Monday 18 February 2019

ඉලක්කම් ‘හරඹයකින්’ අපූරු ජීවිත පාඩමක් ......


  දී මානවයින් තම  අදහස් හුවමාරු කර ගැනීම සඳහා කතා බස් කිරීම පිණිස භාෂාවක් භාවිතය පිළිබඳව විවිධ මත ඉතිහාසයට එකතු වී තිබේ.  මෙයටම සමගාමීව ගණන් කිරීම සඳහා විවිධ ක්‍රමවේද භාවිතය පිළිබඳවද  අදහස් රාශියක් තිබේ. කෙසේ වෙතත් අද ලොව පුරා බහුලව භාවිත වන හින්දු - අරාබි ඉලක්කම් සකස්වූ  ආකාරය පිළිබඳව නිරවුල් ව්‍යුහාත්මක පදනමක් තිබෙන බව පෙනේ. 1 සිට ...... 9, 0 වශයෙන් දැනට භාවිත වන මෙම සංකේත දහය, හින්දු - අරාබි ඉලක්කම් ලෙස පිළිගැනේ. හයවන සිය වසේදී පමණ ගණන් කිරීම සඳහා ඉන්දියාවේ ආරම්භ කරන ලද මෙම අංක, දොළොස්වන සිය වසේදී  පමණ, මැද  පෙරදිග  සිටි  ගණිතඥයින් විසින් යුරෝපීය රටවලට යොමු කර ඇතැයි විශ්වාසයක් පවතී.

අංක භාවිතය පිලිබඳ ඇති  දීර්ඝ ඉතිහාසයට සහ අංක භාවිතයට හාත්පසින්ම වෙනස්, වෙනත් අංක හරඹයක් මගින් අපගේ එදිනෙදා ජීවිතය වඩාත් සාර්ථක කරගැනීම සඳහා උපයෝගී කර ගත  හැකි යහපත් ගුණාංග  කිහිපයක් හෙළි කිරීම මෙම  සටහනේ අරමුණ වේ.

මෙය, අංක විද්‍යාව (numerology) සම්බන්ධ  හෝ අංක භාවිත කරන ‘මැජික්’ ගණයට අයත් ඇස් බැන්දුමක්ද නොවේ. අංක වලින් පෙන්නුම් කරන අගයයන් තුලින්, යහපත් ජීවිතයකට අදාළ කරුණු කිහිපයක වැදගත්කම විදහා දැක්වීම පිණිස ගණිතමය ක්‍රමවේදයක නිරවද්‍යතාවයක්ද  සහිතව තහවුරු කිරීමකි.

කෙනෙකුගේ ජීවිතය සාර්ථක කර ගැනීම පිණිස  දැනුම, ඇපකැපවීම සහ ආකල්ප බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව අප බොහෝ විට අසා ඇත. අපගේ පිවිසුමට අදාළ වන මෙම යහපත් ගුණාංග ඉංග්‍රීසි භාෂාවෙන්  

දැනුම - KNOWLEDGE,  ඇපකැපවීම - HARDWORK සහ ආකල්ප - ATTITUDE ලෙස දැක්වේ.
 
යම්කිසි කෙනෙකු තුළ, ඉහත දැක්වෙන යහපත් ගුණාංග සියයට සියයක්ම තිබෙතොත් එම පුද්ගලයා ඉතාමත් ඉහලම ගණයේ කෙනෙකු ලෙස පිළිගත හැකිය. විභාගයකදී හෝ වෙනත් සම්මුඛ පරීක්ෂණයක් වැනි අවස්ථාවකදී  ලබාගතහැකි උපරිම ලකුණු ප්‍රමාණය සියය වශෙයන් හැඳින්වීම සාමාන්‍ය ව්‍යවහාරයේ පවතී. එසේ වුවත්, බොහෝවිට  උපරිමය සියයට වඩා අඩුවෙන් ලබාගන්නා අයද  විභාග සමත් වෙති. එසේම යම් යම් රැකියා හෝ තනතුරු සඳහාත් තෝරා පත්කර ගැනේ.

ඉහත දක්වා ඇති මිනිස් ගුණාංග එකිනෙකට ඇති ගණිතමය වටිනාකමෙහි  උපරිමය  සියය ලෙස සැලකියහැකි  මිනුම් දණ්ඩකින් මැනීමේ ක්‍රමයක් ගැන කියවීමට අවස්ථාවක්, මට මෑතදී හමුවිය. මෙය කෙලින්ම ගණිත ක්‍රමයක් හෝ ගණිත සූත්‍රයක් නොවුවද, අප කලින් සඳහන් කළ පරිදි ඉලක්කම් වල අගයයන් සමග එක්තරා ක්‍රමයකට සම්බන්ධ කිරීමෙන් බොහෝ දුරට යථාර්ථය හෙළි කර ගත හැකි  පිවිසුමකි. කෙසේ වෙතත් මෙය අහඹු ගැලපීමක් මිස, කොයිම ආකාරයකින්වත්,  ගණිත සංකල්පයක් නොවන බව විශේෂයෙන් සඳහන් කළ යුතු වේ.

දැනුම, ඇපකැපවීම සහ ආකල්ප යන යෙදුම් සඳහා භාවිත වන ඉංග්‍රීසියෙන් කියවෙන  KNOWLEDGE, HARDWORK සහ  ATTITUDE යන වචන ගැන මඳක් විමසා බලමු. අපගේ පළමු පියවර වනුයේ, එම එක් එක්  වචනයේ ඉංග්‍රීසි අක්ෂර සඳහා ගැලපෙන අංකයක් යෙදීමයි.

ඒ සඳහා නියමිත අංක තෝරා ගනුයේ කෙසේද? මේ සඳහා පහසුම ක්‍රමය වන ඉංග්‍රීසි හෝඩිය වෙත සිත් යොමු කරමු.







ඉහත දැක්වෙන පරිදි, ඉංග්‍රීසි හෝඩියේ  මුල් A අකුරේ සිට, අවසාන Z අකුර දක්වා, අනුපිළිවෙලට  අංකණය කළ හැකිය. මෙසේ කළ විට A අකුර අංක 1  ලෙසත්  Z අකුර අංක 26 ලෙසත් දැක්වේ.

දැන් අපගේ යහපත් ගුණාංග ගැන සලකා බලමු. මේ සඳහා මුලින්ම   



                 දැනුම - KNOWLEDGE යන වචනය ගනිමු.
මෙම වචනයේ එක් එක් අක්ෂරයට හිමි අංකය දමා, එසේ ලැබෙන සියලුම අංක වල එකතුව ගනිමු. මෙය 96 බව පෙනේ. අපගේ මිනුම් දන්ඩේ උපරිම අගය 100 ලෙස සළකන බැවින් මෙම අගය 96% ලෙස දැක්විය හැකිය. 

දෙවනුව, අපගේ ඊළඟ යහපත් ගුණාංගය සලකා බලමු. 
  

                  ඇපකැපවීම - HARDWORK එම  වචනයයි.  
මෙම වචනයද කලින් ආකාරයටම විග්‍රහ කර බලමු. එම වචනයේ අක්ෂර වලට  නියමිත අංක යොදා, එම අගයයන් එකතු කල විට 98 ක් ලැබේ. අප තීරණය කර ගත් පරිදි මෙයද ප්‍රතිශතයක් ලෙස යෙදු කළ 98% වේ.

මීළඟට තුන්වන  යහපත් ගුණාංගය ගෙන  බලමු.  


                ආකල්ප - ATTITUDE යන වචනයයි.
මෙම වචනයේ සියලුම අක්ෂර වලට හිමි අංකය යොදා එම අංක එකතු කළ විට එකතුව ලැබෙනුයේ 100කි. මෙය ප්‍රතිශතයක් ලෙස යෙදු විට 100% ලැබේ.

අප විසින් සලකා බලනු ලැබූ ගුණාංග සියල්ලටම කලින් තීරණය කරනු ලැබූ මිනුම් දණ්ඩේ, 96%, 98% සහ 100%  ලැබී තිබෙන බව පෙනේ. මෙසේ ඉතා ඉහල ලකුණු ප්‍රතිශතයක්  ලබන මෙම  ගුණාංග සියල්ලම ජීවිතයට  වැදගත් බව මෙම අහඹු මිනුම් මගින් පැහැදිලි වේ. මේ අතරින්ද ආකල්ප  ඉතාමත්  වැදගත් බව 100% ලැබීමෙන්  හෙළි වේ.    

 දැනුම - KNOWLEDGE              96%                                                               ඇපකැපවීම-HARDWORK               98%                                                              
 ආකල්ප - ATTITUDE                  100%

අධ්‍යාපනික වශයෙන් මෙම කරුණු ගැන විමසා බැලුවත්, මෙම අංක හරඹයෙන් ලැබෙන ප්‍රතිඵලය ඉතාමත් නිවැරදි බව පෙනේ.  කෙනෙකුට කෙතරම් දැනුම් සම්භාරයක් තිබුනත්, තමන් කරනු ලබන ඕනෑම කාර්යයකින් උපරිම ප්‍රතිඵල ලබාගැනීම සඳහා දැනුම මෙන්ම මනා ඇපකැපවීමක්ද  අවශ්‍යවේ. 

මෙය තවත් දීර්ඝ වශයෙන් විග්‍රහ කිරීමේදී  දැනුම සහ ඇපකැප වීමටත් වඩා,  ඕනෑම කෙනෙකුට තම ජීවිතය සාර්ථක කර ගැනීම පිණිස    තිබිය යුතු උසස්ම  ගුණාංගය වනුයේ යහපත් ආකල්ප බව පැහැදිලිය. සාමුහිකව වැඩ කටයුතු කිරීම, සෙසු අයගේ අදහස් වලටද ගරු කිරීම, ඉවසිලිවන්ත බව, බුද්ධිය මෙහෙයවා තීරණ ගැනීම, සුහදශීලී බව ආදිය ප්‍රධානතම යහපත් ආකල්ප වලින් කිහිපයකි.

මේ අතින් බලනකළ, කිසියම් අදෘශ්‍යමාන ගණිතමය පසුබිමක්ද ආදේශ කර ගනිමින්, ATTITUDE නමින්  හැඳින්වෙන යහපත් ආකල්පමය ගුණාංග, කෙනෙකුගේ ජීවිතය සාර්ථක කරගැනීමට ඉවහල් වන බවට හේතු  විය හැකි බව සනාථ කළ හැකිවේ.




17 comments:

  1. ස්තුතියි ආර්යන්

    ReplyDelete
  2. ඒකනං නියමයි.
    අනිත් දෙක මොන තත්වයෙන් තිබුණත් මනුස්සයගෙ ආකල්ප හොඳ මට්ටමේ නැත්තං වැඩක් නැති වෙන්න පුලුවන්.

    ReplyDelete
  3. ස්තුතියි ප්‍රසන්න,
    ATTITUDE යන වචනයට 100 % ලැබීම ඉතාමත් අහඹු දෙයක් නේද? ඒ උනත් කරණය සහතික ඇත්ත.

    ReplyDelete
    Replies
    1. හොඳ ATTITUDE එකක් නැති අයව HOSPITAL යැවිය යුතුයි!

      Delete
    2. යහපත් ATTITUDES නැති අය කොහොමත් අසනීප කාරයෝ තමයි. මට හිතෙන්නේ ඒ අය යායුතු තැන MENTAL HOSPITAL කියල.

      Delete
  4. මගේ නම් මේ දිනවල Laziness එක ඉහ වහා ගිහින්!

    ReplyDelete
    Replies
    1. ඒ උනත් මේ "මිනුම් දණ්ඩේ" හැටියට Laziness වලට ලැබෙන්නෙත් සියයට 97 යි !

      Delete
  5. රැකියාවේ දී අත්‍යාවශම වෙන්නේ KNOWLEDGE හෝ HARDWORK හෝ හෝ ATTITUDE නොව BULLSHITTING ය. සියයට එකසිය පනහකට වඩා එය වැදගත් වේ!

    ReplyDelete
  6. ස්තුතියි රසික,
    BULLSHITTING යන වචනයට මලලසේකර ඉංග්‍රීසි ශබ්දකෝෂයේ දී තිබෙන තේරුම "වැදගැම්මකට නැති විකාර කිරීම" යන්නයි. මේ පරිමාණයෙන් ඒකට 141% ක් ලැබෙනවා. මේ නිසා ඔබගේ අදහස සමහර / බොහෝ රැකියා වල පිස්සු කෙළින අයට හොඳට ගැලපෙනවා.

    ReplyDelete
  7. ලිවීම හෙවත් WRITING තව එක ක්‍රමයක් 100% ලබාගන්න...

    ReplyDelete
    Replies
    1. හොඳ researcher කෙනෙකුට wholesale එකේ publicly, syndicate නොකර 100% ගන්න පුළුවනි.

      Delete
    2. Thank you for your research.
      RESEARCHER කෙනෙකුට 100% ලැබෙනවානෙ.
      wholesale, syndicate දෙකත් ඒ වගේමයි. publicity තමයි ඕනෑවට වඩා කැපී පෙනෙන්නේ. ඒ නිසා ඒක අතහැර දමමු. තවත් මේ වගේ 100% ලැබෙන යහපත් ගුණාංග ගැන සිතා බලමු. මේවායේ ගණිතමය සම්බන්ධයක් ඇත්තටම තිබේද යන්නත් විමසා බැලුවොත් හොඳ නේද?

      Delete
  8. ස්තුතියි තිසර,
    බොහෝ කලකින් හමුවුයේ. 100% ලැබෙන WRITING යන්නට ඔබත් අනුගත කෙනෙක් බව දන්නවා. ඒ උනත් Blog සටහන් වලින් නම් හමු වෙලා නැහැ වගෙයි. ATTITUDE වගේම WRITING 100% ගැනීම මේ ගොඩටම දමාගත හැකි කුසලතාවක් ලෙස සලකමු.

    ReplyDelete