Wednesday 14 March 2018

කපුටු කාක් ..... කාක් ..... කාක් ....... කපුටු කාක් ...... !



“ඇසෙන්නෙ කා කා හඬ සෑම පැත්තෙන්                                                                               නැගෙව් කියන්නා වැනි  වහාම නින්දෙන්                                                       දොරෙන් අඩක්‌ඇරියාම මේඑන්නේ                                                                                          සිහිල් සුළං ආයුබෝවන් කියා .....”

දශක හයකට හතකට ඉහතදී කුඩා දරුවන්ගේ, පාසැල් පාඩම් පොතක් වූ මුනිදාස කුමාරතුංග ශුරීන්ගේ ශික්ෂා මාර්‍ගය පොතෙහි ඇති ගීයක කොටසකි ඉහත දැක්වුයේ.

මෙහි සරලව දැක්වෙන එක්‌ අදහසක් වනුයේ හිමිදිරි උදයේ අවදිවීම සඳහා කපුටන්ගෙන් ලැබෙන අගනා පණිවුඩයක් පිළිබඳවයි. මෙහි සඳහන් වන කාලයේ වේලාව බලා ගැනීම පිණිස ඔරලෝසු හෝ වෙනත් උපකරණ පහසුවෙන් ලබාගැනීමට නොතිබුණු නිසා පාන්දර අවදිවීම සඳහා ‘කපුටා හඬන වෙලාව’ ප්‍රයෝජනයට ගෙන තිබෙන බව මෙයින් පෙනේ.

කපුටන් අපගේ ජීවිතය සමග බොහෝ සමීප පක්ෂීන් වුවද අපට ඔවුන්  පිළිබඳව නිරතුරුවම අසන්නට ලැබෙනුයේ අමිහිරි කතන්දර වේ.

කපුටා පිළිබඳව එවැනි කතන්දර බහුල වනුයේ ඌ ඇසට අප්‍රියජනක කාල වර්ණයෙන් යුක්ත, අමිහිරි නාදයකින් කෑගසන, ඕනෑම කුණු ගොඩක් අවුස්සන පක්ෂියෙකු නිසාවත්ද?

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් කපුටු විශේෂ දෙකක් දකින්නට ලැබේ. මේ විශේෂ දෙක වනුයේ ‘කොළඹ කපුටා’ (Corvus splendens) සහ ‘ගම්බද කපුටා’ (Corvus macrorhynchos) යන විශේෂ දෙකයි.


මෙයින් කොළඹ කපුටා නගරබද පමණක් ජිවත් වේ. උගේ ශරීරයේ පිහාටු තරමක් අළු පැහැයට හුරු කාළ වර්ණයකින් යුක්තය. බෙල්ල අවට ප්‍රදේශයේ කළු පැහැය අඩුවී අළු පැහැයක් ගනී. නාදයද එතරම් ගැඹුරු අමිහිරි එකක්  නොවේ. රංචු වශයෙන් ජිවත්වන කොළඹ කපුටෝ සර්ව භක්ෂක්යෝය.

ගම්බද කපුටාගේ මුළු ශරීරයම  තද කාළ වර්ණයෙන් යුක්ත වන අතර  උගේ පිහාටු වලද අපිලිවෙළක් දකින්නට ලැබේ. උන්ගේ ඉතාමත් රළු සහ ගැඹුරු නාදය අප්‍රිය ජනකය. මොවුන්ද රංචු වශයෙන් ජිවත්වන සර්ව භක්ෂක්යෝය.

ජීව විද්‍යාත්මකව එක් සත්ත්ව විශේෂයක් තවත් සත්ත්ව විශේෂයකින් වෙන්කර හඳුනාගන්නේ ‘ස්වාභාවික පරිසර තත්ත්ව යටතේ, ඔවුන් අතර අන්තර් අභිජනනය සිදුවීමෙන්   සරු ජනිතයින් හට නොගනී’ යන සිද්ධාන්තය මුලික කර ගනිමිණි.

මේ අනුව  ‘කොළඹ කපුටා’ සහ ‘ගම්බද කපුටා’ බොහෝ සමාන වූවත් එකිනෙකට වෙනස් කපුටු විශේෂ දෙකකි. ඒ නිසා ඔවුන් අතර අන්තර් අභිජනනයක් සිදු නොවේ. යම්කිසි හෙයකින් අභිජනනයක් සිදු වුවත් එම අභි ජනනය නිසා සරු ජනිතයින් හට නොගනී.

මිට වසර විස්සකට තිහකට පමණ ඉහතදී මා කොළඹ සේවය කළ ආයතනයේ මගේ කාමරය අසලම තිබුණු පොල් ගසක, කපුටු යුවලක් විසින් තනන ලද  අමුතු කපුටු කුඩුවක් පිලිබඳ යමක් මෙහිලා සඳහන් කිරීමට සිත්විය. දෙවන මහලේ තිබුණු මගේ කාමරයේ ජනේලයේ සිට කපුටු කුඩුවට දුර මීටර් තුනකට වඩා නොවිය. දින කිහිපයක් පොල් ගස මුදුනේ සැරි සැරූ කපුටු යුවළ කූඩුවක් තනන්නට පටන් ගත්හ.


දින කිහිපයකට පසු,  කපුටු කූඩුව දෙස විපරම් කර බැලූ මට, කපුටු යුවළ කූඩුව තනන්නේ Gauge 20 හෝ 22 පමණ ප්‍රමාණයේ යකඩ කම්බි වලින් බව දකින්නට ලැබුණි.

මේ නිසා පුදුමයට පත්වූ මම, මගේ රාජකාරි කටයුතු ටික වේලාවකට නතර කර, කපුටන් කම්බි ගෙනෙන ස්ථානය ගැන මඳක් සොයා බැලුවෙමි. මා දුටුවේ  යාබද යකඩ වැඩපලක  විවිධ ප්‍රමාණයන්ට කපා, අනවශ්‍ය නිසා,  ඉවත දමා තිබුණු මළ බැඳුනු කම්බි කෑලි ගොඩකින් තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ කම්බි කෑලි තෝරමින් සිටින කපුටු යුවළයි. මොවුන් ‘කොළඹ කපුටු’ යුවළකි.

 ‘කෝටු කෑලි ගෙනැල්ලා - පරඬැල් කොළ තබාලා                                                  තාලයකට තියාලා - පොඩි කුරුළු ගෙයක් තනාලා’

 යන සම්ප්‍රදායික කුරුළු නිවාස තැනීමේ  ක්‍රමවේදය වෙනුවට                                                                                                                        
 ‘කම්බි කැබලි ගෙනැල්ලා - හොඳ හැටියට නමාලා                                                  තාලයකට තියාලා - පොඩි කපුටු ගෙයක් තනාලා’

යනුවෙන් මොවුන්ගේ ක්‍රම වේදය වෙනස් කරණ ලද්දේදැයි මට සිතුණි.

මේ සිද්ධියත් සමගම මට කපුටන් ගැන තවත් කරුණු රැසක් මතකයට නැගුණි. අපගේ ගෙවතුවල නිතරම දකින්නට ලැබෙන කපුටාට වඩා කුඩා තවත් කාලවර්ණ පක්ෂියෙකි කවුඩා හෙවත් කවුඩු පණික්කියා



කපුටා අයිති පක්ෂි කුලයේවත් නොවන මොහු ‘කපුටු බෑණා’යන නමින්ද ගම්බද ජනයා විසින් හඳුන්වනු ලැබේ. ‘කපුටු බෑණා’ Sri Lanka  Dongo  වන අතර, සත්ත්ව විද්‍යාත්මක නාමය  (Dicrurus lophorinus) වේ.

කවුඩන්ට  බළලෙකුගේ ‘ඤාව්.. ඤාව්’ හඬ අනුකරණය කළ හැකි නිසා සමහර අවස්ථාවලදී  එසේ නාද කර බළලුන් රවටන අවස්ථාද දකින්නට ලැබේ. මිහිරි හඬින් ගී ගයන ‘කපුටු බෑණා’ කෘමි භක්ෂකයෙකි. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේත් කඳුකර ප්‍රදේශ වලත් දකින්නට ලැබෙන මෙම පක්ෂියා ප්‍රිය මනාප එකෙකි. 
 
කපුටන් අතර වෙනත් පක්ෂීන් අතර දකින්නට නොලැබෙන සමගියක් තිබේ. තම ආහාර සොයා යාමේදී කපුටන් බොහෝවිට යුගළ වශයෙන් සිටිතත්, ආහාරයක් ලැබුණුවිට හඬ නගා, තම සගයින්ද ගෙන්වා ගෙන ආහාරය  බෙදා හදා ගැනීම කපුටු වර්ගයාගේ සිරිතය. රාත්‍රී කාලයේදී කපුටන් රංචුවක් වශයෙන් එකතුවී විශාල ගසක ලැගුම් ගැනීම මගින්ද ඔවුන්ගේ සම්ගිය පෙන්වති. එසේම තම සගයෙකුට ආපදාවක් සිදුවූ විටකදී හඬනගා තම පිරිස ගෙන්වා ගැනීමටද ඔවුහු සමත් වෙති.



අප කුඩා කාලයේදී අසා තිබෙන ‘කපුටා සහ වතුර භාජනය’ වැනි සමහර ළමා කතන්දර වලදී කපුටු නුවණ ගැන සඳහන් කර තිබේ. ඒ සමගම ‘කපුටා සහ කේජු කෑල්ල’ කතන්දරයේදී කපුටා නරියාගේ කපටි කමකට හසුවූ හැටිද අසා ඇත්තෙමු.

තමන්ගේම කුඩුවක් සාදා ගැනීමට නොදන්නා (කොහාගේ ) කොවුලාගේ  බිරින්දෑ, හොර රහසේ, කපුටු කුඩුවකට රිංගා තම  බිත්තර එහි දමන බව අප පැරණි සාහිත්‍යයේ අසා තිබේ. මෙසේ දමන බිත්තර, තමන්ගේ බිත්තර සමගම රකින කපුටු දෙමහල්ලෝ බිත්තරවලින් එලියට එන පැටවුන්ද පෝෂණය කරති. එසේ හටගන්නා කොවුල් පැටවුන්, කපුටු පැටවුන් මෙන්ම කාල වර්ණ නිසා හඳුනාගැනීමට නොහැකිය. කෙසේ වෙතත් තරමක් වැඩුණු කොවුල් පැටවුන් වෙනත් හඬකින් නාද කරන  විට කලබල වන කපුටු දෙමහල්ලෝ ආගන්තුකයින් කුඩුවෙන් නෙරපන බව පැරැණ්නන්ගේ විශ්වාසයකි. (මෙය සත්‍ය සිද්ධියක්ද යන්න ඔප්පු කර නොමැති බව මෑතකදී කියවන්නට ලැබුණි) කොවුලා ‘පරපුටු’ (අනුන් විසින් පෝෂණය කරනු ලබන) යන නමින් හඳුන්වනුයේද  මේ නිසාය.

කපුටු කොවුල් විරසකයත් මෙම සිද්ධිය නිසාම ඇතිවුවක් විය හැකිය.  සිංහල අවුරුදු සමයේදී තම සහකාරිය ගෙන්වා ගැනීම සඳහා  නොකඩවා ගී ගයන කොවුලෙක් දුටුවිට ඌට කොටමින් පලවා හරින කපුටන් බොහෝවිට දැකිය හැකිය.

(මාර්තු අප්‍රියෙල් මාස වලදී කොවුලන් ගී ගයන්නේ අපට අලුත් අවුරුද්ද එන බව දැන්වීමට බවද කුඩා දරුවෝ විශ්වාස කරති.)

“කපුටු කාක් .... කාක් ....  -  ගොරක දේන්... දේන්...                                                 කපුටගේ කටේ වැල මදුලයි - පුතුගේ කටේ කිරී උගුරයි                                                        උසි කපුටා....... උසීයේ ...”

කියමින් අතීතයේ සිටි අපගේ අම්මලා තම දරුවන් නැළවූ බවද අසන්නට ලැබේ.

කපුටා කොපමණ ආහාර ගත්තත් නිරතුරුවම සාගින්නෙන් පෙළෙන සතෙකු බව ගැමියා විශ්වාස කරයි. සෙනසුරු ග්‍රහ අපලය තිබෙන අයට  සෙත් ශාන්තියක් ලබාගැනීම සඳහා ගිතෙල් මිශ්‍ර බතක් සකස් කර ‘බලු කපුටු දානයක්’ දීම අදද ගම්බද සමහර වැඩිහිටියන්ගේ සිරිතක්ව පවතී. ගිතෙල් මිශ්‍ර බත් නිසා කපුටු සාගින්න තරමක් හෝ අඩු වන බව ඔව්හු විශ්වාස කරති.

‘කළු කපුටා සුදු වනතුරු - මෝල් ගහේ දළු ලන තුරු                                                          සිය වසරට දෙසිය වසක් - ආවඩා... ආයුබෝ වේවා...’

දැනට දශක හතකට පමණ ඉහතදී, අපගේ සීයා කෙනෙකු,  අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ අවස්ථාවකදී ඉහත ජනගී පද ගයමින්  නව වසරට ආශීර්වාද කර දිගාසිරි  පැතූ බව මට තවමත් මතකයට නැගේ.

ඝර්ම කලාපිය ආසියානු ප්‍රදේශය මුල් නිජ භුමිය වූ කපුටන්ගේ විශේෂ රාශියක් ලොව බොහෝ රටවලට සංක්‍රමණය වී සිටිති. ඔස්ට්‍රේලියාව වැනි රටවලට නැව් වල සැඟවී සංක්‍රමණය වී තිබෙන කපුටන් සමහර අවස්ථාවලදී පාරිසරික උවදුරක්‌ ලෙස සැලකේ. කපුටා ස්වභාවයෙන්ම සර්ව භක්ෂකයෙකු හෝ කසල භක්ෂකයෙකු වන නිසා එරටට ආවේනික සමහර පක්ෂීන්ගේ බිත්තර කා දමන නිසාත්, පලතුරු වලට හානි කරන නිසාත්  ඔවුන්ගේ ගහණය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමටද සිදුවී තිබේ.  
  
කලකට පෙර අප රටේ ජීවත්ව සිටි ජනප්‍රිය කෙටි කතා රචකයෙකු වූ ටී. ජී. ඩබ්ලිව්. ද සිල්වා මහතා විසින් ලියන ලද උපහාසාත්මක කෙටි කතා මාලාවක හඳුන්වා දුන් පණ්ඩිත ඔල්මොරොන්දම්, භගලවති ඉස්කෝලේ හාමිනේ වැනි චරිත ජීවත්වූ මනඃකල්පිත දිවයිනට ‘කාකද්විපය’ යන නම යොදන්නට ඇත්තේද කපුටන්ගේ ‘ඔල්මොරොන්දම්’ ගති  පැවතුම් නිසා වන්නට ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මට්ටක්කුලිය අසල දර්ශනීය මුහුදු වෙරළ ප්‍රදේශය ‘කාක දුපත’ (Crow Island) යනුවෙන් අදටද හැඳින්වේ. මෙය දැනට ගොඩබිමට සම්බන්ධවී තිබුනත් අතීතයේදී දුපතක්ව තිබෙන්නට ඇති බව  විශ්වාස කළ හැකිය.

කපුටා බොහෝ අයගේ පිළිකුලට භාජන වන සතෙකු වුවද  ඌ පරිසර සමතුලිතතාවය රැක ගැනීම සඳහා විශාල මෙහෙයක් කිරීමට සමත් සතෙකි. කසල භෝජකයෙකු වන කපුටා වෙනත් සතුන්ගේ මළ කුණු භෝජනයට ගෙන පරිසරය පිරිසිදු කර දමයි. විදාගම මෛත්‍රිය මහා තෙරුන් වහන්සේ විසින් රචනා කරන ලද ලෝවැඩ සඟරාවේ පැදියකින්ද  කපුටාගේ මළකුණු බුදීමේ කෑදරකම ගැන මෙසේ සඳහන් කර තිබේ.

“ගඟ යන ඇත්කුණ ඉඳ මස් රස        ටා                                                                              සිදු මැද වැද වැනසුන මෙන් කපු      ටා”   
                                                      
අපට බොහෝ සමීප, එහෙත් කිසි කෙනෙකු අගය නොකරන කපුටන් ගැන ඔබ දන්නා  තවත් රසවත් තොරතුරු මෙයට එකතු කිරීමට කාරුණික වන්න. 
   



34 comments:

  1. කපුටා සෑම දෙයක්ම කෑවත් කපුටු මස් කිසිකෙනෙක් කන්නෙ නෑ කියල කතාවක් කියනව නේද? හැමටම උදව් කරන කෙනෙකුට කරදරයක් උනාම උදව් කරන්න කවුරුවත් නෑ කියන කතාවත් එයින් ගම්‍ය වෙනවා.

    ReplyDelete
    Replies
    1. හැලප මල්ලි,
      ලෝකයේ කිසිම තැනක කපුටු මස් කන බවක් නම් අසා නැහැ. ඒ ඌ සෑම කුණූ ගොඩක්ම අවුස්සා කන අපිරිසිදු පක්ෂියෙක් නිසා වෙන්නට ඇති.
      ඔබ කියන දෙවන කරුණ නම් බොහෝ දුරට සත්‍යයක්.

      Delete
    2. Do crows taste bad? Is that where the saying "to eat crow" comes from?
      http://www.birds.cornell.edu/crows/crowfaq.htm

      Delete
    3. Crow Meat Comes Back -- Boosts Sexual Potency?

      https://news.nationalgeographic.com/news/2009/06/090609-eating-crow-video-ap.html

      Delete
    4. Pra Jay,
      ස්තුතියි.
      ඔබගේ Links දෙකම බැලුවා. බොහෝ අලුත් තොරතරු දැනගන්නට ලැබුනා.
      // June 9, 2009—In Lithuania, eating crow isn't an exercise in public humiliation, as the English idiom suggests. Here, crow is literally eaten, and says one connoisseur, "it increases sexual potency."

      © 2009 National Geographic (AP)//

      මේ ආරංචිය ප්‍රචාරය උනොත් කපුටන්ටත් නරක දසාවක් ලබයිද?

      Delete
  2. කාක් ..... කාක් ..... කාක් ..... කාක් ..... කාක් ..... කාක් ..... කාක් ..... කාක් ..... කාක් ..... කාක් ..... කාක් ..... කාක් .....කාක් ..... කාක් .....කාක් ..... කාක් .....කාක් ..... කාක් .....කාක් ..... කාක් .....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මද්දා,
      හරියට හරි ! කෑමට රසවත් දෙයක් ලැබුණවිට මහා හඬින් කෑගසා තම සහෘදයින් සමග බෙදා හදා ගැනීම පිණිස කපුටන්ගෙන් හොඳ ආදර්ශයක් ලැබිලා වගෙයි.

      Delete
  3. පරිසරයට අනුව කූඩු හැදීමේ මාධ්‍ය වෙනස් කරන එක ගොඩක් කුරුල්ලො කරන දෙයක් වෙන්න ඇති. මේ පැත්තෙ කඩවල්වල ඉන්න ගේකුරුල්ලො කූඩු හදන්නෙ කඩවල් වල බඩු ඔතන්න තියෙන ගෝනි නූල් වලින්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      කුරුල්ලෝ විතරක් නොවෙයි තව බොහෝ සත්තුන්ගේ මේ ආකාරයේ අනුවර්තන දකින්නට ලැබෙනවා.
      කලකට ඉහතදී මම සෝදා වේලෙන්නට දමා තිබුණු socks දෙකකින් එකක් හිටි ගමන් අතුරුදහන් උනා. පසුව ඒ ගැන අමතක කර දැම්මා. ඊට මාස හයකට පමණ පසු ගෙදර වත්තේ පොල් ගසක වියලි අත්තක් වැටෙන විට අත හැර දැමු ලේන් කුඩුවක් බිමට වැටුනා. එක් ඇතුලේ නැතිවු sock එක නිරුපද්‍රිතව තිබුනා. ඒ වන විට අනිත් එකත් විසි කරළා !

      Delete
    2. ඒ එළිසමය සහ එළිවැට සහිත සිව්පද කවියක් නේද?

      Delete
    3. එහෙම ගන්නටත් පුළුවන්. තනිකරම "න" අකුර විතරක් යොදමින් සකස් කළ කවියක් කොහේදෝ දැක හිබෙනවාත් මතකයි.

      Delete
  4. "කපුටු කාක් කාක්" කියා ෆ්‍රෙඩී සිල්වා ගායනා කරන සමාජයේ කපටි කෙකරටික කම් ගැන කියවෙන අපුරු ගීතයක්ද තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්,
      මටත් ඒ ගැන යන්තම් මතකයක් තිබෙනවා.
      Link එකක් තිබෙතොත් පොස්ට් කරන්න

      Delete
  5. මාත් දැකල තියනවා කපුටෝ කම්බිවලින් කූඩු හදනවා.
    මං කොහෙ හරි කියෙව්වා. (G.M. හෙන්රි වෙන්න පුලුවන්, එහෙම නැත්නම් ෆෙල්සිංගර් ) ඒ කූඩු රත් වෙන නිසා බිත්තර නරක්වෙනවා (addled) කියලා.

    මේ තියෙන්නේ කෝට් හැන්ගර් කූඩු
    http://www.amusingplanet.com/2014/04/city-crows-build-nests-out-of-coat.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay,
      'කෝට් හැන්ගර් කූඩු' link එක බැලුවා. මට හිතෙන හැටියට කපුටන් යම්කිසි විශේෂ දෙයක් කුඩු සඳහා පාවිච්චි කරන විට ඒ දෙයම සොයා යනවා වගෙයි . දිරාගිය කෝටු කැබලි වලින් කූඩු සාදන විටත් එකම වර්ගයේ ලි කෝටුම සොයනවාද කියා Resaearch එකක් කරන්න වටිනවා.

      Delete
  6. Replies
    1. ස්තුතියි ඉයන්,
      නැවත හමුවෙමු.

      Delete
  7. කපුටා බුද්ධිමත් කුරුල්ලෙක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Sylvania,
      කපුටා ගැන බොහෝ දේ ලියවී තිබෙනවා. මේවා ගැන කියවන විට ඔවුන් බුද්ධිමත් නිසා ඕනෑම කර්කශ වටපිටාවක ජීවත් වීමට පහසුවෙන්ම අනුවර්තනය වෙනවා.
      ඇමෙරිකාවේ කපුටන් සහ ඒ ආකාරයේ පක්ෂීන් ගැන නිරීක්ෂණ සහ අධ්‍යයන කිරීම සඳහා සමාජ පවා පිහිටුවා ගෙන තබෙනවා. එයින් එකක් CORVID CORNER (All about Corvids (Crows, Ravens, Magpies, Rooks, Jays, etc)

      Delete
  8. සිත් ගත් තවත් රසවත් ලිපියක්. ස්තුතියි!

    // ඝර්ම කලාපිය ආසියානු ප්‍රදේශය මුල් නිජ භුමිය වූ කපුටන්ගේ විශේෂ රාශියක් ලොව බොහෝ රටවලට සංක්‍රමණය වී සිටිති. ඔස්ට්‍රේලියාව වැනි රටවලට නැව් වල සැඟවී සංක්‍රමණය වී තිබෙන කපුටන් //
    අප ජීවත්වන කැනඩාවේද බොහෝ පෙදෙස් වල කපුටන් බහුල වශයෙන් දැකිය හැක. මෙහි වෙසෙන කපුටන්ද, ඔබ පැවසු පරිදි නැව් වල සැඟවී සංක්‍රමණය වී තිබෙනවා වියයුතුයි.

    (කපුටන්ට අමතරව; කොබෙය්යන්, ගේ කුරුල්ලෝ, පරවියන් වැනි අපේ රටට අවේනික කුරුල්ලන්ද දැක ගත හැක. ඇතැම්විට මෙම කුරුල්ලෝද ඔබ සදහන් කළ අයුරු සංක්‍රමණය වූ කුරුල්ලන් විය හැක)

    සෙල්සියස් සෘණ 20 කට වඩා අඩු සීත කාලයේදී පවා උස් තුරු මුදුන් වල (අධික සුලන් හමන දිනකවුවත්, පත්‍ර රහිත උස් ගස්වල ඉහලම අතුවල රැදී සිටින) මෙන්ම ඉතා ක්‍රියාශීලීව අවට සරන දහස් ගණනින් යුතු විශාල කපුටු රංචු දැකිය හැක. සීත කාලයේ මෙවැනි කපුටු රංචු දකින සැම දිනකම, මොවුන් මෙවැනි දුෂ්කර පරිසර තත්වයකට කෙලෙස ඔරොත්තු දෙනවාද යන්න සොයාබලනවා යැයි සිතාසිටියද; අද වනතුරු එය මග හැරුනා. ඔබේ ලිපිය කියවූ විගස මා ඒ පිලිබද සෙවූ අතර, බොහෝ කරුණු දැනගැනීමට හැකි විය.

    අවශ්‍ය කෙනෙකුට කියවීමට පහත links දෙක සටහන් කරමි.

    https://www.thespruce.com/how-do-wild-birds-keep-warm-in-winter-386721

    http://corvidcorner.com/wordpress/2011/03/how-do-crows-stay-warm-in-the-winter/


    ReplyDelete
    Replies
    1. ස්තුතියි Unknown,
      කැනඩාවේ ජීවත් වන ඔබත් පරිසරයේ චමත්කාරය රස විදින අයෙකු බව දැනගන්නට ලැබීමත් සතුටක්. දුෂ්කර කාළ වකවානු තරණය කර ගැනීම සඳහා කපුටන් සහ වෙනත් එවැනි පක්ෂීන් ලබා ඇති අනුවර්තන පිළිබඳව ඔබ එවා ඇති Links කියවා බැලුවා. ඒවායින් නවතම තොරතුරු රාශියක් දැන ගත්තා.
      මගේ ලිපිය කියවා ඔබටත් කපුටන් ගැන සුවිශේෂ අධ්‍යයනයක් කිරීමට සිත්විම ගැන මාගේ ප්‍රණාමය!

      Delete
  9. ගමෙත් නගරෙත් බලය පතුරා ඉන්න කපුටන් මහ ගොඩයි
    රටෙත් පාරෙත් කසල ශෝධක ලෙසට උන් නිති වැඩ කරයි
    තවත් මේ ගැන කුමක් ලියමුද ලිපිය වටිනව ඇත්තමයි
    හෙටත් මෙවැනිම සත්ව ලෝකයෙ ගැනම ලිව්වොත් එය රසයි......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,
      වරක් මා දුටු 'කපුටු කූඩුව' අමුතු ආකාරෙකට පෙනුනා
      එයත් මුල්කර තවත් අදහස් පළකරන්නට මෙසේ සිතුනා
      කපටි කම්කර වූවත් කම් නැත පිරිස ගැන තම සොයා බලනා
      කසල ශෝධක කපුටුවා ගැන පරිසරය සමතුලිත කරනා
      ඔබට ජයම !!

      Delete
  10. කාක් ..... කාක් ..... කාක් ..... කාක් ..... කාක් ..... කාක් ..... කාක් ..... කාක් ..... කාක් ..... කාක් ..... කාක් ..... කාක් .....කාක් ..... කාක් .....කාක් ..... කාක් .....කාක් ..... කාක් .....කාක් ..... කාක් .....මරු කපුටු කතාව

    ReplyDelete
    Replies
    1. තඩි මල්ලි,
      කට හඬ අසා සගයෝ ටික රැස් වේවිද?

      Delete
  11. මා කුඩා කාලයේ නරඹා තියෙනවා කෙටි චිත්‍රපටියක් මිනිසා සහ කපුටා කියා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      මටත් ඔය ගැන යන්තම් මතකයි. ඒක කෙටි වාර්තා චිත්‍ර පටියක් නේද?

      Delete
    2. සමන් බොකලවෙල රගපෑ අප පාසල් ගිය කාලයේ චිත්‍රපට ශාලා වල දුවවපු ප්‍රධාන චිත්‍රපට යට කලින් පෙන්වූ කෙටිචිත්‍රපටියකි. වසර 1968 පමණ.

      Delete
  12. මෙතන කවි කිහිපයක්ම ඇති නිසා මට මතක් වුනේ මේ ප්‍රශ්නය අහන්න.

    පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ යන කවිය ලිව්වෙ කවුද කියලා දන්නවාද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      /පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ/ මෙම ගීතයේ මුල්ම රචකයා කවුද කියා හරියටම දන්නේ නැහැ. අප කුඩා කාලයේ භාවිත කළ, මුනිදාස කුමාරතුංගයන්ගේ ශික්ෂා මාර්ගයේ හෝ එස්.මහින්ද හිමියන්ගේ ළමා කව් කළඹ පොත්වල මේ ගීතය තිබුනා. කූඹියෝ ටෙලි නාට්‍යය කළ අය නම් මේ ගැන සොයා බලන්නට ඇතැයි සිතනවා.

      Delete
  13. කපුටන් ඇති කිරීම තහනම් කියල අහල තියෙනව. ඒ උන්ව හොරකමට පුරුදු කරන්න පුළුවන් නිසාලු?

    ReplyDelete
  14. කපුටු කතාව හරිම රසවත්. ඒ ඒ අවස්ථාවට උචිත කවි පද තෝරා ගෙන තිබීම කොතරම් වටිනවා ද ? මගේ පරණ සිංහල ගුරුතුමියක් මතක් වුණා. බ්‍රැන්ඩිගම්පොළ මහත්මිය. අනේ එතුමිය NIE එක ඉස්සරහ සිදුවූ අනතුරකින් අපෙන් සමු ගත්තා.

    ReplyDelete
  15. ස්තුතියි මාලිනි,
    ඔබගේ සටහන දැක්කේ තරමක් ප්‍රමාද වෙලා. මෙය ඇත්තම සිද්ධියක්. ඒ සඳහා මා යොදා ඇති කවි පද අප කුඩා කාලයේ ඉගෙන ගත් අදටත් මතකයේ තිබෙන ඒවා. ඒ කාලයේ අපටත් ඉතාමත් හොඳ ගුරුවරු සිටියා. ඒ අයගෙන් උගත් දේවල් සදා මතකයේ තිබෙනවා. බ්‍රැන්ඩිගම්පොළ මහත්මිය ගැන මා අසා තිබෙනවා. හදිසි මරණය ගැන කණගාටුයි.
    මගේ තව Blog සටහනක "රසවත් සාහිත්‍ය පාඩමක් ......." යන මැයෙන් තවත් ගුරුවරයෙක් සම්බන්ධ සිද්ධියක් ලියා ඇති.

    ReplyDelete
  16. කපුටෝ අහස් යන්තරා වලත් හැප්පෙනවාලු නේද???

    ReplyDelete