Friday 22 May 2020

 
අධ්‍යාපන කටයුතු වලදී,  එදා …..  උතුර සහ දකුණ අතර තිබුණු සහයෝගය
     දැනට දශක හතරකට පමණ ඉහතදී අප රටෙහි ඇතිවූ ජාතිවාදී අරගලය නිසා උතුර සහ දකුණ අතර තිබුණු සම්බන්ධය බොහෝ දුරට පලුදු විය. සමහර අදූරදර්ශි අතලොස්සකගේ ක්‍රියාකලාප නිසා ජනවාර්ගික ගැටළු ඇතිවිය. කෙසේ වෙතත් එකළ අධ්‍යාපන සංවර්ධනය සඳහා උතුරෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව නොරහසකි. මේ සම්බන්ධයෙන් මාගේ පෞද්ගලික අත්දැකීමක් මෙසේ සටහන් කර තබමි. 

ඇමෙරිකාව විසින් චන්ද්‍රිකාවක් ගුවන් ගතකිරීමත් සමග, පසුගිය හැටේ දශකයේදී ලොව පුරා විද්‍යාව ඉගැන්වීම පිලිබඳ මහත් ප්‍රබෝධයක් ඇතිවිය. මේ කාලයේදී ශ්‍රී ලංකාවේ විද්‍යා අධ්‍යාපනයේද වෙනස් කම් රාශියක් සිදුවිය. ‘සැමටම විද්‍යාව’ යන සංකල්පය යටතේ පාසල්වල විද්‍යාව ඉගැන්වීමට ආරම්භ වීම මෙහි මහඟු ප්‍රතිඵලයකි. මේ සමගම විද්‍යාව මවු බසින් ඉගැන්වීම, කාලීන විෂයය මාලා සංවර්ධනය, පෙළ පොත් සකස් කිරීම, ගුරු පුහුණුව වැනි විශාල කාර්ය භාරයක් අධ්‍යාපන අමාත්‍යංශයට පැවරිණ. මෙයට සමගාමිව විද්‍යා අධ්‍යාපනයේදී පරිසරය සම්බන්ධ කර ගැනීම කෙරෙහිද විශේෂ උනන්දුවක් ඇතිවීම නිසා, ‘ස්ථානගත පරිසර අධ්‍යාපනය’ (on-site environmental education) නමින් නව විද්‍යා අධ්‍යාපන පිවිසුමක් ගැනද සිත් යොමු විය. පන්ති කාමරයෙන් පිටත පාසල් වත්ත, පිට්ටනිය, අවට ඇති කෙත්වතු, මුඩු බිම්, ඇළ දොළ වැනි ඕනෑම ස්ථානයක ජෛව විවිධත්වය ඇතුළු විද්‍යා අධ්‍යයන රාශියක් කළහැකි බවද ඒත්තු ගැන්විණ. මෙහි ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේද අනුග්‍රහය ඇතිව දිවයිනේ ජේෂ්ඨ විදුහල් කිහිපයක් ආශ්‍රිතව ‘ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථාන’ ආරම්භ විය. මෙයින් එක් මධ්‍යස්ථානයක් හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලයයේද ස්ථාපනය කර ගත හැකි විය. 2002 වසර වනවිට දිවයිනේ මෙවැනි මධ්‍යස්ථාන හතළිහක් පමණ ක්‍රියාත්මක විය. මා හට ප්‍රදේශයේ විද්‍යා අධ්‍යාපන නිලධාරි වරයා වශයෙන් හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලයයේ විද්‍යා ක්ෂේත්‍ර අධ්‍යයන රාශියකට සහභාගිවීමට හැකිවිය.

මෙහි විස්තර කිරීමට බලාපොරොත්තු වනුයේ, සාමාන්‍ය ක්ෂේත්‍ර අධ්‍යයන කඳවුරු වලට වඩා තරමක් වෙනස්, ස්වරූපයේ අධ්‍යයනයක් පිළිබඳවය. මෙම අධ්‍යයනය සඳහා කළුතර ප්‍රදේශයේ ගුරුවරු, විදුහල්පතිවරු සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැලී වෙනත් අයද සහභාගී කරවා ගැනීම විශේෂත්වයකි.මෙම අධ්‍යයනය සඳහා අප සහභාගී වුයේ 1981 වර්ෂයේදීය.

මේ වනවිට යාපනයේ තොන්ඩමනාරු ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානය ඉතා හොඳින් ස්ථාපනය වී තිබුණේය. එහි ගුරුවරුන් සඳහා පැවැත්වෙන විශේෂ ක්ෂේත්‍ර අධ්‍යයනයකට සහභාගී වීම පිණිස, කළුතර ප්‍රදේශයෙන් 20 දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගී කරවීම සඳහා අපට ආරාධනයක් ලැබිණ. මෙම ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානය අසලම විශාල කඩොලාන පරිසරයක් තිබෙන අතර, එහි කඩොලාන විශේෂ විවිධත්වය ඉතාම උසස් මට්ටමක පවතී. මේ ප්‍රදේශයට පමණක් ආවේණික මහ කඩොල් විශේෂයක්ද මෙහි තිබෙන බව වාර්තා වේ. අපට හුරු පුරුදු නැති පරිසරයක කරනු ලබන සුවිශේෂී අධ්‍යයනයක් නිසා, බොහෝ දෙනෙකු ඒ ගමන යාමට කැමැත්ත පළකළහ. මේ සඳහා ප්‍රදේශයේ විද්‍යා ගුරුවරු, වීදුහල්පතිවරු සහ අධ්‍යාපන නිලධාරීන් ඇතුළු 20 දෙනෙක් තෝරා ගත හැකිවිය. අධ්‍යාපන කටයුත්තකට සහභාගී වන බැවින්, ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂක තුමාගෙන් නිත්‍යානුකූල අවසරය ලබාගෙන මෙම ගමන යාම සඳහා අපගේ පෞද්ගලික නිදහස් දුම්රිය ගමන් බලපත්‍ර පාවිච්චි කිරීමට තීරණය කර ගතිමු.

නියමිත දින රාත්‍රී කොළඹින් පිටත්වන දුම්රියෙන් ගමන් ආරම්භ කළ අපි, පසුදින හිමිදිරියේම කන්කසන්තුර දුම්රිය ස්ථානයට ලඟා වූයෙමු. අප පිළිගැනීමට තොන්ඩමනාරු මධ්‍යස්ථානයේ සහෝදරවරු කිහිප දෙනෙක් දුම්රියපළට පැමිණ සිටියහ. ඒ අතර මා හොඳින් දන්නා කලින් මුණගැසී ඇති කිහිප දෙනෙක්ද වූහ. අප කවුරුත් එකිනෙකා හඳුනාගැනීමෙන් පසු, ඔවුන් පැමිණ තිබුණු වෑන් රථයෙන්, තොන්ඩමනාරු ක්ෂේත්‍ර මධ්‍යස්ථානයට ගියෙමු. මධ්‍යස්ථානය අසලම තාවකාලික ගොඩනැගිල්ලක අපට කඳවුරු මට්ටමේ නවාතැන් පහසුකම් සපයා තිබිණ. ටික වේලාවක් ගිමන් හැරීමෙන් පසු අපට තෝසේ, මසල වඩේ, සාම්බාර් සහ පොල් චට්නි සමග ප්‍රණීත උදේ ආහාරය ලැබිණ. සියඹලා හා මුරුංගා දැමූ සාම්බාරු හොද්ද ඉතාමත් ප්‍රණීතය. එහි රස තවමත් මතකයේ පවතී.

උදේ ආහාරයෙන් පසු, ක්ෂේත්‍ර මධ්‍යස්ථානයට සම්බන්ධ ගුරුවරු සහ, ප්‍රදේශයේ විදුහල් කිහිපයකින් පැමිණ සිටි උසස් පෙළ සිසුන් කිහිප දෙනෙක්ද සහිතව කණ්ඩායම් පහක් සකස්කරන ලදී. එක් කණ්ඩායමක අට දෙනෙක් විය. සෑම කණ්ඩායමකම නායකයා ලෙස එම පරිසරය හුරු පුරුදු, ඔවුන්ගේම කෙනෙකු බැගින් පත්කර ගන්නා ලදී. එක් එක් කණ්ඩායම මගින්, කළයුතු ක්ෂේත්‍ර අධ්‍යයනය පිලිබඳ සියලු විස්තර සහිතව කලින් සකස් කර තිබුණු අත් පත්‍රිකාද සෑම දෙනාටම ලැබුණි. ඒ සමගම එක් එක් කණ්ඩායමට, අධ්‍යයනය සඳහා අවශ්‍ය විද්‍යා උපකරණ කට්ටලය බැගින්ද ලැබිණ. මේ සියලුම අධ්‍යයන කිරීම සඳහා ජලයට බැසීමට සිදුවන බැවින් ඒ සඳහා සුදුසු ඇඳුමක් ඇඳ සිටීමද අවශ්‍ය බව දන්වන ලදී. ගමන පිටත්වීමට පෙර මධ්‍යස්ථානය භාර ගුරු මහතා විසින්, ක්ෂේත්‍රයේ කරනු ලබන අධ්‍යයන පිලිබඳ කෙටි විස්තරයක්ද කරනලදී. අපි අධ්‍යයනය සඳහා ක්ෂේත්‍ර මධ්‍යස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි කඩොලාන පරිසරයට පයින්ම ගියෙමු.

කඩොලාන පරිසරයේම සුන්දරත්වය විදිමින්, අධ්‍යයනය අතර මගදී, අපට උළුඳු වඩේ සහ ඉස්සො වඩේ කා, බීම සඳහා ඉඟුරු තේ සහිත සංග්‍රහයක්ද ලැබිණ. ඒ අවස්ථාවේ ඉඟුරු තේ වාජීකරණයක් වැනි ප්‍රණීත පානයක් විය. එදින පස්වරු එක පමණ වනවිට සෑම කණ්ඩායමකටම අඩුම වශයෙන් විවිධ තේමා යටතේ අධ්‍යයන තුනක්වත් අවසන් කිරීමට හැකිවිය. ඊට පසු මධ්‍යස්ථානයට පැමිණි අපට යාපනයේ සහෝදර ද්‍රවිඩ ජනතාවට ආවේණික දිවා ආහාර වේලක් ලැබිණ. මුරුංගා, වම්බටු, පරිප්පු, වට්ටක්කා දළු, නීරමුල්ලිය දළු ආදිය එකට දමා සකස් කරනලද, සුප් වැනි කලවම් ව්‍යංජනයක්, කැරන් කොකු සම්බලයක්, තල තෙලෙන් බදින ලද කලපු ඉස්සන්, පපඩම් සහ රසම් සමග උතුරු පලාතට ආවේනික බතක් එදින අපගේ දිවා ආහාරය සඳහා පිළියෙළ කර තිබිණ. දිවා භෝජනයෙන් පසු ලැබුණු, කඩොලාන පරිසරයෙන්ම ලබාගත් ඉදුණු කිරල ගෙඩි වලින් සකස් කරන ලද කිරල යුෂ සහ තල් හකුරු අපගේ රස නහර පිනා ගිය පානයක් විය.

පැයක පමණ විවේකයකින් පසු, අපගේ අධ්‍යයන වාර්තා සකස් කිරීම ආරම්භ කරන ලදී. මෙහිදී යාපනය විශ්ව විද්‍යාලයයේ ජීව විද්‍යා අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය වරයෙකු විසින් කඩොලාන පරිසරය සහ අප විසින් කරන ලද අධ්‍යයන වලට අදාළ වාර්තා සකස් කිරීම පිළිබඳවද වටිනා උපදෙස් රාශියක් ලබාදෙන ලදී. අධ්‍යයන වාර්තා සකස් කිරීම සඳහා, එවේලේ සිට පසු දින දහවල දක්වා කාලය තිබෙන බවද නිවේදනය කර, විමර්ශන කටයුතු සඳහා ප්‍රයෝජනවත් වියහැකි පොත්පත් රාශියක්ද සපයන ලදී.

කණ්ඩායම් පහ වෙන වෙනම වාර්තා සකස් කිරීම කරගෙන ගියහ. අවශ්‍ය වන විද්‍යාගාර පරීක්ෂණ සහ අන්වීක්ෂීය නිරීක්ෂණ සඳහාද අවශ්‍ය පහසුකම් සලසා තිබිණ. සෑම කණ්ඩායමකම සිටි, කඩොලාන පරිසරය ගැන මනා අවබෝධයක් තිබුණු, එම මධ්‍යස්ථානයට සම්බන්ධ කණ්ඩායම් සාමාජිකයින්ගෙන් ලැබුණු සහයෝගය අපමණය. වැඩිහිටි ගුරුවරුන්ගෙන් සමන්විත වූ සියලුම කණ්ඩායම් වල සිටි සිංහල සහ දෙමළ සැමටම ඉංග්‍රීසි පිළිබඳවද මනා දැනුමක් තිබුණි. එසේම, සෑම කණ්ඩායමකටම සම්බන්ධ කර සිටි දෙමළ සිසුන් සියලු දෙනාටම සිංහල කතාකිරීමට හැකිව තිබීමද විශේෂත්වයකි.

යෝජිත වැඩ සටහනට අනුව එදින රාත්‍රී නවය දක්වා වාර්තා සකස් කිරීම් කටයුතු කර, නින්දට යාමට නියමිතව තිබුණි. එහෙත් බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි, ක්ෂේත්‍රයේදී එක් රැස් කරගන්නා ලද තොරතුරු විශ්ලේෂණ සඳහා වැඩි කාලයක් අවශ්‍ය වන බැවින්, රාත්‍රී එකොළහ වනතුරු වැඩ කිරීමට ඉඩකඩ ලැබුණි. අවසානයේදී දිනයේ වැඩ කටයුතු පිළිබඳව කරන ලද, විනාඩි පහළොවක පමණ සමාලෝචනයේ දී අලුත් අදහසක් ඉදිරිපත්විය. කවුරුත් එක හඬින් කැමති වූ ඒ අදහස ඉදිරිපත් කළේ එවකට තක්ෂිලාවේ විදුහල්පති, අප කණ්ඩායමේ, වෝල්ටර් සිල්වා මහතායි. ඔහුගේ වචන වලින්ම එම යෝජනාව මෙසේය.

“අපි මේ රටේ දකුණේ සිට උතුරු කොනට ඇවිත් අපගේ සහෝදර දෙමළ සගයින් එක්ක දවස් දෙකක් ගත කළා. ජිවිතයේ කවදාවක් නොලැබූ ආකාරයට ආගන්තුක සත්කාර ලැබුවා. විවිධ ආහාර පාන ගත්තා. විහිලු තහළු හුවමාරු කර ගත්තා. ඒ වගේම කවදාවත් දැක නොමැති කඩොලාන පරිසරයකට ගොස් ඉතා වැදහත් ක්ෂේත්‍ර අධ්‍යයන රාශියක් කළා. අධ්‍යයන සියල්ල ඇතුලත් කර, සැමටම පහසු වන සේ වාර්තා සකස් කළේ ඉංග්‍රීසියෙන්. මේ සියල්ල ඉංග්‍රීසියෙන් සිංහලට සහ දෙමළටත් පරිවර්තනය කර ඒ වාර්තා සියල්ල ත්‍රි භාෂා කෘතියක් ලෙස සකස් කරමු. මෙහෙම කලොත් මෙය ඓතිහාසික වැඩක් ලෙස වාර්තාගත වේවි.”

ඒ අදහස අත්පොලසන් දී කවුරුත් පිළිගත්හ. ඒ සමගම නැගී සිටි, අප කණ්ඩායමේ සාමාජික, එවකට හොරණ ශ්‍රීපාලි විදුහලේ විදුහල්පති ගාමිණි ගුණරත්න මහතා සෑම දෙනාම දිරිගන්වමින් මෙසේ ප්‍රකාශ කළේය.

“අප ඉංග්‍රීසියෙන් ලියන ලද සියලුම වාර්තා, හෙට එළිවන්නට කලින් සිංහලට පරිවර්තනය කර, ටයිප් කිරීම සඳහා පැහැදිලි අකුරෙන් ලියා දීම මට කළ හැකියි. මා එය සතුටින් භාර ගන්නවා.”

සියලු දෙනාම ඔහුගේ ඉල්ලීම ඒකමතිකව අනුමත කළහ.

ගාමිණි ගුණරත්න මහතා වසර දහයක් පමණ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සේවය කළ ඉංග්‍රීසි සහ සිංහල භාෂා පරිවර්තනය පිලිබඳ විශේෂඥයෙකි.

ඒ සමගම තොන්ඩමනාරු ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානයේ, රත්නසබාපති පිල්ලේ මහතා සියලුම වාර්තා දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමට භාර ගත්තේය.

යෝජිත අදහස් ඉතා සතුටෙන් පිළිගත් මධ්‍යස්ථානයේ සංවිධායක මණ්ඩලය, වහාම ක්‍රියාත්මක වී, ක්ෂේත්‍ර අධ්‍යයන වාර්තා ටයිප් කිරීම සඳහා සිංහල ටයිප් රයිටරයක් සහ ටයිප් කිරීම පිණිස, කිට්ටුව පදිංචි වී සිටි යාපනය සිංහල මහා විද්‍යාලයේ වාණිජ අංශයේ ගුරු මහත්මයෙකු ගෙන්වා ගත්තේය. (මේ කාලයේදී පරිගණක භාවිතය ආරම්භ වී නොතිබිණ සියළුම ලේඛන කටයුතු සඳහා භාවිත කරන ලද්දේ යතුරු ලියනයයි.) රූප සටහන් නිවැරදිව ඇඳීම ගුරුවරයෙකුගේ සහාය ඇතිව ශිෂ්‍යයින් තිදෙනෙකුට පැවරිණ. ඉංග්‍රීසියෙන් සහ දෙමළෙන් ටයිප් කිරීම මධ්‍යස්ථානයේම දෙදෙනෙකු විසින් භාර ගන්නා ලදී.

අප කණ්ඩායමට පසුදින රාත්‍රී දුම්රියෙන් ආපසු කොළඹ බලා පිටත් වීමට නියමිතව තිබුණි. මේ නිසා අධ්‍යයන වාර්තා භාෂා තුනෙන් සකස් කිරීම, ඉංග්‍රීසි සිංහල සහ දෙමළෙන් රෝණියෝ කිරීම සඳහා භාවිත කළ විශේෂ ‘ස්ටෙන්සිල්’ කඩදාසි වල ටයිප් කිරීම, රූප සටහන් නිල් පැහැති විශේෂ ‘ස්ටෙන්සිල්’ කඩදාසි වල අතින් ඇඳ, සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම නම් කිරීම යන සියල්ල ඉතා කඩිනමින් කළ යුතු විය. මේ සඳහා සියල්ලෝම තම දායකත්වය නොඅඩුව ලබා දුන්හ.


වාසනාවකට මෙන් මධ්‍යස්ථානය සඳහා, විදුලි බලයෙන් ක්‍රියා කරන රෝනියෝ යන්ත්‍රයක් අලුතින්ම මිලයට ගෙන තිබුණි.

සියලු දෙනාම නින්දට නොගොස් එකාවන්ව කටයුතු කර, පසුදින අලුයම වන විට සියලුම මූලික වැඩ කටයුතු අවසන් කරන ලදී. භාෂා තුනෙන්ම සකස් කිරීමට යෝජිත ක්ෂේත්‍ර අධ්‍යයන වාර්තාව පොතක් ලෙස සකස් කළ විට පිටු සියයක් පමණ තිබෙන බව දකින්නට ලැබිණ. කෙසේ හෝ අභියෝගය ජය ගත හැකි බව කාගේත් නිගමනය විය.


පසුදින පෙරවරු දහය පමණ වන විට පිටපත් සියයක් රෝණියෝ කර අවසන් කර ගත හැකි විය. ඒ වන විට මධ්‍යස්ථානයේ සිටි දක්ෂ ශිෂ්‍යයෙකු විසින් අධ්‍යයනයට ගැලපෙන පිට කවරයක්ද ඇඳ අවසන් කර තිබුණි.
පොතෙහි පිටු, අංක පිළිවෙලට ගොනුකර ‘ස්ටේපල්’ කටු ගසා අවසන් කිරීම සඳහා තවත් පැය දෙකක් පමණ ගතවිය.

කඩොලාන පිලිබඳ ක්ෂේත්‍ර අධ්‍යයනය, අධ්‍යයන වාර්තාව සහ ත්‍රි භාෂා අධ්‍යයන වාර්තා පොත යන සියල්ලම සිතුවාටත් වඩා උසස් ආකාරයට අවසන් කර ගැනීමට ලැබීම ගැන කාටත් මහත් සතුටක් ඇතිවිය.
ටික වේලාවක් විවේක ගැනීමෙන් පසු, අප වෙනුවෙන් විශේෂයෙන් සකස් කර තිබුණු දිවා අහාරය භුක්ති විඳ, පැයක් පමණ සතුටු සාමිචියේ යෙදීමට අවස්ථාවක් එළඹින.

පස්වරු දෙකට සුදානම් කර තිබුණු අවසාන කාර්ය සැසියේ ප්‍රධාන අමුත්තා වශයෙන් පැමිණියේ යාපනය විශ්ව විද්‍යාලයයේ උද්භිද විද්‍යා අංශයේ, ආචාර්ය වරයෙකි. ඔහු විසින් කරන ලද හරබර දේශනයේදී දකුණින් පැමිණි අප කණ්ඩායමත් සමග කරන ලද සුවිශේෂී ක්ෂේත්‍ර අධ්‍යයනය මහත් ඇගයීමකට ලක් කර, සහභාගී වූ අප සැමට විශේෂ ස්තුතියක්ද පුද කළේය.
අප කණ්ඩායම වෙනුවෙන් ඔවුනට ස්තුතියක් කිරීම මා හට පැවරිණ.

එදින සවස තේ පානයෙන් පසු යාපනයේ සහෘදයින්ගෙන් සමුගත් අප ආපසු ඒම සඳහා කන්කසන්තුරේ දුම්රිය ස්ථානයට ගියෙමු. අපට රාත්‍රී ආහාරය සඳහා තෝසේ සහ මසාල වඩේ පාර්සලය බැගින්ද ලැබිණ. ඔවුන්ගෙන් කිහිප දෙනෙකුද අප සමග දුම්රිය ස්ථානයට පැමිණ, දුම්රිය පිටත් වන තුරුම එහි රැඳී අප හා නොයෙකුත් දේ කතා කරමින් සිටියහ.

මෙම සිද්ධියෙන් වසරකට පමණ පසුව ඇතිවූ, ජාතිවාදී කලබල සහ කුරිරු සිවිල් යුද්ධය නිසා ඊට පසු කිසිම දිනක, එවන් හෘදයංගම උතුර - දකුණ සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට අපට නොහැකි වීම කෙතරම් අභාග්‍යයක්ද?

7 comments:

  1. ඉංගිරිසියට පලමු තැන
    සිංහල දෙමල දෙබසට සමදෙවැනි තැන. මේක තමයි දෙමල ජාතිවාදය කියන්නේ.

    තාමත් ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්

    ReplyDelete
  2. අපේ තාත්තා කියලාදීපු කතවක් කියන්නම්.
    මේක වෙලා තියෙන්නේ 1973දී.
    තාත්තාගේ බොස් කෙනෙක් වුන එක දිසාපතිකෙනෙක්ට දරුකමට හදාගත්ත ලමයෙක් හිටියා. එයා මාරුවක් ලැබ යාපනේ රැකියාවකට ගියා. එහෙදි ගෑණු ලමයෙක් එක්ක යාළුවුනා පස්සේ කසාද බඳන්නත් සූදානම් වුනා. ඒ අතර නාදුනන මැර කල්ලියක් කොල්ලව මැරුවා. කියන තරම් සංහිඳියාවක් ඉස්සර තිබුනේ නෑ.

    අනිත් අතට දෙමලා කියන්නෙ අපේ සතුරෙක් අපි සතුරාගේ හොඳ දකින්න අවශ්‍ය නෑ. අපි දකින්න ඕනේ සතුරාගේ ශක්තීන් සහ දුබලකම් පමණයි. අපි හිතන්න ඕනේ සතුරා වනසන් විදිය ගැනම පමණයි. හිට්ලර්ගේ / පාප් වහන්සේගේ හොඳක් කියන බටහිරයෙක් ඉන්නවද?

    ReplyDelete
  3. මා නම් වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන මතයේ සිටින කෙනෙක්. ඉහත දක්වා ඇත්තේ ඔබගේ චින්තනය විය හැකිය. ඕනෑම දෙයක් තර්කානුකූලව කල්පනාකර බලා අවබෝධ කර ගැනීම නුවණට හුරු බවයි මගේ අදහස.

    ReplyDelete
  4. අපි යුද්ධයෙන් පසුව යාපනයේ ගිහින් පවා සාමාන්‍ය ජනයාගේ ආගන්තුක සත්කාර ලැබුවා. එකල හොඳ සම්බන්ධතා උතුර දකුණ අතර තිබු බව අසා තිබෙනවා. නමුත් දේශපාලනය ජාතීන් අතර වෛරය ගොඩ නගනවා. ඡන්දය ලං වීමත් එක්ක ඒ තත්වය අළු ගසා දමා නැගිටිනු සංවිධානාත්මක පොස්ට් වලින් දැන් දැකිය හැකිය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාලිනි,
      යසට තිබුණු රට දේශපාලන මතවාද නිසා විකෘති භාවයට පත්වීම මහත් අවාසනාවක්. දැන් මෙය උග්‍ර ජාතිවාදී අරගලයක් බවට පත්වෙලා. මේ නිසාම අනාගතය ඉතාමත් දුර්දාන්ත විය හැකියි.

      Delete