Thursday 18 October 2018

ස්ත්‍රී පුරුෂ භාවය දක්වන සංකේත වල මූලික පදනම කුමක්ද?


    දැනට දශක කිහිපයකට ඉහතදී, අලුත උපන් දරුවෙකු සඳහා ජ්‍යෝතිෂකරුවකු ලවා   ජන්ම පත්‍රයක් සකස් කිරීම පුරුද්දක් වශයෙන් කරන ලදී. මෙම ජන්ම පත්‍රය ඇසුරෙන් පසුව සකස් කරනු ලබන ‘හඳහන’ ජන්මය පිලිබඳ වැදගත්ම සටහන විය. ඒ කාලයේ හඳහන, පුස්කොල තීරුවක පන්හිඳෙන් ලියා, කලු මැද, සකස් කරගන්නා ලද  සටහනක් විය. පුස් කොලයක් යනු විශේෂ ශාස්ත්‍රීය ක්‍රම වේද වලට අනුව සකස්කරගන්නා ලද තල්පතකි. මෙහි සටහන් වන බොහෝ කරුණු කියවා තේරුම් ගත හැකි වනුයේ ජ්‍යෝතිෂය ගැන දන්නා අයෙකුට පමණකි. උපන් වේලාව, නැකත, මුහුර්තය, ගණ පිහිටීම වැනි විවිධ ක්‍ෂේත්‍ර වලට අයත් බොහෝ කරුණු හඳහනෙහි ඇතුලත් වේ. 

දශක හතකට වඩා පැරණි මගේ හඳහන තවමත් ඒ ආකාරයෙන්ම පවතී. එය දෙතුන් වරකට වඩා ප්‍රයෝජනයට ගෙන නොමැති තරම්ය. මට මතක ඇති කාලය තුළදී නම් එහි ඇති කරුණු ගැන විමසිලිමත් වුයේ විවාහ වන අවස්ථාවේදී සහ නිවසක් සැදීමට මුල් පුරන අවස්ථාවේදී පමණය. මාගේ හඳහනේ ස්ත්‍රී පුරුෂ භාවය සඳහන් කර ඇත්තේ ‘පිරිමියා’ යනුවෙනි. ස්ත්‍රී හඳහන් වල මෙය සඳහන් කරණුයේ  ‘ගෑණි’ යනුවෙන් බව දැක තිබේ. හඳහන් ලිවීමේ පැරණි කලාව දැන් දැන් ක්‍රමක්‍රමයෙන් තුරන් වෙමින් පවතින බව පෙනේ.

පැරණි ග්‍රීක් සටහන් වල දැක්වෙන පරිදි, ස්ත්‍රී සහ පුරුෂ බව දැක්වීම සඳහා සංකේත භාවිත කළ බව දකින්නට ලැබේ. මේ සඳහා ග්‍රහ වස්තුවල  සංකේත යොදා ගෙන තිබේ.


මෙයින්, පුරුෂ බව හඟවන කුජ සංකේතයේ දැක්වෙනුයේ පලිහක් සහ හෙල්ලක සංයෝජනයකි. එසේම ස්ත්‍රී බවෙහි සංකේතය වන සිකුරු දැක්වෙන්නේ මිටක් සහිත මුහුණ බලන කන්නාඩියක් ලෙසින්ය. මේවා ලොව පිළිගත් සංකේත බවට පත්විය. ග්‍රීක ව්‍යවහාරයේ ආරම්භ වූ මෙම සංකේත කිසිවක් අපගේ පැරණි හඳහන් වලනම්  දකින්නට නොලැබේ.

1751 වසරේදී ශාක අභිජනනය පිලිබඳ පර්යේෂණ කරණ ලද, ජීවින් නම්කිරීම සඳහා සකස් කර තිබෙන ද්විපද නාමකරණයේ නිර්මාතෘ ලෙස සැලකෙන, ස්විඩිෂ් ජාතික කාල් ලිනෙයස් විසින්, තම පර්යේෂණ සඳහා යොදාගත් ශාක පුෂ්ප, වෙන වෙනම හඳුනා ගැනීම සඳහා මෙම සංකේත භාවිත කර ඇත. දැනුදු විද්‍යාවේ  සහ වෛද්‍ය විද්‍යාවේ, පුං (male) සහ ජායා (female) භාවය දැක්වීම පිණිස මෙම සංකේත බහුලව භාවිත වේ. ලිනේයස්ගේ පර්යේෂණවලට සම්බන්ධ කළ බොහෝ ශාක, ද්විලිංගික වූ නිසා, ඔහුට තවත් සංකේතයක් අවශ්‍ය විය. මේ සඳහා මුල් සංකේත දෙකෙහිම සංයෝජනයක් සකස් කර ගැනීමට සිදුවිය. බුධ ග්‍රහයා සඳහා භාවිතා කළ සංකේතය මේ සඳහා බොහෝ දුරට අදාළ කර ගත හැකි විය.


දශක කිහිපයක් යන තුරුම මෙම සංකේත භාවිත වුවද මෑතක සිට ජීවීන්ගේ පෙළපත් සටහන් (pedigree charts) සකස් කිරීමේදී, පහසුව සඳහා, මුල් සංකේතත් සමගම වෙනත් ක්‍රමවේදයක් උපයෝගී කරගනු ලැබේ. එම සංකේත සටහන් මෙසේය.



ඔබට නිතර දකින්නට ලැබෙන වෙළඳ දැන්වීමක තිබෙන පහත දැක්වෙන සංකේතය හඳුනා ගත හැකිද?

මෙම සංකේතය වෙළඳ භාණ්ඩයක් ප්‍රචාරය සඳහා යොදා ගැනීමකි. එහි දැක්වෙනුයේ පුං භාවය පෙන්වන      “    සංකේතයයි.

ග්රෙගර් මෙන්ඩල් විසින්, 1854 දී, ශාක වල ගති ලක්ෂණ විදහා දැක්වීම සඳහා ඉංග්‍රීසි අක්ෂර යොදා ගැනීමේ ක්‍රම වේදයක් සොයාගැනීමත් සමග, ජනක විද්‍යාව නමින් ප්‍රවේණිය පිලිබඳ අධ්‍යයන ක්ෂේත්‍රයක් ආරම්භ විය.  ජීවී පෙළපත් සටහන් සකස් කිරීමේදී  මෙම අක්ෂර සංකේත බහුලව භාවිත වේ.

ලිනෙයස් විසින් භාවිත කරන ලද සංකේත, බෙහෙවින් ප්‍රයෝජනවත් වන ආකාරය පහසුවෙන් අවබෝධ කරගත හැකි සරල ක්‍රමයක් පහත දැක්වේ.

සෑම ජීවී සෛලයකම න්‍යෂ්ටියක් තිබෙන බව අපි දනිමු. න්‍යෂ්ටිය තුළ වර්ණදේහ පිහිටන අතර, වර්ණදේහවල ජාන අන්තර්ගත වේ. පහත රූප සටහනේ ශාක සෛලයක ව්‍යුහය දැක්වේ.

                                    
ඊළඟ රුපයේ දැක්වෙන්නේ  වර්ණදේහ යුගලයක ජාන කිහිපයක් පිහිටා ඇති ආකාරයයි.

අප කලින් සඳහන් කළ පරිදි, ජීවීන්ගේ ගැහැණු හෝ පිරිමි භාවය හටගැනීම සඳහා න්‍යෂ්ටියේ ඇති සුවිශේෂී වර්ණ දේහ යුගලයක බලපෑම අවහ්‍ය වේ.

මිනිසා තුළ මෙම සංසිද්ධිය සිදුවන්නේ කෙසේදැයි සැකෙවින් විමසා බලමු.

සෑම  ජීවියෙකුගේම එක් එක් සෛලය තුළ න්‍යෂ්ටිය බැගින් තිබේ. මෙම න්‍යෂ්ටියේ යුගල වශයෙන් තිබෙන වර්ණදේහ සංඛ්‍යාව ඒ ඒ ජීවියාට සුවිශේෂී වේ. පලතුරු මැස්සා වැනි කුඩා ජීවියෙකුගේ වර්ණදේහ යුගල හතරකි. මිනිසාගේ යුගල 23 කි. මෙම වර්ණ දේහ වලින් එක යුගලයක් ලිංගිකතාව තීරණය කරයි. මිනිසාගේ ඉතිරි යුගල 22 හි ඇති ජාන මගින් අනිකුත් විවිධ ගති ලක්ෂණ හුවා දක්වනු ලබයි. වර්ණදේහ යුගලයෙන් එකක් මවගෙන් ලැබී ඇති අතර දෙවැන්න ලැබෙනුයේ පියාගෙනි.  එකාකාර වර්ණදේහ යුගලයක එකම සෙව්වේ තිබෙන ජාන මගින් යම්කිසි සුවිශේෂී ගති ලක්ෂණයක් පෙන්නුම් කරයි. උදාහරණයක් වශයෙන් මිනිසාගේ හිසකෙස් රැලි සහිත භාවය සඳහා අවශ්‍ය ජානය එක් වර්ණදේහ යුගලයක අන්තර්ගත වේ. මෙවැනි ගති ලක්ෂණ දහස් ගණනක් මෙහෙයවනු ලබන ජාන වර්ණ දේහ වල විසිරී පවතී.

සාමාන්‍ය වර්ණදේහ වල අන්තර්ගත ජාන මගින් බොහෝ ගති ලක්ෂණ පිළිබිඹු කරන අතරම,  ලිංගිකතා වර්ණදේහ වල පිහිටන ජාන මගින් පාරම්පරික ලෙඩ රෝග හටගැනීම, පිරිමින්ගේ තට්ටය පැදීම, වර්ණ අන්ධභාවය   වැනි ඉතා සුවිශේෂී ලක්ෂණ ඉස්මතු කරයි.

ඕනෑම ජීවී ගහණයක (මිනිස් හෝ වෙනත්), පුං (male) සහ ජායා  (female) ජීවීහු බොහෝ දුරට 1 : 1 අනුපාතයට අනුව දකින්නට ලැබේ. නැතහොත් පිරිමි සහ ගැහැණු ප්‍රතිශතය සියයට පනහ ප්‍රමාණයකට ආසන්නව පවතී. මෙම සංසිද්ධිය සොබා දහමේ ප්‍රාතිහාර්යයක් ලෙස සැලකිය හැකිය.

මෙම අති සුක්‍ෂම ක්‍රියාවලිය පහසුවෙන් විග්‍රහ කිරීම පිණිසද අප කලින් සඳහන් කළ සංකේත භාවිත කළ හැකිය.

මිනිසා ඇතුළු අනිකුත් සතුන්ගේ සහ ශාකවල අලුතින් ජීවියෙක් හට ගැනීම සඳහා පුං ජන්මාණු (male gametes) සහ ජායා ජන්මාණු (female gametes) සම්බන්ධ වී සංසේචනයක් සිදුවිය යුතුය. මෙය ලිංගික ප්‍රජනනයයි.

මෙහිදී ක්‍රියාත්මක වන්නේ කලින් සඳහන් කරණ ලද පරිදි, ජීවීන්ගේ ලිංගිකතාව විදහා දක්වන වර්ණදේහයි.  මිනිසාගේ ප්‍රජනන    ක්‍රියාවලිය සලකා බැලීමේදී, කලින් සඳහන් කළ ආකාරයට, මිනිස් ගහණයේ ස්ත්‍රී පුරුෂ සමානුපාතය බොහෝදුරට 1 : 1 මට්ටමෙන් රඳා පවතිනුයේ ස්ත්‍රියගේ සහ පුරුෂයාගේ ලිංගික වර්ණදේහ වල තිබෙන වැදගත් එකිනෙකට වෙනස් ලක්ෂණයක් නිසාය.


ස්ත්‍රියකගේ  එකාකාර ලිංගික වර්ණදේහ යුගලය XX ලෙස හඳුන්වන අතර පුරුෂයෙකුගේ එකිනෙකට වෙනස් ලිංගික වර්ණදේහ යුගලය XY ලෙස හැඳින්වේ. ස්ත්‍රියකගේ X වර්ණදේහය සහ පුරුෂයෙකුගේ X වර්ණදේහය බොහෝදුරට සමානය. එහෙත් පුරුෂයෙකුගේ Y වර්ණදේහය  X වර්ණදේහ වලට වඩා හාත්පසින්ම වෙනස් වේ.

ස්ත්‍රී භාවයේ සහ පුරුෂ භාවයේ  වෙනසට පාදක වනුයේ මෙම ලක්ෂණයයි.

ජන්මාණු හටගැනිමේදී සහ ජන්මාණු සංසේචනයකදී මෙම ප්‍රාතිහාර්යය සිදුවී මිනිස් ගහණයේ පුං (male) සහ ජායා  (female) ජීවී අනුපාතය (පිරිමි : ගැහැණු) සමතුලිතාව පවත්වා ගැනෙනුයේ කෙසේද යන්න විමසා බලමු.


                                                              
පිරිමියාගේ පුං ජන්මාණු වන ශුක්‍රාණු හටගනුයේ වෘෂණයේය. ස්ත්‍රියගේ ජායා ජන්මාණු වන ඩිම්බ හටගනුයේ ඩිම්බ කෝෂයේය. සාමාන්‍ය සෛල වල වර්ණදේහ යුගල වශයෙන් පැවතියත් ජන්මාණු හටගන්නා විශේෂිත ස්ථාන වල එම ක්‍රියාවලිය සිදුවන විට ලිංගික වර්ණදේහ යුගලයේ කොටස් දෙක එකිනෙකින් වෙන්වේ. එනම් පිරිමියාගේ XY යුගලයේ X සහ Yවෙන වෙනමත්, ස්ත්‍රියගේ XX යුගලය X සහ  X ලෙසත් වෙන්වේ. මෙසේ වෙන්වී ඒවා ජන්මාණු බවට පත්වේ. මේ නිසා පිරිමියෙකු දෙආකාරයක ශුක්‍රාණු නිපදවන අතර ස්ත්‍රියකගේ ඩිම්බ හටගනුයේ එක් ආකාරයකින් පමණකි. මෙය සිදුවන්නේ කෙසේද යන්න ඉහත සටහනේ දක්වා ඇත.

ලිංගික එක් වීමකදී පරිණත ඩිම්බයක්, ශුක්‍රාණුවක් මගින් සංසේචනය වීම ඉතාමත් අහඹු ලෙස සිදුවේ. මෙම අහඹු සිදුවීමෙහි ආකාර හතරක්  ඉහත සටහනේ දැක්වේ. අවසානයේදී සමස්ත මිනිස් ගහණයම පොදුවේ ගත් කළ, ස්ත්‍රී පුරුෂ අනුපාතය, 1 : 1  ලෙස පවතිනුයේ මෙම සංසිද්ධිය නිසාය.

ඕනෑම ජීවී ගහණයක, පුං සහ ජායා ජීවී සමානුපාතය, රඳා පවතින්නේ  පුං ජීවියාගේ ලිංගිකතා වර්ණදේහ යුගලයේ  Y වර්ණදේහය නිසා බව මෙයින් පැහැදිලි වේ.

විවිධ සංකේත වලින් හඳුන්වනු ලබන මිනිසාගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ අනිකුත් සියලුම ජීවීන්ගේ පුං සහ ජායා ලිංගික ස්වභාවයන් පවත්වා ගනිමින් ජෛව ලෝකයේ විවිධත්වය රඳා පවතින්නේ පුං  ජීවියාගේ Y සංකේතයෙන් හඳුන්වනු ලබන වර්ණදේහය නිසාය.







 




18 comments:

  1. අරාබි ඉලක්කම් ලිවීමේ ක්‍රමය එන්න කලින් හඳහන්වල භාවිතා කලේ මොනවාද? ලතින් ඉලක්කම් නෙමෙයිනෙ?

    ReplyDelete
  2. ස්තුතියි Pra Jay,
    ඔබගේ පැණය ගැන ටිකක් සොයා බැලුවා. බටහිර ආක්‍රමණයට පෙර ලංකාවේ අංක වර්ගයක් භාවිත කර තිබෙනවා (සිංහල ඉලක්කම්) මෙහි එක සිට නවය දක්වා ඉලක්කම් තිබෙනවා. බින්දුවක් නැහැ. දහය විස්ස ...... ආදියට වෙනම සංකේත තිබිලා. පැරණි පුස්කොල පොත්වල මේවා තිබෙනවා. මිනිසා පැරණි කේන්දර වලත් තිබෙන්නට ඇති.
    https://upload.wikimedia.org/wikipedia/commons/d/d5/WADesilva.jpg
    විස්තර මේ දිගුවෙන් බලන්න.

    Sinhala numerals did not have a zero and they also did not have zero concept holder. They included separate symbols for 10, 40, 50, 100, 1000.[3]
    These numerals were also regarded as Lith Lakunu or ephemeris numbers by W. A. De Silva in his Catalogue of Palm leaf manuscripts in the library of Colombo Museum. This set of numerals was known as Sinhala illakkam or Sinhala archaic numerals.

    https://en.wikipedia.org/wiki/Sinhala_numerals

    ReplyDelete
  3. බොහොම වටිනා පැහැදිලි කිරීමක්. ඔබේ මේ ලිපි නිසාම උසස්පෙල ජීව විද්‍යා පන්තිය හැමදාමත් සිහි වෙනව.
    ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී,
      මම නම් උසස් පෙළ පන්ති වල සත්ත්ව විද්‍යාව ඉගැන්නුවේ 1960 ගණන්වල. ඒ කාලේ සිංහලෙන් ලියවුනු පොත් තිබුනෙත් නැහැ. ඉංග්‍රීසි පොත්වලින් කරුණු හොයාගෙන සිංහලට පරිවර්තනය කරගෙන ඉගැන්නුවේ. සමහර වෙලාවට සිංහල වචන හදන්නත් සිදු උනා. ඒ කාලේ සකස් කළ සමහර වචන දැන් පාරිභාෂික වචන ලෙසත් අරගෙන තිබෙනවා.
      කවි සංකලපනාවක් නැත්තේ අද හදිසියෙන්ද කියවුවේ?

      Delete
    2. ඒ කියන්නේ මෝර මාලු විච්චේදනය කරන්නට තිබූ යුගය නේද? මම ඒ යුගය ගැන දැනගත්තේ අප්පච්චීගේ ඉස්කෝල කාලේ පොතකින්...ඔහුත් විද්‍යා ගුරුතුමෙක් උනා හැත්තෑවේ අග...

      Delete
    3. ස්තුතියි ලොකු මල්ලි,
      මෝර මාළුවා විතරක් නොවෙයි, ගැඩවිලා, කැරපොත්තා, ඉස්සා, ගෙම්බා සහ මීයා යන සියලුම සතුන් විච්චේදනය කරන්නට තිබුනා. ඒ මදිවාට සත්ත්ව විද්‍යාව උසස් පෙළ කරන අය දරුණු ප්‍රායෝගික පරීක්ෂණයකට පෙනී සිටින්නටත් ඕනෑ. පසුව 1965 දී පමණ ප්‍රායෝගික පරීක්ෂණය ඉවත් කර පාසැලේදී සියලුම ප්‍රායෝගික වැඩ කළ බවට සහතිකයක් ඉදිරිපත් කරන්නට සිදු උනා

      Delete
    4. ස්තුතියි දුමී,
      ප්‍රවේණි සටහනේ තිබුණු වරද පෙන්වා දීම ගැන ස්තුතියි. එය නිවැරදි කළා. ඕනෑම අවස්ථාවක වැරදි ඇතොත් පෙන්වා දෙන්න. ඉතාමත් සතුටින් භාර ගන්නවා.

      Delete
    5. ඔබ තුමාගෙ නිහතමානීකමට ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  4. 1980 වගෙ කාලෙ උසස් පෙළ සත්ත්ව විද්‍යාව විෂයයට ජාන විද්‍යාව පිළිබඳව ඉගෙන ගත් අන්දම මතක් වුනා. Gene Pool = ජාන කිටුවත් ( Gene pool) මතක් වුනා..

    බොහොම ස්තූතියි දයා මහත්මයා..යම් විෂයයක් සරළව පැහැදිලි කීරිමට ඔබට ඇති හැකියාව විශිෂ්ඨයි.

    ReplyDelete
  5. ස්තුතියි රවී,
    ලිපිය ගැන දැක්වූ අදහසට නැවත ස්තුතියි. මා මුලින්ම ලිවිම සඳහා දිරි ගැන්වූ කෙනෙක් වශයෙන් ඔබත් සිටිනවා.
    සත්ත්ව විද්‍යාවේ මම ඉතාමත්ම කැමති විෂයය කොටසක් ප්‍රවේණි විද්‍යාව. රුපවාහිනිය ඒමට කලින් ඒ කාලේ ගුවන් විදුලියේ පැවතී 'ක්‍ෂිතිජය' නම් වැඩ සටහනේ 'ආරේ ගුණ නෑරේ' යන මාතෘකාව යටතේ සාකච්ඡා පෙළක්ම කිරීමට මට අවස්වථා ලැබුණා. පසුව ඒවා රසවාහිනී සඟරාවේ පළවූවා. Gene Pool එකට දැන් කියන්නේ ජාන සමුච්චය කියා.

    ReplyDelete
    Replies
    1. අපොයි ඒ කියන්නෙ අනූ ගනන් වල අපි ඉගෙන ගත්තු වචනත් දැන් වෙනස් වෙලාද?

      Delete
    2. පදමාලාව මෑතදී සංශෝධනය කර ඇති බවයි පෙනෙන්නේ

      Delete
  6. හප්පේ ඒ කාලෙ උසස් පෙලට ඕව ඉගෙන ගත්තට පස්සෙ ආපහු ඇහුවෙ අදමද කොහෙද.
    මොනව උනත් අගනා පැහැදිලි කිරීමක්.

    ReplyDelete
  7. ස්තුතියි ප්‍රසන්න,
    උසස් පෙළ පන්තිවල ඉගනගන්නා කාලයේ සොඳුරු අතීතයට නැවත එබී බැලීමට අවස්ථාවක් සැලැස්වීමට හැකිවීම ගැන මට සතුටුයි. ප්‍රවේණි විද්‍යාවට අදාළ මේ විෂයය කරුණු බොහෝ දුරට ජීවිතයට සමීප බව දැන්නම් හොඳට තේරෙනවා ඇති.

    ReplyDelete
  8. හොඳ පැහැදිලි කිරීමක්... අපූරුවට විස්තර කරලා...

    ReplyDelete
  9. ස්තුතියි අරු,
    මා ලියන සියලුම දේ ජීවිත අත්දැකීම්. කියවන්නට කැමති අය සිටින නිසා තව ලියන්නට සිතෙනවා.

    ReplyDelete
  10. මේ පැහැදිළි කිරීම් ඉතා වටිනවා. හේතුව අපේ උගත් පරපුරටත් දැන් මේවා අමතකයි. විභාගයට විතරනේ පාඩම් කලේ.

    ReplyDelete
  11. ස්තුතියි මාලිනී,
    මා දන්නා හැටියට අපේ පාසල් වලත්, විෂයය නිර්දේශවල ප්‍රවේණි විද්‍යාවට අදාළ විෂයය කොටස් තිබෙන්නේ අවසාන එකක හැටියට. බොහෝ පාසල්වල විභාගයට පෙර, වර්ෂයේ අවසාන සති කිහිපයේදී මෙම පාඩම් ඉක්මනට අවසන් කරනවා. මේ නිසා සිසුන්ද ඒ ගැන අවධානය යොමු කරනවා අඩුයි. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දෙකෙහිම මෙම තත්ත්වය තිබෙන බව විභාග දෙපාර්තමේන්තුවේ සිටියදී මා විසින් කරන ලද උත්තර පත්‍ර පිළිතුරු පිළිබඳව සමීක්ෂණයකදී දකින්නට ලැබුනා. ප්‍රවේණිය සහ පරිණාමය පිලිබඳ විෂයය කොටස් මානව ජීව විද්‍යාව ඒකකයට ඇතුලත් කරන ලෙස ඒ කාලයේ යෝජනාවකුත් තිබුණා.

    ReplyDelete