Saturday 23 December 2023

තංගවේලු සර්

 

(මා ඉතාමත් කැමත්ත  දැක්වූ ගුරුවරයෙකි) 


 කාලයේ මා ඉගෙනීම කළේ ප්‍රදේශයේ තිබුණු උසස්ම විදුහල වන මතුගම මධ්‍ය විද්‍යාලයේය. ඒ 1953 වසරේදීය. පසු කාලයේදී, නිදහස් අධ්‍යාපනයේ පියාගේ නමින් එම විදුහල ආචාර් ය . සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය ලෙස නම් කරන ලදී. මේ විස්තර කරන සිද්ධිය සිදුවන කාලයේ මා සිටියේ  අටවන  ශ්‍රේණියේය. එවකට එම ශ්‍රේණිය නම් කරන ලද්දේ ෆෝම් 3’  (Form 3) ලෙසටය. හයවන ශ්‍රේණිය ෆෝම් 1’ (Form 1) විය. සාමාන්‍ය පෙළ සීනියර් ස්කූල් සර් ටිෆිකට්‘ (SSC) පන්තිය වූ අතර උසස් පෙළ හැඳින්වුයේ හයර් ස්කූල් සර් ටිෆිකට්සහ යු ඊ’ (HSC and UE) පන්තිය යන නමිනි.


අප ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. ලීවීම, කියවීම, කතාබහ ආදී සියල්ලම ඉංග්‍රීසියෙනි. අපට සිටි ගුරුවරුද ඉංග්‍රීසි ව්‍යක්තව දන්නා අය වුහ. මේ කිසිවෙකු  දැනට ජීවතුන් අතර නැත. අපගේ ගුරුවරු බොහෝ දෙනෙක් දමිළ ජාතිකයින් වූ අතර පන්තියේද දමිළ සිසුන් කිහිප දෙනෙක් සිටියහ. එම සිසුන් සියලු දෙනාම විදුහල කිට්ටුව තිබුණු සෙන්ට් ජෝජ් වත්තේ වැඩකළ දමිළ සේවකයින්ගේ දරුවන්ය. අප කිසි කෙනෙකු අතර ජාති භේදයක් හෝ පන්ති භේදයක් නොවීය.


අපට  ෆෝම් 3’ පන්තියේ ගණිතය ඉගැන්වූයේ තංගවේලු නම් දමිළ ගුරුවරයෙකි. ඔහුගේ ගම්  පළාත අපි නොදත්තෙමු. ඔහු ඉතාමත් දක්ෂ ගුරුවරයෙකු වූ අතර තරමක් කම්මැලි කෙනෙක් ලෙසද ප්‍රසිද්ධය. 


එකළ වීජ ගණිතය සඳහා අප භාවිත කළේ  H.S.Hall කතුවරයාගේ A School Algebra නමැති පිටු 600 කින් පමණ  යුක්ත සෑම ගණිත සංකල්ප පාඩමක් සමගම සිය ගණනක් අභ්‍යාස සහිත ගණිත පොතකි. මෙම අභ්‍යාස වල නිවැරදි පිළිතුරු පොතෙහි අවසානයේ වෙනම තිබුණි. පන්ත්යේ අභ්‍යාසයක් දුන් විට ඒවායේ පිළිතුරු පොතෙන් බැලීම අපට තහනම් විය. 


විනාඩි 40 ක පමණ ගණිත පාඩමෙන් විනාඩි 20 ක් පමණ ඉතාමත් හොඳින් උගන්වන ඔහු පන්තියට, පොතෙන් ගණන් 20 ක අභ්‍යාසයක් දී ඉතිරි කාලය මේසයට හිස තබාගෙන ගොරව ගොරවා නිදාගනියි. විනාඩි 15 කට පමණ පසු අවදි වන ඔහු පන්තියට මෙසේ ආමන්ත්‍රණය කරයි.


මේ කතාබහ සියල්ල ඉංග්‍රීසියෙන් වුවත් සිංහලෙන් ලිවීම යෝග්‍ය යයි සිතුවෙමි. එදින අපට ගණිත ගැටළු විසඳීම සඳහා පොතෙහි ඇති ගණනය කිරීම් විස්සක්  සහිත අභ්‍යාසයක් ලැබුණි.

මඳ නින්දකට වැටි සිටි තංගවේලු සර් අවදිවී,


ළමා …යි…….. දැන් වැඩ නවත්වන්.....න.....


“මම අද දීපු අභ්‍යාසයේ ගණන් වලට හරි උත්තර මම දැන් කියවනවා. ඒවා රතු පැන්සලෙන් හරි වැරදි ලකුණු කර ගන්න.


අප එම කාර් යය අවසන් කළ  පසු ඔහු තවත් අමතක නොවන  දෙයක් කරයි.


දැන් අභ්‍යාසයේ සියල්ලටම හරි උත්තර ලැබුණු අය අත් උස්සන්න.


අපේ පන්තියේ සිටි සියලු දෙනාම වාගේ පහේ ශිෂ්‍යත්ව ධාරීන්ය.  පන්තියේ බොහෝ අය හරි උත්තර ලබාගනිති. ඒ කාලයේ කිසිම ශිෂ්‍යයෙකු බොරු කීමට හෝ කිරීමට  යොමු වූයේ ද  නැත.


“දැන් සියල්ලම නිවැරදි ඒ සියලු දෙනාම අභ්‍යාසයට යටින් වම පැත්තට වෙන්නට රතු පැන්සලෙන් වෙරි ගුඩ්කියා ලියාගන්න”.


ඒ සමගම ඔහු එම වචන අකුරෙන් අකුර කියවයි . වී ඊ ආර් වයි  - වෙරිජී ඩබල් ඕ ඩී - ගුඩ්”. 


 “වී කැපිටල්, ජී කැපිටල්”. “දැන් එයට යටින් කෙටි ඉරක් අඳින්න” 


ඊළඟට උත්තර පහලොවක්  හරි අය ගුඩ්කියා ලියාගන්න. අමතක කරන්න එපා, ජී  කැපිටල්”.


අනිත් අය කී දෙනෙක් ඉන්නවාද?. ඒ අය කිසි දෙයක් ලියන්න එපා”.


ඊට පසු ඔහු තවත් හාස්‍ය ජනක දෙයක් කරයි.


දැන් කවුරුත් අභ්‍යාසයට යටින් මගේ අත්සන දමාගන්න” 


මෙසේ කියන ඔහු පුටුවේ වාඩිවී සිටිමින්ම දිගාවී කළු ලෑල්ලේ කොනක ලොකුවට ඔහුගේ අත්සන ලියයි. ලියන ගමන්ම ශබ්ද නගා කියවයි.


කැපිටල් සී ඩොට්, කැපිටල් ටී(C.T)   සීටී, .........  “සීතංගවේලු

ඊට යටින් අද දිනය දමාගන්න


පන්තියේ කව්රුත් රතු පැන්සලෙන් තංගවේලු සර් ගේ  අත්සන ඔහු කී ආකාරයට යොදා,   දිනය දමා ගනිති.


මෙම සත්‍ය සිද්ධිය අදට නම් නොගැලපෙන හාස්‍යයට ලක්වන දෙයක් වනු ඇත. එසේ වුවත් මා දකින ආකාරයට ඔහු ගණිත පාඩමේදී, ඉගැන්වීම, අභ්‍යාසයක් කරවීම, ලකුණු කිරීමඇගයීම යන අවශ්‍ය ඉගැන්වීමට අදාළ සියල්ලම අවසන් කර  තිබේ.


මේ වකවානුවේදී පන්තියක  සිසුන් විසිපහකට වඩා සිටියේ නැත. එසේම ගුරු ගෝල සම්බන්ධයද දැනට වඩා වැඩිය. සිසුන්ද පෞද්ගලික ඉගැන්වීම් ගැන දන්නේවත් නැත. උත්තර හරි වැරදි බැලීමේදී රතු පැන්සලයක් යොදා ගත්තේ ඒ කාලයේ බෝල් පොයින්ට්පෑන් නොතිබුණු නිසාය. ඒ කාලයේ අප භාවිත කළ වටිනාම පාට පැන්සල වුයේ එක පැත්තක් රතු පැහැයෙන්  සහ අනික් කොනෙහි නිල්  පැහැයෙන්ද  ලියවෙන අටපට්ටම් පැන්සල් විශේෂයකි.


ගණිතය  පිළිබඳව තංගවේලු සර් ගෙන් ඉගෙන ගැනීමට ලැබුණු  ගණිත කර්  ම සහ කෙටි ක්‍රම නිසා අපට ගණිතය ඉතාමත් ප්‍රිය ජනක විෂයයක්ම විය. ඊට වසර දෙකකට පසු   SSC විභාගයේදී   අප බොහෝ දෙනෙකුට ගණිත විෂයය සඳහා විශිෂ්ඨ සාමාර් ථ  ලබා ගැනීමට හැකි විය.


16 comments:

  1. ඔය කියන කාලේ එස් එස් සී SSC විභාග ප්‍රශ්ණ පත්‍ර මා දැක තිබෙනවා. එවා අප කල කාලයේ ඕලෙවල් විභාග ප්‍රශ්ණ පත්‍ර වලට වඩා ගොඩක් අමාරු සහ වැඩි ගැඹුරකින් යුක්තයි.

    තංගවේලු ගුරුතුමාගැන කියවන විට මගේ හිතේ ඇදෙන්නේ මට ගණං උගන්නපු ගුරුතුමා ගැන.

    කම්මැලි කම තියෙන හැම මනුස්සයම අදක්ෂ කෙනෙක් නෙවේ.. තංගවේලු ගුරුතුමා ඊට උදාහරනයක් .

    කතාවක් තියෙනවා...ඔබට වැඩක් හොදටම කාර්යක්ශම කර ගන්න ඕනේ නම් ටීම් එකේ ඉන්න කම්මැලිම එක්කෙනාට ඒක බාර දෙන්න කියලා...මොකද කම්මැලි එක්කෙනා ඒ වැඩය අඩුම වෙහෙසක් දරලා කරන විදිහා හොයා ගන්න නිසා😀😀

    ReplyDelete
    Replies
    1. මේක ලිව්ව මම, මයියා

      Delete
    2. කොමෙන්ටුව පටන් ගනිද්දීම ඔබ මයියා බව දැනගත්තා. මට මේ Mayya කියන නම කටට හුරුයි. මගේ යහළුවෙකුගේ පුතෙක් හිටියා කුඩා කාලයේ එයා මල්ලීට කිව්වේ මයියා කියලා. අදටත් ඒ මල්ලීව කවුරුත් දන්නේ Mayya කියලා. ඒ ඔබමද යන්නත් සැකයි.
      ඉතින් අපගේ තංගවේලු ගුරුතුමා ගැන ඔබගේ ප්‍රතිචාරය හරියට හරි. අවුරුදු 65 කට විතර ඉස්සර එතුමාගෙන් ඉගෙනගත් ගණිත short cuts අදටත් හොඳට මතකයි. අපට Pythagoras ප්‍රමේයය ඔප්පු කරන ආකාරම පහක් පමණ උගන්වා තිබෙනවා.

      Delete
    3. දයාරත්න මහත්මයා ..මම ඒ ඔබ අදුන්න මිත්‍රයාගේ මයියා වීමට ඉඩ කඩක් නෑ...මොකද මට සහෝදරයෙක් නැති නිසා...නමුත් මටත් පොඩි කාලේ කිව්වෙ මයියා කියා තමයි.... - Mayya

      Delete
  2. අපූරු මතකයක්. ගොඩක් දේවල් දියුණුවෙන් දියුණුවට යන ලෝකෙ මිනිස්සුන්ගෙ අවංක භාවය, වැඩට ඇති කැපවීම, ආදී ගුණ ධර්ම පරිහාණියට ගිය එක ගැන ලෝකෙ හැම රටකම වගේ පේන්න තියෙනවා.

    ReplyDelete
    Replies

    1. ස්තුතියි ඉයන්,
      හොඳ ගුරුවරයෙක් නිසා අපට ඒ කාලේ ගණිතය ඉතාමත් ප්‍රියතම විෂයය වූවා. ඒ කාලයේ අප සමග එක පන්තියේ සිටි සගයෙක් පසුව විශ්ව විද්‍යාලයයේ ගණිත ආචාර් ය වරක්ව සිට පසුව විදේශ ගතවී සිට වසර කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වූවා. සදා අනුස්මරණීය හොඳ ගුරුවරු.

      Delete
  3. Replies
    1. මගේ ලියවිල්ල කියවා සටහනක් තැබුවාට ස්තුතියි නමි ..

      Delete
  4. ඒ කාලේ කොපමණ අවිහිංසක විධිහටද වැඩ වුනේ. මම ඔය හෝල් ගේ පොතේ විජා ගණිතය කරලා තියනව වගේ මතකයි. අටේ පන්තියේදී නම් වෙන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත්,
      අපට ඒ කාලේ ඉස්තරම් ගුරුවරු සිටි නිසා ඇත්තටම ඉගෙනීම හරිම ආශ්වාද ජනක දෙයක් උනා. අධ්‍යාපන මාධ්‍යය ඉංග්‍රීසි වූ ඒ කාලයේ අපට සිටි දක්ෂ සිංහල ගුරුවරු නිසා සිංහල භාෂාව සහ සාහිත්‍යයද දැනට වඩා හොඳට ඉගෙන ගන්නට ලැබුණා. ද්වි භාෂා දැනුම අදටත් හරි ප්රයෝ ජනවත්. සෑම ගුරුවරයෙකුම නිතරම අප අමතර කියවීම් වලට යොමු කළා.

      Delete
  5. ආසාවෙන් කියෙව්වා. ඒ විදිහට ද්වි භාෂා අධ්‍යාපනය තිබුනා නම් හොදයි කියල හිතුනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනුරුද්ධ,
      අපට ඒ කාලයේ සිටි සෑම ගුරුවරයෙකුටම ද්විභාෂා දැනුමක් තිබුණා. SSC සිංහල භාෂාව ප්‍රශ්න පත්‍රයේ සිංහල පාඨයක් ඉංග්‍රීසියට පරිවර් තනය කිරීමට සහ ඉංග්‍රීසි පාඨයක් සිංහලට පරිවර්තනය කිරීමේත් ප්‍රශ්නයක් තිබුණා. අප කවුරුත් ඒ ප්‍රශ්නය ආසාවෙන් තෝරා ගත්තා.

      Delete
  6. හරි අපූරු මතක අද්දැකීම්.
    කවියක වෙලාව මදි.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. මම මෙතෙක් වේලා comments වලට ප්‍රතිචාර නොදක්වා සිටියේ සුපුරුදු පරිදි ඔබගෙන් ලැබෙන කවි කොමෙන්ටුවට කවියකින්ම පිළිතුරක් ලියන්නට බලාපොරොත්තුව සිටි නිසා. ඒ උනත් දුමී මෙවර නම් ඒ අදහස අතහැර දමන්නට සිදු වුවා. හෙට අනිද්දා ලබන 2024 නව වසර ඔබට ඉතාමත් ඵලදායි එමෙන්ම අභියෝග ජයගන්නා වසරක් ම වේවායි පතමි.
      ඔබට ජයම.!!!

      Delete