Thursday 4 January 2018

සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ එක් කුඩා දිවයිනක තවමත් තිබෙනුයේ වහල් සේවයද?

මෙය ලෝකයේ ජනාවාසයක්‌ ඇති ඉතාම කුඩා දිවයින් වලින් එකකි.   සිල්වට් දූපත (Silhouette Island) යන නමින් හඳුන්වන මෙය දකුණු ඉන්දියන් සාගරයේ සීෂෙල්ස් දූපත් සමූහයට අයත්ය. ප්‍රධාන දූපතේ සිට කිලෝමීටර විස්සකට  පමණ ඈතින් පිහිටා ඇති මෙම දිවයින ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර විස්සක් (4km x 5km)   පමණ වේ. දූපතෙහි පවුල් විසිපහක් පමණ ජීවත් වන අතර මුළු ජනගහණය 150 ක්‌ පමණ වේ. මෙයින්ද විසි දෙනෙක් පමණ දූපත අයිති වැවිලි සමාගමේ සේවකයින්ය. මෙම දිවයින,  සොයාගත් කාළයේ (1810 දී පමණ)  සිටම, අසල පිහිටි මුරුසි රටෙහි  පදිංචිව සිටි ප්‍රංශ ජාතික ධනවත් ව්‍යාපාරික පවුලකට අයති දේපලක් ව තිබී පසුව රජයට අයත් වි ඇත.

මුල් කාලයේදී මෙම දූපතෙහි වගා කටයුතු සඳහා යොදවනු ලැබූ අප්‍රිකානු සම්භවයක් ඇති වහල්ලු (slaves) වශයෙන් සේවයට ගන්නා ලදැයි සිතිය හැකි  මිනිසුන්ගෙන් පැවත එන අය, තවමත් ඒ ආකාරයෙන්ම සිටීම ඛෙද ජනක තත්ත්වයකි.

ඉන්දියන් සාගරයේ බටහිර ප්‍රදේශයේ පිහිටා ඇති සිල්වට්, ඉතාමත් විරල ජීවින් සිටින ඉහල ජෛව විවිධත්වයක් සහිත කුඩා දිවයිනකි. දැනට දශක තුනකට පමණ ඉහතදී, මා සීෂෙල්ස් බහු තාක්ෂණ ආයතනයේ සේවය කරද්දී මෙම මනරම් දිවයිනෙහි  අධ්‍යයන කටයුත්තකට සහභාගී වීමට අවස්ථාව ලැබුණි. 
මෙම කුඩා දිවයිනේ, වඳවීයාමේ තර්ජනයට අතිශයින් භාජනවී ඇති, වල්ගයේ කොලොපුවක් මෙන් හැකිලිය හැකි  පටලයක් වැනි විකරණයක් සහිත ඉතාමත් විරල, එරටට අවේනික (ඒක දේශික) වවුලෙකු (Coleura seychellensis) සිටින බව අසන්නට ලැබිණ. (අපට දැකගැනීමට නොහැකි විය) ලෝකයේ වෙනත් කිසිම ස්ථානයක නොමැති, මෙම වවුලන් මෙහි සිටින තිස් දෙනෙකුගේ රංචුවකට පමණක් සීමාවී තිබීම නිසා වඳවී යාමේ තර්ජනයේ අන්තයටම පැමිණ ඇති බව පෙනේ.


මිට අමතරව, මෙම දුපත් වල තිබෙන ඒක දේශික ශාක 75 කින් 61 ක් පමණද සිල්වට්  දිවයිනේ තිබෙන බවද, එය කුරුළු පාරාදීසයක් බවද  නිරීක්ෂණය කර තිබේ. මෙහි අගනා ජීව විද්‍යාත්මක වටිනාකම් නිසාම 1987 සිට දිවයිනෙහි මධ්‍ය කඳුකර කොටස සහ   අවට මුහුදු තීරය රක්ෂිත ජාතික උද්‍යානයක් ලෙස නම්කර තිබේ.
මෙම අපූරු දිවයිනෙහි ජෛව විවිධත්වය රැකගැනීම  සහ වඳවීයාමේ තර්ජනයට ගොදුරුවී ඇති ජීවීන් සංරක්ෂණය සඳහා මධ්‍යස්ථානයක්ද  පිහිටුවා තිබේ.




ස්වභාව  සෞන්දර්යය සහ ජෛව විවිධත්වය සහිත මෙම දිවයිනෙහි ජීවත්වන මිනිසුන්ගේ ජීවන රටාව පිළිබඳවද විමසිලිමත්වීම වැදගත්ය. 

රජය මගින් දිවයින දූපත් සංවර්ධන සමාගම නම් ආයතනයකට පවරා දී තිබේ. දූපතෙහි කෘෂිකාර්මික කටයුතු කිරීම සඳහා එහි ජීවත්වන ජනතාව යොදා ගැනේ. එම මිනිසුන්ගේ ඕනෑ එපා කම් සියල්ල පාලනය වනුයේ සමාගමේ පාලක පක්ෂය මගිනි. දිවයිනෙහි ජනගහනය ඒ මට්ටමෙන්ම පවත්වාගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිත වේ. අතලොස්සක් වන දරුවන් සඳහා ගුරුවරු දෙදෙනෙක් පමණක් සිටින පාසලක් තිබේ, ජනතාවගේ සෞඛ්‍ය කටයුතු ගැන සොයා බැලීමට එක් හෙදියක් සහිත සෞඛ්‍ය මධ්‍යස්ථානයක්ද ඇත. කාර්ය මණ්ඩලයේ භාවිතය සඳහා එක් මෝටර් රථයක්‌, බයිසිකල් දෙකක්‌ සහ බෝට්ටුවක්ද තිබේ.

මෙම මිනිසුන්ගේ විශේෂත්වය වනුයේ ඔවුන් කිසිම භාණ්ඩයක්‌  මිලදී ගැනීම හෝ භාණ්ඩ අලෙවි කිරීමක් නොකිරීමයි. ඔවුනට මුදල් භාවිතය පිළිබඳව ඇත්තේ ඉතාමත් අල්ප දැනුමකි. ඔවුන් මුදල් නෝට්ටු හෝ කාසි පිලිබඳ කිසිවක් නොදන්නා තරම්ය. මෙම මිනිසුන්ගේ සියලුම මුදල් වැයවන අවශ්‍යතා දූපත් සංවර්ධන සමාගම මගින් සිදු කෙරේ. ඒ වෙනුවට සෑම කෙනෙක්ම දිවයිනේ එදිනෙදා කටයුතු සඳහා සිය ශ්‍රමයෙන්ම දායක විය යුතුය.

සියලුම ශ්‍රමිකයින් පෙරවරු අට වනවිට ආයතන කාර්යාලය අසලට රැස්විය යුතුය. මෙය වැඩ බෙදාදෙනු ලබන ‘පෙරෙට්ටුව’යි. එහිදී ගැහැණු පිරිමි කාටත් දිනයේ නියමිත වැඩ කටයුතු පැවරේ. වැඩි පිරිසක් ගොවී පළේ වැඩ කටයුතු සඳහාය. පිරිමි කිහිප දෙනෙකු ඔවුන් සඳහා වෙන්කර තිබෙන ඔරු වලින් මසුන් ඇල්ලීම සඳහා මුහුදට යති. තවත් කිහිප දෙනෙකු උදලු අලවංගු ආදිය රැගෙන පාරවල් තැනීම සඳහා යති. පලතුරු වතුවල වැඩ සඳහාත් කුකුල් පාලන කටයුතු සඳහාත් ඉතිරි අය පිටත් වෙති. පාසල් නොයන වයසේ දරුවන් රැකබලා ගැනීමද සෞඛ්‍ය හෙදියට පැවරේ. මෙසේ සියලු දෙනාම තමන්ට අයිති වැඩ කටයුතු වල නිරත වීම ඔවුන්ගේ දින චරියාවයි.

සවස් වන විට ඔවුන්ගේ සියලුම නිෂ්පාදන පාලන ආයතනය මගින් එකතු කරගනී. ඒවා වහාම අලෙවිය  සඳහා ප්‍රධාන දූපතට යාවේ. පැය අටක සේවයෙන් පසුව නැවත පෙරෙට්ටුවට පැමිණෙන ශ්‍රමිකයින්ට, එදිනෙදා ජීවත් වීමට අවශ්‍ය දේ එහිදී බෙදාදෙනු ලැබේ. සහල්, මස් මාළු, එළවලු, කිරි ආදිය මේ අතර තිබේ. ඇඳුම ලැබෙනුයේ වසරකට එක් වරකි.

මේ දිවයින් වැසියන් තමන්ගේ ජීවන ක්‍රමය ගැන සෑහීමකට පත්වී සිටින බව පෙනේ. ඔවුන් අතරින් බොහෝ දෙනෙකු කිසි විටක දිවයිනේ සීමාවෙන් පිටතට ගොස් නැත. ඔවුනට ඒ ගැන හැඟීමක්වත් ඇති බවක් නොපෙනේ. ඔවුන්ගේ ශ්‍රමය සූරා කමින් පාලකයින් ධනය උපයන බවක්වත් ඔවුන් නොදන්නා සේය. ඔවුන් සඳහා විකල්පයක් සොයා ගැනීමටද අවශ්‍යතාවක් නොමැති බව පාලක්යින්ද සිතනු නොඅනුමානය. 
  
මෙම මිනිස් ශ්‍රමය සූරාකෑම, ආදී කාලීන වැඩවසම් පාලන ක්‍රමයේ හෝ වහල් සේවයේ  නෂ්ටාවශේෂයක්ද?


22 comments:

  1. බොහොම ස්තුතියි ඔබට, කිසිදා අසා නොමැති මෙවන් රසවත් හරවත් තොරතුරු අපවෙත ගෙනඑනවට.

    මහත්මයා, ඔබ සදහන්කළ මෙම දුපත්වාසීන්ගේ තොරතුරැ දැනට දශක තුනකට පෙර තත්වයද ...... එසේ නොමැතිනම් වර්තමාන තත්වයද?

    ගංගා ඇලදොළ නොමැති, මුහුදු මට්ටමේ පවතින; මෙවන් කුඩා දුපත් වාසීන්ගේ පරිබෝජනය පිණිස අවශ්‍ය ජලය ලබා ගන්නේ කෙසේදැයි කියා දැනගැනීමේ කුකුසක් ඇතිවුණා... (වර්තමානයේ නම් ඇතැම් විට මුහුදු ජලයේ ලවණතාවය ඉවත් කොට බීමට සුදුසු ජලය බවට පත් කර ගන්නවා ඇති) මුහුදු මට්ටමේම පවතින (බුමදානය පමණක්ම කරන මුස්ලිම් ජාතිකයන් වෙසෙන මාලදිවයින වැනි) රටවල වෙසෙන්නන් මියගිය පසු බුමදාන කටයුතු කරන්නේ කෙසේද ... වැසිකිලි ආදිය සදහා අවශ්‍ය වලවල් ජලය නොපිරෙන අයුරු කපා ගන්නේ කෙසේද වැනි කරුණු දැනගැනීමේ ආශාවක් ඇතිවුණා.

    ඔබ දසක තුනකට පෙර මෙම රටවල කටයුතු කරන අවදියේ එම රටවල් වල ඔබ මතකයේ ඇති (එදා පැවති තත්ත්ව පිලිබද) විශේෂ තොරතුරු ඉඩ කඩ ලැබෙන අයුරු ලියා පලකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමි.

    නැවතත් ඔබට බෙහෙවින්ම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Unknown,
      මා ඉහත දැක්වූ විස්තරය නම් දැනට වසර විසිපහකට පමණ ඉහතදී මගේ අත්දැකීමක්. තවමත් ඒ තත්ත්වයම තිබෙනවාද යන්න දන්නේ නැහැ. ඉන්දියන් සාගරයේ දකුණේ තිබෙන මේ දුපත් මැද කඳු සහිත 'අග්නේය පාෂණ' (Igneous rocks) සහිත දුපත්. මේවායේ භූගත ජලය යම්කිසි ප්‍රමාණයක් තිබෙනවා. ඒ සමග වර්ෂා ජලය එකතු කර ගැනීමත් (වහලට වැටෙන ජලය පවා) කර ගන්නවා. මෙයට කියන්නේ 'harvesting rain water' කියා.
      මාලදිවයින්වල කොරල් දූපත් නිසා භූගත ජලය ඉතා අඩුයි. මෙහි ගැඹුරු ලිංවලින් ලැබෙන ලුණු රස ජලය වාශ්පීකරණ ක්‍රම මගින් පිරිසිදු කර ලබාගන්නා ආශ්‍රුතජලය වැසි ජලය සමග මිශ්‍ර කර, බැක්ටීරියාහරණය කර බිමට ගන්නවා.මෙම ක්‍රමය RO Reverse Osmosis නමින් හඳුන්වනවා.
      මගේ Blogs කිහිපයකම සීෂෙල්ස් දූපත් වල විවිධ තොරතුරු සටහන් කර ඇති. ඒවා කියවා බලන්න.

      Delete
  2. මට නම් ඔබේ නිරීක්ෂණ සමග එකඟ වෙන්ට බෑ, මෙතන වාමානසිකයන් ගේ ප්‍රගතිශීලි ආර්ථික ප්‍රතිපත්ති හොඳින්ම ක්‍රියාවට නැගෙන උතුරුකුරු දිවයිනක් වගෙයි පෙනෙන්නේ; පාලකයෝ සියළු දේ සපයනවා, කරන්න ඕන දේ සැලසුම්කරල දිනපතා ඒ වැඩ බෙදා දෙනවා, දිනය අවසානයේ නිෂ්පාදන එකතුකරලා අලෙවි කිරීම සම්පුර්ණයෙන්ම බාරගෙන තියනවා, අවුලකට තියෙන්නේ ඕක සමාගමක් වීම පමනයිනේ, එක සමුපකාරය කියා වෙනස්කරලා දිවයිනේ වත්කම් සියල්ල වැඩකරන ජනතාව සතුය කියල ලොකු බෝඩ් එකක් දැම්මනම් ඒ අවුලත් හරි.

    ReplyDelete
    Replies
    1. //එක සමුපකාරය කියා වෙනස්කරලා දිවයිනේ වත්කම් සියල්ල වැඩකරන ජනතාව සතුය කියල ලොකු බෝඩ් එකක් දැම්මනම් ඒ අවුලත් හරි.//

      එතකොට එක සමාජවාදී කඩයක්...:D

      Delete
    2. ස්තුතියි ඇණ...
      /වාමානසිකයන් ගේ ප්‍රගතිශීලි ආර්ථික ප්‍රතිපත්ති/
      ඔබ කෙසේ කීවත් ඒ දූපතේ මිනිසසු හඬක් නගන්නේ නැහැ.'කියන දෙයක් කරන, දෙන දෙයක් කන' අහිංසක මිනිසුන්. ඔවුන් සඳහා සමාගම කරන වියදම මෙන් විසි තිස් ගුණයක ආදායමක් පාලකයින් ලබාගන්නවා. නිපදවන්නා එතනමයි. අර ඉහතින් කී අදහස් සමාජවාදී පොතකටනම් හොඳයි. ක්‍රියාත්මක කරන්නට බැහැ. සමාගම නොවුනානම් වැඩටික හසුරුවන්නේ කවුද? අප කෙසේ තේරුම් ගත්තත් වෙන විකල්පයක් නොමැති බවයි පෙනෙන්නේ. මෙයත් ඊනියා 'වැඩවසම් සමාජ ක්‍රමයේ' දිගුවක්ද කියා මා පැණයක් මතුකළා පමණයි. විසඳුම සෙවීම ඔබට බාරයි. මෙහිනම් වත්කම් සියල්ල ජනතාව සතුවි නැහැ.

      Delete
    3. ස්තුතියි මනෝජ්,
      අපටනම් ඕකට සමුපකාරය කියල බෝඩ් එකක් ගහන්නට පුළුවන්. ඒ උනාට අපේ දැන් වැඩිපුර තිබෙන්නේ 'බහුසේවා සමුපකාර'MPCS'සමුපකාර තොග වෙළඳ සංස්ථා' SATHOSA වගේ ඒවා නොවේද? ඒත් 'වත්කම් සියල්ල ජනසතුය' කියන එකනම් ......???

      Delete
    4. අගනා පොස්ටුවක්, මගේ ඉහල කොමෙන්ට් එක සොපහසයක් ගොඩනගන්න දැරුව අසාර්ථක උත්සහයක්,
      මා කලක් ජිවත් වුනු සෝවියට් රුසියාවේ පාලන ක්‍රමයත්, බොහෝ වාමාංශික අදහස් දරන්නන් ලංකාවේ ක්‍රියාත්මක කරන්නටය කියන ක්‍රමයත් සරල වශයෙන් ගත්තම මේ දිවයිනේ ක්‍රමයට සමාන ලෙසයි මා දකින්නේ, අතරමැදි වියපරිකයෝ / වෙනත් ව්‍යවසායකයෝ නැහැ රජය ( හෝ සමාගම )ජනයට අවශ්‍ය මොනවාදැයි තීරණය කර ඒවා සපයනවා, සහ නිස්පදිතය් ලබා ගන්නවා, මිනිසුන් කුමක් කලයුතු ද කියා සැලසුම් කර ඔවුන්ට් එසේ කරන්න බල කරනවා. සෝවියට් රුසියාවේ බොහෝ ස්වභාවික සම්පත් තිබු නිසා ජනයාගේ ජීවන් තත්වය සාපේක්ෂව උසස්ව පැවතුන නමුත් ජනයා විසින් නිෂ්පාදනය කෙරුනු ධනයෙන් වැඩි කොටස අයුතු ලෙස යෙදවුනේ ලෝක දේශපාලන බලතුලනය වෙනස් කරන්නයි.

      Delete
    5. ස්තුතියි ඇණ....,
      ඔබගේ comments දෙකම මා ඉතා අගය කරනවා.ඔබගේ අදහස ගැන බලන විට ව්ර්ග කිලෝමීටර් විසිපහක වපසරියක් සහ ජනගහනය සියයක් පමණ වූ මේ කුඩා සිල්වට් දිවයිනෙත්, එමෙන් දසලක්ෂ වාරයකටත් වඩා අතිශයින් විශාල සෝවියට් දේශයේත්, ඒකාකාර සමාජ ක්‍රමයක්‌ ක්‍රියාත්මක වී තිබෙනවා. එකම වෙනස කුඩා දුපතේ 'සූරාකෑම' සහ පෞද්ගලික ධන උත්පාදනය. මහා දේශයේ පෙනුමට 'සමානාත්මතාව' සහ ජගත් දේශපාලන බල තුලනය සඳහා උපයන ධනය යෙදවීම වගෙයි මට තේරුම ගත හැක්කේ.

      Delete
  3. මගේ ප්‍රියතම කතුවරයෙක්ගේ , කැමතිම පොතක් ( හැබැයි, සීෂෙල්ස් නෙමෙයි, මොරිෂස් ) https://www.goodreads.com/book/show/48142.Golden_Bats_Pink_Pigeons

    වහල් සේවයේ ලක්ෂණ සහිත සේවයන් තවත් රටවල තියනවා නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay,
      /Golden_Bats_Pink_Pigeons/ කියවල නැහැ. ඉක්මණටම සොයාගෙන කියවනවා. වහල් සේවය් ලක්ෂණ තවමත් ටික ටික තිබෙනවා.
      බොභෝ දුරට මොරිෂියස් සහ සීෂෙල්ස් යන රටවල් දෙකෙහිම පැවතුම් එකාකාරයි. වෙනසකට තිබෙන්නේ මොරිෂියස් නිදහස ලැබුවේ ප්‍රංශයෙන්. සීෂෙල්ස් ලැබුවේ ඉංග්‍රීසින්ගෙන්
      සමාජ ශෝධකයින් යයි කියා ගන්නා අය වහල් සේවය ගැන කෙතරම් කතා කළත් තවමත් කුඩා පරිමාණයෙන් පවතිනවා. සමහරවිට ලබාදෙන ශ්‍රමයට ගැලපෙන වැටුපක් සහ වෙනත් වරප්‍රසාද නොලැබීමත් මේ ගණයට වැටෙනවා නේද?

      Delete
    2. You will really enjoy reading Gerald Durrell's books.

      Delete
    3. Thank you,
      I will make it a point to read Gerald Durrel's books

      Delete
    4. Thank you Rasika,
      Had a glance through the link.The content is quite appropriate. The following extract covers all aspects of the process.
      /The learning course is relevant, engaging and interactive. The course is comprehensive, covering all forms of slavery and human trafficking, including forced labour, child labour, and organ trafficking. It also includes principles for working with trafficked people, as well as the support for trafficked people, including identifications, referral pathways etc.etc./

      Delete
  4. අපූරු ලිපියක්. මිනිසුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන්ට සරිලන පරිදි පමණක් ද ඔවුන් සේවය කල යුත්තේ? වැඩි දින ප්‍රමාණයක් සේවය කරන අයට අඩු දින ගනනක් සේවය කරන අයට වඩා වැඩිපුර යමක් ලැබෙන්නේ නැත්ද? මට හිතුන අනික් දේ නම් මුදල් සංසරණය නොවන සමාජයක නවීන ලෝකයේ ලෙඩ හැදෙන්නේ නැතුවත් ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්.
      /මිනිසුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන්ට සරිලන පරිදි පමණක් ද ඔවුන් සේවය කල යුත්තේ?/
      ගැටලුව මෙයම තමා. විග්‍රහ කර ගත යුත්තේ මෙයම නේද? මේ මුදල් පරිහරණය නොකරන සමාජයක් මට දකින්නට ලබුනාමයි. එහි සිටි වයස අවුරුදු හැටක පමණ කෙනෙක් කිසිම දිනක දුපතෙන් පිටට ගොස් නැති බව අපට කිව්වා. දුපත් සීමාවේදී සාත්තු සේවිකාවට සුව කළ හැකි අසනීප පමණයි ඔහුට වැළඳී තිබෙන්නේ.

      Delete
  5. නියම විස්තරයක්නෙ. මේ කතාව කියවනකොට ඒජ් ඔෆ් එම්පයර් ගේම් එක වගේ සීන් එකක් මැවිල පෙනුන.
    ඔය දූපතේ කරන වගාවන් වලින් අර කුරුල්ලන්ට හානියක් වෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      මා හිතන හැටියට ඔය වාගේ බොහෝ ප්‍රබන්ධ කරුවන් තම කතන්දර වල වස්තු බීජය ලෙස මෙවැනි අප්‍රකට සිද්ධීන් සම්බන්ධ කර ගන්නවා.
      දුපතේ සංරක්ෂණ මධ්‍යස්ථානය මගින් ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා විධිමත් ක්‍රමෝපායයන් යොදා තිබෙනවා.

      Delete
  6. මහල් ඇති නැති නිවෙස් අයිතිය මොවුන්ටත් එහි තිබේද
    සහල් එළවළු කෑම බීමද ඇති තරම් නිති ලැබේද
    සැහැල් ලුවකට සිනාසෙන්නට වුවද වේලා තිබේද
    වහල් සේවෙට එරෙහිවන අය මෙයට පිළියම් නොදේද.....

    ගොඩාක් කාලෙකට පස්සෙ ඔබතුමාගෙ හරවත් ලිපි බලන්න ආවා.

    ජයවේවා!!!

    ReplyDelete
  7. ස්තුතියි දුමි,
    කාලෙකින් මේ පැත්තේ ආ එක ගැන හරි සතුටුයි. හමුනොවිම ගැනත් විපරම් කළා.

    'ලයින්' කාමර වගේ පොඩි පොඩි ගෙවල්වල මේ අය සිටින්නේ
    කරන් නට වෙන දෙයක් නැතිකම නිසා වහලුන් ලෙස විඳින්නේ
    මහන් තත්තය සිතට ගත් අය නොමැත මිනිසත් බව රකින්නේ
    මෙවන් මිනිසුන් තවම සිටිනා බව කියන්නට මෙය ලියන්නේ

    ඔබට ජයම !

    ReplyDelete
  8. මේ තත්වය අදත් තිබේ නම් ඉතා කණගාටු දායකයි. අගනා තොරතුරු රැසක් හා කොමෙන්ටු රැසක් කියවීමි.

    ReplyDelete
  9. ස්තුතියි මාලිනී,
    Comment එක දැක්කේ කලකට පස්සේ. මා හිතන්නේ අදටත් මේ තත්ත්වය ඒ ලෙසටම ඇති. ඒ අහිංසක මිනිසුන්ට තිබෙන ජීවත්වීමේ එකම මාර්ගය කුඩා දුපතේ ඇති රැකියා සවල්පයෙන් එකක් තෝරා ගැනීමයි. ශ්‍රමය සූරාකෑමක් ලෙස අපට පෙනුනත් ජනතාවට වෙනත් විකල්පයක් නැහැ. ඔවුන්ගේ සමාජ මට්ටමේ දියුණුවක් නොවීම තමයි ගැටලුව.

    ReplyDelete