Thursday, 16 January 2020

අද වනාන්තර විනාශය හමුවේ, පැරණි මතකයක් - ‘පලංචියේ ලී ඉරීම …..’

අද වනාන්තර විනාශය හමුවේ, පැරණි මතකයක් - ‘පලංචියේ ලී ඉරීම ’
ද ලොව පුරා බහුලව දකින්නට ලැබෙන වන විනාශයේ  අග මුල සෙවීමේදී, නිත්‍යානුකුලව හෝ අවිධිමත් ලෙස ගස් කපා බිම හෙලන්නේ  මිනිස් අවශ්‍යතා සපුරාගැනීම සඳහාත් දැව ජාවාරම් කරුවන්ගේ මුදල පසුපස හඹා යාමත් නිසා  බව අසන්නට ලැබේ. ලෝක බැංකු වාර්තාවකට අනුව 1990 සිට 2016 දක්වා කාලය තුලදී ලොව පුරා වනාන්තර, වර්ග සැතපුම් 502,000 පමණ  ( වර්ග කිලෝමීටර මිලියන 1.3 පමණ) විනාශ වී තිබේ. දළ ගණනය කිරීමකට අනුව වනාන්තර වර්ග කිලෝමීටරයක වැඩුණු ගස් 50,000 කට වඩා තිබිය හැකිය. මෑතදී ලබාගෙන ඇති දත්ත අනුව, වසරකට ලොව පුරා වනාන්තර වල ගස් බිලියන පහක් පමණ කපා බිම හෙලන බව වාර්තාවේ.  2015 පැරිස් සම්මුතියට අනුව 2020 අවසාන වන විට ලොව පුරා, නව වන වගා හෝ පුනරුත්ථාපනය කරනු ලබන වනාන්තර වර්ග සැතපුම් මිලියන 1.5 ක් ( වර්ග කිලෝමීටර මිලියන 3.9 ක් පමණ) ස්ථාපනය කිරීමට නියමිතය. එහෙත් මෙම වර්ෂය අවසාන වන විට ලෝක ප්‍රජාවට, යෝජිත ඉලක්කය කරා යාමට කිසිසේත් නොහැකි තත්වයක් උදාවී තිබේ. 


විද්‍යා සහ තාක්ෂණික දියුණුවද, වන විනාශය කෙරෙහි තදින්ම බලපා  තිබේ. නවීන යන්ත්‍රෝපකරණ මගින් අද වනාන්තරයක ගස් සිය දහස් ගණනක් පැය කිහිපයකදී බිම හෙළිය හැකිය. නව මංමාවත් සහ ප්‍රවාහන පහසුකම් නිසා බිම හෙලන රූස්ස ගස්වල දැව, ලී  ඉරීමේ සහ ලී පදම් කිරීමේ මහා පරිමාණයේ කර්මාන්ත ශාලාවලට ඉක්මණින්ම ගෙනයා හැකිය. නැවත වන වගාවන් කරගෙන යනු ලැබුවත්, වන විනාශය සහ වන වගාව යන ක්‍රියාවලි කුමන ආකාරයකින්වත් සමතුලිත කරගත නොහැකිය. 


අතීතයේදී වන විනාශය මෙතරම් උග්‍ර ගැටළුවක් නොවුයේ මන්ද?  දශක හත අටක අතීතයේදී ශ්‍රී ලංකාවේ කිසිවෙකුට වන විනාශය ගැන හැඟීමක්වත් නොතිබුණි. එකල මෙකල මෙන් අධික ජනගහනයක් සහ ජන ව්‍යාප්තියක් නොතිබුණු බව සැබෑය. එහෙත් එදා මිනිසා ගහ කොළ සහ පරිසරය ආරක්ෂා කළේය.එකළ ගෙවතු ගහකොළ වලින් පිරී තිබිණි. මෙයින්  වැඩි කොටසක් පොල්,කොස්,දෙල් වැනි ආහාරයට ගතහැකි ඵල දරන ශාක විය.තම අවශ්‍යතාවක් සඳහා ගසක් කපා ගැනීමට සිදුවුවහොත් ඒ වෙනුවට අලුතින් ගස් දෙක තුනක්වත් සිටුවීමට ඔහු කාරුණික විය.


දැනට දශක හයකට හතකට  ඉහතදී නිවසක් තැනීම වැනි අවශ්‍යතාවක් සඳහා තම ගෙවත්තේම ගසක් කපා ගැනීම කාගේත් පුරුද්ද විය. එසේ කපාගත් ගසෙන් අවශ්‍ය දැව ලබා ගැනීමද ගෙවත්තේම කළ හැකි විය. ලී මෝල් ගැන අසන්නටවත් නොතිබුණු  ඒ කාලයේ ලී ඉරා ගනු ලැබුවේ, දෑතේ වීර්යයෙන් බලගැන්වුණු පලු කියතක් නැතහොත් ඉරුම් කියතක් (rip saw) උපයෝගී කර ගනිමින්ය. මෙම කියතකින් ලී කඳක් ඉරීම සඳහා මිනිසුන් දෙදෙනෙකු අවශ්‍යය. ඉරුම් කියත, එහි ලෝහමය මිට සමග  අඩි 14 ක් පමණ දිග ඇති දැවැන්ත වානේ ආයුධයකි. මෙම කියතෙන් ලී ඉරා ගැනීමද එකළ සිටි ඉරුම් කරුවෝ සතුව තිබුණු මහත් කුසලතාවයකි.


මේ විශාල කියතෙන් ලී  කඳක් ඉරාගැනීම සඳහා, එය අඩි අටක් පමණ උස පලංචියක් මතට ඔසවා ගත යුතුය. එසවීමේ දොඹකර නොතිබුණු ඒ කාලයේ, පලංචියේ හරස් ලී ආනත තලයක් ලෙස භාවිත කර, කඹ සහ මිනිස් ශ්‍රමය උපයෝගී කර ගනිමින්   විශාල ලී කඳන් පලංචිය මතට ගැනීමට ඉරුම් ශිල්පියාට හැකිවිය. පලංචිය මත එකලස් කරගත් ලි කඳ අවශ්‍ය දැව ප්‍රමාණික මිනුම් අනුව ඉරා ගැනීම පිළිබඳවද ඉරුම් ශිල්පීන්ට මනා අවබෝධයක් තිබුණි. දැනට බොහෝ දුරට භාවිතයෙන් ඉවත් වී ඇති පලංචියේ ලී  ඉරීම, මෙම ඡායාරූපයෙන් දැක්වේ. මෙහි එක් ඉරුම් කරුවෙකු පලංචිය මත බැඳ තිබෙන ලී කඳ මත සිටගෙන, කියතේ පුළුල් අග්‍රයේ සිට පහලට තිබෙන මුවාත සහිත දැති, කැපුම ඔස්සේ යැවෙන ආකාරයට, කියත ඉහල හැඬලයෙන් දෑතින් අල්ලාගෙන වැරෙන් පහලට තල්ලු කරයි. ඒ සමගම ඔහුගේ සහායකයා පලංචිය යට සිට කියතේ අනිත් කෙළවරෙහි ඇති හැඬලය දැඩිව අල්ලාගෙන කියත පහලට යෑම හසුරුවයි. දෙවනුව දෙදෙනාගේම සහායෙන් කියත නැවත ඉහලට එසවේ.
        පලංචියේ ලී ඉරීම 


මේ ආකාරයට කියත ඉහලට සහ පහලට යනවිට ලී  කඳ ක්‍රමක්‍රමයෙන් දික් අතට කැපී යයි. කියතේ කැපුම් දැති සකස් කර තිබෙනුයේද  කියත පහලට තල්ලු වීමේදී පමණක් ලී කඳ කැපෙන ආකාරයටය. කියතේ පහල අග්‍රය අසල තිබෙන හැඬලය, කියත් තලයට සවි කරනුයේ කූඥ්ඥයක් මගින්ය.  කැපුම් වෙනස් කිරීම සඳහා වරින්වර කියත ඉවත් කිරීම කරනුයේ කූඥ්ඥය ගලවා හැඬලය ඉවත් කිරීමෙනි.


ගෙයක් සෑදීමට   අවශ්‍ය ලී දඬු ලබාගැනීම පිණිස ගෙවත්තේ තිබෙන කොස් ගසක් ඉරාගැනීමට අවශ්‍ය වූ විට, නිසි අවසරයක් ලබාගෙන ගස කපා බිමහෙලා,  අවශ්‍ය ප්‍රමාණයට කුට්ටි කර ගැනීමද හුරු පුරුදු ගස් කපන්නන් විසින් කළ යුතු කාර්යයකි. ගෙවල් තැනීමේදී වහලට අවශ්‍ය යටලී, බාල්ක, පරාල, රීප්ප     ආදියත් උලුවහු, ජනෙල් සඳහා අවශ්‍ය ලී දඬුත් කපා ගැනීම සඳහා භාවිත කරනුයේ ශක්තිමත් කල්පවතින දැව වර්ග වේ. ශ්‍රී ලංකාවේ බොහෝ විට මේ සඳහා යොදා ගනුයේ කොස් හෝ දෙල් වැනි පළමු පන්තියේ දැවයකි. මෙවැනි අවශ්‍යතාවයක් සඳහා බිමහෙලූ කොස් ගසක කඳ  ඉරා ගැනීම සඳහා පිළියෙළ කරගැනීමේදීද යම්කිසි අනුපිළිවෙලකට කටයුතු කිරීමට එකළ ගැමියා දැන සිටියේය.


බිම හෙලූ  කොස් කඳ දින කිහිපයක් වේලෙන්නට හැර,  පළමුව ලී අවශ්‍යතා මිනුම් අනුව එය කුට්ටි කර ගනු ලැබේ. දෙවනුව එම කුට්ටි වල එළය (soft tissues)  ඉවත් කිරීම අත්‍යවශ්‍ය කාර්යයකි. එළය යනුවෙන් හැඳින්වෙනුයේ කඳෙහි පිට පොත්ත සහ ඊට යටින් පිහිටි ෆ්ලොයම් සහ  සහ ද්විතිය ෆ්ලොයම් පටක සහිත දැඩි බවක් රහිත ප්‍රදේශයයි. මෙම කොටස ඉක්මණින් දිරාපත්වන නිසා ගෘහ කර්මාන්තයේදී භාවිත නොකෙරේ. එළය ඉවත් කිරීමෙන් පසුව කඳෙහි ශක්තිමත් මෙන්ම  කල් පවතින තද කහ පැහැයෙන් යුක්ත අරටුව මතුවේ. 


ලී  වල ඇද කුද, සැස ඉවත් කිරීමට වෑය  භාවිත කෙරේ.

ගසෙහි කඳ වර්ධනය වී පරිණත වූ පසු ද්විතීය සෛලම් පටක ඝනවීම මගින් හටගන්නා කාෂ්ඨක පටක පද්ධතිය අරටුව ලෙස හැඳින්විය  හැකිය. කොස් කඳක එළය ඉවත් කිරීම සඳහා වෑය නමැති සුවිශේෂී ආයුධයක් භාවිත කෙරේ. වෑයක් භාවිත කර ලීයක් සැසීමද  එක්තරා දක්ෂ කමකි. තියුණු මුවහතක් සහිත වෑයෙන් ලීයක් සසින විට එය වේගයෙන් පසුපසට යැවේ. මේ නිසා කෙනෙකු වෑයෙන් ලීයක් සසින විට, පසුපස කිට්ටුවෙන් සිටීම අනතුරුදායකය. ගැමි වහරෙහි ඇති “වෑ පසුපස සිටීමත්,  හිර පසුපස සිටීමත් එකසේ භයානක වේ” යන කියමනද  මේ නිසාම උත්පාදනය වූ එකක් විය හැකිය. බොහෝ විට ලීයක ඇදය හෝ කුදය මඳක් හෝ ඉවත් කිරීමට සැසීම  පිණිසද වෑය භාවිත කෙරේ.   


දිරාපත් විය හැකි පොත්ත සහ එළය ඉවත් කර  සකස් කර ගන්නා ලද ලී කොටය අසලින්ම, ඉරුම් පලංචිය සකස් කර ගැනීම බොහෝ විට සිදු වන්නකි. කණු සතරක් සිටුවා හෝ එක පැත්තකට ශක්තිමත් ගස් දෙකක් යාකර, පොලොව මට්ටමේ සිට අඩි  අටක් පමණ උසින් හරස් ලීයක් බැඳ පලංචියේ පැත්තක් සකස් කර ගනී. පලංචියේ පළලට ගැලපෙන ප්‍රමාණයේ ලී දෙකක් හරස් ලීයේ සිට ඉදිරි කණු දෙක දෙසට ආනතිකව තබනු ලැබේ. බොහෝවිට පලංචියේ මෙම තට්ටු ලී  වශයෙන් භාවිත කරනුයේ කපා ගත් ශක්තිමත් පුවක් ගස් වේ. එළය ඉවත් කර සකස් කර ගත් කොස් කොටය, අලවංගු හෝ මෝල්ගස් වැනි උපකරණ ලීවර වශයෙන් භාවිත කර ගනිමින්, ආනතිකව තැබූ ලී දෙක අසලට පෙරලා, කඹ හෝ වෙනත් ශක්තිමත් වැල්  වර්ගද උපයෝගී කර ගනිමින් ආනතික කඳන් දෙක ඔස්සේ ඉහලට අදිමින් පොළොවට සමාන්තර මට්ටමට පැමිණි පසු, හරස් ලී ඔසවා පලංචි කණුවලට ශක්තිමත්ව බැඳ ගනු ලැබේ


ඉරා ගැනීම සඳහා අවශ්‍ය කොස් ලී  කොටය දැන් අවශ්‍ය ආකාරයට පලංචිය මතට ගෙන අවසානය.


කොස් කඳෙන් ඉරා ගැනීමට අවශ්‍ය ලි දඬු අනුව,  කඳ මත කැපුම් ඉරි සටහන් කර ගැනීම ඊළඟ කාර්යයයි. මෙයද ගැමියාටම ආවේණික වූ ක්‍රමවේදයකි. එය ‘අඟුරු හුය තැබීම’ ලෙස හැඳින්වේ. මෙහිදී ඉරීම සඳහා මැනවින් සකස් කළ ලී කොටය, නොසෙල්වෙන සේ අඩ තබා, කොටයෙහි එක්  කොනක් මත, අවශ්‍ය නිමි ලී ප්‍රමාණ අනුව, පිහියකින් සලකුණු සකස් කර ගනී. උදාහරණයක් වශයෙන් ඉරා ගැනීමට අවශ්‍ය ලෑලි, බාල්ක, පරාල වැනි විවිධ වර්ග අනුව සලකුණු වෙනස් වේ. අඟලක් ඝනකමින් යුක්ත ලෑලි  ඉරීමට අවශ්‍ය වෙතොත් කොටය මත අඟලින් අඟලට තැබෙන සටහන් සංඛ්‍යාවද වැඩිය. 


කොටය මත ‘ඉරුම් රේඛා’ සටහන් කිරීම, එනම් ‘අඟුරු හුය තැබීම’ මීළඟ කාර්යයයි.

මෙයද පලංචියේ ලී ඉරීමට ආවේණික තවත් කාර්යයකි. අඟුරු කුඩු දියකර සාදාගත් මිශ්‍රණයක පොඟවා ගන්නා සුදු නූලෙන් අඹරාගත් ලණුවක් මේ සඳහා භාවිත කෙරේ. බොහෝවිට මේ සඳහා ප්‍රයෝජනයට ගන්නේ ගැඩුඹ ශාකයේ (Trema orientalis) ලීයක් පුළුස්සා ලබාගන්නා අඟුරු, කුඩුකර පොල්තෙල් ස්වල්පයක් සමග ජලයේ මිශ්‍රකර ගැනීමෙනි. ගැඩුඹ ශාකය බොහෝ ආසියාතික රටවල ‘charcoal tree’ ලෙසද  හැඳින්වේ.

අඟුරු මිශ්‍රණයේ පොඟවා ගත් ලණුව, ඉරුම් කොටයෙහි මුලින් තබාගත් සලකුණ ඔස්සේ, කොටයේ  අනික් අග්‍රය දක්වා කෙලින් තබා හොඳින් ඇද තදකර, ලණුව එක ස්ථානයකින් මඳක් ඉහලට ඔසවා, මුදා හැරිය විට කඳ  දිගේ කළු පැහැයෙන් රේඛාවක් ඇඳේ. මෙය පළමු කැපුම් රේඛාවයි. කොස් ලී කොටයෙන් ඉරාගැනීමට අවශ්‍ය වනුයේ අඟලේ ලෑලි නම්, පළමු රේඛාවේ සිට, ඒ ආකාරයටම අඟලෙන් අඟලට රේඛා සලකුණු කර ගනු ලැබේ. මෙහිදී  ලකුණු කරගත් සියලුම රේඛා ඔස්සේ කඳ ඉරා අවසන් කළ විට, සම්පුර්ණ කඳෙන් ‘අඟලේ ලෑලි’ කට්ටලයක් ලැබේ. එක පැත්තක් පමණක් කියතෙන් ඉරී ඇති, කොටය දෙපැත්තේ ලෑලි දෙක ‘පිටපලු’ ලෙස හැඳින්වේ. ලී ඉරිමේදී දුෂ්කරම කාර්යය වනුයේ රීප්ප ඉරීම බව අපගේ ලි ඉරුම් කළ වැඩිහිට අයගෙන් දැනගන්නට ලැබිණ. (අප කුඩා කාලයේ, ගමට විදුලි බලය ලැබුණු අවස්ථාවේ, අපගේ ඉඩමක  ඉවත් කර ගැනීමට සිදුවූ ගස් කිහිපයක් කැපීම, කුට්ටි කිරීම, පලංචියේ ඉරා, ලෑලි, බාල්ක, පරාල ආදිය සකස් කර ගැනීම, මුල සිට අග දක්වාම දැක ගැනීමට හැකි විය.)    


ඉහත විස්තර කළ ආකාරයට  අඟුරු හුය ගා සලකුණු කළ  ලීයක, ඇද පරස් ඉවත් කිරීමට වෑය  මහත්, වෙහෙසක් ගනු ලැබුවත් ආපසු හැරි බලන විට,  වෑයේම තිබෙන කුදය ඊටත් වඩා දරුණු බව පෙන්වමින්, පැරණි කවියෙකු විසින් රචනා කරන  ලද උපහාසාත්මක පද්‍යයක්ද මෙහිලා සිහියට නැගේ.


            කා යේ   නුගුණ දුටුවත් කියන  සමහ රු                                                      
මී  යේ   රසය මෙන්   වැඩිකර කියති බො රු                                                
ලී  යේ ඇ දය  හරිතත් හුය ගා         අඟු රු                                                                
           වෑ යේ    කු දය දුටුවම  ඊටත් නපු          රු  


මෙම උපහාසය, අද සමජයේ අවිචාර ලෙස විවිධ විවේචන කරනු ලබන අයගේ, බොහෝ ප්‍රකාශන වලටද,  බෙහෙවින් ගැලපෙන බව පෙනේ. 


පැරණි ලී ඉරීමේ  ක්‍රමවේදය ගැන යලි සිත් යොමු කරවමු.

පලංචියේ ලි ඉරිමේදී, කියත ඇදීමට පහසු වන පරිදි කැපුම පළල්  කර ගැනීම සඳහා, කූඥ්ඥයක් සවි කරනු ලැබේ. අපගේ පැරණි ජන කතන්දරයක දැක්වෙන ආකාරයට, ඉරුම් කරුවන්   පලංචියක් මත , ඉරමින් සිටි ලීයක කැපුමේ කූඥ්ඥයක් එසේ තිබියදී, ඔවුන් කෙටි විවේකයක් ගැනීමට ඉවතට  ගොස් ඇත. ඒ අතරවාරයේ එහි පැමිණ වඳුරෙකු, අනවශ්‍ය ලෙස කූඥ්ඥය ඇදීම නිසා, ලී කොටයේ කැපුම තුළට වැටි ඇති  තම වලිගය (?) සිරවී අමාරුවේ වැටුණු අවස්ථාවක් පිලිබඳවද හාස්‍යය මුසු ඔවදනක් දී තිබිම කවුරුත් දන්නා කරුණකි.


තමන්ට අයිති නැති දේ වලට ඇඟිලි ගැසීමට යන අයට, නොසිතු විරූ ඇබැද්දි  සිදුවිය හැකි බවට මෙය හොඳ උදාහරණයකි. 


මේ ආකාරයට පලංචියේ ලී  ඉරිමේදී, අපතේ යාම අවම මට්ටමක පවතී. වර්තමානයේ ලී මෝල් වල භාවිත කරනු ලබන  රවුම් කියත් හෝ සිරස් කියත් සෙන්ටිමීටර් භාගයක් පමණ ඝන කමකින් යුක්තය. පැරණි  පලංචි කියත් මිලිමීටර් දෙකකට වඩා ගනකම නැත. මේ නිසා ලී අපතේ යාම අඩුය. වියදම අතින්ද පැරණි ක්‍රමය ලාභ දායකය. කෙසේ වෙතත් පැරණි ක්‍රමය සඳහා අධික වෙහෙසක් දැරීමට සිදුවන නිසාත් දිගු කාලයක් ගතවන නිසාත්, කිසිවෙකු එය වාණිජ මට්ටමෙන් කරගෙන යාමට නොපෙළඹෙන  නිසා වනාන්තර වල තිබෙන රූස්ස ගස් වලට හානියක් සිදු නොවේ. එදා භාවිත කළ කාලානුරුප තාක්ෂණයත්,(appropriate technology) මිනිසාගේ චාම් දිවි පැවැත්මත්, තරඟකාරී නොවන වට පිටාවත්, එකිනෙකා පරයා යාමට අවශ්‍යතාවක් නොමැති වීමත් නිසා, සොබා දහමේ අනගි නිපැයුමක් වන වනාන්තර  නිරුපද්‍රිතව තිබුණි.


විශාල ලි කොට ඉරාගැනීම සඳහා, පලංචි වෙනුවට බිම හාරාගත් තරමක් ගැඹුරු වලක් මත තැනු මැස්සක ලී  කොටය තබා, කලින් විස්තර කළ ආකාරයටම, ඉරුම් කියතකින් ලී ඉරීමද සිදුකර තිබේ. එම ක්‍රමයේදී යට සිටින ඉරුම් කරුවාට, වල ඇතුලට බැස  කියත පහලට ඇදීමට සිදුවේ. මෙසේ කිරීමේදී විශේෂ පලංචියක් සාදා ගැනීම හෝ ලි කඳ ඉහලට එසවීමක් අවශ්‍ය නොවේ. විදේශයක, ඒ ආකාරයට ලී ඉරීමේ සිතුවමක් මෙහි දැක්වේ. (අප රටෙහිද මේ ආකාරයට ලී ඉරා තිබෙන බව අසා ඇත්තෙමි. ඒ සඳහා ඡායාරූපයක් සොයා ගත නොහැකි විය.)  

  
පොළොවේ සකස් කළ වළක්  ‘පලංචියක්’ මෙන් භාවිතය.  


නවීන විද්‍යාවේ  කාලීන සංකල්ප සහ තාක්ෂණයේ බොහෝ නිපැයුම් පරිසර සංරක්ෂණය සඳහා උපයෝගී කරගනු ලැබුවත්,  මිනිසාගේ ආත්මාර්ථකාමී චර්යා රටා, අපරික්ෂාකාරී සිතුම් පැතුම් සහ යථාර්ථය හරිහැටි තේරුම් නොඅගැනීම නිසා,  පරිසර සමතුලිතතාවය උඩු යටිකුරු වෙමින් පවතී. මෙහි අනිටු විපාක අපි දැනටමත් අත් විඳිමින් සිටිමු. අනාගතයේදී සිදුවිය හැකි අති මහත් ව්‍යසන වලින් පෘථිවි ග්‍රහලෝකය බේරා ගැනීම සඳහා සමස්ත ලෝක වාසීන්ම, එකාවන්ව කටයුතු කිරීමේ කාලය එළඹ තිබේ. ප්‍රමාදය, සමස්ත ලෝක සත්ත්වයාගේම මහත් අභාග්‍යයක් විය හැකි නොවේද?

12 comments:

  1. ඔබගේ ගැඩුඹ ශාකයේ (Trema orientalis) ලීයක් පුළුස්සා ලබාගන්නා අඟුරු, කුඩුකර පොල්තෙල් ස්වල්පයක් සමග ජලයේ මිශ්‍රකර ගැනීමෙනි. යන්න නිවරදි උවත් මම දැක ඇත්තේ පහසුව තකා ටෝර්ච් බැටරි තලා කුඩු ගන්නා බවය.
    මෙම කියතක් මා ලග තිබේ.

    ReplyDelete
  2. ස්තුතියි තිලක්,
    ඔබ නිරීක්ෂණය කර ඇති දේ සමග මා එකඟ වනවා. ඒ උනත් මා කියන කාලයේ ටෝර්ච් බැටරි යනුවෙන් හඳුන්වන වියලි කෝෂ එතරම් සුලභ නැහැ. ඊටත් වඩා වියලි කෝෂ තුළ ඇති රසායන ද්‍රව්‍ය 'වස' යන හැඟීමකුත් තිබුනා. එහි තිබෙන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ් සහ කළු මැන්ගනිස් ඩයෝක්සයිඩ් ය. මා හිතන හැටියට ඉතාමත් සියුම් අංශු හැටියට කුඩු කර ගත හැකි ගැඩුඹ අඟුරු ලීයට හොඳට වදිනවා.

    ReplyDelete
  3. ඔබ සදහන් කරන ඉරුම් වලේ ලී ඉරීම ත් ලංකාවේ ජනප්‍රිය ක්‍රමයක්. 1970 කාලයේ අපේ ගෙදර හදන විට වත්තේ තිබුන දැවැන්ත කොස් ගහක් කපල ලී ඉරා ගත්තේ ඒ ක්‍රමයට. ඒ වල ගොඩ කරන්න සෑහෙන කාලයක් ගියා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුමාර,
      ඔය ආකාරයේ 'වලේ ලී ඉරීම' මා අසා තිබුනා පමණයි. දැවැන්ත කොස් ගහක් පලන්චියකට එසවීම එතරම් පහසු වැඩක් නොවෙයි. ඒ කාලයේ බොහෝ විට එවැනි බර වැඩ සඳහා අලින්ගේ සේවයත් ලබා ගත්තා. සෑම ගමකම වගේ බර වැඩට පුහුණු කළ හීලෑ අලිත් හිටියා.

      Delete
  4. මම දැනට අවුරුදු දෙකකට උඩදි කොත්මලේදි දැක්කා පලංචියක ලී ඉරනව

    ReplyDelete
  5. ස්තුතියි Drakie,
    තවමත් ඈත ගම්මානවල 'පලංචියේ ලී ඉරීම' තිබෙන බවට දැනුවත් කිරීම හරි වටිනවා. අද සිටින බොහෝ අයට දකින්නට නොලැබෙන මිනිස් ශ්‍රමය යොදවා කළ මෙවැනි වීර්යවන්ත වැඩ කටයුතු ගැන පොත් පත් වලවත් ලියවෙනවා නම් අගෙයි. ඒ වගේම මෙවැනි දේවල් ගැන ව්‍යාපෘති කිරීමට අපගේ පාසල් දරුවන් යොමු කල යුතු බවයි මගේ හැඟීම.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. දැන් වෙලා තියෙන්නෙ, මහගහක් උනත් එලයත් එක්කම බෑන් සෝ එකෙන් දවසක් ඇතුළත ඉරන්න පුළුවන් වීමයි. පලංචියේ ඉරීම කාර්යක්ෂ්ම නෑ. අනික තමා ශ්‍රමිකයන් දැන් දැන් ඒ තරම් ඉවසිලිවන්ත නොවීම...

      Delete
    2. /ශ්‍රමිකයන් දැන් දැන් ඒ තරම් ඉවසිලිවන්ත නොවීම.../ පමණක් නොවෙයි ශ්‍රමිකයන් සොයා ගැනීමත් අපහසුයිනේ. මා හිතන්නේ 'මෝලේ' ලී ඉරීම වැදගත් රැකියාවක් ලෙස සැලකුවත් පලංචියේ ලී ඉරීම වැඩිය ගණන් ගන්නා රැකියාවක් නොවන පාටයි. මේවා වැරදි ආකල්පම විය හැකියි.

      Delete
    3. දැව අයිතිකාරයාගේ ආකල්පත් බලපානව. හැමෝටම ඕනෙ අඩු කාලයකින් වැඩ ඉවරකරගන්න. අනික් අතට පලංචියෙ ලී ඉරීම බොහොම වෙහෙසකර වැඩක්. මෝලෙ ලි ඉරන මැෂින් ඔපරේටර්ට තියෙන්නෙ ඉරෙන ලී අයින් කරන වැඩේ විතරයි...

      Delete
    4. අපි කුමන ආකාරයකට සිතුවත් නවීන තාක්ෂණ දියුණුවත් සමග සමබර ආකාරයකට ඉදිරි ගමනක් යාම කාලීන අවශ්‍යතාවයක්.

      Delete
  6. මේ විදියට ලී ඉරීම අපේ වත්තේ ( ගාල්ල මහ ගෙදර ) ද කරනු කුඩා කළ දැක තිබෙනවා. නමුත් ක්‍රියාවලිය ගැන අවබෝධයක් ලැබුනේ මේ සටහනින්. ඒ ගැන ඔබට ස්තුතිවන්ත වෙනවා. මා සිතන්නෙත් පැරණි ශ්‍රී ලංකාවේ වන ගහනය විශාලව පැවති බව හා අඩු ජනගහනයක් සිටි යි. එකල එතරම් කැලෑ නොතිබුණු බවත් ජනගහනය කෝටි පහක් පමණ සිටි බවත් රට විශාල ගොවි බිම් සහිත ස්වයංපෝෂිත එකක්ව තිබු බවත් ඇතැම් අදහස් පළවී තිබුණා. එය වැරදි විය යුතු නේද ?

    ReplyDelete
  7. ස්තුතියි මාලිනි,
    මෙහි කෞතුකාගාරයක වෑයක් සහ ඉරුම් කියතක් දකින්නට ලැබුණා. ඊට පස්සේ මේ ගැන ලියන්නට සිතුනා. කෝටි පහක ජනගහනයක් සිටි බවට නම් සාධක ප්‍රමාණවත් තරම් ලැබී නැහැ. ගොවි බිම් නම් දැනට වඩා තිබෙන්නට ඇති බවට ලකුණු තිබෙනවා. අනුරාධපුර, පොලොන්නරුව, දකුණේ ඌව වෙල්ලස්ස සහ වෙනත් ගංගා නිම්න වලත් විශාල ගොවි බ්ම් තිබෙන්නට ඇති. ස්වයං පෝෂිත වී පිටරටවලටත් ධාන්‍ය සැපයු නිසා පෙරදිග ධාන්‍යාගාරය වශයෙන්ද නම්කර තිබෙනවානේ.

    ReplyDelete