Saturday 24 February 2024

මෙල්බර්න්හි යුද්ධ අනුස්මරණ ස්මාරකය සහ මන්දිරය නැරඹුවෙමු.

 2024 පෙබරවාරි 17

ජේෂ්ඨ පුරවැසියන් කිහිප දෙනෙකුගෙන් යුත් අප කණ්ඩායමේ සාමාජිකයෝ   මෙම චාරිකාවට සහභාගි වූහ. දිනය සෙනසුරදාවක් වූ  බැවින්, Senior cards හිමි අපට Metro දුම්රියේ ගමන නොමිලේය. අපි පෙරවරු  9.55 වන විට මෙල්බර් න් නගර මධ්‍යයේ ඇති,  Flinders Street දුම්රියපළට පැමිණියෙමු.


දුම්රිය පළේදී  කෝපි කෝප්පයකින්   සප්පායම් වූ අපි,  පිටතට පැමිණ මගීන්ට තොරතුරු සපයන නිලධාරියෙකු හමුවීමු. ඔහුගෙන් ලැබුණු උපදෙස් සහ අත්පත්‍රිකාව අප යායුතු ස්ථානයට පහසුවෙන් ළඟාවීමට  මහත් රුකුලක් විය. 

මෙල්බර් න්හි, Flinders street දුම්රිය පළෙන් පිටතට පැමිණ Collins street ට්‍රෑම් නැවතුම් පළේ මඳ වෙලාවක් සිටි අපට, අපගේ ගමනාන්තය වන   යුද්ධ අනුස්මරණ මන්දිරය දක්වා යාමට  St. Kilda street ඔස්සේ ධාවනය වන ට්‍රෑම්  රථයට ගොඩ වීමට හැකිවිය. අංක 16 දරණ  ට්‍රෑම්  රථයෙන් ගොස් නැවතුම් අංක 19 න් බැසගත් අපට මඳ දුරක් පා ගමනින් ගියවිට ඒ සුවිසල් මන්දිරය ඈතින් දිස්විය. අක්කර 13 ක පමණ විශාල වූ උද්‍යාණයක් මධ්‍යයේ පිහිටි එම මන්දිරයේ ප්‍රතාපවත් භාවය දුර සිටම හඳුනා ගත හැකි විය.  මෙම මන්දිරය ‘පූජනීය වස්තුවක්’ (shrine) ලෙසද නම්කර තිබීම විශේෂත්වයකි.

     යුද්ධ අනුස්මරණ සංකේතාත්මක මන්දිරය

ඕස්ට්‍රේලියාවේ  වික්ටෝරියා  ප්‍රාන්තයේ   යුද්ධ අනුස්මරණ සංකේතාත්මක මන්දිරය ඉදිකර ඇත්තේ Flinders Street දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 2 ක් පමණ දුරින් පිහිටි Kings Domain උද්‍යාණයේය. මෙම දුර ට්‍රෑම්  රථයෙන් යාමට මිනිත්තු 5 ක් පමණ ගතවේ. පාගමනට මිනිත්තු 25 පමණ අවශ්‍යය. මෙම මන්දිරය ගොඩනගා ඇත්තේ පළමුවන ලෝක යුද්ධයේදී (1914 – 1918) මිත්‍ර හමුදා වෙණුවෙන් දිවි පරදුවට තබා සටන් කළ සහ යුද්ධය වෙනුවෙන්  දිවි පිදූ වීරෝදාර ඕස්ට්‍රේලියානුවන් සිහිකිරීම සඳහාය. මන්දිරය  ආරම්භ කරන ලද්දේ  1934         වර් ෂයේදීය.

එසේ වුවද මෑතදී සිට, ගතවූ ඕනෑම යුද්ධයකදී   සටන්  වැදුණු ඕස්ට්‍රේලියානුවන් සිහිකිරීම මෙහි අරමුණ වී ඇත.   මෙම මන්දිරය නව සම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම (neoclassical architecture) භාවිත කරමින් නිර් මාණය වී තිබේ.


අනුස්මරණ මන්දිරයේ උතුරු දෙසින් පිවිසුණු අපට මුලින්ම හමුවූයේ, දෙවන ලෝක මහා යුද්ධයේදී දිවිපුදා සටන් කළ ඕස්ට්‍රේලියානු රණවිරුවන් සිහිකිරීම සඳහා අනුස්මරණ මන්දිරයට උතුරු දෙසින් පෙරමුණේ ඉදිකර තිබෙන  ස්මාරකයයි. මෙම ස්මාරකය 1954 වර්ෂයේදී දෙවන එලිසබෙත් මහරැජින විසින් විවෘත කර ඇත. එය චෙකොස්ලෝවැකියානු  ජාතික  Edward Milston ගේ නිර් මාණයකි.

මෙම ස්මාරකයත්  සමග  එය හා සම්බන්ධ  වැදගත් සංකේත තුනක්ද  එම පරිශ්‍රයේම ස්ථාපනය කර තිබේ.  

මේවා නම් : 

1.  Cenotaph - යුද මරණ ස්මාරකය 

2.  Eternal Flame - සදාතනික ගිනිසිළුව සහ 

3.  Triple flagpoles - කොඩි කණු ත්‍රිත්වය වේ .

      යුද මරණ ස්මාරකය  - Cenotaph 

යුද්ධයේදී  රට වෙනුවෙන්  ඉදිරිපත්වී මරුමුවට පත්වූ රණවිරුවන් වෙනුවෙන් නිර් මාණය  කර තිබෙන මෙම ස්මාරකය, ගිනිකඳු   ලාවා ඝනවීමෙන් සෑදෙන, කිරි පැහැයට හුරු  ශක්තිමත් පාෂාණයක් වන ‘බැසෝල්ට්’ (Basalt) වලින් නිමවා තිබෙන මීටර් 12.5 ක් උසින් යුත් ස්ථම්භයකි. මේ සඳහා ‘බැසෝල්ට්’ පාෂාණ ලබාගෙන ඇත්තේ, මෙල්බර් න්  සිට කිලෝමීටර් 125 ක් පමණ දුරින්, මධ්‍යම ඕස්ට්‍රේලියාවේ පිහිටි Harcourt, නමැති ග්‍රාමීය ප්‍රදේශයෙනි. මෙම ස්තම්භය මුදුනේ, සිව්  දිශාවට මුහුණලා සකස් කර තිබෙන සුවිශේෂී ශිලා මූර් ති  සඳහා  භාවිත කර තිබෙන්නේ,  බහු සංස්කෘතික ජනතාවක් ජීවත් වන Footscray උප නගරයේ භූමියෙන් ලබාගත් බේසෝල්ට් පාෂාණයයි. මෙම විශිෂ්ඨ ශිලා මූර් ති   මගින් නිරූපණය වනුයේ, යුද්ධයේදී මියගිය සොල්දාදුවෙකුගේ දේහය, ඕස්ට්‍රේලියාවේ ජාතික කොඩියෙන් වසා රැගෙන යන, තම නිල  ඇඳුමෙන් සැරසුණු යුද හමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදා භටයින් සය දෙනෙකි. ඉහල මාලයේ බැල්කණියේ සිට මෙම මූර් තිය  පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය.   

    සදාතනික ගිනිසිළුව - Eternal Flame 

1954 පෙබරවාරි මස 28 වන දින, දෙවන එලිසබෙත් මහ රැජින විසින් 250,000 පමණ ජනතාවක්  ඉදිරියේ විදුලි බොත්තමක් ඔබා දල්වන ලද සදාතනික ගිනිසිළුව සදාකාලිකව දැල්වෙමින් තිබෙණු  ඇතැයි විශ්වාස කෙරේ.



මෙම ගිනිසිළුව ගෞරවාන්විත යුද සිහිවටනයක් ලෙස සැලකේ. උත්සව අවස්ථා වලදී පෙළපාලි
වලට සහභාගී වන සොල්දාදුවෝ ගිනිසිළුවට ආචාර කරති. සදාතනික ගිනිසිළුව මගින් හුවා
දක්වනුයේ ‘අමරණීය ජිවිතයක්’ (Eternal life) යන සංකල්පයයි. එමගින් පිළිබිඹු වනුයේ

“මෙම ගිනිසිළුව සදාතනිකව පවතින්නාක් මෙන් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් පිලිබඳ
මතකයද සදාකාලිකව පවතින බවයි.”
 
ගිනිසිළුව සදාකාලිකව දැල්වෙමින් පවත්වාගැනීම සඳහා එක්තරා ගෑස් සමාගමක් රජය සමග
කොන්ත්‍රාත්තුවකට බැඳී සිටී. ඔවුන් විසින් වසරකට දෙවරක් එහි නඩත්තු කටයුතු ක්‍රමානුකුලව
කරගෙන යති.

   කොඩි කණු ත්‍රිත්වය - Triple flagpoles

මෙම පරිශ්‍රයේම ඉදිකර ඇති කොඩි කණු ත්‍රිත්වය එක සමාන උසකින් යුක්තය. මෙම කොඩි කණු වල කොඩි එසවෙනුයේ ජාත්‍යන්තර නීති රීති වලට අනුකුලවය. මේ අනුව වම්පස කොඩි කණුවේ එසවෙනුයේ ඕස්ට්‍රේලියානු ජාතික කොඩියයි. මැද කණුවේ ලෙළ දෙනුයේ වික්ටෝරියා ප්‍රාන්ත කොඩියයි. හමුදා උත්සව අවස්ථාවලදී දකුණු පස කොඩිකණුවේ එසවෙනුයේ, අදාළ නාවුක හමුදා, යුද හමුදා හෝ ගුවන් හමුදා ඒකකයේ කොඩියයි. සාමාන්‍යයෙන් දිනපතාම වම්පස කොඩි කණුවේ ඕස්ට්‍රේලියානු ජාතික කොඩිය  ලෙළ දෙන අතර හමුදා උත්සව නොමැති අවස්ථාවලදී ආදිවාසී කොඩියද දකුණුපස කොඩි කණුවේ  ලෙළදෙනු දකින්නට ලැබේ. රණවිරු සමරු උත්සව අවස්ථා ආරම්භයේදී සියලුම කොඩි අඩකුඹු කර තබා, මිනිත්තුවක නිශ්ශබ්දතාවයකින් පසුව නික්මෙන ‘බියුගල්’ සංඥාවකින් පසු ඉහලට ඔසවනු ලැබේ.

                                 *                               *                                *                          මන්දිරයේ උතුරෙන් පිහිටි  පඩිපෙළ මත ටික වෙලාවක් වාඩිවී සිටි අපි, දෙවන මහලේ කොන්ක්‍රීට් පියස්ස ඔස්සේ ගොස් දකුණු පැත්තේ  පඩිපෙලෙන් පහලට බැස්සෙමු.

 

එහි සිට බිම් මට්ටමේ ඇවිද ගොස්, මෙම සංකීර් ණයේ  ඇති අධ්‍යාපන මධ්‍යස්ථානය සහ ඒ අසලම පිහිටි රතු ‘පොපි මලක’ ආකෘතිය සහිත පියස්සකින් යුක්ත කුඩා රඟහලද දැක ගත්තෙමු.  යුද සමරුව සමග තදින් බැඳඇති ‘රතු පොපි මල’ අදවන විට යුද සමරු සංකේතය බවටද  පත්වී තිබේ. 

 ‘රතු පොපි මල්’ යුද්ධය සමග බැඳී ඇති බවට  අදාළ පුරාවෘත්තයද සංවේග ජනකය. 1915  පළමු ලෝක යුද්ධයෙදී, මහා විනාශයක් සිදුවී සුන් බුන් බවට පත්වී තිබුණු ප්‍රංශයේ සහ බෙල්ජියමේ යුද පිටියක, හදිසියේම  විශාල රතු පොපි මල් පැළ යායක් පොළොවෙන් පැන නැගී, දින කිහිපයකදී  මලින් බරවී, තද රතු පැහැයෙන්  දීප්තිමත්ව බැබලෙන්නට විය. මෙම රතු පොපි මල් හටගත්තේ යුද්ධයේදී තුවාල සිදුවී මියගිය සොල්දාදුවන්ගෙන් ගලා ගොස් පසට එකතුවූ  රුධිරයෙන් බවට උපකල්පනයක්   සහ විශ්වාසයක් යුද සෙබළ ප්‍රජාව තුළ තදින් සමාජ ගතවී තිබේ. මේ නිසාම අදටද රතු පොපි මල්, යුද සමරු සංකේතයක් ලෙසද භාවිතයේ පවතී.

මෙහි සිට යුද අනුස්මරණ මන්දිරය වටා කිලෝමීටර දෙකක් පමණ පා ගමනින් ගිය අපි, ස්වල්ප වේලාවක් මහන්සිය නිවා ගැනීමෙන් පසු, අනුස්මරණ මන්දිරයේ ප්‍රධාන පිවිසුම වෙත පැමිණියෙමු. එහි සිටි උපදේශක වරයෙකුගෙන්  තොරතුරු ලබාගත් අපි මුලින්ම බිම් මහලේ ඇති විශාල ගැලරියේ තැන්පත් කර ඇති, යුද්ධයෙදී  ප්‍රයෝජනයට ගෙන ඇති ධජ, පතාක, නිල ඇඳුම්, විවිධ සංකේත, පදක්කම්, සන්නිවේදන ක්‍රමවේද, ආදිය නරඹමින් පැයක් පමණ  කාලය ගත කළෙමු. එහිදී දැක බලා ගත් සිහිවටන කිහිපයක ඡායාරුප කිහිපයක්  පහත දැක්වේ.  

 


අප මීළඟට අවධානය යොමු කළේ ඉහළ මාළයේ පිහිටි ‘බැල්කනියට’ ගොස්  එහි සිට   මෙල්බර් න් පුරවරයේ සිරි නැරඹීමටයි. තට්ටු සිය ගණනින් යුක්තව අහස් උසට නැගී දිස්වන ගොඩනැගිලි, මහාමාර් ග  ජාලය, දුම්රිය සහ ට්‍රෑම් රථ ධාවන පථ සංකීර් ණය, සහ ඈත ක්ෂිතිජයේ  මහා සාගරයත් මුහුදු වෙරළත් මෙහි සිට මැනවින් දැක ගතිමු. මේ සියල්ලටමත් වඩා චිත්තාකර් ෂණීය වූයේ,  හරිත වර් ණයෙන්  දිදුලන රූස්ස ගස් වලින් සහ සරත් ඍතුව ලඟම පැමිණෙන බව හඟවමින්,  තම ශාක පත්‍ර විචිත්‍ර වර් ණ ගන්වමින්, ඒවා පොළොවට මුදා හැරීමට  සැරසෙන මෙරටට ආවේණික පතනශීලී ශාක සමූහයයි. මේ මනස්කාන්ත දර් ශන නැරඹීමෙන් පසු අපි යළිත් බිම් මහලට පැමිණියෙමු. 

ඉහළ මහලේදී අපට සියැසින් දැක ගැනීමට නොහැකි වූ, වසරකට එක් වරක් පමණක් පැවැත්වෙන සුවිශේෂී සිද්ධියක් පිළිබඳවද මෙහිදී සඳහන් කිරීම යෝග්‍යයයි සිතමි. දෙවන ලෝක යුද්ධය අවසන් කර මිත්‍ර පාර් ශවය  සහ ජර්මනිය අතර සටන් විරාම (Armistice) ගිවිසුමක් අත්සන් කර ඇත්තේ 1918 සැප්තැම්බර් මස 11 වන දින පෙරවරු 11.00 පසුවී මිනිත්තු 11 ටය. මෙම ඓතිහාසික සිද්ධිය "11. 11,  11.11"  ලෙසද දැක්වේ. මෙම සුවිශේෂී සිද්ධිය සනිටුහන් කිරීම් වස්, එදින සිට සෑම වර් ෂයකම සැප්තැම්බර මස 11 වන දින, මෙම  මන්දිරයේ ඉහළ මාලයේ පියස්සේ සකස් කර  ඇති,  සිදුරක් ඔස්සේ පතිතවන සූර් යාලෝක කදම්බයක් කාච,     දර් පන සහ ප්‍රිස්ම ආධාරයෙන්, මැද මහලේ පූජනීය ප්‍රදේශයේ ස්ථාපනය කර තිබෙන ‘GREATER LOVE HATH NO MAN’ යන බයිබල් පාඨය නෙලා ඇති පාෂාණ ඵලකයේ  LOVE” යන වචනය මත නාභිගතකර, එම ඵලකය දීප්තිමත්ව දිදුලීම මහජනතාවට දකින්නට සලස්වනු ලැබේ.

‘යුද සමරු පාෂාණ ඵලකය’ (The stone of remembrance) යන නමින්ද හඳුන්වන මෙම ඵලකය මගින් යුද්ධයේදී මියගිය සියලුම ඕස්ට්‍රේලියානු ස්ත්‍රී පුරුෂයින් සිහිකිරීමේ  ‘සොහොන් ගලක්’ (tomb stone) ලෙස දැක්වීමද නිවැරදිය. මෙම ඵලකය මත සූර් යාලෝක කදම්බයක් පතිත කර, එය මත සටහන්  කර  තිබෙන ‘LOVE’ වචනය ප්‍රති දීප්ත කිරීම ආරම්භ කර තිබෙන්නේ 1934 වර් ෂයේදීය. මෙය යුද සමරුවේ සුවිශේෂී කාර් යයක් ලෙස සැලකේ.


පාෂාණ ඵලකය සහ සූර් යාලෝක කදම්බය ඒ මත පතිතවීම සඳහා, එයට සම්බන්ධ මෙවලම් සීරු මාරු කරන තැනැත්තා මෙහි  දැක්වේ.

දැනට වසර 45 කට ඉහතදී  (1979 සිට)  මෙම කාර් යය ස්වේච්ඡාවෙන්  කිරීම සඳහා ඇප කැපවී කටයුතු කරනුයේ ෆ්රෑන්ක් ජොන්ස්ටන් නමැති විශ්‍රාමික මිණුම් කරුවෙකි. ඔහු දැනට 87 වන වියෙහි පසුවෙයි. 


අපගේ චාරිකාව අවසන් කරන විට  වෙලාව පස්වරු 2.30 පමණ විය. යුද ස්මාරක  පරිශ්‍රයෙන් පිටවූ අපි, ට්‍රෑම් රථයෙන් ආපසු Flinders street දක්වා පැමිණ, ඒ අසල ඇති අවන්හලකින් දිවා ආහාරය ගත්තෙමු.


දිවා ආහාරයෙන් පසු , දුම්රියපළට පැමිණි අපි පස්වරු 3.30 ට පමණ තිබුණු දුම්රියෙන් ආපසු නිවෙස් බලා පැමිණියෙමු.

ඡායාරුප සපයා දුන් සියලු දෙනාටම ස්තුති කරමි.

 දයාරත්න වීරසේකර

 

    

10 comments:

  1. ලස්සන සටහනක් . ආසාවෙන් කියෙව්වා. සමහර අකුරු මැද කොටසෙන් පිටට පැන තිබෙනවා. ඒක සංස්කරණය කරලා තියන්න. තවත් මේ වගේ ගමන් විස්තර ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනුරුද්ධ,
      ඔබ පෙන්වා දුන් ප්‍රමාද දෝෂය හරියාකාරව නිවැරදි කළා. අප ජේෂ්ඨ පුරැවැසි කුඩා කණ්ඩායම මේ ආකාරයට මෙල්බර් න් නගරයේ තිබෙන මෙවැනි තවත් අධ්‍යාපනික, සමාජමය, සංස්කෘතික වැදගත් කමකින් යුක්ත ස්ථාන රාශියක් ඉදිරියේදීත් නැරඹීමට යාමට බලාපොරොත්තු වෙනවා.

      Delete
  2. how many of us have visited our own war memorial in Battaramulla I wonder

    ReplyDelete
    Replies
    1. Dear Anno,
      / "How many of us have visited our own war memorial" / is a question for which I have no answer, of course !
      Fortunately, I have got the opportunity to visit the National Remembrance Park at Mailapitiya, Kandy. About two decades ago, when I was working as a consultant in a Teacher training Project of the Ministry of Education, I visited the site to get some information relevant to teachers.

      Delete
  3. කට්ටිය එකතුවෙලා නියම චාරිකාවක් නෙව ගිහින් තියෙන්නෙ? එහෙම එකතු වෙන්න , එක වගේ හිතන අය ඉන්නව කියන එකම වාසනාවක්. මම හිතන්නෙ අජිත් ධර්මාත් වරක් මේ ගැන ලියල තිබ්බා. මෙහෙත් අපේ අය එකතු වෙච්ච වෙලාවට, ඒක එච්චරම සුන්දර අත්දැකීමක් නොවන නිසයි එහෙම කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි DGM,
      අපේ කණ්ඩායමේ කවුරුත් ශ්‍රී ලංකාවේදී පූර් ණ කාලීනව රාජ්‍ය සේවයේ සිට, විශ්‍රාම ලබා, ජීවිතයේ සැඳා සමයේදී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අය. අප සියලු දෙනාටම යහමින් විවේකය තිබෙන නිසා සති දෙක තුනකට වරක් මෙවැනි කුඩා චාරිකා වල නිරත විය හැකියි. ජේෂ්ඨ පුරවැසියන් සඳහා රජය මගින් මෙවැනි වැඩ කටයුතු සඳහා පහසුකම් රාශියක් සපයා තිබෙනවා. මෙසේ දැක බලා දැනුම සහ අවබෝධය ලබාගත හැකි ස්ථාන සිය ගණනක් මෙල්බර් න් නගර සීමාව තුළම තිබෙනවා.

      Delete
  4. බොහෝම ලස්සන ඓතිහාසික වටිනා කමින් යුක්ත ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සරත්,
      අප සති දෙක තුනකට වරක් මෙවැනි චාරිකාවල නිරතවී නගරය තුල තිබෙන ඓතිහාසික මෙන්ම විවිධ ආකාරයට වැදගත් ස්ථාන නරඹා මෙවැනි සටහන් තබා ගැනීමට උත්සාහ කරනවා.

      Delete
  5. Replies
    1. ස්තුතියි Pra Jay,
      ඉදිරියටත් මෙවැනි තොරතුරු ලියා තැබීමට උත්සාහ කරනවා.

      Delete