Saturday, 2 December 2023

පුහු ආඩම්බරයට ගැලපෙන පිළියමක් .........

 මෙය දශක පහකට පමණ පෙර අත්දැකීමට ලැබුණු  සිදුවීමකි.

එය රටෙහි ආරම්භ කළ මුල්ම මධ්‍ය විද්‍යාල වලින් එකකි. එදින එම වර් ෂයේ  විදුහල පටන් ගත් මුල්ම දිනය විය. විදුහල් කාර් යාලයට වැඩ අධික දිනයකි. අලුතින් මාරුවීම් ලැබ පැමිණි ගුරුවරු ගුරුවරියන් කිහිපදෙනෙකි. ඒ සමගම නව පත්වීම් ලබා පැමිණි කිහිප දෙනෙක්ද වූහ. නව පත්වීම් ලබා පැමිණි ගුරු මහත්මියන් තිදෙනාගෙන් එක් තැනැත්තියක් විද්‍යා පුහුණු ගුරු මහත්මියක් වූ අතර අනෙකුත් දෙදෙනා මෑතදී විශ්ව විද්‍යාලයෙන් පිටවූ කළා උපාධිධාරිණියන් වීය. ආචාර් ය මණ්ඩලයේ ගුරුමහත්මා මහත්මීන් 80 දෙනෙකු පමණ සිටි විදුහලේ  ඉගැන්වීමේ කාලසටහන සකස් කිරීමේ භාරදුර කාර් යය මා හට පැවරී තිබිණ. එමෙන්ම සමහර අවස්ථාවලදී මට  නිළ නොලත් නීයෝජ්‍ය විදුහල්පති ලෙසද  කටයුතු කිරීමට සිදුවිය. එදින උදයේම මට කතාකළ විදුහල්පතිතුමා, අලුතින් පැමිණෙන ගුරුවරුන්ට විදුහලේ වැඩ භාරගැනීමේ කටයුතු සදහා අවශ්‍ය උදව් කරණ ලෙසටත්, කාල සටහන සකස් කිරීමට අවශ්‍ය තොරතුරු ඔවුන්ගෙන් ලබාගන්නා ලෙසටත් පවරා එම වැඩ වලට සහාය වන ලෙස විදුහලේ කළා අංශය භාරව සිටි  රෝහණ ගුරු මහතාද හවුල් කරගන්නා ලෙසද උපදෙස් දුන්නේය. 

මෙය වැදගත් රාජකාරි කටයුත්තක් වූ බැවින් එය විදුහල්පති කාමරයේම සිට කළයුතු  කාර් යයක් විය. ඒ කාලයේ මධ්‍ය විද්‍යාල වල පවා දැනට මෙන් සුඛෝපභෝගී විදුහල්පති කාර් යාල නොවිය.  විදුහලේ ලිපිකරු, කාර් යාල සහායක වැනි සියලු දෙනාම විදුහල්පති කාර් යාලයටම කොටුවී සිටියහ. වැඩිපුර ඉඩකඩ නොතිබුණු විදුහල්පති  කාර් යාලයේ පැත්තක තිබුණු කුඩා මේසය මත ගුරු අත්සන් පොත, පන්ති නාමලේඛන, පාසැල් සීනුව වශයෙන් භාවිත කළ, එල්ලා තිබෙන පැරණි ලොරි ‘රිම්’ එකට ගසා නාද කිරීමට යොදා ගන්නා  ‘බෙල් පොල්ල’, ගම් බෝතලය, කාර් යාල සහායක මාටින් අයියාගේ බුලත් මඩිස්සලය වැනි කී නොකී ලට්ට ලොට්ට සියල්ලම තිබෙන්නේ ඒ මේසය උඩය. නාමලේඛන සහ අත්සන් පොත හොරෙන්ම ලිපිකරු මහතාගේ මේසය උඩ පැත්තකින් තබා, අපගේ රාජකාරිය සඳහා ඒ කුඩා මේසය මත  ඉඩකඩ සලසා ගතිමි. විදුහල්පති තුමා, අලුත් ගුරුවරුන් එක් එක්කෙනා සමග කථා කර, මාරු හෝ පත්වීම් ලිපි බලා අවශ්ය ලොග් සටහන් තබා,  ඔවුන් අප වෙත යොමු කළහ. 

අපවෙත එන අයගේ ලිපිලේඛන ගොනුවකට දැමීම, වෙනත් අවශ්‍ය තොරතුරු සටහන් කර ගැනීම, පන්ති භාරව සිටින අයට පැවරෙන වැඩ කටයුතු ආදිය පැහැදිලි කරදීම රෝහණ විසින් කරනලදී. කාල සටහන සකස් කිරීමට අවශ්‍ය තොරතුරු වන උපාධි විෂයයන් හෝ ගුරුපුහුණු ක්‍ෂේත්‍රය, ඉගැන්වීමට ප්‍රිය කරන විෂයය අනුපිළිවෙල, විෂයය බාහිර කටයුතු සඳහා කැමැත්ත  ආදී තොරතුරු මම ලබාගතිමි. ස්ථාන මාරු  ලබා පැමිණි අය, රාජකාරි කටයුතු ගැන දන්නා නිසා ඔවුන්ගේ තොරතුරු සපයා ගැනීම සහ ඉගැන්වීම සඳහා විෂයය බෙදාදීමත්,  පන්ති භාරව කටයුතු කිරීමට පැවරීමත් පහසු විය. කලින් වර් ෂය  අවසානයේදී කිහිප දෙනෙකු විශ්‍රාමගැනීම සහ ස්ථාන මාරු ලබා සිටි නිසාත් පළපුරුදු ගුරුවරුන්ට ඉගැන්වීමේ කටයුතු පැවරීම පහසු විය. මේ ආකාරයට එදින අලුතින් පැමිණ සිටි අයගේ මූලික තොරතුරු ලබාගැනීමට පැය එකහමාරක් පමණ ගතවිය.

නවක විද්‍යා පුහුණු ගුරු මහත්මියගේ සහ උපාධිධාරිණියන් දෙදෙනාගෙන් මූලික තොරතුරු ලබාගැනීමෙන් පසු ඔවුන්ට පන්ති සහ විෂයය බෙදා දීමේදී  ධනාත්මක ප්‍රතිචාර නොලැබිණ. ඒ තිදෙනාම අවිවාහක ගුරු මෙනෙවියන් වූහ. ඔවුන්ගෙන් ගෙන් පළමු ගුරු මෙනෙවිය උසස් පෙළ ආර් ථික විද්‍යාව පමණක් ඉගැන්විය හැකි බව තරයේම කියා සිටියාය. සිංහල සහ ඉතිහාසයද ඇයගේ  උපාධි විෂයය විය. කෙසේ වෙතත් ඇයට සාමාන්‍ය පෙළ බුද්ධාගම, සිංහල, සාහිත්‍යය වැනි විෂයයක්ද ඉගැන්වීමට සිදුවන බව දැන්වූ විට එය ප්‍රතික්ෂේප කළාය. මේ නිසා ප්‍රශ්නය විසඳීම විදුහල්පතිට භාරකළ අපි අනිත් දෙදෙනාගේ තොරතුරු ලබාගෙන ඔවුන්ගේ කාල සටහන් සැලසුම් කළෙමු.

විදුහල්පතිතුමා ඇය සමග අප සිටි තැනට පැමිණ ‘මේ අලුත් මිස් වෙනුවෙන් වෙනසක් කරන්න බැරිද?’ කියා මගෙන් ඇසීය. 

 කළහැකි වෙනත් දෙයක් නොමැති නිසා  

‘උසස් පෙළ ආර්ථික විද්‍යාව සියලුම පන්තිවල තිබෙන්නේ කාල ඡේද දහසයක් විතරයි’  මම කීමි. 

‘මට ඉන්ග්ලිෂ් විතරක් දෙන්න’ ඇයගේ ඊ ළඟ ඉල්ලීම විය.

‘එහෙම කරන්න බැහැ. ඔය මිස්ගේ උපාධි සහතික අනුව උගන්නන්නට වෙනවා.’ විදුහල්පති කීය. 

‘ඒ උනාට මට ඉන්ග්ලිෂ් හොඳට පුළුවන්. මම A ලෙවල් වෙනකම් කළේ ඉන්ග්ලිෂ් මීඩියම් එකෙන්’  ඇය නැවතත් කීවාය.

‘ඒ උනාට උපාධිය කර තිබෙන්නේ සිංහල මීඩියම් එකෙන් නේද?’ කියා කියන්නට සිතුනත් මම නිශ්ශබ්ද වීමි.  

‘තාවකාලික පිළියමක් වශයෙන්, ලබන මාසේ විශ්‍රාම යන පොන්සේකා ගේ ඉන්ග්ලිෂ් කාල සටහන මේ මිස්ට දෙන්න පුලුවන්ද?’ විදුහල්පති මගෙන් ඇසීය.

කාල සටහන් සාරාංශය (synopsis) පෙරලා බැලූ මට පොන්සේකා මහතාගේ සාමාන්‍ය පෙළ පන්ති පහක ඉංග්‍රීසි කාල ඡේද විස්සක් ඇති බව දැකගන්නට ලැබිණ.

‘එහෙනම් කාල  ඡේද විස්සම දෙන්න වෙනවා’. එතකොට උසස් පෙළ ආර් ථික විද්‍යාව දහසයයි. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විස්සයි. සියල්ලම තිස් හයයි’    මම කීමි. 

‘හා, එහෙම හොඳයි’ විදුහල්පති එකඟ විය. 

එහෙත් නවක ගුරු මහත්මියගේ මුහුණ ඇඹුල් විය. එම වෙනසටද ඇය එකඟ නොවන හැටියක් පෙනේ. විදුහල්පති තුමා පණිවුඩයක් යවා පොන්සේකා මහතා කැඳවීය.

‘පොන්සේකා,  මේ අලුත් මිස්ට ඉංග්‍රීසි පන්ති කිහිපයක්‌ ඉල්ලනවා. ඔයාගෙන් කාල  ඡේද විස්සක් ගන්නවා . කැමතිද?’ කියා ඇසීය.

විදුහලේ කවුරුත් විහිලුවට ඔහු හැඳින්වුයේ ඩබ්ලිව්. ඩබ්ලිව්. පොන්සේකා යන නමින්ය. ඔහුගේ නමට ඉදිරියෙන් W. W කොටසක් නැතත් කවුරුත් ඔහු හැඳින්වුයේ වැඩි වැඩ (W.W) පොන්සේකා කියාය. ඔහු ඉගැන්වීම සැලකුවේ තමන්ට අයිති වැඩවලින් පස්වෙනි හෝ හයවන අංකය ලෙසටය. පළමුවෙනි දෙවැනි සියල්ල වැඩක් නැති වැඩි වැඩම  විය. 

‘කමක් නැහැ සර්, ඔක්කොම ගත්තත් කමක් නැහැ. මම අලුත් මිස්ට උදව් කරන්නම්’ කීවේය.

කෙසේ වෙතත් කාලඡේද තිස් හයක්‌ ලැබුණු අලුත් මිස් අප දෙස රවා බලා, ගස්සමින්, යමක්‌ මුමුණමින් පිටව ගියාය. 

ඇය සමගම විදුහලට පැමිණි අනිකුත් ගුරු මෙනෙවියන් දෙදෙනාට උසස් පෙළ පමණක් විෂයය තිස් දෙක බැගින් ලබාදීමට හැකිවිය.

තමන්ට පමණක් කාල ඡේද තිස් හයක්‌ දීම ගැන කිහිප වරක්ම විදුහල්පතිට විරෝධය පා ඇති ඇය, අප දෙදෙනා සමගත් තරහකින් සිටියාය. ඈතින් ඇයගේ ඥාති වරියක් වන ගුරු මණ්ඩලයේ වෙනත් මහත්මියක් සමග අපට තදින්ම දොස් කියා ඇති බවද දැනගන්නට ලැබිණ. දැන් ඇය අපගේ මුහුණ බලන්නේවත් නැත.

විශ්ව විද්‍යාලයේදීද කිසි කෙනෙකු සමග වැඩි ආශ්‍රයක් නොමැතිව සිට ඇති ඇය, වැඩිපුර සිංහල නොදන්නා හොඳින් ඉංග්‍රීසි කතාකරන කෙනෙකු බවට පෙන්වන පුහු උඩඟු කමකින් යුක්ත තැනැත්තියක බව පසුව දැනගන්නට ලැබිණ. ඒ ඉංග්‍රීසියට ‘කඩුව’ යන අන්වර් ථ   නාමය පටබැඳුන අලුතමය. ඇය එතරම් ප්‍රසන්න පෙනුමක් නොමැති අතර තරමක් කාල වර් ණ ශරීර පැහයකින්ද යුක්ත තැනැත්තියක් වූවාය. ඇයගේ ඉංග්‍රීසියට ආවැඩිම නිසා පළමුව ඇය විශ්ව විද්යලයයෙදීත් ‘කඩුව’ ලෙස හඳුන්වා දී තිබී  පසුව, අයගේ ශරීර පැහැයත්  එයට එකතු වී, විශ්ව විද්‍යාලයේදී ඇයට ‘බලු කඩුව’ නම් අන්වර් ථ නාමයක්ද පටබැඳී තිබෙන බව වටින් ගොඩින් ආරංචි වන්නට විය. මේ විහිලුවට ඇය තදින්ම කේන්ති ගන්නා බවද රහසක් ලෙස පැතිරී ගියේය. 

සති කිහිපයක් ගතවිය. ඇය කිසිම කෙනෙකු සමග ආශ්‍රයක් නොමැති බව කාගේත් නිරීක්ෂණය විය. විදුහලේ කාන්තා පක්ෂය සමග වුවද ඇයගේ වැඩි කුළුපග කමක් නොමැති බවද දකින්නට ලැබිණ. කෙසේ හෝ ඇයගේ මේ මුරණ්ඩු කම මෙල්ල කළ යුතු බව කාටත් වැටහිණ. 

එක්‌ දිනක උදය කාලයේ ගුරු විවේක කාමරයේ ඇය සහ තව දෙතුන් දෙනෙක් පමණක් සිටින විට කාමරයට පැමිණි රෝහණ ප්‍රවෘත්ති පත්‍රයක්ද රැගෙන අයට ඉදිරිපසින් වූ සැප පුටුවෙහි වාඩිවී කකුල් හොඳින් උස්සා දිගහැරගෙන සිටියේය. ‘වනචර මිනිස්සු’ කියමින් කේන්තියෙන් නැගිට ගත් ‘අලුත් මිස්’ කෙලින්ම විදුහල්පති කාර් යාලයට ගොස් හඬමින් විදුහල්පතිට යමක් පවසා, ඇයට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

ගුරු කාමරයේ සිටි තවත් කෙනෙකුට කකුල උස්සා තම සෙරෙප්පු අඩිය පෙන්වූ රෝහණ 

‘බලා ගනිමු. දැන් ලොකු ජංජාලයක් වෙයි’ කීවේය.

සෙරෙප්පු දෙකේ අඩි වල ලියා තිබුණු වචන කියවූ කාටත් සිනා නවත්වා ගත නොහැකිවිය. මොහොතකින් මාටින්  අයියා ගුරු කාමරයට පැමිණ රෝහණට කතා කර,

‘සර්  ට ප්‍රින්සිපල් සර් එන්න කියනවා’ යයි 

පණිවුඩයක් කීවේය. විදුහල්පති කාර් යාලයට ගිය ඔහුට වියරු  මුහුණක් ඇතිව සිටින ‘අලුත් මිස්’ දකින්නට ලැබිණ. 

‘ආ.... රෝහණ මොකක්ද ඔයාගේ සෙරෙප්පු කුට්ටම ගැන මේ මිස් මොනවද කියනවා?’

‘මගේ සෙරෙප්පු කුට්ටම අලුත් එකක් සර්.  ඒක ‘බාටා’. තව මොනවද දැනගන්නට ඕනෑ?’

‘නැහැ ඕයි, ඕකේ අඩිය’

‘හා... අඩියද? අඩිය රබර්, මම හිතන්නේ ‘ආර් පිකෝ’, මිස්ට ගැලපෙන ඒවත් සාප්පුවේ තිබුණා.’ ඔහු එක දිගටම කියාගෙන ගියේය.

විදුහල්පතිතුමා අමාරුවෙන් සිනහව මැඩ ගනිමින්, තරමක් සැරෙන් මෙන් 

‘ඔය සෙරෙප්පුවක් මට මෙහාට දෙනවා’ යයි කීය. 

‘ඇයි සර්,...... මගේ සෙරෙප්පුව අතට ගන්නවද? ’ 

කියමින් සෙරෙප්පුවක් ගලවා ඔහු තම අතට ගත්තේය.

‘මට ඕකේ අඩිය පෙන්වන්න.’ කී විදුහල්පති 

අහක බලා ගනිමින් සිනහව මැඩ ගත්තේය. රෝහණ උපහාසාත්මක  හිනාවක්‌ දමා, සෙරෙප්පු අඩිය විදුහල්පති තුමා පැත්තට හැරවීය.

‘ඔය මොකක්ද අඩියේ ලියලා තියෙන්නේ?’ 

විදුහල්පති, (මවාගත්) කේන්තියකින් ඇසීය. 

සෙරෙප්පුව තමන් වෙතට හරවා බැලු රෝහණ මහත් පුදුමයකින් මෙන්  

‘මෙහා.... මමත් දැනුයි දැක්කේ. “බලු කඩුව”........ අලුත් කඩු ජාතියක් වගෙයි. කවුද මේක විහිලුවකටද කොහෙද මගේ සෙරෙප්පු අඩියේ ලියලා’ කියන විටම අලුත් මිස් විදුහල්පති කාර් යාලයෙන්  පිටතට ගියාය.   

‘මෙන්න සර්, අනිත් සෙරෙප්පු අඩියේත් ඒකම ලියලා. මේක ගැන වහාම පරික්ෂණයක් පවත්වන්නට ඕනෑ’ යයි  කියමින් රෝහණ මහ හඬින් සිනාසෙන්නට විය. 

‘මේ......රෝහණ, ඔය විකාර නවත්තලා දානවා. මම ඒ මිස්ට ගුරු මණ්ඩලයත් එක්ක සිටින හැටි කියා දෙන්නම්’ 

විදුහල්පති අවධාරණයෙන් කීවේය. 

රෝහණ ගුරු කාමරයට නොගොස් කෙලින්ම කළා අංශය  පැත්තට ගියේය. 

තවත් සති කිහිපයක් ගතවිය. අලුත් මිස් ටිකින් ටික කා සමගත් කුළුපග වෙන්නට විය. ඇය ජීවත්වීමේ  අලුත්  පිටුවක් පෙරළා ඇති බව දකින්නට ලැබිණ. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන්වත් නොලත් පන්නරයක් සති කිහිපයකදී සමාජ ආශ්‍රයෙන් ලබාගත් බව පැහැදිලි විය.

පසු කලකදී ඇය ඉතාමත් මිත්‍රශීලී විෂයය බාහිර ක්‍රියාකාරකම් වලද නියැලුණු ගුරු මහත්මියක් වුවාය. සියල්ලන්ටම ක්‍රමක්‍රමයෙන්  ‘කඩුව’ සම්පූර් ණයෙන්ම අමතක විය.


26 comments:

  1. ඉතා හොද පරණ මතකයක්....ස්තූතියි කථාව බෙදා ගත්තට - Mayya

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Mayya,
      මෙහි කතා නායිකාව ගම්බද උපත ලබා, නගරයේ මූලික අධ්‍යාපනය ලබා, ගුරුවරියක් ලෙස නැවත ගම්බදට පැමිණි පසු අනවශ්‍ය මහන්තත්ත්වයක් මවා ගෙන සිටියත් පසුව අපූරුවට සමාජයට හැඩ ගැසුණා.

      Delete
  2. නම්‍යශීලී බුද්ධිමත් බවකුත් තිබිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇය ලැබූ අධ්‍යාපනයේ හරය වශයෙන් දැක්විය හැක්කේ ඔබ සඳහන් කරන 'නම්‍යශීලී බුද්ධිමත්' භාවයයි.

      Delete
  3. හ්ම්... වෙන කතාවකුත් මතක් උනා. ප්‍රසිද්ධියේ කියන්න බැරි.

    ReplyDelete
    Replies
    1. එහෙනං අප්‍රසිද්ධියේ කියහංකො.😏

      Delete
    2. වෙන කාටහරි උනා වගේ කියහංකො අර ඉවානය වගේ.

      Delete
    3. ස්තුතියි ඩ්‍රැකී,
      මටත් ලියාගෙන යනවිට හිතුණා සමහරු ප්‍රසිද්ධියේ කියන්න බැරි දේවල් ගැනත් සැකයක් ඇතිකර ගනියි කියා. ඒ කුතුහලය ඇතිවීම ගැන මට සතුටක් ඇති වූවා.

      Delete
    4. මට හිතෙන්නේ DGM බසු සහ Praසන්ன ත් ඩ්‍රැකී හිතපු ආකාරයටම හිතලා. ඉස්සර අපට හිටපු zoology ලෙක්චරර් කෙනෙක් නිතරම එයාගේ lectures වලදී දෙපැත්ත කැපෙන වචන කියනවා. විශේෂයෙන්ම කාන්තා පක්ෂය ඒවාට සිනහ වූවොත් ඔහු නිතර කියන කියමනක් තිබුණා මේ ආකාරයට - "Everything is vulgar to the vulgar minded" ඒ උනාට මෙතෙන්දී ඒක joke එකක් විදියට ගනිමු.

      Delete
    5. drackyge muththage kathawak da ?

      Delete
    6. මං කිව්වෙ අර පිරිමි අවයවයක් ඇඳලා, ටීච කෙනෙක් වාඩිවෙන පුටුවෙ බබල්ගම් කෑල්ලක් එක්ක තියපු කතාව... (දුවමින්)

      දයා මහත්තය දන්නවනෙ ඒක?

      Delete

    7. ඒ කතාව ගැන මටත් මත තිබෙනවා. මේ සිද්ධියෙදීත් කිහිප දෙනෙක්ම මුලින් හිතුවේ එහෙම දෙයක්. Teacher 'වනචර මිනිස්සු' කියාගෙනනේ විදුහල්පති කාර් යාලයට දුවගෙන ගියේ.

      Delete
  4. සමහර අයට දාන අන්වර්ථ නාම හැටියට මේක සැර අඩු එකක්. ඒත් සමේ පාට ඈඳා තිබීම ඇයට එය අපහසුවක් වීමට හේතු වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මෙය ලියද්දීත් මා කල්පනා කළා කෙනෙකුගේ ශරීර පැහැය විහිලුවට ලක් කිරීම එතරම් යහපත් ක්‍රියාවක් නොවන බව. ඒ උනත් 'Sinhala only' යන පාඨය කරපින්නාගෙන, "කඩුව" යන අන්වර් ථ නාමය ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් යොදා ගෙන හරඹයක් කළ කාලය යළි මතක් කර දීම යෝග්‍යයයි සිතුණු නිසා ලිව්වා. පසුව මට සොයා ගන්නට ලැබුණා මෙසේ හාස්‍යයට ලක් කිරීම 'Body shaming' ලෙසද හඳුන්වන බව. ඒ උනත් මෙහිදී බලාපොරොත්තු වූයේ නොමග ගිය කෙනෙකු හරි මගට ගැනීම නිසා එය සාධාරණීකරණය කළ හැකියි.

      Delete
  5. හැක්.. ඒක මරු වැඩේ. මිස් පස්සෙ හරි හරිගිය එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Praසන්ன,
      පුහු ආඩම්බරයකින් හිස උදුම්මා ගෙන සමාජයෙන් කොන් වීමට ඉතාමත් ආසන්නව සිටි කෙනෙකු මේ ආකාරයට සමාජයානුයෝගීකරණය කළ හැකි වීම ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි. මේ නිසා මේ ක්‍රියාව 'Body shaming' නමැති සමාජ විරෝධී ගණයට වැටෙන්නේ නැහැ.

      Delete
  6. Replies
    1. ස්තුතියි නවීන්,
      ඉක්මණටම නැවත හමුවෙමු. 😂

      Delete
  7. මේක නියමයි. රසවත් කතාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි DGM,
      ඉංග්‍රීසිය 'කඩුව' ලෙස හාස්‍යය මුසු කර හැඳින්වීම 1956 සමාජ පෙරළියෙන් පසු ආරම්භවූ එක්තරා සංස්කෘතික පැතිකඩක් ලෙස දැක්විය හැකිය. මේ නිසා එක්තරා වයස් සීමාවක අයට මහත් පසුබෑමකට ලක්වන්නට සිදුවිය. උසස්පෙළ පන්තිවල ඉංග්‍රීසි විෂයය ඉගෙනීමට පහසුකම් සලස්වා තිබියදීත් සමහර සිසුන් පන්ති මගහැර ගියේ 'ඉංග්‍රීසියෙන් වැඩක් නැත' යන ආකල්පයක් මවා ගත් නිසාය. මෙහි උච්චතම අවස්ථාවක් ලෙස දැක්විය හැකි සිද්ධියක් සිහියට නැගේ. එනම්: 1967 දී පමණ අපොස සා. පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේ උපදෙස් සිංහලෙන් දීමට සිදුවීම. එදා එපාවී 'කඩුව' වූ ඉංග්‍රීසිය නැවත අත්‍යවශ්‍ය වීම සරදමකි.

      Delete
  8. වැටෙන ගිරව් පැති අනුවම හැදෙන බවනම් දකිනෙමී
    කරන කියනා සෑම දේමත් වෙනස්වෙයි එය සිතුවෙමී
    රවන බුම්මන නමුත් පසුවට හොදට හිටියලු ගුරුතුමී
    පිරෙන රසයක කතා පෙරදින සොඳුරු බව නම් කියනෙමී...
    ජයවේවා !!!

    ReplyDelete
    Replies

    1. ස්තුතියි දුමී,
      කුමණ බසක් වුව හරිහැටි ඉගෙනීම
      වැදගත් වේය, වැරදිය එය ගැරැ හීම
      ඉංග්‍රීසියට 'කඩුවක්' ලෙස සැලකීම
      මුල විය හැකිය. බස් වහරෙහි පිරිහීම

      ඔබට ජයම

      Delete
  9. memoirs පොතක් කලොත් හොදයි නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි PraJay,
      ඔබගේ යෝජනාව මා ඉහලින්ම අගය කරනවා.
      මාගේ පැරණි අත්දැකීම් රාශියක් ගොනු කර මා පොත් තුනක් "ආ මග සටහන් " යන නමින් ගොඩගේ ප්‍රකාශන ලෙස මුද්‍රණය කරවූවා. COVID වසංගතයට පෙර පළමු පොත පිටපත් දහසක් මුද්‍රණය කර බෙදා හැර තිබුණා. පසුව COVID අවිනිශ්චිත කාලයේදීත් ඊට පසු සිදුවූ අතිශය උද්ධමනය නිසාත් මුද්‍රණය සීමාකර "ආ මග සටහන් 1 සහ 2" පිටපත් 300 බැගින් මුද්‍රණය කර තිබෙනවා. මට ලැබුනේත් පිටපත් ඉතාම සීමිත ප්‍රමාණයක්. විදේශයක සිට මුද්‍රණ කටයුතු කරවා ගැනීම අතිශය දුෂ්කර නිසා ඒ අදහස අත්හැර දැම්මා. අයිතියත් ප්‍රකාශකයින්ටම දුන්නා. එක පොතක් publish කර ගැනීමට ලියුම් කියුම්, e-mail පණිවුඩ, දුරකථන ඇමතුම් ආදිය සිය ගණනක් දෙන්නට වෙනවා. මේකයි අද තිබෙන අවාසනාවන්ත තත්ත්වය.

      Delete
  10. Replies

    1. ස්තුතියි අනුරුද්ධ.
      අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩකරන විට විවිධාකාර පුද්ගලයින් හමුවන නිසා මෙවැනි සිදුවීම් එමටයි. මේ වගේ තැනක පළකිරීමට නොහැකි සිද්ධිත් බොහෝ තිබෙනවා.

      Delete