මේකත් සීෂෙල්ස් රටේ සිදුවීමක්. නවතම අත්දැකීමක්
නිසා ලියන්නට සිතුනා. 1987 වර්ෂයේ
අගදී පමණ සිදුවීමක්. ඒ කාලයේ මා වැඩකළේ එරට 'පොලිටෙක්නික්' එකේ. සීෂෙල්ස් රටේ උසස් පෙළ පන්ති පවත්වන්නෙත් පොලිටෙක්නික් එකේ. උසස් පෙළට
රසායන විද්‍යාව ඉගැන්වීම භාරව තිබුනේ මටයි. රට කුඩා වුවත් 'පොලි' එකේ අධ්‍යයන
අංශ රාශියක්ම තිබුණු නිසා ගුරුවරු සහ උපදේශකයින් හැටක් පමණ සිටියා. මේ හැටදෙනා
රටවල් දහයකින් විතර පැමිණි අය. ලංකාව, ඉන්දියාව, මුරුසිරට, චීනය, උගන්ඩාව, ඇමෙරිකාව, මැඩගස්කරය, කැනඩාව, බෙල්ජියම
එංගලන්තය වැනි රටවල් රාශියකින් පැමිණි අය සිටි නිසා හරිම අත්දැකීම් ගොනුවක්
ලබාගන්නට හැකි උනා. අපි, ලංකාවේ අයත් තුන් දෙනෙක් ගුරු
මණ්ඩලයේ සිටියා.
මේ රටේ සමාජවාදය මහ ඉහලින්ම සලකන නිසා කවුරුත් එක සමානයි. ආයතනයේ
ගුරු මණ්ඩලය සහ විද්‍යාගාර සහායකයින්, කාර්යාල සහායකයින්, උද්‍යාන කම්කරුවන්, පිරිසිදු
කරන්නන් වැනි සියලු දෙනාම අතර හරිම එකමුතුවක් තිබුනා. සීෂෙල්ස් රටේම
අයත් දහදෙනෙක් විතර කණ්ඩායමේ සිටියා. අපගේ අධ්‍යාපන අංශයේ ප්‍රධානියා වුයේ මහා බ්‍රිතාන්‍යයේ
'ස්කොට්' ජාතිකයෙක්.
ඔහු නමින් 'ග්‍රිස්ටොක්'. ඔහු හඳුන්වන්නේ එච් ඕ එස් (HOS head of school) කියායි.
විනෝදකාමී සැහැල්ලු ජීවිතයක් ගතකරන ඒ රටේ මිනිස්සු වැදගත්යයි
සැලකෙන ඕනෑම කරුණක් වෙනුවෙන් පාටියක් දැමීම සිරිතක්. අපේ 'පොලි' එකේද
නිතරම පාටි තිබුනා. බොහෝ විට ඒ පාටි සංවිධානය කිරීම පැවරුනේ රසායන
විද්‍යා අංශයේ විද්‍යාගාර සහායක ලෙස සේවය කළ 'චාල්ස්' ටයි. ඔහු රටේම කෙනෙක්. එම වර්ෂය අවසානයේදී ඉගැන්වීම් කොන්ත්‍රාත්තු අවසන්
කළ කිහිප දෙනෙක්ම ආපසු තම මව් රට වලට යන නිසා පාටිය අමුතුම අන්දමට කලයුතු බව අපට
දැනගන්නට ලැබුනා.
'පොලි' එක
තිබුනේ රටෙහි ප්‍රධාන නගරය වන වික්ටෝරියා සිට කිලෝමීටර් 10 ක් පමණ
දුරින් පිහිටි 'අන්ස් රෝයාල්' නම් කුඩා නගරයේ. ඉතාම දැකුම්කලු මුහුදු වෙරළකට ආසන්නව පිහිටි නිසා 'පොලි' එකේ
වැඩකළ අප විවේක වෙලාවට වෙරළට ගොස් සිටීමටද පුරුදුව සිටියා. මෙහි වෙරළ ආසන්නවම
කොරල් පරයක් තිබුණු නිසා මුහුදේ බාදිය වෙලාවට පරය හොඳටම පෑදී තිබෙනවා. රටේ කාටත් අපට වඩා වඩදිය, බාදිය ගැන හොඳ අවබෝධයක් තිබුනු අතර ඔවුන් සියලු
දෙනාම දක්ෂ පිහිනුම් කරුවෝද වුවා. .
වාරාවසානයට සතියකට පමණ උඩදී ගුරු විවේක කාමරයේ චාල්ස් විසින් දමා
තිබුණු දැන්වීමක පාටිය ගැන තොරතුරු සඳහන් කර
' There will be surprises,
adventures, hilarious things and many more.....'
කියා අවසන් කර, පහතින් මේ අයුරින් ලියා තිබුනා.
'The party will not be on land. Expect
adventure at thigh deep in water. The person with the minimal
clothing with decent coverage, will be getting a valuable prize.'
පසුවදා වන විට thigh deep වෙනස් කර, hip deep ලෙසද, තුන්වන
දිනයේ නැවත වෙනස් කර, waist deep ලෙසද, සතියේ හතරවන දිනය වන විට tummy deep කියාද
වෙනස් වූවා. අවසාන දිනයේදී එය breast deep කියා
කවුදෝ වෙනස් කර තිබුනා. රටේ අයට සහ තවත් බොහෝ අයට එය මහත් විනෝදජනක දෙයක් වූවත්, මුහුදේ
එවැනි අවදානම් දෙය නුහුරු අපට එය ප්‍රහේලිකාවක් විය.
අන්තිම දිනයේ ඉගැන්වීම් කටයුතු කලින් අවසන් කර, සිසුන්
ගෙවල් වලට ගිය පසු, කවුරුත් එක්කෙනා දෙන්නා වෙරළ පැත්තට ගියා. ඒ වන විටත් චාල්ස් තව
කිහිප දෙනෙක් සමග වෙරළේ සිට මීටර් සියයක් පමණ දුර, කොරල් පරය මත, මේසයක්
අටවා එය මත බාබකිව් (barbeque
BBQ) එකක් සූදානම් කර තිබුනා. තවත් මේස දෙකක් මත ආහාරපාන රාශියක්, පේපර්
ප්ලේට්ස්' ආදිය සහ බීම වර්ග අසුරා තිබුනා. ඒ වන විටත් මේස කකුල් අඩියක් පමණ
ජලයෙන් යටවී තිබුනා. සියල්ලෝම වෙරළට පැමිණි පසු
"All are cordially invited for
barbeque lunch at waist deep in the sea"
"උකුලක්
ගැඹුරු මුහුදේ "බාබකියු' දිවා භෝජනය සඳහා සියලු දෙනාටම සාදරයෙන් ආරාධනා කරනවා"
කියා චාල්ස් නිවේදනය කළා.
එසේ කී චාල්ස් උඩට හැඳ සිටි ඇඳුම ගලවා දමා මුහුදට පැන්නා.
අනිත් ගැහැණු පිරිමි බොහෝ දෙනෙක්ද වහාම ක්‍රියාත්මකවී උඩ ඇඳුම ගලවා දමා
මුහුදට බැස්සා. වෙරළේ සිට කොරල් පරය අතර මුහුදු තීරය එතරම් ගැඹුරු නැහැ.
බොහෝ අය දැන්වීමේ කියා තිබුණු පරිදි ඇඳුම ගැන නම් හොඳින් සැලකිලිමත් වී තිබුනා.
සෑම කෙනෙක්ම මතුපිට ඇඳුමට යටින් මුහුදට බැසීමට පහසු ඇඳුමක් හැඳගෙන සිටියා. ටික
වෙලාවකින් මේසය තබා තිබුනු තැන කොරල් පරය මතට ගොඩවූ සමහර අය අඩ නිරුවත්ව සිටි නිසා
හඳුනාගැනීමට තරමක් විපරම් කර බැලීමට සිදු උනා. තද අව් රශ්මිය තිබුණු නිසා දියේ බැස
සිටීමත් දිවා ආහාරය ඒ ලෙස ගැනීමත් හරිම ආශ්වාදජනක දෙයක් උනා.
'බාබකිව්' (BBQ) එකේ පළහා
ගත් කුකුල් මස්, සොසේජස්, පොකිරිස්සන් සමග පාන්, කට්ලට්ස්, ආදිය සහ පලතුරු කා, බියර් එකක් බිව් පසු ඇඟට
හොඳ පණක් ආවා. කිහිප දෙනෙක් සින්දු කීමට පටන් ගත්තත් එය එතරම් සාර්ථක වුයේ නැහැ.
බලා සිටිද්දී බාදිය වැඩි වන ආකාරය දකින විට මට නම් තරමක බයකුත් ඇති උනා. ඒ උනත්
බියගුළු කම නොපෙන්වා කොයි මොහොතේ ගොඩට යම්දෝ යි සිතමින් සිටියා. දැන් දැන් ජල
මට්ටම ඉක්මනින්ම වැඩි වෙමින් තිබුනා. පැය භාගයක් පමණ යන විට ජල මට්ටම මේසය
මතුපිටටම ආවා. ගුරු විවේකාගාරයේ දැන්වීමේ, අවසාන දිනය වනවිට කව්දෝ විහිලුවට breast deep කියා
වෙනස් කර තිබීම ඇත්ත බව මට එවිට මතක් උනා.
අප කුඩා කාලයේ, ලංකාවේ ගංවතුර ගලන ප්‍රදේශ වල වැඩි හිටියන්, මහා
මාර්ගය වතුරට යටවී තිබෙන ප්‍රමාණය තව කෙනෙකුට කියන විට භාවිත කරන මිනුම් මට මෙවෙලේ
සිහි උනා. ('දනක් විතර, උකුලක් විතර, තන මට්ටම, පොව්වන තරමට, නොපොව්වන තරමට'
ආදිය ඔවුන්ගේ පැරණි ගංවතුර මිනුම් වී තිබිණ.)
තව අඩියක් ජලමට්ටම වැඩි වුවහොත් බාබකිව් (babaque BBQ........). උපකරණය යටවෙනවා. දැන් ජල මට්ටම 'වේස්ට්' waist deep ද පසු වීගෙන එනවා. සමහරු ටික ටික ගොඩ බිමට මාරු උනා.
අඩුම ඇඳුම තේරීම ඊළඟට.
එය තේරීම භාරවුයේ එච්එඕඑස් (HOS) ට. පිරිමින් වැඩිදෙනෙක් සිටියේ කෙටි නාන ඇදුම්
හැඳගෙන. කාන්තාවන්ගේ නම් වයිවාරණ ඇඳුම් තිබුනා. අවසානයේදී කාන්තාවන්ගෙන් ජය ගත්තේ
පටු රෙදි පටියකින් උඩුකය යන්තම් වසාගෙන තවත් වසා ගතයුතු ප්‍රදේශ
සායම් ආලේපයක් තවරාගෙන 'බොඩි පේන්ට්'
(body paint) කරගෙන සිටි තරුණ බෙල්ජියම් ජාතික ක්‍රීඩා උපදේශිකාව වන කැතරින්ය. මා 'බොඩි පේන්ට්' ගැන කලින් අසා තිබුනත් බොහෝ දුරට අඩ නිරුවත් සිරුරක් සායම් වලින්
හොඳහැටි ආවරණය කරගත හැකි බව හරියටම දැන ගත්තේ එදායි. සියල්ලන්ගේම අත් පොළසන් නාදය
මැද්දේ ඇයට පළමුවන ස්ථානයට හිමි තෑග්ග ලැබුණා.
පිරිමින්ගේ අඩුම ඇඳුම තේරීම එතරම් අමාරු වුයේ නැහැ. කව්රුත් පාහේ
ඇඳගෙන සිටියේ 'ස්විමින්ග් ට්‍රන්ක්' (swiming trunk) කොට කලිසම්. ඒ අතර තුවායක්
ඉනෙහි දවටාගෙන සිටි පුස්තකාලයේ වැඩ කරන 'ඩොනල්ඩ්' තුවාය ගලවා දමා ඉදිරියට ආවා. ඔහු කිසිවක් හැඳගෙන නැති යයි
කවරුත් සිතුවා. ඔහු හැඳ ගෙන සිටියේ ලංකාවේ අමුඩයට සමාන ඇඳුමක්. වෙරළේ තිබුණු ගසක පට්ටයක්
හිනෙහි බැඳගෙන, ශරීරයේ පැහැයට සමාන පැහැයකින් යුත් කුඩා සාක්කු ලේන්සුවකින් ඔහු
අමුඩය ගසා ගෙන සිටින අයුරු දැක කාටත් සිනහව නවත්වා ගන්නට නොහැකි උනා. අප නම් අමුඩය
දැක තිබුණු නිසා එතරම් කුතුහලයක් දැනුනේ නැහැ. හැම කෙනෙක්ම ඒ ගැන වැඩිපුර විපරම්
කරන විට තරමක් ලැජ්ජාවට පත් ඔහු දියට පැන ඉක්මණටම ගොඩට ගියා. පසුව ඔහුගේ තෑග්ග
වෙරළේදී දුන්නා.
ගැහැණු පිරිමි දෙපක්ෂයම
" the minimal clothing with
decent coverage,"
යන සටහන හොඳින් පිළිපැද, මුහුදටත් බැසීමට හැකිවන ආකාරයෙන් විකට ඇඳුම්ද
හැඳගෙන සිටි නිසා එදා සාදය විචිත්‍රවත් වූ බවත් එයින් වැඩිහිටියනට යෝග්‍ය අහිංසක
ආස්වාදයක් ලැබූ බවත් නොකියාම බැරිය.
ශහ්ඃ.. අන්න පාටි.
ReplyDeleteජයවේවා..!!
බොහොම ස්තූතියි දයා මහත්මයා..මම කවදාවත් අහලවත් නොතිබ්බ සාදයක්...අපූරුයි!
ReplyDeleteරට ඉතාමත් කුඩා උනාට මිනිස්සු ජොලියෙන් ඉන්නවා ලංකාවෙන් ගිය අයට හොඳට සලකනවා.
Deleteඅනිවාර්යෙන් එදා එක ළමයෙක්ට වත් ඒ පැත්ත පළාතේ එන්න දුන්නේ නැතුව ඇති.....
ReplyDelete