Sunday 24 December 2017

ඉතාමත් නිහතමානි රාජ්‍යතාන්ත්‍රිකයෙකු හමුවිය.....

 ඉතාමත් නිහතමානි රාජ්‍යතාන්ත්‍රිකයෙකු හමුවිය.....

ජයේ සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු, මට  රාජ්‍ය නොවන පුණ්‍ය ආයතනයක්‌ වන, කළුතර බෝධි භාරකාර මණ්ඩලය මගින් යෝජිත, පුස්තකාලය සංවර්ධනය කිරීමේ  ව්‍යාපෘතියක නියැලීමට අවස්ථාව ලැබිණ. විශේෂයෙන්ම පුස්තකාලය සම්බන්ධ අධ්‍යාපන වැඩ සටහන් මාලාවක් ක්‍රියාත්මක කිරිම මට අයත්වූ  ප්‍රධාන වැඩ කොටසක් විය. ප්‍රදේශයේ දානපති පවුලක් විසින් බෝධි භාරකාර මණ්ඩලයට තිළිණයක් වශයෙන් පවරා දෙන ලද ‘තිලිණ’ නම් ගොඩනැගිල්ලෙහි ස්ථාපනය කරන ලද පුස්තකාලය ‘බෝධිඥාන පුස්තකාලය’ යනුවෙන් නම් කරන ලදී.

පුස්තකාලයේ සියලු සංවිධාන කටයුතු අවසන්කර, එය විවෘත කිරීම සඳහා එවකට සිටි රාජ්‍ය පරිපාලන ඇමතිතුමාට ආරාධනය කර තිබිණ. ආයතනයේ සභාපති තුමාගේ නිර්දේශය අනුව, එදින රැස්වීමේ විශේෂ දේශනය පැවැත්වීම සඳහා රාජ්‍ය සේවයේ ඉතාම වැදගත්, අග්‍රාමාත්‍ය ලේකම් සහ ජනාධිපති ලේකම් තනතුර කිහිප වරක්ම දරා, විශ්‍රාම සුවයෙන් සිටින ප්‍රභුවරයෙකුට ආරාධනා කරණ ලදී. ඔහු ආරාධනය සතුටින් පිළිගත් බව හැරෙන තැපෑලෙන් දන්වා එවිය.

ඔහු සභාවට හඳුන්වා දීමේ කාර්යය මා වෙත පැවරිණ.

මෙම භාරදුර කාර්යය සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීම පිණිස මට ඔහු හමුවීමට සිදුවිය.

බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති තුමාගෙන් ලබාගත්, එතුමාගේ දුරකථන අංකයට කථාකර, ඔහුගේ ලිපිනය ලබාගෙන, හමුවීමට දිනයක් සහ වේලාවක් නියම කර ගතිමි.

නියමිත දින මා එහි යනවිට ඔහු නිවසේ ආලින්දයේ මා බලාපොරොත්තුවෙන්  සිටියේය.

මා සාදරයෙන් පිළිගත් ඔහු ආගිය තොරතුරු කථාකර තමන් විසින් මෑතදී ලියා පළකරන ලද පොත් දෙකක් මට පෙන්වා

‘මම මේ පොත් දෙක පුස්තකාලයට තෑගි කරනවා.’
කියා පොත් මා අතට දුන්නේය. ඉංග්‍රීසියෙන් ලියා පළකර තිබුණු පොත් දෙක මෙසේය 
   

       1.  Rendering Unto Caesar:   Fascinating Story of One Man's Tenure under Nine Prime        Ministers and Presidents of Sri Lanka
       2. 'Kalutara – An Odyssey', 

 මට තේ කෝප්පයකින් සංග්‍රහ කළ එතුමා,

‘මා ගැන ඒ තරම් කියන්නට දෙයක් නැහැ. මමත් ඔය පැත්තේම කෙනෙක්. මගේ උපන් ගම කළුතර, පයාගල. මම මුලින්ම ඉගෙන ගත්තේ කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයේ’

එම තොරතුරු මම කලින් දැන නොසිටියෙමි.

මට අවශ්‍යතාවය තිබෙනුයේ පුස්තකාලය විවෘත කිරීමේ මහා සභාවේ ආරාධිත දේශකයා වන ඔහු හඳුන්වාදීම බව මම කීවෙමි.

‘එහෙනම් මගේ ගම් ප්‍රදේශයේ ජනතාව වැඩිපුර එන ඔය රැස්වීමේදී බොහෝ  දෙනෙක් නොදන්නා යමක් කියමු.’

කියමින් ඔහු මා  අසලම පුටුවක හිඳ ගත්තේය.

එතුමාගේ රසවත් විස්තරය ඔහුගේ වචන වලින්ම මෙසේය.

‘මම අහලා තියෙන තොරතුරුත් එක්ක මගේ කතාව කියන්නම්. ඔයාගේ වැඩේට ගැලපෙන විදිහකට තෝරා බේරා ගන්න. මම උපන්නේ 1930 ඔක්තෝබර් 20 වෙනිදා. රෝහලේ  උපන් මා, දැක බලාගත් මගේ පියා හදිසි කටයුත්තක් තිබෙන බව කියා ඉක්මණට පිටවී ගියාලු.’

‘මගේ පියා ඒ කාලෙත් ක්‍රිකට් පිස්සෙක්ලු. ඔහු ඉතාමත් ප්‍රිය කරන ලෝකයේ නම් දරාපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් එදා ලංකාවට ඇවිත්. තාත්තා කලබලෙන්ම ගොස් තිබෙන්නේ එදා සවසට ක්‍රිකට් සංගමය මගින් හදිසියේම ඒ ක්‍රීඩකයා වෙනුවෙන් සංවිධානය කළ සාදයකට ගොස් ඔහු දැක බලා ගැනීමටයි.’

මම සාවධානව අසාගෙන සිටියෙමි. මේ කතාව මගේ අවශ්‍යතාවට ගැලපේද යන්න මට ප්‍රහේලිකාවක් විය.

‘එදා තාත්තා බලන්නට ගොස් තිබෙන්නේ ලෝකප්‍රකට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩොන් බ්‍රැඩ්මන්වයි.’ කී ඔහු, මඳක් කල්පනාකරන්නට විය.

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පවත්වන ‘අළු බඳුන’ (Ashes) මහා ක්‍රිකට් තරඟාවලිය එම වසරේදී පවත්වා ඇත්තේ එංගලන්තයේය. එහිදී ටෙස්ට් තරඟ පහෙන් දෙකක් ඔස්ට්‍රේලියාව දිනාගත් අතර එකකින් පරාජයට පත්විය  ඉතිරි තරඟ දෙක ජය පරාජයකින් තොර විය. මේ නිසා තරඟ වාරයේ ජය ඔස්ට්‍රේලියාවට අත්වි තිබේ. මෙම ජයග්‍රහණයේ වීරයා වී තිබෙන්නේ ලකුණු විශාල සංඛ්‍යාවක් ලබාගත් ඕස්ට්‍රේලියාවේ  ඩොන් බ්‍රැඩ්මන්ය. මෙය පත්‍ර වාර්තාවක සඳහන් කර ඇත්තේ මෙසේය.

Australia won the 1930 Ashes series against England, winning two of the matches and losing one, with the other two tests drawn. Don Bradman had been the highest scorer. This particular tour will always be remembered by reason of the amazing batting successes which attended the efforts of Bradman.

ඔහු තම කථාව තවදුරටත් කරගෙන ගියේය.

‘සවස ආපසු පැමිණි පියා (තවමත් පහවී නොගිය ක්‍රිකට් උද්දාමයෙන් යුතුව) ඒ දිනවල ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා වී සිටි ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ නම පුංචි පුතා වන මටද දැමීමට තීරණය කරලා.’

‘ඔන්න ඔහොමයි සිංහල මට අපේ පවුලේ වාසගමත් එක්ක  බ්‍රැඩ්මන් වීරකෝන්  නම ලැබුනේ.’

මෙසේ කියමින් ඔහු මඳ සිනහවක් පා මාදෙස බලා සිටියේය.

සියල්ල කෙටියෙන් සටහන් කර ගත් මම

‘හරි අපූරු කතාවක්නේ. මම උත්සවය දාට මේ විස්තරය කියවන්නම්’ කීවෙමි.

ඔහු හිස සලා එය අනුමත කළේය.

පුස්තකාලය විවෘත කිරීමේ උත්සවයට පැමිණි ආරාධිත අමුත්තන් හේවිසි හොරණෑ සහිත පෙරහැරකින් ප්‍රධාන ශාලාව වෙත කැඳවාගෙන එන ලදී. චාම් ඇඳුමකින් සැරසි බස්තමක්ද රැගෙන පැමිණි ඔහු වේදිකාවට ගොඩ වන විට අසල සිටි අයෙකු උදව් කිරීමට සැරසෙන විට විහිළුවක් කළ ඔහු,

‘මට තවමත් තනියම පඩි නගින්නට පුළුවන්. මේ බස්තම තියෙන්නේ මම වයසක කෙනෙක් කියලා පෙන්නන්නට විතරයි. ඒ උනාට මම සිතින් තරුණයි.’ කියමින් සිනහ විය.

ආරාධිත දේශක තුමාගෙන් ලබාගත් සියලු තොරතුරු සම්පිණ්ඩනය කර හඳුන්වා දීමේ උපුටනය (citation) උත්සව සභාවේ කියවූ විට බොහෝ දෙනෙකුට මහත් කුතුහලයක් ඇතිවිය. උත්සව සභාව, ශාලාව ගිගුරුම් දුන්, මහත් අත් පොළසන් නාදයකින් එතුමා පිළිගත්හ.



බ්‍රැඩ්මන් වීරකෝන් නමැති මේ යුග පුද්ගලයා කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයයේ මුලික අධ්‍යාපනය ලබා, ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයයේ දිවිතීය අධ්‍යාපනයෙන් පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වී තිබේ. විශ්ව විද්‍යාලයයෙන් ආර්ථික විද්‍යාව සහ සමාජවිද්‍යාව විෂයයන්ගෙන් ගෞරව උපාධියක් ලබා ඇති ඔහු ‘ෆුල්බ්‍රයිට්’ (Fulbright) ශිෂ්‍යත්වයක් ලබා ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්ව විද්‍යාලයයෙන් සමාජ විද්‍යාව පිලිබඳ ශාස්ත්‍රපති (MA) උපාධියක්‌ ලබා තිබේ.  
1954 වසරේදී ශ්‍රී ලංකා සිවිල් සේවයට බැඳුනු ඔහු, දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සේවය කර සර් ජෝන් කොතලාවල අගමැති තුමාගේ ලේකම් වශයෙන් පත්වී 2002  වසර දක්වාම තේරී පත්වූ සියලුම අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්ගේ ලේකම් වරයා වශයෙන් අද්විතීය සේවයක් කර තිබේ.
ඔහුගේ Rendering Unto Caesar:  Fascinating Story of One Man's Tenure under Nine Prime Ministers and Presidents of Sri Lanka  නම් පොතෙහි රාජ්‍ය නායකයින් ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කළ කාලයේ සත්‍ය තොරතරු ඉතා රසවත් ලෙස පාඨකයා හමුවේ තබා ඇත.

එසේම 'Kalutara – An Odyssey' නම් පොතේ කළුතර ප්‍රදේශයේ යටගියාව සහ නවීන සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳව අගනා විස්තරයක් කියවිය හැකිය.
                                                                                                                    

  

21 comments:

  1. ඔහු බොහෝ දෙනාගේ සම්මානයට පාත්‍ර වූ රාජ්‍ය නිලධාරියෙක්. මෙවන් අය අද විරලයි. ඔබ තුමා වැනි අධ්‍යාපන වෘත්තිකයින් අද විරල වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්,
      ඔහු විවිධ දේශපාලන මත දරු ප්‍රධාන පෙළේ දේශපාලනඥයින් නව දෙනෙකු සමග නොකඩවා සේවය කිරීම ඉතාමත් ප්‍රසංශනීයයි. එසේ වුවත් එම සේවය අපගේ සමාජයෙන් ඇගයීමකට ලක් වුවාද යන්න සැක සහිතයි. එවැනි යුග පුරුෂයෙකු සමග ටික වෙලාවක් හෝ කතාබස් කිරීමට ලැබීමත් මගේ භාග්‍යයක් ලෙස සලකනවා.

      Delete
  2. නොයෙක් වර කලුතර ගියත් බෝධි ඤාණ පුස්තකාලයට ගොඩවෙන්න බැරිවුණා. අගනා පොත් දෙකක් හඳුන්වා දුන්නාට ඉස්තූතිය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුරංග,
      කොළඹ පැත්තේ සිට යනවිට කළුතර පාලම හමුවීමට කිලෝමීටර භාගයකට පමණ කලින්, දකුණු පැත්තේ පාර අයිනේම බෝධිඥාන පුස්තකාලය තිබෙන්නේ. යන එන විටක ගොඩ වන්න. මා හිතන්නේ පෞද්ගලික ආයතනයක් මගින් පොදු ජනතාව වෙනුවෙන් විවෘත කර තිබෙන ලංකාවේ එකම පුස්තකාලය මෙයයි. මෙහි දැනට පාඨක සංඛ්‍යාව අට දහසක් පමණ සිටිනවා.

      Delete
    2. මාතර බෝධි ආරක්ශක මන්ඩලය විසින්ද හොඳ තත්වයේ පුස්තකාලයක් පවත්වා ගෙන යනවා.

      Delete
    3. ස්තුතියි ගනේෂ්,
      මා ඒ බව දැන සිටියේ නැහැ. දැනුවත් කිරීම අගය කරනවා. මේ ජාතික මෙහෙවර කරන අප දන්නා ආයතන දෙකම බෝධි භාරකාර මණ්ඩල වීමත් විශේෂත්වයක් ලෙස සැලකිය හැකියි.

      Delete
    4. ඔව්, දන්න තරමින් මාතර බෝධි ආරක්‍ෂක සභාව පුස්තකාලයක්, භාවනා මධ්‍යස්ථානයක් වගේ ඒව පවත්වගෙන යනව වගේම මාතර මහරෝහලෙ ගොඩනැඟිලි බරගානක්, රෝගීන්ට අක්‍ෂි කාච දීම වගේ හුඟක් වැඩ කරනව.

      Delete
    5. ස්තුතියි DDT
      කළුතර බෝධි භාරකාර මණ්ඩලය වගේම මාතර බෝධි ආරක්ෂක මණ්ඩලයත් සැදැහැති ජනතාවගෙන් ලැබෙන ආධාර ජනතාවගේම හිතසුව පිණිස යෙදවීමේ නිහඬ සේවයක් කිරීම උදාර ජාතික මෙහෙවරක් !

      Delete
  3. ස්තුතියි තඩි මල්ලි,

    ReplyDelete
  4. ඔය ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වය ගැන මා මුලින් සිතා සිටියේ එය ෆුල් බ්‍රයිටන්ට පමණක්ද දිනා ගත් හැකි full bright scholarship එකක්කියායි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      ඔය ශිෂ්‍යත්ව වලට Full Bright කිව්වත් වැරදි නැහැ වගෙයි. ඉස්සර නම් ඕවාට ගියේ 'ෆුල් බ්‍රයිටෝම' තමයි. දැන්නම් දේශපාලන ඇඟිලි ගැසීම් තිබෙනවා
      මෙන්න තව විස්තර ටිකක්
      The Fulbright Foreign Student Program enables graduate students, young professionals and artists from abroad to study and conduct research in the United States at U.S. universities or other academic institutions.
      Approximately 4,000 foreign students receive Fulbright scholarships each year.
      Awarded to International students from 155 countries around the world

      Delete
  5. ඉහළම තත්වයේ ඉන්න ඔහොම නිහතමානී රජයේ සේව‍කයො ඉන්නෙ අතලොස්සයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      ඒ අතලොස්සෙන් එක් කෙනෙකු හෝ හමුවී හඳුනා ගැනීමට ලැබුණු එක ගැන මට සතුටුයි.

      Delete
  6. අප්‍රරකට කතාවකුත් දැනගත්තා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලක්මාල්,
      මෙම සුප්‍රකට රාජ්‍ය සේවකයාගේ අප්‍රකට කතාව ඔහුගේ පොත් දෙකෙහිවත් සඳහන් කර නැහැ.

      Delete
  7. 88-89 කාලේ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් උනේ මේ මහත්තයාම තමයි.දිනමිනේ දැම්මාලු අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්- බ්‍රෙඩ්මන් වීරකෝන් කියලා. කර්තෘට අඉගහලා කිව්වාලු පාන් බෙදුවට මම බ්‍රෙඩ්මන් නෙමේ බ්‍රැඩ්මන්ම තමයි කියලා. ගුවනින් ගිය ගොඩයා කියන පොතේ තියන්නේත මෙතුමාගේ අත්දැනිම් නේද?

    ReplyDelete
  8. ස්තුතියි උදාර,
    බ්‍රැඩ්මන්,බ්‍රෙඩ්මන් වූ කතාව නම හරි අගෙයි. මා මේ ගැන දැන සිටියේ නැහැ.'ගුවනින් ගිය ගොඩයා'පොත ලියා තිබෙන්නේ කළුතර පැත්තේම (හොරණ) ලේඛකයෙක් වන ගුණදාස ලියනගේ (ගුලි) වගෙයි මට මතක

    ReplyDelete
  9. බ්‍රැඩ්මන් වීරකෝන් මහත්මයගෙ අත්දැකීම් ඇසුරෙන් ගුණදාස ලියනගේ මහත්මයා ලියපු අගමැතිවරුන් හත් දෙනෙකු සමඟ පොත මම කියවල තියෙනව කාලයකට කලින්. ඒ වගේ කෙනෙකුගෙ ජීවන අත්දැකීම් ගැන කියවෙන පොත් - ස්වයංචරිතාපදාන එහෙම කියවන්න මම හරි කැමතියි. මොකද ඒක වෙනස්ම අත්දැකීමක්. වීරකෝන් මහත්මය වගේ රටේ රාජ්‍ය නායකයො බර ගානක් එක්ක ළඟින්ම වැඩ කරපු කෙනෙක්ගෙ අත්දැකීම් කියවන්න, දැනගන්න ලැබෙන එකත් එක විදියක දුර්ලබ අත්දැකීමක්. එහෙම අය ලෝකෙ පුරාම උනත් වැඩිය නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි DDT,
      රාජ්‍ය නායකයින් මාරුවන සමහර අවස්තථාවලදී අමිහිරි අත්දැකීම්ද ලබා තිබෙන බව පොත කියවන විට පෙනෙනවා. ඒ උනත් එම නායකයින්ම එතුමා ආපසු ගෙන්නාගෙන තිබෙනවා. එකිනෙකට වෙනස් දේශපාලන 'දර්ශන' ඇති නායකයින් සමග සුහදව කටයුතු කර, හොඳ නම ආරක්ෂා කර ගෙන, ඒ පිළිබඳව අලුත් පරම්පරාවට ආදර්ශයක් දීම හරිම වැදගත්.

      Delete
  10. Rendering Unto Caesar පොත මම මහජන පුස්තකාලයකින් ගෙන කියෙවිවා.ඉතා වටිනා පොතක්.පරණ පොත් කඩයක මෙය තිබෙනවා අහමිබෙන් වගේ දැකලා ගාන ඇහුවම රැ 2000/= කිවිවා නිසා පොත ගැනීමෙි අදහස අත්හරින්නට සිදුවුනා.
    පොලිස් නිලධාරියෙකු වූ මෙතුමාගේ පියා පොලිසියට බැදෙන්නේ වර්තමානයේ දක්නට නැති Station House Officer කියා තනතුරකටයි.

    ReplyDelete