Tuesday, 21 February 2017

දැනුම් සම්භාරයක් ලබාගැනීම සඳහා මග පෑදූ මාසික ප්‍රකාශනය - Reader's Digest- 1 කොටස

         

Image result for reader's digest
එදා සිටම  පොතෙහි පිට කවර සටහන නොවෙනස්ව පවතී.
      
ප පවුලේ කව්රුත්, කියවීමෙන් දැනුම් සම්භාරයක් ලබාගන්නා ලද, ජාත්‍යන්තර කීර්තියට පත් ඒ මාසික ප්‍රකාශණයට උපහාරයක්‌ ලෙස මෙම සටහන තබමි. 

මට මුලින්ම Reader's Digest කියවීමට ලැබුනේ, හත්වැනි පන්තියේ ඉගෙන ගන්නා කාලයේදීය. ඒ 1952 වසරේය. එ කාලයේ අපගේ ශිෂ්‍ය නිවාසය භාර ගුරුතුමා, ඉඳහිට කොළඹ ගිය අවස්තාවලදී මිලදී ගෙන කියවන Reader's Digest පොත බොහෝවිට අපටත් කියවීමට අවස්ථාව ලබා දුන් නිසාය. අප ඉගෙනීම ලැබුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසා, ඉංග්‍රීසියෙන් ලියවුනු පොත්පත් කියවීමට පුරුදු වී  සිටියෙමු.

ඒ කාලයේ පාසල් පුස්තකාලවල අපගේ වයසට ගැලපෙන පොත් වශයෙන් තිබුනේ 'A.L Bright Story Readers' සහ 'Tales Retold for Easy Reading' වැනි සරල පොත් පමණකි. එකළ, කොළඹින් පිට නගරවල පොත් සාප්පුවකින් Reader's Digest වැනි පොත් මිලට ගත හැකි වුයේ කලාතුරකිනි. ඒ වකවානුවේදී පොතක මිල රුපියල් එකයි ශත විසිපහක් පමණ විය. කොළඹ මැකලම් පොත්හල, පිටරට මුද්‍රණය කර බෙදා හරින මාසික සඟරා සහ පොත්පත් මුදල් ගෙවා  ගෙදරටම ගෙන්වා ගතහැකි ආකාරය පිළිබඳව පළකරණ පුවත්පත් දැන්වීම් ගැනද මාගේ අවධානය බොහෝවිට යොමුවිය. ඒ කාලයේ එවැනි දෙයකට අමතර මුදලක් වැය කළ නොහැකි වය. කෙසේ වෙතත් කවදා හෝ Reader's Digest ගෙදරට තැපෑලෙන් ගෙන්වා ගැනීම පිලිබඳ සිහිනයක් මගේ සිතට කා වැදී තිබිණ.

අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්තිවල ඉගෙනීම ලබද්දී අතට වැඩිපුර  මුදලක් ලැබුණුවිට Reader's Digest මිලදී ගතිමි. විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේදීනම් Reader's Digest පමණක් නොව 'National Geographic' 'Scientific American' වැනි මාසික ප්‍රකාශණ ද නොකඩවා කියවීමට අවස්ථාව  ලැබිණ.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කර මා මුලින්ම රැකියාව සඳහා ගියේ 1963 වසරේය. ඊට මාස දෙක තුනකට පසු කොළඹ මැකලම් පොත් හලට ගොස් Reader's Digest ගෙන්වා ගැනීම පිළිබඳව විමසීමි. තැපැල් ගාස්තුවත් සමගම වර්ෂයක් සඳහා දායක මුදලවූ රුපියල් විස්සද ගෙව්වෙමි. මාස දෙකකින් පමණ මගේ පිටපත හොංකොං නගරයේ සිට ගෙදරටම ලැබී තිබිණ.

වසර දහයකට වැඩි කලක් දකිමින් සිටි සිහිනය සැබෑවිය 

මාස්පතා එකතුවන දැකුම්කලු ලෙස මුද්‍රණය කර තිබුණු Reader's Digest පොත්, ක්‍රමයෙන් ගොඩ නැගෙමින් තිබුණු මාගේ කුඩා පුස්තකාලයට නව පෙනුමක් ලබා දුන්නේය. 70 දශකය වන විට පිටපතක මිල රුපියල් එකසිය හැත්තෑපහක් පමණ විය.

කාලය කෙමෙන් ගෙවී ගියේය.

දැන් මගේ කුඩා පුස්තකාලයට මාස්පතා එක බැගින් ලැබී  වසර දහයක පමණ Reader's Digest පොත් එකතුවක් තිබේ. මේවා වසරින් වසර අනුපිළිවෙලට සකස් කර තබා, අතරින් පතර පොතක් ගෙන පැරණි දේ නැවත කියවීම ප්‍රීතිජනක විය. කොළඹ රැකියාව කරන කාලයේ දුම්රියෙන්, බස් රියෙන් හෝ පෞද්ගලික ප්‍රවාහන සේවයකින් ගමන් කරන සෑම විටම Reader's Digest අලුත්ම පිටපත මාගේ බෑගයේ විය. තවත් කෙනෙකු සමග කතාබස් නොකරන සෑම අවස්ථාවකම මම පොත කියවීමි. (පසු කාලීනව වාහනයක ගමන් කරමින් කියවීම තරමක් අමාරු විය). 70 දශකයේ භීෂණ සමයේදී මාස කිහිපයක් මගේ පිටපත් තෑපෑලේදී අස්ථානගත විය. පසුව, මරදානේ පරණ පොත් විකුණන තැනකට ගොස් අමාරුවෙන් එම පොත් සොයාගෙන අඩුව සම්පුර්ණ කර ගතිමි. වරක්, මගේ මිතුරෙක් පොත් දෙකක් ගෙන ගොස් ආපසු භාර දුන්නේ නැත. පසුව ඔහුට මතක් කළ විට, ඒවා ආපසු දුන් බවම කියා සිටියා. මට පාඩුව විඳ ගැනීමට සිදුවිය ඒවා නම් නැවත සොයා ගැනීමට ලැබුනේ නැහැ. කලක්  ගතවන විට, අපගේ දියණියන්ද තමන්ට හැකි පමණින්  මේ පොත් කියවීමට පටන් ගත්හ. මටත් වඩා ඔවුන් එම පොත් වලින් ප්‍රයෝජන ගන්නා  බව මට දකින්නට ලැබුණි. ඔවුන් සිංහල මාධ්‍යයෙන් ඉගෙනීම ලැබුවද ඉංග්‍රීසි පිළිබඳව හොඳ දැනුමක් ලබාගැනීමට මගේ පොත් එකතුවද අනුබලයක් වන්නට ඇතැයි සිතමි.
Image result for reader's digest
පෘතුවි තලයේ පරිසර සංරක්ෂණය සඳහා විශේෂ
ලිපි ඇතුලත් එක් මාසිකයක්‌ 
            
80 දශකයේදී මට වසර කිහිපයකට විදේශ ගත වීමට සිදුවිය. නැවත මැකලම් පොත්හලට ගොස්, මගේ නව ලිපිනය දී වැඩිපුර මුදලක්ද ගෙවා මගේ පිටපත් එම රටට ගෙන්වා ගතිමි. කාලය ගෙවී ගොස් මගේ Reader's Digest එකතුවට වසර 50 ක්ද ගතවිය. 2010 වසර වනවිට වාර්ෂික දායක මුදල රුපියල් හාරදහසද ඉක්මවීය. රුපියලේ අගය අඩුවීමත් ලොව පුරා ඇතිවන උද්ධමනයත් නිසා මෙසේ සිදුවන්නට ඇත. 
වාර්ෂිකව එකතු වන පොත් සුරක්ෂිතව ගොනු කර, පොත් අල්මාරියේ තැන්පත් කර තැබීම අපගේ සිරිතය. දියණියන්ද මෙම පිළිවෙත දිගටම අනුගමනය කළහ. මේ  තොගයේ සෑම පොතක්ම  පාහේ මා විසින් කියවා තිබෙන බව මටම පුදුමයකි. ඒ සියල්ලම කියවීමට අවස්ථාව කෙසේ හෝ ලැබී ඇත. මේ වන විට වසරකට පොත් 12 බැගින් එකට මිටි බැඳ ඇති 50 වසරක පොත් තොගයක් මගේ පොත් අල්මාරියේ තිබුණි. (කිහිපයක් හැර) 
කාලයාගේ ඉක්ම යාමත් සමග,  අපට පෞද්ගලික හේතුන් මත විදේශ ගත වීමට සිදුවිය. උපන් රට, සුපුරුදු පරිසරය, හදාගත් ගේ දොර, නෑදෑ හිතවතුන්, දිගු කලක සිට ඇසුරු කළ පොත්පත් ආදී බොහෝ දේ අතහැර දමා යාමට තීරණය කළෙමු. සියලු සංස්කාරයින් නැසෙන සුළු බව බුදු දහමෙන් ඉගෙන ගෙන ඇති නිසා අතහැර දැමීම, කණගාටුවකින් යුතුව වුවද කළයුතු විය.ඉතාමත් අවශ්‍ය පොත් හැර අනිත් බොහෝ පොත්පත් ඉගෙන ගන්නා දරුවන්ට සහ හිත මිතුරන්ට දුනිමි. එහෙත්, Reader's Digest තොගය අතහැර දැමීම මහත් ගැටලුවක් විය. අවසානයේදී ඒ පොත් සියල්ල කළුතර බෝධිඥාන පුස්තකාලයට තෑගි කළෙමි. එහි පාඨකයින්, එම පොත් පැරණි වුවත්, නවතාවයෙන් යුතුව කියවන බව පසුව අසන්නට ලැබී මහත් සතුටට පත්වීමි.
  
Reader's Digest පිලිබඳ තවත් තොරතුරු සහ ඒවා මගින් දැනුම් සම්භාරයක් ලබාගත්තේ කෙසේද යන්න මීළඟ සටහන්වල ලියා තබමි.

7 comments:

  1. අප්පච්චි කොළඹ රස්සාව කරද්දි ගත්තු රීඩර්ස් ඩයිජස්ට් පොත් තිහ හතළිහක එකතුවක් කෑගල්ලෙ අපේ ගෙදර කබඩ් එකක තිබිල මම හොයාගත්තෙ මට වයස අටේදි විතර. ඒ කාලෙ අපි ඉගෙන ගත්තෙ සිංහලෙන් වුනත් වචනෙන් වචනෙ ගැට ගහගෙන මම අවුරුද්දක් විතර ඇතුළත ඒ පොත් ඔක්කොම කියෙව්ව. එතනින් එහාට ඩයිජස්ට් කියවිල්ල නැවතුනෙ කෑගල්ලෙ පොත් කඩ එකකවත් ඩයිජස්ට් තිබ්බෙ නැති හින්ද. තිබ්බනම් අනිවාර්යයෙන් අප්පච්චි මට අරන් දෙනව.

    ඊට පස්සෙ හැත්තැ හතේ වගෙ ඉස්කොලෙ යන්ට කොළඹ ආවම මට හම්බ වුනා පොත් නිධානයක්. මරදානෙ ඩී.ආර්.විජේවර්ධන මාවතේ පරණ පොත් කඩ පේළිය. එව්වයෙ පරණ ඩයිජස්ට් පොත් තිබ්බ එකක් රුපියලට.එතනිනුත් මම පොත් සැරින් සැරේ සීයක් විතර ගත්ත.

    මටම කියල පොත් ගෙදරට ගෙන්න ගත්තෙ රස්සාවක් කරන්ට අරගෙනත් අවුරුදු පහක් හයක් ගියාට පස්සෙ.ඒත් දැන් අවුරුදු පහළවක් වගෙ ඩයිජස්ට් කියවිල්ල අත ඇරිල තියෙන්නෙ..

    "Life is like that"..."Laughter, the best medicine" මට තාම මතකයි.

    අවුරුද්දකට සැරයක්ද කොහෙද මට මතකයි කලින් අවුරුද්දෙ ඩයිජස්ට් එකේ පලවෙච්චි හොඳ කතා එකතු කරල විශේෂ අතිරේකයකුත් නිකුත් කලා සයිජස්ට් සමාගමෙන්...

    ස්තූතියි දයා මහත්මයා...බොහොම සොඳුරු මතක සටහන් පෙළක්...

    ReplyDelete
    Replies
    1. මට පෙනෙන හැටියට රවිත් රීඩර්ස් ඩයිජස්ට් කියවන්නට පටන් අරන් තිබෙන්නේත් මම වගේමයි.ඒ කාලයේ මරදානේ පරණ පොත් කඩ තිබුනේ ස්ටේෂන් එක ළඟ. කොටි බෝම්බ ගැහුවට පස්සේ එතනින් ඩී.ආර්.විජේවර්ධන මාවතේ කඩ වලට් ගෙනගියා. ඒවත් සොඳුරු මතක සටහන්

      Delete
  2. තාත්තාගේ මේ Readers Digest එකතුවෙන් අක්කලාටත් වැඩියෙන් ප්‍රයෝජනයක් ගත්තේ මං වෙන්න ඇති. අවුරුද්ද බැගින් මිටි බැඳපු පොත් තිබුණු අල්මාරිය මට හොඳට මතකයි. මට මතක ඇති කාලෙක ඉඳන් මම Readers Digest කියෙව්වා. මුලදී කියවන්න ටිකක් අමාරු වෙන්න ඇති. ඒත් අවුරුදු හත- අට කාලෙදිත් ඒවායේ තිබුණු පුංචි කතා කියවනවා මට හොඳට මතකයි. තාත්තා කියලා තියෙන විදිහට මගේ නම් නොවිධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබුණේ තාත්තාගේ මේ අවුරුදු ගාණක Readers Digest එකතුවෙන්. රවී කිව්වා වගේ "Life is like that"..."Laughter, the best medicine" මමත් ආසාවෙන් කියෙව්වා. අදටත් quotes සොයන්න නිමක් නැති පිපාසයක් ඇතිවුනේ Quotable quotes වගේ ඒවා කියවලා වෙන්න ඇති. ඒකාලේ Digest එකේ නවකතා වල condensed versionsත් තිබුණා. කියවලා බොහොම කාලයක් ගතවුනාට පස්සෙත් ඒවා හොඳටම හිතට කාවැදිලා තිබුණු නිසා පස්සේ කාලෙක ඒ පොත් හොයලා කියවන්න මම පෙළඹුණා. Torey Hayden ගේ "Somebody Else's Kids", James Herriot ගේ All creatures Great and Small එහෙම මම පස්සේ කාලෙක හොයාගෙන කියෙව්වේ Readers Digest එක නිසායි. තාත්තාගේ අවුරුදු 50 ක පොත් එකතුව දැන් නැති එක ගැන නම් දුකයි. ඒත් කවුරු හරි දැනටත් ඒ ටික කියවනවානේ. දැනටත් බෙහෙත් ගන්න ගියහම waiting room එකේදි කියවන්න Readers Digest එකක් අතට ගත්තහම පරණ යාලුවෙක් මුණගැහුණා වගේ දැනෙනවා!

    ReplyDelete
    Replies
    1. මට නම හොඳටම මතක I am Joe's..... series එක. ශරීරයේ එක් එක් කොටස් ගැන (කොටස් 48 ක්‌) ජීව විද්‍යාත්මක තොරතුරු වලට වඩා සාමාන්‍ය ජීව්තයෙදී අවශ්‍ය දේ සහ සමහර මිත්‍යා මත ගැන J.D.RATCLIFFE ලියා තිබුණු ලිපි පෙළ හරි වටිනවා.

      Delete
  3. අපිට නම් කියවන්න උනේ රිඩර්ස් ඩයිජස්ට් වර්ගයේ මාසික සඟරාව කියල ගිය සිව්දෙස වගේ ඒවා තමයි.. ඉංගිරිස් ඒවා කියවන කල්ට් එකක් තිබ්බේ නෑ ඒ කාලේ.. පස්සේ නේවි ගියාම ට්‍රින්කෝ ඇකඩමියේ පුස්තකාලේදී පොත් සෙට් එකක් තිබුන.. වෙලාව මදි කම නිසා උඩින් පල්ලෙන් බැලුව මිසක් එක දිගට කියවන්න උනේ නෑ.. ඒත් වතාවක් මම රිඩර්ස් දයිජස්ට් එකක් රිෆර් කරලා ප්‍රසන්ටේෂන් එකක් ගොඩ දාගත්ත ඉන්ටර්නෙට් සුලබ වෙන්න කලින්..

    රහ මතකයක්.. ස්තුතියි බෙදා ගත්තට..:)

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍රය,
      මම ඉස්සරහට මතක් කරන්නයි සිටියේ. අපේ රටේ නොයෙකුත් සංවිධාන 'සිව්දෙස' වගේ රීඩර්ස් ඩයිජෙස්ට් එකට අනුරූප මාසික පටන් ගත්තා. ඒවා සියල්ල වසර දෙක තුනකින් අවසන් උනා.ඔබටත් මතක ඇති 'Penguin' 'Pelican' වලට අනුරූප 'ලිහිණි' පොත් පෙළක් M.D ගුණසේන ඒකෙන් පළ කළා. ඒකත් අතරමග නතර උනා වගෙයි මට මතක. කණගාටුදායක සිද්ධි.

      Delete
    2. මුතුහර සහ මනහර සඟරා දෙක නම් සෑහෙන කල් තිබුණා. අපි රීඩර්ස් ඩයිජෙස්ට් ගැන දැනගත්තේ, මුතුහර, මනහර, සිව්දෙස සඟරා වල සහ සමුදුර වගේ පත්තර වල රීඩර්ස් ඩයිජෙස්ට් ඇසුරින් කියලා සඳහන් කිරීම් නිසා.

      Delete