Thursday, 15 December 2016

':හඳට පොලු ගැසීම' සහ තව සිද්ධියක් ගැන නව අර්ථ කථන .......

   
   මේ වසරේ (2016) උඳුවප් පුර පසළොස්වක යෙදුනේ දෙසැම්බර් 13 දා. එදින ස්වාධීන රුපවාහිනි නාලිකාවේ 'සවනක් රැස්' බොදු වැඩ සටහන සංවිධානය කර තිබුනේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල මහ පන්සලේ. එම වැඩසටහනේදී  'ෆාහියන්' ගල් ලෙන පුරාවෘතය පිලිබඳ අදහස් රාශියකින් ජනතාව දැනුවත් කරනු ලැබුවා. 'ෆාහියන්යන නම පිළිබඳවද මත දෙකක්ම ඉදිරිපත් කළා. දේශාටනයක යෙදුනු ෆාහියන් භික්ෂූන් වහන්සේ මෙහි වැඩ සිටි බවට සාධක නොමැති බවද ප්‍රකාශ වුවා. රත්නපුර දිස්ත්‍රික්කයත් කළුතර දිස්ත්‍රික්කයත් වෙන් කරන පැරණි මායිමේ පිහිටි මෙම විශාල පර්වතය 'මායින් ගල' යන නමින් හැඳින්වුණු අතර පසු කාලයේදී එය 'පාහින් ගල' වූ බවද කියැවේ. 
බුලත්සිංහල ප්‍රදේශයත් විශේෂයෙන්ම පස්දුන් කෝරළය පිළිබඳවත්, එහි අවට පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුක්ත විහාරස්ථාන ගැනත් වැදගත් කරුණු රාශියක්ම මහාචාර්ය කරුණාසේන හෙට්ටි‍ආරච්චි ශූරීන්  විස්තර කළා. පැරණි මිනුම් අනුව යොදුන් පහක් දිගින් සහ පළලින් යුක්ත නිසා මෙම ප්‍රදේශයටපස් යොදුන් කෝරළය යන නම භාවිත කර ඇත.
   සාකච්ඡාවට සම්බන්ධ වූ විධුර රණවක නීතිඥ මහතා පස්දුන් කෝරළයේ පවතින රසවත් ජනප්‍රවාදයක් නව මුහුණුවරකින් විග්‍රහ කළා. පස්දුන් කෝරළයේම උපන්, හැදුනු වැදුණු කෙනෙක් නිසා මටද මේ පිළිබඳව යමක්‌ ලියන්නට සිතුනා.
                                          *        *         *
    පස්දුන් කෝරළයේ පැරැන්නන් බාහිර ලෝකය ගැන දැනුවත් කමින් අඩු පිරිසක් බව හුවා දැක්වීමට හාස්‍ය ජනක කතා රාශියක් ගෙතී ඇත. රණවක මහතා සඳහන් කළ සිද්ධියට සම්බන්ධ ගම මා අධ්‍යාපනය ලැබූ මතුගම මධ්‍ය විද්‍යාලයට ආසන්න ගමකි. (ගමේ නම සඳහන් නොකරමි.)

ඔහුගේ වචන වලින්ම එම විස්තරයට පිවිසුම මෙසේයි.
' කලකට පෙර ..........ගමෙහි  විසූ ගැමියන් කිහිප දෙනෙක් එක්  පුර පසළොස්වක දිනයක  පුන් සඳ දැක එය කඩා ගැනීම පිණිස පොලු ගසා තිබෙන  බවට කට කතාවක් තිබෙනවා.'
ඔහු එය විග්‍රහ කිරීමට උත්සාහ කළේ අනුවණ වැඩක් නොවන ලෙසටයි. ඊළඟට ඔහු කීවේ 
"හඳට පොලු ගැසූ අය එම වික්‍රමය නොකඩවා කිරීමට උත්සාහ කළේ නම් මුලින්ම හඳ මත පා තැබූ මිනිසුන් 'පස්දුන් කෝරළයින්' (බුලත්සිංහලයින්)  වීමට හැකියාවක් තිබුනා." කියායි.
"ඇමෙරිකානුවන් සඳ මත පා තැබුවේ උත්සාහයන් සිය ගණනක්  අසාර්ථක වීමෙන් පසුවයි"
"ඔවුන්ගේ නොපසුබට උත්සාහය නිසා අවසානයේදී සාර්ථකත්වය කරා ලං වුවා." 
"ඒ කාලයේ අපේ ගැමියන්ද තව තවත් ධෛර්යය ගෙන දිගින් දිගටම ඒ කාර්යය කරගෙන ගියානම් සමහරවිට අසාර්ථක වීම් දහස් ගණනකට හෝ පසුව හඳට යාමට රොකට්ටුවක් තනාගන්නට තිබුනා" යයි කියමින් ඔහුගේ විග්‍රහය තවත් වැඩිදියුණු කළා.මේ ප්‍රකාශය නිසා කාගේත් මුවගට මඳ සිනහ නැගුනා.
රණවක මහතාගේ මෙම ප්‍රකාශයේ සත්‍යතාවකට හුරු ගැඹුරු යමක්‌ තිබේ යයි මටද හැගී ගියා. (මා මේ වැඩ සටහන නැරඹුයේ විදේශයක සිටයි.)
                                        *        *         *
    අප පාසල් යන කාලයේ අපගේ පන්තිවලත් ඔය ගමේ අය සිටියා. ඔවුන්ගෙන් සමහර අයට පැරණි මෝඩ කම් ගැන වීහිලු කරන විට කේන්ති යනවා. සමහර අය ඒ ගමේම අය වුවත් කියන්නේ තමන් යාබද ගම වන බදුගම පදිංචි අය බවයි.
හඳට පොලු ගැසූ කතාවට තවත් විස්තර ඈඳා තිබෙනවා. හඳ වලාකුළකට වැසී ගිය විට, එය බිමට වැටුනේයැයි  සිතා බිම තිබුණු දිලිසෙන රවුම් යම් කිසි දෙයක් ඔවුන් කෑ බවත් කතාවට තිබෙනවා. එසේ කෑ දෙය ඇඹුල් රසයෙන් යුක්තව තිබීම ඒ අයට ගැටළුවක් වුවාලු. එසේ ඇඹුල් රස වුයේ එම කාරිය (හඳට පොලු ගැසීම) සඳහා ගත් පොලු ගොරක පොලු වූ නිසා බවත් ඔවුන් තීරණය කර තිබෙන බවයි කට කතාව.
ඒ කාලයේ අපගේ සගයින්ට වැඩිපුරම කේන්ති ගියේ මේ කොටස කියන විටයි. කෙසේ වෙතත් රණවක මහතා ඒ කොටස නොකියා එම කාර්යයේ ගාම්භීර කම විග්‍රහ කිරීම හරිම සාර්ථකයි. ප්‍රදේශයේම කෙනෙක් වශයෙන් මේ පිළිබඳව ඔහුට මගේ ප්‍රණාමය !
                                     *          *           *
    ඉහතකී ගම හා සම්බන්ධ, මා බොහෝවිට අසා ඇති තවත් රසවත් කට කතාවක්ද මේ සමගම ඉදිරිපත් කිරීමට කල්පනා කළෙමි. 
මෙම සිද්ධියද සිදුවුවායයි සැලකෙන කාල වකවානු හෝ සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව අවබෝධයක්ද නොමැත. මෙයින් බලාපොරොත්තු වනුයේ රණවක මහතා සඳහන් කළ සිද්ධිය සමග ගැලපීම පමණකි.
  ගමේ අලුත් වැඩක් කිරීමට එකමුතු වූ පිරිසක් යම් කිසි උත්සව අවස්වථාවක් මුල් කර ගෙන නව අදහසක් ලෙස රාත්‍රිය පුරාම ගමටම ආලෝකය ලබාගැනීමට විශාල පන්දමක් සකස් කිරීමට තීරණය කළහ.(හරියටම නොදන්නා නිසා මෙම උත්සවය 'දෙවොල් මඩුවක්' යයි සිතමු)  ගම මැද එළිමහන් ස්ථානයක දින කිහිපයකට ඉහතදී  අකුණු සැරයක් වැදී කරටිය කැඩී ගොස් තිබුණු පොල් ගසක් මේ සඳහා යෝග්‍ය බව එක් අයෙකු විසින් යෝජනා කරන ලදී. 
   එම ස්ථානයට ගොස්  අග්‍රය නොමැති පොල් ගසේ කඳ හොඳින් නිරීක්ෂණය කළ ඔව්හු පන්දම සකස් කිරීමට එය සිදුසු බව තීරණය කළහ. එක් නිවසක  රැස්වූ එම පිරිස පන්දම සඳහා අවශ්‍ය දේ පිලිබඳ සාකච්ඡා කළහ. අවශ්‍යයයි තීරණය කරන ලද ද්‍රව්‍ය ගමෙහි නිවෙස් වලින්ම සොයා ගැනීම සුදුසු බවද ඔවුන්ගේ අදහස විය.  
    අවශ්‍ය අඩුම කුඩුම වුයේ කොට්ට පොල්. රෙදි පාන්කඩ, පොල්තෙල්, කොහු ලනු, වැලි ආත්තා වැනි ගස්වල පට්ටා ආදියයි. 
   මුලදී පන්දමේ අදහස ගැමියන්ට විහිළුවක් වුවත්, අවශ්‍ය කටයුත්තට හොඳ ආලෝකයක් සැපයීමට එය ඔහෝපකාරී වන බව තේරුම් ගත් ගැමියෝ අදහසට ටිකින් ටික එකඟ විය. ආරංචිය ගම පුරා පැතිරී, සෑම ගෙදරකම අවශ්‍ය දේවල් එකතු වන්නට විය.  දින කිහිපයකින්ම මෙම සිද්ධිය අවට ගම් වලද පැතිර ගියේය. ඒ ගම් වලින්ද මහා පන්දමට අවශ්‍ය ද්‍රව්‍ය එකතුවන්නට විය. දෙවොල් මඩුව පැවැත්වීමට සති දෙකකට පමණ පෙර පන්දම් නඩය දේව කන්නලව්වක්ද කර සුභ මොහොතින් පන්දම එතීම ආරම්භ කළහ. එහි පළමු රෙදි වටය නැකතට ඔතන ලද්දේ එවකට සිටි ආරච්චි (ගම් මුලාදෑනියා) විසිනි. මෙම ආරම්භයත් සමගම ගම්වල එකතු කරන ලද ද්‍රව්‍ය කරත්ත වල පටවාගෙන එතනට ගෙන එන ලදී. පන්දම එතීම ඉහලට යත්ම පලංචි බැඳගෙන ඒ මත සිට එතීමට සිදුවිය. රෙදි පාන්කඩ පොල් තෙලෙන් පොඟවා අතරට තීරු වලට කපන ලද කොට්ටපොල්ද තබා කොහු ලනු වලින් සහ පට්ටා වලින් එතීම ලෙහෙසි පහසු කාරියක් නොවීය.  විශාල පිරිසක් එකතුවී මාරුවෙන් මාරුවට වැඩ කර සති දෙකකදී අඩි හතළිහක්  පමණ උස පන්දම් රාජයෙක් තනාගැනීමට හැකි විය. පෙරහැර වල පාවිච්චි කරන සාමාන්‍ය පන්දමක හැඩයෙන් යුත් එමෙන් ලක්ෂ වාරයක් පමණ විශාල 'පන්දම් රාජයා' මුළු ප්‍රදේශයේම ජනතාවගේ හාස්‍යයට මෙන්ම අහිංසක ආඩම්බරයකටද හේතුවක් විය. පන්දම් රාජයාට නොයෙකුත් හාස්‍ය ජනක නම්ද පටබැඳිනි. 
    මේ වන විට පන්දම් රාජයාට තරමක් දුරින් දෙවොල් මඩු නැටුම් සඳහාද අවශ්‍ය කටයුතු ලහි ලහියේ සුදානම් වෙමින් තිබිණ.
   නියමිත  දින උදය කාලයේ සිටම දෙවොල් මඩු නැටුම් සඳහා අවශ්‍ය මූලික කටයුතු සුදානම් වූ අතර, අඬ බෙර කරුවන් අවට ගම් හත අටකම ප්‍රචාරක කටයුතු කරගෙන යන ලදී. කාගේත් මහත් කුතුහලයට පත්වුයේ දෙවොල් මඩුව නොව පන්දම් රාජයායි.
     සවස්වන විට දෙවොල් මඩුව අවට ප්‍රදේශයත් පන්දම් රාජයා පෙනෙන තෙක් මානයේ සිටත් අතුරු සිදුරු නැතිව ජනතාව රොක් වන්නට විය. දෙවොල් මඩුව විවෘත කිරීමත් පන්දම් රාජයා දැල්වීමත් සඳහා ආරධනා ලැබ සිටියේ කෝරලේ මහත්මයාය.
රෑ බෝ වී එන විට තිරික්කලයකින් පැමිණි කෝරලේ මහත්මයා එයින් බැස මහා සෙනග පීරාගෙන තේජාන්විතව දෙවොල් මඩුව අසලට එන විට බුලත් හුරුළු දී ඔහු පිළිගැනීමට ගම් සියල්ලේම ආරච්චිලා සැදී පැහැදී සිටියහ
    ඔහු බුලත් හුරුළු ගැනීම අවසන් කර  මගුල් බෙර, සක් හඬ මධ්‍යයේ දෙවොල් මඩුව විවෘත කළේය.
මේ වන විට තරමක අඳුරක්ද පැතිරෙමින් තිබිණ.   
කෝරලේ මහත්මයාගේ ඊළඟ රාජකාරිය පන්දම් රාජයා විවෘත කිරීමයි.
දෙවොල් මඩුවේ සිට කුඩ, කොඩි, සේසත්, පංච තුර්ය නාද සහිත පෙරහැරකින් කෝරලේ මහත්මයා සහ ආරච්චිලා පන්දම් රාජයා වෙත කැඳවාගෙන යන ලදී. 
එහි සිටි එක් ප්‍රධානියෙක් බුලත් හුරුල්ලක් දී කෝරලේ මහත්මයා සාදරයෙන් පිළිගත්තේය.

ඊළඟට එළඹියේ කතාවේ රසවත්ම සිද්ධියයි.
පන්දම් රාජයා ගිනි දල්වන්නේ කෙසේදැයි මෙතෙක් කාටත් කුතුහලයක්ව පැවතියේය.
සාමාන්‍ය ප්‍රමාණයේ කුඩා පන්දමක් රැගෙන එතනට පැමිණි තවත් සංවිධායකයෙක් එම කුඩා පන්දම අඩි තිහක් පමණ උස උණ ගසක කෙලවරේ බැඳ කෝරලේ මහතා වෙත ලංකරන විටම, සුරූපී තරුණියක් විසින් බන්දේසියක තැබූ ගිනිපෙට්ටියක් කෝරලේ මහතාට පිළිගන්වන ලදී. මහා අත් පොළසන් නාදයක් මධ්‍යයේ කුඩා පන්දම දැල්වූ කෝරලේ මහතා තව කිහිප දෙනෙකුගේද සහාය ඇතිව උණගස කෙලින් කර ඔසවා පන්දම් රාජයාගේ සලකුණු කර තිබුණු ස්ථානයකට ගිනි දල්වන ලදී.
වැඩය ඉතාමත් සාර්ථක විය. ටිකින් ටික ගිනි ගත් පන්දමෙන් ලැබෙන ආලෝකය ක්‍රමක්‍රමයෙන් වැඩිවී වටපිටාව ඒකාලෝක විය.
පැමිණ සිට දෙනෝදාහක් සෙනග  ඔල්වරසන් දෙන්නටත්, මහා හඬ නගා සිනා සෙන්නටත් වුහ.
මේ අතර දෙවොල් මඩුවේ ස්තෝත්‍ර සහ බෙර හඬ නිසාද අවට පරිසරය එකනින් නාද විය. 
පන්දම් රාජයාගේ මුදුන දැන් එකම ගිනි ජාලාවකි. වරෙක කොට්ට පොල් පුපුරා ගොස් කැබලි සෙනග  අතරටද වීසිවිය. දැවී අවසන් නොවූ රෙදි කැබලි සුළගේ පාවී ගොස් තැන් තැන් වල පතිත වන්නට විය.
ආලෝකය දැන් දැන් ශීඝ්‍රයෙන් වැඩිවේ. ගිනි ජාලාවෙන් පිටවෙන රස්නය කිට්ටුව සිටි අයට දැනෙන විට  ඔවුන් ටිකින් ටික ඈත් වන්නට විය. පැය භාගයක් පමණ යනවිට පන්දම් රාජයා මුදුනේ අඩි දහයක් පමණ උස ගිනි ජාලාවකි.
දැන් කුමකින් කුමක් වේදැයි සියලු දෙනාටම උභතෝකෝටික ප්‍රශ්නයකි.
කොට්ට පොල් පුපුරා වීසිවීම ටිකින් ටික වැඩිවේ. ගිනි රස්නය දැනෙන දුරද ටික ටික වැඩිවේ. මහ සෙනග ටිකින් ටික ඈතට යන්නට විය.
පැයකදී පමණ පන්දම් රාජයාගේ උණුසුම දෙවොල් මඩුවේ නර්තනයන්හි යෙදෙන අයටද දැනෙන්නට විය. කෙසේ වෙතත්, ඒ සියල්ලම පරදා ආලෝකය පැතිරී, බිම වැටුණු අල්පෙනෙත්තක් වුවද පෙනෙන තරමට අවට සෑම තැනම ඒකාලෝක වී තිබේ. උණුසුම වැඩි වත්ම දෙවොල් මඩුවේ නර්තන නරඹන ජනයාද ක්‍රමක්‍රමයෙන් අඩුවන්නට විය. පොල් තෙල් මුසුවී දැවී යන රෙදි කඩමාලු වලින් අමුතු දුගඳක්ද හමන්නට විය. ඒ බිම් කඩ අසල තිබුණු කෙසෙල් ගස් වල දළු මලානික වන්නට විය.
  තම වැයික්කියේ 'කොල්ලන්ගේ' හපන්කම් ගැන උද්දාමයෙන් සිටි ආරච්ච්ලත්, තම බල ප්‍රදේශයේ යටත් වැසියන්ගේ වික්‍රමය ගැන මහත් උජාරුවකින් කථා කළ කෝරලේ මහතාත් දැන් මහත් පසු බෑමකට ලක්ව දුර්මුඛ වී සිටිති.
මොහොතකින් ඒ ප්‍රභූවරු සියලු දෙනාම අතුරුදන් වුහ. ඔවුන් පැමිණි තිරික්කල වල බැඳී ගොනුන්ගේ ගෙජ්ජි හඬද එක වරම ඇසී කෙමෙන් කෙමෙන් හඬ වියැකී ගියේය.
අවට උණුසුම ඉවසා සිටීමට නොහැකි තරමට වැඩි විය. දෙවොල් මඩුවේ නර්තනකරුවන් සහ බෙර කරුවන්ද තම වැඩ කටයුතු නතර කර පසු බැස්සහ.
දැන් පන්දම් රාජයා එකම ගිනි දැල් රාජයෙකි. අවට ගහ කොළ මිලින වීමට පටන් ගෙන ඇත. අහල පහල ගෙවල් වලින්ද උස් හඬින් කතා කරනු ඇසේ. මේවා බැනුම් විය හැකිය. ඉඳහිට පරුෂ වචනද ඇසේ.
ඒ සියල්ලම පසෙක තිබියදී මුළු ප්‍රදේශයම දහවල මෙන් ආලෝකමත් වී තිබේ.
මෙම ජවනිකා සියල්ලම පැය තුන හතරකදී අවසන් විය. රෙදි පාන්කඩ සහ පොල්තෙල් මිශ්‍ර වී දැවෙන විට ඇතිවන අප්‍රිය ජනක ආඝ්‍රාණය පසුවදාත් එලෙසම තිබුණි.
'පන්දම් රාජයා' සංවිධායකයින් සහ ආරච්චිලත් ටික දිනකට ගමෙන් පිටවී සිටි බව පසුව දැන ගන්නට ලැබුණි.
                                       *           *           *
සූර්යයාගෙන් හෝ ගිනි ජාලාවක්‌ වැනි ප්‍රභවයකින් ආලෝකය සමගම උණුසුමත් (තාපය) ලැබෙන නිසා එය තෝරා බේරා ගැනීම මිනිසා විසින් කළ යුතු නොවේද?
                                        *          *           *
මගෙන් පසු සටහනක් ......
   මෙයට අදාළ  සංසිද්ධිය වත්මන් මිනිසා විසින් පාලනය කර ගෙන ඇති ආකාරය පිළිබඳව කෙටි සටහනක් මෙහිලා තබමි.
සුර්යයා වැනි ආලෝක ප්‍රභවයකින් ආලෝකය (light) සහ තාපය (heat) යන ශක්ති ආකාර දෙකම ලැබේ. මුළු පෘථිවියම තනි ඒකකයක් ලෙස හැඳින්වෙන 'ජෛව ගෝලයේ' (Biosphere) හරිතාගාර ආචරණය (green house effect) නම් සංසිද්ධියක් ස්වාභාවිකව සිදුවේ. මේ නිසා හිතකර දේශගුණික ලක්ෂණ ඇතිවීම මගින් පෘතුවිය මිනිස් වාසයට සුදුසු තත්ත්වයට පත්වී තිබේ.  වායු ගෝලයේ තිබෙන කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප   සහ ඕසෝන් වියන වැනි ස්වාභාවික ඇවුරුම් පද්ධතියක් සමතුලිතව තිබීම මගින්, සුර්ය කිරණ වලින් ලැබෙන තාපය සම්පුර්ණයෙන් අවකාශයට පරාවර්තනය වීමට ඉඩ නොදී ආරක්ෂා කර අවශ්‍ය ප්‍රමාණය පෘථිවි තලයට ලබාදීම හරිතාගාර ආචරණයයි. මෙම සංසිද්ධිය භාවිත කර මල්, එළවලු ආදිය වැවීම සඳහා ලොව පුරා කෘතීම 'හරිතාගාර' (green houses) ප්‍රයෝජනයට ගැනේ. එසේ වුවත් වර්තමානයේ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා  වායු ගෝලයට එකතුවන මීතේන් සහ ක්ලොරෝෆ්ලොරෝකාබන් (CFC) වැනි හරිතාගාර වායු නිසා ඕසෝන් වියන විනාශ වෙමින් පවතී. මේ හේතුව නිසා පෘථිවි තලය මත උණුසුම වැඩිවීම, මුහුදු ගොඩ ගැලීම් වැනි මහා ව්‍යසනයන් රාශියක් සිදුවෙමින් පවතී.   
                                        *           *            *
රණවක මහතා එදා සිහිපත් කළ සිද්ධියට අනුරූපව එදා ගැමියන් විසින් අත්හදා බලන ලද ඉහත දැක්වූ හාස්‍ය ජනක  සිද්ධියද මහත් වික්‍රමයක් ලෙස අර්ථ ගැන්විය හැකි නොවේ ද?   
  


        

  


     
   





   

4 comments:

  1. පන්දම් කතාව නම් මරු. ගම ගිණි තියන පන්දං කාරයෝ :D

    ReplyDelete
  2. මමත් දන්නව ඔය ගම...මම කාලයක් වැඩකලා කුකුලේගඟ ජලවිදුලි ව්‍යාපෘතියෙ. එතන සීයට අනූවක් වැඩ කලේ බදුරලිය, ලත්පඳුර සහ මතුගම අවට මිනිස්සු. ඔය ගමේ මිනිස්සුන්ට ඔය කතන්දර කියල උසුළු විසුළු කිරීම නිතර කෙරුණු සාමාන්‍ය දෙයක්.....:)

    ReplyDelete
    Replies
    1. රවිත් නොහිටපු දිහාවක් නැතුවා වගෙයි.අපි මුණ ගැහිලාත් තියෙනවා ඇති. !

      Delete
  3. ආ.. මේ තියෙන්නෙ කතාව.හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete