Wednesday, 7 March 2018

ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රාන්තයේ, ‘උලුරු’ (Uluru) පර්වතය පිහිටි යුනෙස්කෝ සංස්කෘතික උරුම වනෝද්‍යාණයේ සංචාරයක් . .3


(  තුන්වන කොටස) 

දෙවන කොටසේ අවසානය :(කාන්තාරයක් ලෙස නම්කර තිබෙන මෙම වනෝද්‍යාණයේ මිරිදිය පොකුණු සහ තාවකාලික දියඇලිද තිබෙන බව ඇසීම අපට මහත් විශ්මය දනවන තොරතුරක් විය......)


(මෙම ඡායාරුපය අන්තර්ජාලයෙනි  http://www.abc.net.au/news/image/1205418-3x2-940x627.jpg)

ජල පොකුණු ආශ්‍රීත ප්‍රදේශය කාන්තාර ස්වභාවයෙන් ඉඳුරාම වෙනස්ය. මේ අවට විශාල වෘක්ෂ, පඳුරු සහ කුඩා පැළෑටි සහිත යටි වගාව ඉතාමත් සශ්‍රීකව වැඩි තිබෙනු දකින්නට ලැබිණ.

අපගේ  උපදේශකවරයා ඒ අවට ජෛව විවිධත්වය පිළිබඳවද අගනා විස්තරයක් කළේය.

‘මේ අවට තිබෙන සියලුම ගහකොළ වලින් ආදීවාසීන් තම ආහාර, බෙහෙත් වර්ග, ඉන්ධන, වස්ත්‍ර, පුද පූජා සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වැනි සියලුම දේ ලබාගෙන තිබෙනවා. මෙහි ඇති  සමහර පලතුරු වර්ග, ඇට වර්ග සහ අල වර්ග  වෙනත් කිසිම ප්‍රදේශයක දකින්නට නැහැ. මෙතෙක් කිසිම කෙනෙකුගේ විමසිල්ලට ලක් නොවූ ශාක මෙහි ඕනෑතරම් තිබෙනවා.’



අපේ ගමන් මග ආසන්නයේම.  ගෙඩි වලින් බරවී තිබුණු අත්තික්කා ගසක හැඩහුරුකම ඇති ගසක් පෙන්වූ ඔහු එය wild Fig ගසක් බවත් එම ගෙඩි මිහිරි රස ඇති පළතුරක් බවත් ප්‍රකාශ කළේය. මග අසලම තිබුණු කුඩා පඳුරක ඉදුනු ගෙඩි  කිහිපයක්  කඩාගත් ඔහු ඒවා  කැලෑ ‘ප්ලම්’ වර්ගයක් බවත්  ඒවාද සාමාන්‍ය ‘ප්ලම්’ තරමටම රසවත් බවත්, ආදී වාසින් ආහාරයට ගත් මෙවැනි පලතුරු මෙම පරිසරයේ බොහෝ තිබෙන බවද කීවේය. 

එහි ඇති සත්ත්ව විශේෂ පිළිබඳවද ඔහු විසින් කෙටි විස්තරයක් කරන ලදී.

‘මෙම පරිසරයේ සිටි බොහෝ සතුන් දඩයම් කිරීම සහ බාහිර ප්‍රදේශ වලින් ගෙනෙන ලද විලෝපියයන්ගේ ගොදුරු බවට පත්වීම නිසා විනාශ මුඛයට පත්වී  තිබේ. මෙයින් සමහර සතුන් සදහටම මෙලොවින් තුරන් වී ඇති අතර ඉතිරිවී ඇති සතුන්ද වඳවී යාමේ තර්ජනයට ලක්වී සිටිති. කෙසේ වෙතත් මේ ඛේදජනක තත්ත්වය අවම කර ගැනීම පිණිස බලධාරීන් විසින් යම් යම් පියවර ගෙන තිබිම සතුටට කරුණකි’.

පර්වතය මුදුනේ සහ පාමුල ඇති තාවකාලික මිරිදිය පොකුණු වල ජලය තිබෙන කාල වලදී ඒවා මනා ජෛව විවිධත්වයකින් යුක්තය. විශේෂයෙන්ම මැඩියන් වැනි උභය ජීවීන් සහ මිරිදිය කූණිස්සන් වැනි ක්‍රස්ටේශියා  සතුන්ද  ඒවායේ බහුල ලෙස දකින්නට ලැබේ. තවත් වැදගත් ලක්ෂණයක් වනුයේ මෙම ජීවීන්ගේ බිත්තර දිගු  ඉඩෝර කාලයේදී, ජලය හිඳී ගිය පසු ඇතිවන විෂම කාල සීමාව, කාලතරණය (hibernation) කර, නැවත ජලය ලැබුණු පසු නව ජීවනය ලබා ප්‍රකෘති තත්ත්වයට පත්වීමයි.



මෙසේ කාලතරණය කරණු ලබන එක්තරා සුවිශේෂී  මිරිදිය ජීවියෙකු පිලිබඳව සටහනක් තැබීම මෙහිලා වැදගත්ය. ඉහත ඡායාරූපයේ දැක්වෙනුයේ  සත්ත්ව වීද්‍යාඥයින්  විසින් ‘ජීවමාන ෆොසිලයක්’ (living fossil) ලෙස හඳුන්වනු ලබන මිරිදිය කූණිස්සෙකි.

‘ඉස්ගෙඩි කූනිස්සා’ (Tadpole shrimp) යන නමින් හඳුන්වනු ලබන මේ කූනිස්සා මිට වසර මිලියන 250 කට පමණ පෙර ට්‍රියෑසික්‌ (Triassic) භූ යුගයේදී ජර්මනිය වැනි ලෝකයේ වෙනත් ප්‍රදේශවලද ජීවත්ව සිටි බවට පාශාණිභූත සාක්ෂි ලැබී තිබේ. මෙම කූනිස්සන් උලුරු පර්වතය මත දිය කඩිති වල තවමත් ජීවමානව සිටීම විශේෂත්වයකි. මෙය ඇත්තෙන්ම මෙම ජීවියාගේ පරිණාමයට තිත තැබීමක්ද? අද ලොව සිටින වෙනත් කිසිම ජීවියෙකු, වර්තමානයේ  සිටින තත්ත්වයෙන්ම, මීට වසර මිලියන 250 කට පෙරද ජීවමානව සිටි බවට‍ කිසිම පිළිගත් සාක්ෂි නොමැත. ඒ නිසා ඉතාමත් විරල මෙම කූනිස්සා ගැන ඇසීමට  ලැබීමද අපගේ භාග්‍යයක් ලෙස සැලකිය හැකිය.

උලුරු-කාටා ට්ජුටා  (Uluru–Kata Tjuta) ජාතික වනෝද්‍යාණය, 1958 වර්ෂයේදී  අයර්ස්-ඔල්ගා පර්වත ජාතික උද්‍යානය යන නමින් ආරම්භ කරන ලදුව, පසුව 1993 වර්ෂයේදී, එය උලුරු-කාටා ට්ජුටා  (Uluru–Kata Tjuta) ජාතික වනෝද්‍යාණය,  නමින්  යළි නම් කර තිබේ. ඔල්ගා යන නමින් කලින් හැඳින්යේ  උලුරු සිට කිලෝමීටර් 30 ක් පමණ දුරින් පිහිටි  කාටා ට්ජුටා කුඩා  පර්වත සමුහයයි. මෙම වනෝද්‍යාණයට  වර්ග කිලෝමීටර් 1326 ක වපසරියක් අයත් වේ. (ශ්‍රී ලංකාවේ බිම් ප්‍රමාණය  වර්ග කිලෝමීටර් 65,000 ක් පමණ වේ)

ඕස්ට්‍රේලියානු රජය විසින්, 1995 වර්ෂයේදි මෙම වනෝද්‍යාණයේ අයිතිය එම භුමියේ අයිතිකරුවන් වන ඇබෝරිජින් ජනතාවට නිල වශයෙන් පවරාදෙන ලදී. ඒ සමගම ඇබෝරිජින් ජනතාව විසින් වනෝද්‍යානය සහ ඓතිහාසික  උලුරු පර්වතය අනූනව අවුරුදු බදු ක්‍රමයට, ඕස්ට්‍රේලියානු රජයට පවරා දී ඇත. දැනට මෙම බදු  ගිවිසුමට වසර විසි දෙකක් ගතවී තිබේ. මෙම වනෝද්‍යාණය, UNESCO ලෝක උරුම ස්වාභාවික උද්‍යාණයක් ලෙස නම් කර ඇත්තේ 1987 වර්ෂයේදීය . මෙම වනෝද්‍යාණයේ සංස්කෘතික වැදගත් කම නිසාම, 1994 වසරේදී එය යුනෙස්කෝව විසින් සංස්කෘතික පර්ශ්‍රයක් වශයෙන්ද නැවත පිළිගන්නා ලදී. ලෝකයේ මෙවැනි ද්විත්ව පිළිගැනීමක් ඇති යුනෙස්කෝ ජාතික උරුම ඇත්තේ ස්වල්ප ගණනකි.

පර්වතය අවට ප්‍රදේශය කර්කශ කාලගුණයක් සහිත කාන්තාර ස්වභාවයක් උසුලතත් එහි සැලකියයුතු ජෛව විවිධත්වයක් දකින්නට ලැබේ. මෙහි ඇකේෂියා, කාන්තාර ඕක්‌, යුකැලිප්ටස් වැනි වෘක්ෂ සහ වෙනත් පඳුරු සහ කුඩා පැළෑටි විශේෂ 400 ක්‌ පමණ හඳුනාගෙන තිබේ. සතුන් වශයෙන්, රතු කැන්ගරු සහ වෙනත් කුඩා මාර්සුපියල් ගණයේ සත්ත්ව විශේෂ කිහිපයක්ද, සර්පයින් සහ වෙනත් උරග විශේෂ කිහිපයක් සහ කුරුල්ලන් විශේෂ 175 පමණද සිටින බව අධ්‍යයනය කර තිබේ.

සොබා මං පෙතේ පා ගමනින් පසුව අපට, එම පර්ශ්‍රයේම තරමක් දුරින් පිහිටි ඇබෝරිජන්  සංස්කෘතික මධ්‍යස්ථානය නැරඹීමට හැකිවිය. ඉලුක්‌ වැනි ස්වාභාවික ද්‍රව්‍ය  වලින් වහලය සෙවිලි කර තිබුණු සංස්කෘතික මධ්‍යස්ථානය එම පරිසරයට ගැලපෙන පරිදි සකස් කර තිබුණු මැටි බිත්ති සහිත ගොඩනැගිලි සංකීර්ණයකි. අපගේ චාරිකාවේදී දකින්නට ලැබුණු, අසා දැනනගන්නට ලැබුණු  සහ නිරීක්ෂණය කරන්නට ලැබුණු බොහෝ දේවල් පිලිබඳ තවත් සත්‍ය තොරතුරු රාශියක් එම මධ්‍යස්ථානයේදී දැක ගන්නට ලැබුණි. ලබාගත් දැනුම තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා සංස්කෘතික මධ්‍යස්ථානය බොහෝ සේ ප්‍රයෝජනවත් විය.

එදින සවස් වරුවේදී මෙතෙක් ලබා නැති ආශ්වාද ජනක විනෝදාංශයක්  භුක්ති විඳීමටද අපට අවස්ථාවක් ලැබුණි. ඒ ඔටුවන් පිට යාමයි. නිවාඩු නිකේතන වල සිට කිලෝමීටර දෙකක් පමණ ඈතින් ‘ඔටු ගොවිපලක්’ ස්ථාපනය කර තිබේ. ඕස්ට්‍රේලියාවේ මධ්‍ය කාන්තාර ප්‍රදේශයේ වනාන්තර වල වන ඔටුවන් (wild camels) මිලියනයක් පමණ සිටිති. මෙම ඔටු ගහණයෙන් අල්ලා ගෙන හීලෑ කරන ලද ඔටුවන්ගේ පිට උඩ යාම  සංචාරකයින් ප්‍රිය කරන විනෝදාස්වාදයකි.

කටකලියාවක් සහ සෑදලයක් (saddle) ඔටුවාගේ පිට මත සවිකර එහි දෙදෙනෙකුට පහසුවෙන් වාඩිවී යා හැකි ආසන දෙකක් සවි කෙරේ.



ඔටුවාගේ පිට මත නැගීම, පහසු වීම සඳහා අට්ටාලයක්ද සකස් කර ඇත. මෙහි මෙසේ ඇතත්, අරාබිකරයේ නම් පිට මතට නැග ගැනීම පිණිස,  ඔටුවා පාද නමා බිම දිගා විය යුතු බවද අපි දැන ගතිමු. ‘කාන්තාරයේ නැව’ නම් විරුදාවලියකින් හඳුන්වනු ලබන ඔටුවන් කාන්තාර තරණය කිරීම සඳහා මිනිසාට නැතුවම බැරි සතෙකු බව අපට එදින හොඳින්ම තේරුම් ගත හැකි විය.

අපගේ කණ්ඩායමේ සියලු දෙනාම පාහේ මොල්ලි දෙකක් සහිත ඔටු  පිටක ඇති මට සිලුටු භාවය හෝ රළු භාවය රිසිසේ භුක්ති විඳින්නට අවස්ථාවද ලබාගත්හ.

ඔටු පිට යාමේ විනෝදාස්වාදයෙන් පසු අපගේ චාරිකාවේ නියමිත වැඩ කොටස අවසන් විය.

එදින රාත්‍රී ආහාරයෙන් පසු සියලු දෙනාම නිවාඩු නිකේතන පරිශ්‍රයේ ඇති එළිමහන් වේදිකාව අසල තණ පිටියේ නැටුම්, ගැයුම්, වැයුම් සහිත සංගීත සන්ධ්‍යාවක් පවත්වා විනෝද මිහිරක්ද ලැබුවෙමු.

පසුදින (6 වනදා ) උදේ ආහාරයෙන් පසු අප පාවිච්චි කළ නිවාස ආපසු භාරදී, මෙල්බර්න් බලා ඒම පිණිස උලාරා ගුවන් තොටුපලට පැමිණ ගමනක අවසානය සනිටුහන් කළෙමු.

උලුරු - කාටා ට්ජුටා,  යුනෙස්කෝ ජගත් උරුම වනෝද්‍යානයේ කරගෙන යනු ලබන සංරක්ෂණ කටයුතු

       උලුරු - කාටා ට්ජුටා,  යුනෙස්කෝ ජගත් උරුම වනෝද්‍යානයේ කරගෙන යනු ලබන සංරක්ෂණ කටයුතු සඳහා ආදී වාසිකයින්ගේ පාරම්පරික දැනුම් සම්භාරය සහ නවීන විද්‍යා සහ තාක්ෂණ දැනුම බද්ධ කර ගන්නා අකාරයද විමසා බැලීම ප්‍රයෝජනවත්ය. මෙම කරුණු සොයා ගැනීම සඳහා විෂයය සම්බන්ධව ලියවී ඇති විවිධ ලිපිලේඛන (අන්තර්ජාලයද ඇතුළු) විමර්ශනය කරන ලදී.

ඕස්ට්‍රේලියාවේ ඇබොරිජන් ආදී වාසිකයින්ගේ ප්‍රධානතම ජන සමුහයක් වනුයේ අනන්ගු (Ananagu) ජනතාවයි. ඔවුන් විසින් ඇබොරිජන් නොවන විදේශිකයින් හැඳින්වුයේ පිරන්පා (Piranpa) යන නමින්ය. අනන්ගු ජනතාව විසින් කාලාන්තරයක් තිස්සේ රැක ගෙන එන ලද සංස්කෘතික සහ පාරම්පාරික වටිනාකම් සහ දායාදයන්  පිරන්පා ජනයා විසින් පරිහානියට ලක් කර ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

මේ බව තේරුම් ගත් ඕස්ට්‍රේලියානු බලධාරින්, ආදිවාසීන්ගේ ජනජීවිතයට බොහෝ සෙයින් සමීප සහ  පූජනීයත්වයේ ලා සලකන  උලුරු පර්වතය සහ ඒ අවට ප්‍රදේශය සංරක්ෂණය කිරීම සහ යලි පිබිදවිම සඳහා නිසි පියවර ගෙන තිබේ. මේ වනවිට ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මෙසේය. 

·        අනන්ගු (Ananagu) ජනතාව, විද්‍යාඥයින් සහ වන ජීවී සංරක්ෂණ නිලධාරීන් සමග සුහදව එක්වී,ඔවුන්ට ආවේනික නීති රීති වලට අනුකූලතාව දක්වමින් වන ජීවීන් රැක බලා ගැනීම වෙත සිත් යොමු කරති.
·        පිරන්පා (Piranpa)  වන සංරක්ෂකයින් විසින් විද්‍යාත්මක දැනුම ආයෝජනය කරන අතර, තෝරාගත්   අනන්ගු (Ananagu) තරුණ පිරිසක් සංරක්ෂණ ක්‍රමවේද හදාරන අතර ඔවුන් විසින් තම පාරම්පරික නායකයින්ගෙන් ලබාගන්නා දැනුමද තම ක්‍රියාවලියට ආදේශ කර ගනිති.
·        උලුරු - කාටා ට්ජුටා වනෝද්‍යාණයේ සංරක්ෂණ කටයුතු වලදී මූලික වශයෙන් ලැව් ගිනි මැඩ පැවැත්වීම  සහ ආගන්තුක ශාක සහ විලෝපීය සතුන්ගේ සංක්‍රමණය මැඩපැවැත්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරති.
·        ධරණීයභාවය  සහ තිරසාරභාවය මූලික කර ගනිමින්, එසේම සංචාරක කටයුතුද අඩපන නොවන ආකාරයට වසර කිහිපයක් ඉදිරියට  සංවර්ධන කටයුතු කරගෙන යාම පිලිබඳ මනා සැලසුමක් සකස්  කර තිබේ.

·         මෙතෙක් විශේෂ අවසරය ඇතිව පර්වතයට නැගීමට ඉඩකඩ තිබූ නමුත්, එහි ඇති අනාරක්ෂිත භාවයත්, පර්වතය ආදිවාසි පූජනීය ස්ථානයක් නිසාත්, මෙම වසරේ සිට එය තරණය කිරීම අත්හිටුවා තිබේ. 
                                                                          
  
වසරකට මෙ‍ම සංරක්ෂිත උද්‍යාණයට සංචාරකයින් 250,000 ක් පමණ පැමිණෙති. උද්‍යාණයේ ශුෂ්ක ස්වභාවයත්, දුර කතරක පිහිටීමත් නිසා එහි පිරිසිදු ජලය, සෞඛ්‍ය සහ නේවාසික යටිතල පහසුකම් සැපයීම දුෂ්කර කාර්යයක් වී තිබේ.

මෙම පරිසරයේ සුලභව සිටි, මෑත කාලයේදී සම්පූර්ණයෙන්ම තුරන් වී ඇති ‘මාලා’ යන නමින් හඳුන්වනු ලැබූ ‘ rufous  hare wallaby’  නම් කුඩා ඌරු මියෙකු වැනි වොලබි ජීවියා නැවත පරිසරයට යොමු කිරීම සඳහා සුවිශේෂී සංරක්ෂණ ක්‍රම වේද භාවිත වේ. 


පොලොව යට හාරාගන්නා ලද ගුල් වල වාසය කරන මෙම වොලබියාටද කන්ගරුවන්ට මෙන් උදර ප්‍රදේශය යට, පැටවුන් රඳවා  ගැනීම සඳහා පැසක් (pouch)   තිබේ. මේ නිසා මොවුන්ද  Marsupial සතුන් ලෙස සැලකේ. මොවුන් ගුල්වලින් පිටතට පැමිණෙනුයේ වර්ෂාව පවතින විට පමණකි.

මෙම වොලබියන් සංරක්ෂණය සඳහා 2005 වසරේදී, උතුරු ප්‍රාන්තයේ රක්ෂිතයක, හෙක්ටෙයාර් 170 ක බිම් පෙදෙසක් වටා ආරක්ෂක වැටක් බැඳ, හිවලුන් වැනි  විලොපියයන්ගේ ආක්‍රමණය වලක්වා ගැනීමට පියවර ගෙන තිබේ. ආරම්භයේදී, පිටින් ගෙනැවිත්, මෙම ආදර්ශ පරිසරයට මුදාහැර ආරක්ෂා කරන ලද  මාලා සතුන් 24 දෙනෙකුගෙන් සාර්ථක ලෙස බෝවීම නිසා, දැනට එම රක්ෂිතය තුළ සතුන් දෙසියයක් පමණ සිටින බව ගණනය කර ඇත. ඉදිරි කාලයේදී මෙම සතුන් වනෝද්‍යාණය තුළට නිදැල්ලේ යැවීමට නියමිතය.

ආදී වාසීන්ගේ සංස්කෘතික උරුමයන්ද ආරක්ෂා කරමින්, ඔවුන්ගෙන් පැවත එන,  භුමියේ හිමිකරුවන්, වනසංරක්ෂක නිලධාරීන් ලෙස මෙම වනෝද්‍යාණය සංරක්ෂණය කිරීමේ කටුයුතු සඳහා යොදවා ගැනීම ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් ගන්නා ලද  ඉතාමත් සතුටු දායක පියවරකි. එසේම නව විද්‍යාත්මක සහ තාක්ෂණික මෙවලම් සහ අධ්‍යයන ක්‍රමවේද භාවිත කරමින්, පාරම්පරික නීති රීති සහ ක්‍රමෝපායයන්ද ඒ සමග මුසු කර ගනිමින් මෙම පරිසරයේ සිදු කරගෙන යන සංරක්ෂණ වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීම පිණිස යුනෙස්කෝ ආයතනය මගින්ද දක්වන අනුග්‍රහය ප්‍රසංශනීයය.

(ස්තුතිය: ඡායාරූප කිහිපයක් සහ වීඩියෝ පට සඳහා, බන්දුල කෑඳරගම මහතාට.)




14 comments:

  1. රටක වටිනාකමක් නැංවෙන සතා සිව්පා සම්පතයි
    පිනක මහිමය නිසා පරිසර ගෙනෙන්නේ අභිමානයයි
    දුරක තිබුනත් රැකිය යුත්තේ ජෛව විවිධත්වය තමයි
    මතක නැංවෙන මෙවැනි ලිපියක ගෞරවේ නිති ඔබටමයි...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී,
      දුර ක වුවත් චාරිකාවෙන් ලැබූ දැණුමත් හරි අගෙයි
      නිසැක ලෙස ලත් විනෝදයකුත් ඒ සමග ආ මිහිරියාවයි
      වර ක දුටු ඒ ජන කොටස් වල කටුක දිවියේ දුබල දසුනයි
      මත ක සටහන් මැවී නැවතත් මා සිතෙහි හොල්මන් කරයි.

      ඔබට ජයම !

      Delete
  2. පාරම්පරිකව ජීවත්වෙන ‍මිනිස්සුත් එක්ක එකතුවෙලා මෙම පරිසරය රැක ගැනීම සහ නඩත්තු කිරීම සඳහා අදාල ආයතන ගන්නා මෙහෙය අගය කළ යුතුයි.
    පර්වතයට නැගල බලන්න තිබුණනං තවත් ලස්සන දේ බලන්න හැකිවෙන්න තිබුණ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      ඔවුන් දෙපාර්ශවයම එකතුවී, අවංකවම ක්‍රියාත්මක කරන සංරක්ෂණ කටයුතු සහ ඒ සඳහා උපයෝගී කර ගන්නා ක්‍රමවේද, මෙවැනි ආදිවාසින් සිටින ඕනෑම රටකට පහසුවෙන් ආදේශ කරගත හැකි බව මා විශ්වාස කරනවා.

      පර්වතයට නැගීම ගැන විවිධ මත සහ ගතානුගතික විශ්වාස තිබෙන නිසා අප කිසි කෙනෙක් ඒ ගැන උනන්දු වුයේ නැහැ.

      Delete
  3. ස්තුතියි වැව්...,

    මෙසේ ආමන්ත්‍රණය කිරීම හොඳද මන්දා?

    ReplyDelete
  4. ටැස්මේනියාවටත් ගියොත් search for Thylacine ගැන ලියන්න.
    එහෙ විතරක් නෙමෙයි මේන්ලන්ඩ්වලත් මෑතක් වෙනකන් ඉඳල තියනවනෙ. ක්ලෝන් කරන්නවත් මොනවත් ඉතුරුවෙලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. හන්ටර් බැලුවද ..??
      http://www.imdb.com/title/tt1703148/

      Delete
    2. ස්තුතියි Pra Jay,
      Thylacine ගැන අසා තිබෙනවා. ටැස්මෙනියාවේ රාජ්‍ය නිල ලාංචනයේත් මෙම සතා යොදා තිබෙනවා. වඳවී ගිය බවට සැක කළත්, මෑතදීත් දැක තිබෙන බවට ආරංචි තිබෙනවා.
      ටැස්මේනියා යාමට අවස්වථාක් ලැබුනොත් මේ ගැන සොයා බලන්නම්.

      Delete
    3. ස්තුතියි ඇනෝ,
      Link එක බැලුවා.

      Delete
  5. මෙම අගනා ලිපිය සම්පාදනය කල, ඔබට බෙහෙවින්ම ස්තුතියි.

    තව තවත් මෙවැනි ලිපි පලකිරීමට, දිරිය සහ ශක්තිය ඔබ වෙත ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුති කළාට ස්තුතියි,
      ඉඩ ලැබෙන විදියට තව ලියනවා.

      Delete
  6. පිළිතුරක් ලියන්න ප්‍රමාද වුණාට, මේ විස්තරය බොහොම ආසාවෙන් කියෙව්වා. මමත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නිසා දවසක මේක බලන්න යන්නත් හිතාගත්තා. බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර,
      ඔබගේ පිළිතුර දුටුවේ අදයි. පමාවීම ගැන කණගාටුයි.
      ඇත්තටම Uluru දැක බලා ගතයුතු වටිනා සංරක්ෂණ වැඩපිළිවෙලක්. ඕස්ට්‍රේලියාවේ යුරෝපිය සංක්‍රමණිකයන්ගෙන් ආදිවාසි ජනතාවට සිදුවී ඇති අසාධාරණය හරිම බරපතලයි. මේ බව තේරුම් ගෙන තිබෙන වත්මන් බලධාරීන් ඔවුන් නැවත නගාසිටුවීම ගැන බලවත් පරිශ්‍රමයක යෙදෙන බව පේනවා.

      Delete