘අපි ...... මේ ..... මේ ....... ඩිප්......’ 

මගේ මිත්‍ර හරිස්චන්ද්‍ර යමක්‌ කීමට තැත් කරන විටම හමුදා භටයා අප තිදෙනා කාමරයෙන් එලියට තල්ලු කර

‘එලියට ගිහින් පෙළ ගැහෙනවා .....’

කියමින් එයට තවත් පරුෂ වචන කිහිපයක්ද එකතු කළේය.

අපද, සිසුන් සිටින තැනම පැත්තකට වී සිටියෙමු.

නේවාසිකාගාරය භාරව සිටි අප හඳුනන ආචාර්ය වරයා සිසුන් දෙස බලමින් නම් ලකුණු කරමින් සිටියේය. ඔහු අප ළඟට පැමිණි විට සිද්ධිය කුමක්දැයි ඔහුගෙන් ඇසුවිට

‘රට හැමතැනම කලබල. මෙහෙ බෝම්බයක් පුපුරලා’ යයි කීවේය.

එසේ කියා අපට වෙනත් ස්ථානයක් පෙන්වා එතැනට යන්නට කිවේය. අප නොහඳුනන, වැඩිහිටියන් යයි කිව හැකි තවත් කිහිප දෙනෙක් එතැන සිටියහ. ඔවුන්ද අප මෙන්ම සිදුවන්නේ කුමක්ද කියා කිසිවක් නොදන්නා බව අපට තේරුම් ගත හැකි විය.

දැන් දැන් ඝෝෂාව සහ කලබලකාරී තත්ත්වය වැඩිවන බව අපට දැනුනි. හමුදා රථ, පොලිස් රථ, කැරලි මර්දන සේනා, හමුදා භට පිරිස් ආදිය තවත් පැමිණෙන බව පෙනුනි.

සියලුම සිසුන් සවස හතරට ප්‍රථම නේවාසිකාගාර වලින්  පිටවිය යුතු බව ශබ්ද විකාශන යන්ත්‍ර මගින් විකාශනය වන්නට විය.

ටික වෙලාවකින් උසස් පොලිස් නිලධාරියෙක් අප සිටි තැනට පැමිණ අපගේ තොරතුරු විමසිය. අපගේ විශ්ව විද්‍යාල හැඳුනුම් පත් (එවකට පෞද්ගලික හැඳුනුම් පත් නොතිබුණි) පරික්ෂා කර සටහන් පොතක විස්තර ලියාගත් ඔහුට   ඩිප්ලෝමා පාඨමාලාව ගැන අවබෝධයක් තිබිණ. තව සතියකින් අපට විභාගය තිබෙන බව ඔහුට කී විට

‘ඕනෑ කරන පොත්පත් අරගෙන පේරාදෙණිය පොලිසියට යන්න වෙනවා.’

යයි අපට කීවේය. ඒ සමගම පොලිස් කොස්තාපල් වරයෙකු කැඳවු ඔහු

‘මේ මහත්වරු එක්ක ඇතුලට ගිහින් ඒ අයගේ පොත් පත් අරගෙන ජීප් එකෙන් පොලිසියට එක්කරගෙන යන්න. එතන සිටින ඕඅයිසීට භාරදෙන්න.’

කියා අප ඔහුට භාර කළේය. රටෙහි තත්ත්වය පිළිබඳව ඔහුගෙන් විමසු විට

‘මුළු රටටම පැය විසි හතරටම බලපාන විදියට ඇඳිරි නීතිය දාලා’ යයි ඔහු කීවේය.

අපට මහත් අවිනිශ්චිත භාවයක් ඇතිවී කුමකින් කුමක් කරම්දෝයි සිතාගන්නටත් නොහැකි විය. අප තිදෙනාටම කුඩා දරුවන් සිටිති. ඔවුන්ගේ ආරක්ෂාව කෙසේ වී ඇද්ද? අප පොලිස් ස්ථානයට ගෙන යනුයේ කුමක් පිණිසද?  යනාදී දහසක් ප්‍රශ්න සිතෙහි වැඩ කරන්නට විය.

ගමන් මල්ලත් පසෙකින් තබාගෙන පොලිස් ස්ථානයේ බංකුවක් මත හිඳගෙන සිටි අප ගැන බලන්නට කිසිවෙකු නොමැත. දිවා ආහාරයවත් නොගත් බව සිහි වුයේ මෙවිටය. අප වැන්නවුන් යයි සිතිය හැකි තවත් කිහිප දෙනකු අනෙක් බංකු මත වාඩිවී සිටියහ. ටික වෙලාවකින් අප කැඳවු ස්ථානාධිපතිවරයා අපගේ විශ්ව විද්‍යාල හැඳුනුම් පත සහ පාඨමාලාව සඳහා කැඳවුම් ලිපි කියවා තොරතුරු සටහන් කරගෙන, අපගේ අත්සන් ලබාගෙන, එයටම ඇඟිලි සටහන්ද ලබා ගත්තේය. කිසිම දෙයක් ගැන නොදත් අපද මහත් වරදක් කර, අල්ලා ගත් අය ලෙස සලකන ලදී. රටෙහි මහත් භීෂණ තත්ත්වයක් ඇති බව ප්‍රකාශයට පත්කර තිබ්යදී එසේ කිරීම සාධාරණය. ටික වෙලාවකින් අපට පොලිස් ස්ථානය පිටුපස තිබුණු කුඩා ශාලාවකට යන්නට සිදුවිය. එහිදී අපට බනිස් ගෙඩියක්‌ සහ තේ කෝප්පයක්‌ ලැබිණ.

මේ වන විට හමුදා රථවල නංවාගත් විශ්ව විද්‍යාල සිසුන් වියහැකි තරුණ තරුණියන් පිරිසක්ද  පොලිස් ස්ථානයට ගෙන එනු දුටුවෙමු. අපගේ අවිනිශ්චිත භාවය තව තවත් වැඩිවෙන්නට විය. ටික වේලාවකට පසු අප සිටි තැනට පැමිණි පොලිස් නිලධාරියෙකු
‘කොළඹ පැත්තට යන අයට පොල්ගහවෙල ස්ටේෂන් එකට යාමට කැමතිනම් එහි යන්නට හැකි හමුදා ට්‍රක්‌ රථයක්‌ දැන් පිටත්වෙනවා. යන්නට කැමති කෙනෙක් ඉන්නවාද?’
කියා ප්‍රශ්න කළේය. එතැන සිටිනවාට වඩා පොල්ගහවෙලටවත් යන එක සුදුසුයි සිතු අපි යාමට කැමති බව කීවෙමු. අප, පොලිස් පොතේ නැවත අත්සන් කළ  පසු ට්‍රක්‌ රථයට ගොඩ වීමට අණ  ලැබිණ.

රාත්‍රී එකොළහට පමණ පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් අප බස්සවන ලදී. ඇඳිරි නීතිය නිසා මගීන්ගෙන් තොර දුම්ර්ය පලේ වේදිකාව අසල එක විදුලි පහනක් පමණක් දැල්වෙමින් තිබුණි. අප නැවතද මහත් අවිනිශ්චිත ස්වභාවයකට පත්වීමු. විදුලි පහන අසල තිබුණු බංකුවක වාඩිවී අපගේ ඉරණම කුමක් වේදෝයි සිතමින් සිටින විට, දුම්රිය ස්ථානාධිපති වරයා  අප අසලට පැමිණ අප සමග කතා කළේය. අප මුහුණ පා සිටින තත්ත්වය ඔහුට පැහැදිලි කළෙමු.

‘හෙට උදේ හතට විතර කොළඹට කෝච්චියක් යන්නට නියම  කර තිබෙනවා. ඒකේ යන්නට පුළුවනි. මේ  ලයිට් එකත් නිවන්නට කියා පොලිස් නියෝගයක් තිබෙනවා.’ ඔහු කීවේය.

‘අපි අද උදේ සිට කිසිම දෙයක් කෑවේ නැහැ’ මට ඉබේටම කියවිණ.

‘මේ වෙලාවට නම් කෑම ගන්න තැනක්‌ නැහැ .  ඇඳිරි නීතිය නිසා කඩ වහලා.’ කී  ඔහු යන්නට පිටත්වී ආපසු හැරී

‘ටිකක් ඔහොම ඉන්න. මම විනාඩි පහකින් එන්නම් කියා තම නිල නිවාසය වෙත ගියේය.

තද කුස ගින්න ඇතිවිට, බැගෑපත්වී, ඕනෑම කෙනෙකුගෙන් පිහිටක් යැදිය හැකි බව මට වැටහුණි.

ස්ථානාධිපතිවරයා  පිඟානක තැබූ පාන් පෙති හයක්‌  සහ සම්බෝල ස්වල්පයක්ද. වතුර බෝතලයක්ද, ඉටිපන්දමක් සහ ගිනිපෙට්ටියක්ද අපට ගෙනැවිත් දී,  දුම්රිය විවේක කාමරයේ සිටින ලෙස උපදෙස් දී, විදුලි පහනද නිවා දැම්මේය

අපට ඔහුගෙන් ලැබුණු උදව්ව ජීවිතයට මෙතෙක් ලැබුණු ලොකුම උපකාරය විය හැකිය. කුස ගින්නෙන් ඉතා සුළු ප්‍රතිශතයක් පමණක් සන්සිඳවාගත් අපි එළිවන තුරු නින්දේ දෝ නොනින්දේ දෝ යයි කිව නොහැකි මානසික තත්ත්වයකින් පසුවීමු. අඹු දරුවන් සහ ගේ දොර සිහිවී වරින් වර මහත් හද කම්පාවන් ඇතිවිය.
 
පසුදින උදයේ සන්නද්ධ හමුදා භටයින් විසින් මුරකාවල් යෙදු කොළඹ බලා යන දුම්රියක් වේදිකාවට ලඟාවිය. ස්ථානාධිපති තුමාට මුව නොසෑහෙනසේ ස්තුති කර හමුදා භටයින්ගේ සියුම් පරීක්ෂාවලින්   පසුව දුම්රියට ගොඩ වීමු. වෙනදා දුම්රියේ තිබුණු විනෝදජනක වට පිටාව එදා නැත. කවුරුත් අනිකා දෙස බැලුවෙත් බිය මුසු සැකයකිනි.

මන්දගාමි ස්වභාවයකින් ධාවනය වූ දුම්රිය සෑම දුම්රියපලකදීම දැඩි සෝදිසියට ලක් විය. මග දිගටම පෙනෙන තෙක් මානයේ කඩ සාප්පු සියල්ල වසා දමා ඇත. මහාමාර්ග වල රථවාහන නොමැත. වෙනදා ජනාකීර්ණ දුම්රිය ස්ථාන හිස්වී ඇත. ඇඳිරි නීතියත් සමග රටම අඳුරු ස්වභාවයක්  ගෙන ඇති බව පෙනේ. එදින පස්වරු එක පමණ වන විට කොළඹට සේන්දු වූයෙමු.

කොටුව දුම්රිය පලේ සිට හමුදා ආරක්ෂාව යටතේ යොදවා තිබුණු බස් රථයකින් එදින සවස පහට පමණ ගෙදරට පැමිණියෙමි. කෙසේ වෙතත් අප නිරුපද්‍රිතව නිවෙස් බලා එමින් සිටින බවට අප පදිංචි ප්‍රදේශ වල පොලිසි හරහා, කලින් දින රාත්‍රියේම අපගේ නිවෙස් වලට පණිවුඩ යවා තිබිණ.

එතරම් භීෂණයක් තිබියදීත් පොලිසිය සහ හමුදාව, කිසිම වරදක් නොකර අතරමං වූ අයට පිහිට වීම ඉතාමත් අගනා ගුණාංගයක්‌ බව මෙසේ සටහන් කරමි.


එදින ජේම්ස් පීරිස් නේවාසිකාගාරයේ පුපුරා ගොස් තිබෙනුයේ කැරැල්ලට සම්බන්ධ සිසුන් විසින් ගෙනෙන ලද අත් බෝම්බයකි. එය  සඟවා තිබුණු ස්ථානයට තද අව් රශ්මිය වැටි ජනේලයේ වීදුරු තහඩුවේ කැටයම් උත්තල කාච මෙන් ක්‍රියා කර ආලෝක කිරණ බෝම්බය මත නාභිගත වී උෂ්ණත්වය වැඩිවූ නිසා එය පුපුරා යන්නට ඇති බව පසුව දැන ගන්නට ලැබුණි.   

Saturday, 26 August 2017

ඉබ්බාගේ සහ හාවාගේ දිවීමේ තරඟයට නව අර්ථ කථණයක්......

   සස් පෙළ සිසු සම්මන්ත්‍රණයක ධනාත්මක චින්තනය ගැන දේශනයක් පැවැත්වීමට පැමිණි දේශකයෙකු ඉබ්බාගේ සහ  හාවාගේ දිවීමේ තරඟය උදාහරණයක් ලෙස ගෙන, එහි ආදර්ශය කාලීනව වෙනත් අයුරකින් අර්ථ නිරුපණය කළ ආකාරය ගැනයි මේ සටහන.


“හොඳයි මම අභියෝගය පිලිගන්නවා”
ඉබ්බා ඉතා සෙමින් ගමන් කරන කෙනෙකු බව හොඳින් දන්නා හාවා තම දිවීමේ හපන් කම පෙන්වීම  සඳහා, ඉබ්බා හොඳම තැනැත්තා බව තීරණය කර ඔහු හමුවී  දිවීමේ තරඟයකට මෙසේ අභියෝග කළේය. 

‘ඉබි උන්නැහේට කිසිම දවසක බැහැ  මා එක්ක දුවලනම් දිනන්න. අපි දෙන්නා දුවලා බලමුද? 

ටික වෙලාවක් කල්පනා කළ ඉබ්බා

‘හා ... හොඳයි මම අභියෝගය පිලිගන්නවා’

හාවාගේ ආඩම්බර කම දන්නා ඉබ්බා කිවේය. හාවාට ඉබ්බාගේ ක්‍ෂණික පිළිතුර ගැන තරමක මදි කමක්ද ඇති විය.

නියම කරගත් දිනයේ දෙදෙනාම දිවීමේ තරඟය පවත්වන ස්ථානයට ගියහ. ගිවිස ගත් පරිදි තරඟය ආරම්භ කළහ. ආඩම්බර හාවා දිනුම් කනුව පෙනෙන තෙක් මානයට ගොස් ඒ අසල තිබුණු ගසක් යටට වී ගිමන් හරින්නට විය. ඉබ්බා තමන්ගේ සුපුරුදු ඉබි ගමනින් ගියේය, ගස යට ගිමන් හරිමින් සිටි හාවා කම්මැලි කම නිසාම තද නින්දට වැටුණි. හාවා අහම්බෙන් මෙන් නින්දෙන් අවදි වන විටම, දිනුම් කනුව පසු කරණ ඉබ්බා දැක තම උඩඟු කම නිසාත්, කුසීත කමෙන්, නින්දට ගිය නිසාත් තරඟයෙන් පරාජය වීම ගැන කම්පාවට පත්විය.


ඉබ්බා ජය කනුව වෙත පැමිණෙන විටත් හාවා ගස යට නිදි !

‘මන්දගාමිව වුවත්, ස්ථිරසාර අධිෂ්ඨානයකින්  යුතුව කටයුතු කරන්නා ජය ගනී’      (slow and steady wins the race) යන්න මෙයින් පැහැදිලි වේ. අප කවුරුත් කුඩා අවදියේදී ඉගෙන ගන්නේ මේ පාඩමයි.

නව අර්ථ කථණයට පිවිසුම මෙසේය.

පසු දිනකදී  ඉබ්බා සමග යළිත් සාකච්ඡා  කළ හාවා, නැවතත් දිවීමේ තරඟයක් පැවැත්වීමට යෝජනා කළේය. තම ජයග්‍රහණයෙන් උද්දාමයට පත්ව සිට ඉබ්බාද එයට එකඟ විය.
එදින, කුසිත කම සහ කම්මැලිකම නොමැතිව තරඟයට සහභාගිවූ හාවා පහසුවෙන් ජයග්‍රහණය කළේය.

එදින ඉබ්බා කළ දේ මෙසේ දැක්විය හැකිය

‘මන්දගාමිව වුවත්, ස්ථිරසාර අධිෂ්ඨානය යහපත්ය. එහෙත්  විශ්වාසනීයත්වයකින් යුතුව වේගවත්ව ක්‍රියා කිරීම  එයට වඩා වැදගත්ය.

(Fast and consistent will always beat the slow and steady but better to be fast and reliable.)

මෙයින් පසුබට නොවූ ඉබ්බා ටික දිනකට පසු,  හොඳින් කල්පනාකාර බලා

‘මල්ලි .... අපි වෙනත් ධාවන පථයක තරඟයකට දුවමු’ කියා හාවාට යෝජනා කළේය. 

‘බකල, කොට ඉබ්බෙකුට මා සමග දුවන්නට පුලුවන්ද?’ යයි සිතමින් ආඩම්බර වූ හාවා අභියෝගය භාර ගත්තේය.

‘ඔබගේ හර නිපුණතා හඳුනාගෙන ඒවාට ගැලපෙන පරිදි වැඩ බිම සකස් කර ගන්න.’

(Identify your competency and then change the playing field to suit your competency.)

ඉබ්බා කර තිබෙන්නේ මෙයයි

නියමිත දිනයේදී තරඟය ආරම්භ විය. සුපුරුදු ලෙස හාවා  හැකිතරම් වේගයෙන් දුව ගියේය. එහෙත් ඉබ්බා, ඉබි ගමනෙනි. අලුත් ධාවන පථයේ, අවසානය කිට්ටුව ගඟක් තිබෙන බව හාවා නොදත්තේය. ජය කණුව ගඟට  එගොඩ පෙනෙන තෙක් මානයේය. එහෙත් ගඟෙන් එගොඩ වීමට නොහැකි බැවින්, කර කියා ගත හැකි දෙයක් නොමැතිව හාවා ලතවෙමින් සිටියේය. ටික වෙලාවකට පසු එතනට පැමිණි ඉබ්බා, ලතවෙමින් සිටි හාවා  නොදුටුවා සේ, ගඟට බැස පිහිනා එගොඩට ගොස් දිනුම් කණුව පසු කළේය.

හාවාට දෙවන වරටත් අත්වුයේ පරාජයකි.


දිවීමේ ඉතිරි කොටස ගගකින් එගොඩ පැත්තේය ...!

කෙසේ වෙතත් ඉබ්බා සහ හාවා දැන් ගජ මිතුරන්ය.

ඔව්හු තම ජය පරාජයන් සහ ඒවාට හේතු පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කළහ. තමන් දෙදෙනාටම වෙන වෙනම හපන් කම් තිබෙන බව දෙදෙනාම පිළි ගත්හ.

පෞද්ගලිකව අති දක්ෂ වීම සහ  සවිමත් නිපුණතා තිබීමත් යහපත්ය.

(It is good to be individually brilliant and to have strong core competencies)

ඉබ්බාට පිහිනීමේ නිපුණතාවත්, හාවාට දිවීමේ නිපුණතාවත් තිබිම මෙම දක්ෂතාය.



හාවා ඉබ්බාගේ පිට උඩ නැග ගඟින් එතෙර විය

‘එහෙනම් අය්යේ..... අපි දෙදෙනාම එකතුවී සාමුහික දිවීමක් කරමුද?’ කියා හාවා යෝජනා කළේය.

‘ඒ උනාට මල්ලි, මට ඔයාගේ වේගයෙන් යන්නටත් බැහැ. ඔයාට මගේ ඉබි ගමනින් යන්නටත් බැහැ. ඉතින් කොහොමද සාමුහික දිවීමක් කරන්නේ’ ඉබ්බා ඇසිය.

‘අපි මෙහෙම කරමු.  අපි දෙදෙනා කලින් වගේ එකම වෙලාවට දුවන්න පටන් ගනිමු. ගඟ ළඟට එනතුරු  මම ඔබව කරේ තියාගෙන දුවන්නම්. ගඟෙන් එතෙර වීමට, ඔබගේ පිට උඩ මා තබාගෙන එගොඩට පීනන්න. ඊට පසු කොටසත්, මම ඔබව කරේ තියාගෙන ගොස් දෙදෙනාම එක වර දිනුම් කණුව පසු කරමු.’

‘හරිම හොඳ අදහසනේ. අපි එකිනෙකාගෙන් වෙන් වෙලා සිටින තාක් කල් උදම් ඇණිය හැකි දිනුමක් නැහැ......... මම කැමතියි. එහෙම කරමු.’

මෙම සාකච්ඡාවෙන් පසු තීරණය කරගත් පසු දිනක, දෙදෙනාම පිටියට පිවිස දිවීම ආරම්භ කරන ස්ථානයට පැමිණියහ. විධානය ලැබුණු විගසම ඉබ්බා කරට ගත් හාවා සාමාන්‍ය වේගයෙන් දුවගොස්  ගඟ අද්දරට පැමිණියේය.

හාවාගේ කර උඩ සිට  බිම තැබූ පසු, ඉබ්බා ගඟට බැස හාවා තම පිට උඩ තබාගෙන එගොඩට පිහිණුවේය. එගොඩදී නැවතත් ඉබ්බා කරට ගත් හාවා සාමාන්‍ය වේගයෙන් දුවගොස් දෙදෙනාම එකවර දිනුම් කනුව පසු කළහ.

දෙදෙනාම දිණුම් ......~

‘හරියට හරි......... එකතු වෙලා වැඩ කළ නිසා අප දෙදෙනාම දිණුම්’ කියමින් හාවා සතුටින් ඉපිලෙමින්  බඩ  පිනුමක්‌ ගැසිය.

එකිනෙකාගේ හර නිපුනතා විධිමත්ව උපයෝගී කර ගනිමින් සාමුහිකව කටයුතු නොකළහොත්, අවසාන කාර්ය සාධනය, සම්මතයන්ට අනුකුල නොවන අතර, ඔබගේ ප්‍රතිදානයද හීන වී, එවැනි අවස්ථාවලදී  අනිකෙකු ඔබට වඩා පෙරමුණේ සිටිනු ඇත.

(Unless you are able to work as a team  and harness each other’ core competencies you will always perform below par, because there  will always be situations at which you will do poorly and someone else does well.)

යම්කිසි කාර්යයක් කිරීමේදී, එයට අදාළ හර නිපුණතා සහිත සමුහයක් විසින්, එකාවන්ව කටයුතු කර, සම්මුතියකට එළඹීම, කණ්ඩායම් වැඩක් ලෙස සැලකේ.

(Team work, Is mainly about a situational leadership letting to perform a task  with the relevant core competencies at hand to handle the situation)


Thursday, 24 August 2017

වන සංරක්ෂණය සඳහා අප කාටත් දායක විය හැකි සරල ප්‍රවේශයක්.....

    ලෝකයේ බොහෝ රටවල විශාල වශයෙන් වනාන්තර විනාශ වීම නිසා දැනට මහත් පරිසර අර්බුද රාශියක පෙර නිමිති පහළ වෙමින් තිබේ. මිහිකත උණුසුම් වීමට බලපාන ප්‍රධානතම හේතුව වශයෙන් වන විනාශය හඳුනාගෙන තිබේ. අද පවත්නා වේගයෙන් වන විනාශය සිදු වුවහොත්  2030 වසර වන විට ලොව තෙත් වනාන්තර වලින් ඉහිරී වනුයේ සියයට දහයක පමණ ප්‍රමාණයක් බව ප්‍රක්ෂේපණ වලින් හෙළිවී තිබේ. මේ ගැන විශේෂ අවධානයක් යොමුකළ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2011 වසර ජගත් වනාන්තර වර්ෂය ලෙස නම්කර, ලොව පුරා එයට අදාළ විවිධ ව්‍යාපෘති සංවිධාන කරණ ලදී. ඒ වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයීමෙන් පවත්වන ලද සුවිශේෂී එක්දින වැඩ මුළුවකට අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රියාත්මක වූ දිවිතීය අධ්‍යාපන නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් සහභාගී වන ලෙස මට ඇරයුමක් ලැබිණ. එහිදී වන සංරක්ෂණය පිලිබඳ අමුතුම ආකාරයේ පිවිසුමක්‌ පිලිබඳ මනා අවබෝධයක් ලබාගැනීමට මට  හැකිවිය.

2011 ජගත් වනාන්තර වර්ෂයේ ලාංඡනය පහත දැක්වේ.

2011 ජගත් වනාන්තර වර්ෂයේ ලාංඡනය

මෑතදී කරන ලද ගණනය කිරීම් වලට අනුව වසරකදී ලෝකයේ වනාන්තර හෙක්ටයාර් මිලියන 15  ක්‌ පමණ කපා විනාශ කෙරේ. එසේ වුවද නැවත වන වගා කිරීමේ ප්‍රතිශතය ඉතාමත් අඩුය. මෙම වන විනාශය  වාර්ෂිකව වැඩි වෙමින් පවතී.

වනාන්තර වල ගස් කපා ලබාගන්නා දැව වලින් තුනෙන් එකක් පමණ විවිධ ආකාරයේ කඩදාසි සහ කඩදාසි ආශ්‍රීත නිෂ්පාදන වලට අදාළ කර්මාන්ත සඳහා යොදා ගනු ලැබේ. මේ අතර ප්‍රවෘත්ති පත්‍ර නිෂ්පාදනය, ඇසුරුම් කඩදාසි සහ කාඩ් බෝඩ් නිෂ්පාදනය, පොත්පත් නිෂ්පාදනය, ලිවීමේ කඩදාසි නිෂ්පාදනය වැනි දේ ප්‍රමුඛ වේ. නව තාක්ෂණික ක්‍රමවේද භාවිතය මගින් මෙම අති මහත් දැව පරිභෝජනයෙන්   ඉතා සුළු කොටසක් අඩු කර ගැනීමට හැකිවී ඇතත්, එම ද්‍රව්‍ය සඳහා ඇති අධික ඉල්ලුම නිසා අමුද්‍රව්‍ය ලබාගැනීම සඳහා වනාන්තර වල දැව නිරතුරුවම ලබාගැනීමට සිදුවී තිබේ. මා සහභාගි වු වැඩ මුළුවේදී සාකච්ඡාවට භාජනවූ නව තාක්ෂණයට බෙහෙවින් සමීප, සරල ක්‍රියාකාරකමක් මගින් අප බොහෝ දෙනෙකුට වන සංරක්ෂණය සඳහා පහසුවෙන්ම දායක විය හැකි බව පෙන්වා දිමට කැමැත්තෙමි.

දැනට අපගේ බොහෝ ලිය කියවිලි සඳහා පරිගණකය භාවිත කිරිමට පුරුදුවී සිටිමු. සමහර අවස්ථාවලදී අපගේ ලිය කියවිලි පරිගණකයට ඈඳී  ඇති  මුද්‍රණ යන්ත්‍රයකින්ම මුද්‍රණය කර ගැනීමට සිදුවේ. විශේෂයෙන්ම කාර්යාල, පාසැල්, විශ්ව විද්‍යාල වැනි ආයතනවල ලේඛන පිටපත් සිය ගණනක් එකවර මුද්‍රණය කිරිමට සිදුවේ.

මේ සියලුම පරිගණක මුද්‍රණ අවශ්‍යතා සඳහා පමණක් ලොව පුරා, වසරකට මුද්‍රණ කඩදාසි කොළ බිලියන 115 කට වැඩියෙන් භාවිත වන බව ගණන් බලා තිබේ.

පරිගණක මුද්‍රණ කටයුතු වලදී  ඉතාමත් සරල අරපරිස්සම් කිරීමක් මගින් අපට වනාන්තර වලින් ස්වල්පයක්වත් විනාශ නොවී රැක ගැනීමට දායක විය හැකි බව ඔබට විශ්වාස කළ හැකිද?

එය කරනුයේ  
පරිගණක මුද්‍රණය නතර කිරීමෙන්ද?   නැත.

නොඑසේනම් අඩුවෙන් මුද්‍රණය කිරීමෙන්ද?  එසේත් නොවේ.

මුද්‍රණය කරන පිටපත් සංඛ්‍යාවේ අඩුවක්ද නොමැතිව අපට, කඩදාසි කොළ බිලියන 115 කට වැඩියෙන් වැය වීම අඩුකර,  වනාන්තර සංරක්ෂණයටද දායක විය හැකි මගක් තිබේ. එය කුමක්ද?

පරිගණක වාර්තාවක් මුද්‍රණය කිරීමට කලින් මොහොතක් කල්පනා කිරීමෙන් මෙය කළ හැකිවේ.

මේ සරලම සංරක්ෂණ ක්‍රියාවලියේ ආරම්භය පිණිස, පරිගණක මුද්‍රණය සඳහා යොදා ගනු ලබන අකුරු වල ප්‍රමාණය (Font size) ගැන සිතන්න.

මෙම ක්‍රියාදාමයට දායක වීම සඳහා අකුරු වල ප්‍රමාණය (Font size)  එකකින් අඩු කරන්න.
දැන් මේ ගැන තව ටිකක් කල්පනාකාර බලමු. 

ඔබගේ අකුරුවල  ප්‍රමාණය  (Font size) 11 නම් එම  ප්‍රමාණය  (Font size) 10 කරන්න  එය ප්‍රමාණ 31 නම් ප්‍රමාණ 30  කරන්න. කළයුත්තේ මෙපමණකි.

මෙය ක්‍රියාත්මක වන ආකාරය පහත දැක්වෙන අයුරු මඳක් විමසා බලමු.


ප්‍රමාණ (Font size)  11 න් මුද්‍රණය කලවිට පිටු 39 කි

උදාහරණයක් වශයෙන් පිටු 39 සහිත යම්කිසි වාර්තාවක්  ප්‍රමාණ 11 න් මුද්‍රණය කළේයයි සිතමු. මෙම වාර්තාවම  ප්‍රමාණ 10 න් මුද්‍රණය කළහොත් ඒ සඳහා අවශ්‍ය වනුයේ පිටු 32 ක් පමණකි.


එම වාර්තාවම ප්‍රමාණ (Font size) 10  න් මුද්‍රණය කළවිට පිටු 32  කි

මෙම වාර්තාවේ පිටපත් 100 ක්‌ සකස් කිරීමට අවශ්‍ය වෙතොත්  ඒ සඳහා ප්‍රමාණ 11 න් මුද්‍රණය කළවිට කඩදාසි 3900 අවශ්‍ය වන අතර ප්‍රමාණ 10  න් මුද්‍රණය කළවිට අවශ්‍ය වනුයේ කඩදාසි 3200  පමණකි. මෙය සියයට 18 ක අඩුවීමකි.

සියලු දෙනාම මෙම ක්‍රමය භාවිත කළහොත් වසරකට මුද්‍රණ කඩදාසි කොළ බිලියන 20.7 ක් ඉතිරි කර ගත හැකි වේ.

සමස්ත වන විනාශයෙන් තුනෙන් එකක් පමණ වියහැකි හෙක්ටයාර මිලියන 5 ක් පමණ වනාන්තරවලින්, කඩදාසි වර්ග නිපදවීම සඳහා පමණක් දැව උපයෝගී කරගනු ලැබේ. මෙයින්  පරිගණක මුද්‍රණ කටයුතු සඳහා පමණක් අවශ්‍ය කඩදාසි නිෂ්පාදනයට යොදා ගනු ලබන්නේ එයින්  සියයට එකක්  යයි.සිතමු. (මෙය මිට වඩා වැඩිය). එයට අනුරුප වනාන්තර  ප්‍රමාණය හෙක්ටෙයාර් පනස් දහසකි. එක හෙක්ටයාරයක ගස් සියයක් තිබේ යයි අනුමාන කළතොත්, ඒ සඳහා කැපී යන ගස් සංඛ්‍යාව ලක්ෂ පනහකි.     (50,000  X 100 = 5,000,000)

අප කලින් සාකච්ඡා  කළ පරිදි, අකුරු ප්‍රමාණය (Font size) එකකින් අඩු කළහොත් කඩදාසි ප්‍රමාණය සියයට 18 කින් අඩුවන නිසා එයට අනුරූපීව, කැපෙන ගස් ප්‍රමාණයෙන් ද සියයට දහ අටක්  අඩුකර ගත හැකි වනු ඇත. එසේනම් මෙසේ කිරීමෙන් ගස් ලක්ෂ  නවයක්  (900,000) ක්‍ (5,000,000 /100 x 18 = 900,000) බේරා ගතහැකි වන බව ගණනය කළ හැකිය. 

මෙය ආශ්චර්යයක් ලෙස පෙනෙනු ඇත. එසේ වුවත්, එය යථාර්ථයයි. නව තාක්ෂණික ලෝකයේ, ඉතාමත් සරල පුරුද්දක් මගින් ජගත් පරිසර සංරක්ෂණය සඳහා අප කාටත් දායක විය හැකි බව ඔබට මෙයින් වටහා ගත හැකි වනු ඇත.


“එකක් අඩු කිරීම” ‘MINUS ONE

“එකක් අඩු කිරීම” යන අදහස ඇති ‘MINUS ONE’ , පරිසර හිතකාමී සංකල්පයක් ලෙස සමාජ ගත වෙමින් පවතී.

කෙසේ වෙතත්, මෙම පිළිවෙත සඳහා පරිගණක මුද්‍රණයෙන් වරකට පිටපත් එකක්, දෙකක් හෝ කිහිපයක් පමණක් ලබාගන්නා කෙනෙකුට දායකත්වයක් දැක්විය නොහැකිය. අඩුම වශයෙන් පිටු හතක් වත් මුද්‍රණය කිරීමේදී මෙම වාසිය එක පිටුවකින් ලබාගත හැකි වේ.  


විනාශය අබියස ඇති වනාන්තර සම්පත.

මෙම ක්‍රමවේදය මගින් නියම ප්‍රතිඵල ලබාගත හැකි වනුයේ පරිගණක මුද්‍රිත පිටපත් විශාල වශයෙන් ලබාගැනීමට අවශ්‍ය ව්‍යාපෘති වාර්තා, සම්මන්ත්‍රණ වාර්තා, පාසල්වල සහ විශ්ව විද්‍යාල වල අත් පිටපත් ආදිය මුද්‍රණයේදී වඩාත් සැලකිලිමත් වීමෙනි.


අනාගතයේදී ගසක වැදගත්කම

වන සම්පතෙහි අනාගතය ගැන දකින ඉන්දීය චිත්‍ර ශිල්පියෙකු විසින් අඳින ලද චිත්‍රයකින්, අනාගතයේදී ගසක් ආරක්ෂා කර ගැනීමට මුරකාවල් පවා දමන්නට සිදුවීය හැකිවේය යි යන සංකල්පනාව මෙසේ දක්වා තිබේ.

වන සම්පත රැක ගැනීමට සුළු වශයෙන් හෝ දායක වීම කාගේත් යුතුකමකි.