Sunday, 26 February 2017

විදුහලේ කලක සිට පැවතී ජල ගැටලුවට විසඳුම සිසුන් විසින්ම සොයාගැනීම.......

ය ප්‍රදේශයේ විශාලතම විද්‍යාලයයි. සිසු සිසුවියන් තුන් දහසක් පමණ ඉගෙනුම ලබන විද්‍යාලයේ විෂයය සමගාමී ක්‍රියාකාරකම් සඳහා විශේෂයෙන් සකස් කළ ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානයක්ද තිබේ. එහිදී පවත්වනු ලැබූ විද්‍යා අධ්‍යයන කාර්ය සැසියකට සහභාගිවීම සඳහා ප්‍රදේශයේ විද්‍යා අධ්‍යාපන නිලධාරිවරයා ලෙස මටද ආරාධනයක් ලැබිණ. එවැනි අවස්වථාලදී  සිසුන් සහ ගුරුවරු සමග එකතුවී අධ්‍යයන කටයුතු කිරීමට මම විශේෂ කැමැත්තක් දැක්වීමි. බොහෝ විට විද්‍යාලයයේ විදුහල්පති තුමාද මෙම සැසි වලට සහභාගී විය.

එදින අප වැඩ කරගෙන යන අතර තුරේදී එක් වරටම විද්‍යාගාරයේ ජල සැපයුම නතර විය. වහාම විද්‍යාගාර සහායකට කථාකර ජල පොම්පය ක්‍රියාත්මක කරන ලෙස විදුහල්පතිතුමා  ඉල්ලා සිටියේය.

විනාඩි කිහිපයක් ජලය නොමැති වීම නිසා කාගේත් ක්‍රියාකාරකම් අඩාළ විය. ජල ප්‍රශ්නය ගැන කා අතරත් කසු කුසුවක් විය.
"සර්, දැන් පැය භාගයකටත් ඉස්සෙල්ලත් වතුර නැති උනා" 
යයි එක සිසුවෙක් කීවා.
මා අසලම වාඩිවී සිටි විදුහල්පති තුමාගෙන් මේ ගැන විමසූ විට ඔහු මෙසේ කීවා.
"වතුර පොම්පෙට තියෙන්නේ පරණ මෝටර් එකක්‌. දවසම දාලා තිබුනත් ටැංකිය පිරෙන්නේ නැහැ." 
"සර් මම හිතන්නේ නම් කොහෙන් හරි වතුර ලීක්‌ වෙනවා." 
තවත් සිසුවෙක් අපගේ සාකච්ඡාවට එකතු උනා.
ඒ ගැන මටත් සැකයක් ඇති උනා. 
"අපි මේ ගැන පොඩි සමීක්ෂණයක් කර බලමුද?" 
කියා මා විදුහල්පති තුමාගෙන් ඇසුවා.
"හොඳ අදහසක්. මාත් ඔය ගැන සිතමින් සිටියේ. අපි  ඒකට කැමතියි. අපේ ඊළඟ ක්ෂේත්‍ර අධ්‍යයනයට හැකි වෙතොත් මේ සමීක්ෂණය කරමු." විදුහල්පති තුමා ප්‍රකාශ කළා.

එදින වැඩ සටහන අවසන් වීමට පෙර සිසුන් හතර පස් දෙනෙක් සමග මා මෙම ගැටලුව සාකච්ඡා කර මෙවැනි ගැටළුවක් සඳහා විසඳුම් සෙවීමට හොඳම මග 'විද්‍යාත්මක ක්‍රමය' බව පැහැදිලි කරදී, එහි පියවර කිහිපයද ඉතා සරල ලෙස විස්තර කර දුන්නා.
එයින් දිරිමත්වූ සිසුන් එවෙලේම මෙම ගැටලුවට හේතු විය හැකි උප කල්පන කිහිපයක්ද ඉදිරිපත් කළා.
ඒවා සැකෙවින් මෙසේය 
1. ජල පොම්පයේ හෝ මෝටරයේ අකාර්යක්ෂම බව 
2. කරාමවල ජල කාන්දුව 
3. භූගත ජල නලවල කාන්දුවීම්
4. ලිඳේ ජලය අඩු බව

ඊළඟ සතියේ උදය රැස්වීමේදී විදුහල්පති තුමා මේ පිළිබඳව දිග විස්තරයක් කර සති දෙකකට පසුව එළඹෙන සෙනසුරාදා දින කරනු ලබන මෙම අධ්‍යයනය විද්‍යාත්මක ගවේෂණයක් බව පවසා එයට සහභාගී වීමට කැමති සිසු සිසුවියන්ට, කලින් දින මා සමග සාකච්ඡා කළ ජේෂ්ඨ සිසුවෙකුට තම නම් දන්වන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. එදින විවේක කාලය වනවිට සිසු සිසුවියන් 30 දෙනෙක් පමණ ඉදිරිපත්වී තිබුනා. මේ බව මටත් දන්වා නියමිත දිනට අධ්‍යයනය මෙහෙයවන ලෙසද ඉල්ලා සිටියා. 

සතිය මැද දිනයක මා විදුහලට ගොස් විදුහල්පති තුමා සහ ජේෂ්ඨ  සිසුන් කිහිපදෙනා හමුවී, ඔවුන් සමග විදුහලේ සෑම තැනකම ගොස් නිරීක්ෂණය කර අධ්‍යයනය සඳහා අවශ්‍ය තොරතුරු සටහන් කර ගත්තා. පසුව ජේෂ්ඨ සිසුන් සතර දෙනෙකුට  කණ්ඩායම් නායකයින් ලෙස ක්‍රියාකර සමීක්ෂණය කිරීමට සහ  තොරතුරු සටහන් කර ගැනීම සඳහා  අනිකුත් සිසුන් සමග ක්‍රියාකරන ලෙසටත් උපදෙස් ලබා දුන්නා. 

නියමිත සෙනසුරාදා උදේ මා විද්‍යාලයට යන විටත් ලොකු කුඩා සිසු සිසුවියන් රාශියක්‌, විද්‍යා ගුරුවරු කිහිප දෙනෙක් සහ විදුහල්පති තුමාත්   ක්ෂේත්‍ර මධ්‍යස්ථානයේ රැස්වී සිටියා.

මුලින්ම පැමිණ සිටින සිසු සිසුවියන් ජේෂ්ඨ  සිසුන්ගේ නායකත්වය යටතේ  කණ්ඩායම් හතරකට බෙදා ගත්තා.
එක් එක් කණ්ඩායමේ නායක සිසුන් විසින් කණ්ඩායමට නියමිත කාර්ය භාරය අනිකුත් සාමාජිකයින්ට විස්තර කර දුන්නා. පසුව සියලු දෙනාම ක්ෂේත්‍රයට ගියා. අපද වරින් වර සිසුන් වැඩ කරන ස්ථාන වලට ගොස් අවශ්‍ය උපදෙස් ලබා දුන්නා.
(කලින් දිනක කාර්මික ශිල්පියෙකු විසින් පොම්පයේ දොසක් නොමැති බව ප්‍රකාශ කළ බවද  විදුහල්පතිතුමා අපට පැවසුවා)

පැය දෙකකට පමණ පසු පළමු කණ්ඩායම තොරතරු රැගෙන පැමිණියා.
එහි සිටි කුඩා  සිසුන් තම සොයාගැනීම් කීමට පුලපුලා සිටියා. ඔවුන්ට   කිරීමට නියමිතව තිබුනේ විදුහල් භුමියේ තිබෙන ජල කරාම සහ ඒවායේ ජල කාන්දු වන කරාම සංඛ්‍යා  පිළිබඳව සටහන් කර ගැනීමයි.

ජල කාන්දුවීම් ප්‍රමාණික වශයෙන් මිනුම් ලබා ගැනීමට නියමිත දෙවන කණ්ඩායම භූගත කාන්දුවීම් කිහිපයක්ද  සොයා ගෙන ඒවායේ කාන්දු වීමේ මිනුම් ලබාගත නොහැකි බවත් ප්‍රකාශ කළා.

තුන්වන කණ්ඩායමට ලැබුණු ක්‍රියාකාරකම වූයේ  සම්පුර්ණයෙන් ආවරණය කර තිබෙන (කුඩා විවරයක් සහිතව)   ළිඳේ ගැඹුර, ඇති ජල පරිමාව, ජල ටැංකියේ පරිමාව ආදිය  ගණනය කිරීමයි. මේ සඳහා සරල ගණිත ක්‍රම සහ විද්‍යාත්මක නිරීක්ෂණ උපයෝගී කරගෙන  තිබුනා. ඊට අමතරව ඔවුන් විදුහල් පරිශ්‍රයේ සිතියමක, ලිඳ, ජල ටැංකිය, ජලනල පද්ධතිය, කරාම ඇති ස්ථාන ආදිය සටහන් කළා. (මේ සඳහා විදුහල්පති තුමා විසින් විදුහල් පරිශ්‍ර සිතියමක් සපයාදී තිබුනා.) 
   
හතරවන කණ්ඩායමට නියමිතව තිබුණේ ජලය කාන්දුවන ස්ථානවල දකින්නට ලැබෙන භෞතික ලක්ෂණ (දිය සෙවෙල් බැඳීම, තෙතමනය සහිත බව, තණකොළ සරුවට වැඩී තිබීම, ජලය රැඳී වලවල් තිබීම, මඩ සහිත බව ආදිය ) නිරීක්ෂණය කර සටහන් තබාගැනීම යි.

තොරතුරු එකතු කර ගැනීමෙන් පසුව සුළු විවේකයක් ගත් සිසුන් ලබාගත් දත්ත සැකසීම සහ විශ්ලේෂණය පටන් ගත්තා. පැමිණ සිටි ගුරුවරුද මෙයට සම්බන්ධ වූවා. 

ලබාගෙන තිබුණු තොරතුරු  වලට අනුව විදුහලේ ජල පද්ධතිය පිලිබඳ දත්ත සැකෙවින් මෙසේය.
1. ලිඳේ ගැඹුර   මීටර් 4 ක් පමණ, ජලයේ ගැඹුර මීටර් 2.6, ළිඳේ එදින 
    තිබුණු ජල පරිමාව ඝන මීටර් 24 පමණ , ජල ටැංකියේ ධාරිතාව ඝන 
    මීටර් 13.5
2. විදුහල් පරිශ්‍රයේ ඇති ජල කරාම සංඛ්‍යාව 196, ජල කාන්ඳු නොවන 
    කරාම සංඛ්‍යාව  66, සුළු කාන්දු වීම් සහිත කරාම සංඛ්‍යාව 68, මධ්‍යම 
    ප්‍රමාණයේ කාන්දුවීම් සහිත කරාම සංඛ්‍යාව 42, විශාල ප්‍රමාණයේ 
    කාන්දුවීම් සහිත කරාම සංඛ්‍යාව 20
3. ජල කාන්ඳු සහිත ස්ථානවල භෞතික ලක්ෂණ - බිත්තිවල තෙතමනය 
    ස්ථාන 26, බිත්තිවල දිය සෙවෙල් බැඳීම ස්ථාන 12, තණකොළ 
    සරුවට වැඩී  තිබීම ස්ථාන 8, මඩ සහිත ස්ථාන 4, 

මෙසේ ලබාගත් දත්ත අනුව ජල ටැංකිය පිරී නොයාමට ආසන්නම හේතුව වශයෙන් අනුමාන කල හැක්කේ කරාම ඇතුළු සම්පූර්ණ පද්ධතියේ ජල කාන්දු වීම බව පැහැදිලිවිය.

ජල කාන්දු වීම් අධ්‍යයනය කළ කණ්ඩායමේ දළ ගණනය කිරීම් අනුව (මිනුම් ලබාගත හැකිවූ කාන්දු වීම් වලින් පමණක්) පැයකට ජල ලීටර 1000 ක් පමණ අපතේ යන බව හෙළිවිය. ජල කරාම භාවිතයේදී අපතේ යන ප්‍රමාණය මීට වඩා බෙහෙවින් වැඩිවිය හැකිය. ඇත්ත වශයෙන්ම භාවිත වන ජල ප්‍රමාණයත්, නොයෙක් ආකාර වලින් අපතේ යන ජල ප්‍රමාණයත් බලන විට පැයකට ලීටර් 5000 ක්  ඉක්මවනු ඇත. ජල ටැංකිය පිරී නොයාමට හේතුව වනුයේ ජල පොම්පයේ කාර්යක්ෂමතාව  පැයකට ජල ලීටර් 5000 කට අඩුවීම  විය යුතු බව අනුමාන කළ හැකිය.

මෙම කරුණු  සාකච්ඡා  කිරීමෙන් පසුව මුළු ජලනල පද්ධතියම අලුත්වැඩියා කළ යුතු බව පැහැදිලි විය. 

එය ඉක්මනින්ම කරන බව විදුහල්පති තුමා ප්‍රකාශ කළේය. මෙම කටයුත්ත ගැන දැනගත්  ආදි ශිෂ්‍යයෙකුද වන ජලනල කාර්මික ශිල්පියෙකු, අලුත්වැඩියාව නොමිලේ කර දීමටත්, ජලනල උපාංග වෙළඳ සැලක අයිතිකරුවකු වන තවත් ආදී ශිෂ්‍යයෙකු, අවශ්‍ය සියලුම උපාංග නොමිලයේ සැපයීමටත් ඉදිරිපත් වී ඇත. 

ඊළඟ සතියේ දිනක ජලනල කාර්මික ශිල්පියා තවත් කිහිප දෙනෙකුද උදව් කරගෙන මූලික කැනීම් කටයුතු කර ඇත. භූගත ජල කාන්දු වල ප්‍රමාණ දැක ඔවුන් පුදුමයට පත්වී ඇත. ඔහු විසින් ඉල්ලුම් කරන ලද අවශ්‍ය උපාංග සියල්ලම වෙළඳ සැල හිමියා විසින් වහාම සපයා දී තිබේ. 
එම සතියේ සෙනසුරාදා, අලුත්වැඩියාව කිරීමට තීරණය කරන ලදී. එදිනද සිසුන් සහ ගුරුවරු විශාල පිරිසක් මෙම ක්‍රියාකාරකම බැලීමට පැමිණ සිටියහ.

ප්‍රධාන බෙදාහැරීමේ කරාමය විවෘත කර ජල ටැංකිය හිස් කළ ඔහු  තවත් කිහිප දෙනෙකුගේද සහාය ඇතිව අලුත්වැඩියා කටයුතු ආරම්භ කළේය. උදේ සිට පස්වරු දෙක පමණ වනතුරු නොකඩවා වැඩකළ ඔව්හු අවශ්‍ය සියලුම කරාම සහ සන්ධි අලුත්වැඩියා කිරීම අවසන් කර ඒ බව විදුහල්පති තුමාට දැන්වීය. ජල ටැංකියේ ප්‍රධාන බෙදා හැරීමේ කරාමය වසා දැමූ පසු විදුහල්පති තුමාම ජල පොම්පය ක්‍රියාත්මක කළේය.

මිනිත්තු හතලිහකදී, සියලුදෙනාගේම ඔල්වරසන් හඬ මධ්‍යයේ  ජල ටැංකිය උතුරා ගියේය !

වසර ගණනාවක් තිස්සේ කොපමණ ජල පරිමාවක් අපතේ ගියේදැයි කිසිවෙක් නොදත්හ. ඒ සියල්ල මනා කළමනාකරණය මගින් සුළු වේලාවකදී නිවැරදි කරගත හැකිවිය.

මෙය ආශ්චර්යයක් නොවේ.             
  
   

8 comments:

  1. මම හිතන්නේ අපි ඉගෙනගන්න කාලයේ ඉස්කෝල වල ප්‍රායෝගික ගුරුවරු හිටියෙම නෑ. ළමයින්ව පන්තියෙන් එළියට ගන්න උනන්දුවක් කිසිම ගුරුවරයෙකුට තිබ්බේ නෑ. අපි සමාන්‍ය පෙළ කරන කාලය වෙනකොට පාසලෙන් විනෝද චාරිකාවක් එක්කගෙන යන එකත් නැවතිලා තිබ්බේ.

    අත්තටම මම මේ කල්පනා කලේ මේ සිද්ධියෙන් ළමයින් කොච්චර සතුටින් මේ කාරණා ඉගෙනගන්න ඇතිද කියලා...

    ReplyDelete
  2. තිසර ස්තුත්යි. මම ගුරුවර්යෙක් ලෙස සිටියේ අවුරුදු 5 යි.ඒ කාලයේ ඉතාමත් හොඳට ඉගැන්නුවා. මුලින්ම විද්‍යා විෂයය සිංහලෙන් උගන්නන්නට සිදු උනේ අපට.පාරිභාෂික වචන බල බලා රෑ නිදි වරාගෙන නෝට්ස් හැදුවා. එතකොට වයස 24 යි. AL පන්තිවල සමහර ගෝලයෝ වයස 19, 20 අයත් හිටියා. යාලුවෝ වගෙයි වැඩකලේ. පසුවත් අධ්‍යාපනයේම සිටි නිසා දිගටම පාසල් සිසුන් සහ ගුරුවරු සමග විද්‍යා අධ්‍යයන රාශියක් කළා.ලංකාවේ විද්‍යා ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථාන පටන් ගැනීමේ පුරෝගාමියෙක් ලෙසටත් වැඩ කළා. 2012 වන විට රටේ මධ්‍යස්ථාන 38 ක් තිබුනා.කවදාවත් ප්‍රයිවෙට් ටියුෂන් කලේ නම නැහැ. මේ සියල්ල සොඳුරු මතක සහ අත්දැකීම්.

    ReplyDelete
  3. ඉතින් මෙහෙව් රටක් හදන්න බෑ කියල කියන්නෙ වැඩ බැරි මිනිස්සු මිසක් උවමනාවක් තියන උදවිය නම් නෙමෙයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. 'වැඩ බැරි මිනිස්සු' නිසා උවමනාවක් තිබෙන අයටත් හරියට වැඩක් කරන්න ඉඩ පහසුකම් නැහැ නේද?

      Delete
  4. //ඒ සියල්ල මනා කළමනාකරණය මගින් සුළු වේලාවකදී නිවැරදි කරගත හැකිවිය. මෙය ආශ්චර්යයක් නොවේ//
    තිසරගේ කොමෙන්ට් එක තමයි මටත් මතක් උනේ..

    අපිට ඒ කාලේ අධ්‍යාපනය දුන්නේ කතරගම මැණික් ගඟේ මාළුන්ට කන්න දානවා වගේ.. පුළුවන් උන් පැන පැන කෑවා.. කම්මැලි අපි පැත්තකට වෙලා හිටියා.. කාටවත් මොන මාළුවද කෑවේ මොකද නොකෑවේ කියල හොයන්න උවමනාවක් තිබ්බේ නෑ. මේ විදියට කන්න ආස හිතෙන විදියට කෑම දාන්නත් කවුරුවත් උනන්දු උනේ නෑ.

    ReplyDelete
    Replies
    1. පෞද්ගලික සෞඛ්‍ය සේවාව සහ පෞද්ගලික අධ්‍යාපනය, මුදල් වැඩි වැඩියෙන් ඉපයීමේ මාර්ග වුවාට පසුවයි මේ සියලු පෙරළි ආරම්භ වූයේ.

      Delete