Thursday 14 November 2019

ජෙරේනියම් (Geranium) මල් හටගන්නා වසන්තය එළඹ ඇත…..


    ඕස්ට්‍රේලියාවේ සෞම්‍ය දේශගුණය පවතින ප්‍රදේශයන්හි මහා මාර්ග දෙපස, වනෝද්‍යාන, ගෙවතු, පොදු ස්ථාන වැනි සෑම තැනකම, මේ දිනවල (ඔක්තෝබර් මාසයේ සිට මැයි මාසයේ අග දක්වා), බහුලව දකින්නට ලැබෙන සපුෂ්ක ශාක වර්ගයකි ජෙරේනියම් (Geranium). විවිධ වර්ණ සහ හැඩහුරුවෙන් යුක්ත ජෙරේනියම් මල් පොකුරු වශයෙන් හටගනී. 

                   
                                     විවිධ වර්ණ සංකලන සහිත ජෙරේනියම් (Geranium) මල්


ජෙරේනියම් පුෂ්පයේ දල සැලැස්ම වෙනත් බොහෝ පුෂ්ප වල මෙන් කොටස් පහ බැගින් හෝ සහ එහි ගුණිතයක් ලෙස දකින්නට ලැබේ. Geranium dalvaticum නම් විශේෂයේ, මනිපත්‍ර (calyx) , මුකුටය

                                               
                                                          මලෙහි දල සැලස්ම


(corolla) සහ කලංක (stigma) කොටස් පහක් බැගින් තිබෙන අතර එහි මල් රේණු (stamens) දහයකි. ඩිම්බ කෝෂය (ovary) අන්ඩප (carpels)   පහකින් යුක්ත වන අතර එහි එක් අන්ඩපයක  එකක් බැගින් ඩිම්බ (ova) පහක් තිබේ. මලෙහි දල සැලැස්ම මෙසේ වුවද, විවිධ ජෙරේනියම් විශේෂ වල මුකුටයේ පෙති සංඛ්‍යාව විශාල වශයෙන් වෙනස් වේ. රෝස මලක මෙන් පෙති තිහකට හතළිහකට වඩා වැඩි ගණනක් සහිත පුෂ්ප දරන ජෙරේනියම් විශේෂද තිබේ. රෝස මලක හැඩය ගන්නා පුෂ්ප සෑදෙන ජෙරේනියම් විශේෂ සමහර රටවල ‘දුප්පතාගේ රෝස මල් ’ ලෙසද හඳුන්වනු ලබන බව අන්තර්ජාල සටහනක දකින්නට ලැබිණ. මෙසේ දක්වා ඇත්තේ රෝස මල මිල අධික බැවින් ‘පොහොසතාට’ පමණක් ආස්වාදයක් ලැබිය හැකි පුෂ්පයක් වැනි මතයක් ගොඩ නැගී ඇති නිසාවත්ද? සම ශීතොශ්ණ රටවල වර්ෂය තුලදී වෙනස්වන දේශගුණ සහ ඍතු රටා අනුව ඉතා හොඳින් හැඩ ගැසී ඇති ශාකයක් ලෙස ජෙරේනියම් හැඳින්විය හැකිය. 


  පෘථිවියේ භ්‍රමණය සමග ඍතු වෙනස්වීම සිදුවන්නේ කෙසේද ?


පෘථිවියේ භ්‍රමණය සහ පරිභ්‍රමණය නිසාත්, පෘථිවිය තම සිරස් අක්ෂයට අංශක 23.5 ක පමණ ආනතියකින් යුක්තව පිහිටීම නිසාත්, පෘථිවි තලය මත සුර්යාලෝකය ලැබෙන කාල සීමාවේ අඩු වැඩි වීමක් සිදුවීම ස්වාභාවික සංසිද්ධියකි. 

පෘථිවි ගෝලයේ, නිරක්ෂ රේඛාවේ සිට අක්ෂාංශ (latitude) 23 පමණ උතුරෙන් කටක නිවර්තන රේඛාව සහ අක්ෂාංශ 23 පමණ දකුණෙන් මකර නිවර්තන රේඛාවත් පිහිටන බව උපකල්පනය කෙරේ. පෘථිවිය අංශක 23.5 ක පමණ ආනතියකින් යුක්තව භ්‍රමණය වෙමින් සුර්යයා වටා පරිභ්‍රමණය වීමේදී පෘථිවි තලය සුර්යයාට සාපේක්ෂව පිහිටන ආකාරය අනුව, පෘථිවියේ ඍතු වෙනස්වීම් හටගනී. පෘථිවිය සුර්යයා වටා ගමන් කළත් පෘථිවිය මත සිටින කෙනෙකුට පෙනෙනුයේ සුර්යයා උතුරු අර්ධගෝලයේ එක්තරා සීමාවක් දක්වාත්, දකුණු අර්ධ ගෝලයේ එක්තරා සීමාවක් දක්වාත් චක්‍රාකාරව නොකඩවා ගමන් කරන ආකාරයකි. මෙම ගමනේ උතුරු අර්ධ ගෝලයේ සීමාව කටක නිවර්තනය (tropic of Cancer) වන අතර දකුණු අර්ධ ගෝලයේ සීමාව මකර නිවර්තනය (tropic of Capricorn) වේ. සුර්යයා කටක නිවර්තන සීමාව අසල සිටින විට උතුරු අර්ධ ගෝලයේ රටවලට ගිම්හාන ඍතුව (summer) එළඹෙන අතර, දකුණු අර්ධ ගෝලයේ රටවලට සිසිර ඍතුව (winter) එළඹේ. මෙය ප්‍රතිලෝම (vice-versa) වශයෙන් සිදුවන සංසිද්ධියකි. නිරක්ෂ රේඛාව අවට රටවලට මෙම සංසිද්ධිය දිස්වනුයේ අවම මට්ටමකට ය.

මේ නිසා නිවර්තන රේඛා වලින් ඔබ්බෙහි පිහිටි උතුරු සහ දකුණු සෞම්‍ය කලාපීය (temperate zone) රටවලට සිසිර ඍතුවේදී දීර්ඝ රාත්‍රී කාලයක් සහ කෙටි දිවා කාලයක් ලැබේ. එයට අනුරූපව එම රටවලට ගිම්හාන ඍතුවේදී දීර්ඝ දිවා කාලයක් සහ කෙටි රාත්‍රී කාලයක් උදාවේ.

මෙම කලාපවල ජීවත්වන සතුන් සහ වැඩෙන ගහකොලද මෙම ඍතු විපර්යාසයන්ට ගැලපෙන පරිදි බොහෝ අනුවර්තන ලබා තිබේ. ගිම්හානය එළඹීමට කලින් පවතින අතරමැදි කාලය, වසන්ත ඍතුව (spring) ලෙසත්, ගිම්හානයට පසු සිසිරය දක්වා අතරමැදි කාල සීමාව හේමන්ත ඍතුව (autumn) ලෙසටත් නම් කෙරේ. මෙම ඍතු දෙක සාමාන්‍යයෙන් සම ශීතොෂ්ණ කාල ලෙස හැඳින්විය හැකිය. ශීත කාලය තුළදී බොහෝ දුරට වර්ධන ක්‍රියාවලි සහ මල් ඵල දැරීම අවමකර, සමහරවිට පත්‍ර පතනය පවා සිදුවී, නිද්‍රාශීලී භාවයකින් පවතින බොහෝ ශාක, වසන්තය පැමිණීමත් සමග නව පණක් ලබා ක්‍රියාශීලී වේ. මෙසේ වනුයේ කලකට පසු වැඩිපුර ලැබෙන සූර්යාලෝකය නිසාය. 

උතුරු අර්ධ ගෝලයේ රටවල ඍතු ආරම්භ වන සහ අවසාන වන දින වකවානු තීරණය කරනුයේ, මකර නිවර්තනයෙන් සහ කර්කටක නිවර්තනයෙන් සුර්යයාගේ හැරවුම් දිනය ලෙස පිළිගැනෙන දින අනුවය. බොහෝ විට මෙම දින, උතුරු අර්ධ ගෝලයේ වෙන වෙනම, දෙසැම්බර් 22 දා සහ ජූනි 22 දා වේ. මේ දින එම රටවලට පිලිවෙලින් වර්ෂයේ උපරිම කාලයක් සුර්යාලෝකය ලැබෙන සහ අවම රාත්‍රී කාලයක් ලැබෙන දින වේ. එසේම මේ දින දක්ෂිණ අර්ධ ගෝලයේ රටවලට උපරිම රාත්‍රී කාලයක් සහ අවම දිවා කාලයක් ලැබෙන දිනද වේ. භූගෝල විද්‍යාත්මකව, පෘථිවියේ හැරවුම් ලක්ෂ්‍ය, ඉහත දක්වා ඇති පරිදි බොහෝ දුරට නිශ්චිත දිනවලදී සිදුවුවත් ඒ ඒ ඍතු ආරම්භ වන සහ අවසන් වන දින, ප්‍රායෝගිකව පහසු වන පරිදි, තීරණය වනුයේ අදාළ, ඒ ඒ මාසවල පළමු දිනයේ සිටය. 

උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ ඍතු පවතින ආකාරය 

දක්ෂිණ අර්ධ ගෝලයේ පිහිටි ඕස්ට්‍රේලියා මහාද්වීපයේ ඍතු ආරම්භ වන දින තීරණය කිරීමේදී මෙයට වඩා පහසු ක්‍රමයක් අනුගමනය කෙරේ. උදාහරණයක් වශයෙන්, නිරක්ෂයේ සිට අක්ෂාංශ 23 පමණ දකුණෙන් පිහිටන මකර නිවර්තන රේඛාව, ඕස්ට්‍රේලියා මහාද්වීපයේ බටහිර සිට නැගෙනහිරට හරි මැදින් මෙන් පිහිටා තිබේ. මෙම භූගෝලීය ලක්ෂණය උපයෝගී කර ගනිමින්, රටෙහි ඍතු ආරම්භ වන දින තීරණය කිරීම සඳහා එළඹෙන මාසයේ පළමුවන දිනය, ඍතුව ආරම්භ වන දිනය ලෙස සැලකේ. මේ නිසා ඕස්ට්‍රේලියාවේ වසන්ත ඍතුව සැප්තැම්බර් 1 සිට නොවැම්බර් 30 දක්වාත්, ගිම්හාන ඍතුව දෙසැම්බර් 1 සිට පෙබරවාරි 28 හෝ 29 දක්වාත්, හේමන්ත ඍතුව මාර්තු 1 වැනිදා සිට මැයි 31 දින දක්වාත්, සිසිර ඍතුව ජුනි 1 දින සිට අගෝස්තු 31 දක්වාත් පවතින බව, නිල වශයෙන් නිගමනය කර තිබේ. මෙම තොරතුරු ඉහත වගුවේ දක්වා ඇත.


        ප්‍රශස්ත කාලගුණයත් සමග ජෙරේනියම් වසන්තය උදාවීම

සිසිර ඍතුව අවසන්වී සති කිහිපයක් යනවිට, වැඩිපුර ලැබෙන සුර්යාලෝකයේ ආභාෂය ලබමින් ගස් වැල් මහත් කලඑලියක් ලබති. ඕස්ට්‍රේලියාවේ අදාල දේශගුණය සහිත ප්‍රදේශවල මේ මිහිරියාව ආරම්භ වනුයේ

                                        

                                                     එක්ගොමුවක වැඩෙන, විවිධ ආකාරයේ                                                      මල් සහිත ජෙරේනියම් විශේෂ සමූහයක්

 ඔක්තෝබර් මාසයේ දෙවන සතිය පමණ වන විටය. සෞම්‍ය දේශගුණය පවතින රටවල, දිවාකාලය අඩු, රාත්‍රී කාලය වැඩි, සිසිර ඍතුව අවසන්වී වසන්තය එළඹීමත් සමගම දිනෙන් දින සුර්යාලෝකය පවතින කාලය වැඩිවී ගොස්, ගිම්හානයේ මැද දිනවලදී පැය දෙකක් පමණ වැඩිවන (පැය 14 ක පමණ) උපරිම දිගකින් යුක්ත දිවා කාලයක් ලැබේ. 

මේ කාලය වන විට මලින් බරවී යන, සෑමතැනම දකින්නට ලැබෙන සපුෂ්ප ශාක ගණයකි ජෙරේනියම්. ජෙරේනියම් ගණයේ ශාක විශේෂ හාරසියයක් පමණ තිබෙන අතර, ඒවායේ පුෂ්ප විවිධ හැඩයෙන් සහ එකිනෙකට වෙනස් වර්ණ සහ වර්ණ සංකලනයන්ගෙන් යුක්ත වන නිසා එය සුවිශේෂී ශාක ගණයක් ලෙස හැඳින්විය හැකිය. මීටරයක් පමණ උපරිම උසකට වැඩෙන බොහෝ ජෙරේනියම් විශේෂවල රවුම් හැඩයකින් යුක්ත පත්‍ර වල දාරයේද නැවත 'ස්කැලොප්' වැනි කුඩා රවුම් දකින්නට ලැබේ. පුෂ්ප වලට අමතරව පත්‍ර වලද ඇති මෙම සුවිශේෂී ලක්ෂණය නිසාද ජෙරේනියම් ගෙවතු අලංකරණය කරනු ලබන අය අතර ජනප්‍රිය ශාකයක් වී තිබේ. ජෙරේනියම් අතු කැබලි මගින් පාත්තිවල හෝ පෝච්චිවල ඉතාමත් පහසුවෙන් වගාකරගත හැකිය. පසුගිය වසරේ මා විසින් රෝපණය කරනලද ජෙරේනියම් විශේෂ රාශියක් මේ දිනවල මලින් බරවී තිබේ.

                ජෙරේනියම් (Geranium) නම සෑදී ඇත්තේ කෙසේද ?

මෙම ශාකයට ජෙරේනියම් (Geranium) යන නාමය යෙදීමටද විශේෂ හේතුවක් තිබේ. මෙම ගණ නාමය ලැබී තිබෙන්නේ γέρανος (géranos) නම් ග්‍රීක් වචනයෙනි. ග්‍රීක් භාෂාවෙන් (géranos) නමින් හැඳින්වෙනුයේ දිගැති හොටයක් සහිත ‘මානකොකා’ (crane) නම් පක්ෂියා නිසාය ය. මේ නිසා ජෙරේනියම් ශාකයට පොදුවේ භාවිත වන ඉංග්‍රීසි නාමය 'crane's bill' ය. ශාකයේ ඇති ‘කොකෙකුගේ හොටයේ ’ හැඩය සහිත බීජ දරන කරලක් වැනි ඩිම්බ කෝෂය නිසා මෙම නාමය ව්‍යවහාරයේ පවතී. මෙය ශ්‍රී ලංකාවේ කඳුකරයේ දකින්නට ලැබෙන මේ ශාකයට සිංහල නමක් නොමැති නිසා එහි ඵලයේ හැඩය අනුව අපටද අවශ්‍ය නම් එයට ‘කොක් හොට’ ලෙස නම් කිරීම වරදක් නොවනු ඇත. 



              

                           බීජ සහිත කරලක් වැනි ඵලය                      කොකාගේ හොට

                    
        ජෙරේනියම් බීජ ප්‍රචාරණ ‘යාන්ත්‍රණය’

ජෙරේනියම් ශාකයේ සෑදෙන, ‘කොක් හොටය’ වැනි කරල (capsule) තුල ඇති බීජ පරිණත වූ පසු ඒවා ප්‍රචාරණය හෙවත් විසිරීම සඳහාද එම ශාකයටම ආවේණික ‘යාන්ත්‍රණය’ මෙම ශාක වල විශේෂ අනුවර්තනයකි. මෙම කරල වියලුනු විට එහි පිට පොත්ත, කරල පතුලේ සිට සිරස්ව පැලෙන්නට පටන් ගනී. එසේ ආරම්භ වන විටම බීජය ධාරකයෙන් වෙන්වී, පොත්ත ඇතුලත ‘කැටපෝලයක’ වැනි පැස තුලට වැටෙයි. මේ වනවිටම ගැලවී යන පටියක් වැනි වියලි කරලේ පොත්ත දුන්නක් මෙන් ක්‍රියාත්මක වී පැස තුල ඇති බීජය ඈතට විදිනු ලැබේ. මෙය ඉතාමත් සාර්ථක බීජ ප්‍රචාරණ අනුවර්තනයකි. 

                                                    

                                                 ජෙරේනියම් එක් විශේෂයක බීජ ප්‍රචාරණය                                                      සඳහා ඇති විශේෂ යාන්ත්‍රණය 

මේ ආකාරයට සලකා බලන විට, බොහෝ දෙනා වැඩි අවධානයක් නොදක්වන ජෙරේනියම් ශාක විශේෂ විවිධත්වය අතින් ඉතාම සාර්ථක ශාක ගණයකි. මෙයට අමතරව කොකෙකුගේ හොටය වැනි කරල නිසා එම ශාක වලට ජෙරේනියම් යන නම ලැබීමද ඉතාමත් හොඳින් ගැලපෙන අදහසකි. මේ සියල්ලටමත් වඩා සාමාන්‍යයෙන් වෙනත් ශාකවල ඉතාමත් අඩුවෙන් දකින්නට ලැබෙන විදීමේ යාන්ත්‍රණයක් මගින් බීජ ඈතට විසුරුවා හැරීමද සුවිශේෂී ලක්ෂණයකි. 

බහුලව දකින්නට ලැබෙන, එහෙත් වැඩි සැලකිල්ලක් නොදක්වන, අපූරු විවිධත්වයකින් යුක්ත, සුවිශේෂ අනුවර්තන සහිත ජෙරේනියම් ‘කොක් හොට’ ශාකය ගැන මෙසේ සටහනක් තබන්නට හැකිවීම මේ ගැන උනන්දුවක් දක්වන අයට ප්‍රයෝජනවත් වේයයි සිතමි. 

(සමහර තොරතුරු ස්තුති පූර්වකව අන්තර්ජාලයෙනි.)



8 comments:

  1. Thank you for the informative post of this beautiful flower.

    ReplyDelete
  2. Thank you Angel,
    I think the beauty of this flower, its diversity and special adaptations have not been noticed by many people. I am a fan of this flowering plant and already I have a good collection of different varieties.

    ReplyDelete
    Replies
    1. Nice to know. I think you are a true nature lover. I read Mangsteen tree post as well. It warmed my soul. Keep up your good work!

      Delete
    2. Thank you
      Yes, I appreciate nature.I have devoted much of my time while in Education Service, to incorporate environment related content into the Science Curriculum. Most of these were "On site" environmental studies based on activities in the field.

      Delete
  3. ලස්සන මලක් ගැන ලස්සන විස්තරයක්. මං හිතන්නේ ඩිම්බ කෝෂය බද්ධ අන්ඩප 5කින් යුක්ත ඇති. ඵලයේ බීජ ප්‍රචාරණ ක්‍රමය චමත්කාරයි. Geranium විශේෂ රැසක් තිබෙන බවත් පත්‍රත් විවිධ හැඩවලින් යුක්ත බව පෙනී ගියා. මෙය අපේ රටෙත් තිබෙනවද දන්නේ නැහැ. මෙහි විෂ රසායන කිහිපයක් ද තිබෙනවා කියලා මට හමු වුණා.

    ReplyDelete
  4. ස්තුතියි මාලිනි,
    මට මතක හැටියට ජෙරේනියම් නුවරඑළියේ සහ හක්ගල උද්‍යානයේ තිබෙනවා. ඔබ කියා ඇති පරිදි ඩීම්බකොෂයේ අන්ඩප පහක් බවට සංශෝධනය කළා. මේ ආකාරයේ බීජ ප්‍රචාරණය දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. ඕස්ට්‍රේලියාවෙත් රසායන ද්‍රව්‍ය නිස්සාරණය කිරීම සඳහා මෙම ශාක විශාල වශයෙන් වගා කරන බව අසා තිබෙනවා.

    ReplyDelete
  5. ලස්සනයි ......හරිම වැදගත් තොරතුරු රැසක් හොදට කැටි කරලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනුරුද්ධ,
      මෙම සපුෂ්ප ශාකය ඉතාමත් බහුල වුවත් එහි දකින්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ ගැන වැඩි අවධානයක් නමැති නිසයි මේ සටහන තැබුවේ. කැනඩාවේ සිට ඔබ තබන සටහන්ද ආසාවෙන් කියවා රස විදිනවා.

      Delete