Friday, 15 February 2019

අපගේ විද්‍යා අධ්‍යාපනය පසුබෑමකට ලක්වී තිබේද ?



   ශ්‍රී ලංකාවේ විද්‍යා අධ්‍යාපන උන්නතිය සඳහා, දශක කිහිපයක් තිස්සේ හැකි සෑම අයුරකින්ම දායක වූ මා විදේශ ගත වී, වසර පහකට පමණ පසුව, නිවාඩුවක් සඳහා ආපසු මව් බිමට ගියවිට දකින්නට ලැබුණු විද්‍යා අධ්‍යාපන ‘සෝදාපාළුව’ ගැන මහත් විමතයට පත්වීමි. විද්‍යා අධ්‍යාපනයට අදාලව දියත් කර තිබුණු සුවිශේෂී වැඩ සටහන් සියල්ල අහෝසි වී ගොස් ඇති බවක් දකින්නට ලැබුණි. එවකට තිබුණු ‘විද්‍යා ප්‍රබෝධය’ අතුරුදහන්වී ගොස් මෙනි.
පරිසරයට අදාළ ක්‍රියාකාරකම්, ක්‍ෂේත්‍ර අධ්‍යයන වැඩ සටහන්, සිසු ව්‍යාපෘති, සොබා මං පෙත් ඔස්සේ අධ්‍යයන ආදිය අධ්‍යාපනයෙන් තුරන් වී තිබේ. මේ සියල්ලටම හේතුව ‘ටියුෂන් උන්මාදය’ බව පෙනේ.
මෙම අධ්‍යාපන සෝදාපාළුව මඟ හරවා ගැනීම පිණිස බලධාරීන්ගේ අවධානය යොමු කරවීම සඳහා , මා විසින් කලකට පෙර පළකරන ලද  Blog  සටහනක් සංශෝධනය කර නැවත මෙසේ පළ කරමි. මෙසේ නැවත මේ ගැන ලිවීමට සිත් වුයේ විශේෂ සිද්ධියක් නිසාය.
මා මෙහි සඳහන් කරණු ලබන සුවිශේෂී විද්‍යා අධ්‍යාපන වැඩ සටහන සඳහා  පුරෝගාමියෙකු වූ, හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් ඩී.ඒ. පෙරේරා මහතාගේ නිවසෙහි, 2019 ජනවාරි මාසයේදී පවත්වනු ලැබූ දිවා භෝජන සංග්‍රහ අවස්ථා වේදී  අධ්‍යාපන පසුබෑමට මුලික වී ඇති බොහෝ දේ  පිලිබඳව සකච්ඡා විය.  එහිදී හෙළිවූ සමහර කරුණු වලට අදාලව, මෙම වැදගත් වැඩ සටහන නැවත දියත් කිරීම සඳහා විද්‍යා අධ්‍යාපන බළධාරීන් උනන්දු කරවීම මාගේ අභිප්‍රායයි.  

පසුගිය ’70 – ’80 දශක වලදී, ශ්‍රී ලංකාවේ විද්‍යා අධ්‍යාපනය කෙරෙහි, විශාල උනන්දුවක් ඇති විය. රජයද, ‘සැමටම විද්‍යාවයන නව සංකල්පය යටතේ බොහෝ වැඩ සටහන් දියත් කරන ලදී. මෙම රැල්ලත් සමගම එවකට සිටි, විද්‍යා අධ්‍යාපනඥයන් අතලොස්සකගේ මෙහෙයවීමෙන්, 1984 දී, ශ්‍රී ලංකා විද්‍යා සහ ගණිත අධ්‍යාපන සංගමය - ශ්‍රී ලං වි ග අ ස  (Sri Lanka Association for Science and Mathematics Education –SLASME)  පිහිටුවා  ගන්නා ලදී.  මෙම සංගමයේ ආරම්භක සභාපති වුයේ, පේරාදෙණිය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයයේ, වෛද්‍ය විද්‍යා මහාචාර්ය වැලන්ටයින් බස්නායක මැතිතුමාය. 
අධ්‍යාපන අමාත්‍යංශයේ   විද්‍යා අධ්‍යාපන අධ්‍යක්ෂක ධුරය ඉසිලු, ජිනපාල අලස් මැතිතුමා,  එහි උප සභාපති විය. ඒ කාලයේ විද්‍යා අධ්‍යාපනයට සම්බන්ධ තවත් නිලධාරින් කිහිප දෙනෙක්ද, විද්‍යා සහ ගණිත ගුරුවරු රාශියක්ද, විවිධ ක්ෂේත්‍ර වල නියැලී විද්‍යා අධ්‍යාපනයට  ලැදි තවත් අයද, සියයක් පමණ සංගමයේ සාමාජිකයෝ වූහ. සංගමයේ ආරම්භක සාමාජිකයින් වී එය විසුරුවා හරින තෙක්ම, එහි සභාපති ධුරය සහ වෙනත් නිලතල, වරින් වර දරා, රටෙහි සිසු පරපුර වෙනුවෙන් අගනා මෙහෙයක්‌ කරන ලද විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල්, ඩි.ඒ. පෙරේරා  මැතිතුමා සහ විශ්‍රාමික විභාග කොමසාරිස් ජනරාල්, ස්ටර්ලින් පෙරේරා මැතිතුමාද මෙහිලා බැති සිතින් සඳහන් කරමි.
මහා බ්‍රිතාන්‍යයේ සුප්‍රකට විද්‍යා අධ්‍යාපන සංගමයක්  වන, පොදු රාජ්‍ය මණ්ඩලීය විද්‍යා ගණිත අධ්‍යාපන සංගමයේ (Commonwealth Association for Science and Mathematics Education- CASME) ආකෘතිය අනුව, සකස් වූ මෙම සංගමයට, ටික කලකදීම එම ජාත්‍යන්තර සංගමයේ සාමාජිකත්වයද ලබාගත හැකි විය.
විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනයේ, ඉහල ප්‍රාථමික, කනිෂ්ඨ සහ ද්විතීය මට්ටම් වල, ඉගෙනුම ලබන දරු දැරියන්ගේ, විද්‍යාත්මක දැනුම සහ අවබෝධය වැඩි දියුණු කිරීම, සංගමයේ මුලික පරමාර්ථය වූ අතර, ඔවුනට විද්‍යාත්මක ක්‍රමය ආශ්‍රීතව, සරල ගවේෂණ  කිරීම සහ ඒවායේ තොරතුරු ඉදිරිපත් කිරීමට වේදිකාවක්  සකස් කිරීමද සංගමයේ අභිප්‍රාය විය. සංගමයේ ලාංඡනයද මෙයට ගැලපෙන ආකාරයටම සකස් විය. එහි ඇති ළමා හිස, අත සහ හදවත යන නිරූපණ වලින් සංකේතවත් වනුයේ, කුඩා කළ සිටම, දැනුම හෝ අවබෝධය, හසුරු කුසලතා සහ ආකල්ප සංවර්ධනය කළ යුතු  බවයි.  මෙයින් හිස (මොළය) දැනුම සඳහාත්, අත කුසලතා සඳහාත්, හදවත ආකල්ප සඳහාත් මුලික වන බව පෙන්නුම් කෙරේ.  

ආරම්භයේදී, එවකට සිටි විද්‍යා සහ ගණිත අධ්‍යාපන නිලධාරීන්ගේ සහ විද්‍යා ගුරුවරුන්ගේද සහාය ඇතිව, සංගමයේ කටයුතු පහසුවෙන්  කරගෙන යාමට හැකිවිය. මෙම සංගමය මගින්,  පාසැල්  සිසුන්ට  සරල කෙටි කාලීන විද්‍යා ව්‍යාපෘති වල නියැලීමටත්, ඒවා අනුසාරයෙන් ගැටළු හඳුනා ගැනීමටත්, ඒවා නිරාකරණයට අදාළ උපකල්පන සකස් කර ගැනීමටත්, ඒ ඔස්සේ අවශ්‍ය ක්‍රියාකාරකම් මගින් දත්ත ලබාගැනීම සහ නිගමන වලට එළඹීමටත් අවස්ථාව සලස්වා දෙන ලදී. මේ ආකාරයෙන් සිසුන්ට නිරායාසයෙන්ම   ‘විද්‍යාත්මක ක්‍රමය’ (Scientific method) පිළිබඳව මනා පරිචයක් ලබාගැනීමට අවස්ථාව ලැබුණි.
සංගමය මගින්, 1984 වර්ෂයේ සිට, නොකඩවා, මාසික රැස්වීම් සහ වාර්ෂික මහා සභාවක් බැගින් පවත්වා, විද්‍යා අධ්‍යාපනය වඩාත් ප්‍රායෝගික සහ වඩාත් වැඩදායි එකක් කිරීමට කළ හැකි විවිධ දේ සාකච්ඡා කරන ලදි. සෑම වර්ෂයකදීම  සංගමය මගින් සිසු ව්‍යාපෘති සියයකට අධික සංඛ්‍යාවක් සඳහා උපදෙස් ලබාදී  ප්‍රාථමික, කනිෂ්ඨ සහ ද්විතීය  යන මට්ටම් වලින් තෝරා ගනු ලබන ව්‍යාපෘති, තිහකට අධික සංඛ්‍යාවක සවිස්තර වාර්තා සහිතව, විද්වත් මඬුල්ලක් හමුවේ ඉදිරිපත් කිරීමට ශිෂ්‍යයින්ට අවස්ථාව ලබාදෙන ලදී. වයස් මට්ටම් අනුව බලන විට, සමහර සිසුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ව්‍යාපෘති විශිෂ්ට ගණයේ ඒවා විය. එක් වර්ෂයකදී ඉදිරිපත්වූ ව්‍යාපෘති මාතෘකා කිහිපයක් පහත දැක්වේ.    
  හය වන ශ්‍රේණියේ  සිසුවියකගේ මගේ යාලු කඩි ගුල ’                                                               පස්වන ශ්‍රේණියේ සිසුවෙකුගේ මකුළුවෙක් දැළ විවීම ’                                                          නවවන ශ්‍රේණියේ සිසුවියකගේ හොර ගසක බීජ/ඵල  ව්‍යාප්තිය ’                                              දහවන  ශ්‍රේණියේ සිසුවියකගේ සලබයෙකුගේ ජීවන චක්‍රයේ රහස ’                                                                                                                       
මේවා, එම වර්ෂයේ දී තෝරාගත් සරල ව්‍යාපෘති අතරින් කිහිපයකි. මේ සියල්ලම ඉතා සරල අදහස් වුවත්, ඒවා සැලසුම් කිරීම, දත්ත ලබාගැනීම, දත්ත විශ්ලේෂණය, නිගමනය ආදිය ඉතා හොඳින් සිදූකර තිබුණි.
කඩි ගුල පිලිබඳ අධ්‍යයනය කළ සිසුවිය, ගුලෙන් පිටතට පැමිණෙන කඩි, දස දෙනෙකු සලකුණු කර, දින කිහිපයක් ඔවුන් නිරීක්ෂණය කර තිබේ. ඇය, තමන්  විසින් ලකුණු කරනලද කඩි,  ඔවුන්ගේගුලෙහිසිට කොපමණ දුරකට ආහාර සොයා ගමන්  කරන්නේද යන්න මැනවින් අධ්‍යයනය කර, රූප සටහන්, වගු, ප්‍රස්තාර ආදිය ආශ්‍රීතව ඉතාමත් දක්ෂ අන්දමින් ඉදිරිපත් කරන ලදී.
දහවන  ශ්‍රේණියේ සිසුවියගේසලබයෙකුගේ ජීවන චක්‍රයේ රහසනම් ව්‍යාපෘතියේදී ඇය විසින් තම ගෙදර වත්තේ, රසකිඳ වැලක එල්ලෙන මුල් කා දමන සලබ දලඹුවෙකු,  අධ්‍යයනය  කර ඇති අතර, දින කිහිපයකට පසු එම දලඹුවා අදෘශ්‍යමාන වන බව නිරීක්ෂණය කර තිබේ. ඇය මේ සම්බන්ධව  අපගෙන් වැඩිදුර තොරතුරු විමසන ලදී. මේ  පිළිබඳව අපට තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, ගැටලුව කෘමි විද්‍යාඥවරියකට යොමු කරන ලදි.
එම විද්‍යාඥවරියට අනුව, ඉහතකී  සලබයා ඉතාමත් විරල එකෙක් බවත්, එම ප්‍රදේශයේ රසකිඳ වැල් වල පමණක් සිටින බවත් දැනගන්නට ලැබිණ. රසකිඳ වැලෙහි එල්ලෙමින් පවතින  මුල අග්‍රයේ සලබයා දමන බිත්තර වලින් එළියට පැමිණෙන කීට දළඹුවා , මුල කා දමමින් ඉහලට ගොස් ටික දිනකින්  එතනින් බිමට වැටී  ජීවන චක්‍රයේ ඊළඟ අවස්ථාව පොලොව යට කෝෂයක් සාදාගෙන  ගතකරන බව අපද දැන ගත්තේ ඊට පසුවය.
මෙම සලබයාගේ ජීවන චක්‍රයේ අදෘශ්‍යමාන අවස්ථාව ගැන සොයා බැලීමට, එම ශිෂ්‍යාව කර ඇති ගවේෂණය ඉතාමත් වැදගත් එකකි. ඇය ඒ මගින්විද්‍යාත්මක ක්‍රමයමැනවින් අවබෝධ කර ගෙන තිබුණි.
සෑම වර්ෂයකම සිසුන් විසින් ඉදිරිපත් කරනලද ව්‍යාපෘති යෝජනා වලින් බහුතරයක්. පරිසරයට අදාළ ක්‍රියාකාරකම් වීම, මෙහි තවත් විශේෂ ලක්ෂණයකි.
තමා විසින් ස්වාධීනව සකස් කරන ලද ව්‍යාපෘති වාර්තාව, ඉතාමත් දක්ෂ ලෙස සබකෝලයකින් තොරව, පිරිසක් ඉදිරියේ  ක්‍රමානුකූලව ඉදිරිපත් කිරීමට,  සිසුන් තුළ ඇති කුසලතාව හඳුනා ගැනීමට මෙම වැඩ සටහන් බෙහෙවින් ප්‍රයෝජනවත් වී තිබේ. මෙම වැඩ සටහන සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ විද්‍යා අංශයේද, ප්‍රාදේශීය විද්‍යා අධ්‍යාපන නිලධාරීන්ගේද සහයෝගය නොඅඩුව ලැබුණි.
එහෙත්,  2012  වර්ෂයෙන් පසුව, ආර්ථික ප්‍රශ්න, කාර්යාලය පවත්වාගෙන යාම සඳහා ස්ථානයක් නොමැති වීම, ගුරු සිසු උනන්දුව අඩුවීම, නිලධාරි සහයෝගය නොලැබී යාම වැනි කරුණු නිසා  එම විද්‍යා වැඩ සටහන, අක්‍රීය තත්ත්වයට පත්විය. මේ නිසා මෙම ඉතා වැදගත් අධ්‍යාපනික පිවිසුම, අතහැර දමන්නට සිදුවිය. අවසානයේදී එවකට සිටි විධායක මණ්ඩලය රැස්වී, සංගමයේ සියලුම අරමුදල් සහ වගකීම්, විද්‍යා ව්‍යාපෘති සඳහා උනන්දුවක් දක්වන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයට (SLAAS) ව්‍යවස්ථානුකූලව හාර දෙන ලදී. වසර විසිපහක් තිස්සේ අඛණ්ඩව කරගෙන යනු ලැබූ, මහඟු අධ්‍යාපන ක්‍රියාවලියක ඉරණම මෙසේ වීම කණගාටුදායකය. (මා වසර දෙකක් මෙම  සංගමයේ සභාපති ලෙස කටයුතු කර තිබේ.)    
මෙයට සමගාමීව, ගුරු ව්‍යාපෘති සඳහා, එක්සත් රාජධානියේ, පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යා සහ ගණිත අධ්‍යාපන සංගමය (CASME) මගින් පවත්වන ලද තරඟ වලට, අපගේ විද්‍යා සහ ගණිත අධ්‍යාපන සංගමය (SLASME) මගින් ඉදිරිපත්කරන ලද, ගුරු ව්‍යාපෘති කිහිපයකටම විශේෂ ත්‍යාගද ලැබුණු අතර, ත්‍යාග ලාභීන්  එක්සත් රාජධානියට ගොස් එම ත්‍යාග සහ සහතික පත්  ලබාගත් අවස්ථාද  කිහිපයක් තිබේ.
පාසැල් සිසුන්, ගුරුවරුන්  සහ අධ්‍යාපනඥන්  අතර ඉතා ජනප්‍රිය වූ මෙම වැඩ සටහනවත්  නැවත ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගන්නේ නම් එය සිසු දරුවන් වෙනුවෙන් ගන්නා වැදගත් තීරණයක් වනු ඇත. 
අද දකින්නට ලැබෙන ‘විද්‍යා අධ්‍යාපන හිඩැස’ මග හරවා ගැනීම පිණිස මෙම වැඩ සටහන මහෝපකාරී වනු ඇතැයි යන්න අපගේ බලාපොරොත්තුවයි.


6 comments:

  1. මේ ලිපියේ සදහන් සමහර කරුණු වලට අපට එකග වන්නට බැහැ මහාචාර්ය බස්නායක මැතිතුමා වැනි අය විසින් විද්‍යාත්මක චින්තනයක් ඇති අය බිහිකිරීමට ගත් උත්සාහය අනවශ්‍යව බැහැර වී තිබෙනවා ඹහු විසින් සමහර ලමයින්ට දෙනු ලැබූයේ දවස්පතා දෙහි ගෙඩියක වට ප්රමාණය නූලකින් මැන අධ්‍යයනය කිරීම වැනි ලමයින්ට ගැලපෙන අපූරු රසවත් ව්‍යාපෘති ඒ වුනාට අද ලමයින් ඒවා කරන්නට යොමු වන එකක් නැහැ එකළ පැවති සංවෘත ආර්ථික ක්රමයට එය ගැලපෙන්න පුලුවන් අද පවතින විවෘත ආර්ථික ක්රමයට එය ගැලපෙන එකක් නැහැ
    අද අවශ්‍යවන්නේ විභාග සමත්වීමට කරන වැඩයි උදාහරණ ලෙස උසස්පෙල ව්‍යාපෘති දක්වන්න පුලුවන් එයට ලමුන් කැමතිවූයේ නැහැ අනුන් ලවා ලියවා ගැනීම් කොපිකර ලිවීම් වැනි දෙයින් එය අසාර්ථක වුනා
    ක්ෂේතර මධ්‍යස්ථාන විදාතා මධ්‍යස්ථාන අද ප්රතික්ෂේප ව ගොසින් ඒවා නැවත ආරම්භ කර පවත්තාගෙන යාම සාර්ථකවේයයි බලාපොරොත්තු වන්නට බැහැ
    අද ගුරුවරුන් ක්ෂේත්ර මධ්‍යස්ථාන වලට ලමුන් රැගෙන විත් දවසක් නාස්ති කර ගැනීමට පෙළඹෙයි කියා හිතන්නට බැහැ කෙළවරක් කරන්නට බැරි තරම් විශාල විෂය නිර්දේශයක් නිමකිරීමේ සටනක ඔවුන් නිරතව සිටින නිසා
    අදට අවශ්‍යවන්නේ විද්‍යාත්මක බිස්නස් චින්තනයයි විද්‍යාත්මක වෘත්තීය චින්තනයයි එය හරියාකාරව නොදී රටේ දුප්පත් ලමයින්ට පැරණි විද්‍යාත්මක චින්තනය ඉගනීමට යොමු කිරීමෙන් ඔවුන් රවටනු ලැබීම නතර කල යුතුයි
    අද සියලු ලමුන්ට විධිමත් අධ්‍යාපනය සමගම රැකියාවක් කිරීමට හැකි වෘත්තීය විද්‍යා අධ්‍යාපනයක්ද දිය යුතුයි ජාතික ප්රතිපත්තිය වෙනස් කල යුතුයි දේශීය නිෂ්පාදන කිරීමට කර්මාන්ත ශාලා ඇතිකිරීම ආදී වැඩ කටයුතු කලයුතුයි දේශීයව යම්තරමකට සාර්ථක නිෂ්පාදනයක් කලවිට එම නිෂ්පාදනය පිටරටින් ගෙන්වීම නතර කල යුතුයි
    මෙහි සදහන් ටියුෂන් මාපියාව ගැන එකග වන්නට බැහැ අද විද්‍යා විෂයයයේ න්‍යායාත්මක ගුණාත්මක බව රැදී තිබෙන්නේ ටියුෂන් ගුරුවරුන් නිසයි ටියුෂන් ක්රමය නිර්මාණය කර ඇත්තේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මයි ටියුෂන් කියන්නේ අද තියන අධ්‍යාපන ක්රමයේ අතුරුඵලයක් ටියුෂන් නැති කරන්න නම් පවතින ක්රමය වෙනස් කල යුතුයි එසේ නොකර එය කල නොහැකියි
    ජාතික අධ්‍යාපන ආයතණය එයට මූලිකව කටයුතු කලයුතු නමුත් කුමන හේතුවක් නිසා හෝ ඔවුන් එයට ප්රමාණවත් අයුරින් දායකවන්නේ නැහැ
    අද පවතින තත්වය අනුව අධ්‍යාපන නිලධාරීන්ට පමණක් මෙය කල නොහැකියි එය කිරීමට හැක්කේ දේශපාලන බලයකින් පමණයි ඒවුනත් දේශපාලන බලය ඇති අයට ඒ ගැන තේරුමක් නැහැ ඔවුන් පවතින අධ්‍යාපන ක්රමයේ ඇති ගැටලු හදුනාගන්නේ නැහැ අද අධ්‍යාපනයේ ප්රධානතම ප්රශ්ණයක්ව ඇත්තේ එයයි

    ReplyDelete
    Replies
    1. මා විසින් 'විද්‍යා අධ්‍යාපනය පසුබෑමට ලක්වී තිබේද?' යන මැයින් Blog සටහන ලියන ලද්දේ (මා හිතන හැටියට අදත්) අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින ඔබ වැනි විද්වතුන්ගේ අවධානය සඳහාමයි. මාගේ ලිපියට සමගාමීව ඔබ පෙන්වා දෙන්නෙත් එම කාරණය බවයි මට හැඟී යන්නේ. 1960 ගණන්වල සිට විද්‍යා අධ්‍යාපනය වැඩිදියුණු වූ ආකාරය පිළිබඳ මෙම තොරතුරු ගැන ටිකක් සැලකිලිමත් වන්න.

      50 / 60 දශකවලදී විද්‍යා අධ්‍යාපනය ඉහල ධනේශ්වර පන්තියට පමණක් විවෘත වී
      ප්‍රධාන විදුහල් කිහිපයකට පමණක් සීමාවී තිබුණා. මාධ්‍යය වූයේ ඉංග්‍රීසි.
      50 දශකය අගදී සහ 60 දශකය මුලදී මධ්‍ය විද්‍යාල වලත් විද්‍යා අධ්‍යාපනය ආරම්භ
      කළ නිසා එය ගම්බදටත් තරමක් ප්‍රචලිත වූවා.
      1963/1964 කාලයේදී 'සිංහලෙන් විද්‍යාව' සහ 'සැමටම විද්‍යාව' යන සංකල්ප
      අධ්‍යාපනයට එකතු වීම නිසා විද්‍යා ප්‍රබෝධයක් රට තුළ ඇතිවූවා.
      මෙම විද්‍යා ප්‍රබෝධය නිසා විෂයය මාලා සංවර්ධනය, විද්‍යා පාඨ ග්‍රන්ථ සකස් වීම,
      විද්‍යා ගුරු පහුණුව ආදී කටයුතු රාශියක් ක්‍රියාත්මක වූවා.
      මේ අවදියේදී නිදහස් අධ්‍යාපනයේ බලපෑම නිසා ගම්බදින්ද, විශ්ව විද්‍යාල වල විද්‍යා
      සහ වෛද්‍ය අධ්‍යාපනය ලැබූ අය බිහිවූවා.
      විද්‍යාවට අදාළ මා කලින් සඳහන් කළ විවිධ වැඩ සටහන් ගැන ලැදි කමක් දක්වන
      අය විද්‍යා ප්‍රගතිය සඳහා විශාල මෙහෙවරක් කරනු ලැබුවා.
      මා ඉගෙන ගෙන තිබෙන විද්‍යාව අනුව නම් scientific method නම් චින්තන ක්‍රමවේදය විද්‍යාව ඉගෙන ගන්නා අයට පමණක් නොව ඕනෑම කෙනෙකුට තම ජීවිතය ක්‍රමානුකුලව හැඩගස්වා ගැනීමට ගැලපෙන දෙයක්.
      මේ නිසා පොදු විද්‍යා අධ්‍යාපනයේ මුල් කාලයේදී මහාචාර්ය බස්නායක වැනි ව්ද්යාර්ථීන් ගත් පියවර වැදගත් වූ බව බැහැර කළ නොහැකියි.
      //අදට අවශ්‍යවන්නේ විද්‍යාත්මක බිස්නස් චින්තනයයි විද්‍යාත්මක වෘත්තීය චින්තනයයි//
      'බිස්නස්' හෝ 'වෘත්තීය' කටයුතු සඳහාත් මූලික අධ්‍යාපනයක් අවශ්‍යයි.
      මේ සඳහා පාසලෙන් මුලික විද්‍යා අධ්‍යාපනය ලබාදෙන අතර විද්‍යා තාක්ෂණ ආයතන,විශ්ව විද්‍යාල ආදියෙන් මේවාට අදාළ පාඨමාලා සම්පාදනය කළ යුතුයි.
      'ටියුෂන් මාපියාව' නම් ඔබගේ යෙදුම හැම අතින්ම ගැලපෙන පෞද්ගලික ඉගැන්වීම් මගින් මෑත කාලයේදී යම් සේවයක් වී තිබෙන බව පෙනෙනවා. ඒ උනත් එය මගින් පාසල් අධ්‍යාපනය ආක්‍රමණය කිරීම නම් බලවත් වැරද්දක්. සිසුන් 40ක් පමණ සිටින පන්තියකින් ලැබෙන ඉගැන්වීමේ ගුණාත්මක භාවය සිසුන් සියදහස් ගණනක් සිටින ටියුෂන් පන්තියකින් ලැබේ යයි කීම ඇදහිය නොහැකියි.
      කෙසේ වෙතත් අධ්‍යාපනයේ ගුණාත්මක බව හෝදාපාලුවකට ලක්වීම ගැන අප කව්රුත් වගකිව යුතුයි. මෙයට ගුරුවරුන්ගේ සහ නිලධාරීන්ගේ ඇප කැප වීමේ ඌනතාද බොහෝ දුරට බලපානවා.
      අවසාන වශයෙන් 'එය කිරීමට හැක්කේ දේශපාලන බලයකින් පමණයි' යනුවෙන් ඔබ දක්වන අදහස මුදුන්පත් කර ගැනීමට මුලික විය යුත්තේත් කව්ද? ඒත් අප අපම නේද? දේශපාලකයා හරි දේ වටහා ගැනීමේ චින්තන ශක්තියකින් යුක්ත නොවේනම් ඔහු එතැනට නොයැවීමට වග බලා ගත යුත්තේත් අපම නොවේද?
      'වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමු ඒ අමාරුව?'




      Delete
  2. ඔබගේ සටහන කාලෝචිතයි. ඇත්තෙන්ම අද පාසල් වල විද්‍යා අධ්‍යාපනයක් නැහැ. ඔබ ලංකාවට පැමිණ මේ ඛේදනීය තත්වය අත්දැකීම හොඳයි. අපි එය කියනවාට වඩා. මා මේ තත්වය කෙමෙන් අත්දුටුවේ විශ්‍රාම යාමට වසර කිහිපයකට පෙර සිට. අපි ඒ කියන්නේ අපේ පරපුරේ ගුරු පිරිස පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ දී උසස් පෙළ ප්‍රායෝගික ක්‍රියාකාර කම් අඩු පහසුකම් මධ්‍යයේ හැකි උපරිමයෙන් කළා. විශ්ව විද්‍යාලයට ඇතුල් වන ළමයි කියලා තියෙනවා දැන් ඒ අය සමග සිටින සම කාලිකයන් test tube එකක දෙයක් රත් කරන්න පවා බයයි කියලා. ඒ තරමට ප්‍රායෝගික ක්‍රියාකාරකම් පාසලෙන් බැහැර වෙලා. විද්යාව යන්නේ අර්ථය කුමක්ද මුලික ක්‍රියාකාරකම් වලින් තොර? ඉගෙන ගන්නේ විද්‍යාව නම් එහි දරුවාගේ මට්ටමින් පර්යේෂණ, ගවේෂණ අන්තර්ගත විය යුතුයි.
    අපි විද්‍යා ගණිත අධ්‍යාපන සංගමයෙන් දරුවන් ව්‍යපෘති කරන්න යොමු කළේ උසස් පෙළ ව්‍යපෘති එන්න බොහෝ කලකට පෙර. ඒ සඳහා අපි කළ අවදානම් සහගත (අපේ වෘත්තීය පැත්තෙන්) තීරණ ගන්න සුදානම් ගුරුවරු අද නැති බව මම අවබෝධ කරගෙන තිබෙනවා. එහෙත් දරුවන්ට ඒ ලබාදුන් අත්දැකීම් වල වටිනාකම කියන්න බැහැ. ඒ දරුවන් අද ලෝකයේ උසස් ගණයේ විද්‍යාඥයින් බවට පවා පත්වෙලා තිබෙනවා.
    කලින් reply එක ලියු ආනන්ද විතාන මහත්මා කියා ඇති එක දෙයක් ඇත්ත. එනම් කරලා නිම කරන්න බැරි තරම් විශාල විෂය නිර්දේශ තිබෙන බව. මේ විෂය නිර්දේශ පුරවල තියෙන්නේ facts කඳු වලින්. ඒ සේරම අකුරෙන් අකුර සටහන් දෙමින් talk- chalk ක්‍රමයට ඉගැන්වීම තමයි සිදුවෙන්නේ. ඉතින් වෙලාව මදි. විද්‍යාවේ මුලික සිද්ධාන්ත දරුවාට හරියට වැටෙනවා නම් මේ facts/කරුණු ස්වයං අධ්‍යනයට යොමු කරන්න අපහසු නැහැ. එහෙත් අද දරුවාට කියා කාලයක් නැහැ. දවසේ කාලය කවුරුහරි අරන්. උදයට පාසල ...,හවසට ටියුෂන් පංතිය ...රෑට රූප පෙට්ටිය. ටියුෂන් පන්තියේ කෙටි සටහන පවා හදල දෙනවා. දරුවාට කරන්න දෙයක් නැහැ. කරන්න දන්නෙත් නැහැ. 'දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන' ඉන්නවා. අද විශ්ව විද්‍යාලයට ගිය දරුවොත් ටියුෂන් ගන්නවා. ව්‍යාපෘතිය කරන්න බැරුව ඒකත් සල්ලි දීලා කරගන්න තැන් තියෙනවා. නවක උපාධි ධාරීන් මට හමුවෙලා තියෙනවා පොතක් විමර්ශනය කරන විදිය දන්නේ නැති. විද්‍යාවේ හරය දරුවන් තුළට යවන්න උනන්දු වෙනවා නම් මේ විෂය කරුණු ස්වයං අධ්‍යනයට දරුවා හුරු කරන්න පුළුවන්. ළමයි සිය ගණන් ශාලා බංකු වල ඉන්දවා ගෙන නිහඬ අසන්නන් බවට පත්කරගෙන ලබා දෙන විද්‍යා අධ්‍යාපනය කුමක් දැයි මට තේරුම් ගන්න අමාරුයි. මීට අවුරුදු 20කට පෙර මා පර්යේෂණයක නිරත වුණා, සාමාන්‍ය පෙළ ප්‍රයෝගික ක්‍රියාකාරකම් ගැන. එහිදී ප්‍රභා සංශ්ලේෂණයේ දී ඔක්සිජන් පිටවෙන බව පෙන්වීමේ පරීක්ෂණය ඇටවීමට පුනීලය මත සම්පුර්ණයෙන් ජලය පිරවුණු පරීක්ෂණ නලය තබන්න පුළුවන් වුණේ එකම දරුවෙකුට පමණයි. ඒ කොළඹ හෝ වෙනත් නගරවල හෝ ප්‍රධාන පාසලක දරුවෙක් නෙමේ. ගම්බද කුඩා පාසලක දරුවෙක් . මේ නිසා විද්‍යා අධ්‍යාපනයේ මේ සෝදාපාළුව ක්‍රම ක්‍රමයෙන් ඇතිවූ දෙයක් බව කියන්න පුළුවන්. ටියුෂන් ක්‍රමයේ වර්ධනයට සාපේක්ෂව එය සිදුවී ඇති බව පේනවා. අද ඉන්නේ ගුරුවරු නෙමේ. දේශකයන් යයි තමාම කියා ගන්නා අය. ඒ අය ගණිතයට පවා දේශනා පවත්වනවා!!!
    ආනන්ද විතාන මහතා කියන පරිදි උසස් පෙළ ව්‍යපෘති අසාර්ථක වුණා නම් එයට හේතු කිහිපයක් තිබුණා. එකක් නිසි මග පෙන්වීම නොකිරීම. අනික නිසි ඇගයීමක් නැති වීම.අපි නිසි මග පෙන්වීම් කළ දරුවන් හොඳ ව්‍යපෘති කළා. එයින් ලොකු පන්නරයක් ලැබුවා. විද්‍යා ගණිත අධ්‍යාපන සංගමයේ අත්දැකීම් අපිට මේ සඳහා ඉවහල් වුණා. මම නම් කණගාටු වෙනවා කේවල ව්‍යාපෘතිය කිරීම ඉවත් කිරීම ගැන. දැන් ළමයි කණ්ඩායම් ව්‍යපෘති කියා පාසල් වල කරන්නේ මේස පුටු පාට කිරීම වගේ වැඩ.
    හරවත් දෙයක් වෙනවා නම් ඒ අතලොස්සක් පාසල්වල විතරයි.
    //අදට අවශ්‍යවන්නේ විද්‍යාත්මක බිස්නස් චින්තනයයි විද්‍යාත්මක වෘත්තීය චින්තනයයි// යන්න අර්ථ විරහිත දෙයක්. පාසල දරුවන්ට වෘත්තීය පුහුණුව දෙන ආයතනයක් නෙවෙයි. වෙළෙන්දෝ ට්කක් බිහි කරන තැනක් නෙවෙයි. එය දරුවා සාර්ථක පුරවැසියෙක් වීමට අවශ්‍ය කරන මූලික හැඩගැස්ම දෙන තැන. එයට අඩංගු කළ යුත්තේ කුමන අන්තර්ගතයක් ද යන්න දියුණු රටවල අධ්‍යාපනය ගැන හැදෑරීමෙන් ඔබට වැටහී යාවි. දරුවා පසුව වෙළෙන්දෙක් වෙනවා ද වෙනත් වෘත්තියක් තෝරා ගන්නවා ද යන්න පසුව තීරණය විය යුතු දෙයක්. ඊට පෙර සැකැස්ම ලෙස දැනුම, ආකල්ප හා කුසලතා වලින් ඔහු සන්නද්ධ කිරීම පාසලේ ඉලක්කය විය යුතු වෙනවා. පසුව වෘත්තීය පුහුණුව ලබා දීම සඳහා විවිධ ආයතන ඒ ඒ රටේ ආර්ථික අවශ්‍යතා මත ස්ථාපනය විය යුතු වෙනවා. ඒ සඳහා උගත් පාලකයන් රටේ සිටිය යුතුයි. පාලකයන් පත්කිරීම ජනතාව හොඳ සිහි බුද්ධියෙන් යුතුව කළ යුතුයි.

    ReplyDelete
  3. ස්තුතියි මාලිනී,
    ඔබගේ අත්දැකීම් සහ නිරීක්ෂණ පෙරදැරි කර ගනිමින් කර තිබෙන සටහන, දැනට සේවයේ යෙදී සිටින බොහෝ ගුරු මහත්මා මහත්මීන්ට සහ අධ්‍යාපන බලධාරීන්ට 'ඇස් ඇරවීම' සඳහා ඉතා හොඳ පිවිසුමක් ලෙස සැලකිය හැකියි. 'ටියුෂන් මාෆියාව'ට ගැතිවී සිටින දෙමාපියන්ද බොහෝවිට සිතන්නේ තම දරුවන්ට අවශ්‍ය වන්නේ 'දැනුම' පමණක් බවයි. ඔවුන් කුසලතා සහ ආකල්ප ගැන කිසි තැකීමක් නැහැ. මේ ආකාරයට යොමු වන දරුවන්ද පාසලේ සිදුවන විධිමත් ඉගැන්වීම අප්‍රිය ජනක දෙයක් ලෙස සලකනවා.
    //අදට අවශ්‍යවන්නේ විද්‍යාත්මක බිස්නස් චින්තනයයි විද්‍යාත්මක වෘත්තීය චින්තනයයි// යන අදහස 'ටියුෂන් මාෆියාව' සමග අත්වැල් බැඳ ගනිමින් තිබෙන අදහසක් විය හැකියි. දෙමාපියන්, අධ්‍යාපනයේ නිරත වන්නන් සහ අධ්‍යාපන බලධාරීන් තුළ එම ව්‍යාජ මානසිකත්වය තිබෙන තාක් කල්, අපට දශක දෙක තුනකට ඉහතදී අත්විඳින්නට ලැබුණු, එසේම ප්‍රායෝගිකව භාවිත කළ, 'ක්‍රියාවෙන් අවබෝධය', විද්‍යාත්මක ක්‍රමය, පරිසරයට අදාළ ක්‍රියාකාරකම් වැනි අත්‍යාවශ්‍ය ඉගැන්වීම් / ඉගෙනුම් ක්‍රියාදාමයට අදාළ පිවිසුම්, අධ්‍යාපනයට අදාළ කරගත හැකි වේයයි සිතන්නටවත් බැහැ.

    ReplyDelete
    Replies
    1. තවත් මෙවැනි ලිපි ඉදිරිපත් කරන්න. උඩුගං බලා පිහිනීමක් විය හැකියි. නමුත් ලොව ඇත්තේ එක සත්‍යක් පමණයි.

      Delete
  4. ස්තුතියි මාලිනී,
    සත්‍යය ඇස්පනාපිට දුටු අපට එය අහෝසි වී යන විට හිතට දුකක් දැනෙනවා. අප ලියන දෙයින් එක අයෙකුගේ හෝ ඇස් ඇරෙනවානම් එය හොඳටම ඇති.
    අධ්‍යාපන බලධාරීන්ට නම් මේවා කියවන්නට වෙලාවක් නැහැ. ඒ බලධාරීන් අදෘශ්‍යමාන 'බල අරගලයේ' පංගු කාරයින් වෙලා හමාරයි.

    ReplyDelete