Saturday, 9 February 2019

ජීවිතයක ‘දෙපැත්ත ........’


(සති කිහිපයක නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට ගොස් ආපසු පැමිණ දින කිහිපයක්ම, මහත් උදාසීන ගතියකින් සිටි නිසා කිසිවක් ලිවීමට රුචියක් නොවීය. එහෙත් පැරණි සිදුවීම් කිහිපයක්  නැවත අලුත් කරගැනීමට හැකිවූ, හදවතට දැනෙන මෙම සටහන කෙසේ හෝ  අවසන් කර ගත හැකි විය.)

ජීවිතයක දෙපැත්ත .....

   ලන්ගොඩ ‘ගූඩ් හෝප්’ වතුයායේ ලිපිකරුවෙකු ලෙස පැමිණි ගුණනාදන්, යාපනයේ උපත ලැබූ ද්‍රවිඩ තරුණයෙකි. චන්ද්‍රවතී, වත්ත අසල සිංහල ගැමි ගෙදරක ජීවත්වූ තරුණියකි. සුරූපී තරුණියක් වූ චන්ද්‍රවතීට පෙම්බැඳි ගුණනාදන්, නොයෙකුත් අපහසුතා සහ අවහිරතා මධ්‍යයේ, වුවද  ඇය විවාහ කර ගත්තේය. ඔවුනට පදිංචිය සඳහා වත්තේම නිවසක් ලැබිණ. එම යුවළගේ කුළුඳුල් දියණිය කමලාදේවීය. පිය උරුමයෙන් දෙමළ ආරයේ නමක් ලැබුණත්, පවුලේ එකම දියණිය වූ ඇය,  සිංහල මවගේ ආභාෂය නිසා, සිංහල දැරියක ලෙස වැඩුණාය. ඇය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේද  සිංහල පාසැලකය. පාසැලේදී ඇය කමලා නම් වුවාය. ඇය  පස්වන ශ්‍රේණිය සමත්වී කිහිප දිනකින්, වත්තේ ඇතිවූ ආරාවුලකදී කම්කරුවන්ගේ පැත්ත ගත් නිසා, ගුණනාදන්ට රැකියාව අහිමි විය.  බලංගොඩට ආයුබෝවන් කී ගුණනාදන් පවුල, ආපසු යාපනයේ පදිංචියට ගියහ.

ප්‍රවීණ ලිපිකරුවෙකු වූ ගුණනාදන්ට, පහසුවෙන්ම, යාපනයේ  රජයේ කාර්යාලයයක රැකියාව ලබාගත හැකිවිය. ස්ථාන මාරුවෙන් පසු, අකමැත්තෙන් වුවද කමලාදේවීට හයවන ශ්‍රේණියේ සිට ඉහලට ඉගෙනීමට සිදුවුයේ දෙමළ මාධ්‍යයෙනි. එසේ වුවත් මව සහ දියණිය සිංහලෙන් කථා කිරීමට පුරුදුව සිටියහ. ඉගෙනීමට දක්‍ෂ දැරියක් වූ කමලාදේවී, උසස් පෙළ සමත්වීමෙන් පසු, ඉන්දියාවේ විශ්ව විද්‍යාලයයක අධ්‍යාපනය සඳහා පිටත්ව ගියාය. විශ්ව විද්‍යාලයයේ විද්‍යා උපාධිය අවසන් කිරීමෙන් පසුව, ඇයට දකුණු ඉන්දියාවේ පෞද්ගලික විදුහලක ගුරුවරියක ලෙස සේවය කිරීමටද අවස්ථාව ලැබිණ. 

මේ අතරතුරදී ඇයගේ පියා හෘදයාබාධයකින් මිය ගියේය.

පියාගේ මරණය සැලවූ වහාම, ආපසු  ශ්‍රී ලංකාවට පැමිණි කමලාදේවි, මහත් කම්පාවකට පත්ව සිටියාය. මව පමණක් ගෙදර තනිවම දමා යාමට නොහැකි නිසා ඇයට රැකියාව සඳහා ආපසු ඉන්දියාවට යාමට නොහැකි තත්ත්වයක් උදාවිය. ඉන්දියාවේ පදිංචියට යාමටද  මවගේ කිසිම කැමැත්තක් නොවීය.  පියාගේ හදිසි මරණයත් සමග ඇතිවූ ගැටළු සියල්ල ඇයට උභතෝකෝටික ප්‍රශ්නම විය. යාපනය අතහැර යළිත් දකුණේ ප්‍රදේශයකට පදිංචිය සඳහා යාම පිණිස,  මව ඇයට කිහිප වරක්ම පෙරැත්ත කළත්, පිය පාර්ශවයේ  නෑදෑ හිතවතුන්ගේ බලපෑම නිසා, ඔවුනට ඒ පිළිබඳව ස්ථිර තීරණයක් ගැනීමට නොහැකි විය.

මේ අතර, පියාගේ නෑ පිරිසගේ බලවත් ඉල්ලීම නිසා, කමලාදේවිට, තම ඇවැස්ස මස්සිනා කෙනෙකු සමග විවාහ වීමට සිදුවිය. ක්‍රීඩා උපදේශක ගුරුවරයෙකු  මෙන්ම  කඩවසම් තරුණයෙකු වූ  ඔහු නමින්  ජයදේවන්ය.  විවාහය නිසා, ඇයට  රැකියාව සඳහා ආපසු ඉන්දියාවට යාමට තිබුණු ඉඩකඩ තවදුරටත් ඇහිරී ගියේය.

මේ කාලයේ, ශ්‍රී ලංකාවේ මහත් අධ්‍යාපන ප්‍රබෝධයක් දියත් වී, ‘සැමටම විද්‍යාව’   යන සංකල්පය ව්‍යාප්ත වෙමින් පැවතිණ.  එහෙත් ‘සැමටම විද්‍යාව’   වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තරම් ගුරුවරු සොයා ගැනීම, රජයට දුෂ්කර කරුණක් විය. ඒ සමගම  පාසල්වල ඉගැන්වීමේ මාධ්‍යය ඉංග්‍රීසියේ සිට සිංහලට හෝ දෙමළට යොමු වෙමින් පැවතීම නිසා, විද්‍යා විෂයයන් මවු බසින් ඉගැන්වීම සඳහා සුදුසු ගුරුවරු සොයා ගැනීම අතිශයින් දුෂ්කර විය. අධ්‍යාපන අමාත්‍යාංශය විද්‍යා ගුරුවරුන් බඳවා ගැනීම සඳහා, පුවත්පත් දැන්වීම් පළ කරනු ලැබුවත්, දෙමළ මාධ්‍යයෙන් කෙසේ වෙතත්, සිංහලෙන් විද්‍යා විෂයයන් ඉගැන්වීම සඳහා  අවශ්‍ය තරම් ගුරුවරු සොයා ගැනීමට නොහැකි විය. 

තම රැකියාව සඳහා ආපසු ඉන්දියාවට යාමට, කිසිසේත් ඉඩක් නොලැබෙන බව හොඳින් අවබෝධ කරගත් කමලාදේවි,  සිය සැමියාගේද අනුමැතිය ඇතිව,  පුවත් පත් දැන්වීම් වල දක්වා තිබුණු, විද්‍යා ගුරු පත්වීම් සඳහා අයදුම් කළාය.

ඊට සති කිහිපයකට පසු, ඇයට ගුරු පත්වීම් සඳහා, සම්මුඛ පරීක්ෂණයක් පිණිස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපියක් ලැබිණ. අවශ්‍ය සහතික සහ වෙනත් ලියකියවිලි සියල්ල සුදානම් කර ගත් කමලාදේවී, නියමිත දින  සිය මවත් සමග, කොළඹ අධ්‍යාපන අමාත්‍යංශයට ගියාය.

සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ නිලධාරීහු කිහිප දෙනෙක්ම වූහ. ඇගේ සහතික පරීක්ෂා කළ නිලධාරියා, තම උපැස් යුවල ඉහලට කර, ඇය දෙස බලා,

“පස්වෙනි ශ්‍රේණිය දක්වා ඉගෙනීම සිංහලෙන් ? ඒ කොහොමද?”  කියා සිංහලෙන්ම ඇසුවේය.

“සර්, මම බාගෙට සිංහල” ඇයගේ පිළිතුර විය.

“ඒ කියන්නේ......?” නිලධාරියා මවිතයෙන් නැවත ප්‍රශ්න කළේය.

“අපි කලින් පදිංචි වෙලා හිටියේ බලන්ගොඩ. මගේ අම්මා සිංහල” ඇය පිළිතුරු දුන්නාය.

ඇයගේ සිංහල උච්චාරණයේ තරමක වෙනසක් ඇති බව කාටත් පැහැදිලි විය.

සියලුම සහතික සහ වෙනත් ලියකියවිලි පරීක්ෂා කළ නිලධාරි මඬුල්ල, ටික වේලාවක් යම්කිසි කරුණක්  සම්බන්ධව සෙමින් සාකච්ඡා  කර,

“ඔබගේ ගම් ප්‍රදේශය  යාපනය උනත්, ස්වාමිපුරුෂයා ගුරුවරයෙකු නිසාත්, දෙදෙනාටම පහසු, බස්නාහිර පළාතේ සිංහල මාධ්‍ය පාසලකට යන්නට කැමතිද?” කියා එක් නිලධාරියෙකු ඇයගෙන් ඉංග්‍රීසියෙන් ඇසුවේය.

ඇය තරමක චකිතයකින් යුක්තව,

“සර් මට සිංහලෙන් උගන්වන්න අමාරු වේවි.” යයි සිංහලෙන් කියා, බැගෑපත් වූවාය.

“ඒකට අපි වැඩ පිළිවෙලක් යෙදීමට සුදානම් කර තිබෙනවා. ඔය මහත්මියට පත්වීම ලැබෙන විදුහලේ පළපුරුදු ගුරුවරයෙක් යටතේ මාස හත අටක්, සම්පූර්ණ වැටුප් සහිතව ‘under study’ කිරීමට (සීමාවාසිකව ඉගැන්වීමට)  අවස්ථාව ලබා දෙන්නට  පුළුවනි. ඒ කාලය තුළදී විද්‍යාවේ පාරිභාෂික වචන ඉගෙන ගන්නත් හැකිවේවි. අවශ්‍ය පොත්පත්, සටහන් ආදිය  ඒ ගුරුවරයාගෙන් ලබාගැනීමට සැලැස්විය හැකියි. ඒ කොන්දේසියට කැමතිනම් මෙහි නම ලියා අත්සන් කරන්න”

කියා ලේඛනයක් ඉදිරිපත් කළේය. ඒ වන විටත් එම ලේඛනයේ කිහිප දෙනෙක්ම අත්සන් කර තිබුණි. එහි දෙමළ නම් තුනක්ද තිබෙනු  ඇය දුටුවාය. වෙනත් ජාතිකයින් විය හැකි දෙදෙනෙකුගේ නම්ද එහි විය.

ටික වෙලාවක් කල්පනා කළ ඇය, ලේඛනයට අත්සන් කළාය.

පසුව සම්මුඛ පරීක්ෂණ කණ්ඩායමේ නායකයා ලෙස සිටි නිලධාරියා ඇයට කථා කර,

“ඔබට  කොළඹට කිට්ටු, හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයයට ගුරු පත්වීමක් ලබාදිය හැකියි. දැනට එහි පුරප්පාඩුවක් තිබෙනවා. එහි සිටින ජේෂ්ඨ ගුරුවරයෙකු සමග ‘under study’ කිරීම පිණිස ඔබ යොමු කරන ලෙස අපි විදුහල්පතිට උපදෙස් දෙන්නම්. නවාතැන් පහසුකම් ලෙහෙසියෙන් සොයා ගත හැකියි. ලබන මස පළවෙනිදා සිට වැඩ භාර ගැනීම පිණිස ලිපියක් තැපෑලෙන් එවන්නම්.”

කියා ඇයට සමු දුන්නේය.

පරීක්ෂණ කණ්ඩායමට ස්තුති කළ කමලාදේවී දෙගිඩියාවකින් යුතුව කාමරයෙන් පිට වූවාය.   
-------------------
ඊළඟ මාසයේ පළමු වැඩ කරන දිනයේ පෙරවරුවේ, විද්‍යාගාරයේ පන්තියක උගන්වමින් සිටි මා හට, කාර්යාලයයට පැමිණෙන ලෙස  විදුහල්පති තුමාගෙන් පණිවුඩයක් ලැබිණ. මා එහි ගිය විට, විදුහල්පතිතුමා විසින් අමුත්තන් දෙදෙනෙකු මා හට  හඳුන්වා දුන්නේය.

“මේ ජයදේවන් මහත්මයා, අපගේ අලුත් ක්‍රීඩා උපදේශක, මේ ජයදේවන් මහත්මිය, අලුත් විද්‍යා උපාධිධාරිණියක්. ඇයගේ ගුරු පත්වීමේ ලිපියත් සමග තවත් උපදෙස් ලිපියක් තිබෙනවා අධ්‍යාපන අමාත්‍යංශයේ ‘under study’ වැඩ සටහන ගැනත්. ඒකත් කියවා බලා අවශ්‍ය කටයුතු කරන්න. ඒ එක්කම කාල සටහන් ගැනත් බලන්න. ” 

කියා අධ්‍යාපන අමාත්‍යංශ ලිපිය මා අතට දුන්නේය.

අමුත්තන් දෙදෙනා සමග විද්‍යාගාරයට ගිය මා, අනිකුත් විද්‍යා ගුරුවරුන්, විද්‍යාගාර සහායකයින් සහ එවෙලේ පැමිණ සිටි පන්තිවල සිසුන් ඔවුනට හඳුන්වා දුන්නෙමි. 

විද්‍යා අංශය භාරව සිටි මටද, එම කටයුතු වලට අදාළ රාජකාරි  සමගම,  එම දිනවල පැවති උග්‍ර ගුරු හිඟය නිසා, උසස් පෙළ පන්ති දෙකක උද්භිද විද්‍යාව සහ සත්ත්ව විද්‍යාව කාල ඡේද තිස් දෙකක් සහ සාමාන්‍ය පෙළ පන්තියක රසායන විද්‍යාව කාල ඡේද පහක්ද  ඉගැන්වීමට නියමිතව තිබිණ. අලුත් ගුරු මහත්මියගේ පැමිණීම නිසා මගේ ඉගැන්වීමේ බර කොටසක් අඩුවේයයි මට සතුටක්ද ඇතිවිය.

එහෙත්, අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් ලිපිය කියවා,  ඇය සමග ටික වේලාවක් කථා කරනවිට, ඇයට ඉදිරි මාස කිහිපය තුළදී ‘ඉගැන්වීම සඳහා ඉගෙනීමට’ සිදුවී ඇති බව තේරුම් ගතිමි. කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යංශයේ මෙම අලුත් අභියෝගය භාර ගැනීමටත්, එම ගුරු මහත්මියට හැකි තරම් උදව් කිරීමටත් මම තීරණය කර ගතිමි.

පසුදින, කමලාදේවී ‘under study’ සඳහා, මගේ පන්තියට පැමිණියාය. මම ඇය පන්තියට හඳුන්වා දුන්නෙමි. මගේ සිසුවෙකු  ඇයට හිඳ ගැනීම සඳහා, පන්තිය ඉදිරියට  පුටුවක්  ගෙන ඒමට සූදානම් වූ විට ඇය, එය ප්‍රතික්ෂේප කර මෙසේ කීවාය.

“මමත් තවම ගුරු ශිෂ්‍යයෙක්. මටත් මාස කිහිපයක් ඔයාල සමග පන්තියේ ඉගෙන ගන්නට වෙනවා. මම ඔයාලා එක්ක පන්තියේ හිඳ ගන්නම්. මට ‘under study’ කරන්න තියෙනවා”

පන්තියේ සිසුන් තුෂ්නිම්භූතව බලා සිටියදී ඇය පන්තිය පිටුපස පුටුවක හිඳ ගත්තාය.

ගුරුපත්වීමක් ලබා ඇති, මගේ වයසේම යයි සිතිය හැකි  කාන්තාවක්, තවදුරටත්  ‘ඉගැන්වීම සඳහා ඉගෙනීම’  පිණිස මගේ පන්තියට පැමිණීම නිසා මම තරමක අපහසුතාවයකට පත්වීමි. කෙසේ වෙතත් ගුරු හිඟය මඟ හරවා ගැනීම සඳහා, අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දියත් කර තිබෙන මෙම නවතම ක්‍රමෝපායය වන ‘ඉගැන්වීම සඳහා ඉගෙනීම’  යන නව සංකල්පය සාක්සාත් කර ගැනීමට, මාගේ සහායද දීමට හැකිවීම පිළිබඳව මට සතුටක්ද ඇතිවිය.

මාස කිහිපයක් ගතවිය. ජයදේවන් මහත්මිය ඉතා ඉක්මණින් සිංහලෙන් ඉගැන්වීම ප්‍රගුණ කර ගත්තාය. උසස්පෙළ පළමු වසරේ පන්තියක උද්භිද විද්‍යාව ඉගැන්වීම භාර ගතහැකි බව, ඇය මට පැවසුවාය. විදුහල්පතිතුමාගේද නිර්දේශය මත පන්තිය ඇයට භාර දුනිමි.

වචන උච්චාරණය කිරීමේ තරමක වෙනසක් තිබියද, ඇය ඉතාමත් දක්‍ෂ  ලෙස ඉගැන්වීමේ කටයුතු කළාය. ඇය ඉතා ඉක්මණින් සිසුන් අතර ජනප්‍රිය විද්‍යා ගුරු මහත්මියක් වූවාය. සති කිහිපයකට පසු විදුහලට පැමිණි අධ්‍යාපන අමාත්‍යංශ අධීක්ෂණ නිලධාරියෙක්, ඇයගේ  ඉගැන්වීම නිරීක්ෂණය කර ‘ඉතා හොඳ’ ලෙස ඇගයීමක්ද කර තිබිණ.

මට නියමිතව තිබුණු උද්භිද විද්‍යාව කාල ඡේද දහසයක් ඇයට පැවරීමට හැකිවිය. මේ නිසා මට ලැබුණු ‘බර අඩුවීම’ විද්‍යා අංශ ප්‍රධානියා වශයෙන් ඉටු කිරීමට තිබුණු රාජකාරි කටයුතු සඳහා වැය කිරීමට අවස්ථාව සැලසිණ.

විද්‍යාලයයේම ගුරුවරියක වූ මගේ බිරිඳ සමගද,  ඉතාමත් කුළුපග වූ ජයදේවන් මහත්මිය, අපගේ දරුවන්ටද මවක මෙන් සැලකුවාය. 
 
වසර දෙකකට පමණ පසු, මා හට උසස් වීමක් ලැබී අධ්‍යාපන අමාත්‍යංශයට යාමට සිදුවිය.

කමලාදේවී ජයදෙවන් මහත්මියගෙන් අධ්‍යාපනය ලැබූ බොහෝ සිසුහු  උසස් පෙළ සමත්වී විශ්ව විද්‍යාල වල වෛද්‍ය සහ විද්‍යා අංශ වලට ට ඇතුළත් වන්නට වූහ. ඇය ඉතා හොඳ  උද්භිද විද්‍යා ගුරුවරියක් ලෙස ජනප්‍රිය වූවාය.  විශ්ව විද්‍යාල වලට ඇතුළත් නොවූ සිසුන්ද ගුරු වෘත්තියේ හෝ, බැංකු සහ වෙනත් රජයේ ආයතන වල රැකියා ලබාගත්හ. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ලද  ‘ඉගැන්වීම සඳහා ඉගෙනීම’  නම්  නව සංකල්පය යථාර්ථයක් බවට පත්කිරීම සඳහා පුරෝගාමී වූ ගුරු මහත්මියක් ලෙස කමලාදේවී ජයදේවන් මහත්මිය හැඳින්විය හැකිය.

ක්‍රීඩා උපදේශකවරයෙකු වූ ජයදේවන් මහතාද ඉක්මණින්ම ජනප්‍රිය ගුරුවරයෙකු බවට පත්විය. මේ වනවිට ඔවුනට වසර හතරක් පමණ වයසැති පුතෙකු සහ එක් වසරක් වයසැති දියණියක්ද සිටියහ. එසේ වුවත්, ඇසුරු කළ සමහර මිතුරන්ගේ ආභාෂය  නිසා, ඔහු සුරාවට ලොල් බවක් දැක්වීය. යහපත් දෙමාපියන් සමග සිංහල සහ දෙමළ සාරධර්ම අනුව හැදුණු වැඩුණු කමලාදේවි, සිය සැමියාගේ ක්‍රියාකලාපය ගැන කළකිරීමට පත්වූවාය.

සිය සැමියාගේ සුරා ලෝලිත්වය ගැන, යාපනයේ සිටින සිය නෑදෑ හිතවතුන්ට දැන්වූ විට, වහාම ස්ථාන  මාරුවක්  ලබාගෙන යාපනයට පැමිණෙන ලෙස ඇයට උපදෙස් ලැබිණ. ඇයගේ ස්ථාන මාරු ඉල්ලීම සලකා බැලූ අධ්‍යාපන අමාත්‍යාංශය, ඇය හොරණ තක්ෂිලාවෙන් නිදහස් කර, යාපනේ සිංහල මහා විද්‍යාලයයට මාරු කරන ලදී.

‘ඉගැන්වීම සඳහා ඉගෙනීම’  ප්‍රගුණ කර, ප්‍රවීණ ගුරුවරියක වූ ඇය, වසර හතක් පමණ හොරණ සිංහල දරුවන්ට  ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදී, යාපනේ සිටින සිංහල දරුවන් වෙනුවෙන් සිය දැනුම කැප කිරීම සඳහා, හොරණ තක්ෂිලා  මධ්‍ය විද්‍යාලයෙන් සමු ගත්තාය. 

යාපනයේ ජීවිතය ඇයට එතරම් ප්‍රිය ජනක නොවීය. හොරණදී ඇසුරු කිරීමට ලැබුණු සිංහල මිතුරු මිතුරියෝ  යාපනයේ ඇයගේ  නෑදෑ හිතවතුන්ට වඩා ඇයට  සමීප අය වූහ. ඇය ඔවුන් සමගත් තම ගෝල බාලයින් සමගත් නිරතුරුවම සම්බන්ධකම් පවත්වා ගත්තාය. මටද, අධ්‍යාපන අමාත්‍යංශයේ රාජකාරි කටයුතු සඳහා යාපනයට ගිය අවස්ථා දෙකක දී, සිංහල මහා විද්‍යාලයටම ගොස් ඇය හමුවිය හැකි විය.
 
මේ අතරවාරයේදී, ජයදේවන් හදිසි අනතුරකින් මිය ගියේය. 

ඒ වන විට වැඩිමහලු පුත්‍රයා වන මනෝහරන් සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළා පමණකි.  සැමියාගේ වියෝවෙන් පසු ආර්ථික සහ සමාජමය ගැටළු රාශියකට මුහුණ දෙමින්  කමලාදේවී, ඉගැන්වීමේ කටයුතු නොපිරිහෙලා ඉටු කළාය. එහෙත් නොසිතු  අයුරු, මුහුණ දීමට සිදුවූ හැලහැප්පීම් සහ කලකිරීම් නිසා, ඇය  වසර විස්සක සේවා කාලයෙන් පසු, විශ්‍රාම ගත් බව  දැනගන්නට ලැබිණ. 

ටික දිනකින් ඇයගේ දියණියද ප්‍රදේශයේම තරුණයෙකුට විවාහ කරදෙනු ලැබ, සියලු දෙනාම, එම බෑණනුවන්ගේ  නව නිවසෙහි පදිංචිය සඳහා ගියහ.

දියණියගේ විවාහයෙන් වසර කිහිපයකට පසු, මොවුනට ජීවිතයේ ඉතාමත් අභාග්‍ය සම්පන්න කාලය උදාවිය.  අවි ආයුධ ගෙන සිවිල් යුද්ධයක් ආරම්භ කළ එල්.ටී.ටී.ඊ සංවිධානයේ කුරිරු ග්‍රහණයට මෙම පවුලේ සාමාජිකයින්ද  ගොදුරු වූහ. ඇයට, තමන්ගේ විශ්‍රාම වැටුපෙන් නියමිත ප්‍රතිශතයක් මාසිකව සංවිධානයට බැර කිරීමට සිදුවිය. ඒ වනවිට කඩවසම් තරුණයෙක්ව සිටි, ඇයගේ  පුත්‍රයා  එල්.ටී.ටී.ඊය විසින් බලෙන්ම පැහර ගෙන යන ලදී. වසර කිහිපයක් වනාන්තර වල යුද හරඹ වල යෙදුණු ඔහු,  තදබල වකුගඩු ආබාධයකට ගොදුරු විය. රෝගය ඉතාමත් උත්සන්න වූ පසු, ඔහු ගෙදරට ගෙනවිත් දමන ලදී. යුද්ධය ඉතාමත් උග්‍ර තත්වයක තිබෙද්දී, ඔහු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු නිසා, රජයේ රෝහලකින් ප්‍රතිකාර ගැනීමට නොහැකි වී ඇත. එල්.ටී.ටී.ඊ සංවිධානයෙන්ද  කිසිම පිළිසරණක් නොලැබූ ඔහු මාස කිහිපයකදී  එම රෝගයෙන්ම මිය ගියේය.

තම දියණිය, බෑණනුවන්  සහ ඔවුන්ගේ දරු දෙදෙනා සමග, යාපනය නගර සීමාවේම පදිංචිවී සිටි ජයදෙවන් ගුරු මහත්මිය ඉතාමත් නිහඬ, අසරණ  ජීවිතයක් ගත කළාය. මාස කිහිපයකට වරක්වත්, ඉඩකඩ ලැබුණු විටක, මම දුර කථනයෙන් ඇය ඇමතීමී. ඒ සෑම  විටකම, හොරණ ගතකළ වසර කිහිපය ඇයගේ ජීවිතයේ ඉතාමත් සොඳුරු කාලය බව ඇය සැමවිටම සිහිපත් කළාය.

2014 වසරේදී අප විදේශ ගතවීමට  පෙර මට, බිරිඳ සහ පවුලේ තවත් අය කිහිප දෙනෙකු සමග යාපනයට ගොස් ඇය හමුවී පැය කිහිපයක් සතුටු සාමීචියේ යෙදීමට අවස්ථාව ලැබිණ. අප විදේශ ගත වන බව ඇසූ ඇය, මහත් කම්පාවට පත්වූවාය.

පාසල් යන වයසේ  දරුවන්  දෙදෙනෙකුගේ මවවන ඇයගේ දියණියද, හදිසියේම අභාවප්‍රාප්ත වූ බව පසුගිය දිනක දැනගන්නට ලැබිණ. මේ ගැන ඇයගෙන් විමසා සිටීමට මට කිසිසේත් සිත් නොදුන්නේය. මා මේ ගැන විපරම් කළහොත් ඇයට වාවා  ගත නොහැකි වන බව මට වැටහුණු නිසා නිශ්ශබ්දව සිටියෙමි.

විදේශ ගතවී වසර කිහිපයකට පසු,  2019 වසර මුලදී, මට සති කිහිපයක නිවාඩුවක් සඳහා ආපසු මව් බිමට යාමට  හැකිවිය. මා ශ්‍රී ලංකාවට ආ බව ආරංචි වී, තක්ෂිලාවේ මගෙන් අධ්‍යාපනය ලැබූ, සිසුන් කිහිප දෙනෙකු මා හමුවීමට පැමිණියහ. ඔවුන් සියලු දෙනාම වසර පණහකට ඉහතදී, තක්ෂිලාවේ සිටි මගේත්, ජයදේවන් මහත්මියගේත් ගෝලයින් වීම විශේෂ සිද්ධියකි. ඔවුන් අතර, විශ්‍රාමික රජයේ වෛද්‍යවරු දෙදෙනෙක්, විශ්‍රාමික බැංකු කළමණාකරුවන්  දෙදෙනෙකු, විශ්‍රාමික ගුරුවරුන් දෙදෙනෙකු සහ වෙනත් උසස් රැකියාවල නිරතව සිට විශ්‍රාමික නිලධාරීන් කිහිප දෙනෙකුද වූහ.

ඔවුන් සමග ජයදේවන් පවුලේ මා දන්නා සහ මගේ මතකයේ තිබුණු තොරතුරු කීවෙමි. එම තොරතුරු  අසා, මහත් කණගාටුවට පත්වූ ඔවුන් සියලු දෙනා, හැකි ඉක්මණිනින්ම  ඇය බැලීම සඳහා යාපනයට යාමට තීරණය කළහ.

මා ආපසු ඔස්ට්‍රේලියාවට පැමිණ දින දෙකකින් එක් ආදී සිසුවෙකුගෙන්  දුර කථන පණිවුඩයක් ලැබිණ.

“සර්, මේ කථාකරන්නේ  සිරිල්. අපි ජයදේවන් ටීචර් හමුවීම සඳහා යාපනයේ ඇයගේ ගෙදරට ආවා.  මෙන්න සර් කථා කරන්න” කියා දුර කථනය ඇයට දුන්නේය.

මම ඇය සමග විනාඩි කිහිපයක් දුර කථනයෙන් කථා කලෙමි. ආ ගිය තොරතුරු ඇසීමෙන්  පසුව, ඇය විසින් කරනු ලැබූ අගනා ප්‍රකාශය මෙසේය. 

“පසුගිය වසර දහය ඇතුළත, මා ඉතාමත් සතුටු වූ දිනය අදයි. අපගෙන් ඉගෙනගත් ගෝල බාලයින් පිරිසක්  මෙතරම් දුර ගෙවා, වයසට ගිය මා බැලීමට පැමිණීම, මගේ භාග්‍යයක්. අවුරුදු පණහකට පෙර, හොරණ ගතකළ ඒ සුන්දර ජීවිතය මට මැවී පෙනෙනවා. විදේශයක සිටින ඔබටත් ඔවුන් හමුවීම සතුටට කරුණක් වූ බව නොඅනුමානයි. ඔබට සැප, ජය හා දීර්ඝායුෂ පතනවා. දැන් මට සන්තෝෂෙන් මැරෙන්නට පුළුවනි. ”

ඉතා හොඳින් ගලපා, ඇය සිංහලෙන් කී ඒ වචන කිහිපය මගේ හදවතට තදින්ම දැනුණි. වයස් ගත වීම නිසා වචන උච්චාරණයේ වෙනස්කම් කිහිපයක් තිබුණද, ජීවිතයේ අටවන දශකයේ පසුවන ඇයගේ, නිහතමානි කම සහ සිංහල ගෝල බාලයින්  හට ඇති ලැදියාව ගැන මටද මහත් ආඩම්බරයක් ඇතිවිය.

ජයදේවන් මහත්මිය, එකිනෙකට වෙනස්,  පරිසර  දෙකක සහ ජන වාර්ගික දෙකක් අතර දෝලනය වූ, තම ජීවිතය, හමුවූ සියලු කම්කටොලු මැඩ ගනිමින්, අප්‍රතිහත ධෛර්යයකින් යුතුව, සිය මුනුපුරු මිනිපිරියන් සමග ගතකරන බව පෙනේ. ඇයගේ ජීවිතයේ පැහැදිලි “දෙපැත්තක්” තිබෙන නිසා මෙම සටහන ‘ජීවිතයක දෙපැත්ත’ලෙස නම් කළෙමි.

මෙම සටහන ඇයට උපහාරයක්ම වේවා. !

(සත්‍ය සිද්ධියකි. පුද්ගල නම් සහ ස්ථාන නාම වෙනස් කරන ලදී) 

12 comments:

  1. මේ කථාවේ ජාතියකයට එහා ගිය මනුෂ්‍යත්වය හදවතට වදින අවස්ථා බොහොමයයි. මේ ලිපියට සහ ඇයට මීට වඩා ප්‍රසිද්ධියක් ලැබෙන තැනකට යවන ලෙස ඉල්ලා සිටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්,
      සති කිහිපයකට පසුවයි Blog post එකක් ලිව්වේ.
      ඔබ කියන ආකාරයට, ජාති භේදයකින් තොරව සානුකම්පිකව බැලිය යුතු අවස්ථා රාශියක් මෙම සත්‍ය තොරතුරෙහි තිබෙන නිසාමයි මා මේ ගැන ලිවීමට පෙළඹුණේ. වැටි වැටී ස්වෝත්සාහයෙන් නැගිටින මිනිසා පවා, යළි යළිත් අගාධයට ඇද දමන අවස්ථා තිබෙන බව මෙයින් වැටහෙනවා.

      Delete
  2. හරිම සංවේදී සටහනක් තාත්තා. අක්කලාට තරම් මට ඇය ගැන මතක නැතත්, ඇයගේ නම නිතර ඇසී හුරුපුරුදුයි. කොයිතරම් හැල හැප්පිලි, උඩු යටිකුරු වීම් මැද ගතවුණු ජීවිතයක් ද! ඒ හැම සිදුවීමකදීම ඇගේ නොසැලෙන ගුණය, පරිසරයට සුදුසු විදිහට හැඩගැසීමේ කුසලතාවය කැපී පේනවා. ජීවිතයේ සැන්දෑ කාලෙදී වත් ඇයට සැනසිල්ලක් ලැබිලා නම් හොඳයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලී දුව,
      ඔයා උපදින්නටත් පෙර සිට ඇය අපගේ පවුලේ සමීපතම කෙනෙක් ලෙස සිටියා. අක්කාගේ උපත සඳහා කාසල් රෝහලට යද්දීත් අප සමග උදව්වට ගියේ මේ මහත්මියයි. ඇයට තමන්ගේ මව් පාර්ශවයෙන් ලබුණු ආභාෂය නිසා වෙන්නට ඇති සිංහල හිතවතුන් ඇසුරු කිරීමට වැඩි කැමැත්තක් දැක්වුයේ.

      Delete
  3. ජීවිතය කොයි තරම් නම් පුදුමාකාරද කියලා හිතුනා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුෂානි,
      මේ සිදුවීම් සියල්ලේම දෝමනස්ස සහගත පැත්ත එක් කාන්තාවකට පමණක් විඳ දරා ගැනීමට සිදුවීම දෛවයේ සරදමක් හැටියටයි මා තේරුම් ගත්තේ. එසේ වුවත්, ඇය අවසාන වරට මා සමග දුර කථනයෙන් කථා කළ වේලේ, වසර පනහකට ඉහතදී ගත කළ කාලයේ සොඳුරු බව සහ ඇසුරු කළ හිතවතුන් ගැන මෙනෙහි කර සතුටක් ලැබීම මගේ සිතටත් තදින් කා වැදුනා.

      Delete
  4. ස්තුතියි Pra Jay,
    එදා මලී දුවගේ 'සහස් පියවර'පොත එළි දැක්වූ අවස්වේථාදී අප හමුවීම ඉතා වාසනාවන්ත සිදුවීමක් ලෙස සලකනවා. නැවතත් එසේ හමුවීමට අවස්ථා ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

    මේ සිද්ධිය ගැන ලිවීමට මා පෙළඹවූයේ, වසර පනහකට පෙර පාසලේ සිටි සිසු පිරිසක් මා හමුවීමට පැමිණ අතීතයේ තොරතුරු ආවර්ජනා කිරීමේදී මෙම ගුරු මහත්මියගේ අප්‍රතිහත ධෛර්යය ගැන විස්තර කිරීමෙන් පසුවයි.

    ReplyDelete
  5. හොද සන්වේදී කතාවක්

    ReplyDelete
  6. ස්තුතියි සාලිත / සාලිතා,
    අප පළමුවරට Blog සටහනකින් හමුවුයේ අදම බව සිතෙනවා.

    වසර පනහකට වැඩි කාලයක්, අධ්‍යාපන ක්ෂේත්‍රයේම ගැවසුණු මට අත්විඳීමට සිදුවූ රසවත් තොරතුරු වරින් වර මෙසේ සම්පිණ්ඩනය කරනවා. ඒවා කියවා යම්කිසි ආශ්වාදයක් ලබන ඔබ වැන්නන් සිටීම ගැන මා සතුටු වෙනවා.
    මධ්‍යස්තව සිතන ඕනෑම කෙනෙකුට මෙම සිද්ධි මාලාව මගින්, අනුකම්පාවක් ඇතිවේයයි යන්න මුල් කර ගනිමින් තමා මේ සටහන තැබුවේ.
    ඒ පිළිබඳව ඔබද දක්වන සංවේදී බව අගයනවා.

    ReplyDelete
  7. Very touching story. We meet our school old boys every year, we must plan to go and see our past teachers.

    ReplyDelete
    Replies
    1. Thank you Wijebahu for visiting my Blog post.

      Yes,this story is quite touching. There are so many incidents that have disturbed this teacher's life at different stages.

      What I have observed is, very often, the pupils are not aware of the personal grievances of teachers. After their studies the pupils also will have their own involvements and get hardly any time to think of their old teachers. It is a good idea that you think of visiting a teacher when 'old boys' meet.

      Delete