Thursday, 5 January 2017

භීෂණ සමයේ එඩිතර රාජකාරියක්......

මෙය එක්දහස්‌ නවසිය අසු ගණන් වල අගදී මව් බිමේ භීෂණ සමය පවතිද්දී   සිදූවූ සත්‍ය සිද්ධියකි. 

ඒ උදේ ගෙදරින් වැඩට යන කෙනෙක් ආපසු සවස ගෙදර ඒම ගැන සැකයක් පැවති කාලයකි.
විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස සේවය කළ මට පැවරී තිබුනේ පර්යේෂණ සහ සංවර්ධන ශාඛාවේ රාජකාරි කටයුතුයි. එම ප්‍රධාන කාර්යයට අමතරව, විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන, අදාළ අයට පමණක් බෙදා දීමේ වග කීමද  විභාග කොමසාරිස් තුමා විසින් මා වෙත පවරන ලදී.  උත්තර පත්‍ර ලකුණු කිරීම අවසන් කළ විභාග වල, 'ඇගයීමේ පටිපාටි' (Marking Schemes) ද  එම ප්‍රකාශන අතර විය. මේවා එතරම් රහස්‍ය ප්‍රකාශන නොවුවත් පෞද්ගලික පන්ති කරන අයට මේවා ඉතා ප්‍රයෝජනවත් නිසා ඒවා  පාසල් වලට පමණක් බෙදා දිය යුතු බවට නියෝගයක් ක්‍රියාත්මක විය. කෙසේ වෙතත් උත්තර පත්‍ර ඇගයීම කරනු ලබන පරීක්ෂක වරුන්ට ලබාදෙන 'ඇගයීමේ පටිපාටි' ආපසු නොගෙන ඔවුන්ට ඒවා ඉගැන්වීමේ කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනීම බාධාවක් නොවීය. මෙයින් අපොස උසස් පෙළ 'ඇගයීමේ පටිපාටි' සඳහා ඉහල ඉල්ලුමක් තිබිණ. සිරිතක් වශයෙන්, ඇගයීම් කටයුතු අවසන් වූ වහාම, අපොස උසස් පෙළ 'ඇගයීමේ පටිපාටි' සියල්ල නැවත මුද්‍රණය කර අපොස උසස් පෙළ පන්ති පැවැත්වෙන අදාළ සියලුම පාසැල් වලට තැපෑල් කර යැවීම මගේ අංශයෙන් ඉතාමත් ක්‍රමණුකූල ලෙස සිදුවිය.

එක් දිනක්, හැඩි දැඩි  පෙනුමකින් යුක්ත, නිල ඇඳුමෙන් සැරසුණු, නිල ඇඳුමේ පැළඳි පදක්කම්, වර්ණ, රැහැන් ආදිය නිසා උසස් නිලධාරියෙක් යයි සිතා ගත හැකි පුද්ගලයෙක් මාගේ කාමරයට පැමිණ මේසය ඉදිරිපිට තිබුණු පුටුව වේගයෙන් පස්සට ඇද හරි බැරි ගැහී වාඩිවී හිස පැළඳ සිටි පැතලි තොප්පියද මේසය මත තැබීය. 
කරමින් සිටි වැඩය නතරකළ මම  සාමාන්‍ය ක්‍රමයට 'Good Morning' කියා ඔහු පිලි ගතිමි.
කෙසේ වෙතත් අමුත්තෙකු රාජකාරි කටයුත්තක් සඳහා පැමිණෙන විට පවතින පිළිගත් සම්ප්‍රදායට පිටින් හදිසියේම ඔහු කාමරයට කඩා වැදීම ගැන මට කුකුසක්ද ඇතිවිය. කාර්යාලයේ සිටි සියලු දෙනාම නෙත් අයා මාදෙස බලා සිටිනු දැක මම පුදුමයට පත්වීමි. මා ඉදිරියෙන්ම මේසයක වාඩිවී සිටි ප්‍රධාන ලිපිකරු, ධර්මසිරි, මුහුණ ඇඹුල් කරගෙන ඉතාමත් බැගෑපත් ලෙසකින් මාදෙස බලා හිස පැත්තකට හැරවීය.
ඔහුගේ ඉරියව්වෙන් සහ තුෂ්නීම්භූතව බලා සිටින අනිකුත් පිරිසද නිසා මා යම්කිසි වරදකට හසුවී ඇති බවක් වැනි යමක් ඔවුන් සිතා සිටිනු බව මට වැටහින.
අමුත්තා මට ඉංග්‍රීසියෙන්  කථා කළේය.                                                "I  am ....... (so and so ...of so and so's security (නම් නොකියමි) )". 
"How can I help you please ? " 
මම ඉංග්‍රීසියෙන් ඔහු ඇමතීමි. 
"I want the Marking schemes of all 1989 AL  Science subjects".
My  wife is the AL Science teacher at ................" 
කී ඔහු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික බාලිකා විදුහලක නම කීවේය. "Is she a marking examiner?"
සාවධානව අසා සිටි මගේ ඊළඟ ප්‍රශ්නය යි    
"I never send her for paper marking......." 
විභාග උත්තර පත්‍ර ලකුණු කිරීම තමනට නොතරම් පහත් වැඩක් ලෙස සලකූ නිසාදෝ ඔහු මහත් ගාම්භීර හඬකින් දෙනලද පිළිතුරයි ඒ.
"We have sent the Marking schemes to the Principal of *the school." 
මම ඉතා නිහතමානීව ඔහුට කීවෙමි. 
"Even a marking examiner is entitled only for a copy of the Marking scheme of the subject she is marking." 
යයි ඌණ පුරයක්ද කලෙමි.  
"Whatever it is, I want these marking schemes" 
ඔහුගේ බලවත් තර්ජනාත්මක ඉල්ලීම  විය.


මෙයින් පසුබට නොවූ මා ප්‍රධාන ලිපිකරු ධර්මසිරිට කථා කලෙමි.

හිස කසමින් ඉතාමත් බයාදු  ලෙස පැමිණි ඔහු අමුත්තාට පිටු පසින් සිට ගත්තේය. අමුත්තා හිස කරකවා ඔහු දෙස බැලීය. බියපත් වූ නියාවෙන් ඔහු තරමක් පස්සට විය. මතුවී ඇති ගැටලුව මම ධර්මසිරිට පැහැදිලි කර දුනිමි.
"අපි මේ මහත්මයාට උදව්වක් කරන්නේ කොහොමද?"                            මම ධර්මසිරිගෙන් ඇසීමි.


රාජකාරිය හොඳින් දන්නා පැසුණු පුද්ගලයෙකු වූ ඔහු හිස කසමින් සිට, 

ආපසු ගොස් අල්මාරියක් ඇර එහි වූ ලිපිගොනුවක් රැගෙන විත් එහි එක පිටුවක් පෙරලා මගේ මේසය මත තැබීය.


එය ඊට වසරකට පමණ පෙර දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් මාණ්ඩලික නිලධාරීන් සඳහා නිකුත් කරන ලද චක්‍ර ලේඛයකි. එහි අපගේ ශාකාවට අදාළ ඡෙදය රතු පාටින් රවුම් කර පැත්තකින් දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අත්සනද යොදා තිබිණ.

එය කියවූ මම අමුත්තාට රාජකාරිය ගැන තේරුම් කළෙමි.
අමුත්තා තරමක් කෝපයට පත්වූ බව පෙන්වා පුටුව පස්සට දමා කාමරයෙන් පිටවිය.
ඒ වන විට බිරාන්තව සිටි ප්‍රධාන ලිපිකරු සහ කාර්ය මණ්ඩලය මගේ කාමරය අසලට රොක් විය.
"ඉනේ පිස්තෝලයකුත් තිබුනා" 
යයි කිසිවෙකු කියන හඬද මට ඇසුනි.
"අපි කරන්නේ රාජකාරිය" 
කී මම ඔවුන්ට තම වැඩ කටයුතු වල නිරත වන ලෙස ඉල්ලීමක් කලෙමි.

විනාඩි කිහිපයකට පසු මගේ ටෙලිෆෝනය නාද විය.
ඇමතුම අප ප්‍රධානියාගෙනි.
"දයා, මේ වැඩය ගොඩින් බේරන්නට බැරිද?" ඔහු මගෙන් ඇසීය 
චක්‍රලේඛය කෙසේ වෙතත් එම අමුත්තාගේ හැසිරීම් විලාසය සහ අධි මානය සහිත ආකල්පය ගැන කලකිරුණු මා ගැටලුව ප්‍රධානියා වෙතම යොමු කලෙමි.
"කියන දෙයක් නිත්‍යානුකූලව කරන්නම්" 
මම කීවෙමි.
මේ අතර මම ප්‍රධාන ලිපිකරු සමගද සාකච්ඡා කර ඉක්මනින්ම විසඳුමක් සොයා ගතිමි. එයට එකඟත්වය පළකළ ඔහු, ප්‍රකාශන නිකුත් කිරීමේ පෝරමයක් පුරවා ගෙන  ප්‍රධානියා හමුවීමට ගියේය. ඉක්මනටම ආපසු පැමිණි  ඔහු එම කඩදාසිය මාගේ මේසය මත තබන ගමන්ම
"අරයා තවම ලොක්කාගේ කාමරයේ ඉන්නවා" 
යයි මට  හිමිහිට කීවේය. 
ඒ පෝරමයට අනුව එම වර්ෂයේ උසස් පෙළ විද්‍යා සියලුම 'ඇගයීමේ පටිපාටි' තමන් නමට නිකුත් කරන ලෙස ප්‍රධානියා ඉල්ලීමක්‌  කර තිබුණි. නියමිත ස්ථානයේ  නිකුත් කිරීමේ අභිමතයට මගේ අත්සන යොදා ඔහුට ආපසු භාර දුනිමි.
'ඇගයීමේ පටිපාටි' සියල්ලම තෝරා ලෙජරයේද "විභාග කොමසාරිස් තුමාට නිකුත් කරන ලදී" යනුවෙන්  සටහන් කර, එහිද මගේ අත්සන ලබාගත් ධර්මසිරි 'ඇගයීමේ පටිපාටි' පාර්සලයද රැගෙන ප්‍රධානියාගේ කාමරය වෙත යනු කාටත් දකින්නට ලැබුණි.

විනාඩි කිහිපයකින් මගේ ටෙලිෆෝනය නැවත නාද විය.
ඒ අපේ ප්‍රධානියාය.
ඔහු මා ඇමතීය 

"වැඩේ යන්තම් බේරා ගත්තා. මේවා දුර දිග යන වැඩ. ටිකක් ඉවසීමෙන් කටයුතු කලොත් හොඳයි" 
ඔහු මට කීවේය.
"මම මගේ කොටස හරියට කළා" යයි මම කීවෙමි.
"මම ලොකු පුටුවේ සිටියාට  මෙවැනි දේ ගැන අනිත් නිලධාරීන්ගේ සහයෝගයක් නැති නිසා දවසට කිහිප වරක් නොමැරී මැරෙනවා"
ඔහු නෝක්කඩු ස්වරූපයකින් මට කීවේය.
මෙය කෙලින්ම මාවෙත එල්ල කළ ඇනුම් පදයක් බව මට වැටහින. 
මම පෙරළා පිළිතුරු දුනිමි.
"සර්, මම නම් තර්ජනවලට බය වෙලා  සිතින්  එක්වරක් මැරුනොත් යලි වරක් ඒ කුණු ගොඩේම නැවත කීයටවත් උපදින්නේ නැහැ" යයි වේගවත් ස්වරයකින් කීවෙමි. 
ප්‍රධානියා ඇමතුම විසන්ධි කළේය.


ඊට පසු සිදුවිය හැකි ඕනෑම දෙයකට මුහුණ දීමට මම තීරණය කළෙමි. දින කිහිපයක් යනතුරු ශාඛාවේ අය මේ ගැන විපරම් කලත් මම ඒ කිසිවක් ගණන් නොගත්තෙමි. කොයි එකටත් ප්‍රවේශමෙන් සිටින ලෙසට ද සමහරු අවවාද කළහ. මම  මේ සිද්ධිය එයින් අමතක කර දැමීමි.


අප ප්‍රධානියා මේ සිද්ධිය නිසා මා ගැන අප්‍රසාදයක් තිබුණු බවක්වත් කිසිවිටක මට නොදැණුනි.


ටික කළකට පසු විදේශ ගත වීම සඳහා මට සේවයෙන් ඉවත් වීමට සිදුවිය. අවසාන දිනයේදී මා ඔහුගේ කාර්යාලයට කැඳවූ අප ප්‍රධානියා මට සුබ   පතා එම යටගිය සිද්ධිය වූ අවස්ථාවේ මා ක්‍රියා කළ ආකාරය ගැන ප්‍රශංසා  කර අනවශ්‍ය අයට හිස නොනමා සිටීම උදාර ලක්ෂණයක් බව ප්‍රකාශ කළේය.

මට ඒ පිළිබඳව ආඩම්බරයක් ඇතිවිය. 
මම ඔහුගෙන් සහ සේවයෙන්ම සමු ගතිමි.


පසු කලකදී මට දැනගන්නට ලැබුණේ එම ආරක්ෂක නිලධාරියාගේ බිරිඳ මා  සමග විශ්ව විද්‍යාලයේ සිටි කාන්තාවක් බවයි. එම විද්‍යාලයේම ශිෂ්‍යාවක් ලෙස විශ්ව විද්‍යාලයට ඇතුල්වූ ඇය, ඒ කාලයේ කිසිවෙකු සමග සබඳ කමක් නොදැක්වූ බවද මට මතකය. සමහරවිට ඒ භීෂණ සමයේදී මෙම සිද්ධිය නිසා  අතුරුදන්  වීමකට වුවද ගොදුරු විය හැකි තත්වයක සිටි මා, ඇය නිසා බෙරුනේදැයි සාධාරණ සැකයක්ද මට ඇත. එසේ වී නම් ඇයට මාගේ ප්‍රණාමය! 

8 comments:

  1. ස්තූතියි ඔබේ අත්දැකීම් අප සමඟ බෙදාගත්තාට.

    ඔබේ රාජකාරී ජීවිතය තුල මම හිතන්නෙ මෙවන් අපූර්ව අත්දැකීම දහස් ගණනක් ඇති නිසැකයෙන්ම. විවේක ලැබෙන පරිදි කරුණාකර ඒ පිළිබඳව ලියනු මැන.කියවන්නට ආශාවෙන් සිටින්නෙමි.

    ReplyDelete
  2. ස්තුතියි රවී තව ලිවීමට බොහෝ දේ තිබෙනවා මේ දිනවල පරිසරය පිලිබඳ පොතක් සිංහලෙන් ලිවීමට උත්සාහ කරනවා,

    ReplyDelete
  3. බෙල්ල බේරගත්ත අත්දැකීමක්. ඒ කාලේ හමුදාවේ සමහරක්ගේ හැසිරීම අන්තිමයි.

    ReplyDelete
  4. මම හිතන්නේ බේරුනේ එයාගේ බිරිඳ මා ගැන දැනගෙන සිටි නිසා.

    ReplyDelete
  5. විභාග කතන්දර සෑහෙන්න රසවත්..
    ජයවේවා..!!

    ReplyDelete
  6. ස්තුතියි.
    පහුවෙලායි comment එක දැක්කේ. ඉඩ ලැබෙන ආකාරයට තව ලියනවා.

    ReplyDelete
  7. තම පුද්ගලික කටයුතු ඉටු කර ගැනීමට තම වෘත්තීය භාවිතයට ගන්නා හාල් පාරුවන් වෙනදාටත් වඩා අද සිටී

    ReplyDelete
  8. සමහර අය Uniform එක සහ ඒකේ ඇති පළඳනා දැක්ක විට රාජකාරිය පැත්තකට දමා හිස නමනවානේ. ඒකයි අද තිබෙන ගැටලුව.

    ReplyDelete