Sunday, 15 January 2017

සීෂෙල්ස් රටෙහි ඉතාමත් සාර්ථක අමුතුම අධ්‍යාපන ක්‍රමයක් ........


   සුගිය 70 සහ 80 දශක වල දී ශ්‍රී ලාංකිකයන්ට අප්‍රිකානු ප්‍රදේශයේ සහ අරාබිකරයේ රටවල රැකියා සඳහා යාමට මහඟු අවස්ථාවක් උදාවිය. නයිජීරියාව, සීෂෙල්ස්, ඕමානය වැනි රටවල රැකියා ඇබෑර්තු බහුලව තිබිණ. විශේෂයෙන්ම විද්‍යා ගණිත ගුරුවරු, වෛද්‍ය වරු, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයින් බහුල වශයෙන් මෙම රටවලට රැකියා සඳහා ගියහ. ශ්‍රී ලංකා රජයෙන්ද මේ සඳහා අනුබල දුන් අතර 44 / 90 නම් රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛය මගින් විදේශ නිවාඩු ලබාගැනීමටද පහසු කම් සලසා තිබිණ. මේ අනුව දෙවරකට අවුරුදු 5 ක්  (අවුරුදු 3 සහ 2 බැගින්)  වැටුප් රහිත නිවාඩු ලැබිණ. බොහෝ විට එම රටවල නිලධාරීන් අප රටට පැමිණ සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුස්සන් තෝරා ගත්හ. ගුරුවරුන් තෝරා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය අවශ්‍ය  පහසුකම් සලස්වන ලදී. සීෂෙල්ස් රටෙහි රැකියා සඳහා ගුරුවරුන් තෝරා ගැනීම පිණිස එරට අධ්‍යාපන ඇමැතිවරයාම පැමිණීම විශේෂත්වයක් විය. එකල එම අධ්‍යාපන ඇමැතිවරයා වුයේ ඉන්දියානු සම්භවයක් ඇති පැට්‍රික් පිල්ලේය.

විද්‍යා අධ්‍යාපනයේ නියැලී සිටි මගේ හිතවතුන් කිහිප දෙනෙක්ද 1982 වසරේදී  පළමු වතාවට සීෂෙල්ස් රටට යාමට තෝරාගන්නා ලදී.  නානා, ගුණේ, අත්පුත්, කොටන්, රත්නසභාපති  සහ තවත් දෙදෙනෙක් එම කණ්ඩායමට අයත් විය. ඔවුන්ගෙන් ලබාගත්  තොරතුරු අනුව 1984 දී මටද ගුරුවරයෙකු ලෙස එහි යාමට අවස්ථාව ලැබිණ.

අපට එහිදී ඉගැන්වීමට සිදුවුයේ අමුතුම ක්‍රමයකට සකස් කළ විෂයය මාලාවකි. අධ්‍යාපනය ලබන ළමුන්ද වර්ගීකරණයක් කර තිබුණි.  එරට ප්‍රංශ, බ්‍රිතාන්‍ය ආදී විදේශ රට වල ග්‍රහණයට අසුව සිය වස් දෙකක් පමණ දැඩි පීඩාවන්ට පත්ව තිබී නිදහස ලබා ස්වයං පාලනයක් ආරම්භ කර තිබුනේ ඊට වසර කිහිපයකට උඩදීය. සීෂෙල්ස් වලට සංක්‍රමණය වීමෙන් පසු යුරෝපීයයන් විසින් වහල් සේවය සඳහා අප්‍රිකානු රටවලින් ගෙනෙන ලද ජනතාව  රටෙහි මුල් ස්ථිර පදිංචි කරුවන් වුහ. ඔවුන් සාක්ෂරතාව අතින් ඉතාමත් නොදියුණු තත්ත්වයක පසුවිය. මෙම දුපත් වල අධ්‍යාපනය නව මුහුණුවරකින් ගෙනයාමට වැඩ පිළිවෙල සකස් කර තිබුනේ ජනාධිපති ලෙස අලුතින් පත්වී ඇති ‘ඇල්බට් රෙනේ’ ය.

යුරෝපීය ආධිපත්‍යය පැවතී කාලයේදී  වහල් සේවය සඳහා අප්‍රිකානු රටවලින් ගෙන්වා ගත් ශ්‍රමිකයින්ගෙන් පැවත එන අය පරම්පරා කිහිපයකට පසුව  වුවද අධ්‍යාපනය අතින් බොහෝ පසුබට තත්ත්වයක සිටියහ.  එසේ වුවත් වෙළඳාම, මත්ස්‍ය කර්මාන්තය, ඉදිකිරීම් ආදී ජීවනෝපායන් සඳහා එරටට සංක්‍රමණය වූ චීනය, ඉන්දියාව. බ්‍රිතාන්‍යය වැනි රටවල අය සතුටුදායක අධ්‍යාපනයක් ලැබූ අය වූහ. නව ජනාධිපතිද නීති උපාධියක්‌ සහිත ප්‍රංශ සම්භවයක් ඇති අයෙක් විය. 12 දෙනෙකුගෙන් යුක්ත කැබිනට් මණ්ඩලයක් සහිත ඔහුගේ රජය ප්‍රජාතන්ත්‍ර මුහුණුවරකින් තිබුනත් එය ඇත්ත වශයෙන් ඒකාධිපති බලතල සහිත එකක් විය. එය මගින් රටෙහි ජනතාවට හිතකර වැඩසටහන්  රාශියක්ම ක්‍රියාවට නැංවීම  නිසා රජයට විශාල ජන බලයක් තිබිණ. රජය මගින් අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ රාශියක් කරන ලදී.

ඒ කාලය වන විට රටෙහි මුළු ජනගහනය 75,000 ක් පමණ විය. දුපත් සිය ගණනකින් සමන්විත මෙම රාජ්‍යයේ ජනාවාස තිබුනේ මාහේ, ප්‍රාලේ, ලාඩීග්‍, සිල්වට් යන දුපත් වල පමණකි. ජනගහනයෙන් 95% ක් පමණ ජීවත්  වූයේ ප්‍රධාන දුපත වන මාහේ වලය. මාහේ හි අග නගරය වික්ටෝරියා විය. සාප්පු සංකීර්ණ, බැංකු,  තැපෑල් කාර්යාලය, රජයේ කාර්යාල සංකීර්ණය, බස්  නැවතුම් පල ආදී සියල්ලම එකකට එකක් පෙනෙන තෙක් මානයේ වික්ටෝරියාහි පිහිටා තිබිණ. මුළු රටෙහිම ධාවනය වන කුඩා බස් රථ 50 ක් පමණ විය. රටෙහිම වාහන ධාවනය කළ හැකි මහා මාර්ග ඇත්තේ කිලෝ මීටර 350 පමණ ප්‍රමාණයකි. රටෙහි ප්‍රධානතම ආදායම් මාර්ගය වුයේ මත්ස්‍ය කර්මාන්තය වූ අතර සංචාරක ව්‍යාපාරයද හොඳින් වර්ධනය වී තිබිණ.
  
රටෙහි මුල් පරම්පරාවලින් පැවත එන බොහෝ ජනයා  නුගත් අය නිසා ඔවුන් තම දරුවන්ද හොඳ අධ්‍යාපනයක් සඳහා යොමු කිරීමට උනන්දුවක් නොදැක්වූහ. නිදහසට පෙර එරටෙහි හොඳ අධ්‍යාපනයක් සඳහා තිබුණු එකම විදුහල ‘සීෂෙල්ස් කොලේජ්’ වූ අතර කතෝලික පල්ලිය මගින් පාලනය වූ ‘රෙජිනා මුන්ඩි’ නම් කන්‍යාරාමයක්ද තිබී ඇත. මෙම විදුහල් දෙකම ගාස්තු අයකරන විදුහල් වූ නිසා ඒවායේ දොර විවෘත වූයේ යමක් කමක් තිබුණු අතලොස්සකට පමණකි. වත් පොහොසත් කම් වලින් අඩු ජනතාව සඳහා තිබුණු රජයේ පාසැල් ඉතාම අකාර්යක්ෂම තත්ත්වයක පැවතින.

නව රජය විසින් මුලින්ම සෑම ගමකම පාහේ අංග සම්පූර්ණ පාසල බැගින් පිහිටුවීමට පියවර ගෙන තිබේ. මේ නිසා ප්‍රථමයෙන්ම රට පුරා විසිරී යන පරිදි විදුහල් 23 ක් සංවර්ධනය කරන  ලදී. ඒ සමගම රටෙහි  දරුවන් සියලු දෙනාම සඳහා මූලික අධ්‍යාපනය අනිවාර්ය කළේය. මුදල් අයකර අධ්‍යාපනය ලබාදුන් කතෝලික පල්ලියට අයත් විදුහල් දෙකද ඉදිරි වසර කිහිපය තුලදී රජයේ නිදහස් අධ්‍යාපන ක්‍රමයට අනුබද්ධ කිරීම සඳහාද නීති රීති පනවන ලදී.

ජනාධිපති රෙනේගේ රජයෙන් රටෙහි අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ගන්නා ලද  පියවර නිසා ඔහු ඉතාමත් ජනප්‍රිය විය. ඔහු විසින් විශේෂයෙන්ම පොදු ජනතාව සඳහා ගැලපෙන නිදහස් අධ්‍යාපන ක්‍රමයක් පිළිබඳව සැලකිල්ල යොමු කරන ලදී. මේ සඳහා යුරෝපීය රටවල් සහ  ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල් වලින් ගුරුවරු ගෙන්වා ගැනීමට යුහුසුළුව කටයුතු යොදවා ඇත. 

එම පියවර සමග නිර්මාණය වූ අමුතුම අධ්‍යාපන ක්‍රමය මෙය වේ.
මෙම අධ්‍යාපන ක්‍රමයට දායක වූ මුල්ම විද්‍යා සහ ගණිත ගුරුවරුන් බොහෝ විට ශ්‍රී ලාංකිකයින් වූ අතර වෙනත් විෂයයන් සඳහා ඉන්දියාව, බ්‍රිතාන්‍යය, ගිනියාව, මුරිසි දිවයින් වැනි රටවල ගුරුවර ගුරුවරියන්ද  වුහ. ‘සීෂෙල්වා’ (Seychellois) යන නමින් හඳුන්වන එම රටේම ගුරුවරුද ඒ අතර වුහ. රටෙහි භාවිත භාෂාව වුයේ ‘ක්‍රියෝල්’ (Creole) ය. මෙය ප්‍රංශ, ඉංග්‍රීසි සහ ස්වාහලි වැනි භාෂා කිහිපයක මිශ්‍ර වීමෙන් තනාගත් භාෂාවකි. ප්‍රාථමික පන්තිවල ‘ක්‍රියෝල්’ බසින් ඉගැන්වීම  කරන අතර ඊට ඉහල පන්තිවල ඉගැන්වීමේ මාධ්‍යය වුයේ ඉංග්‍රීසියි. 
  
පහල පන්ති වලදී පාසැල් හැරයාම වැලක්වීමට පියවර ගත් රජය අටවන ශ්‍රේණිය සමත්වූ පසු රටෙහි සියලුම සිසුන්ට (බාලක බාලිකා දෙපක්ෂයටම) පුරා දෙවසරක නේවාසික කාර්මික පුහුණුවක් ලබාදීමට වැඩ සටහනක් සම්පාදනය කර ඇත.  මේ සඳහා වසරකට මුළු රටෙහි අටවන ශ්‍රේණිය සමත්වන  සියලුම දරුවන් 800 ක් පමණ බඳවා ගැනේ. පළමු වසරේදී සියලුම දරුවන් ‘සෙන්ට් ඈන්’ (St. Anne) නම් කුඩා දුපතේ ඇති නේවාසිකාගාර වලට යවනු ලැබේ. ඔවුන් දෙවන වසරේදී දිවයිනේ ඈත කොනක වනාන්තරයක් මැද පිහිටි ‘කැප්ටර්නේ’ (Cape Ternay) නම් නේවාසිකාගාර වලට් යැවේ. නේවාසිකාගාර සහිත මෙම අධ්‍යාපන ආයතන හැඳින්වුයේ ‘ගම්මාන’ලෙසටය මෙම නේවාසික අධ්‍යාපන ක්‍රමය ‘නැෂනල් යූත් සර්විස්’ (National Youth Service - ජාතික තරුණ සේවාව) ලෙස හැඳින්වේ. මෙම සිසුනට පෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා සාමාන්‍ය පාසල් විෂයය මාලාව ඉගැන්වේ. අපට පැවරී තිබුනේ මෙම ඉගැන්වීමයි. ‘මාහේ’ නම්  ප්‍රධාන දිවයිනේ පදිංචි වී සිටි අපට ‘සෙන්ට් ඈන්’ දිවයිනට යාම සඳහා විශාල බෝට්ටුවක් යොදවා තිබුණි. එම බෝට්ටුවේ උදේ සවස ගමන ඉතාමත් ප්‍රිය ජනක විය. (බෝට්ටු ගමනේද රස කතා ඇත.)

ජාතික තරුණ සේවාවේ ගම්මාන වල ස්ථාපිත මෙම නේවාසිකාගාර ‘ක්ලස්ටර්’ (Cluster) යන නමින් හඳුන්වන ලදී. නේවාසිකාගාර භාරව සිටියේ ‘ඇනිමාටර්’ (Animateur) යන නමින් හඳුන්වන ලද විශේෂ පුහුණුවක් ලත්  අය වූහ. රජයේ ප්‍රගතිශීලී අදහස් සියලු සිසුන් හට කා වැද්දවීමට පියවර ගැනීම ඔවුන්ට පැවරුණු වැදගත් කාර්යයක් විය.  පාසල් වේලාවේදී සාමාන්‍ය ඉගෙනීම් කරන සිසුන් සවස් කාලයේදී නිශ්චිත කාල සටහනකට අනුව ක්‍රීඩා, කාර්මික වැඩ, ඉවුම් පිහුම්, පිරිසිදු කිරීම්, ගෙවතු වැඩ ආදියෙහි නිරත වෙති. රාත්‍රී කාලයේ නියමිත පැය ගණනක් පාඩම් කටයුතු වල යෙදෙති. අනිවාර්යයෙන්ම පාන්දර පහට පමණ අවදි වන ඔව්හු පැයක් පමණ ශාරීරික ව්‍යායාම් වල යෙදෙති. ඔවුන්ට ක්‍රීඩා කිරීම සඳහාද සියලුම පහසුකම් සලසා තබිණ.

මෙම හසුරු කෞශල්‍ය මිශ්‍රීත, නේවාසික අධ්‍යාපන ක්‍රමය වසර තුන හතරක් තිස්සේ කරගෙන යාමේදී මුළු රටෙහිම මනා අධ්‍යාපන ප්‍රබෝධයක් ඇතිවී තිබේ.

ජාතික තරුණ සේවාවේ දෙවන වසර අවසානයේදී පවත්වනු ලබන විභාගයෙන් ඉහල ලකුණු ලබාගන්නා සිසුන්ට රටේ තිබෙන එකම බහු තාක්ෂණ ආයතනයට ඇතුළත්වීමට අවස්ථාව ලැබේ. එහිදී ඔවුනට උසස් අධ්‍යාපනය හෝ රැකියාවකට අනුරූප පාඨමාලාවක් හැදෑරිය හැකිය.

උසස් අධ්‍යාපනයට යොමු වන අයට අපොස සාමාන්‍ය පෙළින් පසුව අපොස උසස් පෙළ දක්වා බහු තාක්ෂණ ආයතනයේ අධ්‍යාපනය ලැබිය හැකිය. ඔවුන් අපොස සාමාන්‍ය පෙළ සහ  අපොස උසස් පෙළ සඳහා පෙනී සිටිනුයේ බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ආයතනයේ විභාග වලටය. එය අවසන් කරන දක්ෂ සිසුන් පිට රට විශ්ව විද්‍යාල වලට යවා රටට අවශ්‍ය වන වෘත්තිකයින් නිර්මාණය කරගනු ලැබේ. මෙම අපූරු අධ්‍යාපන ක්‍රමය මගින්, ප්‍රාථමික අවදියේ සිටම සිසුනට පොත් පත්, ඇඳුම පැළඳුම්, නේවාසික පහසුකම්, ගමනාගමන පහසුකම් වැනි සියලුම දේ රජයෙන් නොමිලේම ලැබේ. (එසේ වුවත් රටෙහි අග හිඟ කම්  ගැන මනා අවබොධයක් නොමැති බොහෝ සිසුන් නොමිලේ ලැබෙන දේ නිකරුනේ නාස්ති කරති.)

1984 වසරේ පෙබරවාරි මාසේ එහි ගිය මට මුලින්ම පැවරුනේ ජාතික තරුණ සේවාවේ ‘සෙන්ට් ඈන්’ දුපතේ පළමු වසර සිසුන්ට විද්‍යාව ඉගැන්වීමයි.

‘සෙන්ට් ඈන්’ ගම්මානයේ අධ්‍යාපන කටයුතු භාරව සිටි ‘එඩියුකේෂන් කෝඩිනේටර්’ (Education Coordinator -  අධ්‍යාපන සම්බන්ධීකාරක)  එරට කාන්තාවක් වුවාය. ඇය මෙරිලීන් ය. පළමු දීනයේ ගම්මානයේ කාර්යාලය, පන්ති කාමර, විද්‍යාගාරය, නේවාසිකාගාර ආදී සෑම තැනකටම මා කැඳවා ගෙන ගිය ඈ, ඉගැන්වීමේ කටයුතු පිලිබඳව මනා විස්තරයක් කළාය. විද්‍යාගාර සහායක චාල්ස් ද එහිදී මට හමුවිය.

එරට සාමාන්‍ය පාසැල්වල අට වසරේදී පවත්වන අභියෝගතා පරීක්ෂණයක සාධන මට්ටම් අනුව සිසුන් කණ්ඩායම් පහකට වර්ග කරන බව  ඇය ප්‍රකාශ  කළාය. මේවා ‘සෙට් 1, සෙට් 2....’ (Set 1, Set 2....) ආදී වශයෙනි. ඒ සමගම ඇය අපට තවත් වැදගත් වන කාරණයක්ද පෞද්ගලිකව පැහැදිලි කර දුන්නාය එය නම් ‘සෙට් 1’ සිසුන් ඉතාමත් දක්ෂ බවත්  ‘සෙට් 5’ සිසුන් කිසිම දක්ෂතාවක්‌ නොමැති බුද්ධි මට්ටමෙන් අඩු, අලස සිසුන් බවත්ය. කෙසේ වෙතත් සෑම ගුරුවරයෙකුටම සියලුම මට්ටම් පන්ති වල ඉගැන්වීමට සිදුවන බවත් ඇය ප්‍රකාශ කළාය. ඉගැන්වීමේ මාධ්‍යය ඉංග්‍රීසි බව අවධාරණය කළ ඇය, ‘සෙට් 5’ සිසුන්ගේ ඉංග්‍රීසි දැනුමද බොහෝ දුර්වල බව කීවාය. සිසුන්ට, ගුරුවරුන්ට සහ අනිකුත් සියලුම සේවකයින්ට අවශ්‍ය දහවල් ආහාරය සහ තේ, කෝපි වැනි පාන වර්ගද  ගම්මානයේම පිහිටි භොජනාගාරයෙන් නොමිලයේම සපයන බවද ඇයගෙන් දැනගන්නට ලැබිණ. පසුවදා උදේම මාගේ  කාලසටහන දෙන බවද ඇය කීවාය. ගුරු විවේකාගාරය, විද්‍යාගාරය සහ පන්ති කාමර සහිත ප්‍රදේශය ‘ස්ටඩි සෙන්ටර්’ (Study Centre)  යන නමින් හඳුන්වන ලදී.

මෙ සියල්ල දැන ගන්නට ලැබීමෙන් පසුව තරමක සහනයක් සහ බිය මුසු හැගීමක්ද ඇතිවිය. ලංකාවෙන් පැමිණ සිටින සගයන් කිහිප දෙනෙක් එදින සවසම මුණ ගැසී තොරතරු කතා කර ගතිමි. ඔවුන් කීවේද වැඩ කිරීම තරමක් අමාරු බවයි.

දෙවන දින උදේම උපදෙස් ලැබුන පරිදි නියමිත වේලාවට ‘සෙන්ට් ඈන්’ දුපතට යාම සඳහා බෝට්ටු අංගනයට ගියෙමි. එහිදී ලංකාවේ දන්නා හඳුනන ගුරුවරුන්ද වෙනත් රටවල් කිහිපයක ගුරුවරු සහ ගුරුවරියන්ද ද මුණ ගැසිනි. මා බෝට්ටු ගමනට ආධුනිකයෙකු බව ඉවෙන් මෙන් දැනගත් කිහිප දෙනෙකු බෝට්ටුවට ගොඩ වීම සඳහා මට උදව් කළහ. එදින උදේ, මුහුදේ බාදිය තිබුණු අවස්ථාවක් නිසා ‘පියර්’ එකේ සිට බෝට්ටුවට අඩි පහක්‌ පමණ පහලට පැනීමට සිදුවිය. වඩදිය පවතින අවස්ථාවලදී බෝට්ටුවට නැගීම ඊට වඩා පහසු බවද ඔවුන්ගෙන් දැන ගතිමි.

බෝට්ටුවට ගොඩවීම සහ ආපසු ගොඩට ඒම පිළිබඳව මනා පුහුණුවක් තිබිය යුතු බව මට ඉක්මනින්ම අවබෝධ විය. විශේෂයෙන්ම විවිධ ඇඳුම් ඇඳ සිටි කාන්තාවන් බෝට්ටුවට ගොඩවීම සඳහා  අඩි පහක්‌ පමණ පහලට පනින  විට තිබුණු දර්ශන කාගේත් හාස්‍යයට හේතුවිය.

දුපත් වෙරළේ බෝට්ටුව නවත්වන ස්ථානයේ සිට ගුරු විවේකාගාරය සහ ‘ස්ටඩි සෙන්ටර්’ එකට මීටර් දෙසියයක පමණ දුරක් විය.

එහි ගිය විගසම මගේ කාල සටහන ලැබිණ. සියලුම මට්ටමේ පන්ති පහක කාල ඡෙද විසිපහක් විද්‍යාව ඉගැන්වීම මට පැවරී තිබිණ.   පෙරවරු අටට සීනුව නාද වූ විට කවුරුත් පන්ති කාමර වලට යාමට පිටත් විය. එදින උදයේ බෝට්ටුවේදී මා සමග කථා කළ  ‘සෙරීනා’ නම මුරිසි රටේ ගුරු මහත්මියක් මගේ පන්ති කාමරයට පැමිණ  එහි සිටි සිසුනට මා හඳුන්වා දුන්නාය. මගේ පන්තිය තිබුණු විද්‍යාගාරයේම අනික්‌ කොනෙහි තිබුණු පන්තියට යාමට නියමිතව තිබු, මා ගැන කිසිවක් නොදැන සිටි ඇය, මා විද්‍යාව ඉගැන්වීම සඳහා විශේෂඥ ගුරුවරයෙකු බවත්, ශ්‍රී ලාංකිකයෙකු බවත්  කියා මා සිසුනට හඳුන්වා දීම මට පුදුමයක් විය. මට නියමිත පන්තිය  ‘සෙට් 1’ පන්තියක් විය.     සිසුන් මට ආචාර කළ විට මාද සුපුරුදු පරිදි ආචාර කර ගුරු පුටුවේ හිඳගතිමි. ඊට  පසු එක් සිසුවෙකු මා වෙත ඉදිරියට පැමිණියේය. ඔහු ඉදිරියට එන විට කිහිප දෙනෙකු සිනහ වනුද දකින්නට ලැබිණ. මා වෙත පැමිණි ඔහු “සර්, මම රසික වලවගේ. අපි  ලංකාවේ. තාත්තා මෙහෙ එන්ජිනියර් කෙනෙක්”. “මම පන්තියේ ලීඩර්” කියා ඉංග්‍රීසියෙන් කීවේය. “නම් ලකුණු කිරීමට උදව කරන්නම්” කියාත් ඔහු කීවා. මෙය මට මහත් පුදුමයක් වුවත් රටේ කමට, අපේ කමට කටයුතු කිරීමේ උදාර ගතිය එම සිසුවා තුළ තිබීම පිලිබඳ ආඩම්බරයකුත් ඇති වුවා.

මේසය මත තිබුණු පන්ති රෙජිස්ටරය පෙරලූ ඔහු “සමහර නම් කියවන්නේ අමුතු ලෙසකටයි” කියා නම් උච්චාරණය කර එකින් එක කියවන විට සිසුන් දෙස බලා නම් ලකුණු කිරීම මට පහසු විය. ඇත්තෙන්ම එම නම් බොහොමයක්ම උච්චාරණය කළේ අමුතුම ආකාරයකට  George (ශෝෂ්), Hoareau (වාවෝ), Hugh (ඉග්) ආදී වශයෙනි.
එරට මුල් පදිංචි අයගෙන් පැවත එන සිසුන්ගේ නම්, ප්‍රංශ, ඉංග්‍රීසි, ක්‍රියෝල් වැනි භාෂා වලින් කැඩී ආ,  අමුතුම ලෙස උච්චාරණය කළයුතු ඒවා විය. මෙම නම් අපට කිසිසේත් කටට හුරු නොවීය. සිසුන් සමග ටික වෙලාවක් ආ ගිය තොරතුරු කතා කළ මා පන්තිය ගැන විපරම් කරණ විට එක් ශිෂ්‍යාවක් නැගිට තමා පන්ති උප නායිකාව බවත් අවශ්‍ය තොරතුරු පැවසිය හැකි බවත් කියා පන්ති වාර්තා පොතද රැගෙන මා අසලට පැමිණියාය. තරමක් මුඛරි සිසුවියක වූ ඇය නමින් ‘චින්තා’ බව කීවාය. ඉන්දියානු සම්භවයක් ඇති ඇයගේ පියා අමාත්‍යාංශයක ගණකාධිකාරි වරයෙකු ලෙස සේවය කරන බවත් එරටට පැමණ  වසර දහයක් පමණ වන බවත් දැනට රටෙහි පුරවැසියන් බවත් පසුව දැන ගතිමි. කෙසේ වෙතත් හමුවූ මුල් දිනයේම, අපේ අසල්වැසි රටෙහි නිසාදෝ ඇයද  මා සමග කුලුපග වුවාය.

ටික දිනක් යනතුරු පන්තියේ නම් ලකුණු කිරීමේදී නම් උච්චාරණය සඳහා පන්ති නායිකාව වන ‘චින්තා’ සිසුවියද උදව කළාය. ඇයගේ නමද කටට හුරු එකක් විය.

පාසල් වාරය ආරම්භ කර සති දෙකක් ගතවී තිබුනත් අනුයුක්ත ගුරුවරයෙකු පැමිණ විද්‍යාව විෂයයේ රසායන විද්‍යා කොටසේ මූල ද්‍රව්‍ය ගැන එහෙන් මෙහෙන් කරුණු ස්වල්පයක් උගන්වා තිබෙන බව වාර්තා පොතෙන් සහ චින්තා  සිසුවියගෙන් දැන ගතිමි. මා එසේ තොරතුරු විමසමින් සිටින විට ගබඩා කාමරයේ සිටි විද්‍යාගාර සහායක චාල්ස් ද එතැනට පැමිණ තවත් බොහෝ කරුණු පැහැදිලි කර දුන්නේය.

මූල ද්‍රව්‍ය ගැන උගන්වා තිබුණු තැනින්ම මට විද්‍යාව පාඩම ඉගැන්වීම පහසු විය. මා පාඩම පටන් ගන්නා විටම විද්‍යාගාර සහායක චාල්ස් ‘ආවර්තිතා වගුව’ (Periodic Table) ක් පෙන්වා එය අවශ්‍යදැයි මගෙන් ඇසීය. එය වැදගත් ඉගැන්වීම් උපකරණයක් නිසා මම කැමතිවීමි. ‘ආවර්තිතා වගුව’ නිසා මගේ ඉගැන්වීම තවත් පහසු විය. පාඩම අවසානයේදී ස්වයං ඇගයීමක් කිරීමට අවශ්‍ය වූ නිසා මම සිසුන්ගෙන් පාඩමට අදාළ ප්‍රශ්න කිහිපයක් ඇසීමි. ඔවුන් ඉතා හොඳ ප්‍රතිචාර දැක්වූ අතර  කිහිප දෙනෙක්ම වර්ණවත් ‘ආවර්තිතා වගුව’ ගැන විමසිලි බවක් දැක්වූහ. මාගේ ඉගැන්වීම පිළිබඳව සිසුන්ගේ කැමැත්තක් තිබෙන බව මම තේරුම් ගතිමි. එදින, මට කලකට පසු ඉතාමත් සාර්ථක රසායන විද්‍යා පාඩමක් ඉගැන්වීමට හැකිවූ බවද සත්‍යයකි. මෙම කුඩා අප්‍රිකානු රටෙහි, දීප්තිමත් සිසුන් සිටින පන්තියක ආසියානු සිසුන් දෙදෙනෙකු පන්ති නායකයින් වී සිටීම ගැනද  මට තරමක අභිමානයක් ඇතිවිය.

එදින මට තවත් පන්ති දෙකක ඉගැන්වීමට සිදුවිය. ඒ පන්ති දෙකම මධ්‍ය බුද්ධි මට්ටමේ සිසුන් සිටින ‘සෙට් 3’ පන්ති විය. එම සිසුන් ‘සෙට් 1’ සිසුනට වඩා සාධන මට්ටමෙන් අඩු බව මට විනාඩි කිහිපයකදී අවබෝධ විය. ඔවුන් බොහෝ දෙනෙකුගේ අවධානය සහ වටහා ගැනීමේ ශක්තිය අඩු බවත්, ලිවීමේ කුසලතාව සහ භාෂා ව්‍යවහාරය දුර්වල බවත් කිහිප දිනකින් හඳුනාගැනීමට හැකිවිය. කෙසේ වෙතත් සිසුන් සාධන මට්ටම අනුව වර්ග කිරීම ඉතාමත් ක්‍රමානුකකූලව සිදුකර තිබෙන බව පැහැදිලිවිය.

නුතන අධ්‍යාපන මනෝවිද්‍යාව අනුව සිසුන් මෙසේ සාධන මට්ටම අනුව වර්ග කිරීම කාලෝචිත නොවන බව බොහෝ අධ්‍යාපනඥයින්ගේ මතය වුවත් මෙවැනි සුවිශේෂී අවස්ථා වලදී එසේ නොකළ හැකි බව පැහැදිලිව පෙනේ. මෙම තරුණ සේවා අධ්‍යාපන ක්‍රමයේ ‘සෙට් 5’ පන්තියකට ඉගැන්වීමෙන් පසුව මෙම ක්‍රමයෙහි වැදගත් කම මට තව දුරටත් අවබෝධ විය. 
               
කාලසටහනට අනුව, ‘සෙට් 5’ පන්තියක මගේ විද්‍යාව පාඩම පටන් ගැනීමට තිබුනේ එම සතියේ සිකුරාදා උදේය. එදින මා පන්තියට යන විටම ආයතනයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කළ ‘එඩියුකේෂන් කෝඩිනේටර්’ (අධ්‍යාපන සම්බන්ධීකාරක) නමින් හඳුන්වනු ලබන එරට කාන්තාවක වන මෙරිලීන් ද මා සමගම පැමිණියාය. මුලින් ඉංග්‍රීසියෙන් මා හඳුන්වාදුන් ඇය පසුව විනාඩි කිහිපයක්ම ඔවුන්ගේ මව් බස වන ‘ක්‍රියෝල්’ වලින් උපදෙස් රාශියක්ම දුන්නාය. මට භාෂාව නොතේරුණත්, ඇය ඔවුනට අවවාද රාශියක් දී වැරදි කළහොත් දැඩි දඬුවම්ද විඳීමට සිදුවන බවද  ඇය ප්‍රකාශ කළ බව මට හැඟී ගියේය.

ඇය ගිය පසු, මා සුපුරුදු පරිදි සිසුනට ‘ගුඩ් මෝනිං’ කීවිට කිහිප දෙනෙක් පමණක් ප්‍රතිචාර දැක්වීය. ඒ වන විටත් සිසුන් කිහිප දෙනෙක් ඩෙස්කයට හිස තබාගෙන තාලයට ඇඟිලි වලින් තට්ටු කරමින් සිටියහ. එක සිසුවියක් කොස්සක් රැගෙන පන්තිය අතුගෑමට පටන් ගත්තාය. සන්සුන් වීමට කිහිප වරක්ම විධාන කළ පසු කවුරුත් හිඳ  ගත්හ.

මා ඔවුන්ගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසු විට දෙදෙනෙක් පමණක් ඉංග්‍රීසියෙන් පිළිතුරු දුන් අතර බොහෝ අය කතා කළේ  ‘ක්‍රියෝල්’ භාෂාවෙනි. බොහෝ සිසුනට ඉංග්‍රීසි කතාකිරීමට නොහැකි වූ අතර මට ‘ක්‍රියෝල්’ භාෂාව නොතේරේ. මේ නිසා පන්තිය මට මහත් ‘අන්ඩර දෙමළයක්’ විය.

පන්තියේ සිටියේ සිසු සිසුවියන් දොළොස් දෙනෙකු පමණකි. මොවුන් පාලනය කළ හැකි මඟක්  කල්පනා කළ මා, නිශ්ශබ්ද වන ලෙස විධානයක් දී කළු ලෑල්ලේ යමක් ලිවීමට සූදානම් වන විටම පන්තිය නිශ්ශබ්දවිය. දෙතුන් දෙනෙක්ම

‘සර්, ටු කොපි ?’ (Sir, to copy?) යයි ප්‍රශ්න කළහ. 

ඔවුන් දන්නා ඉංග්‍රීසියෙන් ඇසුවේ මා ලියන දේ පිටපත් කර ගැනීම පිණිසද යන්න බව මම වටහා ගතිමි.

‘යස්’ (Yes) කී මා,

මාගේ නම ඇතුළු පෞද්ගලික තොරතුරු කිහිපයක් කළු ලෑල්ලේ ලීවෙමි. වහාම පොත් පෑන් එලියට ගත් ඔව්හු මා ලිව් සියල්ලද  පිටපත් කර ගත්හ.
දැන් මට පොට පෑදිණි. ඊළඟට ‘සයන්ස්’ (SCIENCE) යන්න කළු ලෑල්ලේ ලොකු කැපිටල් අකුරෙන් ලිව් මා විද්‍යාගාර සහායක ‘චාල්ස්’ ට කථාකොට විද්‍යා උපකරණ කිහිපයක් ගෙනෙන ලෙස ඉල්ලීමි. ඔහුගෙන් ලැබුණු බීකරය, මිනුම් සරාව, පුනීලය, ෆ්ලාස්කුව, පරීක්ෂණ නළය ආදී උපකරණ කිහිපයක් මේසය මත තැබූ මා එක එක පන්තියට හොඳින් පෙන්වා සුළු විස්තරයක් ඉංග්‍රීසියෙන් කර එම විස්තරය ක්‍රියෝල් වලින් කරන ලෙස චාල්ස්ට පැවරීමි. චාල්ස් එය ඉතා කැමැත්තෙන් කළේය. ඒ අතර තුර, මම එම උපකරණවල විශාල රූප සටහන්  කළු ලෑල්ලේ ඇඳ කොටස් නම් කළෙමි. (මා කිසි දිනක එතරම් විශාල ලෙස රූප සටහන් ඇඳ නොතිබිණි). සිසුන් සාවධානව ඇඳීමට පටන් ගත්හ. දැන් මගේ විද්‍යා පාඩම බොහෝ දුරට චිත්‍ර පාඩමක් මෙනි.

ඉක්මනට ඇඳීම  අවසන් කළ එක් සිසුවියක් පොත රැගෙන මාවෙත පැමිණියාය. එහි වැරදි හරිගැස්වූ මා රතු පෑනෙන් ලොකු හරි ලකුණක් දමා ‘ගූඩ්’ කියා ලීවෙමි. එයින් අමන්දානන්දයට පත්වූ දැරිය, ඉඟ සුඟ සලමින් තරමක නර්තනයක් සහිතව පොත ඔසවා පන්තියට පෙන්වමින් ආපසු ගියාය. ඊළඟ උපකරණය වූ මිනුම් සරාව පන්තියට පෙන්වා විස්තර කිරීමට සැරසෙන විට තවත් සිසුන් කිහිප දෙනෙක් පොත පෙන්වීමට මා ඉදිරියට පැමිණ සිටියහ. ඔවුනටද හරි ලකුණ දමා ඉතිරි උපකරණද විස්තර කර රූප සටහන්ද කළු ලෑල්ලේ ඇන්දෙමි. සිසුන්ද ඉතා උනන්දුවෙන් රූප සටහන් පිටපත් කර ගත්හ.

පාඩම අවසන් වීමට විනාඩි කිහිපයක් තිබියදී, අධ්‍යාපන සම්බන්ධීකාරක වරිය විද්‍යාගාරය දෙසට පියමන් කරනු දුටිමි. ඇය පන්තියට පැමිණෙන විට සිසුන් තරමක් කලබල වුහ. සිසුන්ට වාඩි වීමට අතින් සන් කළ ඇය, මුලින්  චාල්ස් සමග යමක්  කතා කළාය. පසුව මා ඇමතු ඇය

“හව් ඉස් ද ක්ලාස්” (“How is the class ?”) යයි මගෙන් ඇසීය.

“දෙයාර් ඉස් නෝ ප්‍රොබ්ලම්. දේ ආ වෙරි කීන් ඉන් සයන්ස්.” (“There is no problem. They are very keen in Science”)   මම කීවෙමි.

“වන්ඩෆුල්”  (“Wonderful”) කී ඇය නික්ම ගියාය.

තමන්ගේ දුර්වල සිසුන්ගේ වැඩ කටයුතු ගැන හොඳින් දන්නා ඇය මගෙන් බලාපොරොත්තු වුයේ ධනාත්මක පිළිතුරක් නොවන්නට ඇත. සමහරවිට පන්තිය අවසන්වන විටම ඈ ඒ පැත්තට පැමිණියේ විශාල ගාල ගෝට්ටියක් බලාපොරොත්තුවෙන් වන්නටත් ඇත. කෙසේ වෙතත් මා අධ්‍යාපන මහෝ විද්‍යාවේ මුලධර්ම, අවස්ථාවට අනුකුලව යොදා ගැනීමට ඉගෙන ගෙන තිබුණු නිසා මතුවිය හැකිව තිබු ගැටළු තත්ත්වය මගහැරගත හැකිවූ බව මගේ හැඟීමයි.

සිසුන්ද පිටවී ගියහ.

ඔවුන් ගිය පසු දකුණතෙහි මහපට ඇඟිල්ල ඔසවා මට ඉඟියක් කළ චාල්ස් ද පාඩම හොඳින් කෙරුණු බව නිහඬව අනුමත කළේය. මෙම සිසුනට ඉගැන්වීමේ හොඳම ක්‍රමය විෂයය කොටස ඉතාමත් සරල ලෙස විස්තර කර, කෙටි සටහනක් කළු ලෑල්ලේ ලියා පිටපත් කර ගැනීමට සැලැස්වීම බව විද්‍යාගාර සහායක චාල්ස් ද අනුමත කළේය.

දෙවන වසරේදී මට වැඩ කිරීමට ලැබුනේ ‘කැප්ටර්නේ’ ගම්මානයේය. මෙහි මා විද්‍යාව ඉගැන්වූ එක් පන්තියක රටෙහි ජනාධිපතිවරයාගේ පුත්‍රයාද විය. අගමැතිවරයාගේ දියණිය තවත් පන්තියක වුවාය. ඔවුන් දෙදෙනාද  රටෙහි පොදු ජනතාවට උරුම නේවාසික බහුවිධ අධ්‍යාපන ක්‍රමයට අනුගත වූ අය වුහ. පසුව, උසස් පෙළ අධ්‍යාපනයෙන් පසු විදේශ වල ඉගෙනගත් ඔව්හු ආපසු සියරට ගොස් දැනට උසස් තනතුරු දරන බව දැනගන්නට ලැබිණ. 

සීෂෙල්ස් රටෙහි, ජාතික තරුණ සේවාවේ අධ්‍යාපන වැඩ සටහන සඳහා සිසුන් සාධන මට්ටම අනුව වර්ග කිරීම ඉතාමත් ප්‍රායෝගික බව මට එම පන්තියට විද්‍යාව හඳුන්වා දුන් මුල් දිනයේදීම වැටහී ගියේය. විෂයය කරුණු ඉගෙනීමට වඩා,  අමතර වෙනත් විවිධ කුසලතා සහිත සිසුන් ඔවුන් අතර සිටින බව මට පසුව දැනගන්නට ලැබිණ. ඔවුන් බොහෝ දෙනක් වඩු කර්මාන්තය, පෙදරේරු වැඩ, පින්තාරු වැඩ, ආහාර පිසීම, ධීවර කර්මාන්තය, කෘෂිකර්මය ආදී විවිධ අංශයන්හි ප්‍රවීණයන් බව ප්‍රත්‍යක්ෂ කරුණකි.

එරටෙහි මෙම  අධ්‍යාපන ක්‍රමය මගින් කණිෂ්ට ද්විතීය අධ්‍යාපනයට පසුව රටෙහි සියලුම අදාළ වයසේ බාලක බාලිකාවන් සියලු දෙනාම, අනිවාර්යයෙන් නේවාසික වී,  - දැනුම, කුසලතා සහ ආකල්ප වලින් පිරිපුන් -  බහු විධ ඉගෙනුම් ක්‍රියාවලියකට යොමු කරවීම රටට අනන්‍ය සුවිශේෂී වැඩ සටහනකි. 

ඉතා කුඩා රාජ්‍යයක් වන  සීෂෙල්ස් දුපත් වලට මෙම අධ්‍යාපන ක්‍රමය බෙහෙවින් වැඩ දායක වේ. රටෙහි තිබෙන එකම බහු තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලබා අපොස උසස් පෙළ සමත් වන සියලු දෙනාටම රටට අවශ්‍ය යයි තීරණය කරනු  ලබන  උපාධි පාඨ මාලාවක් හැදෑරීම සඳහා විදේශ විශ්ව විද්‍යාලයකට යාම සඳහා සියලුම පහසුකම් රජය මගින් සපයා දෙනු ලැබේ. අධ්‍යාපන ක්‍රමය ආරම්භ කර වසර දහයක් පමණ වන විට රටෙහි සෑම අංශයකම සේවය සඳහා අවශ්‍ය ශ්‍රමිකයන්ගෙන් සෑහෙන ප්‍රතිශතයක් ස්වදේශිකයින්ගෙන්ම සපුරා ගැනීමට  එරට සමත් වී තිබේ. මෙම සාර්ථකත්වය ලඟා කර ගත හැකිවී තිබෙන්නේ රජය මගින් ක්‍රියාත්මක කරනු ලැබූ දූරදර්ශී නව අධ්‍යාපන ක්‍රමය නිසාය.
                     
කුඩා දූපත් රාශියකින් සමන්විත, සීමිත ජනගහනයක් සිටින කුඩා රටකට ස්ව ශක්තියෙන් හිස ඔසවා ලෝකයේ අනිකුත් රටවල් සමග උරෙන් උර ගැටී කටයුතු කිරීමට අනාගත දැක්මක් සහිතව සකස් කර ගන්නා ලද මෙම සුවිශේෂී අධ්‍යාපන ක්‍රමය ඉවහල් වී තිබෙන බවට කුඩා සීෂෙල්ස් රාජ්‍යය හොඳම උදාහරණයකි.

මෙම රටෙහි පාලකයින්ගේ යහපත් දැක්ම සහ ආකල්ප , සමාජවාදී මුලධර්ම ක්‍රියාවට නැංවීම, සුළු ජනගහනය, ශ්‍රමික ඇප කැපවීම, සම්පත් නිසි අයුරින් පරිහරණය කිරීම, සැමටම පොදු සාධාරණ අධ්‍යාපන ක්‍රමයක් තිබීම ආදී සාධක රාශියක සම්මිශ්‍රණයක් දකින්නට තිබේ. මේ සියල්ලේම ඒකාග්‍රතාවය නිසා රටට ස්වශක්තියෙන් නැගී සිටීමට හැකියාවක් ලැබී තිබෙන බව හොඳින් පැහැදිලි වේ.

   

5 comments:

  1. අත්දැකීම්. මම එහෙම කිව්වේ අත්දැකීම්වල හොඳ හෝ නරක කියා ඉරක් නැත කියා , මම විශ්වාස කරන නිසා.

    මොරිශියස් රටේ අය කතාකරන භාශාව මොකක්ද කියා ඇහුවාම ඔවුන් කියන්නේ බ්‍රෝකන් ෆ්‍රෙන්ච් කියලා. මම Prof. C. C. de Silva ගේ “Life as I lived it”කියලා එයාගේ ජීවිත කතාව කියෙව්වා. ඒකේ තියෙනවා 60.70 යුගයෙ ඔහුගෙ මුරිසි අත්දැකීම්. රසවත් විස්තර.

    ඔබට ඔමානයට යන්න තිබුනා නම් තවත් වෙනස්ම අත්දැකීම් ලබන්නත් තිබුනා. මම අසූවේ අග භාගයේ ඒ රටේ හිටියා.

    ReplyDelete
  2. ස්තුතියි අරුණ. බලනකොට අපි කව්රුත් පිට රටවලටත් ලොකු සේවයක් කර තිබෙනවා.ඒ ගැන නැවත මෙනෙහි කිරීමට විවේකයක් ලැබෙන්නේ විශ්‍රාම ගත්තාට පසුවයි. ඔය කියන කාලයේ මගේ මිතුරන් කිහිප දෙනෙක්ද ඕමානයේ සිටියා.සිරිල් එදිරිවීර එක්කෙනෙක්.

    ReplyDelete
  3. /පසුගිය 70 සහ 80 දශක වල දී ශ්‍රී ලාංකිකයන්ට අප්‍රිකානු ප්‍රදේශයේ සහ අරාබිකරයේ රටවල රැකියා සඳහා යාමට මහඟු අවස්ථාවක් උදාවිය. නයිජීරියාව, සීෂෙල්ස්, ඕමානය වැනි රටවල රැකියා ඇබෑර්තු බහුලව තිබිණ. විශේෂයෙන්ම විද්‍යා ගණිත ගුරුවරු, වෛද්‍ය වරු, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයින් බහුල වශයෙන් මෙම රටවලට රැකියා සඳහා ගියහ/

    ඉතියෝපියාව සහ සැම්බියාවත් එලෙස අපේ රටෙන් විද්‍යා සහ ගණිත ගුරුවරුන් ගිය රටවල් දෙකක්.දහය වසරේ අපිට රසායන විද්‍යාව ඉගැන්වූ ගුරුතුමා එලෙස ඉතියෝපියාවේ වසර දෙකක් සේවය කොට පැමිණියෙක්.ඔහුට සිසුන් පටබැඳි නම වූයේ "සිලාසි". එවකට ඉතියෝපියාවේ අධිරාජයාවූයේ හේල් සිලාසි.

    /නුතන අධ්‍යාපන මනෝවිද්‍යාව අනුව සිසුන් මෙසේ සාධන මට්ටම අනුව වර්ග කිරීම කාලෝචිත නොවන බව බොහෝ අධ්‍යාපනඥයින්ගේ මතය වුවත් මෙවැනි සුවිශේෂී අවස්ථා වලදී එසේ නොකළ හැකි බව පැහැදිලිව පෙනේ./

    මේ ක්‍රම දෙකේම හොඳ සහ නොහොඳ දෙකම තියෙනව.ඒත් මම හිතන්නෙ ඔබතුමා නිවැරදියි. සීෂෙල්ස් වගෙ රටකට සුදුසුම ක්‍රමය තමයි ඒ. එසේ නොමැතිව සම්පත් අපතේ යාම වළක්වන්නට බැහැ.

    අප කුඩා කාලයේ නිවැරදි ඉංගිරිසි උච්ඡාරණය පුහුණු වීම සඳහා හඬනඟා කිව් වාක්‍ය ඛණ්ඩයක් මට මතක් වුනා.

    She sells sea shells at the sea shore....:)

    අවසාන වශයෙන් කාරුණික ඉල්ලීමක්...

    දයා මහත්මයා....ඡේද වෙන්කලොත් කියවන්නට බොහෝ පහසුවක් වේවි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රව, උපදෙස මුදුනෙන්ම පිළිගත්තා. මම කලින් තිබුනාට වඩා ඡේද අතර ඉඩ තිබ්බා. මේ ක්‍රමය නිවැරදි ශිශේල්ස් වැනි කුඩා රටකට පමණයි.

      ඔබගේ උච්චාරන් වැකිය එහේ අය තව ටිකක් දික් කරලා කියන්නේ She sells sea shells on the shores of Seychelles ලෙසටයි. මට තවත් අප කුඩා කළ ඉගෙනගත් තවත් වැකියක් මතක උනා. එයත් මෙහි සඳහන් කරන්නම් She bought some butter, the butter was bitter. To make the bitter butter better, she bought some more better butter.
      Good luck to you.

      Delete