Saturday 30 December 2023

අධ්‍යාපන ක්‍ෂේත්‍රය, ‘ජීවන ක්‍ෂේම භුමිය’ වූයේ අහම්බයෙනි.

ප විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කරන කාලය (1963), වනවිට රටෙහි නිදහස් අධ්‍යාපනයේ මහඟු ප්‍රතිඵල ඉතා මැනවින් දකින්නට ලැබුණු වකවාණුවකි. ඒ සමගම ‘සැමට ම විද්‍යාව’ යන නව සංකල්පයද රටෙහි ප්‍රචලිත වෙමින් පැවතින. 1956 වසරේ රාජ්‍ය භාෂා පෙරළියෙන් පසු, උසස් අධ්‍යාපනය ස්වභාෂා වලින් දිය යුතුය යන මතවාදයද රටෙහි ගොඩ නැගෙමින් පැවතුණි. මේ සමගම පාසල්වල හය වන ශ්‍රේණියේ සිට ඉහලට සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම සමෝධානික විද්‍යාව (integrated science)  ඉගැන්වීමේ දීප ව්‍යාප්ත වැඩ සටහනක්ද ආරම්භ විය.  මේ නිසා රජයේ පාසල්වල, විශේෂයෙන්ම මධ්‍ය විද්‍යාලවල සේවය සඳහා,  තදබල විද්‍යා ගුරු ඉල්ලුමක් තිබුණි. 


කොළඹ ප්‍රධාන විදුහල් හැරෙන විට, උසස් පෙළ විද්‍යා පන්ති පැවැත්වූයේ මධ්‍ය විද්‍යාල අතලොස්සක පමණකි. ඒ කාලයේ, පේරාදෙණියේ  ශ්‍රී  ලංකා විශ්ව විද්‍යාලයය පමණක් රටෙහි ස්ථාපිත කර තිබුණු බැවින්, විද්‍යා උපාධි පාඨමාලාව තිබුණේ, විශ්ව විද්‍යාලයයේ කොළඹ මණ්ඩපයේ පමණකි. මේ නිසා වසරකට පිටවන විද්‍යා සහ  ගණිත උපාධිධාරීන් සංඛ්‍යාව 50 කට වඩා වැඩි නොවීය. මෙයින්ද පාසැල් වල ඉගැන්වීම සඳහා යොමු වූයේ ඉතාමත් සීමිත සංඛ්‍යාවකි. එබැවින් වර් ෂයේ   මාර් තු, අප්‍රියෙල් මාස වල, උපාධි විභාග අවසන් වන විට, රටෙහි ප්‍රධාන විදුහල්වල සමහර විදුහල්පතිවරු, විශ්ව විද්‍යාලයට පැමිණ, උපාධි පාඨමාලා අවසන් කරන්නෝ  තම පාසැල්වල ගුරුවරු ලෙස බඳවා ගැනීමට  කැමති කරවා ගැනීම පිණිස මහත් වෙරක් දැරූහ.

විශ්ව විද්‍යාලයයේ අපට වඩා වසරක් පහලින් සිටි, ගාල්ලේ  ආනන්ද මගේ මිතුරෙක් විය. (ඔහු පසුව රජයේ ප්‍රධාන රස පරීක්ෂක තනතුර හෙබවීය.) ඔහුගේ  ඥාතියෙකු,  දකුණේ මධ්‍ය විද්‍යාලයක විදුහල්පති වරයා විය. අපට විභාග අවසන් වූ දිනයේම විශ්ව විද්‍යාලයට පැමිණ සිටි එම ඥාති විදුහල්පතිවරයාට, ඔහුගේ විදුහලේ ගුරු පත්වීමක් සඳහා,  ආනන්ද මා හඳුන්වා දුන්නේය. ගුරු පත්වීමක් සඳහා යාමට මා අදි මදි කළත්, ඔහු මාගේ ලිපිනය, උපන් දින වැනි තොරතුරු ලබා ගත්තේය.

 විභාගය  අවසන් වී ගෙදර ගොස් සතියකින් පමණ, මට එම යෝජිත විදුහලට ගුරු පත්වීමක් ලැබුණි. මගේ තවත් හිතවතෙකුටද එම විදුහලටම  පත්වීමක්  ලැබී ඇති බව පසුව දැනගතිමි. මම  දෙගිඩියාවෙන් සිට, වෙනත් රැකියාවක්‌ ලබාගන්නා තුරුවත් ගුරු පත්වීම සඳහා යාමට තීරණය කළෙමි.

නියමිත දිනට කලින් දිනයේ විදුහලට ගියෙමි. ඒ වන විටත් මගේ අනික් මිතුරා එහි ගොස් සිටියේය. විදුහලේ ශිෂ්‍ය නිවාසයේ ගුරු කාමරයක් අප දෙදෙනා වෙනුවෙන් වෙන්කර තිබුණි.

පසුදින උදයේ ශිෂ්‍ය නිවාසය භාර ගුරු මහතාද සමග, අපි විදුහල්පති  කාර් යාලයයට ගියෙමු. ඒ වන විටත් පැමිණ සිටි විදුහල්පතිතුමා, අප සාදරයෙන් පිළිගත්තේය. එදින උදය රැස්වීමේ දී අප දෙදෙනා  සිසුනට හඳුන්වා දුන් විදුහල්පති තුමා, උසස් පෙළ විද්‍යා පන්ති ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සම්පූර්ණ වී ඇති බව ප්‍රකාශ කළේය. මට ‘උගුලකට හසුවූවා’ වැනි හැඟීමක් ඇතිවිය.

විදුහල්පති තුමාම, අප විද්‍යාගාරය වෙත කැඳවාගෙන ගොස්, සිසු සිසුවියන් විසි දෙනෙකු පමණ සිටි අපොස උසස් පෙළ (විද්‍යා) පන්තියට අප දෙදෙනා නැවත හඳුන්වා දුන්නේය.

අප දෙදෙනා එදිනම ඉගැන්වීම ආරම්භ කළෙමු. උසස් පෙළ පන්ති සඳහා, සත්ත්ව විද්‍යාව සහ උද්භිද විද්‍යාව  කාල ඡේද  අට බැගින්ද, සාමාන්‍ය පෙළ පන්ති තුනක රසායන විද්‍යාව කාල ඡේද පහළොවක්ද මට පවරා තිබුණි.


ඉගැන්වීම එතරම් අපහසු නොවුවත් සිංහලෙන් ඉගැන්වීම සඳහා පාඨ ග්‍රන්ථ හිඟය සහ පාරිභාෂික වචන නොමැතිවීම මහත් ගැටළුවක් විය. බොහෝ වචන ශබ්ද කෝෂ වලද නොවීය.

විභාග සඳහා සූදානම් වන සිසුන් සිටින  පන්තිවල ඉගැන්වීම අපට මහත් අභියෝගයක් විය. ඉගැන්වීම සඳහා උපදෙසක් ලබාගැනීමට ගුරු උපදේශක වරුද එකළ නොවීය. ඉගැන්වීම සඳහා අවශ්‍ය සටහන් ඉංග්‍රීසියෙන් සකස් කර, කෙසේ හෝ  සිංහලට පරිවර් තනය කරගැනීමට සිදුවිය. බොහෝ දිනවල මධ්‍යම රාත්‍රිය වන තුරුද අප දෙදෙනා ඉගැන්වීම සදහා සූදානම් වූවෙමු. සිසුන් සියලු දෙනාම දක්ෂයින් වූ නිසා සිතට සතුටක්ද දැනිණ.

මේ අතර, ගැසට් පත්‍රයේ සහ පුවත් පත්වල පළකර තිබුණු පුරප්පාඩු  සහ වෙනත් රැකියා සඳහා අප නිතර අයදුම් පත් යැවීමු. සම්මුඛ පරීකෂණයකට යාම සඳහා නිවාඩු ඉල්ලූ  විටක විදුහල්පති තුමා මේ  බව දැනගත්තේය. ඔහු එයට අකමැති බවද ඉඟියෙන්  මෙන් දන්වා, එම රැකියා වල ඇති නොයෙකුත් අඩු ලුහුඬු කම් කියා අප පසු බෑමට ලක් කළේය.  ‘උගුලකට හසුවූවාක්’ මෙන්  මට මුලදී  ඇතිවූ හැඟීම මේ නිසා තවදුරටත්  තහවුරු විය.

මාස කිහිපයක් ගතවිය. අපගේ උපාධි ප්‍රතිඵල පිටවිය. අප දෙදෙනාම සමත් වී ඇත. භෞතික විද්‍යා විෂයයන් හැදෑරු මගේ මිතුරා දෙවන පෙළ සාමාර් ථයක් ලබා තිබුණි.

උසස් පෙළ පන්තියේ සිසුන් සංඛ්‍යාවද ටිකින් ටික වැඩි වන්නට විය. අප විදුහලට පැමිණ මාස පහකට  පමණ පසු, මාගේ කාමර සගයාට අලුතින් පිහිටුවන ලද කොළඹ ග්‍රහලෝකාගාරයේ දේශකයකු වශයෙන් පත්වීමක් ලැබුණි.  ඔහු විදුහලෙන් ගිය පසු, පන්තිවල වැඩ තරමක් අඩාළ විය. මටද  මහත් උදාසීන ගතියක් දැණින. ශිෂ්‍ය නිවාසයේම සිටි මගේ පන්තිවලම  සිටි දක්ෂ සිසුන් කිහිප දෙනාගේ පාඩම් වල ගැටළු සඳහා සවස් කාලයේදී උදව් කිරීමට අවස්ථාවක් ලැබීම පමණක් මට මහත් අස්වැසිල්ලක් විය.

උසස් පෙළ සත්ත්ව විද්‍යාව සඳහා, සත්ත්ව විච්ඡේදන රාශියක් කිරීම එකළ අවශ්‍යතාවයකි. විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයේදී, සත්ත්ව විච්ඡේදන ප්‍රායෝගික පරීක්ෂණයක්ද පවත්වනු ලැබීය. විෂයය නිර් දේශයේ තිබුණු ගැඩවිලා, කැරපොත්තා, මැඩියා, මෝරා  සහ මීයා යන සතුන්ගේ  පද්ධති කිහිපයක් විච්ඡේදනය කිරීම එකළ  අනිවාර් ය ප්‍රායෝගික අවශ්‍යතාවයක් විය. මා බොහෝ විට සවස් කාලයේ සිසුන් සමග විද්‍යාගාරයට ගොස් සත්ත්ව විච්ඡේදන කිරීම් හෝ විද්‍යාගාරය ක්‍රමාණුකූලව සකස් කිරීම් වැනි දේ කළෙමි.

එක්‌ දිනක සිසුවෙක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල මැඩියෙකු (ගෙම්බෙකු)  අල්ලාගෙන මට පෙන්වීය. එම මැඩියා ප්‍රමාණයෙන් විශාල නිසා, කංකාල පද්ධතිය ආදර් ශයක් (skeletal specimen) ලෙස සකස් කිරීමට යෝග්‍ය එකක් බව මට සිතාගත හැකිවිය. අපගේ විශ්ව විද්‍යාල ආචාර් ය වරයෙක් එක්තරා දේශනයකදී කංකාල දර් ශක සකස් කිරීම පිළිබඳව කරනලද විස්තරය මාගේ මතකයට නැගුණි. ඒ ශිෂ්‍යයා විසින් ගෙනෙන ලද මැඩියාගේ කංකාලය,      ආදර් ශයක් ලෙස සකස් කරමු යයි මම සිසුනට යෝජනා කළෙමි. ඔවුන් එයට එක හඬින් කැමති විය. අපි එදින සවසට විද්‍යාගාරයේදී එම ව්‍යාපෘතිය කිරීමට අවශ්‍ය සියලු දේ සූදානම් කළෙමු.

විද්‍යාව ඉගැන්වීම සඳහා සඳහා ආධුනිකයින් වූ අපහට බොහෝ ගුරුහරුකම් විස්තර කර තිබුණු  ‘UNESCO’ විද්‍යා ගුරු අත්පොත ප්‍රායෝගික වැඩ සඳහා ඉතාමත්  ප්‍රයෝජනවත් වූ මග පෙන්වන්නක් විය. මෙම පොතෙහි  මෙවැනි සත්ත්ව කංකාල සකස් කිරීම පිළිබඳවද පැහැදිලි උපදෙස් ලබාදී තිබිණ.

මෙම උපදෙස් අනුව,  ක්ලෝරෝෆෝම් කර නිර් වින්දනය කරණ ලද ගෙම්බා, විශාල බීකරයක  5% පොටෑසියම් හයිඩ්රොක්සයිඩ් ද්‍රාවණයක දමා,  අප විසින් පැය භාගයක් පමණ වේලාවක් බන්සන් දාහකයක ආධාරයෙන් තම්බන ලදී. සිසුන්ට මෙන්ම මටද, මෙය නවතම අත්දැකීමක් විය. ඔවුන්ටද මෙහි කිසිම අප්‍රිය භාවයක් නොවීය. පැය භාගයක් පමණ තම්බන විට, ගෙම්බාගේ මාංශ පේශි සහ අභ්‍යන්තර කොටස් දියවී ගොස් කංකාල කොටස් පමණක් ඉතිරිවී තිබිණ. පෙරණයකින් පෙරා, කංකාල කොටස් වෙන්කර, හොඳින් සෝදා ටික වේලාවක් වේලෙන්නට තබා ලෑලි කෑල්ලක සවි කළ සිහින් කම්බි ආකෘති අධාරකයක, කංකාලයේ කොටස්  සවි කිරීමට පටන් ගතිමු. ගෙම්බාගේ පාදවල අස්ථි පමණක් වෙන්වී තිබුණු නිසා, අපගේ  කාර් යය පහසු විය. පාදවල වෙන්වූ කොටස්ද පොතෙහි තිබුණු රූප සටහන් ආශ්‍රීතව කෘතීම ලාටු වර් ගයකින් ඇලවීමට සිසුවෝ යුහුසුලු වුහ.

විද්‍යාගාරය පිහිටා තිබුණේ විදුහලට අවතීර් ණ වන පාර අසලමය. අපගේ ප්‍රායෝගික කටයුත්ත කරගෙන යමින් සිටින විට, ඒ පාරේ විදුහලේ කාර් යාලය දෙසට යමින් තිබුණු මෝටර් රථයක්‌ විද්‍යාගාරය ඉදිරිපිට නතර කර, එහි සිටි  කෙනෙකු අප සිටි දෙසට පැමිණියේය. සිසුනට තම කාර් යයේ නිරත වීමට ඉඩ හැර, මම ඉදිරියට ගොස් ආ පුද්ගලයා ගැන විපරම් කළෙමි. ඔහු මෝටර් රථයේ රියැදුරා  බව පැවසුවේය. ඔහු ආපසු වාහනයට ගොස් ටික වේලාවකට පසු, ඒ මෝටර් රථයේ පැමිණි අමුත්තාද  විද්‍යාගාරය දෙසට පැමිණෙනු දුටිමි. අප කළ ප්‍රායෝගික වැඩය දිගටම කරගෙන ගියෙමු. ජාතික ඇඳුම සහ කර වැසූ කබායක් හැඳ, ඇස් කන්නාඩි යුගලක්ද පැළඳ    සිටි ඔහු ප්‍රතාපවත් පෙනුමක් ඇති කෙනෙකු විය. ඔහු පළාතේ මන්ත්‍රී තුමාදැයි සිසුහු සැක කළහ. මම ඔහු නොහැඳින්නෙමි. විද්‍යාගාරය තුළට පැමිණි ඔහු,

“මොකද මේ ළමයි අවේලාවේ ‘ලැබ්’ එකේ කරන්නේ” කියා තරමක් උස්  හඬින් ඇසීය.    

ඉදිරියට ගිය මා “මම මෙහෙ ගුරුවරයෙක්. ළමයිත් එක්ක ප්‍රැක්ටිකල් එකක් කරනවා” යයි කීවෙමි.

“ආෆ්ටර් ස්කූල්, මේ කරන  ප්‍රැක්ටිකල් වැඩ  මොනවාද?” 


කියා තරමක් තර් ජනයක  ලීලාවෙන් ඇසූ අමුත්තා මේසය වෙත පැමිණ සිසුන් කරන කාර් යය දෙසස තුෂ්නිම්භුතව බලා සිට, සිසුන් විසින් භාවිත කරමින් තිබුණු  ‘UNESCO’ අත්පොතද පෙරලා බැලීය.

පොතෙහි අප විසින් පෙරළාගෙන  තිබුණු  ‘Mounting of animal skeletons ........’ යන පිටුව ඔහු ටික දුරක් කියවන විට, මෙම අමුත්තා කිසිසේත් මන්ත්‍රී වරයා නොවිය හැකි බවත් විද්‍යා අධ්‍යාපනය ගැන අවබෝධයක් තිබෙන කෙනෙකු බව  අපට ඒත්තු ගැන්විණ. 


ඔහු පොතෙහි පෙරවදන ලියා තිබුණු පිටුව පෙරළා, එය අවසානයේ ඇති   නමට ඇඟිල්ල තබා පෙන්වා, 

“මෙයා හඳුනනවාදැයි මගෙන් ඇසීය”.

ඒ නම ජිනපාල අලස්, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් ලෙස සඳහන්  විය.

“‘මම දන්නේ නැහැ” මම  අවංකවම කීවෙමි.

“කමක් නැහැ. දැන් ඒ පුද්ගලයා ඔබ ළඟමයි ඉන්නේ”  “ඒ මම,...මමත් ඉස්සර කෙමිස්ට්‍රි ටීචර්  කෙනෙක්”. කී අමුත්තා,


“මොකක්ද ළමයි එක්ක කරන වැඩේ ?” යයි මගෙන් ඇසීය.


මම සියල්ල මුල සිට ඔහුට විස්තර කළෙමි. ලමයින්ගෙන්ද ප්‍රශ්න කිහිපයක්ම ඇසු ඔහු,


“අපූරු වැඩක්නේ. විද්‍යා අධ්‍යාපන නිලධාරි වරයෙකු ලෙස අවුරුදු දහයක් විතර සේවය කර ඇති මම මෙතෙක් කලකට ඉස්කෝලෙක ගුරුවරයෙක් මෙහෙම වැඩක් කරනවා දැක්කාමයි.”


කී අධ්‍යක්ෂ ජනරාල් වරයා, ස්ටුල් එකක් ඇදගෙන සිසුන් සමග හිඳ  ගත්තේය. සිසුන් නැගිටින්නට සැරසෙන විට ඔහු එය වැලක්වීය. ටික වේලාවක් මා හා සිසුන් සමග සුහදව කතාකළ අධ්‍යක්ෂක ජනරාල් තුමා, වාහනයේ සිටි රියදුරුට කතාකර හෙමිහිට යමක්‌ කීවේය. ආපසු ගිය රියැදුරු ලිපි ගොනුවක් රැගෙන පැමිණියේය. එහි පිටු පෙරලූ  ඔහු,  මැද පිටුවක් ප්‍රවේශමෙන් නවා, සීරුවෙන් කඩා, ගොනුවෙන් වෙන්කර  මා අත තැබීය.

මට මෙය මහත් ගැටළුවක් විය. මා දෙස ටික වෙලාවක් බලාසිටි ඔහු.

“ඔය අලුත්ම ගැසට් එකේ පිටුවක්. ඔය තනතුර සඳහා ඉල්ලුම් පත්‍රයක් යවන්න” යයි කීවේය.

“සර්, මම වෙන ජොබ් එකකට යන්නට බලාපොරොත්තු ........”                                         


මට වාක්‍යය සම්පූර්ණ කිරීමට ඉඩක් නොතබා,

“අපට ඕනෑ දැනුම ලබාදෙන ගුරුවරු. අඩු වයසෙන් ඔබට ඔය තනතුර ලැබුණොත් අධ්‍යාපනයේ ඉහලටම යන්නට පුළුවන්” කියා මා අස්වැසීය.

මම ඔහුට ස්තුති කළෙමි.

ගැසට් නිවේදනයේ වූයේ රජයේ ජේෂ්ඨ විදුහල් වල ගුරුවරු සඳහා ප්‍රදානය කරනු ලබන, දෙවන ශ්‍රේණියේ සීමිත විශේෂ තනතුරු (විද්‍යා) (Grade ii Special Posts)  සඳහා තෝරා ගැනීම පිලිබඳ දැන්වීමයි.

අපට ස්තුති කළ අමුත්තා නික්ම ගියේය.

අපි  කරමින් සිටි වැදගත් කාර් යය මැනැවින් සම්පූර් ණ කළෙමු.

හදිසියේ හමුවූ අමුත්තා පිළිබඳව, පසුවදා ගුරු මණ්ඩලයේ අනිකුත් අය සමග කී විට, ඔවුන්  කවුරුත් පුදුම වූහ.

දෙවන ශ්‍රේණියේ විශේෂ තනතුරු පිලිබඳව අනිත් ගුරුවරු විවිධ මත පළ කළහ. ඒ බොහෝ අදහස් සෘණාත්මක ඒවා විය.

එක් ජේෂ්ඨ ගුරුවරයෙක් පමණක්,

 “දෙවන ශ්‍රේණියේ විශේෂ තනතුරු වල මූලික වැටුප දැන් ඔබ ලබන වැටුප වගේ දෙගුණයක් විතර වෙනවා. මම හිතන්නේ ලැබුණොත් ලොකු වාසියක්. අවුරුදු විස්සක් උපාධි ගුරුවරයෙකු ලෙස සේවය කරලත්, මම තවම ඒ වැටුප් තලයේ අසලට වත්  ඇවිත් නැහැ.” 

කී විට මට තරමක සහනයක් දැනුණි.

සති දෙකක් පමණ අවිනිශ්චිත භාවයකින් සිටි මම, අයදුම් පත් භාරගන්නා අවසාන දිනයේදී , මාගේ අයදුම් පත ලියා පදිංචි තැපෑලෙන් තැපැල් කළෙමි.

ඊට සති දෙකකට පසු, අධ්‍යාපන අමාත්‍යංශයේ සම්මුඛ පරීක්ෂණයක් සඳහා මට කැඳවීමක් ලැබිණ. නවක ගුරුවරයෙකු වූ මට සම්මුඛ පරීක්ෂණයේදී කීමට අධ්‍යාපනය ගැන වැඩි යමක් තිබුණේ නැත. මා විදුහල් ශිෂ්‍ය නිවාසයේම නතරවී සිටින නිසා,  නේවාසික ශිෂ්‍යත්වධාරී දක්ෂ සිසුන්ට සවස් කාලයේදී පාඩම් වලට උදව් කරන බවත්, අමතර ප්‍රායෝගික වැඩ සඳහා මග පෙන්වන බවත් ප්‍රකාශ කළ හැකි විය. මට කීමට තිබුණේ එපමණකි. 


එදා විදුහලේදී හදිසියේ හමුවූ අමුත්තාත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටියේය. ඔහු මා දැක ඇති බවක්වත් ඇඟවූයේ නැත. ඔහු මගෙන් කිසිවක් ප්‍රශ්න කළේද නැත.

තවත් සති  කිහිපයකට පසු විදුහල්පති මගින්, මට ලැබුණු ලිපියකින්, මා දෙවන ශ්‍රේණියේ විශේෂ (විද්‍යා) තනතුරක් සඳහා තෝරාගත් බව දන්වා, සේවය ස්ථිර කිරීමෙන් පසුව නව වැටුප් තලයේ පිහිටුවන බවත් සඳහන් කර තිබුණි. මා කෙසේ හෝ ‘උගුලට ’ හසු වූ බව තේරුම් ගැනීමට මෙම ලිපිය ප්‍රමාණවත් විය.

මාස කිහිපයකට පසු, මා ගුරු සේවයේ ස්ථිර කර, දෙවන ශ්‍රේණියේ  විශේෂ (විද්‍යා) තනතුරෙහි පිහිටවූ බවත්, එයට අදාළ නව වැටුප් තලයේ පිහිටවූ බවත්  දන්වා, අධ්‍යාපන අමාත්‍යාංශයෙන්  ලිපියක් ලැබිණ. ගුරු මණ්ඩලයේ සිටි ලාබාලම ගුරුවරයා වූ මගේ නම, විද්‍යාලයයේ වැටුප් ලේඛනයේ, අනු පිළිවෙලට  අංක 3 යටතේ  සටහන් කර ඇති බවද  පසුව දැන ගතිමි. මුලදී ‘උගුලකට හසුවූවා’ සේ සිතුවත්, අධ්‍යාපන ක්ෂේත්‍රය ආර් ථික වශයෙන් ඉස්තරම්ම එකක් නොවූවත් සමාජයීය වශයෙන්, පිළිගැනීමක් ඇති තෘප්තිමත් භාවයක් උදාකර ගතහැකි මාහැඟි අංශයක් බව කළකට පසු අව බෝධ කර ගතිමි.  මේ ආකාරයට අධ්‍යාපනය මාගේ ස්ථිර රැකියා ක්ෂේත්‍රය බවට පත් වූයේ, අවංකවම  සේවයට කැපවී කටයුතු කළ නිසා විය හැකිය. 

වසර  කිහිපයකට පසු මට  විද්‍යා අධ්‍යාපන නිලධාරි වරයෙකු ලෙස අධ්‍යාපන පරිපාලන සේවයට සම්බන්ධ වී කටයුතු කිරීමට අවස්ථාව ලැබිණ. මේ ආකාරයට අධ්‍යාපන ක්ෂේත්‍රය, ජීවිත කතරේ ක්ෂේම භූමියක්  කරගැනීමට හැකිවූ බව සාදරයෙන් සිහිපත් කරමි. විද්‍යා අධ්‍යාපන කටයුතු  සඳහා අප දිරි ගන්වා නිසි මගට යොමු කළ, ජිනපාල අලස් මැතිතුමා සදා අමරණිය, අද්විතීය  යුග පුරුෂයෙකි. මෙය එතුමාට උපහාරයක්ම වේවා !


19 comments:

  1. ඒ කාලේ හිටපු රජයේ සේවකයින්ගේ පුද්ගලික වාසියට නොව වෘත්තියට කැපවීම විදහා දක්වන ලිපියක්. අධ්‍යාපන ක්ශේත්‍රයට නොආවනම් මොන ක්ශෙත්‍රයට යන්නද ඔබ බලාපොරොත්තු වුනේ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්,
      ඇත්තටම වෘත්තියට කැපවීමේ ආදර් ශය අපට ඒ කාලේ සිටි බොහෝ ජේෂ්ඨ නිලධාරීන්ගෙන් නිරතුරුවම ලැබුණා. විශේෂයෙන්ම දේශපාලකයා ගැන වැඩි තැකීමක් නොකිරීම එසේ ලැබුණු හොඳම නිදර් ශණයක්.
      අධ්‍යාපන ක්ෂේත්‍රයේ නොසිටියානම් ඒ කාළයේ රටෙහි විශාල වශයෙන් ආරම්භ කළ විද්‍යාත්මක නැඹුරුවක් සහිත ආයතනයක සහකාර විද්‍යා පර් යේෂක නිලධාරියෙකු ලෙස යන්නට හැකියාව තිබුණා. කෙසේ වෙතත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලැබුණු තෘප්තිමත් භාවය නිසා එසේ නොයාම ගැන කිසිම කනස්සල්ලක් නැහැ.

      Delete
  2. අපූරු ලිපියක්. අනගි අත්දැකීමක්. 👌🙏

    ReplyDelete
    Replies
    1. ස්තුතියි DGM ,
      "තනතුරු පස්සේ හඹා යාම වෙනුවට තනතුරු තමන් කරා ඒම" අවංකම සේවය කිරීම නිසා සිදුවන්නක් බව මා හට ප්‍රත්‍යක්ෂ වූ එක් අවස්ථා වක් ලෙස මෙය දැක්විය හැකියි. දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව රාජ්‍ය සේවයේ කටයුතු කළ වසර 35 ක පමණ කාලය තුළ දී (1965 සිට) මා හට මෙවැනි අත්දැකීම් කිහිපයක්ම තිබෙනවා.

      Delete
  3. ඔබේ අධ්‍යාපනයට සම්බන්ධ ලිපි මාද අතීතයට ගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Lit seeker,
      ඔබත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරතව සිටි කෙනෙක් බව ඉඟියෙන් මෙන් තේරෙනවා. එසේනම් අප එක කාළයේ වැඩ කළ අය විය හැකියි. වැඩිමනත් තොරතුරු දැනගැනීමටත් කැමතියි. සමහරවිට අප දැක පුරුදු අය වුවද විය හැකියි. ඔබට ජයම !

      Delete
  4. අහම්බෙන් සිදුවන සිද්ධි, අහඹු මුණගැසීම් සමහර විට ජීවීතයේ ලොකු වෙනස් කම් කරනවා... මමත් පෞද්ගලිකව මට සිදුවනු එහෙම සිදුවීමක් ගැන අකුරු කරනවා.

    ඔබතුමාගේ මතක් ශක්තියත් ඉතා ඉහල බවක් හැගෙනවා..සමහර විට දිනපොතක් පාවිච්චි කරනවාදෝ කියා මට සිතෙනවා.

    එකල ගුරු වෘතියේ සිටි ගුරුවරුන්ට වඩා මෙකල ගුරුවරුන් පොදුවේ ටිකක් වෙනස් කියා මට හිතෙනවා. මෙකල ඇතැම් ගුරුවරුන්, විශේෂයෙන් ප්‍රධාන පාසල් වල උගන්වන ගුරුවරුන් තමන්ගේ ගුරුවෘතියය පාවිච්චි කරන්නෙ තමන්ගේ පෞද්ගලික ටියුශන් සදහා ආභරඹණයක් ලෙස . එහෙම නොවන ගුරුවරු කොටසකුත් තවමත් සිටිනවා. නමුත් වැඩි හරියක් ඒ වගේඑ තමයි. මේකට දොසක් කියලත් බෑ....මන්ද අද කාලයේ හැමෝම මෙන් ගුරුවරුන්ද ජීවන අරගලයක සිටිනවා. නමුත් ප්‍රශ්ණය තියෙන්නෙ මෙම වාණිජකරණය නිසි ආකාරයට සිදුනොවීම කියා මට හිතෙනවා...

    - Mayya

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Mayya,
      මේ අහඹු සිදුවීම නම් මා කිසිසේත් බලාපෙරොත්තු නොවූ සිද්ධියක්. එය කොයි තරම් බලගතුද කියතොත් මාගේ ජීවිතයේ සම්පූර් ණ ගමන් මගම වෙනස් කිරීමට බලපෑ හැරවුම් ලක්ෂ්‍යයක් වූවා.
      මා සේවයේ නිරත වී සිටි කාලයේ විදුහලක සේවය කළ සෑම ගුරුවරයෙකුම නියමිත ඉගැන්වීම් කටයුතු වලට අමතරව කුමක් හෝ විෂයය බාහිර ක්‍රියාකාරකමක නිරත වුවා. මේ නිසා බොහෝ විදුහල් , පාසැල් කාලයෙන් පසුව සවස් කාලයේත් සක්‍රීය තත්ත්වයක පැවතුණා. බොහෝ විට විදුහල්පති වරුත් සවස් කාළයේත් කාර් යාලයේ සිටියා.
      ඔබ සඳහන් කරණ "පෞද්ගලික ටියුශන්" පිළිලය ආරම්භ වුයේ, 1985 කාළයෙන් පසුව බවයි මගේ මතකය. ඊට පෙර ඉතාමත් දුර් වල දරුවෙකු වුවද පෞද්ගලික ඉගැන්වීම සඳහා යොමුකළේ රහසිගතව. අවාසනාවකට වාගේ පසු කාලයේදී tution වසංගතයක් මෙන් පැතිරී ගියා. මේ නිසා අධ්‍යාපනයේ ගුණාත්මක භාවය විනාශ වුවා.

      Delete
  5. අපූරු ඉතිහාස අද්දැකීමක් අදත්. කවියක් ලියන්න වෙලාවක් අඩුයි අද.
    ජයවේවා ඔබ තුමාට

    ReplyDelete
    Replies
    1. ස්තුතිය් දුමි,
      කවි නොමැතිව කුමක්දෝ පාළුවක් වැනි අඩුවක් දැනෙනවා. කවියක් ලිව්වොත් මිස මාත් කවියක් ලියන්නේ නැහැ. කාල වෙලාව අඩුවෙලා තිබෙන්නේ මොනවා හරි අලුත් ව්‍යාපාරයක්වත් පටන් ගෙනද?
      ඔබට සැප හා ජයම !

      Delete
  6. //ඉගැන්වීම එතරම් අපහසු නොවුවත් සිංහලෙන් ඉගැන්වීම සඳහා පාඨ ග්‍රන්ථ හිඟය සහ පාරිභාෂික වචන නොමැතිවීම මහත් ගැටළුවක් විය// මම කාලයකට කලින් භෞතික විද්‍යාව ලිපි පෙලෙඅක් ලියන්න පටන් ගත්තත් නැවැත්තුවේ මේ ප්‍රශ්නය නිසා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත්,
      ඒ කාලයේ 'පාරි භාෂික වචන නිර් මාණය' නමැති අලුත් අදහසක් රාජ්‍ය භාෂා දෙපාර්ත මේන්තුව මගින් ආරම්භ කළා. උසස් පෙළ විද්‍යා විෂයයන් සිංහලෙන් ඉගැන්වූ ගුරුවරු වූ අප බොහෝ දෙනෙකු රජය මගින් පැවැත්වූ වැඩමුළු වලට සහභාගිවී පාරි භාෂික වචන සකස් කළා. ඒ කාලයේ මා සකස් කළ වචන රාශියක්ම අදද භාවිතයේ පවතිනවා.
      අජිත් තවමත් ප්‍රමාද නැහැ. භෞතික විද්‍යාව ලිපි ලිවිම ආරම්භ කරන්න. දැන්නම් භෞතික විද්‍යාව සඳහා පාරි භාෂික වචන තිබෙනවා. බොහෝ වචන ශබ්ද කෝෂ වලටත් ඇතුළත් කරළා.

      Delete
  7. විදුහල්පතිතුමා අලස් මහතාට දැනුම් දීලා මේ "අහඹු " හමුවීම සෙට් කළා කියලත් මට හිතුනා. ඒ කොහොම වෙතත් අන්තිම ප්‍රතිපලය හොඳයිනේ

    ReplyDelete
    Replies
    1. /විදුහල්පතිතුමා අලස් මහතාට දැනුම් දීලා/ මටත් වරක් එහෙම හිතුණා.

      ඒ උනත් එහෙම හෝඩුවාවක්වත් දැනගන්නට ලැබුණේ නැහැ. "සැමටම විද්‍යාව" යන සංකල්පය ක්‍රියාත්මක කළ කාලයේ සිටි නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ජිනපාල අලස් මහතා, නව අධ්‍යාපන සංකල්පය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා පුරුද්දක් වශයෙන් දිවයිනේ තිබුණු සෑම උසස් පෙළ විද්‍යා පන්ති සහිට විදුහලකටම යාම පුරුද්දක් වශයෙන් කළ බව පසුව දැන ගත්තා. මා හිතන්නේ එසේ ආ ගමනකදී තමයි අපට හමු වූයේ. ඔබ පවසන ආකාරයටම එම හමුවීමේ ප්‍රතිඵලය ඵලදායි වූවායයි තීරණය කළ හැකියි.

      Delete
  8. Replies
    1. ස්තුතියි Pra Jay,
      ඔබට සහ පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවායි පතමි.

      Delete
  9. අපූරු අත්දැකීම් සමුච්චයක්. ඔබ අප හමු වුණෙත් විද්‍යා අධ්‍යාපනය නිසා නේ ....ඒ අතීතය හරිම සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. විද්‍යා අධ්‍යාපනයේ විෂයානුබද්ධ ක්‍රියාකාරකම් වලට අමතරව බාහිර විද්‍යා ව්‍යාපෘති සඳහා සිසුන් මෙහෙයවීමේ කටයුතු වල වෙන වෙනම යෙදී සිටි අපට, සැළකියයුතු මෙහෙවරක් කිරීමට හැකිවූවා. පසුව ශ්‍රී ලංකා විද්‍යා සහ ගණිත අධ්‍යාපන සංගමයේ ක්‍රියාකාරීන් ලෙසට සහ විද්‍යා ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථාන ආශ්‍රීතව කරනලද ගවේෂණ මට්ටමේ අධ්‍යයන වලටත් සිසුන් මෙහෙයවීමට අපට අවස්ථාවක් ලැබුණා . ඇත්තෙන්ම එසේ ගතකළ කාලය හරිම සුන්දරයි.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete