Friday 12 April 2024

 


TUESDAY 12 SEPTEMBER 2017

පුර්ණ සුර්යග්‍රහණයක් පිලිබඳ පැරණි මතකය යළි අවදි කිරීමක් 


         

 (1955 වසරේ ඇතිවූ පුර්ණ සුර්යග්‍රහණය, ඉතා හොඳින් දුටුවෙමු.)

   ඒ අප පාසැල් යන කාලයේය. ඉගෙනීම කළේ ජෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාග පළමු වසරේ (SSC  Prep) පංතියේය. අප විදුහල්පතිතුමා එංගලන්තයේ විශ්ව විද්‍යාලයක භෞතික විද්‍යා උපාධියක්‌ සහිත ඉතාමත් නිහතමානි කෙනෙක් විය. එතුමා අපගේ භෞතික විද්‍යා ගුරුවරයාද විය. 1955 වසරේ මුල සිටම පූර්ණ සුර්යග්‍රහණයක් පිලිබඳ තොරතුරු පුවත් පත්වල පළවිය. (ගුවන් විදුලිය ඉතා සීමිත වූ අතර රුපවාහිනි ගැන අසාවත් නැත)
ජුනි මාසයේ මුල සතියේ උදය රැස්වීමේදී විදුහල්පති තුමා විසින් සුර්යග්‍රහණ පිලිබඳ දේශනයක් පවත්වා ඒ පිලිබඳ පත්‍රිකාවක්ද බෙදා දුන්නේය.
එම පත්‍රිකාවේ සුර්යග්‍රහණය සිදුවන ආකාරය රුප සටහන්ද අශ්‍රිතව ඉතාමත් පැහැදිලිව විස්තර කර තිබුණි.

සුර්යග්‍රහණය සිදුවන ආකාරය
සුර්යග්‍රහණය හටගන්නා දිනය ජුනි මස විසි වෙනිදා විය.එය පූර්ණ  සුර්යග්‍රහණයක්‌ නිසා ටික වේලාවක්  ඝන අන්ධකාරය පවතින නිසාත් සිද්ධිය කෙලින්ම බැලීම නිසා ඇස් අන්ධ විය හැකි බව ප්‍රකාශයට පත්කර ඇති නිසාත්, එදින පාසල් නිවාඩු දිනයක් කරන ලදී.
ශිෂ්‍ය නිවාසයේ සිටි අපට එදින ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැඩි උපදෙස් ලැබුණි. මිනිත්තු කිහිපයක් දැඩි අන්ධකාරය පවතින නිසා සියලු දෙනාම පෙරවරු අට වනවිට නිදන කාමරයට යායුතු බව නිවේදනය විය. සාලයේ එක් ලාම්පුවක් පමණක් දල්වන ලෙසද නියම කෙරිණ. (විදුහලට විදුලි බලය නොතිබුණි.) කිසිවෙකුට පුර්ණ සුර්යග්‍රහණයක් පිළිබඳ අවබෝධයක් නැතත්, ප්‍රචාරය කර තිබුණු දැඩි උපදෙස් අකුරටම ක්‍රියාත්මක කිරීමට කවුරුත් උනන්දු වුහ.
මේ අතර විදුහල්පති තුමාගෙන් අපට සතුටු දායක ආරංචියක් ලැබිණ. විදේශයක සිටින ඔහුගේ මිතුරෙකුගෙන්  සුර්යග්‍රහණය බැලීම සඳහා විශේෂයෙන් සකස් කළ ඇස් කන්නාඩි කිහිපයක් ලැබී තිබෙන නිසා  ඔහු ශිෂ්‍ය නිවාසයට පැමිණ කැමති සිසුන්ට  සුර්යග්‍රහණය බැලීමට සලස්වන බව කිවේය. ඒ සමගම ජලය පිරවූ  බේසම් මිදුලේ තබා, නිශ්චල වන ජලයෙහි පෙනෙන සුර්යග්‍රහණය පියවි ඇසින් බැලිය හැකි බවද අපට දන්වන ලදී.


සුර්යග්‍රහණය බැලීම සඳහා විශේෂයෙන් සකස් කළ ඇස් කන්නාඩි

නියමිත වෙලාවට මිනිත්තු කිහිපයකට කලින් විදුහල්පති තුමා පැමිණ සුවිශේෂී කන්නාඩි පාවිච්චි කරන ආකාරය අපට පෙන්වා දුන්නේය. ඒ සමගම ජල බේසම් කිහිපයක්ද මිදුලේ සකස් කරන ලදී.
පෙරවරු අටට කලින් වුවද තරමක අඳුරු ගතියක් දකින්නට ලැබිණ. ඒ වන විට සාලයේ ලාම්පුවද දල්වන ලදී. කවුරුත් මේ විස්මිත අත්දැකීම ලැබෙන තුරු පුල පුලා බලා සිටිති.
බේසම් වල සුර්යයාගේ ඡායාව තවමත් පැහැදිලිව පෙනේ.
හරියටම උදේ අට පසුවී මිනිත්තු දහයට විදුහල්පති තුමාගෙන් විධානයක් ලැබිණ.
‘දැන් කවුරුත් පෙළට එන්න. ඉස්සෙල්ලාම ඉර පෙනෙන ආකාරය වතුර බේසමෙන් බලන්න. ඊළඟට මේ කන්නාඩි හොඳින් ඇස් වලට සවිකර තත්පර තුන හතරක් ඉර බලන්න.’
දැන් ක්‍රමක්‍රමයෙන් අඳුර වැඩිවේ. ලාම්පු එළියෙන් පමණක් තරමක ආලෝකයක් ලැබිණ. බටහිර අහසේ තාරකාද දකින්නට ලැබිණ. වෙනදා හිමිදිරි පාන්දරට ඇසෙන කපුටන්ගේ සහ වෙනත් කුරුල්ලන්ගේ නාද ද ඇසෙන්නට විය.
දැන් සූර්යයා ක්‍රමක්‍රමයෙන් වැසි යනු අපට විස්මිත කන්නාඩිය හරහා පෙනේ. කාටත් බියමුසු වුවත්, අමුතුම ආස්වාදයක් දැනෙන්නට විය. අපගේ සමහර සගයින් මහත් තැතිගත් ස්වභාවයක් පෙන්වුහ.

පූර්ණ සුර්යග්‍රහණය
මිනිත්තු හතරකදී පමණ සූර්යයා සම්පුර්ණයෙන්ම වැසි ගියේය. තත්පර කිහිපයකදී ඝනාන්ධකාරය දසත පැතිරිණ.
මෙය සිත සසල කරන මහා බියකරු දසුනකි.
‘රාහු ඉර ගිලලා වැමෑරුවේ නැත්නම් ලෝකයට වෙන්නේ මොකක්ද?’
බියට පත් ලාබාල නේවාසිකයෙකු ප්‍රශ්න කළ විට එය බොහෝ දෙනෙකුගේ සිනහවට කරුණක් විය.  
           ‘පසක්‌  රාහු මුව  පත්  වෙමිනි         බියකර                                                                             අනික්‌ පසින් ලොව හෙළි කෙරෙය හිමකර’
යන සුභාෂිතයේ හඳ රාහු ඇල්ලීම ගැන ඇති කවිය මට සිහි විය.
පූර්ණ සුර්යග්‍රහණය අවසන් වු පසු නැවත අඳුරු ගතිය ක්‍රමයෙන් පහවන්නට විය. පෙරවරු දහය  පමණ වන විට සියල්ලම යථා තත්ත්වයට පත්විය.
සුර්යග්‍රහණ පිළිබඳ තවත් තොරතුරු බිඳක් මෙහිලා සටහන් කිරීම උචිත යයි සිතුවෙමි.
·       තුන් ආකාරයක සුර්යග්‍රහණ සිදුවේ.
·       ඒවා නම්: පූර්ණ, අර්ධ සහ වලයාකාර ග්‍රහණයි.
·       පූර්ණ සුර්ය ග්‍රහණයකදී සුර්යයා සම්පූර්ණයෙන්ම වැසි යයි 
·       අර්ධ ග්‍රහණයයකදී එක් කොටසක්‌ පමණක් වැසෙයි.
·       වලයාකාර ග්‍රහණයකදී සුර්යයාගේ පරිධියේ වළල්ලක් වැනි රවුමක් නොවැසි දිප්තිමත්ව  පවතී.
·       පූර්ණ සුර්යග්‍රහණයක් සිදුවීම සඳහා ස්වාභාවික සංසිද්ධි තුනක්‌ සම්පුර්ණ විය යුතුය.
·       පළමුව චන්ද්‍රයා අමාවක තත්ත්වයේ තිබීම,
·       දෙවනුව චන්ද්‍රයා පෘථිවිය භ්‍රමණය වන පථය හරහා ගමන් කිරීම 
·       තුන්වෙනුව චන්ද්‍රයාගේ පථයේ පිහිටන ස්ථානය  සුර්යයාගේ ගමන් පථයට ආසන්නවම පිහිටීන        ස්ථානය වීම.
·       මෙසේ සිදුවන විට සුර්යයා, චන්ද්‍රයා සහ පෘථිවිය, එක් රේඛාවක පිහිටන පථයේ  චන්ද්‍රයා මැදින් සිටි .
·       පෘථිවියේ සිට ග්‍රහණය නිරික්ෂණය කරන අයෙකු මෙම පථය ඇතුලත සිටිනම් ඔහුට පූර්ණ සුර්ය ග්‍රහණයක් දකින්නට ලැබේ.
·       චන්ද්‍රයා පෘථිවිය වටා භ්‍රමණය වනුයේ දින 29.5 කට වරකි.
·       එහෙත් ග්‍රහණ සිදුවීම සඳහා අවශ්‍ය නිර්ණායක සියල්ල සම්පුර්ණවී පුර්ණ ග්‍රහණයක් සිදුවනුයේ කලාතුරකිනි.
·       1955 ජුනි 20 දින සිදුවූ  පූර්ණ සුර්ය ග්‍රහණය 11 වන ශත වර්ෂයේ සිට 22 වන ශත වර්ෂය දක්වා කාල සිමාව තුලදී සිදුවන  දීර්ඝතම වේලාවක් පවතින පූර්ණ සුර්ය ග්‍රහණයයි.
·       එහි උපරිම කාල සීමාව මිනිත්තු 7 තත්පර 8 කි.


This map sourced from NASA's Eclipse Web Site 
1955 ජුනි 20 දින සිදුවූ  පූර්ණ සුර්ය ග්‍රහණ පථය

·       මෙම පූර්ණ සුර්ය ග්‍රහණය ඉන්දියන් සාගරයේ මාලදිවයින් අසලින් ආරම්භවී  ශ්‍රී ලංකාව ඔස්සේ තායිලන්තය හරහා පිලිපීනය සහ සොලමන් දුපත් පසුකර පැසිපික් සාගරයේදී අවසන් වි තිබේ.
·       ශ්‍රී ලංකාව තුළ පූර්ණ සුර්ය ග්‍රහණය පවතින තීරුව 25km (සැතපුම් 158 ක පමණ ) පළලින් යුක්තය
කුමන ආකාරයේ සුර්ය ග්‍රහණයක් වුවත් පියවි ඇසින් නිරීක්ෂණය කිරීම ඇස් වලට හානිකරය. ඇසෙහි කණිනිකාව (cornea) නම් මතුපිට සියුම් පටලය සුර්ය විකිරණය මගින් හානිවී ඇස් අන්ධ විය හැකිය. දුරේක්ෂයක් (telescope) හෝ දෙනෙතියකින් (Binoculars) වුවද කෙලින්ම බැලීම හානිකරය. කැමරාවකින්, දුරේක්ෂයක් හෝ දෙනෙතියකින් ලබාගන්නා ඡායව තිරයක්‌ මත පතිත කරවා බැලීම සුදුසුම ක්‍රමයයි. පහසුවෙන් සකස් කර ගත හැකි සූචි සිදුරු කැමරාවකින් (Pin-hole camera) ලබාගත හැකි ඡායව වුවද තිරයක් මත පතිත කරවා ගත හැකිය. ජල බේසමක ජලයෙහි හටගන්නා ඡායව බැලීමද ඇස් වලට අහිතකර නොවේ.
1955 සුර්ය ග්‍රහණයත් සමග අපේ කාන්තාවන් බොහෝ දෙනෙකු සිරුර පැහැපත් වීම සඳහාත්, තාරුණ්‍යය වර්ධනය කර ගැනීම සඳහාත් මේ අවස්ථාවේදී  වදකහ කෂාය බිම නිසා මහත් කරදර වලට මුහුණ පෑහ. වදකහ කෂාය පිලිබඳ වැඩි ප්‍රසිද්ධියක් නොතිබුණනත් ගොඩ වෙදුන්ගේ සහ කුට ජෝතිශ්ශාස්ත්‍රඥන්ගේ ප්‍රචාර  ආරංචි මාත්‍රයෙන් හෝ දැනගත් කාන්තාවන් පුර්ණ සුර්ය ග්‍රහණය පවතින වේලාවේදී වදකහ කෂාය බි තිබේ. මෙය කුඩු වශයෙන් විකිනීමට සකස් කර තිබුණු බව දැනගන්නට තිබේ.  සමහරවිට වදකහ වලින් අධික ලෙස බඩ විරේක වීම සහ වමනය යාම සිදුවන  බව ඔවුන් නොදැන සිටින්නට ඇත. එදින දහවල් වන විට රටෙහි සියලුම ආරෝග්‍ය ශාලා අධික ලෙස බඩ  විරේකයෙන් සහ වමනයෙන් පිඩා විඳින කාන්තාවන්ගෙන් පිරි ඉතිරි යන්නට විය.
මෙය රටෙහි මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් විය. ඊටපසු දිනපතාම වාගේ, අධික විරේකය නිසා තදබල ලෙස ඔත්පලවූ කාන්තාවන් ගැනද අසන්නට ලැබුණි. ඒ දිනවල කවි කොළ, කවි පොත්, පත්‍ර වාර්තා, ගී, සින්දු, බයිලා, කාටුන් චිත්‍ර  ආදියටද ‘වදකහ සුදිය’ හාස්‍ය ජනක මාතෘකාවක් විය.
‘වදකහ සුදිය’ පිළිබඳව  සමන් ද සිල්වා ගායකයාගේ බයිලා පහත  ලින්ක් එකෙන් අසන්න
https://www.youtube.com/watch?v=Zkv3CyH0-wU
සමහර තොරතුරු අන්තර් ජාලයෙනි

8 comments:

  1. 1955 සූර්යග්‍රහණයේ සිට කෝවිඩ් දක්වා වූ ගමනේදී "වදකහ සුදිය මානසිකත්වය" නොවෙනස්ව අද දක්වාම පවතිනව කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි ! covid කාලෙදිත් ධම්මික පැණිය, මුට්ටි ගඟේ දැමීම වගේ මිත්‍යා වැඩ වලට 'මැටි' ඇමති වරුන්ගේ සිට සාමාන්‍ය ගැමියා දක්වා විශාල පිරිසක් රැවටුනානේ. ඒ මදිවාට COVID වයිරස රෝග වාහකයින් හඳුනා ගැනීමේ "විද්‍යාත්මක" උපකරණයක් යයි කියමින් යම්කිසි බොරු ඇටවුමක් ගුවන් තොටුපලෙත් අටවා ඒ කාලේ සිටි සෞඛ්‍ය අමතිනියවත් රැවටුවා.

      Delete
  2. සුබ සුව අලුත් අවුරුද්ද ක් වේවා
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔබ සැමටත් ඉසුරු බර සුබ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  3. හොඳ විස්තරයක්.ස්තූතියි
    +++++++++++++++👌🙏

    ReplyDelete
    Replies
    1. ස්තුතියි DGM . අප්‍රියෙල් 8 වනදා සිදුවූ පූර් ණ සූර් ය ග්‍රහණය ගැන තොරතුරු කියවන විට, මා දැනට අවුරුදු 70 කට පමණ ඉහතදී පාසල් යන කාලයේදී සියැසින් දුටු, පූර් ණ සූර් ය ග්‍රහණය ගැන ලියන ලද Blog post එක නැවත පළ කිරීම යෝග්‍ය යයි සිතුවා.

      Delete
    2. ආන්න ජංසං. තව දාහක් වටිනවා.🙏💐👌😊

      Delete