Monday, 26 March 2018

ඔබ ‘මිහිකත හෝරාව’ තුළදී පරිසර හිතකාමී සාමුහික ක්‍රියාවලියට දායක වූවෙහි ද?

මේ වසරේ (2018) ‘මිහිකත හෝරාව’ (Earth hour) ලෙස තෝරාගන්නට යෙදුනේ  මාර්තු මස 24 වෙනි දින රාත්‍රී 8.30 සිට 9.30 දක්වා මිනිත්තු හැටක කාලයයි.


‘මිහිකත හෝරාව’ යනු කුමක්ද? 
ඉතාමත් සරල ආකාරයකට මෙම සංකල්පය විග්‍රහ කළහොත්, එයින් ගම්‍ය වනුයේ, යෝජිත  දිනයේ  රාත්‍රී 8. 30 සිට 9. 30 දක්වා ඇති පැයක කාලය  තුළදී, පාවිච්චි කරන විදුලි බල්බ හෝ විදුලි බලය අවශ්‍ය වන උපකරණ හැකි පමණ විසන්ධි කර තබා විදුලි බලය වැයවීම අඩුකර ගැනීමයි.

මෙම අගනා සංකල්පය කෙරෙහි අද මුළු ලෝකයේම අවධානය යොමු වෙමින් පවතී.

පරිසරය සුරැකීමට අදාළ සම්මන්ත්‍රණ, සමුළු, සාකච්ඡා ආදියේදී විවිධ තීරණ ගනු ලැබුවත් ‘මිහිකත හෝරාව’ නම් මෙම සරල වැඩ සටහන අනුව, එම සංකල්පය ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරවනුයේ, පහලම තලයේ බලශක්ති පාරිභෝගික ජනතාව  මගින් වීම සුවිශේෂි ලක්ෂණයකි.

මෙම සංකල්පය මුලින්ම ලොවට හඳුන්වා දුන්නේ, 2007 මාර්තු මස 31 වන සෙනසුරාදා, රාත්‍රී 8.30 සිට 9.30 දක්වා පුරා පැයක්‌, ඕස්ට්‍රේලියාවේ ජනාකීර්ණ සිඩ්නි නුවර, විදුලි ආලෝකය සම්පූර්ණයෙන්ම පාහේ විසන්ධි කර දැමීමෙනි.  මේ සඳහා පුරෝගාමීව කටයුතු කරනු ලැබුවේ, ජගත් සොබාදහම සුරැකීමේ අරමුදල (World Wide Fund for Nature - WWF)නම් ලෝක ව්‍යාප්ත පරිසර සංවිධානය මගින්ය.

එදින, මිලියන 2.2 ක ජනතාවක්, වෙළඳ ආයතන සහ වෙනත් විවිධ ආයතන දහස් ගණනක් මෙම ක්‍රියාවලියට සහයෝගය දක්වමින්, මිනිත්තු 60 ක කාලය  අඳුරේ සිට, කාලගුණ විපර්යාස තම තමන්ට බලපාන ගැටළුවක් බව බලධාරීන්ට පෙන්වා දීමට සමත්වූහ.

මෙය මුළු ලොවටම මහත් ආදර්ශයක් වූ අතර, එම සංකල්පය ලොව පුරා ප්‍රචලිත වූ අතර, එයින් දිරිමත්වූ මිලියන ගණනක ජනතාව, WWF මගින් දියත් කරනු ලබන දේශගුණික වීපර්යාස අවම  කිරීමේ සහ පරිසරය සුරැකීමේ ව්‍යාපෘති වලට එකහෙලාම සහයෝගය දෙනු ලබන බවට ප්‍රතිඥා දුන්හ. එසේම කාලගුණය පිලිබඳව, ලොව පිළිගත්  සම්මුති වලට අදාළ දැනුවත්වීම සහ ක්‍රියාකාරී භාවය, තවතවත් ජනතාව අතරට ගෙනයාමටද  කැමැත්ත පළ කළහ.

WWF මගින් එළි දක්වන ලද, Living Planet 2016  වාර්තාවට අනුව, මිනිසාගේ අත්තනෝමතික ක්‍රියා නිසා, පෘථිවි ග්‍රහයා මත  ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති, ආපදා වලට ලක්වෙමින් පවතින අතර, මිනිසා, අනෙකුත් ජීවීන් සහ සමස්ත මිහිතලයම මහත් අවදානමකට පත්වෙමින් ඇති බව හෙළිවී තිබේ. මේ නිසා ‘මිහිකත හෝරාව’ සංකල්පය සහ තවත් එවැනි ක්‍රියාකාරකම් හැකිතරම් දුරට අනුගමනය කිරීමෙන්, ගෝලීයව පැතිරෙමින් පවතින  එම විෂම ප්‍රවණතාව වෙනස් කළ හැකි බව නොඅනුමානය. අපද අද සිටම මේ සඳහා ක්‍රියාත්මක වීම මගින්, මිහිකත සුරැකීමේ මහා සංග්‍රාමයට දායක විය හැකිය.



පසුගිය වසරේ (2017) ‘මිහිකත හෝරාව’ සැමරීම සඳහා රටවල් සහ රාජ්‍යයන් 187 ක්‌ සහභාගී වී ඇති අතර, එය පසුගිය දශකය තුළදී, මුළු මහත් ජගත් මිනිස් ප්‍රජාවම ඉතා කැමැත්තෙන් පිළිගත් අගනා සංකල්පයක් බවට‍ පත්වී තිබේ. අද වනවිට, දේශගුණ විපර්යාස කරණකොටගෙන ලෝකයේ සිදුවෙමින් පවතින මහා ව්‍යසන ගැන සිතා බලන කළ, ඒවා  මැඩපැවැත්වීම සඳහා වහාම පියවර ගතයුතු බව මනාව පැහැදිලි වේ. එම මහා ආපදා වලින් කිහිපයක් මෙසේය.

  • පෘථිවියේ, ආක්ටික් ප්‍රදේශයේ උෂ්ණත්වය ඉහළයාම නිසා, මෙතෙක් නොවූ අන්දමේ, වැඩිම ග්ලෙසියර් ප්‍රමාණයක් දියවී යමින් ඇති බව  වාර්තා වී තිබේ    (සාගර ජල මට්ටම ඉහල යාමට මෙය එක් හේතුවකි) 
  • දශක දෙකකට වඩා අඩු කාලයකදී, සිව් වන වරටත් ඕස්ට්‍රේලියාවේ මහා බාධක    පරයේ  කොරල් විශාල ප්‍රමාණයක්  විරංජණය  (Bleaching)  වෙමින් පවතී. (මෙය ඉතාමත් ඉහල සාගර ජෛව විවිධත්වයක්‌ විනාශවී යාමේ ලක්ෂණයකි) 
  • ලොව බොහෝ ස්ථානවල පසුගිය වසර 800,000  තුළදී තිබුණු තරමට වඩා, වායු ගෝලීය  කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩිවෙමින් පවතී. (මේ නිසා පෘථිවි තලයේ උණුසුම වැඩිවේ)
2007 වසරේදී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී දියත් කරන ලද, ‘මිහිකත හෝරාව’ වැඩ සටහනට අනුව, මහාද්වීපය පුරා විසිරි ඇති නගර 7000 ක පමණ, ජීවත්වන මිලියන ගණනාවක් ජනතාව තම විදුලි පහන් නිවා දමා එයට අනුකුලතාව දැක්වුහ.  2013 වසරේදී ‘මිහිකත හෝරාව’ අනුව යමින් ආජන්ටිනාවේ බලධාරීන්, තම රටේ හෙක්ටයාර මිලියන තුනක් පමණ වන මුහුදු තීරය සංරක්ෂිත කලාපයක් බවට පත්කර ගැනීම සඳහා නීති රීති සම්පාදනය කර ගත්හ. 2015 වසරේදී ලොව රටවල් 172 ක් දේශගුණ විපර්යාස මැඩලීමේ සම්මුතියට අනුකුලත්වය දක්වමින්, ලොව පුරා විසිරි ඇති දසදහසක් පමණවූ,  දර්ශණීය ස්මාරක, සිහිවටන ආදියේ විදුලි ආලෝකය පැයක්‌ තුළ නිවා දමනු ලැබිය. ඒ සමගම දේශගුණ විපර්යාස වලට තුඩු දෙනු ලබන, මිනිස් චර්යායයන්  පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ විවිධ ක්‍රියාකාරකම්, පනස් දහසක් පමණ ලොව පුරා දියත් කර තිබේ.

2017 වසරේදී  තවත් වැදගත් පියවරක් ගැනීමට පරිසර සංවේදී ජගත් ප්‍රජාව වෙනුවෙන් පෙනීසිටින විද්වත්හු  තීරණය කර තිබේ. මේ වනාහි ජෛව විවිධත්වය සහ එහි  වැදගත්කම  පිලිබඳව  ලෝක ප්‍රජාව මැනවින් දැනුවත් කිරීමයි. මිනිස් ප්‍රජාව විසින් දැනුවත් විය යුතු වැදගත් කරුණක් වනුයේ,  මිහිපිට ඈති ඕනෑම ස්ථානයක -  (රටක , දේශයක , මහාද්වීපයක හෝ මහා සාගරයේ) - ඇති   විශේෂ විවිධත්වය (species diversity), පරිසර පද්ධති විවිධත්වය (ecosystem diversity) සහ ජනක විවිධත්වය (genetic diversity) යන, පරිසර විවිධත්වයේ ත්‍රිවිධ සංඝටක පිලිබඳ අවබෝධයක්,  අප ආහාර ගැනීමේදී , ජලය පරිහරණය  කිරීමේදී , සහ ස්වසනය කිරීමේදී  අප තුළ තිබිය යුතුමය. එය න්‍යායිකව  එසේ වුවත්, ජෛව විවිධත්වය  පිළිබඳ ජනතා දැනුවත් වීම ඉතාමත් අඩුය.

දැනට කලකට පෙර ‘මිහිකත උණුසුම් වීම’ (Global warming) පිලිබඳ සංකල්පයද ජනතාවගෙන් බොහෝ දුරස්වූ,  සම්මන්ත්‍රණ, වාර්තා ආදියට පමණක් සිමා වූ සංකල්පයක් බවට පත්ව තිබිණ. එසේ සාකච්ඡා වලට භාජන වෙමින් පැවති, ‘මිහිකත උණුසුම් වීම’ මගින්  සිදුවෙමින් පවතින ආර්ථික, සමාජයීය සහ පාරිසරික ව්‍යසන ගැන    ජනතා දැනුවත් වීම පැවතියේ මඳ වශයෙනි. එහෙත්, කල්යාමේදී ඒවායේ  අනිටු විපාක විඳීම ආරම්භ වීමත් සමගම ජනතාවට ඒ පිලිබඳ හැඟීමක්‌ ඇතිවෙමින් පවතී.

ජෛව විවිධත්ව සංකල්පය පිළිබඳවද ජනතා ප්‍රතිචාරය  මෙසේමය. ජෛව විවිධත්වය පීඩාවට පත්වීම නිසා මිනිසාට  විඳීමට සිදුවිය හැකි ආර්ථික, සමාජයීය සහ පාරිසරික ගැටළු පිළිබඳව පොදු වශයෙන් ජනතා අවබෝධය ටවමත් පහත් මට්ටමක පවතී. මෙසේ පැවතීම උග්‍ර උපද්‍රව වලට මුලික විය හැකිය.

මේවා සැලකිල්ලට භාජන කරගනිමින්, ජාත්‍යන්තරව පිළිගත්, ජෛව විවිධත්වය පිලිබඳ ප්‍රඥප්තිය   (The Convention on Biological Diversity CBD ) මගින්  2017 – 2020 තෙවසර තුලදී, ලෝක ප්‍රජාව හැකි තරම් දුරට ජෛව විවිධත්වය ගැන දැනුවත් කිරීමට බලාපොරොත්තු වේ. මේ සඳහා ක්‍රමවේද රාශියක් ඉදිරිපත්කර තිබෙන අතර ඒවා මගින් පරිසර සංරක්ෂණ වත් පිළිවෙත්  සහ පරිසරයේ තිරසාර බව රැකගැනීම සඳහා ගතයුතු පියවර ගැන මනා අවබෝධයක් ලබාදීමට නියමිතය. මෙය, යම්තමින් හෝ පරිසර දැනුවත් භාවයේ සිටින ජනතාව,  ක්‍රියාකාරී පරිසර සංරක්ෂකයින් බවට පරිවර්තනය කිරීමේ අඩිතාලමයි.

කාලගුණ විපර්යාස වැනි මහා පරිමාණයේ ව්‍යසන වලට ප්‍රධාන හේතු කාරක වනුයේ මිනිස් ක්‍රීයාකාරකම් බව අද අවිවාදයෙන් පිළිගෙන තිබේ. කාලගුණ විපර්යාස මැඩපැවැත්වීමේ ප්‍රධානතම මුරභටයන් වශයෙන් සැලකිය හැකි, වනාන්තර සහ  සාගර පරිසර පද්ධති ආදියට එල්ලවී ඇති තර්ජන   සියලුදෙනාගේම විමසිල්ලට භාජන විය යුතු කාලය එළඹ තිබේ. පෘථිවි තලය තුළ ජීවය රඳා පවත්වා ගැනීමේ ප්‍රධානතම සාධකය වනුයේ ජෛව විවිධත්වය බව මැනවින් තේරුම් ගත් බ්‍රසීලය, ජපානය, යුක්රේනය වැනි රටවල් වල බලධාරීන් විසින්,  2017 වසරේ ‘මිහිකත හෝරාව’ ජෛව විවිධත්වය පිළිබඳව  ජනතාව දැනුවත් කිරීමට පමණක් නොව, එම සංකල්පය ඔස්සේ  ජෛව විවිධත්වය රැකගැනීම පිණිස ක්‍රියාකාරී මෙහෙයුම්ද දියත් කර තිබේ.

‘පරිසර විද්‍යාත්මක පා සටහන’ *(Ecological Footprint) නම් නව සිද්ධාන්තයට අනුව පරිසර දුෂණය කෙරෙහි කෙලින්ම,  50% ක පමණ බලපෑමක් ඇති කරනුයේ  ෆොසිල ඉන්ධන දැවීම නිසා බව ගණනය කර තිබේ. මේ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි අපට ටිකින් ටික ෆොසිල ඉන්ධන දැවීමෙන් ඉවත්වීමට සිදුවී ඇත. මෙම අන්තර්කාලය තුළදී, රාජ්‍යයන් විසින් තිරසාරව නිපදවෙන ප්‍රතිජණනීය ඉන්ධන කෙරෙහි ජනතා ප්‍රසාදය ඇතිකිරිම සඳහා ප්‍රතිපත්ති සකස් කළ යුතුව තිබේ.

එසේම ව්‍යාපාරිකයින් විසින් ෆොසිල ඉන්ධන ලබාගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන නොයෙදවීමටත්, එවැනි ඉන්ධන  ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතා සඳහා යොදා නොගැනීමටත්, ජනතාවගේ  ප්‍රතිජනනීය ඉන්ධන ඉල්ලුම් සඳහා වැඩි වැඩියෙන් ආයෝජනය කිරීමටත් ඒවා ලබාගැනීමට පහසුකම් සැලසීමටත් ක්‍රීයා කළ යුතුය. 2017 වර්ෂයේදී ඉන්දියාව, දකුණු අප්‍රිකාව, හංගේරියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල් ‘මිහිකත හෝරාව’ ව්‍යාපාරය ප්‍රයෝජනයට ගනිමින් ජනතාව, පෞද්ගලිකව හෝ ප්‍රජා සංවිධාන හරහා, නව තිරසාර බලශක්ති විසඳුම් සොයා යාමට උනන්දු කරවා තිබේ.

ජෛව විවිධත්වය සුරැකීමේ ක්‍රියාවලිය සඳහා සමස්ත මිනිස් වර්ගයාගේම සහයෝගය ඉතාමත් අවශ්‍ය බව දැන් ඉතාමත් පැහැදිලිය.  ‘මිහිකත හෝරාව’ ක්‍රියාදාමය මගින් ලබාදිය හැක්කේ ඒ සඳහා දැනුවත් කිරීමක් පමණකි. අපට ජීවත් වීමට තිබෙනුයේ මෙම පෘථිවි ග්‍රහයා පමණක් බව නිතර සිහියේ තබාගත යුතුය. මුළු ලෝකයේම මිනිස් ප්‍රජාව විසින් පරිසරය වෙනුවෙන් තම යුතුකම ඉටු කළහොත් අනාගතයේදී අදට වඩා ප්‍රසන්න, බලගතු ආපදා වලින් තොර මිහිකතක්‌ නිර්මාණය වනු ඇත.
[*Ecological Footprint යනුවෙන් හැඳින්වෙනුයේ, පරිසර දුෂණය කෙරෙහි බලපාන කාබන්ඩයොක්සයිඩ් වායු ඒකක සංඛ්‍යාවේ එකතුවයි]  


(2018 'මිහිකත හෝරාව' ආශ්‍රිතව පළවී ඇති ලිපි ලේඛන කිහිපයක් ඇසුරෙනි.)  




Wednesday, 14 March 2018

කපුටු කාක් ..... කාක් ..... කාක් ....... කපුටු කාක් ...... !



“ඇසෙන්නෙ කා කා හඬ සෑම පැත්තෙන්                                                                               නැගෙව් කියන්නා වැනි  වහාම නින්දෙන්                                                       දොරෙන් අඩක්‌ඇරියාම මේඑන්නේ                                                                                          සිහිල් සුළං ආයුබෝවන් කියා .....”

දශක හයකට හතකට ඉහතදී කුඩා දරුවන්ගේ, පාසැල් පාඩම් පොතක් වූ මුනිදාස කුමාරතුංග ශුරීන්ගේ ශික්ෂා මාර්‍ගය පොතෙහි ඇති ගීයක කොටසකි ඉහත දැක්වුයේ.

මෙහි සරලව දැක්වෙන එක්‌ අදහසක් වනුයේ හිමිදිරි උදයේ අවදිවීම සඳහා කපුටන්ගෙන් ලැබෙන අගනා පණිවුඩයක් පිළිබඳවයි. මෙහි සඳහන් වන කාලයේ වේලාව බලා ගැනීම පිණිස ඔරලෝසු හෝ වෙනත් උපකරණ පහසුවෙන් ලබාගැනීමට නොතිබුණු නිසා පාන්දර අවදිවීම සඳහා ‘කපුටා හඬන වෙලාව’ ප්‍රයෝජනයට ගෙන තිබෙන බව මෙයින් පෙනේ.

කපුටන් අපගේ ජීවිතය සමග බොහෝ සමීප පක්ෂීන් වුවද අපට ඔවුන්  පිළිබඳව නිරතුරුවම අසන්නට ලැබෙනුයේ අමිහිරි කතන්දර වේ.

කපුටා පිළිබඳව එවැනි කතන්දර බහුල වනුයේ ඌ ඇසට අප්‍රියජනක කාල වර්ණයෙන් යුක්ත, අමිහිරි නාදයකින් කෑගසන, ඕනෑම කුණු ගොඩක් අවුස්සන පක්ෂියෙකු නිසාවත්ද?

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් කපුටු විශේෂ දෙකක් දකින්නට ලැබේ. මේ විශේෂ දෙක වනුයේ ‘කොළඹ කපුටා’ (Corvus splendens) සහ ‘ගම්බද කපුටා’ (Corvus macrorhynchos) යන විශේෂ දෙකයි.


මෙයින් කොළඹ කපුටා නගරබද පමණක් ජිවත් වේ. උගේ ශරීරයේ පිහාටු තරමක් අළු පැහැයට හුරු කාළ වර්ණයකින් යුක්තය. බෙල්ල අවට ප්‍රදේශයේ කළු පැහැය අඩුවී අළු පැහැයක් ගනී. නාදයද එතරම් ගැඹුරු අමිහිරි එකක්  නොවේ. රංචු වශයෙන් ජිවත්වන කොළඹ කපුටෝ සර්ව භක්ෂක්යෝය.

ගම්බද කපුටාගේ මුළු ශරීරයම  තද කාළ වර්ණයෙන් යුක්ත වන අතර  උගේ පිහාටු වලද අපිලිවෙළක් දකින්නට ලැබේ. උන්ගේ ඉතාමත් රළු සහ ගැඹුරු නාදය අප්‍රිය ජනකය. මොවුන්ද රංචු වශයෙන් ජිවත්වන සර්ව භක්ෂක්යෝය.

ජීව විද්‍යාත්මකව එක් සත්ත්ව විශේෂයක් තවත් සත්ත්ව විශේෂයකින් වෙන්කර හඳුනාගන්නේ ‘ස්වාභාවික පරිසර තත්ත්ව යටතේ, ඔවුන් අතර අන්තර් අභිජනනය සිදුවීමෙන්   සරු ජනිතයින් හට නොගනී’ යන සිද්ධාන්තය මුලික කර ගනිමිණි.

මේ අනුව  ‘කොළඹ කපුටා’ සහ ‘ගම්බද කපුටා’ බොහෝ සමාන වූවත් එකිනෙකට වෙනස් කපුටු විශේෂ දෙකකි. ඒ නිසා ඔවුන් අතර අන්තර් අභිජනනයක් සිදු නොවේ. යම්කිසි හෙයකින් අභිජනනයක් සිදු වුවත් එම අභි ජනනය නිසා සරු ජනිතයින් හට නොගනී.

මිට වසර විස්සකට තිහකට පමණ ඉහතදී මා කොළඹ සේවය කළ ආයතනයේ මගේ කාමරය අසලම තිබුණු පොල් ගසක, කපුටු යුවලක් විසින් තනන ලද  අමුතු කපුටු කුඩුවක් පිලිබඳ යමක් මෙහිලා සඳහන් කිරීමට සිත්විය. දෙවන මහලේ තිබුණු මගේ කාමරයේ ජනේලයේ සිට කපුටු කුඩුවට දුර මීටර් තුනකට වඩා නොවිය. දින කිහිපයක් පොල් ගස මුදුනේ සැරි සැරූ කපුටු යුවළ කූඩුවක් තනන්නට පටන් ගත්හ.


දින කිහිපයකට පසු,  කපුටු කූඩුව දෙස විපරම් කර බැලූ මට, කපුටු යුවළ කූඩුව තනන්නේ Gauge 20 හෝ 22 පමණ ප්‍රමාණයේ යකඩ කම්බි වලින් බව දකින්නට ලැබුණි.

මේ නිසා පුදුමයට පත්වූ මම, මගේ රාජකාරි කටයුතු ටික වේලාවකට නතර කර, කපුටන් කම්බි ගෙනෙන ස්ථානය ගැන මඳක් සොයා බැලුවෙමි. මා දුටුවේ  යාබද යකඩ වැඩපලක  විවිධ ප්‍රමාණයන්ට කපා, අනවශ්‍ය නිසා,  ඉවත දමා තිබුණු මළ බැඳුනු කම්බි කෑලි ගොඩකින් තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ කම්බි කෑලි තෝරමින් සිටින කපුටු යුවළයි. මොවුන් ‘කොළඹ කපුටු’ යුවළකි.

 ‘කෝටු කෑලි ගෙනැල්ලා - පරඬැල් කොළ තබාලා                                                  තාලයකට තියාලා - පොඩි කුරුළු ගෙයක් තනාලා’

 යන සම්ප්‍රදායික කුරුළු නිවාස තැනීමේ  ක්‍රමවේදය වෙනුවට                                                                                                                        
 ‘කම්බි කැබලි ගෙනැල්ලා - හොඳ හැටියට නමාලා                                                  තාලයකට තියාලා - පොඩි කපුටු ගෙයක් තනාලා’

යනුවෙන් මොවුන්ගේ ක්‍රම වේදය වෙනස් කරණ ලද්දේදැයි මට සිතුණි.

මේ සිද්ධියත් සමගම මට කපුටන් ගැන තවත් කරුණු රැසක් මතකයට නැගුණි. අපගේ ගෙවතුවල නිතරම දකින්නට ලැබෙන කපුටාට වඩා කුඩා තවත් කාලවර්ණ පක්ෂියෙකි කවුඩා හෙවත් කවුඩු පණික්කියා



කපුටා අයිති පක්ෂි කුලයේවත් නොවන මොහු ‘කපුටු බෑණා’යන නමින්ද ගම්බද ජනයා විසින් හඳුන්වනු ලැබේ. ‘කපුටු බෑණා’ Sri Lanka  Dongo  වන අතර, සත්ත්ව විද්‍යාත්මක නාමය  (Dicrurus lophorinus) වේ.

කවුඩන්ට  බළලෙකුගේ ‘ඤාව්.. ඤාව්’ හඬ අනුකරණය කළ හැකි නිසා සමහර අවස්ථාවලදී  එසේ නාද කර බළලුන් රවටන අවස්ථාද දකින්නට ලැබේ. මිහිරි හඬින් ගී ගයන ‘කපුටු බෑණා’ කෘමි භක්ෂකයෙකි. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේත් කඳුකර ප්‍රදේශ වලත් දකින්නට ලැබෙන මෙම පක්ෂියා ප්‍රිය මනාප එකෙකි. 
 
කපුටන් අතර වෙනත් පක්ෂීන් අතර දකින්නට නොලැබෙන සමගියක් තිබේ. තම ආහාර සොයා යාමේදී කපුටන් බොහෝවිට යුගළ වශයෙන් සිටිතත්, ආහාරයක් ලැබුණුවිට හඬ නගා, තම සගයින්ද ගෙන්වා ගෙන ආහාරය  බෙදා හදා ගැනීම කපුටු වර්ගයාගේ සිරිතය. රාත්‍රී කාලයේදී කපුටන් රංචුවක් වශයෙන් එකතුවී විශාල ගසක ලැගුම් ගැනීම මගින්ද ඔවුන්ගේ සම්ගිය පෙන්වති. එසේම තම සගයෙකුට ආපදාවක් සිදුවූ විටකදී හඬනගා තම පිරිස ගෙන්වා ගැනීමටද ඔවුහු සමත් වෙති.



අප කුඩා කාලයේදී අසා තිබෙන ‘කපුටා සහ වතුර භාජනය’ වැනි සමහර ළමා කතන්දර වලදී කපුටු නුවණ ගැන සඳහන් කර තිබේ. ඒ සමගම ‘කපුටා සහ කේජු කෑල්ල’ කතන්දරයේදී කපුටා නරියාගේ කපටි කමකට හසුවූ හැටිද අසා ඇත්තෙමු.

තමන්ගේම කුඩුවක් සාදා ගැනීමට නොදන්නා (කොහාගේ ) කොවුලාගේ  බිරින්දෑ, හොර රහසේ, කපුටු කුඩුවකට රිංගා තම  බිත්තර එහි දමන බව අප පැරණි සාහිත්‍යයේ අසා තිබේ. මෙසේ දමන බිත්තර, තමන්ගේ බිත්තර සමගම රකින කපුටු දෙමහල්ලෝ බිත්තරවලින් එලියට එන පැටවුන්ද පෝෂණය කරති. එසේ හටගන්නා කොවුල් පැටවුන්, කපුටු පැටවුන් මෙන්ම කාල වර්ණ නිසා හඳුනාගැනීමට නොහැකිය. කෙසේ වෙතත් තරමක් වැඩුණු කොවුල් පැටවුන් වෙනත් හඬකින් නාද කරන  විට කලබල වන කපුටු දෙමහල්ලෝ ආගන්තුකයින් කුඩුවෙන් නෙරපන බව පැරැණ්නන්ගේ විශ්වාසයකි. (මෙය සත්‍ය සිද්ධියක්ද යන්න ඔප්පු කර නොමැති බව මෑතකදී කියවන්නට ලැබුණි) කොවුලා ‘පරපුටු’ (අනුන් විසින් පෝෂණය කරනු ලබන) යන නමින් හඳුන්වනුයේද  මේ නිසාය.

කපුටු කොවුල් විරසකයත් මෙම සිද්ධිය නිසාම ඇතිවුවක් විය හැකිය.  සිංහල අවුරුදු සමයේදී තම සහකාරිය ගෙන්වා ගැනීම සඳහා  නොකඩවා ගී ගයන කොවුලෙක් දුටුවිට ඌට කොටමින් පලවා හරින කපුටන් බොහෝවිට දැකිය හැකිය.

(මාර්තු අප්‍රියෙල් මාස වලදී කොවුලන් ගී ගයන්නේ අපට අලුත් අවුරුද්ද එන බව දැන්වීමට බවද කුඩා දරුවෝ විශ්වාස කරති.)

“කපුටු කාක් .... කාක් ....  -  ගොරක දේන්... දේන්...                                                 කපුටගේ කටේ වැල මදුලයි - පුතුගේ කටේ කිරී උගුරයි                                                        උසි කපුටා....... උසීයේ ...”

කියමින් අතීතයේ සිටි අපගේ අම්මලා තම දරුවන් නැළවූ බවද අසන්නට ලැබේ.

කපුටා කොපමණ ආහාර ගත්තත් නිරතුරුවම සාගින්නෙන් පෙළෙන සතෙකු බව ගැමියා විශ්වාස කරයි. සෙනසුරු ග්‍රහ අපලය තිබෙන අයට  සෙත් ශාන්තියක් ලබාගැනීම සඳහා ගිතෙල් මිශ්‍ර බතක් සකස් කර ‘බලු කපුටු දානයක්’ දීම අදද ගම්බද සමහර වැඩිහිටියන්ගේ සිරිතක්ව පවතී. ගිතෙල් මිශ්‍ර බත් නිසා කපුටු සාගින්න තරමක් හෝ අඩු වන බව ඔව්හු විශ්වාස කරති.

‘කළු කපුටා සුදු වනතුරු - මෝල් ගහේ දළු ලන තුරු                                                          සිය වසරට දෙසිය වසක් - ආවඩා... ආයුබෝ වේවා...’

දැනට දශක හතකට පමණ ඉහතදී, අපගේ සීයා කෙනෙකු,  අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ අවස්ථාවකදී ඉහත ජනගී පද ගයමින්  නව වසරට ආශීර්වාද කර දිගාසිරි  පැතූ බව මට තවමත් මතකයට නැගේ.

ඝර්ම කලාපිය ආසියානු ප්‍රදේශය මුල් නිජ භුමිය වූ කපුටන්ගේ විශේෂ රාශියක් ලොව බොහෝ රටවලට සංක්‍රමණය වී සිටිති. ඔස්ට්‍රේලියාව වැනි රටවලට නැව් වල සැඟවී සංක්‍රමණය වී තිබෙන කපුටන් සමහර අවස්ථාවලදී පාරිසරික උවදුරක්‌ ලෙස සැලකේ. කපුටා ස්වභාවයෙන්ම සර්ව භක්ෂකයෙකු හෝ කසල භක්ෂකයෙකු වන නිසා එරටට ආවේනික සමහර පක්ෂීන්ගේ බිත්තර කා දමන නිසාත්, පලතුරු වලට හානි කරන නිසාත්  ඔවුන්ගේ ගහණය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමටද සිදුවී තිබේ.  
  
කලකට පෙර අප රටේ ජීවත්ව සිටි ජනප්‍රිය කෙටි කතා රචකයෙකු වූ ටී. ජී. ඩබ්ලිව්. ද සිල්වා මහතා විසින් ලියන ලද උපහාසාත්මක කෙටි කතා මාලාවක හඳුන්වා දුන් පණ්ඩිත ඔල්මොරොන්දම්, භගලවති ඉස්කෝලේ හාමිනේ වැනි චරිත ජීවත්වූ මනඃකල්පිත දිවයිනට ‘කාකද්විපය’ යන නම යොදන්නට ඇත්තේද කපුටන්ගේ ‘ඔල්මොරොන්දම්’ ගති  පැවතුම් නිසා වන්නට ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මට්ටක්කුලිය අසල දර්ශනීය මුහුදු වෙරළ ප්‍රදේශය ‘කාක දුපත’ (Crow Island) යනුවෙන් අදටද හැඳින්වේ. මෙය දැනට ගොඩබිමට සම්බන්ධවී තිබුනත් අතීතයේදී දුපතක්ව තිබෙන්නට ඇති බව  විශ්වාස කළ හැකිය.

කපුටා බොහෝ අයගේ පිළිකුලට භාජන වන සතෙකු වුවද  ඌ පරිසර සමතුලිතතාවය රැක ගැනීම සඳහා විශාල මෙහෙයක් කිරීමට සමත් සතෙකි. කසල භෝජකයෙකු වන කපුටා වෙනත් සතුන්ගේ මළ කුණු භෝජනයට ගෙන පරිසරය පිරිසිදු කර දමයි. විදාගම මෛත්‍රිය මහා තෙරුන් වහන්සේ විසින් රචනා කරන ලද ලෝවැඩ සඟරාවේ පැදියකින්ද  කපුටාගේ මළකුණු බුදීමේ කෑදරකම ගැන මෙසේ සඳහන් කර තිබේ.

“ගඟ යන ඇත්කුණ ඉඳ මස් රස        ටා                                                                              සිදු මැද වැද වැනසුන මෙන් කපු      ටා”   
                                                      
අපට බොහෝ සමීප, එහෙත් කිසි කෙනෙකු අගය නොකරන කපුටන් ගැන ඔබ දන්නා  තවත් රසවත් තොරතුරු මෙයට එකතු කිරීමට කාරුණික වන්න. 
   



Wednesday, 7 March 2018

ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රාන්තයේ, ‘උලුරු’ (Uluru) පර්වතය පිහිටි යුනෙස්කෝ සංස්කෘතික උරුම වනෝද්‍යාණයේ සංචාරයක් . .3


(  තුන්වන කොටස) 

දෙවන කොටසේ අවසානය :(කාන්තාරයක් ලෙස නම්කර තිබෙන මෙම වනෝද්‍යාණයේ මිරිදිය පොකුණු සහ තාවකාලික දියඇලිද තිබෙන බව ඇසීම අපට මහත් විශ්මය දනවන තොරතුරක් විය......)


(මෙම ඡායාරුපය අන්තර්ජාලයෙනි  http://www.abc.net.au/news/image/1205418-3x2-940x627.jpg)

ජල පොකුණු ආශ්‍රීත ප්‍රදේශය කාන්තාර ස්වභාවයෙන් ඉඳුරාම වෙනස්ය. මේ අවට විශාල වෘක්ෂ, පඳුරු සහ කුඩා පැළෑටි සහිත යටි වගාව ඉතාමත් සශ්‍රීකව වැඩි තිබෙනු දකින්නට ලැබිණ.

අපගේ  උපදේශකවරයා ඒ අවට ජෛව විවිධත්වය පිළිබඳවද අගනා විස්තරයක් කළේය.

‘මේ අවට තිබෙන සියලුම ගහකොළ වලින් ආදීවාසීන් තම ආහාර, බෙහෙත් වර්ග, ඉන්ධන, වස්ත්‍ර, පුද පූජා සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වැනි සියලුම දේ ලබාගෙන තිබෙනවා. මෙහි ඇති  සමහර පලතුරු වර්ග, ඇට වර්ග සහ අල වර්ග  වෙනත් කිසිම ප්‍රදේශයක දකින්නට නැහැ. මෙතෙක් කිසිම කෙනෙකුගේ විමසිල්ලට ලක් නොවූ ශාක මෙහි ඕනෑතරම් තිබෙනවා.’



අපේ ගමන් මග ආසන්නයේම.  ගෙඩි වලින් බරවී තිබුණු අත්තික්කා ගසක හැඩහුරුකම ඇති ගසක් පෙන්වූ ඔහු එය wild Fig ගසක් බවත් එම ගෙඩි මිහිරි රස ඇති පළතුරක් බවත් ප්‍රකාශ කළේය. මග අසලම තිබුණු කුඩා පඳුරක ඉදුනු ගෙඩි  කිහිපයක්  කඩාගත් ඔහු ඒවා  කැලෑ ‘ප්ලම්’ වර්ගයක් බවත්  ඒවාද සාමාන්‍ය ‘ප්ලම්’ තරමටම රසවත් බවත්, ආදී වාසින් ආහාරයට ගත් මෙවැනි පලතුරු මෙම පරිසරයේ බොහෝ තිබෙන බවද කීවේය. 

එහි ඇති සත්ත්ව විශේෂ පිළිබඳවද ඔහු විසින් කෙටි විස්තරයක් කරන ලදී.

‘මෙම පරිසරයේ සිටි බොහෝ සතුන් දඩයම් කිරීම සහ බාහිර ප්‍රදේශ වලින් ගෙනෙන ලද විලෝපියයන්ගේ ගොදුරු බවට පත්වීම නිසා විනාශ මුඛයට පත්වී  තිබේ. මෙයින් සමහර සතුන් සදහටම මෙලොවින් තුරන් වී ඇති අතර ඉතිරිවී ඇති සතුන්ද වඳවී යාමේ තර්ජනයට ලක්වී සිටිති. කෙසේ වෙතත් මේ ඛේදජනක තත්ත්වය අවම කර ගැනීම පිණිස බලධාරීන් විසින් යම් යම් පියවර ගෙන තිබිම සතුටට කරුණකි’.

පර්වතය මුදුනේ සහ පාමුල ඇති තාවකාලික මිරිදිය පොකුණු වල ජලය තිබෙන කාල වලදී ඒවා මනා ජෛව විවිධත්වයකින් යුක්තය. විශේෂයෙන්ම මැඩියන් වැනි උභය ජීවීන් සහ මිරිදිය කූණිස්සන් වැනි ක්‍රස්ටේශියා  සතුන්ද  ඒවායේ බහුල ලෙස දකින්නට ලැබේ. තවත් වැදගත් ලක්ෂණයක් වනුයේ මෙම ජීවීන්ගේ බිත්තර දිගු  ඉඩෝර කාලයේදී, ජලය හිඳී ගිය පසු ඇතිවන විෂම කාල සීමාව, කාලතරණය (hibernation) කර, නැවත ජලය ලැබුණු පසු නව ජීවනය ලබා ප්‍රකෘති තත්ත්වයට පත්වීමයි.



මෙසේ කාලතරණය කරණු ලබන එක්තරා සුවිශේෂී  මිරිදිය ජීවියෙකු පිලිබඳව සටහනක් තැබීම මෙහිලා වැදගත්ය. ඉහත ඡායාරූපයේ දැක්වෙනුයේ  සත්ත්ව වීද්‍යාඥයින්  විසින් ‘ජීවමාන ෆොසිලයක්’ (living fossil) ලෙස හඳුන්වනු ලබන මිරිදිය කූණිස්සෙකි.

‘ඉස්ගෙඩි කූනිස්සා’ (Tadpole shrimp) යන නමින් හඳුන්වනු ලබන මේ කූනිස්සා මිට වසර මිලියන 250 කට පමණ පෙර ට්‍රියෑසික්‌ (Triassic) භූ යුගයේදී ජර්මනිය වැනි ලෝකයේ වෙනත් ප්‍රදේශවලද ජීවත්ව සිටි බවට පාශාණිභූත සාක්ෂි ලැබී තිබේ. මෙම කූනිස්සන් උලුරු පර්වතය මත දිය කඩිති වල තවමත් ජීවමානව සිටීම විශේෂත්වයකි. මෙය ඇත්තෙන්ම මෙම ජීවියාගේ පරිණාමයට තිත තැබීමක්ද? අද ලොව සිටින වෙනත් කිසිම ජීවියෙකු, වර්තමානයේ  සිටින තත්ත්වයෙන්ම, මීට වසර මිලියන 250 කට පෙරද ජීවමානව සිටි බවට‍ කිසිම පිළිගත් සාක්ෂි නොමැත. ඒ නිසා ඉතාමත් විරල මෙම කූනිස්සා ගැන ඇසීමට  ලැබීමද අපගේ භාග්‍යයක් ලෙස සැලකිය හැකිය.

උලුරු-කාටා ට්ජුටා  (Uluru–Kata Tjuta) ජාතික වනෝද්‍යාණය, 1958 වර්ෂයේදී  අයර්ස්-ඔල්ගා පර්වත ජාතික උද්‍යානය යන නමින් ආරම්භ කරන ලදුව, පසුව 1993 වර්ෂයේදී, එය උලුරු-කාටා ට්ජුටා  (Uluru–Kata Tjuta) ජාතික වනෝද්‍යාණය,  නමින්  යළි නම් කර තිබේ. ඔල්ගා යන නමින් කලින් හැඳින්යේ  උලුරු සිට කිලෝමීටර් 30 ක් පමණ දුරින් පිහිටි  කාටා ට්ජුටා කුඩා  පර්වත සමුහයයි. මෙම වනෝද්‍යාණයට  වර්ග කිලෝමීටර් 1326 ක වපසරියක් අයත් වේ. (ශ්‍රී ලංකාවේ බිම් ප්‍රමාණය  වර්ග කිලෝමීටර් 65,000 ක් පමණ වේ)

ඕස්ට්‍රේලියානු රජය විසින්, 1995 වර්ෂයේදි මෙම වනෝද්‍යාණයේ අයිතිය එම භුමියේ අයිතිකරුවන් වන ඇබෝරිජින් ජනතාවට නිල වශයෙන් පවරාදෙන ලදී. ඒ සමගම ඇබෝරිජින් ජනතාව විසින් වනෝද්‍යානය සහ ඓතිහාසික  උලුරු පර්වතය අනූනව අවුරුදු බදු ක්‍රමයට, ඕස්ට්‍රේලියානු රජයට පවරා දී ඇත. දැනට මෙම බදු  ගිවිසුමට වසර විසි දෙකක් ගතවී තිබේ. මෙම වනෝද්‍යාණය, UNESCO ලෝක උරුම ස්වාභාවික උද්‍යාණයක් ලෙස නම් කර ඇත්තේ 1987 වර්ෂයේදීය . මෙම වනෝද්‍යාණයේ සංස්කෘතික වැදගත් කම නිසාම, 1994 වසරේදී එය යුනෙස්කෝව විසින් සංස්කෘතික පර්ශ්‍රයක් වශයෙන්ද නැවත පිළිගන්නා ලදී. ලෝකයේ මෙවැනි ද්විත්ව පිළිගැනීමක් ඇති යුනෙස්කෝ ජාතික උරුම ඇත්තේ ස්වල්ප ගණනකි.

පර්වතය අවට ප්‍රදේශය කර්කශ කාලගුණයක් සහිත කාන්තාර ස්වභාවයක් උසුලතත් එහි සැලකියයුතු ජෛව විවිධත්වයක් දකින්නට ලැබේ. මෙහි ඇකේෂියා, කාන්තාර ඕක්‌, යුකැලිප්ටස් වැනි වෘක්ෂ සහ වෙනත් පඳුරු සහ කුඩා පැළෑටි විශේෂ 400 ක්‌ පමණ හඳුනාගෙන තිබේ. සතුන් වශයෙන්, රතු කැන්ගරු සහ වෙනත් කුඩා මාර්සුපියල් ගණයේ සත්ත්ව විශේෂ කිහිපයක්ද, සර්පයින් සහ වෙනත් උරග විශේෂ කිහිපයක් සහ කුරුල්ලන් විශේෂ 175 පමණද සිටින බව අධ්‍යයනය කර තිබේ.

සොබා මං පෙතේ පා ගමනින් පසුව අපට, එම පර්ශ්‍රයේම තරමක් දුරින් පිහිටි ඇබෝරිජන්  සංස්කෘතික මධ්‍යස්ථානය නැරඹීමට හැකිවිය. ඉලුක්‌ වැනි ස්වාභාවික ද්‍රව්‍ය  වලින් වහලය සෙවිලි කර තිබුණු සංස්කෘතික මධ්‍යස්ථානය එම පරිසරයට ගැලපෙන පරිදි සකස් කර තිබුණු මැටි බිත්ති සහිත ගොඩනැගිලි සංකීර්ණයකි. අපගේ චාරිකාවේදී දකින්නට ලැබුණු, අසා දැනනගන්නට ලැබුණු  සහ නිරීක්ෂණය කරන්නට ලැබුණු බොහෝ දේවල් පිලිබඳ තවත් සත්‍ය තොරතුරු රාශියක් එම මධ්‍යස්ථානයේදී දැක ගන්නට ලැබුණි. ලබාගත් දැනුම තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා සංස්කෘතික මධ්‍යස්ථානය බොහෝ සේ ප්‍රයෝජනවත් විය.

එදින සවස් වරුවේදී මෙතෙක් ලබා නැති ආශ්වාද ජනක විනෝදාංශයක්  භුක්ති විඳීමටද අපට අවස්ථාවක් ලැබුණි. ඒ ඔටුවන් පිට යාමයි. නිවාඩු නිකේතන වල සිට කිලෝමීටර දෙකක් පමණ ඈතින් ‘ඔටු ගොවිපලක්’ ස්ථාපනය කර තිබේ. ඕස්ට්‍රේලියාවේ මධ්‍ය කාන්තාර ප්‍රදේශයේ වනාන්තර වල වන ඔටුවන් (wild camels) මිලියනයක් පමණ සිටිති. මෙම ඔටු ගහණයෙන් අල්ලා ගෙන හීලෑ කරන ලද ඔටුවන්ගේ පිට උඩ යාම  සංචාරකයින් ප්‍රිය කරන විනෝදාස්වාදයකි.

කටකලියාවක් සහ සෑදලයක් (saddle) ඔටුවාගේ පිට මත සවිකර එහි දෙදෙනෙකුට පහසුවෙන් වාඩිවී යා හැකි ආසන දෙකක් සවි කෙරේ.



ඔටුවාගේ පිට මත නැගීම, පහසු වීම සඳහා අට්ටාලයක්ද සකස් කර ඇත. මෙහි මෙසේ ඇතත්, අරාබිකරයේ නම් පිට මතට නැග ගැනීම පිණිස,  ඔටුවා පාද නමා බිම දිගා විය යුතු බවද අපි දැන ගතිමු. ‘කාන්තාරයේ නැව’ නම් විරුදාවලියකින් හඳුන්වනු ලබන ඔටුවන් කාන්තාර තරණය කිරීම සඳහා මිනිසාට නැතුවම බැරි සතෙකු බව අපට එදින හොඳින්ම තේරුම් ගත හැකි විය.

අපගේ කණ්ඩායමේ සියලු දෙනාම පාහේ මොල්ලි දෙකක් සහිත ඔටු  පිටක ඇති මට සිලුටු භාවය හෝ රළු භාවය රිසිසේ භුක්ති විඳින්නට අවස්ථාවද ලබාගත්හ.

ඔටු පිට යාමේ විනෝදාස්වාදයෙන් පසු අපගේ චාරිකාවේ නියමිත වැඩ කොටස අවසන් විය.

එදින රාත්‍රී ආහාරයෙන් පසු සියලු දෙනාම නිවාඩු නිකේතන පරිශ්‍රයේ ඇති එළිමහන් වේදිකාව අසල තණ පිටියේ නැටුම්, ගැයුම්, වැයුම් සහිත සංගීත සන්ධ්‍යාවක් පවත්වා විනෝද මිහිරක්ද ලැබුවෙමු.

පසුදින (6 වනදා ) උදේ ආහාරයෙන් පසු අප පාවිච්චි කළ නිවාස ආපසු භාරදී, මෙල්බර්න් බලා ඒම පිණිස උලාරා ගුවන් තොටුපලට පැමිණ ගමනක අවසානය සනිටුහන් කළෙමු.

උලුරු - කාටා ට්ජුටා,  යුනෙස්කෝ ජගත් උරුම වනෝද්‍යානයේ කරගෙන යනු ලබන සංරක්ෂණ කටයුතු

       උලුරු - කාටා ට්ජුටා,  යුනෙස්කෝ ජගත් උරුම වනෝද්‍යානයේ කරගෙන යනු ලබන සංරක්ෂණ කටයුතු සඳහා ආදී වාසිකයින්ගේ පාරම්පරික දැනුම් සම්භාරය සහ නවීන විද්‍යා සහ තාක්ෂණ දැනුම බද්ධ කර ගන්නා අකාරයද විමසා බැලීම ප්‍රයෝජනවත්ය. මෙම කරුණු සොයා ගැනීම සඳහා විෂයය සම්බන්ධව ලියවී ඇති විවිධ ලිපිලේඛන (අන්තර්ජාලයද ඇතුළු) විමර්ශනය කරන ලදී.

ඕස්ට්‍රේලියාවේ ඇබොරිජන් ආදී වාසිකයින්ගේ ප්‍රධානතම ජන සමුහයක් වනුයේ අනන්ගු (Ananagu) ජනතාවයි. ඔවුන් විසින් ඇබොරිජන් නොවන විදේශිකයින් හැඳින්වුයේ පිරන්පා (Piranpa) යන නමින්ය. අනන්ගු ජනතාව විසින් කාලාන්තරයක් තිස්සේ රැක ගෙන එන ලද සංස්කෘතික සහ පාරම්පාරික වටිනාකම් සහ දායාදයන්  පිරන්පා ජනයා විසින් පරිහානියට ලක් කර ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

මේ බව තේරුම් ගත් ඕස්ට්‍රේලියානු බලධාරින්, ආදිවාසීන්ගේ ජනජීවිතයට බොහෝ සෙයින් සමීප සහ  පූජනීයත්වයේ ලා සලකන  උලුරු පර්වතය සහ ඒ අවට ප්‍රදේශය සංරක්ෂණය කිරීම සහ යලි පිබිදවිම සඳහා නිසි පියවර ගෙන තිබේ. මේ වනවිට ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මෙසේය. 

·        අනන්ගු (Ananagu) ජනතාව, විද්‍යාඥයින් සහ වන ජීවී සංරක්ෂණ නිලධාරීන් සමග සුහදව එක්වී,ඔවුන්ට ආවේනික නීති රීති වලට අනුකූලතාව දක්වමින් වන ජීවීන් රැක බලා ගැනීම වෙත සිත් යොමු කරති.
·        පිරන්පා (Piranpa)  වන සංරක්ෂකයින් විසින් විද්‍යාත්මක දැනුම ආයෝජනය කරන අතර, තෝරාගත්   අනන්ගු (Ananagu) තරුණ පිරිසක් සංරක්ෂණ ක්‍රමවේද හදාරන අතර ඔවුන් විසින් තම පාරම්පරික නායකයින්ගෙන් ලබාගන්නා දැනුමද තම ක්‍රියාවලියට ආදේශ කර ගනිති.
·        උලුරු - කාටා ට්ජුටා වනෝද්‍යාණයේ සංරක්ෂණ කටයුතු වලදී මූලික වශයෙන් ලැව් ගිනි මැඩ පැවැත්වීම  සහ ආගන්තුක ශාක සහ විලෝපීය සතුන්ගේ සංක්‍රමණය මැඩපැවැත්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරති.
·        ධරණීයභාවය  සහ තිරසාරභාවය මූලික කර ගනිමින්, එසේම සංචාරක කටයුතුද අඩපන නොවන ආකාරයට වසර කිහිපයක් ඉදිරියට  සංවර්ධන කටයුතු කරගෙන යාම පිලිබඳ මනා සැලසුමක් සකස්  කර තිබේ.

·         මෙතෙක් විශේෂ අවසරය ඇතිව පර්වතයට නැගීමට ඉඩකඩ තිබූ නමුත්, එහි ඇති අනාරක්ෂිත භාවයත්, පර්වතය ආදිවාසි පූජනීය ස්ථානයක් නිසාත්, මෙම වසරේ සිට එය තරණය කිරීම අත්හිටුවා තිබේ. 
                                                                          
  
වසරකට මෙ‍ම සංරක්ෂිත උද්‍යාණයට සංචාරකයින් 250,000 ක් පමණ පැමිණෙති. උද්‍යාණයේ ශුෂ්ක ස්වභාවයත්, දුර කතරක පිහිටීමත් නිසා එහි පිරිසිදු ජලය, සෞඛ්‍ය සහ නේවාසික යටිතල පහසුකම් සැපයීම දුෂ්කර කාර්යයක් වී තිබේ.

මෙම පරිසරයේ සුලභව සිටි, මෑත කාලයේදී සම්පූර්ණයෙන්ම තුරන් වී ඇති ‘මාලා’ යන නමින් හඳුන්වනු ලැබූ ‘ rufous  hare wallaby’  නම් කුඩා ඌරු මියෙකු වැනි වොලබි ජීවියා නැවත පරිසරයට යොමු කිරීම සඳහා සුවිශේෂී සංරක්ෂණ ක්‍රම වේද භාවිත වේ. 


පොලොව යට හාරාගන්නා ලද ගුල් වල වාසය කරන මෙම වොලබියාටද කන්ගරුවන්ට මෙන් උදර ප්‍රදේශය යට, පැටවුන් රඳවා  ගැනීම සඳහා පැසක් (pouch)   තිබේ. මේ නිසා මොවුන්ද  Marsupial සතුන් ලෙස සැලකේ. මොවුන් ගුල්වලින් පිටතට පැමිණෙනුයේ වර්ෂාව පවතින විට පමණකි.

මෙම වොලබියන් සංරක්ෂණය සඳහා 2005 වසරේදී, උතුරු ප්‍රාන්තයේ රක්ෂිතයක, හෙක්ටෙයාර් 170 ක බිම් පෙදෙසක් වටා ආරක්ෂක වැටක් බැඳ, හිවලුන් වැනි  විලොපියයන්ගේ ආක්‍රමණය වලක්වා ගැනීමට පියවර ගෙන තිබේ. ආරම්භයේදී, පිටින් ගෙනැවිත්, මෙම ආදර්ශ පරිසරයට මුදාහැර ආරක්ෂා කරන ලද  මාලා සතුන් 24 දෙනෙකුගෙන් සාර්ථක ලෙස බෝවීම නිසා, දැනට එම රක්ෂිතය තුළ සතුන් දෙසියයක් පමණ සිටින බව ගණනය කර ඇත. ඉදිරි කාලයේදී මෙම සතුන් වනෝද්‍යාණය තුළට නිදැල්ලේ යැවීමට නියමිතය.

ආදී වාසීන්ගේ සංස්කෘතික උරුමයන්ද ආරක්ෂා කරමින්, ඔවුන්ගෙන් පැවත එන,  භුමියේ හිමිකරුවන්, වනසංරක්ෂක නිලධාරීන් ලෙස මෙම වනෝද්‍යාණය සංරක්ෂණය කිරීමේ කටුයුතු සඳහා යොදවා ගැනීම ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් ගන්නා ලද  ඉතාමත් සතුටු දායක පියවරකි. එසේම නව විද්‍යාත්මක සහ තාක්ෂණික මෙවලම් සහ අධ්‍යයන ක්‍රමවේද භාවිත කරමින්, පාරම්පරික නීති රීති සහ ක්‍රමෝපායයන්ද ඒ සමග මුසු කර ගනිමින් මෙම පරිසරයේ සිදු කරගෙන යන සංරක්ෂණ වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීම පිණිස යුනෙස්කෝ ආයතනය මගින්ද දක්වන අනුග්‍රහය ප්‍රසංශනීයය.

(ස්තුතිය: ඡායාරූප කිහිපයක් සහ වීඩියෝ පට සඳහා, බන්දුල කෑඳරගම මහතාට.)