Saturday 9 June 2018

මිනිසා සහ ගැහැණිය ‘තුන් වන’ ඇසකින් දුටු ආකාරය ......


   දැනට දශක හතරකට පමණ ඉහතදී, මා අප්‍රිකානු කලාපයේ, සීෂෙල්ස් දේශයේ  සේවය කරද්දී, එහි ප්‍රධාන නගරයේ, සිහිවටන භාණ්ඩ  වෙළඳාම් කළ කුඩා වෙළඳ සැලක්, වසා දමන්නට සුදානම්  කර තිබුණි. එහි අලෙවි නොවී තිබුණු භාණ්ඩ  රාශියක්‌ ‘අවසන් කිරීමේ අඩුකළ මිලට’ (clearance sale) විකිණීම සඳහා තබා තිබුණි. එතැනින් සිහිවටන භාණ්ඩ කිහිපයක් ඉතා අඩුමිලට ගත් මා,  මුදල් ගෙවා පිටවීමට සැරසෙන විට වෙළඳසැලේ අයිතිකරුයයි සිතිය හැකි වයස අවුරුදු හැටක් පමණ වයස්ගතවූ අය, මා නතර කර, ඉතාමත් සුහද ආකාරයකට මා අමතා
                                                    
‘සුබ උදෑසනක්. මහත්මයා ආසියාතිකයෙක් වගෙයි, මොන රටේද?’ කියා ඇසීය.                                                                                                                                                               ‘මම ශ්‍රී ලංකාවේ’  මම එක්වරටම කීවෙමි.

‘දකින්නට ලැබුනාට සන්තෝෂයි. මම ඉන්දියානු ජාතික, කෙන්යා පුරවැසියෙක්. මෙහේ සිටින්නේ බිරිඳත් මාත් පමණයි. දරුවෝ තවම එහේ ඉගෙන ගන්නවා’ කියමින් ඔහු ආචාර ශීලීව, මට අතට අත දුන්නේය.

‘මම මේ රටට ඇවිත් අවුරුදු දහයක් වෙනවා. බිස්නස් කිහිපයක් කළා. ඒ එකක්වත් හරිගියේ නැහැ. මේ වැඩෙත් බංකොලොත් උනා. ඒක නිසායි මේ අවසාන සේල් එකක් දැම්මේ. මේ විසිතුරු භාණ්ඩ අවශ්‍ය අය මෙහෙ නැහැ’ යයි කියමින්

මා මිලට ගත් සිහිවටන බලා ආඩම්බරවූ ඔහු, ඒවා පිළිබඳව තවත් දේ  විස්තර කර,  ලාච්චුවක තිබුණු තවත් භාණ්ඩ කිහිපයක් පිටතට ගෙන මට පෙන්වීය. එම භාණ්ඩ අතර ඇත්දත් වලින් සාදනලද කැටයම් කළ නිපැයුම් කිහිපයක් සහ යම් යම් වාක්‍ය ඛණ්ඩ මුද්‍රණය කරනලද  පිඟන් ගඩොල් කිහිපයක්ද  (ceramic tiles‌) විය.

‘මේවා  මට පිට කෙනෙකුට දීමට හිත වාවා ගන්නට බැහැ. ජීවිත කාලයේම මාළඟ තිබුණු දේවල්. ඒ උනත් දැන් ජිවත් වීමට  මුදල් අවශ්‍ය නිසයි මේ තීරණය ගත්තේ’. කියමින් පිඟන් ගඩොල් දෙකක් මා අත තැබිය.

මට එම භාණ්ඩ අනවශ්‍ය බව කී විට, ඔහු තම  අතීතය පිලිබඳ පවසා, ඔහු තම මව් රටේ   පිඟන් ගඩොල් කර්මාන්ත ශාලාවක් සුළුවෙන් කරගෙන ගිය බවත්, ජීවත්වීම සඳහා එහි ආදායම ප්‍රමාණවත් වූ බවත් කිවේය. එහෙත් රටෙහි විවෘත ආර්ථිකය ආරම්භ  කිරීමෙන් පසු විදේශ භාණ්ඩ ගලා ඒමෙන් තම කර්මාන්තය බංකොලොත් වූ බව දුක්මුසු ස්වරයකින් පැවසුවේය.

ඔහු මා  අත තැබූ පිඟන් ගඩොල් දෙක නම්කර තිබුණේ  ‘මිනිසුන් සහ ගැහැණුන් වයස් ගතවීම’  (Aging of men and women) යනුවෙනි. කෙසේ වෙතත් මම ඒවායේ මුද්‍රණය කර තිබුණු වාක්‍ය කියවූවෙමි. හාස්‍යයට කරුණක් ලෙස මට පෙනුණු  එම මුද්‍රිත වාක්‍ය වල විශේෂ වැදගත් අර්ථයක් ඇතිබව නොවැටහුණු නිසා  මම ඒවා ප්‍රතික්ෂේප කළෙමි. එම භාණ්ඩ වල පසු පැත්තේ (Ceramics of Kenya) යන වචන කැටයම් කර තිබුණු නිසා ඒවා කෙන්යාවේ නිපදවන ලද පිඟන් ගඩොල් බව මම දැන ගතිමි.

පිඟන් ගඩොල් මා අත තිබියදීම ඔහු එම වැකි වල ඇති ගුප්තාර්ථය සහ ඒවායේ ඇති සත්‍යතාවය මට තව දුරටත් විස්තර කළේය.
 
‘තරුණයෙකු වන ඔබට, අද එම අදහස් හාස්‍යයට කරුණු නිසා  අනවශ්‍යයයි සිතෙතත්, ඔබ මගේ වයසට ආ කාලයකදී ඒවායේ යතාර්ථය තේරුම් ගන්නට හැකිවේවි’ යයි කියා,

ඔහු සිනහ මුසු මුහුණින් මා දෙස ටික වේලාවක් බලා සිටියේය.

ඔහු මට තේරුම් කර දීමට උත්සාහ කළ කරුණෙහි යම්කිසි සත්‍යයක් තිබිය හැකි  බව, ඒ වන විට, ජිවිතයේ තුන්වෙනි දශකය ආරම්භයේ සිටි මට, තරමක් දුරට වැටහී ගියේය.

එහෙත් මම ඒවා මේසය මත තබා, තරමක් මිල අධික ඇත්දත් කැටයම් දෙකක් මිලදී ගත්තෙමි.

මා එසේ කළේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන්ද නැතහොත්  ඔහුගේ ජිවිතාවබෝධය පිළිබඳව ඇතිවූ  පහන් සිතින්ද යන්න මට අදටත් ගැටලුවකි.

මා එම භාණ්ඩ සඳහා නියමිත මුදල ඔහුට ගෙවූ විගසම, ඔහු මට කලින් පෙන්වූ පිඟන් ගඩොල් (tiles) දෙක

‘සුහද භාවයට මගෙන් තිළිණයක්‌’ යන්න මුද්‍රණය කර තිබුණු කවරයකට දමා,

‘මෙන්න මගෙන් ඔ‍බට තෑග්ගක්. ඔබට මෙම අදහස්  තේරුම් ගැනීමට හැකිවන දිනයේදී මා පරලොව ගොස් සිටීවී. එදිනට මා සිහිපත් කරන්න’. කියා එය මට දුන්නේය.

මා එයට මුදල් ගෙවීමට උත්සාහ කළත්, එය තරයේම ප්‍රතික්ෂේප කළ ඔහු

‘අන් කෙනෙකුගේ හදවත තේරුම් ගත හැකි, හදිසියේ හමුවී, ටික වේලාවකින් වෙන්වී යන කෙනෙකු වුවත්,  මට මුදලට වඩා කිහිප ගුණයක් වටිනවා.’ යයි කියා, ඔහු නැවතත් මට අතට අත දී සුබ පැතුවේය.

ඔහුගේ ඇස්වල කඳුළු නැගෙනු මම යන්තමින් දුටුවෙමි.

මට කරකියා ගත හැකි කිසිවක් නොවිය. ඔහුට සුබ පැතු මම වෙළඳ සැලෙන් පිටවිමි. 

ඊට සතියකට පමණ පසු, එතැනට ගියවිට දකින්නට ලැබුණේ වෙනත් පිරිසක් එහි අලුත්වැඩියා කටයුතු කරන බවයි. මා ඔවුන්ගෙන් විපරම් කලත් කලින් දින මට හමුවූ වෙළඳ සැල් හිමියා ගැන ඒ කිසිවෙකු  නොදත්හ.

මා සමග විනාඩි කිහිපයක් පමණක් කථා කළ ඒ අද්භුත පුද්ගලයා මට ඊට පසු කිසිම දිනක හමු නොවිය.

මේ සිද්ධියට දිගු කලකට පසු, පොත් අල්මාරියක් අස්පස් කරද්දී, අස්ථාන ගතවී තිබිණු    පිඟන් ගඩොල් මට නැවත හමුවිය, ඒවායේ අන්තර්ගත කරුණු පිලිබඳ යතාර්ථය අද මට හොඳින් අවබෝධවී තිබේ. ඒවායේ මුල් අයිතිකරු අද ජිවතුන් අතර නොමැති විය හැකිය. මම එදා ඔහු සිටි වයස පසුකර සිටිමි. මේ සටහන ඒ යතාර්ථය සිහි කිරීම වෙනුවෙනි.

ඔහු විසින් ‘මිනිසුන් සහ ගැහැණුන් වයස් ගතවීම’ ලෙස නම්කර තිබුණු එම  පිඟන් ගඩොල් දෙකෙහි ඡායාරුපයක් පහත දැක්වේ. ඒ දෙකෙහි ඇති පාඨ වෙන වෙනම මාතෘකා කර තිබුණේ 

“ගැහැණිය මුළු මහත් ලෝකය මෙනි - මිනිසා වාෂ්ප දුම්රියක් මෙනි” යන ව්‍යංග අදහසක් දනවන සංකල්පයකින් විය.

          
        
                     
1.     ගැහැණිය මුළු මහත් ලෝකය මෙනි:

           ඇය:

·        වයස විස්සේදී, අප්‍රිකානු මහාද්වීපය මෙනි. මඳ වශයෙන් ගවේෂණය කර තිබේ.

·        වයස තිහේදී, ඉන්දියාව මෙනි. පරිණතවූ එහෙත් ගුප්ත වස්තුවකි.

·        වයස හතලිහේදී,  ඇමෙරිකාව මෙනි. තාක්ෂණික අතින් පරිපුර්ණය.

·        වයස පනහේදී, යුරෝපය මෙනි. සියල්ල නටබුන්වී ගොස්ය

·      වයස හැටේදී, සයිබීරියාව මෙනි. සියල්ලෝම ඒ  ගැන දනිතත් කිසිවෙකුට එහි යාමේ අවශ්‍යතාවක් නොමැතිය


2.     මිනිසා   වාෂ්ප දුම්රියක් මෙනි......

          ඔහු:

§  වයස විස්සේදී, රේල් බසයක් මෙනි. සෑම දුම්රිය පලකම නතර කරයි.

§  වයස තිහේදී  අර්ධ ශිග්‍රගාමි දුම්රියක් මෙනි. එය නතර කරනුයේ ප්‍රධාන නගරවල පමණකි.

§  වයස හතලිහේදී   අධි  ශීඝ්‍රගාමි දුම්රියක් මෙනි. මහා නගර වල පමණක් නතර කරයි.

§  වයස පනහේදී,  පැරණි වාෂ්ප දුම්රියක් මෙනි. වතුර දැමීමට ... (පිටකිරීමට) නිරතුරුවම නතර කරයි.

§  වයස හැටේදී, අංගණයටම ගාල් වී ඇති දුම්රියක් මෙනි. අබල දුබලවී, යාන්ත්‍රික දෝෂ නිසා  ගමන් බිමන් නතර කර තිබේ......

එදා ඒ අද්භූත පුද්ගලයා, ජිවිතාවබෝධය පිළිබඳව මට කියාදුන් පාඩම (එහෙත් මට හරිහැටි අවබෝධ නොවූ), අද මට හොඳින් තේරුම් ගත හැකිය. අද මම, එදා ඔහු සිටි වයස පසුකර සිටිමි.  එදා ‘අර්ධ ශීඝ්‍රගාමි දුම්රියක්’ ලෙස සිටින්නට ඇති මා අද,  ‘අබල දුබලවී, යාන්ත්‍රික දෝෂ නිසා අංගණයටම ගාල් වී ඇති’ දුම්රියක් මෙනි.

එදා මා ඔහුගෙන් සමු ගනිද්දී

‘තරුණයෙකු වන ඔබට, අද එම අදහස් හාස්‍යයට කරුණු නිසා  අනවශ්‍යයයි සිතෙතත්, ඔබ මගේ වයසට ආ කාලයකදී ඒවායේ යතාර්ථය තේරුම් ගන්නට හැකිවෙවී’

එදා ඔහු පෙන්වා දුන් යතාර්ථය, අද මම, එහි පරිසමාප්ත අර්ථයෙන්ම දකිමි.

එදා ඔහු කළ ප්‍රකාශය කෙතරම් සත්‍යයක්ද යන්න මට ඉතා හොඳින් අවබෝධවී තිබේ.

මට මහඟු සත්‍යයක් පෙන්වා දුන්, ඒ මිනිසා ගැන වෙනත් කිසිම තොරතුරක්, අඩුම වශයෙන් ඔහුගේ නමවත් අසා නොගැනීම ගැන මම අදත් පශ්චාත්තාප වෙමි.

කෙන්යාවේ නිෂ්පාදනය කර තිබෙන මෙම පිඟන් ගඩොල් වල යොදා ඇති පාඨ කාගේ කියමන්ද යන්න මට සොයා ගත නොහැකිවිය. පසුව 

අන්තර්ජාලයේ https://i.pinimg.com/originals/d3/e4/ef/d3e4ef8545ee3f356757c2a0e54ef1e5.jpg  යන ඈඳිය (link) ඔස්සේ එම පුවරු දෙකම එක්රාමුවක ඇති, පින්තුරයක් සොයා ගත හැකි විය.

එය මෙසේය:

ඉතාමත් සරල දෙයකින් වුවද, ජීවිතය විනිවිද දැකිය හැකි නොවේද?

16 comments:

  1. තරුණ කාලෙදි විකාරයක් වගේ පෙනෙන දෙයක් මහළු වයසට යනවිට කොතරම් සත්‍යක් බවට පත්වෙයිද යන්න පෙන්වා දීල තමයි එහෙනං අර මනුස්සය පිටමං වෙලා තියෙන්නෙ.

    අගෙයි මේ සටහන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      ඒ පුද්ගලයා කුමන තරාතිරමක කෙනෙක් වුවත් ජීවිතය පිලිබඳ මනා අවබෝධයක් ලබා තීබුණු කෙනෙක් බව තරුණ වයසේ සිටි මට හොඳින් අවබෝධ වුවා. එසේ ඔහුගෙන් උගත් පාඩම පරම සත්‍යයක් බව තවත් හොඳින් තේරුම් ගැනීමට හැකි වුයේ ටිකින් ටික වයස් ගත වන විටයි. මෙය ගැහැණු පිරිමි කාටත් සාධාරණ ලෝක ධර්මයයි.

      Delete
  2. ඔය හැම ස්ටේජ් එකම ඒ විදිහටම පහු කළොත් තමයි ඔය කියන ඇත්ත හරියටම තේරෙන්නේ. එහෙම නැතුව නාකි උනාම කරන්න තියෙන ඒවා තරුණ කාලේදි කළොත් ජීවිතේම මෙළෝ රහක් නැතුව යනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනුක,
      ඔබගේ අදහස හරි. බොහෝ අය ඔය ධර්මතාව පටලවාගෙන මහත් හිරිහැරවලට ලක් වෙනවා.
      //නාකි උනාම කරන්න තියෙන ඒවා තරුණ කාලේදි කළොත්//
      මෙහි අනික් පැත්ත ඊටත් වඩා අනිසි ප්‍රතිඵල ගෙන දෙන බවත් බොහෝ විට දකින්නට ලැබෙනවා නේද?

      Delete
  3. වචන වැලකින් කියන්නට බැරි අර්ථයක් ගෙන රඳවලා
    තිබුණ සිහිවටනයම අද දින බ්ලොග් පිටුව මත දිස්වෙලා
    දුවන ලෝකෙක ඔබට හමුවූ ඔහු කොහේදෝ සැඟවෙලා
    මවන ගැහැණිය පිරිමියා ගැන ලිව්ව දේ ඇත්තක් වෙලා...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී,
      උපත රෝ දුක වයස් ගතවී මරණයෙන් දිවි තොර වෙතේ
      විපත සිදුවන බවක් නොමදැන මෙල්ල නොමකර ගති සිතේ
      පැවත ආවත් කෙලි දෙලෙන් වෙර නොමැති වි යයි තම ගතේ
      ඉහත වැකිවල හොඳින් කියවෙයි බවුන් වැඩුමට එය ඇතේ

      ඔබට ජයම !

      Delete

  4. “Most people don't grow up. Most people age. They find parking spaces, honor their credit cards, get married, have children, and call that maturity. What that is, is aging.”
    ― Maya Angelou


    “You don't stop laughing when you grow old, you grow old when you stop laughing.”
    ― George Bernard Shaw

    ReplyDelete
  5. Thank you Pra Jay,
    The quotations you have sited are self explanatory about the unavoidable aspect of life.
    Growing up and aging are two different phases of life. if a person gets settled down in 'life-long learning' aging is gradually postponed.

    ReplyDelete
  6. Thanks Mr. Daya....

    You are spot on when you say aging and growing up are entirely different.

    I am an Old man now and I certainly looking forward to growing up (I mean further growing up Ha, Ha)

    ReplyDelete
  7. Thank you Ravi,

    The physical aging process is a Biological phenomenon that seems to be natural.(BUT) If one gets regularly engaged in activities concerned with mental alertness (what you do now is quite appropriate) would overrun the so called physical lethargy.

    Very soon I will be writing a Post concerned with the latest scientific approach to arrest aging !

    Do not think that you are Old! You can still grow up!

    ReplyDelete
  8. මෙය ගැහැණිය ගැන අශිෂ්ඨ ලිිංගික ‌කෝණයකින් බැලීමකි. මෙැවනි ලිපියක් පළ කිරීම ඔබට නොවටී. සුනන්ද

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යුක්තිය,
      ඔබ දකින කෝණය මා සහ තව බොහෝ අය දකින කෝණය නොවිය හැකියි.

      Delete
  9. මෙහි කොමෙන්ටු වල තිබෙන පරිදි මෙය විවිධ කෝණ වලින් අර්ථ ගැන්විය හැකිය. ලියු තැනැත්තා කුමක් අර්ථ කලේ දැයි පැනයකි.
    'Aging is not lost youth but a new stage of opportunity and strength.' Betty Friedan

    ReplyDelete

  10. ස්තුතියි මාලිනි,
    මා කලකට පෙර ලියූ මෙම සටහන කියවීම ගැන සතුටුයි. එය සත්‍ය කථාවක්. ජීවිතය තේරුම් ගත් අවංක මිනිසෙකු වූ ඔහු සමග මා කතාබස් කලේ විනාඩි කිහිපයයි.
    මෙයට අදාලව විලියම් ශේක්ස්පියර් විසින් ලියන ලද කව් පෙළක මුල් පද කිහිපය මට මෙවෙලේ සිහියට නැගෙනවා.
    "All the world's a stage,
    And all the men and women merely players,
    They have their exits and entrances,
    And one man in his time plays many parts"

    ReplyDelete