“ඔබ, සොබාදහමට යම්කිසි ගැටළුවක් ඇතිකළ හොත්, එය ඔබට නිසි පිළිතුරක් සපයනු ඇත.” - Jacob Henle (1809-1885)
- උසස්
මනසක් ඇත්තේ මිනිසාටය
මිනිසා යනු, උසස් මනසක් සහිතව
ජන්ම ලාභය ලැබූ ජීවියෙකි. මිනිසෙකු ලෙස උපතක් ලැබීමේ වටිනාකම සහ එහි උතුම් බව තේරුම් ගත හැක්කේ ද මිනිසාට පමණකි. අනිකුත් සියලු සතුන්ට මෙන් නොව යමක් මනසින් මෙනෙහි කර, මැන බලා සසඳා දැනගත
හැක්කේද මිනිසෙකුට ම පමණකි. ලෝකයේ ජීවත්වන මිනිසුන් සංඛ්‍යාව මෙන් කෝටි ප‍්‍රකෝටි
ගුණයකින් වැඩි ප්‍රමාණයක් අනෙකුත් සත්ත්වයෝ සිටිති. ඒ කිසිම සත්ත්වයෙකුට කිසිසේත් දියුණු කර ගත හැකි මනසක් නොමැත. අප විසින් සතුන් ලෙස
හඳුන්වනු ලබන ඒක සෛලීය ජීවීන්ගේ සිට බහු සෛලීය අලි ඇතුන් වැනි ජීවීන් දක්වා
අනෙකුත් සියලුම සතුන්ට, පරිසරයේ සිදුවන බොහෝ සංසිද්ධි සඳහා ඇතිවන සංවේදී බව ‘ඉවක්’ ලෙස සැලකිය හැකිය.
භෞතික ලෝකයේ අපට අදෘශ්‍යමාන, මිනිසුන් නොවන වෙනත් අමනුෂ්‍ය කොට්ඨාශ ඇතොත්, ඔවුනටද ඉවක් වැනි සංවේදී ස්වභාවයක්
තිබිය හැකි නමුත්, ඔවුනට මිනිසාට මෙන් මනසක් ලැබී නැත. මනස
යනු සකස් කර, පුහුණු කර, පිරිසිදු කර, දියුණු කර ගත හැකි
ඉන්ද්‍රියයකි. (මෙය
භෞතිකව නොපෙනෙන
මනේන්ද්‍රියයි). මනුස්ස යනු ‘මන උස්සා ගත හැකි’, නැතහොත් මනස උසස් බවට පත්කරගත හැකි ශක්තිය ඇති බවයි. මනස යනු සිතයි.
මනස උසස් කර ගත හැක්කේ යහපත් සිතිවිලි මගින්ය.
බුදුරජාණන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ, මහමත් තුමා වැනි
සියලුම ආගමික ශාස්තෘන් වහන්සේලා මනුෂ්‍යයින් වශයෙන් උපත ලබා, මනසෙහි ශක්තිය උසස් බවට පත්කරගත් නිසා, තමතමන් වටහාගත් ධර්මය
අනිකුත් මනුෂ්‍ය වර්ගයා සඳහා අවබෝධ කර දීමට සමත් කමක් දක්වා තිබේ. බෞද්ධයින් වශයෙන් අපට හුරුපුරුදු, බුද්ධ ධර්මයේ
ඉගැන්වෙන,
මනෝ පුබ්බංග මා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන – භාසති වා කරෝති වා
තතෝ නං සුඛ මන්වේති -
ඡායා’ව අනපායිනී
මනෝ පුබ්බංග මා ධම්මා
- මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන -
භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛ මන්වේති
– චක්ඛං’ව වහතො පදං
යන ගාථා වලින් හැඳින්වෙන පරිදි , මනසට අදාළ වන දහම් කරුණු මෙසේ විග්‍රහ කළ හැකිය.
“ජීවිතයේ සෑම දෙයකටම මුල් වන්නේ සිතයි.
ශ්‍රේෂ්ඨ වන්නේ සිතයි. සියල්ලක්ම හටගන්නේ සිතීම
නිසයි. යම් හෙයකින් යහපත් සිතකින් යුක්තව යමක් කීමෙන් හෝ යමක් කිරීමෙන් ලැබෙන යහපත් සැප විපාක, එම තැනැත්තාගේ පිටු
පසින් ලුහුබැඳ ඒම ස්වාභාවිකයි. එය, තමා අත නොහැර
පිටුපසින් පැමිණෙන සෙවනැල්ල මෙනි. එසේම අයහපත් සිතකින් යුක්තව කරනු ලබන යමක් නිසා
ලබන අයහපත් දුක් විපාක, රථයක බර අදින විට ගවයා පසුපසින් කැරකී එන රථ රෝදයට සම කළ හැකිය.”
නවීන විද්‍යාව ආරම්භ වූ කාලයේ (17 වන ශත වර්ෂයේ) ජීවත්වූ අයිසෙක් නිව්ටන් නම් විද්‍යාඥයා විසින්, භෞතිකව සිදුවන, ඕනෑම උත්තේජනයකට නැතහොත් ඵලයකට අනුරූපී හේතුවක් තිබෙන බව පෙන්වා දී, එය භෞතික විද්‍යාවේ නියමයක් ලෙස දක්වා ඇත. මෙය චලිතය පිළිබඳ නිව්ටන්ගේ තුන්වැනි නියමයයි. එය මෙසේය:
- හේතුඵල ධර්මතාවය යනු කුමක්ද?
තුන්වෙනුව, කලින් සඳහන් කළ පරිදි, සිතුවිලි වලට අනුරූපව
සිත, කය, වචනය යන තිදොර ආශ්‍රීතව
හටගන්නා සිද්ධි මගින්ද ජීව අජීව වස්තු කෙරෙහි බලපෑමක්
සිදු විය හැකිය. මෙය කම්ම නියාමය යි. බෞද්ධ ඉගැන්වීම් වල දැක්වෙන කම්ම නියාමය මනෝවිද්‍යාත්මක සංකල්පයකි. ජීවීන්ගේ උපත සඳහාද කර්ම බලපෑමක් තිබේ. සත්ත්වයන් අතර විවිධත්වයක් හටගන්නේද කර්මය නිසාය.
- හේතු ඵල ධර්මය මිනිසා කෙරෙහි බලපෑම
- අප අද මුහුණ පාමින් සිටින අර්බුද විග්‍රහ
කළ හැක්කේ කෙසේද ?
මෙම ස්වාභාවික ක්‍රියාවලි සිදුවීම නිසා, පෘථිවියේ ඇති සියලුම ජීවී සහ අජීවී සංඝටක අතර මනා සමතුලිතතාවයක් ගොඩ නැගී ඇත. වායුගෝලයේ ඔක්සිජන් සහ කාබන්ඩයොක්සයිඩ් වායුව, පොළොවේ ජලය, වායු ගෝලයට ලැබෙන හිරු එලිය ආදිය ඉතාමත් ප්‍රශස්ත මට්ටමින් පැවතීම නිසා, මිනිසා ඇතුළු සියලුම ජීවීන්ට ජීවත්වීම සඳහා පෘථිවිය මත සකස්වූ පරිසරය ඉතාමත් හිතකරව පවතී. වායු ගෝලයේ පවතින කාබන්ඩයොක්සයිඩ් ස්තරය, පෘථිවිය වසා සිටින ‘පොරවනයක’ ආකාරයට ක්‍රියාකරමින් අභ්‍යවකාශයේ සිට පෘථිවිය කරා පැමිණෙන අහිතකර අන්තරීක්ෂ කිරණ (cosmic rays) කපා හරියි.
ආදි කාලීන මිනිසා, තමන්ගේ වටපිටාවේ නැතහොත් අවට පරිසරයේ, ජීවී අජීවී සියලු වස්තු සමග මනා සබැඳියාවකින් යුක්තව කටයුතු කළේය. පරිසරයේ ගහකොළ සතා සීපාවා ඔහුගේ ආහාර සපයමින් වෙනත් අග හිඟ කම් වලටද පිහිට විය. ඒ නිසා ඔහු තම පරිසරයට ආදරය කළේය. ඔහුගේ දැනුම් සම්භාරයට ගම්‍ය නොවන පරිසරයේ බොහෝ දේ ඔහු දේවත්වයේ ලා සැලකීය. බොහෝ විට ග්‍රහ වස්තුවල හැසිරීම් රටා, දේශගුණ විපර්යාස වැනි සංසිද්ධි පිලිබඳ ගැඹුරු දැනුමක් ඔහුට නොතිබිණි. වනාන්තර ගතව සතුන් දඩයම් කිරීමෙන් ජීවත්වූ මිනිසා පසු කලකදී ක්‍රමක්‍රමයෙන් සතුන් ඇති කිරීම, කෘෂිකාර්මික කටයුතු වැනි වෙනත් ජීවනෝපා මං වලටද යොමු වන්නට විය. මෙසේ සිදුවූ විපර්යාසයන් සමගම මිනිස් සමාජයේ ආරම්භවූ හැරවුම් ලක්ෂ්‍යය, ශිෂ්ඨාචාරය ලෙස දැක්විය හැකිය. මිනිසුන් ශිෂ්ඨාචාර වෙත්ම ඔවුන්ගේ බුද්ධි මට්ටමද වැඩි දියුණු වන්නට විය. මෙසේ බුද්ධිය මෙහෙයවා කටයුතු කළ අය අතුරෙන්, මහා දාර්ශනිකයින් සහ ආගම් කතෘ වරු වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයින්ද පහල වන්නට විය.
එම ආගම් කතෘවරුන්ගේ
ඉගැන්වීම් අනුව මිනිසාට ‘හොඳ නරක’ පිලිබඳ අවබෝධයක්
ඇතිවිය. මිනිසා තුළ සදාචාර සම්පන්න භාවය ප්‍රගුණ වත්ම, ඔහු පාපකාරී අදහස් උදහස් වලින් ඈත්වී, ජිවිතයට වැඩදායී, අධ්‍යාත්මය ඔප්
නැංවිය හැකි මාර්ග සෙවීමට උත්සාහ කළේය. විශේෂයෙන්ම ආසියානු රටවල ප්‍රචලිත වූ බෞද්ධ
දර්ශනය සහ හින්දු ආගමික වත් පිළිවෙත් නිසා, සැහැල්ලු දිවි
පෙවෙතකට හුරු පුරුදු වූ මිනිසා, තම සිතැඟි පාලනය කර
ගනිමින් එදිනෙදා ජීවිතය සකස් කර ගැනීමට පුරුදු විය. එසේම යුරෝපාකරයේ ක්‍රිස්‌තු ධර්මය ප්‍රචලිත වීමත්, මැද පෙරදිග රටවල ඉස්ලාම් ධර්මය මුල් බැස ගැනීමත් නිසා එම රටවල ජනතාවද ආගමානුකූල ජීවිත ගතකිරීමට හුරු පුරුදු වූහ.
“දේවෝ වස්සතු කාලේන - සස්ස සම්පත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝච - රාජා භවතු ධම්මිකෝ”
නුතන යුගයේ බලාපොරොත්තුවූ භෞතික ‘දියුණුව’ කරා ක්‍රමක්‍රමයෙන් පිය නගමින් තිබුණු මිනිස් සමාජය මෙවැනි පසුබිමක් යටතේ, අවිනිශ්චිත තත්ත්වයක පවතින අතරතුරදී, කාර්මික විප්ලවය ආරම්භ විය.
කාර් මික විප්ලවයෙන් පසු ලොව පුරා ශීඝ්‍ර භෞතික දියුණුවක් දකින්නට ලැබිණ. ඒ සමගම මිනිසාගේ අධ්‍යාත්මික දියුණුවේ ගරාවැටීමක්ද සිදුවන බව පැහැදිලි විය. එහෙත් මුදල් පසු පසම හඹා ගිය මිනිසා අධ්‍යාත්මික සංවර්ධනය පසෙක තබා, වැඩි වැඩියෙන් භෞතික දේ රැස්කර ගැනීම සඳහා සිත් යොමු කළේය. ඔහු වනාන්තර සම්පත් සුරාකෑම ආරම්භ කළේය. ගල් අඟුරු සහ ෆොසිල ඉන්ධන නිධි අධික වශයෙන් භාවිතය පටන් ගත්තේය. පෘථිවියට අයත් එම මහඟු සම්පත්, මේ වන විට අවසන් වෙමින් පවතී. වසර මිලියන තුන්හාර සියයක් තිස්සේ භූ ගර්භයේ තැන්පත් වී ඇති මෙම ප්‍රතිජනණීය නොවන (non-renewable) ෆොසිල ඉන්ධන ශත වර්ෂ දෙකක් පමණ සුළු කාලයක් තුළදී අවසන් කර දැමීමට මිනිසා සමත්වී තිබේ. වනාන්තර, ප්‍රතිජනණීය (renewable) සම්පතක් ලෙස සැලකුවද, රූස්ස ශාක සහිත, අපගේ ‘සිංහරාජය’ වැනි වැසි වනාන්තරයක් සකස් වීම සඳහා, වසර හාර දහසක් පමණ ගතවන බව ගණනය කර තිබේ. ලෝක බැංකුවේ ගණනය කිරීමකට අනුව ගතවූ ශත වර්ෂය තුළදී පමණක්, ලොව පුරා වර්ග සැතපුම් මිලියන දහයකට (වර්ග කි.මී මිලියන 3.9 ට) වඩා වන විනාශයක් සිදුවී තිබේ. පසුගිය විසිපස් වසර තුලදී පමණක් වන විනාශය වර්ග සැතපුම් පන් ලක්ෂයකි.
- හේතුව සහ ඵලය
මෑත යුගයේ ලොව පුරා පවතින විවිධ ආපදා රාශියකට ප්‍රධානතම හේතු වී තිබෙන්නේ මිනිසාගේ අදූරදර්ශී ක්‍රියාකලාපයන් නිසා සිදුකරනු ලබන අසීමිත ෆොසිල ඉන්ධන භාවිතය සහ දැවැන්ත වන විනාශය බව විවිධ සමීක්ෂණ වලින් හෙළිවී තිබේ. මේ හේතු නිසා ඇතිවී තිබෙන ඵල මොනවාද?
- ෆොසිල
ඉන්ධන දැවීමේදී හටගන්නා ප්‍රධාන අපද්‍රව්‍යය
වන කාබන්ඩයොක්සයිඩ් වායුව මුක්ත වනුයේ වායු
ගෝලයටය. මේ හේතුවෙන්,
හරිතාගාර වායුවක් වන කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය
වායු ගෝලයේ වැඩිවීම නිසා පරිසරයේ
උණුසුම වැඩිවේ.
- පරිසරයේ
උණුසුම වැඩිවන විට පෘථිවියේ ධ්‍රැව
ආසන්නයේ ඇති අයිස් දිය වීමට පටන් ගෙන, මුහුදු
ජල මට්ටම ඉහල යාමේ ප්‍රවණතාවක් තිබේ.
- මුහුදු
ජල මට්ටම ඉහල යනවිට දූපත් රටවල් (මාල දිවයින් වැනි) ජලයෙන්
යටවීමේ තර්ජනයක් පවතී. ඒ සමගම,
වෙරළාසන්නයේ පිහිටි ලෝකයේ
ඉතාමත් ජනාකීර්ණ ප්‍රධාන නගර රාශියකටද මෙම තර්ජනය එකසේ බලපායි.
- සාගර
ජලයේ උෂ්ණත්වය වැඩි වනවිට, ඉතාමත් ඉහල ජෛව විවිධත්වයකින් යුත් කොරල්
පර සහ ඒවා ආශ්‍රීත සාගර ජීවීන්ගේ ජීව ක්‍රියාවලි අඩපණවී ඒවා විනාශයට පත්වේ.
ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය දැනටමත් මේ උවදුරට පත්වෙමින් තිබේ.
- වායු
ගෝලයට මුක්ත වන අතිරික්ත කාබන්ඩයොක්සයිඩ් වායුවෙන් සැලකියයුතු ප්‍රතිශතයක්
සාගර ජලයේ දියවී පවතී. සාගර ජලයේ උෂ්ණත්වය ඉහලයන විට ද්‍රාව්‍ය වී ඇති
කාබන්ඩයොක්සයිඩ් වායුවේ විශාල කොටසක් වායු ගෝලයට මුදා හැරේ. මේ නිසා පරිසර
උණුසුම තවත් ඉහල යයි.
- පරිසරය
උණුසුම් වනවිට ස්වාභාවික දේශගුණ රටා විපරීත වීම නිසා අනපේක්ෂිත නියඟ,වර්ෂාපතනය
ජලගැලීම්, චණ්ඩ මාරුත වැනි සංසිද්ධි ලොව පුරා වැඩිවෙමින්
පවතී.
- මෑතදී
ඕස්ට්‍රේලියාවේ සහ අමෙරිකාවේ
හටගත් මහා ලැව් ගිනි මෙතෙක් ලොව හටගත් විශාලතම
ලැව්ගිනි බව වාර්තාවේ. අධික පරිසර උෂ්ණත්වය නිසා වියලී යන කොළ රොඩු පහසුවෙන්
ගිනි ගැනීම මෙම ලැව් ගිනි පාලනය කිරීමට බාධාවක් වූ බවට සැක
කෙරේ.
- වනාන්තර
විනාශ වන විට සිදුවන සෝදාපාළුව නිසා පසෙහි ,
සරු බව අඩුවන අතර, පසෙහි අංශු
අතර ඇති හිඩැස් නිරාවරණය වී, එම ස්ථානවල රැඳී තිබෙන කාබන්ඩයොක්සයිඩ්
වායුව වායු ගෝලයට මුක්ත වී පරිසරය උණුසුම් වීමට දායක වේ.
- පරිසර
උෂ්ණත්ව වෙනස් වීම් වලදී එයට
ඉතා සංවේදී,
භෞමික,
ජලජ සහ
වෙනත් පරිසර වල ජීවත්වන සත්ත්ව සහ ශාක විශේෂ
රාශියකගේ ජීවන ක්‍රියාවලි අඩපන වේ. මේ නිසා
සමහර ජීවීන් සදහටම තුරන් වී ගොස් ජෛව
විවිධත්වයට තදබල හානි පැමිණේ.
- කාබන්ඩයොක්සයිඩ් වායුවට
අමතරව, වායු ගෝලයට මුක්ත වන මීතේන් වායුව නිසා, වායුගෝලයේ
ඉහල ස්තරවල තිබෙන ඕසෝන් වායුව වියෝජනය වීමෙන් ඇතිවන හිඩැස් හරහා
සෞඛ්‍යයට අහිතකර අන්තරීක්ෂ කිරණ (cosmic
rays) පෘථිවි තලය මත පතිත වේ.
මෙම ඓතිහාසික ප්‍රඥප්තිය සඳහා, ලෝක රාජ්‍ය නායකයින් විසින් එකඟතාව පළකර වසර හතරකට පසුවදීත් (2020 වසර වනවිට) යෝජිත ඉලක්කයෙන් සියයට දහයක්වත් ක්‍රියාත්මක නොවීම සමස්ත ලෝක වාසීන්ගේම අභාග්‍යයකි. මෙය ඉතා බලවත් නොසලකා හැරීමක් ලෙස සැලකිය හැකිය. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා සංගමයේ මහලේකම් තුමා, කිහිප වරක්ම තම කනස්සල්ලද ප්‍රකාශ කරන ලදී.
මිනිසාගේ තණ්හාධික කම නිසාම, ඉතාමත් ශීඝ්‍රයෙන් විනාශ මුඛයට පත්වෙමින් තිබෙන, පෘථිවි ග්‍රහ ලෝකය, එම මහා ව්‍යසනයෙන් බේරා ගැනීම පිණිස කිසි පිහිටක් නොමැති බව මෙයින් සක්සුදක්සේ පැහැදිලි විය. ශතවර්ෂ දෙකක පමණ කෙටි කාලයක් තුලදී මිහිකත මේ දුර්දාන්තයට හෙලන ලද මිනිසා විසින්ම එම යෝජිත “මිහිකත බේරාගැනීමේ ප්‍රඥප්තිය” නොසලකා හැර ඇති බව දෛවයේ සරදමකි.
අතීතයේදීද මිනිසාගේ අකටයුතුකම් සඳහා නිරතුරුවම ස්වභාව ධර්මයෙන් නිසි පිළිතුරු ලැබී තිබෙන බවට බොහෝ සාක්ෂි තිබේ. සමහර අවස්ථා වලදී පස්කඳු කඩාවැටීම්, නායයාම්, ජල ගැලීම්, ලෙඩ රෝග පැතිරීම් වැනි සුළු පරිමාණයේ සිදුවීම් මේ ගණයේ ලා සැලකිය හැකිය. බොහෝ විට මෙම ඵල විපාක වලට මිනිසා විසින්ම නිර්මාණය කරන ලද ආසන්න හේතු තිබෙන බව අනාවරණය කර ගත හැකිය. මේ නිසා එම සිදුවීම් හේතු ඵල ධර්මය අනුව සිදුවූ ඒවා බව තර්ක කළ හැකිය.
2019 වර්ෂය අවසානයේදී සිට මුළු ලොවම සසල කරමින් මේ වනවිටත් ( 2020 අගෝස්තු ) මාස නවයකට වැඩි කාලයක් තිස්සේ ලොව පුරා පැතිරෙමින් පවතින මාරාන්තික “කොරෝනා” (COVID-19) නම් නවතම උණ රෝගය මෙතරම් ප්‍රබල මිනිස් ඝාතකයෙක් වී ඇත්තේ මක්නිසාද? පසුගිය දශක කිහිපය තුලදී මැලේරියාව, මී උණ, මොළයේ ප්‍රදාහය වැනි උණ රෝග පාලනය කර ගැනීමට හැකිවූ, වෛද්‍ය විද්‍යා, විද්‍යා සහ තාකෂණික ක්‍රමවේද වලට මෙතෙක් මේ මහා වසංගතය සඳහා ප්‍රතිකර්මයක් සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ යම්කිසි ප්‍රබල අදිසි බල පෑමක් නිසා විය නොහැකිද?
ස්වභාව ධර්මය වනාහී, හිත් පිත් ඇති වස්තුවක් නොව, නාම මාත්‍රයක් පමණකි. එහෙත් එය භෞතික ලෝකයේ මිනිසා ඇතුළු සියලුම සතුන් සහ ශාකද, භූ දර්ශන පථය, පෘථිවියේ වෙනත් ගති ලක්ෂණ, මිනිසාගේ සහභාගිත්වයක් නොමැතිව ඉබේ හටගෙන ඇති සෞන්දර්යාත්මක නිමැයුම් සහ සංසිද්ධි, රාශියක සාමුහික පැවැත්ම ලෙස අර්ථ දැක්විය හැකිය.
සොබා දහම පිලිබඳ ගැඹුරට තම චින්තනය මෙහෙය වූ අතීතයේ විසූ දාර්ශනිකයින් දෙදෙනෙකු එය හඳුනාගෙන තිබෙන ආකාරය මෙසේ දැක්විය හැකිය.
සොබාදහමට අනුකුලව ජීවත් වීම විනා, අපට කිසිදිනක එයට නියෝග නිකුත් කළ නොහැකිය.” - Francis
Bacon (1561-1626)
ඔබ, සොබාදහමට යම්කිසි ගැටළුවක් ඇතිකළ හොත්, එය ඔබට නිසි පිළිතුරක් සපයනු ඇත.” - Jacob
Henle (1809-1885)
මෙවන් පසුබිමක් යටතේ, මිනිසාගේ සියලු අවශ්‍යතා සපයා දෙනු ලබන පරිසරය මිනිසා විසින්ම කරනු ලබන අන වින නිසා, විනාශ මුඛයට පා තබමින් සිටින විට, එයට කාගේ පිලිසරණක්ද? ලෝකයේ රටවල් සියල්ලම පාහේ නියෝජනය වෙමින්, එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට ඓතිහාසික ප්‍රතිඥාවක් දී, මනා එකමුතුවකින් යුක්තව අත්සන් කරනලද “මිහිකත බේරාගැනීමේ ප්‍රඥප්තිය” පිළිබඳව කිසිම තැකීමක් නොමැතිව, එය නොසලකා හැර උල්ලංඝනය කරන ලද්දේද ලෝක ජන නායකයින් විසින්මය. සිත් පිත් නැති පරිසරයට සිදුවන මෙම අවනඩුව විමසා තීරණයක් දීම, සිත් පිත් නැති ස්වභාව ධර්මය විසින්ම භාරගෙන තිබේ.
වරදක් කළ අයට ඒ සඳහා සුළුවෙන් හෝ දඬුවමක් ලැබීම ස්වාභාවික බව හේතු ඵල ධර්ම සංකල්පය මගින් බුදු දහමෙහි ඉතාමත් ගැඹුරින් විග්‍රහ කර තිබේ. දැනට ශත වර්ෂ කිහිපයකට ඉහතදී නිව්ටන් විසින් “සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන එහෙත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් පවතී” යනුවෙන් භෞතික නියමයක් ලෙස දක්වා ඇත්තේද මෙම සංකලපයටම අදාළ කරගතහැකි සංසිද්ධි වේ.
සිත් පිත් ඇති මිනිසා, අවබෝධයෙන් සහ තම බුද්ධිය මෙහෙයවා කටයුතු නොකර, නිරතුරුවම පරිසරයට තර්ජන එල්ල කළහොත්, සිත් පිත් නොමැති පරිසරයට, පරාජය භාරගැනීමට සිදුවනු ඇත. එසේ වුවහොත් මිනිසාගේ සහ අනිකුත් සියලුම ජීවීන්ගේත් එකම නිවහන වන පෘථිවියට අත්වන ඉරණම කුමක්ද? හදිසියේම පැන නැගුණු COVID-19 වයිරස් උණ වසංගතය, මිනිස් සංහතියෙන් ඉතා සුළු ප්‍රතිශතයක් විසින් කරගෙන යනු ලබන පරිසර විනාශය මැඩපැවැත්වීම අත්‍යවශ්‍ය බව පෙන්වීමට, සිත්පිත් නැති ස්වාභාවධර්මය විසින් කරනලද මවා පෑමක්ද?
COVID-19 වයිරසය ජීවියෙකු නොවේ. එය යම්කිසි විධිමත් ආකාරයකට සකස්වූ, ඇසට නොපෙනෙන (අන්වීක්ෂීය), පරමාණු සහ අණු ‘ගොණුවක්’ පමණකි. මෙම ගොණුවේ බාහිර ආවරණය ඉතා සියුම් ලිපිඩ (මේද) පටලයකි. එහි ඇති පිටතට නෙරා සිටින තුඩු වැනි ප්‍රෝටීනයක් මගින්, මිනිසාගේ උගුර, පෙනහැලි වැනි අවයව වල ඇති අභ්‍යන්තර ස්තරය සමග බද්ධ වී, සෛල තුලට කා වැදීමේ හැකියාවක් ඇත. සෛලයක් තුළට ඇතුල්වන වයිරසයට, එහි ඇති සියලුම ජීව ක්‍රියාවලි තම පාලනයට ගෙන, වයිරසය ශීඝ්‍රයෙන් ගුණනය කළ හැකි වේ. මේ මගින් අවයවයේ සෛල ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක සාමාන්‍ය ක්‍රියාවලි අක්‍රිය කළ හැකිය. මේ නිසා වයිරසය ඉතා සුළු කාලයකදී, අසාදනය වූ සම්පුර්ණ අවයවයේම පාලනය තම ග්‍රහණයට නතු කර ගනී. අසාදනය වූ කෙනෙකු කතාකරන විට හෝ කිවිසුම් හරින විට මුඛයෙන් විසිරි යන අංශු මගින් වයිරසය වෙනත් අයටද අසාදනය විය හැකිය. මුඛ ආවරණ භාවිතය සහ මීටරයක පමණ සමාජ දුරස්ථ භාවය ක්‍රියාත්මක කළ යුත්තේ මේ නිසාය.
වයිරසය අත්වල ස්පර්ශ වී තිබුණහොත්, සබන් හෝ එවැනි දියරයකින් අත් සේදූ විට, සබන්වල ඇති රසායනික ද්‍රව්‍ය මගින් මේද පටලය දියවීම නිසා වයිරසය විනාශ වේ. මද්‍යසාර වලින් හෝ උණුසුම් ජලයෙන් සේදූ විටද මෙවැන්නක් සිදුවේ. වයිරසය ජීවියෙකු නොවන නිසා බැක්ටීරියා හෝ දිලීර මෙන් ප්‍රතිජීවක (antibiotics) මගින් විනාශ නොවේ. එය මිනිස් ජීවි සෛල හැර වෙනත් මතුපිටක යම්කිසි කාල සීමාවක් රැඳී තිබිමේදී ඉබේම අක්‍රිය වේ. මේ නිසා අවබෝධයකින් යුක්තව, සෞඛ්‍යාරක්ෂක උපදෙස් අනුව කටයුතු කිරීමෙන් අසාදනය වලක්වා ගත හැකිය.
මෙම වයිරසය උත්පාදනය වූයේ කෙසේද යන්න මේ වනතුරු නිශ්චිත වශයෙන් හෙළි වී නොමැත. වවුලන්, කබල්ලෑවන් වැනි සතුන්ගේ මස් අනුභවය නිසා එම සතුන් හරහා වයිරසය මිනිසාට අසාදනය වී ඇති බව එක් මතයකි. මේ වනවිට (2020 සැප්තැම්බර්) වයිරසය නිසා ලොව පුරා මිනිසුන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්වී තිබේ. මෙසේ අහඹු ලෙස දිවි තොරවූ අයට එම ඉරණම අත්වූයේ ඇයි? විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ තාක්ෂණය අතින් මිනිසා කෙතරම් උසස් මට්ටමකට ගොස් ඇතත් තවමත් වයිරසය මුලිනුපුටා දැමීමට නොහැකි වී තිබේ. අද ලොව පුරා කොරෝනා වයිරසය නිසා ලක්ෂයකට දහතුන් දෙනෙකු පමණ මරණයට පත් වෙති. මෙසේ ස්වාභාවික ව්‍යසන නිසා මිනිසා මරුමුවට පත්වීම හේතු ඵල ධර්මය අනුව සාධාරණීකරණය කළ හැකි නොවේ ද?
මෙම ආපදාව ගැන පසු විපරම් කිරීමේදී, ස්වභාව ධර්මයේ උත්තරීතර නිර්මාණය වන පරිසරය, ක්‍රමානුකූලව කළමනාකරණය කර ගනිමින් තිරසාර හෝ ධරණීය සංවර්ධනය ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම සඳහා ජගත් සංවාදයක් පැවැත්විය යුතුයයි මතයක් ඉස්මතු වෙමින් පවතී. දැනට මේ සඳහා මුළු ලොවෙහිම අවධානය ලැබෙමින් පවතී.
වයිරස වසංගතය නිසා, කඩා වැටී ඇති තම ආර් තිකය යලි ගොඩ නැගීම සඳහා ගතයුතු නව ප්‍රවේශ ගැන දැනටමත් ලොව සෑම රටක්ම ක්‍රමවේද සහ සැලසුම් සකස් කරමින් සිටිති. ෆොසිල ඉන්ධන භාවිතය සීමිත වී තිබුණු පසුගිය මාස කිහිපය තුළදී පරිසරයේ වායු දූෂණය අඩුවී ඇති බව රටවල් කිහිපයකින්ම වාර්තා විය. රසායන පොහොර භාවිතය නිසා, පස සරු කරන පාංශු ජීවීන් අහෝසි වී තිබුණු භුමිය, යළි ස්ථාපනය කිරීම සඳහා කොම්පෝස්ට් පොහොර භාවිතය පිලිබඳවත්, රසායන පොහොර භාවිතය ක්‍රමක්‍රමයෙන් අඩු කිරීම සඳහාත්, ගොවියා හුරු වෙමින් සිටී. භුමියේ ඉඩකඩ තිබෙන සෑම ස්ථානයකම හෝ අඩුම වශයෙන් සෑම ගෙවත්තකම, ආහාරයට ගත හැකි ශාකයක්වත් වවා ගැනීමට උනන්දුවක් ඇතිවී තිබේ. ආහාර සුරක්ෂිතතාව පිළිබඳව දැනට වඩා යහපත් ක්‍රියාමාර්ග ගැනීමට මෙම ව්‍යසනය නිසා මඟ පෑදී ඇත. මස් මාංශ නිෂ්පාදනයේදී සිදුවන පරිසර හානි අවම කිරීමට ඉවහල් වන ක්‍රමෝපායයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙමින් තිබේ. විශේෂයෙන්ම සර්ප, උරග වැනි සම්ප්‍රදායික නොවන සත්ත්ව මස් අනුභවය පිළිබඳව දෙවරක් සිතීමටද, මිනිසා නැඹුරු වෙමින් සිටී.
කලින් සඳහන් කරනලද පීඩාකාරී හේතු නිසා ‘අවසන් ගමන’ යාමේ සීමාවට මෙන් පැමිණ සිටින මිහිකත, යළිත් සුවපත් කරගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දීම සඳහා, සිත් පිත් නැති කොරෝනා වයිරස වසංගතය අනතුරු හැඟවීමක් කර ඇතැයි උපකල්පනය කිරීමද නිවැරදිය.
ඔබ සදහන් කර ඇති එක්සත් ජාතීන්ගේ ප්‍රග්ඥප්තිය සමග සියළු රටවල් සම්භන්ධ කරගෙන කාබන් විමෝචනය සීමා කිරීම සම්බන්ධව කියොතෝ සමළුව පැවැත්වුනා.
ReplyDeleteනමුත් මෙයට අදවන තෙක් ලෝකයේ වැඩිම කාබන් ප්‍රමාණයක් එකතු කරන ඇමෙරිකා එක්සත් ජනපදය අත්සන් කර නෑ...
කිය්තතෝ සමුළුව හා බැදුනු ලොකු දේශපාලනයක් තියෙනවා..
ගෝලීය උශ්ණත්වය ඉහල යෑම හා බැදුනු පාරසරික ප්‍රශ්ණ කියන්නේ අදවන විට මුළු ලෝකයේම දේශපාලනය හසුරවන මානයක්...
ලංකාව වගේ දුප්පත් රටවලට මෙහි බලපෑම අතිවිශාලයි..
මා මගෙ බ්ලොග් එකේ මේ මාතෘකාව ගැන කීප විටක් කථා කර තිබෙනවා.. එන්වයර්මන්ට් කියන ලේබලය යටතේ මෙය සාකාච්චා කර තිබෙනවා..එම ලිපි කීපයද කියැවීමට ආරාධනා කර සිටිනවා..
ඉතාම වැදගත් කාලෝචිත සටහනක්.
ReplyDeleteස්තූතිය ඔබ තුමාට.
ජයවේවා !!!
🤷🤷🤷🤷
ReplyDeleteභාගයක් කියෙව්වා. ඉතුරු ගේ කියවන්න ආයේ එන්නම්.
ReplyDelete//එසේම අයහපත් සිතකින් යුක්තව කරනු ලබන යමක් නිසා ලබන අයහපත් දුක් විපාක, රථයක බර අදින විට ගවයා පසුපසින් කැරකී එන රථ රෝදයට සම කළ හැකිය.” // නරක දේශපාලකයෝ කරන හැම දෙයක්ම යහපත් සිතින් කරන නිසා වෙන්න ඇති උන්ට මුකුත් නොවෙන්නේ. - මටහිතුනු දෙයක්.
Why you don’t hear about the ozone layer anymore
ReplyDeleteවටිනා ලියමනක්.
ReplyDelete