Sunday, 26 February 2017

විදුහලේ කලක සිට පැවතී ජල ගැටලුවට විසඳුම සිසුන් විසින්ම සොයාගැනීම.......

ය ප්‍රදේශයේ විශාලතම විද්‍යාලයයි. සිසු සිසුවියන් තුන් දහසක් පමණ ඉගෙනුම ලබන විද්‍යාලයේ විෂයය සමගාමී ක්‍රියාකාරකම් සඳහා විශේෂයෙන් සකස් කළ ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානයක්ද තිබේ. එහිදී පවත්වනු ලැබූ විද්‍යා අධ්‍යයන කාර්ය සැසියකට සහභාගිවීම සඳහා ප්‍රදේශයේ විද්‍යා අධ්‍යාපන නිලධාරිවරයා ලෙස මටද ආරාධනයක් ලැබිණ. එවැනි අවස්වථාලදී  සිසුන් සහ ගුරුවරු සමග එකතුවී අධ්‍යයන කටයුතු කිරීමට මම විශේෂ කැමැත්තක් දැක්වීමි. බොහෝ විට විද්‍යාලයයේ විදුහල්පති තුමාද මෙම සැසි වලට සහභාගී විය.

එදින අප වැඩ කරගෙන යන අතර තුරේදී එක් වරටම විද්‍යාගාරයේ ජල සැපයුම නතර විය. වහාම විද්‍යාගාර සහායකට කථාකර ජල පොම්පය ක්‍රියාත්මක කරන ලෙස විදුහල්පතිතුමා  ඉල්ලා සිටියේය.

විනාඩි කිහිපයක් ජලය නොමැති වීම නිසා කාගේත් ක්‍රියාකාරකම් අඩාළ විය. ජල ප්‍රශ්නය ගැන කා අතරත් කසු කුසුවක් විය.
"සර්, දැන් පැය භාගයකටත් ඉස්සෙල්ලත් වතුර නැති උනා" 
යයි එක සිසුවෙක් කීවා.
මා අසලම වාඩිවී සිටි විදුහල්පති තුමාගෙන් මේ ගැන විමසූ විට ඔහු මෙසේ කීවා.
"වතුර පොම්පෙට තියෙන්නේ පරණ මෝටර් එකක්‌. දවසම දාලා තිබුනත් ටැංකිය පිරෙන්නේ නැහැ." 
"සර් මම හිතන්නේ නම් කොහෙන් හරි වතුර ලීක්‌ වෙනවා." 
තවත් සිසුවෙක් අපගේ සාකච්ඡාවට එකතු උනා.
ඒ ගැන මටත් සැකයක් ඇති උනා. 
"අපි මේ ගැන පොඩි සමීක්ෂණයක් කර බලමුද?" 
කියා මා විදුහල්පති තුමාගෙන් ඇසුවා.
"හොඳ අදහසක්. මාත් ඔය ගැන සිතමින් සිටියේ. අපි  ඒකට කැමතියි. අපේ ඊළඟ ක්ෂේත්‍ර අධ්‍යයනයට හැකි වෙතොත් මේ සමීක්ෂණය කරමු." විදුහල්පති තුමා ප්‍රකාශ කළා.

එදින වැඩ සටහන අවසන් වීමට පෙර සිසුන් හතර පස් දෙනෙක් සමග මා මෙම ගැටලුව සාකච්ඡා කර මෙවැනි ගැටළුවක් සඳහා විසඳුම් සෙවීමට හොඳම මග 'විද්‍යාත්මක ක්‍රමය' බව පැහැදිලි කරදී, එහි පියවර කිහිපයද ඉතා සරල ලෙස විස්තර කර දුන්නා.
එයින් දිරිමත්වූ සිසුන් එවෙලේම මෙම ගැටලුවට හේතු විය හැකි උප කල්පන කිහිපයක්ද ඉදිරිපත් කළා.
ඒවා සැකෙවින් මෙසේය 
1. ජල පොම්පයේ හෝ මෝටරයේ අකාර්යක්ෂම බව 
2. කරාමවල ජල කාන්දුව 
3. භූගත ජල නලවල කාන්දුවීම්
4. ලිඳේ ජලය අඩු බව

ඊළඟ සතියේ උදය රැස්වීමේදී විදුහල්පති තුමා මේ පිළිබඳව දිග විස්තරයක් කර සති දෙකකට පසුව එළඹෙන සෙනසුරාදා දින කරනු ලබන මෙම අධ්‍යයනය විද්‍යාත්මක ගවේෂණයක් බව පවසා එයට සහභාගී වීමට කැමති සිසු සිසුවියන්ට, කලින් දින මා සමග සාකච්ඡා කළ ජේෂ්ඨ සිසුවෙකුට තම නම් දන්වන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. එදින විවේක කාලය වනවිට සිසු සිසුවියන් 30 දෙනෙක් පමණ ඉදිරිපත්වී තිබුනා. මේ බව මටත් දන්වා නියමිත දිනට අධ්‍යයනය මෙහෙයවන ලෙසද ඉල්ලා සිටියා. 

සතිය මැද දිනයක මා විදුහලට ගොස් විදුහල්පති තුමා සහ ජේෂ්ඨ  සිසුන් කිහිපදෙනා හමුවී, ඔවුන් සමග විදුහලේ සෑම තැනකම ගොස් නිරීක්ෂණය කර අධ්‍යයනය සඳහා අවශ්‍ය තොරතුරු සටහන් කර ගත්තා. පසුව ජේෂ්ඨ සිසුන් සතර දෙනෙකුට  කණ්ඩායම් නායකයින් ලෙස ක්‍රියාකර සමීක්ෂණය කිරීමට සහ  තොරතුරු සටහන් කර ගැනීම සඳහා  අනිකුත් සිසුන් සමග ක්‍රියාකරන ලෙසටත් උපදෙස් ලබා දුන්නා. 

නියමිත සෙනසුරාදා උදේ මා විද්‍යාලයට යන විටත් ලොකු කුඩා සිසු සිසුවියන් රාශියක්‌, විද්‍යා ගුරුවරු කිහිප දෙනෙක් සහ විදුහල්පති තුමාත්   ක්ෂේත්‍ර මධ්‍යස්ථානයේ රැස්වී සිටියා.

මුලින්ම පැමිණ සිටින සිසු සිසුවියන් ජේෂ්ඨ  සිසුන්ගේ නායකත්වය යටතේ  කණ්ඩායම් හතරකට බෙදා ගත්තා.
එක් එක් කණ්ඩායමේ නායක සිසුන් විසින් කණ්ඩායමට නියමිත කාර්ය භාරය අනිකුත් සාමාජිකයින්ට විස්තර කර දුන්නා. පසුව සියලු දෙනාම ක්ෂේත්‍රයට ගියා. අපද වරින් වර සිසුන් වැඩ කරන ස්ථාන වලට ගොස් අවශ්‍ය උපදෙස් ලබා දුන්නා.
(කලින් දිනක කාර්මික ශිල්පියෙකු විසින් පොම්පයේ දොසක් නොමැති බව ප්‍රකාශ කළ බවද  විදුහල්පතිතුමා අපට පැවසුවා)

පැය දෙකකට පමණ පසු පළමු කණ්ඩායම තොරතරු රැගෙන පැමිණියා.
එහි සිටි කුඩා  සිසුන් තම සොයාගැනීම් කීමට පුලපුලා සිටියා. ඔවුන්ට   කිරීමට නියමිතව තිබුනේ විදුහල් භුමියේ තිබෙන ජල කරාම සහ ඒවායේ ජල කාන්දු වන කරාම සංඛ්‍යා  පිළිබඳව සටහන් කර ගැනීමයි.

ජල කාන්දුවීම් ප්‍රමාණික වශයෙන් මිනුම් ලබා ගැනීමට නියමිත දෙවන කණ්ඩායම භූගත කාන්දුවීම් කිහිපයක්ද  සොයා ගෙන ඒවායේ කාන්දු වීමේ මිනුම් ලබාගත නොහැකි බවත් ප්‍රකාශ කළා.

තුන්වන කණ්ඩායමට ලැබුණු ක්‍රියාකාරකම වූයේ  සම්පුර්ණයෙන් ආවරණය කර තිබෙන (කුඩා විවරයක් සහිතව)   ළිඳේ ගැඹුර, ඇති ජල පරිමාව, ජල ටැංකියේ පරිමාව ආදිය  ගණනය කිරීමයි. මේ සඳහා සරල ගණිත ක්‍රම සහ විද්‍යාත්මක නිරීක්ෂණ උපයෝගී කරගෙන  තිබුනා. ඊට අමතරව ඔවුන් විදුහල් පරිශ්‍රයේ සිතියමක, ලිඳ, ජල ටැංකිය, ජලනල පද්ධතිය, කරාම ඇති ස්ථාන ආදිය සටහන් කළා. (මේ සඳහා විදුහල්පති තුමා විසින් විදුහල් පරිශ්‍ර සිතියමක් සපයාදී තිබුනා.) 
   
හතරවන කණ්ඩායමට නියමිතව තිබුණේ ජලය කාන්දුවන ස්ථානවල දකින්නට ලැබෙන භෞතික ලක්ෂණ (දිය සෙවෙල් බැඳීම, තෙතමනය සහිත බව, තණකොළ සරුවට වැඩී තිබීම, ජලය රැඳී වලවල් තිබීම, මඩ සහිත බව ආදිය ) නිරීක්ෂණය කර සටහන් තබාගැනීම යි.

තොරතුරු එකතු කර ගැනීමෙන් පසුව සුළු විවේකයක් ගත් සිසුන් ලබාගත් දත්ත සැකසීම සහ විශ්ලේෂණය පටන් ගත්තා. පැමිණ සිටි ගුරුවරුද මෙයට සම්බන්ධ වූවා. 

ලබාගෙන තිබුණු තොරතුරු  වලට අනුව විදුහලේ ජල පද්ධතිය පිලිබඳ දත්ත සැකෙවින් මෙසේය.
1. ලිඳේ ගැඹුර   මීටර් 4 ක් පමණ, ජලයේ ගැඹුර මීටර් 2.6, ළිඳේ එදින 
    තිබුණු ජල පරිමාව ඝන මීටර් 24 පමණ , ජල ටැංකියේ ධාරිතාව ඝන 
    මීටර් 13.5
2. විදුහල් පරිශ්‍රයේ ඇති ජල කරාම සංඛ්‍යාව 196, ජල කාන්ඳු නොවන 
    කරාම සංඛ්‍යාව  66, සුළු කාන්දු වීම් සහිත කරාම සංඛ්‍යාව 68, මධ්‍යම 
    ප්‍රමාණයේ කාන්දුවීම් සහිත කරාම සංඛ්‍යාව 42, විශාල ප්‍රමාණයේ 
    කාන්දුවීම් සහිත කරාම සංඛ්‍යාව 20
3. ජල කාන්ඳු සහිත ස්ථානවල භෞතික ලක්ෂණ - බිත්තිවල තෙතමනය 
    ස්ථාන 26, බිත්තිවල දිය සෙවෙල් බැඳීම ස්ථාන 12, තණකොළ 
    සරුවට වැඩී  තිබීම ස්ථාන 8, මඩ සහිත ස්ථාන 4, 

මෙසේ ලබාගත් දත්ත අනුව ජල ටැංකිය පිරී නොයාමට ආසන්නම හේතුව වශයෙන් අනුමාන කල හැක්කේ කරාම ඇතුළු සම්පූර්ණ පද්ධතියේ ජල කාන්දු වීම බව පැහැදිලිවිය.

ජල කාන්දු වීම් අධ්‍යයනය කළ කණ්ඩායමේ දළ ගණනය කිරීම් අනුව (මිනුම් ලබාගත හැකිවූ කාන්දු වීම් වලින් පමණක්) පැයකට ජල ලීටර 1000 ක් පමණ අපතේ යන බව හෙළිවිය. ජල කරාම භාවිතයේදී අපතේ යන ප්‍රමාණය මීට වඩා බෙහෙවින් වැඩිවිය හැකිය. ඇත්ත වශයෙන්ම භාවිත වන ජල ප්‍රමාණයත්, නොයෙක් ආකාර වලින් අපතේ යන ජල ප්‍රමාණයත් බලන විට පැයකට ලීටර් 5000 ක්  ඉක්මවනු ඇත. ජල ටැංකිය පිරී නොයාමට හේතුව වනුයේ ජල පොම්පයේ කාර්යක්ෂමතාව  පැයකට ජල ලීටර් 5000 කට අඩුවීම  විය යුතු බව අනුමාන කළ හැකිය.

මෙම කරුණු  සාකච්ඡා  කිරීමෙන් පසුව මුළු ජලනල පද්ධතියම අලුත්වැඩියා කළ යුතු බව පැහැදිලි විය. 

එය ඉක්මනින්ම කරන බව විදුහල්පති තුමා ප්‍රකාශ කළේය. මෙම කටයුත්ත ගැන දැනගත්  ආදි ශිෂ්‍යයෙකුද වන ජලනල කාර්මික ශිල්පියෙකු, අලුත්වැඩියාව නොමිලේ කර දීමටත්, ජලනල උපාංග වෙළඳ සැලක අයිතිකරුවකු වන තවත් ආදී ශිෂ්‍යයෙකු, අවශ්‍ය සියලුම උපාංග නොමිලයේ සැපයීමටත් ඉදිරිපත් වී ඇත. 

ඊළඟ සතියේ දිනක ජලනල කාර්මික ශිල්පියා තවත් කිහිප දෙනෙකුද උදව් කරගෙන මූලික කැනීම් කටයුතු කර ඇත. භූගත ජල කාන්දු වල ප්‍රමාණ දැක ඔවුන් පුදුමයට පත්වී ඇත. ඔහු විසින් ඉල්ලුම් කරන ලද අවශ්‍ය උපාංග සියල්ලම වෙළඳ සැල හිමියා විසින් වහාම සපයා දී තිබේ. 
එම සතියේ සෙනසුරාදා, අලුත්වැඩියාව කිරීමට තීරණය කරන ලදී. එදිනද සිසුන් සහ ගුරුවරු විශාල පිරිසක් මෙම ක්‍රියාකාරකම බැලීමට පැමිණ සිටියහ.

ප්‍රධාන බෙදාහැරීමේ කරාමය විවෘත කර ජල ටැංකිය හිස් කළ ඔහු  තවත් කිහිප දෙනෙකුගේද සහාය ඇතිව අලුත්වැඩියා කටයුතු ආරම්භ කළේය. උදේ සිට පස්වරු දෙක පමණ වනතුරු නොකඩවා වැඩකළ ඔව්හු අවශ්‍ය සියලුම කරාම සහ සන්ධි අලුත්වැඩියා කිරීම අවසන් කර ඒ බව විදුහල්පති තුමාට දැන්වීය. ජල ටැංකියේ ප්‍රධාන බෙදා හැරීමේ කරාමය වසා දැමූ පසු විදුහල්පති තුමාම ජල පොම්පය ක්‍රියාත්මක කළේය.

මිනිත්තු හතලිහකදී, සියලුදෙනාගේම ඔල්වරසන් හඬ මධ්‍යයේ  ජල ටැංකිය උතුරා ගියේය !

වසර ගණනාවක් තිස්සේ කොපමණ ජල පරිමාවක් අපතේ ගියේදැයි කිසිවෙක් නොදත්හ. ඒ සියල්ල මනා කළමනාකරණය මගින් සුළු වේලාවකදී නිවැරදි කරගත හැකිවිය.

මෙය ආශ්චර්යයක් නොවේ.             
  
   

Tuesday, 21 February 2017

දැනුම් සම්භාරයක් ලබාගැනීම සඳහා මග පෑදූ මාසික ප්‍රකාශනය - Reader's Digest- 1 කොටස

         

Image result for reader's digest
එදා සිටම  පොතෙහි පිට කවර සටහන නොවෙනස්ව පවතී.
      
ප පවුලේ කව්රුත්, කියවීමෙන් දැනුම් සම්භාරයක් ලබාගන්නා ලද, ජාත්‍යන්තර කීර්තියට පත් ඒ මාසික ප්‍රකාශණයට උපහාරයක්‌ ලෙස මෙම සටහන තබමි. 

මට මුලින්ම Reader's Digest කියවීමට ලැබුනේ, හත්වැනි පන්තියේ ඉගෙන ගන්නා කාලයේදීය. ඒ 1952 වසරේය. එ කාලයේ අපගේ ශිෂ්‍ය නිවාසය භාර ගුරුතුමා, ඉඳහිට කොළඹ ගිය අවස්තාවලදී මිලදී ගෙන කියවන Reader's Digest පොත බොහෝවිට අපටත් කියවීමට අවස්ථාව ලබා දුන් නිසාය. අප ඉගෙනීම ලැබුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසා, ඉංග්‍රීසියෙන් ලියවුනු පොත්පත් කියවීමට පුරුදු වී  සිටියෙමු.

ඒ කාලයේ පාසල් පුස්තකාලවල අපගේ වයසට ගැලපෙන පොත් වශයෙන් තිබුනේ 'A.L Bright Story Readers' සහ 'Tales Retold for Easy Reading' වැනි සරල පොත් පමණකි. එකළ, කොළඹින් පිට නගරවල පොත් සාප්පුවකින් Reader's Digest වැනි පොත් මිලට ගත හැකි වුයේ කලාතුරකිනි. ඒ වකවානුවේදී පොතක මිල රුපියල් එකයි ශත විසිපහක් පමණ විය. කොළඹ මැකලම් පොත්හල, පිටරට මුද්‍රණය කර බෙදා හරින මාසික සඟරා සහ පොත්පත් මුදල් ගෙවා  ගෙදරටම ගෙන්වා ගතහැකි ආකාරය පිළිබඳව පළකරණ පුවත්පත් දැන්වීම් ගැනද මාගේ අවධානය බොහෝවිට යොමුවිය. ඒ කාලයේ එවැනි දෙයකට අමතර මුදලක් වැය කළ නොහැකි වය. කෙසේ වෙතත් කවදා හෝ Reader's Digest ගෙදරට තැපෑලෙන් ගෙන්වා ගැනීම පිලිබඳ සිහිනයක් මගේ සිතට කා වැදී තිබිණ.

අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්තිවල ඉගෙනීම ලබද්දී අතට වැඩිපුර  මුදලක් ලැබුණුවිට Reader's Digest මිලදී ගතිමි. විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේදීනම් Reader's Digest පමණක් නොව 'National Geographic' 'Scientific American' වැනි මාසික ප්‍රකාශණ ද නොකඩවා කියවීමට අවස්ථාව  ලැබිණ.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කර මා මුලින්ම රැකියාව සඳහා ගියේ 1963 වසරේය. ඊට මාස දෙක තුනකට පසු කොළඹ මැකලම් පොත් හලට ගොස් Reader's Digest ගෙන්වා ගැනීම පිළිබඳව විමසීමි. තැපැල් ගාස්තුවත් සමගම වර්ෂයක් සඳහා දායක මුදලවූ රුපියල් විස්සද ගෙව්වෙමි. මාස දෙකකින් පමණ මගේ පිටපත හොංකොං නගරයේ සිට ගෙදරටම ලැබී තිබිණ.

වසර දහයකට වැඩි කලක් දකිමින් සිටි සිහිනය සැබෑවිය 

මාස්පතා එකතුවන දැකුම්කලු ලෙස මුද්‍රණය කර තිබුණු Reader's Digest පොත්, ක්‍රමයෙන් ගොඩ නැගෙමින් තිබුණු මාගේ කුඩා පුස්තකාලයට නව පෙනුමක් ලබා දුන්නේය. 70 දශකය වන විට පිටපතක මිල රුපියල් එකසිය හැත්තෑපහක් පමණ විය.

කාලය කෙමෙන් ගෙවී ගියේය.

දැන් මගේ කුඩා පුස්තකාලයට මාස්පතා එක බැගින් ලැබී  වසර දහයක පමණ Reader's Digest පොත් එකතුවක් තිබේ. මේවා වසරින් වසර අනුපිළිවෙලට සකස් කර තබා, අතරින් පතර පොතක් ගෙන පැරණි දේ නැවත කියවීම ප්‍රීතිජනක විය. කොළඹ රැකියාව කරන කාලයේ දුම්රියෙන්, බස් රියෙන් හෝ පෞද්ගලික ප්‍රවාහන සේවයකින් ගමන් කරන සෑම විටම Reader's Digest අලුත්ම පිටපත මාගේ බෑගයේ විය. තවත් කෙනෙකු සමග කතාබස් නොකරන සෑම අවස්ථාවකම මම පොත කියවීමි. (පසු කාලීනව වාහනයක ගමන් කරමින් කියවීම තරමක් අමාරු විය). 70 දශකයේ භීෂණ සමයේදී මාස කිහිපයක් මගේ පිටපත් තෑපෑලේදී අස්ථානගත විය. පසුව, මරදානේ පරණ පොත් විකුණන තැනකට ගොස් අමාරුවෙන් එම පොත් සොයාගෙන අඩුව සම්පුර්ණ කර ගතිමි. වරක්, මගේ මිතුරෙක් පොත් දෙකක් ගෙන ගොස් ආපසු භාර දුන්නේ නැත. පසුව ඔහුට මතක් කළ විට, ඒවා ආපසු දුන් බවම කියා සිටියා. මට පාඩුව විඳ ගැනීමට සිදුවිය ඒවා නම් නැවත සොයා ගැනීමට ලැබුනේ නැහැ. කලක්  ගතවන විට, අපගේ දියණියන්ද තමන්ට හැකි පමණින්  මේ පොත් කියවීමට පටන් ගත්හ. මටත් වඩා ඔවුන් එම පොත් වලින් ප්‍රයෝජන ගන්නා  බව මට දකින්නට ලැබුණි. ඔවුන් සිංහල මාධ්‍යයෙන් ඉගෙනීම ලැබුවද ඉංග්‍රීසි පිළිබඳව හොඳ දැනුමක් ලබාගැනීමට මගේ පොත් එකතුවද අනුබලයක් වන්නට ඇතැයි සිතමි.
Image result for reader's digest
පෘතුවි තලයේ පරිසර සංරක්ෂණය සඳහා විශේෂ
ලිපි ඇතුලත් එක් මාසිකයක්‌ 
            
80 දශකයේදී මට වසර කිහිපයකට විදේශ ගත වීමට සිදුවිය. නැවත මැකලම් පොත්හලට ගොස්, මගේ නව ලිපිනය දී වැඩිපුර මුදලක්ද ගෙවා මගේ පිටපත් එම රටට ගෙන්වා ගතිමි. කාලය ගෙවී ගොස් මගේ Reader's Digest එකතුවට වසර 50 ක්ද ගතවිය. 2010 වසර වනවිට වාර්ෂික දායක මුදල රුපියල් හාරදහසද ඉක්මවීය. රුපියලේ අගය අඩුවීමත් ලොව පුරා ඇතිවන උද්ධමනයත් නිසා මෙසේ සිදුවන්නට ඇත. 
වාර්ෂිකව එකතු වන පොත් සුරක්ෂිතව ගොනු කර, පොත් අල්මාරියේ තැන්පත් කර තැබීම අපගේ සිරිතය. දියණියන්ද මෙම පිළිවෙත දිගටම අනුගමනය කළහ. මේ  තොගයේ සෑම පොතක්ම  පාහේ මා විසින් කියවා තිබෙන බව මටම පුදුමයකි. ඒ සියල්ලම කියවීමට අවස්ථාව කෙසේ හෝ ලැබී ඇත. මේ වන විට වසරකට පොත් 12 බැගින් එකට මිටි බැඳ ඇති 50 වසරක පොත් තොගයක් මගේ පොත් අල්මාරියේ තිබුණි. (කිහිපයක් හැර) 
කාලයාගේ ඉක්ම යාමත් සමග,  අපට පෞද්ගලික හේතුන් මත විදේශ ගත වීමට සිදුවිය. උපන් රට, සුපුරුදු පරිසරය, හදාගත් ගේ දොර, නෑදෑ හිතවතුන්, දිගු කලක සිට ඇසුරු කළ පොත්පත් ආදී බොහෝ දේ අතහැර දමා යාමට තීරණය කළෙමු. සියලු සංස්කාරයින් නැසෙන සුළු බව බුදු දහමෙන් ඉගෙන ගෙන ඇති නිසා අතහැර දැමීම, කණගාටුවකින් යුතුව වුවද කළයුතු විය.ඉතාමත් අවශ්‍ය පොත් හැර අනිත් බොහෝ පොත්පත් ඉගෙන ගන්නා දරුවන්ට සහ හිත මිතුරන්ට දුනිමි. එහෙත්, Reader's Digest තොගය අතහැර දැමීම මහත් ගැටලුවක් විය. අවසානයේදී ඒ පොත් සියල්ල කළුතර බෝධිඥාන පුස්තකාලයට තෑගි කළෙමි. එහි පාඨකයින්, එම පොත් පැරණි වුවත්, නවතාවයෙන් යුතුව කියවන බව පසුව අසන්නට ලැබී මහත් සතුටට පත්වීමි.
  
Reader's Digest පිලිබඳ තවත් තොරතුරු සහ ඒවා මගින් දැනුම් සම්භාරයක් ලබාගත්තේ කෙසේද යන්න මීළඟ සටහන්වල ලියා තබමි.

Monday, 13 February 2017

අධ්‍යාපනයේ විභාග රසකතා 1


ශ්‍රී ලංකාවේ තවමත් පවතිනුයේ බොහෝදුරට විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකි. රටෙහි වාසනාවට දැනට මෙම ක්‍රමය සංශෝධනය කිරීමට පියවර ගනිමින් සිටින බව පෙනේ. අපගේ ව්භාග වලද හෙළි නොවන රස කතා එමටය.
මෙයින් එක්‌ කතාවක්‌ ගැන කෙටි සටහනක් මෙසේ තබමි;

දැනට දශක හතරකට පමණ පෙර මා සේවය කළේ විභාග දෙපාර්ත-මේන්තුවේ ඇගයීම් ශාඛාවේ. අපොස සාමාන්‍ය පෙළ විද්‍යාව විෂයය භාරව කටයුතු කිරීම මා  වෙත පැවරී තිබුණා. ගණිතය විෂයය භාරව සිටියේ අප සමග එක්ව වැඩකළ විෂයය මාලා සංවර්ධන මධ්‍යස්ථානයේ නිලධාරියෙක්. එම වර්ෂයේ ගණිත ප්‍රශ්න පත්‍රය තිබුණු දිනයේ බහු වරණ ප්‍රශ්න පත්‍රයේ එක් ප්‍රශ්නයක  එක් වචනයක අඩුපාඩුවක් නිසා රටෙහි මහත් ආන්දෝලනයක් ඇති උනා. දවස ඇතුලත විභාග කොමසාරිස් තුමාට  ටෙලිෆෝන් පණිවුඩ සිය ගණනක්‌ ලැබිලා.

මෙය සැලවූ වහාම විභාග කොමසාරිස් තුමා විසින් ගණිත විෂයයේ ප්‍රධාන පරීක්ෂක වරයා සහ අප තව කිහිප දෙනෙකු කැඳවා, සාකච්ඡා කර, උත්තර පත්‍ර ඇගයීම් කටයුතු වලදී, සිසුනට අසාධාරණයක් නොවන පරිදි ඒ  සඳහා ගතයුතු ක්‍රියා මාර්ගය තීරණය කරන ලදී.

(මෙවැනි අවස්ථාවකදී  කරනුයේ එම බහු  වරණ ප්‍රශ්නයේ සියලුම වරණ නිවැරදි ලෙස සලකා, පිළිතුරු නොසැපයූ අය ඇතුළුව සියළුම අයදුම් කරුවන්ට නියමිත ලකුණ දීමයි. මේ නිසා කිසිවෙකුට අසාධාරණයක් සිදු නොවේ.) 

පසු දින පුවත් පත්වල මෙම සිද්ධිය පළකර තිබුණු අතර එක්‌ පුවත් පතක කතුවැකිය මගින් අධ්‍යාපන අමාත්‍යංශයට සහ විභාග දෙපාර්තමේන්තුවට දොස් පවරා තිබුණි. මෙ ගැන අධ්‍යාපන අමාත්‍යාංශයටද ටෙලිෆෝන් පණිවුඩ රාශියක්ද ලැබී ඇති බවද  දැන ගතිමු.

එදින දහවල් දහයට පමණ අධ්‍යාපන ඇමති තුමා විභාග කොමසාරිස් තුමාට කථා කර
"ඔන්න විභාග ප්‍රශ්න පත්‍රයක වැරැද්දක්. මේ වැරදි කරන නිලධාරි කව්ද? ගණිතය විද්‍යාව ප්‍රශ්න පත්‍ර භාර ප්‍රධාන නිලධාරීන්  වහාම මා හමුවීම සඳහා මගේ කාර්යාලයට එවනවා හොඳයි"                                                                                      
කියා තර්ජනාත්මක නියෝගයක් කර ඇත. එසේ කියා අවසන් කළ විගසම,  මෙම සිද්ධිය පිළිබඳව ගත් පියවර ගැන කිසිම පැහැදිලි කිරීමක් කිරීම සඳහා  විභාග කොමසාරිස්ට අවස්ථාවක් නොදී ඇමති තුමා ටෙලිෆෝනය විසන්ධි කර තිබේ.                                        

ගණිත ප්‍රශ්න පත්‍රයේ දෝෂය වෙනුවෙන් මාද කැඳවා තිබීම අපට මහත් ගැටළුවක් විය.

විභාග කොමසාරිස් තුමා  අප කැඳවා වහාම අධ්‍යාපන ඇමති තුමා හමුවීමට යන ලෙස  දන්වන ලදී.

ඒ වන විටත් සකස් කර තිබුණු සංශෝධිත ලකුණු දැමීමේ ක්‍රියා පටිපාටිය සහ අදාළ ප්‍රශ්න පත්‍රද රැගෙන අපි ඇමති තුමා හමුවීමට ගියෙමු. ඇමති කාමරයට ගොස් අමුත්තන් සඳහා පනවා තිබුණු පුටු දෙකක හිඳ ගතිමු.
අපට කිසිවක් නොකිව් ඔහු තමා ඉදිරියේ තිබුණු  කතු වැකිය පෙරළා තිබුණු, එදින පුවත් පත අපට දිගු කළේය. එය අතට ගත් මගේ මිතුරා යමක්‌ කීමට සැරසෙන විටම අතින් සන් කර එය නතර කළ ඇමති තුමා මෙසේ අප ඇමතීය 
"මේ දෙන්නම ගණිත ප්‍රශ්න පත්‍රය හදපු අයද?" 
"මම කළේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය" මම පිළිතුරු දුනිමි. 
"එහෙනම් මේ  කතාවට ආවේ මොකටද?" ඔහු මගෙන් ඇසීය 
"එන්නට කියා පණිවුඩයක් දී තිබුණු නිසා " මම කීවෙමි.
"හා මටයි වැරදුනේ. මම හිතුවේ ගණිතය, විද්‍යාව දෙකේ ම ප්‍රශ්න පත්‍ර  හදන්නේ එකම කණ්ඩායමය කියා." ඇමති තුමා  කීවා.

හොඳට හරි බරි ගැසී පුටුවේ වාඩිවූ  ඇමති තුමා 
"පේනවා නේද පත්තර වලින් අපට දොස් කියනවා. දෙමව්පියෝ අපිට  බනිනවා. මේ වැඩේ හරියට කරන්නට බැරිනම්, එක්‌කෝ ඔහෙලා යන්න ඕනෑ.  නැත්නම් මම යන්න ඕනෑ. මොකද කියන්නේ? " 
එය ඇමති තුමාගේ තර්ජනයයි.
ටික වෙලාවක් නිශ්ශබ්දව සිටි මගේ මිතුරා
"සර්, මම රජයේ සේවකයෙක්. ජීවත් වෙන්නේ මේ පඩියෙන්. මට නම් යන්නට බැහැ."
යයි එඩිතරව කීවා.

මෙම ප්‍රකාශයෙන් තරමක් පසුබෑ ඇමති තුමා,  
"ඒ කියන්නේ මට යන්න කියනවාද?"
කියා තරමක් උස් හඬකින් සහ මඳ සිනහවක් සහිතව ඇසුවා.
පසුබට නොවූ අප මිතුරා තරමක් හෙමිහිට
"ඒක සර්ගේ කැමැත්තක්"
යයි ඇඟට නොදැනී කීවා. මෙය අසා තරමක් උස් හඬින් සිනහ වූ ඇමති තුමා
"මේ අවනම්බුවෙන් ගොඩ එන්නේ කොහොමද?"
කියා අපෙන් ප්‍රශ්න කළා 
අප ඒ සඳහා ගන්නා ලද ක්ෂණික පියවර සහ සිසුනට කිසිම අසාධාරණයක් නොවන ලෙස උත්තර පත්‍ර ඇගයීම කළ හැකි බව පැහැදිලි කරදුන් පසු
"එහෙනම් වැඩේ ලෙහෙසියෙන්ම අහවර කරලා නේද?
කියා සහකාර ලේකම් කෙනෙකුට කථාකර පත්‍ර පිටුවද ඔහුට දී  මෙසේ උපදෙස් දුන්නා.
"මේ  අයගෙන් තොරතරු ලබාගෙන ඔය කතුවැකිය පිළිබඳව, මගේ උපදෙස් පරිදි, සිසුනට අසාධාරණයක් නොවන ලෙසට වහාම පියවර ගත් බව පත්‍රයට  දන්වා යවා, අනිකුත් පත්‍ර වලටත් ලියුම බැගින් යවන්න.". 

අවසානයේදී "මගේ උපදෙස් පරිදි" කියා, ඒ වැඩෙනුත් ඇමති තුමා ලකුණු දා ගත්තා.

   .  

Monday, 6 February 2017

A party 'Breast deep' in water - 'තන මට්ටමට දියේ බැස දැමූ සාදය'

මේකත් සීෂෙල්ස් රටේ සිදුවීමක්. නවතම අත්දැකීමක් නිසා ලියන්නට සිතුනා. 1987 වර්ෂයේ අගදී පමණ සිදුවීමක්. ඒ කාලයේ මා වැඩකළේ එරට 'පොලිටෙක්නික්' එකේ. සීෂෙල්ස් රටේ උසස් පෙළ පන්ති පවත්වන්නෙත්  පොලිටෙක්නික්  එකේ.  උසස් පෙළට රසායන විද්‍යාව ඉගැන්වීම භාරව තිබුනේ මටයි. රට කුඩා වුවත් 'පොලි' එකේ අධ්‍යයන අංශ රාශියක්ම තිබුණු නිසා ගුරුවරු සහ උපදේශකයින් හැටක් පමණ සිටියා. මේ හැටදෙනා රටවල් දහයකින් විතර පැමිණි අය. ලංකාවඉන්දියාවමුරුසිරට, චීනය, උගන්ඩාව, ඇමෙරිකාව, මැඩගස්කරය, කැනඩාව, බෙල්ජියම   එංගලන්තය වැනි රටවල් රාශියකින් පැමිණි අය සිටි නිසා හරිම අත්දැකීම් ගොනුවක් ලබාගන්නට හැකි උනා. අපි, ලංකාවේ අයත් තුන් දෙනෙක් ගුරු මණ්ඩලයේ සිටියා.

මේ රටේ සමාජවාදය මහ ඉහලින්ම සලකන නිසා කවුරුත් එක සමානයි. ආයතනයේ ගුරු මණ්ඩලය සහ විද්‍යාගාර සහායකයින්, කාර්යාල සහායකයින්, උද්‍යාන කම්කරුවන්, පිරිසිදු කරන්නන් වැනි සියලු දෙනාම අතර හරිම එකමුතුවක්‌ තිබුනා. සීෂෙල්ස් රටේම අයත් දහදෙනෙක් විතර කණ්ඩායමේ සිටියා. අපගේ අධ්‍යාපන අංශයේ ප්‍රධානියා වුයේ මහා බ්‍රිතාන්‍යයේ 'ස්කොට්' ජාතිකයෙක්. ඔහු නමින් 'ග්‍රිස්ටොක්'. ඔහු හඳුන්වන්නේ එච් ඕ එස් (HOS head of school) කියායි.  

විනෝදකාමී සැහැල්ලු ජීවිතයක් ගතකරන ඒ රටේ මිනිස්සු  වැදගත්යයි සැලකෙන ඕනෑම කරුණක් වෙනුවෙන් පාටියක් දැමීම  සිරිතක්. අපේ 'පොලි' එකේද නිතරම පාටි තිබුනා. බොහෝ විට ඒ පාටි සංවිධානය කිරීම පැවරුනේ රසායන විද්‍යා අංශයේ විද්‍යාගාර සහායක ලෙස සේවය කළ 'චාල්ස්' ටයි. ඔහු රටේම කෙනෙක්. එම වර්ෂය අවසානයේදී ඉගැන්වීම් කොන්ත්‍රාත්තු අවසන් කළ කිහිප දෙනෙක්ම ආපසු තම මව් රට වලට යන නිසා පාටිය අමුතුම අන්දමට කලයුතු බව අපට දැනගන්නට ලැබුනා.

'පොලි' එක තිබුනේ රටෙහි ප්‍රධාන නගරය වන වික්ටෝරියා සිට කිලෝමීටර් 10 ක් පමණ දුරින් පිහිටි 'අන්ස් රෝයාල්' නම් කුඩා නගරයේ. ඉතාම දැකුම්කලු මුහුදු වෙරළකට ආසන්නව පිහිටි නිසා 'පොලි' එකේ වැඩකළ අප විවේක වෙලාවට වෙරළට ගොස් සිටීමටද පුරුදුව සිටියා. මෙහි වෙරළ ආසන්නවම කොරල් පරයක් තිබුණු නිසා මුහුදේ බාදිය වෙලාවට පරය හොඳටම පෑදී තිබෙනවා. රටේ කාටත් අපට වඩා වඩදිය, බාදිය ගැන හොඳ අවබෝධයක් තිබුනු අතර ඔවුන් සියලු දෙනාම දක්ෂ පිහිනුම් කරුවෝද වුවා. . 

වාරාවසානයට සතියකට පමණ උඩදී ගුරු විවේක කාමරයේ චාල්ස් විසින් දමා තිබුණු දැන්වීමක පාටිය ගැන තොරතුරු සඳහන් කර 

' There will be surprises, adventures, hilarious things and many more.....'  

කියා අවසන් කර, පහතින් මේ අයුරින් ලියා තිබුනා.

'The party will not be on land. Expect adventure at thigh deep in water. The person with the minimal clothing with decent  coverage, will be getting a valuable prize.' 

පසුවදා වන විට thigh deep වෙනස් කරhip deep   ලෙසද, තුන්වන දිනයේ නැවත වෙනස් කර, waist deep  ලෙසද, සතියේ හතරවන දිනය වන විට tummy deep කියාද වෙනස් වූවා. අවසාන දිනයේදී එය breast deep  කියා කවුදෝ වෙනස් කර තිබුනා. රටේ අයට සහ තවත් බොහෝ අයට එය මහත් විනෝදජනක දෙයක් වූවත්, මුහුදේ  එවැනි අවදානම් දෙය නුහුරු අපට එය ප්‍රහේලිකාවක් විය.

අන්තිම දිනයේ ඉගැන්වීම් කටයුතු කලින් අවසන් කර, සිසුන් ගෙවල් වලට ගිය පසු, කවුරුත් එක්කෙනා දෙන්නා වෙරළ පැත්තට ගියා. ඒ වන විටත් චාල්ස් තව කිහිප දෙනෙක් සමග වෙරළේ සිට මීටර් සියයක් පමණ දුර, කොරල් පරය මත, මේසයක් අටවා එය මත බාබකිව් (barbeque BBQ)  එකක් සූදානම් කර තිබුනා. තවත් මේස දෙකක් මත ආහාරපාන රාශියක්, පේපර් ප්ලේට්ස්' ආදිය සහ බීම වර්ග අසුරා තිබුනා. ඒ වන විටත් මේස කකුල් අඩියක් පමණ ජලයෙන් යටවී තිබුනා. සියල්ලෝම වෙරළට පැමිණි පසු 

"All are cordially invited for barbeque lunch at waist deep in the sea"

"උකුලක් ගැඹුරු මුහුදේ "බාබකියු' දිවා භෝජනය සඳහා සියලු දෙනාටම සාදරයෙන් ආරාධනා කරනවා" 

කියා චාල්ස් නිවේදනය කළා.  

එසේ කී  චාල්ස් උඩට හැඳ සිටි ඇඳුම ගලවා දමා මුහුදට පැන්නා. අනිත් ගැහැණු පිරිමි බොහෝ දෙනෙක්ද වහාම ක්‍රියාත්මකවී උඩ ඇඳුම ගලවා දමා  මුහුදට බැස්සා. වෙරළේ සිට කොරල් පරය අතර මුහුදු තීරය එතරම් ගැඹුරු නැහැ. බොහෝ අය දැන්වීමේ කියා තිබුණු පරිදි ඇඳුම ගැන නම් හොඳින් සැලකිලිමත් වී තිබුනා. සෑම කෙනෙක්ම මතුපිට ඇඳුමට යටින් මුහුදට බැසීමට පහසු ඇඳුමක් හැඳගෙන සිටියා. ටික වෙලාවකින් මේසය තබා තිබුනු තැන කොරල් පරය මතට ගොඩවූ සමහර අය අඩ නිරුවත්ව සිටි නිසා හඳුනාගැනීමට තරමක් විපරම් කර බැලීමට සිදු උනා. තද අව් රශ්මිය තිබුණු නිසා දියේ බැස සිටීමත් දිවා ආහාරය ඒ ලෙස ගැනීමත් හරිම ආශ්වාදජනක දෙයක් උනා.

 'බාබකිව්' (BBQ) එකේ පළහා ගත් කුකුල් මස්, සොසේජස්, පොකිරිස්සන් සමග පාන්, කට්ලට්ස්, ආදිය සහ පලතුරු කා,  බියර් එකක් බිව් පසු ඇඟට හොඳ පණක් ආවා. කිහිප දෙනෙක් සින්දු කීමට පටන් ගත්තත් එය එතරම් සාර්ථක වුයේ නැහැ. බලා සිටිද්දී බාදිය වැඩි වන ආකාරය දකින විට මට නම් තරමක බයකුත් ඇති උනා. ඒ උනත් බියගුළු කම නොපෙන්වා කොයි මොහොතේ ගොඩට යම්දෝ යි සිතමින් සිටියා. දැන් දැන් ජල මට්ටම ඉක්මනින්ම වැඩි වෙමින් තිබුනා. පැය භාගයක් පමණ යන විට ජල මට්ටම මේසය මතුපිටටම ආවා. ගුරු විවේකාගාරයේ දැන්වීමේ, අවසාන දිනය වනවිට කව්දෝ විහිලුවට  breast deep කියා වෙනස් කර තිබීම ඇත්ත බව මට එවිට  මතක් උනා. 

අප කුඩා කාලයේලංකාවේ ගංවතුර ගලන ප්‍රදේශ වල වැඩි හිටියන්, මහා මාර්ගය වතුරට යටවී තිබෙන ප්‍රමාණය තව කෙනෙකුට කියන විට භාවිත කරන මිනුම් මට මෙවෙලේ සිහි උනා. ('දනක් විතර, උකුලක් විතර, තන මට්ටම, පොව්වන තරමට, නොපොව්වන තරමට'  ආදිය ඔවුන්ගේ පැරණි ගංවතුර මිනුම්  වී තිබිණ.)   

තව අඩියක් ජලමට්ටම වැඩි වුවහොත් බාබකිව් (babaque BBQ........). උපකරණය යටවෙනවා. දැන් ජල මට්ටම 'වේස්ට්' waist deep  ද පසු වීගෙන එනවා. සමහරු ටික ටික ගොඩ බිමට මාරු උනා.

අඩුම ඇඳුම තේරීම ඊළඟට. 

එය තේරීම භාරවුයේ එච්එඕඑස් (HOS) ට. පිරිමින් වැඩිදෙනෙක් සිටියේ කෙටි නාන ඇදුම් හැඳගෙන. කාන්තාවන්ගේ නම් වයිවාරණ ඇඳුම් තිබුනා. අවසානයේදී කාන්තාවන්ගෙන් ජය ගත්තේ  පටු රෙදි පටියකින් උඩුකය යන්තම් වසාගෙන තවත්  වසා ගතයුතු  ප්‍රදේශ සායම් ආලේපයක් තවරාගෙන 'බොඩි පේන්ට්' (body paint)  කරගෙන සිටි තරුණ බෙල්ජියම් ජාතික  ක්‍රීඩා උපදේශිකාව වන කැතරින්ය. මා 'බොඩි පේන්ට්' ගැන කලින් අසා තිබුනත් බොහෝ දුරට අඩ නිරුවත් සිරුරක් සායම් වලින් හොඳහැටි ආවරණය කරගත හැකි බව හරියටම දැන ගත්තේ එදායි. සියල්ලන්ගේම අත් පොළසන් නාදය මැද්දේ ඇයට පළමුවන ස්ථානයට හිමි තෑග්ග ලැබුණා. 

පිරිමින්ගේ අඩුම ඇඳුම තේරීම එතරම් අමාරු වුයේ නැහැ. කව්රුත් පාහේ ඇඳගෙන සිටියේ 'ස්විමින්ග් ට්‍රන්ක්' (swiming trunk) කොට කලිසම්. ඒ අතර තුවායක් ඉනෙහි දවටාගෙන සිටි පුස්තකාලයේ වැඩ කරන 'ඩොනල්ඩ්' තුවාය ගලවා දමා ඉදිරියට ආවා.  ඔහු කිසිවක් හැඳගෙන නැති යයි කවරුත් සිතුවා. ඔහු හැඳ ගෙන සිටියේ ලංකාවේ අමුඩයට සමාන ඇඳුමක්. වෙරළේ තිබුණු ගසක පට්ටයක් හිනෙහි බැඳගෙන, ශරීරයේ පැහැයට සමාන පැහැයකින් යුත් කුඩා සාක්කු ලේන්සු‍වකින් ඔහු අමුඩය ගසා ගෙන සිටින අයුරු දැක කාටත් සිනහව නවත්වා ගන්නට නොහැකි උනා. අප නම් අමුඩය දැක තිබුණු නිසා එතරම් කුතුහලයක් දැනුනේ නැහැ. හැම කෙනෙක්ම ඒ ගැන වැඩිපුර විපරම් කරන විට තරමක් ලැජ්ජාවට පත් ඔහු දියට පැන ඉක්මණටම ගොඩට ගියා. පසුව ඔහුගේ තෑග්ග වෙරළේදී දුන්නා. 

ගැහැණු පිරිමි දෙපක්ෂයම 
" the minimal clothing with decent  coverage," 
යන සටහන හොඳින් පිළිපැද, මුහුදටත් බැසීමට හැකිවන ආකාරයෙන් විකට ඇඳුම්ද හැඳගෙන සිටි නිසා එදා සාදය විචිත්‍රවත් වූ බවත් එයින් වැඩිහිටියනට යෝග්‍ය අහිංසක ආස්වාදයක් ලැබූ බවත් නොකියාම බැරිය.