Tuesday 5 May 2020

වෙසක් මතක …... එදා මෙදා වෙසක්


එදා මෙදා වෙසක් 

  මේ 2020 වර්ෂයේ වෙසක් මාසයේ, වෙසක් සතියයි. මීට පෙර කිසිම කාලයක නොවූ ආකාරයට කොරෝනා වයිරසය ලොව වෙලාගෙන තිබෙන නිසා, මෙවර වෙසක් ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා යන අංශ දෙකටම අවහිරතා මතුවී තිබේ. පාසල් යන වයසේ දරුවන් ගෙදරටම කොටුවී සිටින මෙවර වෙසක් කූඩුවක් සකස් කර ආලෝකමත් කිරීමෙන් හෝ අඩු තරමින් පොල් තෙල් පහනක් වත් දල්වා වෙසක් සැමරිය හැකිය.

දශක හතකට පෙර වෙසක් අත්දැකීම් ස්වල්පයක් නැවත ආවර්ජනය කිරීමෙන්, ඒ සොඳුරු ළමා කාලයේ මතක සටහන් ඔස්සේ අතීතයට එබිකම් කිරීමකි මේ. වෙසක් කුඩුවක් තැනීමේ මාගේ මුල්ම මතකය දිව යන්නේ අපට නිදහස ලැබුණු 1948 වර්ෂයටය. මහත් ගාම්භීර අන්දමට පැවැත්වූ පළමු නිදහස් උත්සවයෙන් පසුවද, රටෙහි ඒ පිලිබඳව විවිධ ආකාරයේ සංදර්ශන රැස්වීම් ආදිය පැවැත්වුණි. පාසල් වලද නිදහස පිලිබඳ දැනුවත් කිරීම් අනිවාර්ය කර තිබිණ. ප්‍රාථමික පාසලේ හතරවන ශ්‍රේණියේ සිටි අපගේ පන්ති භාර ගුරු තුමිය ඉතාමත් කැපවීමකින් යුක්තව ඉගැන්වීම කළ බව අපට තේරුම් ගත හැකි වූයේ බොහෝ කලකට පසුවය. ඒ අප තරමක් වයසින් මේරු පසුවය. අප පන්තියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පහළොස් දෙනෙක් පමණ සිටියහ. වර්ෂය ආරම්භයේදීම අපට අවුරුද්දේ මාස දොළහේ නම් ඉගැන්වූ ගුරු මහත්මිය, දුරුතු, නවම්, මැදින් ආදී වශයෙන් යෙදෙන සිංහල නම්ද කියා දුන්නාය. පෙබරවාරි මාසයේදී ඇය විසින් ‘නිදහස’ පිළිබඳව කරන ලද සරල සහ සිතට කා වැදුණු විස්තරය අදටත් මතක තිබේ. ඊළඟට සිංහල අලුත් අවුරුද්ද පිලිබඳ විස්තරයයි. කොහාගේ හඬ ඇසීම සහ රතු එරමුදු මල් පිපීම අළුත් අවුරුදු ලංවීමේ සංකේත බව මුලින්ම අවබෝධ වූයේ ඇයගේ ඉගැන්වීම නිසාය.

මේ සියල්ලටමත් වඩා තවමත් මතකයේ රැව් පිළිරැව් දෙමින් පවතිනුයේ, වෙසක් කූඩු තැනීම සම්බන්ධව ගුරුතුමිය අපට ලබාදුන් ප්‍රායෝගික අත්දැකීමයි. ඒ කාලයේ වුවද මේ සෑම තේමාවකදිම පන්තියට පැවරුමක් දී, එය ඇගයීමක් කර සමහර අවස්ථාවලදී, ඉතා හොඳ මට්ටමෙන් අවසන් කළ පැවරුම් සඳහා තෑගී බෝග දීමද ඇය පුරුද්දක් වශයෙන් කළාය. ඒ කාලයේ අපට තෑගී බෝග වශයෙන් ලැබුණේ පැන්සලක්, ගල්කූරක්, මකන කෑල්ලක් වැනි සරල දෙයක් වූවත්, ඒවා කුඩා අපගේ උනන්දුව වැඩි කිරීමට බොහෝ සමත් විය. අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් පටන්ගත් දිනයේම, අපගේ ගුරු මහත්මිය, අත්වැඩ පාඩම වෙලාවේදී අටපට්ටම් වෙසක් කුඩුවක් සකස් කරන ආකාරය පිළිබඳව අමතක නොවන විස්තරයක් ප්‍රායෝගික වැඩද සමග පැහැදිලි කර දුන්නාය. මේ අත්දැකීම අදටත් ස්මරණය කළ හැක්කේ එයින් ලැබුණු ආභාෂය අදටද මනාව ගැලපෙන නිසාය.

එදින අත්වැඩ පාඩම ආරම්භයේ දීම, අටපට්ටම් වෙසක් කුඩුවක් ගැන විස්තර කළ ගුරු මහත්මිය, ගෙදරින් ගෙනවිත් තිබුණු, බට පතුරු, රබර් පටි (‘ඔට්ටුපාල්’), වෙසක් කඩදාසි ආදිය අපට දැක බලා ගැනීමට සැලැස්වූවාය. ඊළඟට, එක ප්‍රමාණයට කපා සකස්කර ගත් බට පතුරු හතර බැගින්, ’ඔට්ටපාල්’ රබර් පටි වලින් බැඳ සකස් කර ගන්නා ආකාරය මැනවින් පැහැදිලි කළාය. හතරැස් කොටු හයක් මුල්ලෙන් මුල්ලට එකට බැඳීමෙන් අට පට්ටම් කූඩුවක් සකස් වීම අපට මහත් විශ්මය ජනක දෙයක් විය.
ඊළඟ සතියේ අත්වැඩ වේලාවේදී, වෙසක් කුඩුවේ ඇලවීම සඳහා, වෙසක් කඩදාසියකින් හතරැස් කොටු හතරක් සහ තුන් හුලස් කොටු අටක් කපා ගන්නා ආකාරයත්, කුඩුවේ එල්ලන රැළි කපාගන්නා ආකාරයත් පෙන්වා දුන්නාය.

තුන්වන සතියේ, සකස් කරන ලද කූඩුවට, කැපූ කඩදාසි පාප්ප ගා අලවන ආකාරයත් පෙන්වා දී අට පට්ටම් කුඩුවක් සකස් කිරීම අවසන් කළාය. අවසානයේදී ගුරුමහත්මිය අප පන්තියේ සියලු දෙනාටම වර්ණවත් වෙසක් කඩදාසි දෙක බැගින් බෙදා දී, සති අන්ත පැවරුමක් ලෙස වෙසක් කූඩුවක් සාදන ලෙසත්, එය නොවරදවාම ඊළඟ සතියේ සඳුදා පන්තියට ගෙනෙන ලෙසත් නියම කළාය. හොඳම වෙසක් කුඩුව සඳහා තෑග්ගක් දෙන බවත් ගුරු තුමිය පැවසුවාය.

මේ වනතුරු කිසි දිනක වෙසක් කූඩුවක් තනා නොතිබුණු මම, එම පන්ති ක්‍රියාකාරකමෙන් පසු, කෙසේ හෝ තනිවම වෙසක් කූඩුවක් තැනීමට තීරණය කළෙමි. වෙසක් දිනය ඊළඟ සතියේ සෙනසුරාදාට යෙදී තිබිණ. වෙසක් කූඩුව සකස් කිරීමට අවශ්‍ය බට පතුරු කපා ගැනීම සඳහා අපගේ ඥාති හොහොයුරෙකුගේ උදව් ලබා ගැනීමට හැකිවිය.
සිහින් බට පතුරු එකට තබා, රබර් පටියෙන් බැඳීම මට කිසිසේත් හුරු දෙයක් නොවීය. පැය දෙකක් පමණ මහන්සිවී හතරැස් කොටු හය අවසන් කරගත හැකිවිය. මුළු එකට තබා බැඳීමටත්, ඉටිපන්දමක් දැල්වීම සඳහා පොල් පිත්තකින් කපා ගත් පතුරක් කූඩුවේ පතුලේ තබා බැඳීමටත්, කඩදාසි මිණුමට කපා ගැනීමටත් තාත්තාගේ උදව්ව ලැබිණ. අම්මා කුඩු ඇලවීම සඳහා පාප්ප සාදා දුන්නාය. කඩදාසි ඇලවීමත්, එල්ලන රැලි කපා ගැනීමත් මට තනිවම කර ගත හැකිවිය. තවත් පැය කිහිපයක මහන්සියෙන් මට අංග සම්පුර්ණ අටපට්ටම් කුඩුවක් තනා නිම කළ හැකි විය.
සති අන්තය පසුවී ඊළඟ සඳු දින වෙසක් කූඩුවත් රැගෙන පන්තියට යනතුරු මට ඉවසුම් නැතිවිය. රාත්‍රියේ නින්දට යනවිටත් වෙසක් කූඩුව ඇඳ අසලින්ම එල්ලා ගත්තෙමි. එදා සඳුදා වෙනදාටත් වඩා කලින් පාසැලට ගියෙමි. පන්තියේ තව කිහිප දෙනෙකුද වෙසක් කුඩු ගෙනැවිත් තිබුණි. ටික දෙනෙකු අවසන් නොකළ කූඩු ගෙනැවිත් තිබුණි. කූඩු අවසන් කළ අප කිහිප දෙනාත් ගුරු තුමියත් උදව් කර සියලුම කූඩු ටික වේලාවකින් අවසන් කළ හැකි විය. පන්තිය හරහා ලනුවක් ඇද අප සියලු දෙනාගේම කුඩු එල්ලුවෙමු. විවේක වෙලාවේදී, ගුරු මණ්ඩලයේ සියලු දෙනාම අපගේ පන්තියට පැමිණ වෙසක් කූඩු බලා අපට ප්‍රසංශා කළහ. පාසැල ඇරීමට ටික වේලාවකට කලින්, ප්‍රාථමික අංශයේ පන්ති පහේම සිසුන් පෙළ ගැසී අවුත් අපගේ වෙසක් කුඩු ප්‍රදර්ශනය නැරඹුහ. මෙය අප සියලු දෙනාටම මහත් ආඩම්බරයක් විය. වෙසක් කුඩු දහයක් අතුරෙන් මගේ කුඩුවට ප්‍රථම ස්ථානය ලැබුණි. මහන්සියට ප්‍රතිඵල ලැබීම නිසා මම මහත් සතුටට පත්වීමි. අභ්‍යාස පොත් දෙකක්, පැන්සලයක් සහ මකන කෑල්ලක් මට ලැබුණු තෑගි විය.

ඒ කාලයේ අප නිවසට විදුලි බලය නොතිබුණු නිසා, වෙසක් කූඩු ආලෝකමත් කිරීම සඳහා ඉටි පන්දම් දැල්වීමට අවශ්‍ය විය. සති අන්තයේ එළඹුණු වෙසක් දිනයේ මගේ අටපට්ටම් කූඩුව ඉටිපන්දමක් දල්වා ආලෝකමත් කරන ලදී. එදා තනිවම මහන්සි වී සකස් කළ වෙසක් කූඩුවෙන් විහිදුනු ආලෝකයෙන් මගේ ජීවිතයටද මහත් ආලෝකයක් එකතු වන්නට ඇති යයි මට සිතේ. ඒ අභාෂය නිසාම මට එදා මෙදා දශක හයකටත් වැඩි කාලයක් තිස්සේ නොකඩවාම වර්ෂයක් පාසා වෙසක් කූඩු සකස් කර ආලෝකමත් කිරීම නොපිරිහෙලා ඉටු කිරීමට අවස්ථාව ලබා ගත්තෙමි.

වෙසක් කූඩු තැනීමේ අතීතයේ සිදුවූ රසමුසු සිද්ධිද කිහිපයක් සඳහන් කළ හැකිය. 

         විදුලි බලය නොමැති කාලයේ වාර කිහිපයක්ම වෙසක් කූඩුවල සවිකළ ඉටිපන්දම පෙරළී
         වෙසක් කූඩු එකක්, හෝ සියල්ලම ගිනිබත්වූ අවස්ථාද කිහිපයකි.

         තවත් අවස්ථාවකදී, මිදුලේ එල්ලා තිබුණු අටපට්ටම් කූඩු දහයක පමණ වැලක්, දහවල්
         කාලයේ  කඩාවැටුණු ධාරානිපාත වර්ෂාවක් නිසා සියල්ල විනාශවී කූඩු සැකිලි පමණක්             
         ඉතිරිවිය            .

         ගෙදරට විදුලි බලය ලැබුණු පසු වෙසක් කූඩු වැලක සියලුම කූඩු වලට විදුලි බල්බය බැගින්                            
සවි කිරීමේ නිවැරදි ක්‍රමය අප දන්නා විදුලි කාර්මිකයෙකු වෙත ගොස් ඉගෙන ගැනීමට හැකි
වීමද විශේෂ සිද්ධියකි.

         මතකයේ හැටියට තනිවම සකස් කර අවසන් කළ හැකිවූ වැඩිම අටපට්ටම් කූඩු සංඛ්‍යාව
         දහ අටකි. මේවාද ආලෝකමත් කරන ලද්දේ ඉටිපන්දම් එළියෙනි.

         පසු කාලයේදී විදේශගතව සේවය කරද්දීද වෙසක් කූඩු සකස් කර ආලෝකමත් කිරීම
         කෙසේ හෝ නොකඩවා කරන්නට ලැබීමද විශේෂත්වයකි..

මෙහි දැක්වෙනුයේ මෑත කාලයේ ගතවූ වසර කිහිපයකදී සහ මෙවර වෙසක් සැමරීම සඳහා සකස්කර ආලෝකමත් කරන ලද වෙසක් කූඩුවල ඡායාරූප කිහිපයකි.

වෙසක් කූඩු තැනීම සඳහා, එදා මා කුඩා කාලයේදීම යොමු කළ ඒ දයාබර ගුරු මහත්මියට මෙය උපහාරයක්ම වේවා.!

12 comments:

  1. වෙසක් කූඩුවක ගහපු ඉටිපන්දමක් පෙරළිලා කූඩුව ගිනි ගැනීම අනිත්‍යය ගැන වැටහීමක් ලබාගන්න පුලුවන් කාරණාවක්ය කියල කවුද කියල තිබුණ මතකයි.
    අවාසනාවකට දැන් ඉන්න ළමයි කී දෙනෙකුට උණ ගහකින් පතුරු කපාගෙන වෙසක් කූඩුවක් හදාගන්න පුලුවන්ද කියල හිතාගන්න බෑ.

    බල්බ් හයිකරන ක්‍රමේ කියන්නෙ සමාන්තරගත ක්‍රමේ වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      කලකින් මෙසේ හමුවූවේ! මටත් මතකයි වෙසක් ධර්ම දේශනාවකදී ස්වාමින් වහන්සේ නමක්ද ඔය අදහසම ප්‍රකාශ කළා. ඇත්තටම් බට හෝ උණ පතුරු කපා ගැනීමේ සිට කඩදාසි අලවා විසිතුරු කිරීම දක්වා ක්‍රියාවලිය භාවනාවක් වැනි දෙයක් ලෙස සැලකිය හැකියි. ඒ තරමටම සංවර කමක් අවශ්‍යයි. තුනී කඩදාසිය පාප්ප ගා ඇලවීම. එල්ලන රැලි කැපීම වැනි දේ ඉතාමත් සීරුවෙන් කලයුතු දේවල්. ඒ උනත් අද සිටින දරුවන්ට පහසුකම් වැඩි නිසා එවැනි දෙයට පෙළඹීම අඩුයි. ඊටත් වඩා අද ප්ලාස්ටික් වෙසක් කුඩු මිලදී ගැනීමටත් තිබෙනවානේ.
      කුඩා කාලයේදීම සමාන්තර බල්බ් වැලක් ප්‍රවේශම් සහිතව අමුණා ගැනීමට ඉගෙන ගත් එකත් ඒ කාලයේ ආඩම්බර වීමට කරුණක්.

      Delete
    2. මාත් අවුරුදු හතලිහකටත් වඩා වැඩි කාලයකින් වෙසක් කූඩුවක් සාදා නෑ. පුතා කුඩා කාලයේ උණ බම්මු කෑල්ලක් ද නිවසට ගෙනාවත් කම්මැලි හිතුණා.

      අවසන්වරට කුඩුවක් සැදූවේ රෙඩි මේඩ් කෑලි එකලස් කිරීමෙනුයි.
      https://rasikalogy.blogspot.com/2017/05/post-modern-vesak.html

      !!!

      Delete
    3. Link එක ඔස්සේ ගොස් ඔබගේ Blog සටහන කියවූවා. වෙසක් කූඩූවත් වාණිජ භාණ්ඩයක් වීම වෙළඳ පලට වාසියක් විය හැකියි. ඒ උනත් අපගේ පාරම්පරික කුසලතා සම්පුර්ණයෙන්ම අමතක කර දැමීම අභාග්‍යයක්. මේවා දරුවන් හරහා පාරම්පරික විය යුතුයි.

      Delete
  2. ඔබට මතකද ඒකාලේ පාසැල් පොතක පාඩමක් තිබුනා. මට මතක විදියට "ලොකු අයියා" ද කොහෙද! අයියා විසින් හදාපු වෙසක් කූඩුව දැල්වීමට ගිය මල්ලී අතින් එයට ගිනි ඇවිලෙන කතාවක්!?

    ReplyDelete
  3. ස්තුතියි,
    මේ කියන පාඩම ගැනත් පොඩි මතකයක් තිබෙනවා. මාතෘකාව මටත් මතක නැහැ. ඒ වගේම ළමා කතාවක් මාර්ටින් වික්‍රමසිංහ ශුරීන්ගේ 'මගේ කතාව' කෙටිකතා සංග්‍රහයේ 'බබාගේ වෙසක් පහන' නමින් තිබෙනවා. ඒ කතාවේ අයියා සකස්කළ බට පතුරු නංගී අතෙහි මිට මොලවා ගන්නවා. අයියා ඒ පතුරු උදුරා ගන්නාවිට නංගිගේ අත බට පතුරු වලට කැපෙනවා. මේ නිසා දෙදෙනාම හඬනවා......

    ReplyDelete
  4. කාලයත් සමග සියල්ල වෙනස් වෙනවා.

    ඒ කාලේ කළ විදියට දැන් අපි අතින් ලියන්නේ නෑ වගේ වෙසක් කූඩු වෙනත් ආකාරවලට සෑදීමත් කාලය සමග සිදුවුණු වෙනසක්.

    ReplyDelete
  5. අතින් ලිවීමත් එක්තරා හසුරු කෞශල්‍යයක්. මිනිස්සු ලිවිම සම්පූර්ණයෙන්ම අතහැර දැමුවොත් පරිණාම වාදයේ තිබෙන "Use and disuse" සංකල්පයට අනුව දිගු කාලයකට පසුව ලිවීමේ හැකියාව සම්පුර්ණයෙන්ම නැතිවී යන්නටත් ඉඩකඩ තිබෙනවා. අනිත් සියලු කුසලතාත් ඒ ආකාරයට ටිකින් ටික නැති වන්නට පුළුවනි.

    ReplyDelete
  6. අපේ 5 ශ්‍රේණිය නවමග පෙළ පොතේ තිබුණේ 'ලොකු අය්යා ' වෙසක් කුඩුව ගැන කතාව. ඒක කියවල හරියට දුක් වුණා ඒ දවස් වල.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය කතාව කොහේ හරි කියවූවා මතකයි. අපේ කාලේ ප්‍රාථමික පන්ති කියවීම් පොත් පෙළ වුයේ ශික්ෂා මාර්ගය සහ සියබස් මග. ඒ කාලේ අ.ත.ක.ස. (අගනුවර තරුණ කවි සමාජය) මගින් වෙසක් කවි කලාපයකුත් නිකුත් කළා.

      Delete
  7. නැවත නැවත කියවන්න ආසා හිතෙන ලියවිල්ලක් සර්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ක්ෂේම භුමි,
      ළමා කාලයේදී ඉතා ආසාවෙන් ඉගෙනගත් බොහෝ දේ ජිවිත කාලයටම අමතක වන්නේ නැහැ.

      Delete