1. ගස් දෙකක් සහ ‘පිරිමි ගැටයක්’ (Reef knot) …...
මිනිසා විසින් සොබා දහමට කරනු ලබන නොයෙකුත් අඩන්තේට්ටම්, අද ලොව දසදෙසින් අසන්නට ලැබේ. එසේ වුවත් ඉඳහිට හෝ සොබා දහමේ සමහර නිර්මාණ සුළු වශයෙන් වෙනස් කර සෞන්දර්යාත්මක සහ චමත්කාරජනක නිපැයුම් කිරීමටද මිනිසා සමත් වන බව ඉඳහිට දකින්නට ලැබේ. මේ එවැන්නකි. මෙහිදී එකිනෙකට අසලින් වවනලද ශාක දෙකක් වර්ධනය වීමත් සමග ඒවා ගැටයක ආකාරයට හසුරුවා, ලබා තිබෙන මහඟු ප්‍රතිඵලයකි මේ. එහි අවසාන ප්‍රතිඵලය පිරිමි ගැටය (reef knot) ලෙස නම් කර ඇතත් එම ගැටයේ තරමක අඩුපාඩුවක් තිබෙන බව පෙනේ. (ඡායාරුපය සමග දක්වා ඇති ‘පිරිමි ගැටය’ සමග සංසන්දනය කර එම අඩුපාඩුව සොයා ගැනීමට උත්සාහ කරන්න)
භාවිතයේදී, අප මෙම ගැටය පිරිමි ගැටය ලෙස නම්කර තිබෙන්නේ ඇයි? එයට විරුද්ධ ගැහැණු ගැටයකුත් තිබේද? එසේනම් මෙය ගැහැණු ගැටයක්ද?
‘ගැට’ යන වචනයට සිංහල භාෂාවේ විවිධ අර්ථ කිහිපයක්ම ඇති බව පෙනෙන්නට තිබේ.
1. ගැටය - ගසක අත්තක් දිරායාම හෝ බාහිර අනතුරක් නිසා හට ගන්නා විශේෂ පටක ව්‍යුහය
2. ගැට - ලනුවක් බැඳීම හෝ ලනු කිහිපයක් එකට යා කිරීම සඳහා දමන විවිධ ආකාරයේ ගැට (මේවා හොඳින් දන්නේ බාල දක්ෂයෝය)
3.ගැටයා - යව්වනයට එළඹෙන නාඹර තරුණයෙකුට යොදන නම. මෙය වෙනත් අර්ථයකින් නාඹර තරුණියකට යෙදෙන ‘ගැටිස්සි’ යන වචනයේ විරුද්ධ පදයද විය හැකිය.
4. ගැට කැපීම - මෙය ‘පික් පොකට්’ ගැසීම සඳහා යොදන වචනයයි.
5. ගැටයක් ගැසීම - තවත් කෙනෙකු හට කූට ආකාරයට කරදරයක් කිරීම.
6. ගැටය - නොමේරු ගෙඩියක්
ඉහත සඳහන් කළ ‘ගස් ගැටය’ ගැන තව ටිකක් විමසා බලමු. බැලූ බැල්මට මෙම ශාක, Delonix regia හෝ Poinciana regia යන නමින් හැඳින්වෙන, මැයි මාර ‘Flamboyanat’-Flame of the forest’ ශාක දෙකක් ලෙස හඳුනා ගත හැකිය. මේ ප්‍රමාණයට වර්ධනය වීම සඳහා ඒවාට අඩුම වශයෙන් වසර විස්සක්වත් ගතවන්නට ඇත. කුඩා කාලයේදී ගස හසුරුවා ‘ගැටය’ අවසන් කිරීමට වසර දහයක්වත් ගතවිය හැකිය. මෙම විශ්වකර්ම කාර්යය කළ අයට, මනා හික්මීමක් සහ ඉවසීමේ ශක්තියක් තිබෙන්නට ඇතැයි සිතිය හැකිය.
අන්තර්ජාලයේ අහම්බෙන් දුටු මෙම නිර්මාණය පිලිබඳ විස්තර පහත දක්වා ඇති දිගුව ඔස්සේ දැකගතහැකිය. මෙම නිර්මාණය කැලිෆෝනියාවේ ගිල්රෝය් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තවමත් දකින්නට ලැබෙන බව වාර්තාවේ. මෙම ශාක තවත් වර්ධනය වී ද්විතීය පටක එකතුවන විට ගැටය ඇති ස්ථානයේ වෙන වෙනම ඇති ශාක දෙකේ පටක එකට බද්ධ වී, ගැටයේ හැඩය නැතිවී යා හැකි බවද විශ්වාස කෙරේ
අතින් සාදාගත් කැටපෝලයක්
මෙම ‘ගස් ගැටය’ ගැන ලිවීමට සිත්වූයේ මෙයට අනුරුප සිද්ධියක් මටද කුඩා කාලයේදී අත්විඳීමට සිදුවී තිබෙන නිසාය. ඒ කාලයේ මා සිටියේ පහේ පංතියේය. අවුරුදු නිවාඩු කාලයේ අසල්වැසි මිතුරන්ද සමග බට තුවක්කු වලින් වෙඩි තැබීම, කැටපොලයෙන් විද, ඉහල අතුවල ඇති කොස් කොළ සිදුරු කිරීම ආදිය අපගේ ගැමි ක්‍රීඩා විය. වරක් හොඳම “Y” අකුර හැඩයේ කරුවක් සහිත කැටපොලයක් සාදාගැනීම පිණිස, අප කිහිප දෙනා අතර තරඟයක් ආරම්භ කළෙමු. අහල පහල ගසකින් එවැනි කරුවක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, එයින් මා පරාජය විය. කෙසේ හෝ එවැනි කරුවක් ගසකින් සකස් කර ගැනීමට මම උත්සාහ කළෙමි.
මේ සඳහා ගෙදර වත්ත මායිමේ තිබුණු බටතොඹ ගසක අත්තක අග්‍රස්ථ අංකුරය, මඳක් දික් අතට පලා ටික දිනක් නිරීක්ෂණය කළෙමි. මගේ උත්සාහය සාර්ථක වී එතනින් “Y” හැඩයට අංකුර දෙකක් හටගත්තේය. මාස කිහිපයක් යනවිට මට අවශ්‍ය ආකාරයේ “Y” හැඩයේ කරුවක් ලැබිණ. මේ කරුවෙන් සාදාගත් කැටපෝලයට මට ඊළඟ අවුරුදු නිවාඩුවේදී ජයග්‍රහණය හිමිවිය. (https://www.google.com/search?q=reef+knot+tree &rlz=)
2. ස්වාභාවික පරිසරයට, ආගන්තුක ද්‍රව්‍ය එකතුවීම නිසා කැස්බෑවෙකුට අත්වූ ඉරණම
ප්ලාස්ටික් පටියෙන් උවදුරට පත් කැස්බෑවා
මෙම ඡායාරුපයේ දැක්වෙනුයේ මිරිදිය කැස්බෑවෙකු බව හඳුනා ගත හැකිද? සමහරවිට හඳුනාගත නොහැක්කේ උගේ ශරීරය ඉතාමත් විකෘති වී ඇති නිසාය. Wild Life සඟරාවට 1915 වසරේදී මාකස් එරික්සන් නමැති පරිසරවේදියෙකු විසින් ලියන ලද ලිපියක් ආශ්‍රීතව දැනුවත්වූ කරුණු ස්වල්පයක් මෙයට සම්බන්ධ කර ගතිමි.
2007 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව් ඔර්ලියන්ස්හි සංචාරයක යෙදී සිටියදී, තමන් දැන හඳුනාගත් කෙනෙකු විසින් තම ගෙවත්තේ සුරතල් සතෙකු ලෙස තබාගෙන සිටි මේ අරුම පුදුම කැස්බෑවා ඔහුට දකින්නට ලැබී තිබේ. කැස්බෑවාගේ බඳ මැදින් කටුවටම තදවී ඉවත් කිරීමට නොහැකි තත්වයට තිබුණු ප්ලාස්ටික් පටියක් නිසා මේ විකෘති වීම සිදුවී ඇති බව ඔහුට දකින්නට ලැබිණ.
ඔහුට දැනගන්නට ලැබුණු පරිදි මෙම කැස්බෑවා ඉතාමත් ළදරු අවදියේදී, ජලයේ පාවෙමින් තිබුණු ප්ලාස්ටික් කිරි බෝතලයක මූඩියේ මුදුව වැනි කොටස මැදින් රිංගා යාමේදී ඒ වන විට මෘදුවට තිබෙන්නට ඇති බාහිර කංකාලයේ පිටතින් හිරවී ඇත. වසර කිහිපයක් ශරීරය වර්ධනය වීමේදී, ප්ලාස්ටික් මුදුවත් සමග බහිෂ් කංකාලය සහ අභ්‍යන්තර අවයවද විකෘති වීම නිසා මේ තත්වය උදාවී තිබේ.
මේ සඳහා අන්තර්ජාල දිගුව: (https://www.google.com/search?q=Meet+the+Famous+Turtle+With+a+Serious+Plastic+Problem&rlz=1C1CHBF_en-)
මෙම කැස්බෑවා සම්බන්ධ කර ගනිමින් ලොවටම වැදගත් පරිසර පණිවුඩයක් දීමට හැකි බව කල්පනා කළ ඔහු විසින් දියත් කරණ ලද මෙහෙයුම ඔහුගේම වචන වලින් මෙසේය.
“ඇය කැස්බෑවියක් නිසා අපි ඇය ‘මේයි වෙස්ට්’ (Mae West) ලෙස නම් කළෙමු.(මෙය සුප්‍රසිද්ධ නලඟනකගේ නමකි). මුළු ලොවටම වැදගත් පාරිසරික පණිවුඩයක් දීම පිණිස මෙම අහිංසක සත්වයා උපයෝගී කර ගැනීමට සහ වහාම උගේ දිවි ගලවා දීමට ගැනීමට කල හැකි ඕනෑම උපකාරයක් කිරීමට මම තීරණය කළෙමි.”
“මේ සම්බන්ධයෙන් බොහෝ ආයතන සමග සාකච්ඡා කිරීමෙන් පසු, අපට ඒ සඳහා ඉතාමත් ගැලපෙන ස්ථානයක් සොයා ගැනීමට හැකිවිය. මෙසේ අප සොයාගත් ස්ථානය, කැලිෆෝනියාවේ කල්වර් නගරයේ Star Eco Station නම් පරිසර විද්‍යාත්මක කෞතුකාගාරය සහ ආගන්තුක සතුන් ආපදාවලින් මුදවා ගැනීමේ පසුකම් සැපයීම, (Environmental Science Museum and Exotic Wildlife Rescue Facility) නමැති ස්ථානය මේ සඳහා සුදුසුම ආයතනය විය.”
බාධකය ඉවත් කළ පසු කැස්බෑවා
“එහිදී ‘මේයි වෙස්ට්’ ගේ බහිෂ් කංකාලයට තදවී පටකවලට කිඳා බැස තිබුණු ප්ලාස්ටික් පටිය ශල්‍යකර්මයකින් ඉවත්කරන ලදී. ටික දිනකදීම කැස්බෑවියට නව පණක් ලැබුණු ආකාරයක් දකින්නට ලැබුණි. එහෙත් දැනට පටක ඝනවී ඇති බහිෂ් කංකාලය නැතහොත් පෘෂ්ටීය සහ උදරීය කංකාල තහඩු වල ඇතුලට නෙරාගිය කැපුම නැවත යථා තත්වයට පත්කර ගත හැකි වේද යන්න සැක සහිතය.”
මෙය වසර කිහිපයකට ඉහතදී අසන්නට ලැබුණු සිද්ධියකි. මේ සිද්ධියට ලබාදුන් ප්‍රචාරය නිසා මෙවැනි උපද්‍රව වලින් අසරණ සතුන් බේරා ගැනීම සඳහා ලොව පුරා දැනුවත් කිරීමක් කළ හැකි විය.
මේ ලිපිය ලිවීමේදීද මට මෙවැනි එක්තරා පූර්ව සිද්ධියක්ද මතකයට නැගුණි. එය, දැනට වසර විස්සකට පමණ ඉහතදී මා සේවය කළ කාර්යාලය අසලට ආහාර සොයා නිතර පැමිණෙන කපුටෙකු පිලිබඳවය. කවරෙකු විසින් හෝ මෙම කපුටාගේ දකුණු පාදයේ තුනී ලෝහ තහඩු පටියක් තදින් ගැටගසා තිබුණි. මෙය ඉවත් කිරීම සඳහා අපට කපුටා අල්ලා ගැනීමට නොහැකි විය. ඊට මාස කිහිපයකට පසු එම කපුටා ලෝහ පටියෙන්ම ගසක පැටලී එල්ලී මියගොස් සිටිනු දකින්නට ලැබුණි. මෙයද කිසියම් අමනයෙකු විසින් කරන ලද සත්ත්ව හිංසාවක් විය හැකිය.
ස්වාභාවික හේතු නිසා සිදුවන විපත් වලට මෙන්ම, මිනිසාගේ අදුරදර්ශී ක්‍රියා සහ කෘරතර ක්‍රියාකාරකම් නිසාද අහිංසක සතුන්ට සිදුවන උපද්‍රව සුළුපටු නොවේ.
Excellent post, thank you
ReplyDeleteThank you Angel,
ReplyDeleteI was trying to highlight the innovative power of man as well to show that certain loopholes in technology and careless behaviour of man could be harmful to innocent animals.
මටත් හරි ආසාවක් තිබුණා ඔය විදිහට වැටක් ගහන්න, හරස් ලී තියලා ජීවමාන වැළක් ඔතලා... සෑහෙන කල් ගත වෙන වැඩක්...
ReplyDeleteස්තුතියි ඩ්‍රැකී,
Deleteඔය බොහොම හොඳ අදහසක්. කලකට ඉහතදී ඔය ආකාරයේම වැඩක් සාර්ථකව කරගෙන යාමට මටත් හැකි උනා. මේ සඳහා මා භාවිත කලේ පිච්ච වැල් කිහිපයක්. (සමන් පිච්ච නොවේ) එක පෙළට අඩියක පමණ පරතරයක් ඇතිව සිටවූ පිච්ච පැල වර්ධනයත් සමග එක්තරා රටාවකට වියමනක් කළා. මෙය වසර කිහිපයක් යනවිට ගොතන ලද පැලැල්ලක් වාගේ තිබුණා. මල් පිපෙන කාලයට ඉතා හොඳ නිර්මාණයක් ලෙසට පෙණුනා. උත්සාහයක් කරන්න.
ස්තූතියි. ඒ දිරිගැන්වීම බොහොම අගෙයි...
DeleteIs that a crow or a gull?
ReplyDeleteIt was a crow Pra J.
ReplyDeleteඡායාරුප පිලිබඳ අගනා අදහස් දැක්වීමක්. මා මේ ඡායාරූප වලින් ගස හා කැස්බෑව කලින් දැක තිබෙනවා. නමුත් මේ තරම් ඒ ගැන හිතන්න කරුණු එකතු කරන්න හිතුනේ නැහැ. ඒ අතින් ඔබ කර තිබෙන්නේ අනර්ඝ දෙයක්. තව නොයෙක් plastic දේවල් හිරවී කරදරයට පත්වූ සතුන්ගේ සේයාරූ අන්තර්ජාලයේ සැරිසරනවා. කපුටාගේ ඡායාරූපය ඔබේම එකක් වෙන්න ඇති. අපේ නිවෙස් අසල ගසක සරුංගල් නූලක කපුටෙක් පැටලී එල්ලෙමින් හිටියා. ළමයි එකතු වෙලා ඌ බේරුවා. තව ගස් වලට යම් වදයක් දීම නේද බොන්සායි වලදී කරන්නෙත්. ඒ ගැන ඉංග්‍රීසි පැදියක තිබුණා. දැන් හරියට මතක නැහැ.
ReplyDeleteස්තුතියි මාලිනි,
ReplyDelete/තව ගස් වලට යම් වදයක් දීම නේද බොන්සායි වලදී කරන්නෙත්./ මෙවැනි දේ ගස්වලට වදයක් දීමක්ම කියන්නත් අමාරුයි. සමහර වෙලාවට Genetic Modifications වලදී මීටත් වඩා හිංසා කරනවා නේද? ගසකට 'පොඩි වදයක්' දී මම ඒ කාලයේ නියම හැඩයේ කැටපල් කරුවක් තනාගැනීම ඒ කාලයේ ලොකු දක්ෂ කමක් උනා. කපුටාගේ කතාවත් මෙයට සම්බන්ධ
කලේ මිනිසුන් හිතා මතාම සතුන්ට පීඩා කරන බවත් පෙන්වීමටයි. මට හිතෙන්නේ බොන්සයි උනත් ඉතාමත් සංයමයකින් යුක්තව කලයුතු නිර්මානාත්මක කලාවක් බවයි.