Tuesday, 6 March 2018

ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රාන්තයේ, ‘උලුරු’ (Uluru) පර්වතය පිහිටි යුනෙස්කෝ සංස්කෘතික උරුම වනෝද්‍යාණයේ සංචාරයක් . 2

(දෙවන  කොටස) 

පළමුවෙනි කොටසේ අවසානය :(පර්වතය අබියස සිට ජාතියක් වශයෙන් අපගේ නිවහල් බවේ සංකේතය හඬගා කීමට අවස්ථාවක් ලැබීම, අපට කිසිදිනක අමතක නොවන වැදගත් සිද්ධියකි.........)

        අපගේ වැඩ සටහනේ මීළඟ කාර්යය වුයේ උලුරු පර්වතයේ සිට තවත් කිලෝමීටර් 30 ක් පමණ දුරින් පිහිටි තවත් පර්වත සමුහයක් නැරඹීමයි. උලුරු පර්වතයට වඩා වෙනස් පිහිටිමකින් යුක්ත, මෙම පර්වත සමුහය හඳුන්වනුයේ කාටා ට්ජුටා (Kata-Tjuta) යන ආදීවාසිකයින් විසින් භාවිත කරන ලද නමින් ය. මෙහි විශේෂත්වයක් වනුයේ බොහෝ දුරට ගෝලාකාර එකිනෙකින් වෙන්වූ පර්වත ශිඛර සමුහයක් වන මේවා තනි පර්වතයක් වන උලුරු වලට වඩා වෙනස් ස්වරුපයක් දැරීමයි. මෙම පර්වත සමුහයද ආදි වාසීන්  විසින් පූජනියත්වයේ ලා සලකණු ලැබේ.
 
එදින සවස් වරුවේ ආදීවාසිකයින්ගේ ඔවුනටම ආවේනික සංගීත භාණ්ඩයක් වාදනය කිරීම නැරඹීමට අපට අවස්ථාව සැලසිණ. ‘යිඩාකි’ (Yidaki) යන නමින් දැක්වෙන  ඉතාමත් දිග නලාවක් වැනි මෙම සංගීත භාණ්ඩය මගින් නිපදවෙන නාද රටා, ‘ඩිජෙරි ඩූ’ (Didgeridoo) යන  නමින්  හැඳින්වේ. අරටුව සහිත එක්තරා වෘක්ෂයක ලීයක කුහරය හාරා මීටර් එකහමාරක් පමණ දිගට සකස් කර ඇති මෙම සංගීත භාණ්ඩයේ සිහින් අග්‍රයට දෙතොල් තබා  පිඹින්නේ විශාල අග්‍රය බිම  තබාගෙනය. අදිවාසිකයින්ගෙන් පැවත එන  ශිල්පියෙකු ‘ඩිජෙරි ඩූ’ (Didgeridoo) නලාවක් පිඹීම මගින් නිර්මාණය කරන ලද, විශ්මය ජනක සංගීත රටා කෙරෙහි  අප කාගේත් සිත් ඇදී ගියේය.



‘යිඩාකි’ (Yidaki) නලා වාදනය සඳහා පහත ඈඳියට (link) යොමු වන්න.   https://www.facebook.com/100009434498321/videos/1999116433746154/?t=35
මෙම නලාවේ  ස්වර රටා මැවීම,  ශ්‍රී ලංකාවේ අපට හුරු, සක් පිඹීමේදී, වාදනය කරන්නාගේ  ස්වරාලය පමණක් භාවිත කර පිටකරන  ශබ්දය මගින් සංගීත රටා බිහිකරන ආකාරයට  බොහෝ දුරට සමාන බව පෙනේ.

සංචාරක නිකේතනයේ ගතකළ අවසාන දිනය අපට ඉතාමත් කාර්ය බහුල දිනයක් විය. උලුරු පර්වතය පාමුල සකස්කර තිබෙන සොබා මං පෙත (Nature Trail) ඔස්සේ ගමන් කර, අදාළ ඓතිහාසික තොරතුරු, ආදීවාසි ජන ජීවිතය පිලිබඳ සැඟවුණු රහස්, අවට පරිසරයේ ජෛව විවිධත්වය, සරක්ෂණ කටයුතු  ආදිය විමසා බැලීම යෙදී තිබුණේ එදිනටය. කලින් පිළියෙළ කර ගත් පරිදි තොරතුරු විස්තර කර දීම සඳහා මාර්ගෝපදෙශකයෙකුගේ පැමිණීම  බලාපොරොත්තුවෙන්, අපි එදින උදේ අටට කලින් පර්වතය පාමුල නියමිත ස්ථානයට රැස් වූයෙමු.

හරියටම පෙරවරු අටට පරිසරයට ගැලපෙන නිල ඇඳුමකින් සැරසුණු, හොඳින් ඉංග්‍රීසි උච්චාරණය කරන ප්‍රිය මනාප පුද්ගලයෙකු අප සිටි තැනට පැමිණියේය. තමා එම සංරක්ෂිත වන අරණේ පාලන අධ්‍යක්ෂක වරයා බවත්, එදින අප වෙනුවෙන් උපදේශන කටයුතු කිරීම ඉතාමත් සතුටෙන් භාරගත් බවත් ඔහු ප්‍රකාශ කළේය. කරුණු පැහැදිලි කර දීම සඳහා        ආදීවාසික මාර්ගෝපදෙශකයෙකුම පැමිණෙනු ඇතැයි අපි සිතුවෙමු. අපගේ සැකය දුරු කරමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය

‘මට කාල  වර්ණ සිරුරක් නොතිබුණත්, මා ද ආදීවාසි පෙළපතකින් පැවත එන කෙනෙක්. සමහරවිට මාගේ මි මුත්තෙකු හෝ එවැනි පැරැන්ණෙකු යුරෝපීය සම්භවයක් ඇති කාන්තාවක විවාහ කර ගන්නට ඇති. ඒ නිසා පරම්පරා පහකට හයකට පසු මටද සුදු හම සඳහා අවශ්‍ය ජාන ලැබෙන්නට ඇති. ඒ නිසා වෙන්නට ඇති,  මට  ආදී වාසිකයින්ට ආවේණික  දුඹුරු හෝ කාල වර්ණ ශරීර පැහැයක් නැත්තේ’
යයි සිනහ මුසු මුහුණින් අපට පවසා තවත් වැදගත් කරුණක් අපට පැහැදිලි කර දුන්නේ මෙසේය.

‘මම මගේ  ආදිවාසික පෙළපත ගැන ඉතාමත් ආඩම්බර වෙනවා. ඒ නිසාම මම මේ රැකියාව තෝරා ගත්තා. මම ආදීවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ සංස්කෘතිය රැක ගැනීම සඳහා දිවි හිමියෙන් ඇප කැපවී කටයුතු කරනවා’

ඔහුගේ ජාතිමාමක බවත් ප්‍රෞඪත්වය ගැනත් අපි බෙහෙවින් සතුටට පත්වීමු.



ආදීවාසීන්ගේ අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීමට කැමැත්තක් දක්වන අයට ඕස්ට්‍රේලියානු රජය මගින් එම කාර්යයට අදාළ උසස් අධ්‍යාපනයක් ලබාදී, සෑම පහසුකමක්ම හිමිකරදෙන බවද ඔහු තව දුරටත් අනාවරණය කළේය.

ඔහු ඊට පසු, උලුරු පර්වතය පිලිබඳ සුළු විස්තරයක් කර, එය වටා ඇති සොබා මංපෙත් පිළිබඳවද හැඳින්වීමක් කළේය. මෙයින් පසු, ඔහු විසින් අපගේ පහසුව අඳහා කිලෝමීටර්  දෙකකින් පමණ යුක්ත Mala Walk නම් සොබා මං පෙත අපගේ නිරීක්ෂණ චාරිකාව සඳහා තෝරා ගත්තේය.




මිට අමතරව, පර්වතය වටා යාමට හෝ පර්වතයේ සුවිශේෂී ස්ථාන නැරඹීම සඳහා සකස්කළ, විවිධ දුර සහිත වෙනත් මං පෙත්ද තිබේ. කිලෝමීටර් 10.6 ක් දිග මංපෙත මෙහි ඇති දිගම මං පෙතයි. පර්වතය වටාම දිවෙන එම  මංපෙතෙහි ගමන් කිරීම සඳහා පැය තුනහමාරක් පමණ ගතවේ.

අපට හඳුන්වා දීම සඳහා තෝරා ගත් ‘Mala Walk’ සොබා මංපෙත, පර්වතයේ බටහිර පැත්තෙන් පිහිටි ඓතිහාසික වැදගත් කම් වලින් පිරි, එමෙන්ම ජෛව විවිධත්වයෙන්ද  පරිපූර්ණ ප්‍රදේශයකි.

Mala Walk මං පෙත කිලොමීටර් 2 ක්  පමණ දුරකින් යුක්ත  වන අතර එය පර්වත පාමුලට ආසන්නවම සකස් කර තිබෙන නිසා පර්වතයේ  සුවිශේෂී ලක්ෂණ රාශියක් පහසුවෙන්ම දැක බලා ගත හැකි විය.

මෙම මං පෙතට Mala Walk යන නම යොදා ඇත්තේ දිගු කලකට පෙර මෙම ප්‍රදේශයේ ජීවත්වී ඇති ‘මාලා’ නම් ආදිවාසි මිනිස් කොට්ඨාශයක් සිහිවිම පිණිසය. එසේම ‘මාලා’ යන නමින් හැඳින්වූ මිනිස් වාසස්ථාන වලට සමීපව ජීවත්වූ, කුඩා වොලබි සත්ත්ව විශේෂයක්ද මෙම ප්‍රදේශයේ බහුල වශයෙන් සිට මෑත කාලයේදී වඳවී යාමේ  තර්ජනයට මුහුණ පා සිටින බවද දැනගන්නට ලැබිණ. මේ සමග ඇති ඡායාරූපයේ,  පළමුවෙන් සඳහන් කර තිබෙන, Mala Walk මං පෙත දුරින් අඩුම ගමන් මගයි.

මුලින්ම මෙම ප්‍රදේශයේ අතීත කතාව සැකෙවින් විස්තර කරදුන් උපදේශකවරයා,  ශතවර්ෂ කිහිපයකට ඉහතදී බටහිර සංක්‍රමණය නිසා ආදිවාසි ජන ජීවිතය අඩාළ වී ගිය ආකාරය පැහැදිලි කළේය.

ඔහු මෙය හැඳින්වුයේ ‘නව තාක්ෂණය නිසා සිදුවූ සංස්කෘතික සෝදා පාළුවක්’ ලෙසටය.

පර්වතයේ, පූජණීයත්වයේ ලා සලකා ඇති සමහර ස්ථාන ඡායාරුප ගත කිරීමද තහනම් බව ඔහුගෙන් දැනගන්නට ලැබිණ.

මං පෙතේ ටික දුරක් ගිය විට අපට මුලින්ම දකින්නට ලැබුණේ විශාල මුහුදු රැල්ළක් වැනි ආකාරයකට නිර්මාණය වී ඇති ගල් ලෙනකි.


එය ආදී වාසීන් විසින් තම නිවහනක් ලෙස භාවිත කර ඇති බවට සාක්ෂි ඇති බවද ඔහුගෙන් දැනගන්නට ලැබිණ. මෙය සැකෙවින් විස්තර කළ උපදේශකවරයා,

‘මේ ගල් ලෙනෙහි ඓතිහාසික පසුබිම සහ අපගේ මුතුන් මිත්තන් එය තම ඇදහිලි, පුදපූජා, සිරිත් විරිත් ආදිය සඳහා පරිහරණය කර ඇති ආකාරය විස්තරාත්මකව හෙළි නොකර, ඒවා පූජනීය රහස් වශයෙන් රැක ගැනීමට අපි කවුරුත් වග බලා ගන්නවා ’ යයි කීවේය.

එම රහස් හෙළි කළහොත් තමන්ට යම් යම් අපල උපද්‍රව සිදුවිය හැකි බවට ද ඔවුන් තුළ බලවත් විශ්වාසයක් තිබෙන බවද ඔහු හෙළි කළේය.

මෙම ප්‍රකාශය අපට කුතුහලය දනවන්නක් වුවත්, අපි  කිසිවෙකු ඒ ගැන වැඩිදුර ප්‍රශ්න නොකෙළෙමු.

මෙවැනි ගල්ලෙන් රාශියක් තිබෙන අතර ඒවා සියල්ල ආදී වාසීන් විසින් තම නිවාස ලෙස භාවිත කරන්නට ඇති බවට‍ සලකුණු තිබේ. ලෙන් කිහිපයකම පියස්ස යටි පැත්තේ  අඳින ලද රුප සටහන් සහ වෙනත් හැඩතල නිසා ඔවුන් අදහස් ප්‍රකාශ කිරීම සඳහා අකුරු ලිවිම වැනි සන්නිවේදන ක්‍රමයක් භාවිත කරන්නට ඇති බව අනුමාන කළ හැකිය.

මෙම ගල්ලෙන් භාවිත කිරීමේදී වැඩිහිටි කාන්තාවන් සහ කුඩා දරුවන් එක ස්ථානයකද, පිරිමි උදවිය වෙනත් ස්ථානයකද සිටි බවද දැනගන්නට ලැබිණ. මෙය ඔවුන්ගේ සමාජ චාරිත්‍රයක් විය හැකිය.

එතැන සිට තරමක් දුරින් පර්වතයේ තීව්‍ර නැම්මක් වැනි ස්ථානයක පර්වතය අයිනේ, ජලයෙන් පිරි පොකුණක් දකින්නට ලැබිණ. මෙය ස්වාභාවික පොකුණකි. අපට පොකුණ ගැන ඔහු මෙසේ විස්තර කළේය.

‘මෙම ප්‍රදේශයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් දහයකටත් වඩා අඩුයි. එසේ  වුවත්, වසර තුන හතරකට වරක්, තරමක් වැඩි වර්ෂාපතනයක් ලැබෙනවා. මෙසේ ලැබෙන  වර්ෂාව නිසා පර්වතය මුදුනේ ඇති විශාල අගාධ, ජලයෙන් පිරී යනවා. ඒවා උතුරා ගොස් රූරා වටෙන ජල කඳ අනාදිමත් කාලයක සිට වරින් වර, පර්වත මුදුනේ සිට දිය ඇලි මෙන් පහලට වැටීම නිසා,  පර්වතයේ ඛාදනය සිදුවී සිරස් කාණු නිර්මාණය වී තිබෙනවා. පර්වතය වටේ මෙවැනි සිරස් කාණු  දෙසියයක් පමණ තිබෙනවා. මේවා ඔස්සේ  දියඇලි ඇද හැලීම ඉතාමත් මනස්කාන්ත දර්ශනයක්. එම දිය ඇලි එසේ පවතිනුයේ දින කිහිපයක් පමණයි. ’




කාන්තාරයක් ලෙස නම්කර තිබෙන මෙම වනෝද්‍යාණයේ මිරිදිය පොකුණු සහ තාවකාලික දිය ඇලිද තිබෙන බව ඇසීම අපට මහත් විශ්මය දනවන තොරතුරක් විය.

(තුන්වන කොටස පසුව.)



16 comments:

  1. කිසිම රටක වැරදි, අසාධාරණකම් නොවී නෑ. තවත් අතකට දැන් අගයන්ගෙන් බැලූවිට වැරදි වෙන දේ අතීත කොන්ටෙක්ස්ට් එකෙන් එලෙසම වැරදි ලෙස පිලිගැනුනේ නෑ. එනිසා වර්තමාන අගයන්ගෙන් හැමවිටම අතීතය විනිශ්චය කරන්නට බෑ.

    වර්ථමානයේ ශීලාචාර රටවල වෙන්නේ අතීතයේ වූ ඒවා දැන් වැරදි යයි හඳුනාගෙන පිලිගෙන පුලුවන් උපරිමයෙන් නිවැරදි කිරීම හා සාධාරණයක් කිරීම හා එලෙස නොවීමට නීති හා රීති සෑදීම. ඒ අතින් (තව බොහෝමයක් අතිනුත් ) ඔස්ට්‍රේලියාව ලෝකයේ ඉදිරියෙන්ම තියන ශීලාචාර රටක්.
    රටක ශීලාචාරබව මනින්නේ සුලුතරයක් වන අන්තගාමී, අශීලාචාර අය ( ඕනෑම රටක ඉන්නවා ) කරන දෙයින් නෙමෙයි අති බහුතරය සිතන විදිහ හා පාලකයින් කරන දෙයිනුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay,
      ඔබගේ විග්‍රහය හරි. විශේෂයෙන්ම ආදිවාසිකයින් පිළිබඳව, වර්තමාන කෝණයෙන් බලන කළ, අතීතයේදී සිදුවී ඇති වැරදි නිවැරදි කිරීමට බොහෝ රටවල් පියවර ගෙන තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවෙත් දකින්නට ලැබෙනවා.
      ඔස්ට්‍රේලියාව මේ සම්බන්ධයෙන් පියවර රාශියක් ගෙන තිබෙනවා. UNESCO IUCN වැනි සංවිධාන මේ සඳහා ගන්නා ප්‍රයත්නය ප්‍රශංසණීයයි.

      Delete
  2. හද දවාලන කාන්තාරෙක කාට ට්ජූට කඳු පන්තිය
    හොඳ යි ඇති එක බලාගන්නට නොදන්නෙමි මේ විත්තිය
    බඳ යිඩාකියෙ ඩිජෙරි ඩූ හඬ ගැනම සටහන් තිය තිය
    අද හොඳයි මේ දෙවෙනි කොටසද මතක්වෙයි මගෙ පන්තිය....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී,
      කාන්තාරය වුවත් මෙහි ඇති ජෛව ලක්ෂණ ඉතා මනර ම්
      රක්ත වර්ණය සහිත පර්වත ලොවේ කිසිතැන නැති තරම්
      ආදිවාසින් කෙරෙහි දක්වන සෙනෙහසත් එහි ඉස්තරම්
      තවත් කොටසක් හොඳින් ගලපා ඉදිරි දිනවල පලකරම්

      ඔබට ජයම !!

      Delete
  3. Replies
    1. ස්තුතියි තඩි මල්ලි.

      Delete
  4. Replies
    1. ස්තුතියි වැව්,

      Delete
  5. Replies
    1. තෑන්ක් යූ, තෑන්ක් යූ,

      Delete
  6. ස්තුතියි !

    ReplyDelete
  7. ඔබටත් ස්තුතියි. Unknown,

    ReplyDelete
  8. වාර්ෂික වර්ෂාපතනය අඟල් 10 කටත් අඩු පැත්තක විශාල වර්ෂාවක් ඇති උනාම මනස්කාන්ත දර්ශන ඇති නොවුනොත් තමයි පුදුමෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      විශේෂයෙන්ම මනස්කාන්ත දියඇලි වල දර්ශනය නම් අපට දකින්නට ලැබුනේ නැහැ. මම දියඇලි වල පිංතුරයක් අන්තර්ජාලයෙන් ණයට ඉල්ලා ගත්තා. එය ඊළඟ කොටසේ මුලින්ම දානවා.

      Delete
  9. Replies
    1. ස්තුතියි දෝණි,

      Delete