Monday, 18 June 2018

‘යෞවනයේ උල්පත’ (Fountain of Youth) - වයස්ගතවීම නතරකළ හැකි නව සොයාගැනීමක්...


ටිලොමරේස් (telomerase) එන්සයිමය
ඇමෙරිකා එක්සත් ජනපදයේ, හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයයේ, මහාචාර්ය රොනල්ඩ්. ඒ.ද පින්හෝ විසින් මෙහෙයවනලද විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් කරනලද පර්යේෂණ මගින් මෑතදී සොයාගන්නා ලද සරල එන්සයිමයක් නිසා වෛද්‍ය විද්‍යාවේ මහත් පෙරළියක් සිදුවීමේ පෙර නිමිති පහළ වී තිබේ. මෙය,  අප කවුරුත් විද්‍යා පාඩම්වල ජනක විද්‍යාව කොටසේදී  ඉගෙන ගෙන ඇති, වර්ණදේහ (chromosomes) ආශ්‍රිතව කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස සොයාගන්නා ලද, ටිලොමරේස් (telomerase) නම් එන්සයිමයයි. එහි ප්‍රාතිහාර්යය ලෙස සැලකිය හැක්කේ මෙම එන්සයිමය අප කාගේත් ශරිරවල නිරතුරුවම අඩු වැඩි වශයෙන් පවතින එන්සයිමයක් වීමයි.   
       
                              හෙලික්සාකාර සර්පිලයක් වැනි වර්ණදේහය                                                 
මිනිසා ඇතුළු සියලුම සතුන්ගේ වර්ධන ක්‍රියාවලිය, සිදුවනුයේ සෛල බෙදීයාම මගින්ය. වර්ධක සෛල බෙදී යාමේදී, මුලින්ම න්‍යෂ්ටිය බෙදී යයි. මෙහිදී ජීවියාගේ සුවිශේෂී ගති ලක්ෂණ පිළිබිඹු කරනු ලබන, DNA සහිත ජාන අන්තර්ගතය රැගත් වර්ණදේහය, හෙලික්සාකාර සර්පිලයක් (spiral helix) ලෙස විද්‍යාමාන වේ. මේ ආකාරයෙන් පවතින වර්ණදේහ සමුහය එකින් එක, දික් අතට පැලීම වැනි ස්වරූපයකින් බෙදෙන අතර, එසේ සෑදෙන නව වර්ණදේහ පොකුරු  වශයෙන්  වෙන වෙනම ගොනුවී,  අලුතින් බෙදී යන  සෛල වල  න්‍යෂ්ටි පිළියෙළ වේ. 
ඕනෑම සතෙකුගේ මුලාරම්භය තනි සෛලයකි. මිනිසාගේ මෙම සෛලය ක්‍රමක්‍රමයෙන් බෙදී ගොස් පරිණත අවස්ථාව වන විට ශරීරයේ, සෛල ට්‍රිලියන හතළිහක් පමණ තිබෙන බව ගණනය කර තිබේ. මේ  සෑම සෛලයකම න්‍යෂ්ටියේ, නියමිත වර්ණදේහ සියල්ලම මුල් අකාරයටම නැවත නැවතත් පිටපත්  වේ. ශරීරයේ එක් එක් අවයවයේ කෘති හෝ වෙනත් ක්‍රියාවලියන් සියල්ලම විධිමත් ආකාරයට පාලනය කිරීමට වර්ණදේහ වල ඇති DNA සංයුතියට හැකියාවක් තිබේ, උදාහරණ ලෙස, හෘදයේ සෛල, හෘද ස්ඵන්දනයටත්, ප්‍රතිදේහ නිපදවන සෛල, එම ක්‍රියාවලි සිදු කිරීමටත් ආදී වශයෙන් විවිධාකාරව නිර්මාණය වේ.
කෙසේ වෙතත් සෛල දිගින් දිගටම බෙදී යාමේදී, සෑම බෙදුමකදිම වර්ණදේහ  අග්‍රයේ අංශු මාත්‍රය‌ බැගින් ක්‍ෂය වීමට ඉඩකඩ තිබේ. වර්ණදේහයේ අග්‍ර  ටෙලොමියර (Telomere) නමින් හැඳින්වෙන ආවරණයක් සහිතය. යම්කිසි වර්ණදේහයක DNA කොටසක් ඉවත්වුවහොත් සමහර ආවේනික ගති ලක්ෂණ නැතිවී යාමට ඉඩකඩ තිබේ. මේ නිසා ස්වභාවිකව සිදුවනුයේ, ටෙලොමියරයෙන් කොටසක් ක්‍ෂය වී වර්ණදේහයේ දිග ප්‍රමාණය එලෙසම පවත්වා ගැනීමයි. මෙහිදී DNA සංයුතිය නොබිඳී පවත්වාගැනීම සඳහා ටෙලොමියර ‘කැපවීමක්’ සිදු  කරති.
මෙසේ කිහිප වාරයක්‌ කැප කිරීමෙන් පසු, ටෙලොමියරයට  වර්ණදේහය ආරක්ෂා කිරීමේ කාර්යය ඉටු කිරීමට නොහැකිවන අවස්ථාවක් එළඹේ. මෙම අවස්ථාවට පත්වූ වර්ණදේහ සහිත සෛල තම ‘නොහැකියාව’ හඳුනාගෙන අක්‍රිය තත්ත්වයට පත්වේ. මෙය ‘වියපත්වූ සෛලයක්’ ලෙස හැඳින්වේ. ශරීරයේ සෛල සමුහ වශයෙන් මේ තත්ත්වයට පත්වීම නිසා මිනිසා තුළ ‘වියපත් වීමේ ලක්ෂණ’ හට ගනී.
1984 වසරේදී, එලිසබෙත් බ්ලැක්බර්න් නම් විද්‍යාඥවරිය විසින්, ඒක සෛලීය ජීවියකුගේ න්‍යෂ්ටියක් තුළ, සිදුවන ජීව ක්‍රියා නිරීක්ෂණය කිරීමේදී, ටෙලොමියර මගින් නිපදවන එන්සයිමයක් සොයාගන්නා ලදී. මෙය ටෙලොමරේස් (telomerase) එන්සයිමය ලෙස නම් කර ඇත. සියළුම ජීවීන්ගේ වර්ණදේහ ආශ්‍රිතව ටෙලොමරේස් ඇති  බවත්, එහෙත් සෛලයක ආයු කාලය වැඩිවීමත් සමගම එහි ඇති ටෙලොමරේස් එන්සයිම ප්‍රමාණයේ අඩුවක් සිදුවන බවද නිරීක්ෂණය කර තිබේ. කලින් සඳහන් කළ පරිදි මිනිස් සිරුරේ ‘වයෝවෘධ’ භාවයට පත්වන සෛල සංඛ්‍යාව  මිනිසා වයස්ගත වීමත් සමගම වැඩිවන බවද නිරික්ෂණ වලදී පෙනී ගොස් ඇත.
එසේම, ඒක සෛලීය ජීවින්ගේ සහ ශරීරයේ සෛල කිහිපයක් පමණක් ඇති  ජීවීන්ගේ න්‍යෂ්ටි තුළ ටෙලොමරේස් එන්සයිමය හැසිරීම පිළිබඳව තවත් වැදගත් නිරීක්ෂණ කිහිපයක්ද කර තිබේ. මෙහිදී ටෙලොමරේස් එන්සයිමය මගින්  වර්ණදේහ වල ඇති  DNA දාම ටිකින් ටික  ක්ෂයවී යාමේ ප්‍රවණතාව අඩුකරනු ලබන බව හඳුනාගෙන ඇත. මෙම සොයා ගැනීම වෛද්‍ය විද්‍යාවේ ඉදිරිගමනට ඉතා වැදගත් පිම්මක් විය හැකිය
මෙම සංසිද්ධිය වෙනත් ආකාරයකින් විස්තර කළහොත් එය මිනිසා ඇතුළු සියළුම ජිවින්ගේ ආයු කාලය පාලනය කරන ප්‍රබලතම සාධකය ලෙස ලෙස නම්කළ හැකිය.
මහාචාර්ය රොනල්ඩ්. ඒ.ද පින්හෝ විසින් මීයන් භාවිත කර ඔහුගේ පර්යේෂණ කර තිබේ. මෙහිදී ඔහු විසින් පර්යේෂණයට භාජන කරන ලද තරුණ මීයන්ගේ සෛල න්‍යෂ්ටි වල ටෙලොමරේස් එන්සයිමය නිපදවීම පාලනය කිරීමේ ක්‍රමවේදයක් සාර්ථකව ක්‍රියාත්මක කළේය. මෙම මීයෝ සුළු කලකදීම වයස්ගත වීමේ ලක්ෂණ පෙන්නුම් කළහ. මෙම ලක්ෂණ අතර, එම සතුන්ගේ දුව පැන යාමේ අබල දුබලතාව, මොළය පාවිච්චි කර කළයුතු හැසිරීම් රටා අඩුවීම, ප්‍රජනක ශක්තිය අඩුවීම, ශරීරයේ ලෝම හැලීම සහ අවර්ණවිම ආදිය පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි විය.
පසුව, ටෙලොමරේස් එන්සයිමය නිපදවීමේ බාධක ඉවත් කළ විට, මීයන්ගේ සියළුම දුර්වලතා මගහැරී ගොස් ප්‍රකෘති තත්වයට පත්වුහ. ටෙලොමරේස් එන්සයිමය නොමැතිව මහලු වු මියෝ සියලු දෙනාම යලිත් තාරුණ්‍යය ලබාගත්හ. එම මීයෝ සියළුම අබල දුබලතාවලින් තොර, යහපත් ප්‍රජනක ශක්තියෙන් යුක්ත නාඹර මීයන් බවට පත්වුහ.
මෙම ප්‍රතිඵල පර්යේෂණ කණ්ඩායමේද මහත් මවිතයට හේතුවක් විය.
මීයන් යොදවා කරණ ලද පර්යේෂණවල සාර්ථකත්වය නිසා මෙම ක්‍රමවේදය මිනිසා සඳහාද උපයෝගී කරගැනීමට හැකිවේයයි බලාපොරොත්තු ඇතිකර ගත හැකිවේ.
මෙම පර්යේෂණයේදී  හෙළිවී ඇති වැදගත්ම කරුණ වනුයේ කාලයත් සමග වියපත් වන සෛල වලට ටෙලොමරේස් එන්සයිමය ලබාදීමෙන් නැවත ප්‍රකෘති තත්ත්වයට පත්විය හැකි බවයි. මේ අනුව මිනිසාගේ රෝගී වීම නිසා දුර්වල  වෙමින් පවතින අක්මාවක් නැවත පන ගැන්විය හැකිය. එසේම රැලි වැටුණු සම නැවත ඔප මට්ටම් කළ හැකිය. මෙම සංවේදී, එසේම ප්‍රාතිහාර්යයක් බඳු සොයාගැනීම, මිනිසා විසින් සතෙකුගේ වියපත්වීම වැලැක්වීම සඳහා කරන ලද මුල්ම විද්‍යාත්මක පර්යේෂණ මාලාවයි.
මිනිසාගේ සෛලවල වියපත්වීමේ සාධකය ඉවත් කළ හැකි වුවහොත්, සෛල නැවත නැවතත් බෙදි යාම නිසා වයස්ගත වීමේ යාන්ත්‍රණය සහමුලින්ම අතුරුදන් වනු ඇත. මේ නිසාම මෙම පර්යේෂක කණ්ඩායම ප්‍රකාශ කරනු ලබන පරිදි අනාගතයේදී පිළිකා, දියවැඩියාව, ඇල්සයිමර් (මතකය අඩු කරණ) වැනි රෝග සහ වයස අවුරුදු හැටකට වැඩි අයට වැලඳෙන වෙනත් බොහෝ රෝග වලින් ඔවුන් මුදවා ගත හැකි වන බවයි.
ඔවුන්ගේ මතය අනුව දැනට ලොව පුරා සිටින වයස්ගත වීමේ රෝග වලින් පිඩා විඳින ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රැකබලා ගැනීම සඳහා වැය වන මහා ධනස්කන්ධයට වඩා අඩු මුදල් ආයෝජනයකින් මෙම පර්යේෂණ වල  ප්‍රතිඵල ළඟාකරගත හැකිවනු ඇත. කෙසේ වෙතත් වියපත්වීම වැළැක්වීම සඳහා යෝග්‍ය ඖෂද නිපදවීම සඳහා බොහෝ ක්‍ෂේත්‍ර පරීක්ෂණ කළයුතු නිසා ඒවා සුලභ වීමට තව දිගු කලක් ගතවනු ඇත.
කෙසේ වෙතත් මෙය අනාගත මිනිස් ප්‍රජාව  සඳහා ඉතා සුබ නිමිත්තකි.
(තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි)


8 comments:

  1. මැරුණු සෛල ක්‍රමක්‍රමයෙන් වැඩි වෙද්දී
    තුරුණු පෙණුම ටික ටික දැන් අඩු වෙද්දී
    කෙරුණු පරීක්ෂණ මල් පල ගැන්වෙද්දී
    තුරුණු වෙන්න හිතෙනව මෙය කියවද්දී...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී,

      තුරුණු වීම අත ළඟටම පැමිණ තිබේ.
      දියු ණු බවකි විදු දැනුමන් තවත් ලැබේ.
      මැරුණු අයට මුත් යළි පන ලැබෙන ඉබේ.
      කරුණු සොයන අය ඇත විදු වියත් සබේ.

      ඔබට ජයම !

      Delete
  2. ඕක තවම පරීක්ෂා කරලා තියෙන්නේ මීයන් ඇසුරෙන් විතරනේ. ඉතින් ඕක මිනිස්සුන්ටත් කරළා බැළුවාම මීයා විතරක් තරුණ වෙලා නාඹර වෙලා මිනිහා නාකි උනොත් තමා වැඩේ. බස්වල ජැක්සන්ලා වැඩි වෙයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනුක,
      කොහොමත් ඔය වගේ පර්යේෂණ වලට මුලින්ම සම්බන්ධ කර ගන්නේ මීයන් තමයි. ක්‍රමක්‍රමයෙන් මිනිස් වර්ගයා තුළ අත්හදා බැලීමට දිගු කලක් ගතවිය හැකියි. ඔබ කියන ආකාරයේ ගැටලුත් ඇතිවේදැයි බලන්නටත් සිදු වෙනවා. //බස්වල ..........// මෙම වැදගත් පර්යේෂණයේ ප්‍රතිඵල වල අංශු මාත්‍රයක් ලෙසටයි මා දකින්නේ

      Delete
  3. https://quatr.us/greeks/pelias-medea-golden-fleece.htm

    ReplyDelete
    Replies
    1. Thank you Pra Jay,
      Ancient Greeks have thought of the possibility of doing certain miracles. Some of these were part of 'magic'. I think in the mythological story that you have quoted, the so called 'magic' has not been performed in this incident.

      Delete
  4. ඕක තව පරීක්ෂන කරල මිනිස්සුන්ට ආදේශ කරනකොට අපි වලපල්ලට ගිහිල්ල තියේද දන්නෑ. මොක උනත් සාර්ථක උනොත් හොඳ වැඩක්.

    ReplyDelete
  5. ස්තුතියි ප්‍රසන්න,
    තවම සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙන්නේ මීයන්ට පමණයි. මිනිස් වර්ගයා සඳහා අත්හදා බැලීමටත් තව කලක් ගතවේවි. ඊට පස්සේ වයස් ගත වීමත් සමග වැලඳෙන විවිධ රෝග සඳහා වෙන වෙනම අත්හදා බැලීමට සිදුවේවි. ඒවාට ගැලපෙන අතුරු අබාධ ඇති නොවන ඖෂධ වර්ග සොයා ගැනීම සඳහා තවත් කලක් ගතවේවි. කොහොමත් ඒ කාලය එළඹෙන කොට අප වැඩිදෙනෙක් වලපල්ලේ විය හැකියි.

    ReplyDelete