Sunday 11 December 2016

ජල භාවිතය පිලිබඳ නව සංකල්පය - ‘ජල පා සටහන’ (Water footprint)

  ල ‘පා සටහන’ යනු  ජල භාවිතය සහ කළමනාකරණය සම්බන්ධව එක් එක්‌ පුද්ගලයකුට, පුද්ගල කණ්ඩායමකට  හෝ ආයතනයකට පැවරෙන ‘බර’ හෝ ‘වගකීම’ හඳුනා ගැනීම සඳහා යෝජනා කර ඇති මිනුම් දණ්ඩකට අනුරූප උපකල්පනයකි.                                                     
මෙම උපකල්පනයේ,  ජල භාවිතය යනු නිශ්චිත කාල සීමාවක් තුළදී, ඇත්ත වශයෙන්ම පාවිච්චි කළ හෝ දූෂිත භාවයට පත්කරන ලද මිරිදිය පරිමාවයි.

මෙය 2004 වර්ෂයේදී ‘යුනෙස්කෝ’ හි පරිසර විද්‍යාඥයෙකු ලෙස කටයුතු කළ මහාචාර්ය ජෝන් ඇලන් විසින් ඉදිරිපත් කරන ලදුව, වැඩිදුර අධ්‍යයනය කර අනාගතයේදී ප්‍රයෝගික මට්ටමේ  සංකල්පයක් ලෙස සලකා බැලීමට බලාපොරොත්තු වේ. එම අදහස ඉතාමත් සරලව පහත දැක්වෙන අයුරු අර්ථ දැක්විය හැකිය.

යම්කිසි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක්, භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය සහ සැපයීම උදෙසා, සෑම අයුරින්ම භාවිත කරනු ලබන මිරිදිය (ජලය) ප්‍රමාණය ‘ජල පා සටහන’ (water footprint) වේ.
සරල උදාහරණයක්‌ මගින් මෙය පහසුවෙන් පැහැදිලි කළ හැකිය. කෙනෙකු කෝපි කෝප්පයක් බොන විට, අපට එකවරටම පෙනී යන්නේ  ඒ සඳහා අවශ්‍ය වනුයේ එහි ඇති ජලය පරිමාව පමණක් බවයි. එය 250 ml යයි සිතමු. අප එසේ සිතුවත් කෝපි කෝප්පය සඳහා ජලය 140 L  (140,000 ml)  ක්‌ වැය වී ඇති බව සත්‍යයකි. එහෙත් ඔබ එම අදහස ප්‍රතික්ෂේප කරනු ඇත. 

මෙය මඳක් ගැඹුරින් කල්පනා කර බලන විට, කෝපි වැවීම, නිෂ්පාදනය, කෝපි ඇට වලින් කෝපි කුඩු සකස් කිරීම, නැව් ගත කිරීම  වැනි සෑම අදියරයකදීම ජලය අවශ්‍ය වේ. මෙසේ අදෘශ්‍යමානව වැය වන ජලය අතාත්වික ජලය ලෙස හැඳින්වේ. ජල ‘පා සටහන’ට කෝපි කෝප්පයේ අඩංගු ජලයට අමතරව ඉහත දැක්වූ  සියලුම අතාත්වික ජලය  අයත් වේ. මෙය කෝපි කෝප්පයේ ඇති ජලය මෙන් 560 ගුණයක් බව විශ්වාස කළ හැකිද? මේ ලෙසටම තේ කෝප්පයක ජල පා සටහන ජලය 35 L (35,000 ml) බව ගණනය කර ඇත.

‘ජල පා සටහන’ පිළිබඳව පාසැල් සිසුවෙකු විසින් නගන ලද ප්‍රශ්නයක්‌ සඳහා  පරිසර විද්‍යාඥයෙකු විසින් සපයන ලද පිළිතුරක් මෙසේය. 

‘ඔබගේ ජල පා සටහන වනුයේ, එක දිනයක් තුළ ඔබ ගෙදරදී සහ ගමන් බිමන් වලදීත්, පාසැලේදීත් සෑම අයුරින්ම පාවිච්චි කරන ජලයයි.  ඔබ ගන්නා ආහාර සහ මිලදී ගන්නා දේ නිෂ්පාදනයට සහ සකස් කිරීමට වැයවූ ජලයත්, ඔබ පාවිච්චි කරන බල ශක්තිය නිපදවීමට වැය වන ජලයත්, එසේම ඔබ යම්  යම් දේ ප්‍රතිචක්‍රීකරණය කිරීම මගින් ඉතිරි කරන ජලයත් අතාත්වික ජලයයි. මේ සියල්ලේ ගණිතමය එකතුව ඔබගේ ජල පා සටහන යි.  එහි වැඩි ප්‍රතිශතයක් ඇත්තේ ඔබට නොපෙනෙන අතාත්වික ජලයයි’. 

 ජල පා සටහන පිළිබඳව සලකා බැලීමේදී ජල සංරක්ෂණය සඳහා නව දැක්මක් ඔස්සේ සිතා  බැලිය යුතු කාලය එළඹ තිබේ. මෙහිදී අතාත්වික ජලය ගැන දැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේය.

 ජල පා සටහන මෙන්ම ‘කාබන් පා  සටහන’ , ‘නයිට්‍රජන් පා  සටහන’ වැනි තවත් සංවර්ධනය ඉලක්ක කරගත් නව සංකල්ප නිරතුරුවම මිනිසාගේ දැනුම් සම්භාරයට එකතු වෙමින් පවතී.

මේ සියල්ලෙන්ම පැහැදිලි වනුයේ ඕනෑම සේවාවක‌ හෝ නිෂ්පාදනයක ක්‍රියාදාමයේ  සෑම පියවරකදීම වාගේ  ජලය යම්කිසි ප්‍රමාණයක් අවශ්‍ය වන බවයි. ජල පා සටහන ගණනය කිරීම සඳහා යොදාගන්නා මෙම ජලය අදෘශ්‍යමාන  නිසා එය අතාත්වික ජලය වශයෙන් හඳුන්වනු ලැබේ. නවීන තාක්‍ෂණයත් සමග වේගයෙන් වෙනස් වන ජල කළමනාකරණයේ සිද්ධාන්ත වලට මේ වන විට ජල පා සටහනද මුල ධර්මයක් ලෙස  අන්තර්ගතවී ඇත.

තවත් බොහෝ නිෂ්පාදන සඳහා මෙවැනි 'ජල පා සටහන්' සකස් කර ඇති අතර එයින් කිහිපයක් පහත   වගුවේ දක්වා ඇත.


නිෂ්පාදිත භාණ්ඩය /සේවාව
ජල පා සටහන
ලීටර්
1
විදුලි බලය ඒකක 1
180
2
කපු රෙදි කමිසය
2500
3
පොලිඑස්ටර් කමිසය
350
4
ඩෙනිම් කලිසම
7600
5
ඉලෙක්ට්‍රොනික පරිපථය 30 cm
4165
6
හම් සපත්තු කුට්ටම
8000
7
කොමඩු 5 Kg
1000
8
කෙසෙල් ගෙඩි 1 Kg
790
9
බිත්තර 1 (60 g)
196
10
බටර් 250 g
1387
11
හාල් 1 Kg
2500
12
තිරිඟු පිටි 1 Kg
1849
13
චොකලට් 200 g
1700
14
කෝලා පැණි බීම 500 ml.
175
15
කඩදාසි 1 Kg
3000
                                                                  
 පොත් පත් ඇසුරෙනි. 


7 comments:

  1. බොහොම වැදගත් සහ සිත්ගන්නා සුලු ලිපියක්. කාබන් පා සටහන ගැනත් කරුණාකර ලියනු මැන!

    ReplyDelete
    Replies
    1. Thanks Ravi, for directing me to this blog.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  2. Thank you. Hope to write about carbon foot print also.

    ReplyDelete
    Replies
    1. කාබන් පියසටහන ගැන කාලෙකට කළින් මා සඟරාවට කෙටි ලිපියක් ලිව්වා. හොයාගන්නට හැකිවුණොත් පළ කරන්නම්.

      Delete
  3. බොහෝම වටිනවා සහෝ

    ReplyDelete
    Replies
    1. Comment එකට ස්තුතියි
      මම කවදාවත් සුජ්ජගේ blog අඩවියට 'පා තබලා' නැහැ.'ජල පා සටහ්නෙන්ම' එන්නට ලැබීම ගැන සතුටුයි. කාබන් පා සටහන ගැනත් ලියා ඇති. කැමති නම ඒකත් කියවන්න. මීට පස්සේ මමත් ඔ‍බගේ අඩවියට එන්නම්.

      Delete