මා සේවය කළ විදුහලක ‘ඇදුරු මිතුරු’ සංගමයක්
තිබුනා. ගුරු මණ්ඩලයේ එකට සිටි අයත් අලුතින් එකතුවන අයත් හමුවන නිසා මෙම සංගමය
බොහෝ ජනප්‍රිය උනා. අවුරුදු පතා සංගමයෙන් චාරිකාවකුත් පිළියෙළ කරනවා. බොහෝ විට පිට
පළාත් වල චාරිකා වලදී ආදී ශිෂ්‍යයන් නොයෙකුත් ආකාරයෙන් උදව් කිරීමට එකතු වෙනවා. එක
අවුරුද්දක ‘ට්‍රිප්’ එක ගියේ යාපනයට. ඒ කාලයේ එහි රාජකාරි කළ උසස් නිලධාරියෙක්
විදුහලේ ආදී ශිෂ්‍යයෙක්. ඒ ගමනේදී අපට එක රැයක් නවාතැන් සැපයීමට එම ආදී ශිෂ්‍යයා
ඉතාමත් කැමැත්තෙන්ම ඉදිරිපත් උනා. යුද්ධය අවසන්වී තිබුණු නිසා ඒ දිනවල යහපත්
සාමකාමී වාතාවරණයක් තිබුනා. එම නිලධාරියාගේ ආයතනයේ සිය ගණනකට වුවත් නතර වීමට අවශ්‍ය
සියලුම පහසුකම් තිබුනා.
එදින පස්වරු දෙකට පමණ අපි එම ස්ථානයට ලඟා වුවා. අප
සියලු දෙනාටම නවාතැන් ගැනීම සඳහා සියලු පහාසුකම් සපයා තිබුනා. ටික වෙලාවක් විවේක
ගැනීමෙන් පසුව අවට ස්ථාන නැරඹීම සඳහා යාමට අපට ඔහුගේ සේවකයෙක්ද ලබාදුන්නා.
එම ආදී සිසුවාගේ පන්ති භාරව සිටි ගුරු මහත්මියක්ද
අපගේ පිරිසේ සිටියා. අප පිටත් වීමට කලින් ඇය ඇමතු ඔහු
“මිස් අපි අද ‘ඩිනර්’ එක ටිකක් කලින් අරගෙන සුහද හමුවක් දැමීමටත්
ලැහැස්ති කර තිබෙනවා. සින්දු කියන්නත් පරණ සිද්ධි කියන්නත් පුළුවන්” කිව්වා.
අප ආපසු එනවිට රාත්‍රී ආහාර සකස්කර
තිබුනා.ආහාරයෙන් පසු සුහද හමුව ආරම්භ කළා. සංගීත භාණ්ඩ සහ ගායකයින් කිහිප දෙනෙකුද
කැඳවා තිබුනා.
අප සියලු දෙනාම පුදුමයට පත් කරමින් එම ගායක
කණ්ඩායම සංගීතය ආරම්භ කළේ විදුහල් ගීතය ගායනය කිරීමෙන්. අප සියලු දෙනාම සීරුවෙන්
සිට විදුහල් ගීතය ගැයීමට එකතු උනා.
ගෝලයින් නිසා ගුරුවරු අසීරුතාවන්ට පත්වූ සිද්ධි
සහ ගුරුවරු විසින් ගෝලයින්ට දෙන ලද දඬුවම් සහ ගුරු මණ්ඩලයේ අය අතර සිදුවූ රසවත්
සිද්ධිද රාශියක් එහිදී අසන්නට ලැබුනා. සමහර සිද්ධි වසර ගණනාවක් පැරණි වුවත්
කවුරුත් එයින් හොඳ ආස්වාදයක් ලැබුවා.
අපට ආගන්තුක සත්කාර කළ ආදී සිසුවා රසවත් සිද්ධියක් ඉදිරිපත් කළා. ඒ සිද්ධිය ඔහු විස්තර කළේ මෙසේයි.
“මම ඒ කාලයේ සිටියේ 8 ඒ පන්තියේ. අපට විද්‍යාව
ඉගැන්වූයේ රංජනී මිස්. එදින විද්‍යාව පාඩම පටන්ගත් වෙලාවේ සිටම අපගේ ගුරු මහත්මිය හේතු නොමැතිව අපට දොස්
කියන්නට පටන්ගත්තා.”
එසේ වනවිට පන්තියේ සිසුන් නොසන්සුන් වන බව
ස්වාභාවිකයි
“ මම මා ළඟ සිටි රුපසිරිට හෙමිහිට කිව්වා - අද
මිස් මහත්තයා එක්ක ගෝරියක් දා ගෙන වගෙයි අපට බනින්නේ”
“ මා කී දේ මිස්ට ඇහුනේ නැති උනත් විහිළුවක් කළ බව ඇයට දැනී, මට සිටගෙන
සිටීමට නියම කළා. එසේ ටික වෙලාවක් සිටගෙන සිටි මා ඇය කලුලෑල්ල පැත්ත බලන සෑම විටම හිඳ ගත්තා.
මෙය කිහිප විටක්ම කරන විට පන්තියම සිනහ උනා.”
මෙය දුටු මිස් මහත් සැරෙන් කතාකර මට පන්තියෙන් පිටවන
ලෙස අණ කළා.
“හිටගෙන සිටිනවාට වඩා එළියට යාම හොඳ නිසා මා වහාම
පන්තියෙන් පිට උනා”
මම කොරිඩෝරය දිගේ යනවිට පෙරේරා සර් මුණගැසුනා. විදුහලේ විනය කටයුතුද භාරව සිටියේ
පෙරේරා සර් නිසා ඔහු දුටුවිට මට තරමක බියක්ද ඇති උනා. ඔහු
මාගෙන් ප්‍රශ්න කළ විට මා ඔහුට සිදුවූ දෙය
කිව්වා.
“එහෙනම් දඬුවමටත් එක්ක පොඩි වැඩක් කරමු”
කී පෙරේරා සර් මා ප්‍රධාන ශාලාව අසලට කැඳවා ගෙන ගොස්
ශාලාව ඉදිරිපිට බිමෙහි තැනක් ලකුණු කර ‘මෙතන අඩිය බැගින් දිග පළල ඇති අඩියක් ගැඹුරු වළක්’
කපන්නට කියා උදැල්ලක් සහ අලවංගුවක්
දුන්නා.
“කොරේ පිටට මරේ” කියන්නාක් මෙන් මට පන්තියේ හිට
ගෙන සිටියානම් මීට වඩා හොඳය යි සිතුනා. මා වළ කපනු බලා සිටි සර් පොලිතීන් පෝච්චියක
වවා තිබුණු පැලයක් සහ පොහොර බෑගයක්ද ගෙනැවිත් දී, වලට පොහොර දමා පැලය සිටුවන ආකාරය
ගැනද උපදෙස් දුන්නා. මෙය මට අලුත්
අත්දැකීමක් වූ නිසා මා එය කැමැත්තෙන්ම කළා. මීට පෙර කිසි දිනක මා පැලයක් සිටුවා
තිබුණේ නැහැ. එම ශාකයේ නම කුමක්ද කියා අසන්නටවත් මට අවශ්‍ය වුයේ නැහැ. විදුහල් භුමියෙහි පැලයක් සිටුවීම ගැන මට
ආඩම්බරයක්ද ඇති උනා. එයට පසුබ්ම් වූ ඉහතකී සිද්ධිය දන්නේ කිහිප දෙනෙක් පමණයි.
කාලය ක්‍රමයෙන් ගෙවී ගියා...........
ඊට වසර හතරකට පමණ පසු මා විශ්ව විද්‍යාලයට ඇතුල්වුවා.
රැකියාවට ගියාට පසු දිනක් අවශ්‍යතාවකට විදුහලට ගිය අවස්ථාවක නිකමට ප්‍රධාන ශාලාව
අසලට ගොස් මා සිටවූ පැලය ගැන සොයා බැලුවා.
“අඩි හත අටක් උසට හොඳින් වැඩී තිබුණු එම ගස කාමරංගා ගසක් බවත් . එහි ගෙඩි බරවී තිබෙන
බවත් දුටු මට මහත් ප්‍රීතියක් ඇති උනා.”
මගේ කතාව එයින් අවසාන උනේ නැහැ.........
තවත් අවුරුදු කිහිපයකට පසු මගේ බිරිඳ සහ පොඩි
පුතාද සමග සවස් වරුවක විදුහල අසලින් යන විටක පාසල් වත්තට යන්නට සිතුනා. මෝටර් රථය
පාර අයිනේ නතර කර ගේට්ටුවේ සිටි මුරකරුට කතා කළ විට ඔහු මා
හඳුනා ගෙනදෝ අපට ඇතුලට යන්නට ඉඩ දුන්නා.
ඉබේම වාගේ අපි ප්‍රධාන ශාලාව අසලටම ගියා. විශාල
වශයෙන් වෙනස් වී ඇතත් පරිසරයේ ඉතා සමීප බවක් මට දැනුනා. එදා ඒ වෙලාවෙත් පෙරේරා සර් තවත් සිසුන් පිරිසක් සමග පාසැල්
වත්තේ ඈත වැඩක් කරමින් සිටිනු අප දුටුවා.
මා බිරිඳ සහ දරුවාද සමග මගේ කාමරංගා ගස
අසලට ගියා. දැන් විශාල ගසක් වන එය අතු පතර විහිදා උසට වැඩී තිබුනා. එදින එහි ගෙඩි
නොතිබුනත් මල් වලින් පිරී තිබුනා. මගේ කාමරංගා ගස දැක බිරිඳද පුදුමයට පත් උනා. ගස
මුල තණකොළ වැවී තිබුණු නිසා මා එතන බිම ඇන
තියාගෙන ගස වටේ වල් පැළ උදුරා දමන
විට පෙරේරා සර් එතනට ආවා. ඔහු හඳුනා
ගැනීමට බැරි තරමටම වයසට ගොස් සිටියා.
“ඔය මහත්මයා කව්ද? මොකද මෙතන කරන්නේ? මොනවද ඔය
ගලවන්නේ” කියා ඔහු මගෙන් ප්‍රශ්න රාශියක්ම එකවර ඇසුවා.
“සර් මේ ගස සිටවුයේ මමයි අවුරුදු 10 කට විතර ඉස්සර, ඒක බලන්නට ආවා.” කියා මා කී විට,
ඉතාමත් කරුණාවෙන් මා සහ බිරිඳ දෙස බලා, මා
හඳුනා නොගත්තත් හඳුනා ගත් බවක්
පෙන්වා
“ මේ අපේ ඉස්තරම්ම ගෝලයෙක්නේ.” කියා බිරිඳ ට
කිව්වා.
“කාලෙකින්නේ දැක්කේ දැන් කොහේ ද වැඩ කරන්නේ?”
ආදී තොරතුරු රාශියක්ම ඇසුවා.
පසුව සම්පුර්ණ සිද්ධිය ඔහුට කී පසුව ඔහුගේ ඇසට
සතුටු කඳුලක් ආවා.
* * *
අපේ ආදී ශිෂ්‍යයා පදිංචි ස්ථානයට ආදී ගුරුවරු
ගෙන්වා ගෙන සංග්‍රහ කිරීමෙන් පසු, මේ අතීත
සිද්ධිය මතක් කරන විට ඔහුගේ ඇසටද කඳුළු ආ බව අප දුටුවා.
මෙම සිද්ධිය අසා ගෙන සිටි අප ගුරු මහත්මියන්
කිහිප දෙනෙකුද කඳුළු පිස දමනු දකින්නට ලැබුනා.
ඒ සිද්ධියට සම්බන්ධ පෙරේරා සර්ද එදින අප පිරිස
අතර සිටියා. ඔහු එම සිද්ධිය සත්‍ය බව ප්‍රකාශ කර මහා හඬින් අත්පොලසන් දුන්නා. රංජනී මිස් නම් එදින අප සමග සිටියේ නැහැ.
* * *
මෙය සත්‍ය සිද්ධියක් වුවද ස්ථාන සහ නම් මනඃකල්පිත කලෙමි.
බොහොම සංවේදී සිද්ධියක්...ඔබට ස්තූතියි...:)
ReplyDeleteඅපූරු කතාවක්. දිගටම ලියන්න.
ReplyDeleteඋනන්දු කරවීම ගැන ස්තුතියි අරුණ.
ReplyDeleteමෙවැනි හෘදයාංගම ගුරුවරුන් අද කෝ ! අපිට කොතැනද වැරදුනේ ??
ReplyDeleteඅපගේ වටිනා සාර ධර්ම ටිකින් ටික ඈත් වනවිට මේවා ස්වාභාවිකයි.
ReplyDeleteමටත් එවැන් සොඳුරු ගුරුුවරයෙකු විය හැකි නම්
ReplyDeleteමං සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත්ත ඉස්කෝලෙ දෙපැත්තකින්ම වට වෙලා තියෙන්නෙ කැලයක්. පාසල අාසන්නයෙන්ම පාසලට අයිති වගා බිමක් තිබුණා. කාලෙක එහි තල වපුරල තිබුණත් මතකයි. එක් කාලෙක ඒ විශාල ඉඩමෙ කජු පැළ හිටෙව්වා. 8 වසරෙන් ඉහළ හැම ළමයකුටම වගේ කජු පැළයක් තිබුණා. සමහර පැළ මැරුණම ආයෙ අලුතින් හිටෙව්වා. මං පාසලෙන් අස්වෙද්දිත් ඒ කජු පැළ කජු පීදෙන ගස්... ඒ වගේ අත්දැකීම් ඇත්තටම කවදාවත් හිතෙන් මැකිල යන්නෙ නැහැ තමයි.
ReplyDelete