Monday, 25 June 2018

මී මැස්සන්ට ‘අපලයක්’. අපට ආහාර අර්බුදයක් .......!


·       සපුෂ්ප ශාකවල පලදාව අඩුවී යාම .......
·       මල් පරාගණය කරන කෘමින්ට තර්ජනයක් !

දැනට දශක පහකට පමණ ඉහතදී ශ්‍රී ලංකාවේ පාසැල් අධ්‍යාපනයෙහි මහත් පෙරළියක් ඇතිකළ, එසේම පාසැල් සිසුන් අතර ඉතාමත් ජනප්‍රිය වු  “ව්‍යාපෘති” (Projects) වැඩසටහන වසර කිහිපයකදී හේතු රහිතව මෙන්, අත්හැර දමන ලදී. එම වැඩසටහනේ සම්පත් දායකයෙකු ලෙස නිරත වු මා හට දකින්නට ලැබුණු සිද්ධියක් අද ජගත් ගැටළුවක් බවට පත්වී ඇති බව පෙන්වීම පිණිස මෙම සටහන තබමි.

කුරුණෑගල  දිස්ත්‍රික්කයේ විදුහලක උසස් පෙළ සිසුන්ගේ ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබුණේ රසායනික පොහොර නොයොදා ගෙරිකටු, ගොම පොහොර, කොළ පොහොර වැනි දේ පමණක් භාවිත කරමින් වගා කළ කුඹුරකි. ඔවුන්ගේ නිරික්ෂණ වලට අනුව, පිට පිට කන්න කිහිපයකදීම එම කුඹුරෙන් සාර්ථක අස්වැන්නක් ලබා ඇත. ඒ සමගම එම කුඹුර මායිමේ තිබුණු පොල් ගස් කිහිපයකද සරුසාර පලදාවක් ලැබෙන බවද ඔවුන් ව්‍යාපෘතියේ අතුරු ඵලයක් ලෙස සටහන් කර තිබුණි. 

ඊළඟ වසරේ යම්කිසි කෙනෙකුගේ නිර්දේශයක් මත (අස්වැන්න වැඩිකර ගැනීම සඳහා) කුඹුරට රසායනික පොහොර යෙදීමටත්, ගොයම පීදි ගෙන එන අවස්ථාවේදී කෘමි නාශක ඉසීමටත් තීරණය කර ඇත. 

එම වසරේ මුල් කන්නයේදී ගොයමේ අස්වැන්න තරමක් වැඩිවූ බව වාර්තා විය. 

ඒ සමගම ඒ වසරේ පොල් ගස් කිහිපයේ පලදාව බෙහෙවින් අඩුවී ඇති බවද ඔවුන්ගේ දත්ත වල සටහන් කර තිබිණ.

පොල් පලදාව අඩුවීමට ප්‍රධාන හේතුව වශයෙන් එම සිසුන් අවධාරණය කර තිබුණේ, කුඹුරට යොදන ලද කෘමි නාශක නිසා, පොල්ගස් වල මල් පරාගණය කරනු ලබන මිමැස්සන් සහ අනිකුත් කෘමින් විනාශ වු නිසා වියහැකි බවය.

එම ව්‍යාපෘතියේ ප්‍රධාන සම්පත් දායකයා වු මම, එම ව්‍යාපෘතියෙන් ලබාගෙන ඇති නිරීක්ෂණ ඉතා වැදගත් බවත්, අනාගතයේදී තවදුරටත් පර්යේෂණ කිරිමට සුදුසු පිවිසුමක් බවත්  නිර්දේශ කර අධ්‍යාපන අමාත්‍යංශයට ඉදිරිපත් කළෙමි. එම ව්‍යාපෘතිය දිස්ත්‍රික්කයේ හොඳම ව්‍යාපෘතිය ලෙස තේරී තිබිණ.

මෙම  සරල සිද්ධිය අද ලෝක අවධානයට ලක්වී තිබේ. කෘමි නාශක නිසා මීමැසි ගහනය ආපදාවට පත්වීම අනාගත ආහාර හිඟයකට මුලික විය හැකි බව අද තේරුම් ගෙන තිබේ.  එදා, වසර පණහකට පමණ ඉහතදී, අපගේ සිසුන් විසින් කරන ලද ඒ පර්යේෂණයට අත හිත දී කටයුතු කරන්නට ලැබුණා නම්, මේ වැදගත්  සංසිද්ධිය සොයා ගැනීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමි වන්නට ඉඩකඩ තිබුණි.
  
එහෙත් අපගේ තරුණ පරම්පරාව එවැනි  මං ඔස්සේ යොමු කිරිමට තිබෙන ඉඩකඩ තවමත් බොහෝ සෙයින් ඇහිරී ඇති බව මගේ විශ්වාසයයි.

(https://default.salsalabs.org/Tcb4cdb21-caef-4007-b91c-96f1e6f0f3e6/e12a69c0-63cb-4920-a0b0-56d202e5a856)

මල් පරාගණය සඳහා සත්තු විශාල මෙහෙවරක් කරති.

අද තත්ත්වය මෙසේය.

‘මිහිකත දින ජාලය’ (Earth Day Network) නමැති ලෝක ව්‍යාප්ත පරිසර සංරක්ෂණ සංවිධානය මගින් 2018, වසරේ ජුනි මස අවසාන සතිය ‘ජගත් මීමැසි සංරක්ෂණ සතිය’ (world bee conservation week) ලෙස නම්කර තිබේ. මුළු ලොවටම බලපාන මෙවැනි වැඩ සටහනකින් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න වටහා ගැනීම වැදගත් වේ. මෙයට පිවිසුමක් වශයෙන් අපගේ ආහාර ගැන මඳක් විමසිලිමත් වෙමු.

මිනිසාගේ ආහාරය වශයෙන් ගනු ලබන ගෙඩි වර්ග, කරල් වර්ග, ඇටවර්ග, පලතුරු වර්ග ආදිය හටගන්නේ එම ශාකවල පිපෙන මල් වලිනි. මලකින් ඵලයක් හටගැනීම සඳහා එයට අදාළ පුං ජන්මාණු සහ ජායා ජන්මාණු, එකතුවීම  සාර්ථක පරාගණයක් මගින් සිදුවිය යුතුය. මේ සඳහා ප්‍රධාන වශයෙන් දායක වනුයේ මීමැස්සන්, සමනලයින් වැනි කෘමින්ය. 

මල් පරාගණය කිරිමට ආධාර වන මිමැස්සන් ඇතුළු අනිකුත් කෘමින් මිනිසාට හිතකර, ලොව සිටින ප්‍රධාන ගණයේ සත්ත්ව විශේෂ ලෙස පිළිගැනේ. අපගේ ආහාරය සඳහා ගනු ලබන පලවැල හටගන්නා ශාකවල මල් පරාගණය සිදු නොවුවහොත් ටික කලකදීම අහාර හිඟයක් සිදුවිය හැකි බව අනුමාණ කර තිබේ. මෑතදී කරනලද ගණනය කිරීම් වලට අනුව පරාගණය ඇනහිටියහොත් ජගත් ශාක ආහාර නිෂ්පාදනයෙන් සියයට තිස්පහක් පමණ අඩුවන බව සොයාගෙන ඇත. 

එමෙන්ම පරාගණය සිදු නොවුවහොත් ඊළඟ කන්න සඳහා වගා කිරිමට බිජද නොලැබී යනු ඇත.

මෙම විද්‍යාත්මක නිරීක්ෂණයට අදාළ, මීමැසි ගනාවාස වල අර්බුදය ‘ගනාවාස  පිරිහීමේ අවුල’ (colony collapse disorder) ලෙස නම්කර තිබේ.මේ අවුලට ප්‍රධානම හේතුව වශයෙන් හඳුනාගෙන තිබෙන්නේ, මිනිසාගේ අපරීක්ෂාකාරී, පලිබෝධ නාශක භාවිතයයි. 

දැනට දශක කිහිපයක සිට ඕනෑම භෝග වගාවකට පලිබෝධ  නාශක යෙදීම සිරිතක් වශයෙන් කරගෙන යනු ලැබේ. ඒ සමගම සමහර පලිබෝධ ඉක්මණින්ම, නාශක ද්‍රව්‍ය වලට එරෙහිව අනුවර්තනය වෙමින් සිටින බවක්ද පෙනේ. දැන් මෙය විෂම චක්‍රයක් වී අවසානය. වගාවන්ට අහිතකර පලිබෝධයන් විනාශ කිරීම සඳහා යොදනු ලබන රසායනික නාශක නිසා මිමැස්සන්, සමනලයින් වැනි පරාගණය සඳහා විශාල මෙහෙයක් කරන කෘමින්ද විනාශ වේ.

විශේෂයෙන්ම ගනාවාසි මීමැස්සන්ට පලිබෝධ නාශක නිසා මෙතෙක් සිතූ නොවිරූ උපද්‍රවයකට මුහුණ පෑමට සිදුවන බව මෑතදී නිරීක්‍ෂණය කර තිබේ. අප විසින් නිරතුරුවම භාවිත කරන පලිබෝධ නාශක සහ කෘමි නාශක වල (බොහෝවිට ‘ජෛව වියෝජනය වන’ හෝ ‘විෂ රහිත’ ආදී වශයෙන් නම් කර පවා ඇති) අඩංගු රසායන ද්‍රව්‍යයන්හි  අංශු මාත්‍රයකින් පවා මී මැස්සන්ගේ ස්නායු පද්ධතියට බලපෑම් කළ හැකිය. 

මල්පැණි සොයා යන මී මැස්සෙකු වාතයේ හෝ ශාකයක පතිත වී තිබෙන මෙවැනි රසායන ද්‍රව්‍යයක  ගැටුණු විට එම මී මැස්සාගේ ස්නායු පද්ධතියේ ව්‍යාකුල බවක් හටගෙන  සාමාන්‍ය චර්යා රටාව අවුල් සහගත වෙයි. බොහෝවිට මෙම තත්ත්වයට පත්වූ මී මැස්සෝ තම ගහණය සොයා ගැනීමට නොහැකිව මංමුලාවී විනාශයට පත්වෙති.
මේ සම්බන්ධයෙන් උතුරු ඇමෙරිකාවේ කරන ලද සමීක්ෂණයකට අනුව එහි සිටින මීමැසි විශේෂ හත්සියයක් පමණ මෙම අර්බුදයට මුහුණ පා සිටින බව සොයාගෙන තිබේ. එහි ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ (centre for Bio-diversity) වාර්තාවකට අනුව මෙම මීමැසි විශේෂ වලින් අඩකගේ පමණ ගනාවාස පරිහානියට ලක්ව ඇති බවත්, එයින් විශේෂ සියයට විසිපහක් පමණ වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින බවත් හෙළිවී ඇත.  (http://time.com/4688417/north-american-bee-population-extinction/)
අදටත්, හෙටටත්, අනාගතයටත් අපගේ ආහාර වගා රාශියක, පරාගණ කාර්යය සඳහා මිමැස්සන් අවශ්‍ය වේ. මේ නිසා මීමැස්සන් වැනි අපට හිතකර කෘමින් විනාශ මුඛයට පත්වීමට හෝ ඔවුන් වඳවී යාමට කිසිසේත් ඉඩදිය නොහැකිය. මෙයට හොඳම පිළියම වශයෙන් කෘමි නාශක හෝ පලිබෝධ නාශක භාවිතය අවම කර, පරිසරය සුරැකීමේ මහඟු සේවයට අතහිත දීමට  අදිටන් කර ගනිමු.
බොහෝ අවස්ථාවලදී අනිසි විපාක පිලිබඳ නොදැනුවත්කම නිසාම අනවශ්‍ය දේ සඳහාද කෘමිනාශක භාවිත කරන බව දකින්නට ලැබේ. එක් මැස්සෙකු, කැරපොත්තෙකු ඉවත් කිරීම සඳහා කිහිපවරක් කෘමි නාශක ඉසිනු සමහර අවස්ථාවලදී අපට දකින්නට ලැබේ. මේවා පිලිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා අපගේ සිවිල් සංවිධානද පියවර ගන්නේ නම් ඒ මගින් ලෝකයේ යහ පැවැත්ම සඳහා මහඟු සේවයක් කළ හැකි වනු ඇත.
“මිනිස් සංහතියට සහ අනිකුත් සත්ත්ව සමූහයාටම ජීවත්වීම සඳහා ඇත්තේ එකම පෘථිවියක් පමණකි. අපි එය රැක ගනිමු.” 





Monday, 18 June 2018

‘යෞවනයේ උල්පත’ (Fountain of Youth) - වයස්ගතවීම නතරකළ හැකි නව සොයාගැනීමක්...


ටිලොමරේස් (telomerase) එන්සයිමය
ඇමෙරිකා එක්සත් ජනපදයේ, හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයයේ, මහාචාර්ය රොනල්ඩ්. ඒ.ද පින්හෝ විසින් මෙහෙයවනලද විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් කරනලද පර්යේෂණ මගින් මෑතදී සොයාගන්නා ලද සරල එන්සයිමයක් නිසා වෛද්‍ය විද්‍යාවේ මහත් පෙරළියක් සිදුවීමේ පෙර නිමිති පහළ වී තිබේ. මෙය,  අප කවුරුත් විද්‍යා පාඩම්වල ජනක විද්‍යාව කොටසේදී  ඉගෙන ගෙන ඇති, වර්ණදේහ (chromosomes) ආශ්‍රිතව කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස සොයාගන්නා ලද, ටිලොමරේස් (telomerase) නම් එන්සයිමයයි. එහි ප්‍රාතිහාර්යය ලෙස සැලකිය හැක්කේ මෙම එන්සයිමය අප කාගේත් ශරිරවල නිරතුරුවම අඩු වැඩි වශයෙන් පවතින එන්සයිමයක් වීමයි.   
       
                              හෙලික්සාකාර සර්පිලයක් වැනි වර්ණදේහය                                                 
මිනිසා ඇතුළු සියලුම සතුන්ගේ වර්ධන ක්‍රියාවලිය, සිදුවනුයේ සෛල බෙදීයාම මගින්ය. වර්ධක සෛල බෙදී යාමේදී, මුලින්ම න්‍යෂ්ටිය බෙදී යයි. මෙහිදී ජීවියාගේ සුවිශේෂී ගති ලක්ෂණ පිළිබිඹු කරනු ලබන, DNA සහිත ජාන අන්තර්ගතය රැගත් වර්ණදේහය, හෙලික්සාකාර සර්පිලයක් (spiral helix) ලෙස විද්‍යාමාන වේ. මේ ආකාරයෙන් පවතින වර්ණදේහ සමුහය එකින් එක, දික් අතට පැලීම වැනි ස්වරූපයකින් බෙදෙන අතර, එසේ සෑදෙන නව වර්ණදේහ පොකුරු  වශයෙන්  වෙන වෙනම ගොනුවී,  අලුතින් බෙදී යන  සෛල වල  න්‍යෂ්ටි පිළියෙළ වේ. 
ඕනෑම සතෙකුගේ මුලාරම්භය තනි සෛලයකි. මිනිසාගේ මෙම සෛලය ක්‍රමක්‍රමයෙන් බෙදී ගොස් පරිණත අවස්ථාව වන විට ශරීරයේ, සෛල ට්‍රිලියන හතළිහක් පමණ තිබෙන බව ගණනය කර තිබේ. මේ  සෑම සෛලයකම න්‍යෂ්ටියේ, නියමිත වර්ණදේහ සියල්ලම මුල් අකාරයටම නැවත නැවතත් පිටපත්  වේ. ශරීරයේ එක් එක් අවයවයේ කෘති හෝ වෙනත් ක්‍රියාවලියන් සියල්ලම විධිමත් ආකාරයට පාලනය කිරීමට වර්ණදේහ වල ඇති DNA සංයුතියට හැකියාවක් තිබේ, උදාහරණ ලෙස, හෘදයේ සෛල, හෘද ස්ඵන්දනයටත්, ප්‍රතිදේහ නිපදවන සෛල, එම ක්‍රියාවලි සිදු කිරීමටත් ආදී වශයෙන් විවිධාකාරව නිර්මාණය වේ.
කෙසේ වෙතත් සෛල දිගින් දිගටම බෙදී යාමේදී, සෑම බෙදුමකදිම වර්ණදේහ  අග්‍රයේ අංශු මාත්‍රය‌ බැගින් ක්‍ෂය වීමට ඉඩකඩ තිබේ. වර්ණදේහයේ අග්‍ර  ටෙලොමියර (Telomere) නමින් හැඳින්වෙන ආවරණයක් සහිතය. යම්කිසි වර්ණදේහයක DNA කොටසක් ඉවත්වුවහොත් සමහර ආවේනික ගති ලක්ෂණ නැතිවී යාමට ඉඩකඩ තිබේ. මේ නිසා ස්වභාවිකව සිදුවනුයේ, ටෙලොමියරයෙන් කොටසක් ක්‍ෂය වී වර්ණදේහයේ දිග ප්‍රමාණය එලෙසම පවත්වා ගැනීමයි. මෙහිදී DNA සංයුතිය නොබිඳී පවත්වාගැනීම සඳහා ටෙලොමියර ‘කැපවීමක්’ සිදු  කරති.
මෙසේ කිහිප වාරයක්‌ කැප කිරීමෙන් පසු, ටෙලොමියරයට  වර්ණදේහය ආරක්ෂා කිරීමේ කාර්යය ඉටු කිරීමට නොහැකිවන අවස්ථාවක් එළඹේ. මෙම අවස්ථාවට පත්වූ වර්ණදේහ සහිත සෛල තම ‘නොහැකියාව’ හඳුනාගෙන අක්‍රිය තත්ත්වයට පත්වේ. මෙය ‘වියපත්වූ සෛලයක්’ ලෙස හැඳින්වේ. ශරීරයේ සෛල සමුහ වශයෙන් මේ තත්ත්වයට පත්වීම නිසා මිනිසා තුළ ‘වියපත් වීමේ ලක්ෂණ’ හට ගනී.
1984 වසරේදී, එලිසබෙත් බ්ලැක්බර්න් නම් විද්‍යාඥවරිය විසින්, ඒක සෛලීය ජීවියකුගේ න්‍යෂ්ටියක් තුළ, සිදුවන ජීව ක්‍රියා නිරීක්ෂණය කිරීමේදී, ටෙලොමියර මගින් නිපදවන එන්සයිමයක් සොයාගන්නා ලදී. මෙය ටෙලොමරේස් (telomerase) එන්සයිමය ලෙස නම් කර ඇත. සියළුම ජීවීන්ගේ වර්ණදේහ ආශ්‍රිතව ටෙලොමරේස් ඇති  බවත්, එහෙත් සෛලයක ආයු කාලය වැඩිවීමත් සමගම එහි ඇති ටෙලොමරේස් එන්සයිම ප්‍රමාණයේ අඩුවක් සිදුවන බවද නිරීක්ෂණය කර තිබේ. කලින් සඳහන් කළ පරිදි මිනිස් සිරුරේ ‘වයෝවෘධ’ භාවයට පත්වන සෛල සංඛ්‍යාව  මිනිසා වයස්ගත වීමත් සමගම වැඩිවන බවද නිරික්ෂණ වලදී පෙනී ගොස් ඇත.
එසේම, ඒක සෛලීය ජීවින්ගේ සහ ශරීරයේ සෛල කිහිපයක් පමණක් ඇති  ජීවීන්ගේ න්‍යෂ්ටි තුළ ටෙලොමරේස් එන්සයිමය හැසිරීම පිළිබඳව තවත් වැදගත් නිරීක්ෂණ කිහිපයක්ද කර තිබේ. මෙහිදී ටෙලොමරේස් එන්සයිමය මගින්  වර්ණදේහ වල ඇති  DNA දාම ටිකින් ටික  ක්ෂයවී යාමේ ප්‍රවණතාව අඩුකරනු ලබන බව හඳුනාගෙන ඇත. මෙම සොයා ගැනීම වෛද්‍ය විද්‍යාවේ ඉදිරිගමනට ඉතා වැදගත් පිම්මක් විය හැකිය
මෙම සංසිද්ධිය වෙනත් ආකාරයකින් විස්තර කළහොත් එය මිනිසා ඇතුළු සියළුම ජිවින්ගේ ආයු කාලය පාලනය කරන ප්‍රබලතම සාධකය ලෙස ලෙස නම්කළ හැකිය.
මහාචාර්ය රොනල්ඩ්. ඒ.ද පින්හෝ විසින් මීයන් භාවිත කර ඔහුගේ පර්යේෂණ කර තිබේ. මෙහිදී ඔහු විසින් පර්යේෂණයට භාජන කරන ලද තරුණ මීයන්ගේ සෛල න්‍යෂ්ටි වල ටෙලොමරේස් එන්සයිමය නිපදවීම පාලනය කිරීමේ ක්‍රමවේදයක් සාර්ථකව ක්‍රියාත්මක කළේය. මෙම මීයෝ සුළු කලකදීම වයස්ගත වීමේ ලක්ෂණ පෙන්නුම් කළහ. මෙම ලක්ෂණ අතර, එම සතුන්ගේ දුව පැන යාමේ අබල දුබලතාව, මොළය පාවිච්චි කර කළයුතු හැසිරීම් රටා අඩුවීම, ප්‍රජනක ශක්තිය අඩුවීම, ශරීරයේ ලෝම හැලීම සහ අවර්ණවිම ආදිය පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි විය.
පසුව, ටෙලොමරේස් එන්සයිමය නිපදවීමේ බාධක ඉවත් කළ විට, මීයන්ගේ සියළුම දුර්වලතා මගහැරී ගොස් ප්‍රකෘති තත්වයට පත්වුහ. ටෙලොමරේස් එන්සයිමය නොමැතිව මහලු වු මියෝ සියලු දෙනාම යලිත් තාරුණ්‍යය ලබාගත්හ. එම මීයෝ සියළුම අබල දුබලතාවලින් තොර, යහපත් ප්‍රජනක ශක්තියෙන් යුක්ත නාඹර මීයන් බවට පත්වුහ.
මෙම ප්‍රතිඵල පර්යේෂණ කණ්ඩායමේද මහත් මවිතයට හේතුවක් විය.
මීයන් යොදවා කරණ ලද පර්යේෂණවල සාර්ථකත්වය නිසා මෙම ක්‍රමවේදය මිනිසා සඳහාද උපයෝගී කරගැනීමට හැකිවේයයි බලාපොරොත්තු ඇතිකර ගත හැකිවේ.
මෙම පර්යේෂණයේදී  හෙළිවී ඇති වැදගත්ම කරුණ වනුයේ කාලයත් සමග වියපත් වන සෛල වලට ටෙලොමරේස් එන්සයිමය ලබාදීමෙන් නැවත ප්‍රකෘති තත්ත්වයට පත්විය හැකි බවයි. මේ අනුව මිනිසාගේ රෝගී වීම නිසා දුර්වල  වෙමින් පවතින අක්මාවක් නැවත පන ගැන්විය හැකිය. එසේම රැලි වැටුණු සම නැවත ඔප මට්ටම් කළ හැකිය. මෙම සංවේදී, එසේම ප්‍රාතිහාර්යයක් බඳු සොයාගැනීම, මිනිසා විසින් සතෙකුගේ වියපත්වීම වැලැක්වීම සඳහා කරන ලද මුල්ම විද්‍යාත්මක පර්යේෂණ මාලාවයි.
මිනිසාගේ සෛලවල වියපත්වීමේ සාධකය ඉවත් කළ හැකි වුවහොත්, සෛල නැවත නැවතත් බෙදි යාම නිසා වයස්ගත වීමේ යාන්ත්‍රණය සහමුලින්ම අතුරුදන් වනු ඇත. මේ නිසාම මෙම පර්යේෂක කණ්ඩායම ප්‍රකාශ කරනු ලබන පරිදි අනාගතයේදී පිළිකා, දියවැඩියාව, ඇල්සයිමර් (මතකය අඩු කරණ) වැනි රෝග සහ වයස අවුරුදු හැටකට වැඩි අයට වැලඳෙන වෙනත් බොහෝ රෝග වලින් ඔවුන් මුදවා ගත හැකි වන බවයි.
ඔවුන්ගේ මතය අනුව දැනට ලොව පුරා සිටින වයස්ගත වීමේ රෝග වලින් පිඩා විඳින ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රැකබලා ගැනීම සඳහා වැය වන මහා ධනස්කන්ධයට වඩා අඩු මුදල් ආයෝජනයකින් මෙම පර්යේෂණ වල  ප්‍රතිඵල ළඟාකරගත හැකිවනු ඇත. කෙසේ වෙතත් වියපත්වීම වැළැක්වීම සඳහා යෝග්‍ය ඖෂද නිපදවීම සඳහා බොහෝ ක්‍ෂේත්‍ර පරීක්ෂණ කළයුතු නිසා ඒවා සුලභ වීමට තව දිගු කලක් ගතවනු ඇත.
කෙසේ වෙතත් මෙය අනාගත මිනිස් ප්‍රජාව  සඳහා ඉතා සුබ නිමිත්තකි.
(තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි)


Saturday, 9 June 2018

මිනිසා සහ ගැහැණිය ‘තුන් වන’ ඇසකින් දුටු ආකාරය ......


   දැනට දශක හතරකට පමණ ඉහතදී, මා අප්‍රිකානු කලාපයේ, සීෂෙල්ස් දේශයේ  සේවය කරද්දී, එහි ප්‍රධාන නගරයේ, සිහිවටන භාණ්ඩ  වෙළඳාම් කළ කුඩා වෙළඳ සැලක්, වසා දමන්නට සුදානම්  කර තිබුණි. එහි අලෙවි නොවී තිබුණු භාණ්ඩ  රාශියක්‌ ‘අවසන් කිරීමේ අඩුකළ මිලට’ (clearance sale) විකිණීම සඳහා තබා තිබුණි. එතැනින් සිහිවටන භාණ්ඩ කිහිපයක් ඉතා අඩුමිලට ගත් මා,  මුදල් ගෙවා පිටවීමට සැරසෙන විට වෙළඳසැලේ අයිතිකරුයයි සිතිය හැකි වයස අවුරුදු හැටක් පමණ වයස්ගතවූ අය, මා නතර කර, ඉතාමත් සුහද ආකාරයකට මා අමතා
                                                    
‘සුබ උදෑසනක්. මහත්මයා ආසියාතිකයෙක් වගෙයි, මොන රටේද?’ කියා ඇසීය.                                                                                                                                                               ‘මම ශ්‍රී ලංකාවේ’  මම එක්වරටම කීවෙමි.

‘දකින්නට ලැබුනාට සන්තෝෂයි. මම ඉන්දියානු ජාතික, කෙන්යා පුරවැසියෙක්. මෙහේ සිටින්නේ බිරිඳත් මාත් පමණයි. දරුවෝ තවම එහේ ඉගෙන ගන්නවා’ කියමින් ඔහු ආචාර ශීලීව, මට අතට අත දුන්නේය.

‘මම මේ රටට ඇවිත් අවුරුදු දහයක් වෙනවා. බිස්නස් කිහිපයක් කළා. ඒ එකක්වත් හරිගියේ නැහැ. මේ වැඩෙත් බංකොලොත් උනා. ඒක නිසායි මේ අවසාන සේල් එකක් දැම්මේ. මේ විසිතුරු භාණ්ඩ අවශ්‍ය අය මෙහෙ නැහැ’ යයි කියමින්

මා මිලට ගත් සිහිවටන බලා ආඩම්බරවූ ඔහු, ඒවා පිළිබඳව තවත් දේ  විස්තර කර,  ලාච්චුවක තිබුණු තවත් භාණ්ඩ කිහිපයක් පිටතට ගෙන මට පෙන්වීය. එම භාණ්ඩ අතර ඇත්දත් වලින් සාදනලද කැටයම් කළ නිපැයුම් කිහිපයක් සහ යම් යම් වාක්‍ය ඛණ්ඩ මුද්‍රණය කරනලද  පිඟන් ගඩොල් කිහිපයක්ද  (ceramic tiles‌) විය.

‘මේවා  මට පිට කෙනෙකුට දීමට හිත වාවා ගන්නට බැහැ. ජීවිත කාලයේම මාළඟ තිබුණු දේවල්. ඒ උනත් දැන් ජිවත් වීමට  මුදල් අවශ්‍ය නිසයි මේ තීරණය ගත්තේ’. කියමින් පිඟන් ගඩොල් දෙකක් මා අත තැබිය.

මට එම භාණ්ඩ අනවශ්‍ය බව කී විට, ඔහු තම  අතීතය පිලිබඳ පවසා, ඔහු තම මව් රටේ   පිඟන් ගඩොල් කර්මාන්ත ශාලාවක් සුළුවෙන් කරගෙන ගිය බවත්, ජීවත්වීම සඳහා එහි ආදායම ප්‍රමාණවත් වූ බවත් කිවේය. එහෙත් රටෙහි විවෘත ආර්ථිකය ආරම්භ  කිරීමෙන් පසු විදේශ භාණ්ඩ ගලා ඒමෙන් තම කර්මාන්තය බංකොලොත් වූ බව දුක්මුසු ස්වරයකින් පැවසුවේය.

ඔහු මා  අත තැබූ පිඟන් ගඩොල් දෙක නම්කර තිබුණේ  ‘මිනිසුන් සහ ගැහැණුන් වයස් ගතවීම’  (Aging of men and women) යනුවෙනි. කෙසේ වෙතත් මම ඒවායේ මුද්‍රණය කර තිබුණු වාක්‍ය කියවූවෙමි. හාස්‍යයට කරුණක් ලෙස මට පෙනුණු  එම මුද්‍රිත වාක්‍ය වල විශේෂ වැදගත් අර්ථයක් ඇතිබව නොවැටහුණු නිසා  මම ඒවා ප්‍රතික්ෂේප කළෙමි. එම භාණ්ඩ වල පසු පැත්තේ (Ceramics of Kenya) යන වචන කැටයම් කර තිබුණු නිසා ඒවා කෙන්යාවේ නිපදවන ලද පිඟන් ගඩොල් බව මම දැන ගතිමි.

පිඟන් ගඩොල් මා අත තිබියදීම ඔහු එම වැකි වල ඇති ගුප්තාර්ථය සහ ඒවායේ ඇති සත්‍යතාවය මට තව දුරටත් විස්තර කළේය.
 
‘තරුණයෙකු වන ඔබට, අද එම අදහස් හාස්‍යයට කරුණු නිසා  අනවශ්‍යයයි සිතෙතත්, ඔබ මගේ වයසට ආ කාලයකදී ඒවායේ යතාර්ථය තේරුම් ගන්නට හැකිවේවි’ යයි කියා,

ඔහු සිනහ මුසු මුහුණින් මා දෙස ටික වේලාවක් බලා සිටියේය.

ඔහු මට තේරුම් කර දීමට උත්සාහ කළ කරුණෙහි යම්කිසි සත්‍යයක් තිබිය හැකි  බව, ඒ වන විට, ජිවිතයේ තුන්වෙනි දශකය ආරම්භයේ සිටි මට, තරමක් දුරට වැටහී ගියේය.

එහෙත් මම ඒවා මේසය මත තබා, තරමක් මිල අධික ඇත්දත් කැටයම් දෙකක් මිලදී ගත්තෙමි.

මා එසේ කළේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන්ද නැතහොත්  ඔහුගේ ජිවිතාවබෝධය පිළිබඳව ඇතිවූ  පහන් සිතින්ද යන්න මට අදටත් ගැටලුවකි.

මා එම භාණ්ඩ සඳහා නියමිත මුදල ඔහුට ගෙවූ විගසම, ඔහු මට කලින් පෙන්වූ පිඟන් ගඩොල් (tiles) දෙක

‘සුහද භාවයට මගෙන් තිළිණයක්‌’ යන්න මුද්‍රණය කර තිබුණු කවරයකට දමා,

‘මෙන්න මගෙන් ඔ‍බට තෑග්ගක්. ඔබට මෙම අදහස්  තේරුම් ගැනීමට හැකිවන දිනයේදී මා පරලොව ගොස් සිටීවී. එදිනට මා සිහිපත් කරන්න’. කියා එය මට දුන්නේය.

මා එයට මුදල් ගෙවීමට උත්සාහ කළත්, එය තරයේම ප්‍රතික්ෂේප කළ ඔහු

‘අන් කෙනෙකුගේ හදවත තේරුම් ගත හැකි, හදිසියේ හමුවී, ටික වේලාවකින් වෙන්වී යන කෙනෙකු වුවත්,  මට මුදලට වඩා කිහිප ගුණයක් වටිනවා.’ යයි කියා, ඔහු නැවතත් මට අතට අත දී සුබ පැතුවේය.

ඔහුගේ ඇස්වල කඳුළු නැගෙනු මම යන්තමින් දුටුවෙමි.

මට කරකියා ගත හැකි කිසිවක් නොවිය. ඔහුට සුබ පැතු මම වෙළඳ සැලෙන් පිටවිමි. 

ඊට සතියකට පමණ පසු, එතැනට ගියවිට දකින්නට ලැබුණේ වෙනත් පිරිසක් එහි අලුත්වැඩියා කටයුතු කරන බවයි. මා ඔවුන්ගෙන් විපරම් කලත් කලින් දින මට හමුවූ වෙළඳ සැල් හිමියා ගැන ඒ කිසිවෙකු  නොදත්හ.

මා සමග විනාඩි කිහිපයක් පමණක් කථා කළ ඒ අද්භුත පුද්ගලයා මට ඊට පසු කිසිම දිනක හමු නොවිය.

මේ සිද්ධියට දිගු කලකට පසු, පොත් අල්මාරියක් අස්පස් කරද්දී, අස්ථාන ගතවී තිබිණු    පිඟන් ගඩොල් මට නැවත හමුවිය, ඒවායේ අන්තර්ගත කරුණු පිලිබඳ යතාර්ථය අද මට හොඳින් අවබෝධවී තිබේ. ඒවායේ මුල් අයිතිකරු අද ජිවතුන් අතර නොමැති විය හැකිය. මම එදා ඔහු සිටි වයස පසුකර සිටිමි. මේ සටහන ඒ යතාර්ථය සිහි කිරීම වෙනුවෙනි.

ඔහු විසින් ‘මිනිසුන් සහ ගැහැණුන් වයස් ගතවීම’ ලෙස නම්කර තිබුණු එම  පිඟන් ගඩොල් දෙකෙහි ඡායාරුපයක් පහත දැක්වේ. ඒ දෙකෙහි ඇති පාඨ වෙන වෙනම මාතෘකා කර තිබුණේ 

“ගැහැණිය මුළු මහත් ලෝකය මෙනි - මිනිසා වාෂ්ප දුම්රියක් මෙනි” යන ව්‍යංග අදහසක් දනවන සංකල්පයකින් විය.

          
        
                     
1.     ගැහැණිය මුළු මහත් ලෝකය මෙනි:

           ඇය:

·        වයස විස්සේදී, අප්‍රිකානු මහාද්වීපය මෙනි. මඳ වශයෙන් ගවේෂණය කර තිබේ.

·        වයස තිහේදී, ඉන්දියාව මෙනි. පරිණතවූ එහෙත් ගුප්ත වස්තුවකි.

·        වයස හතලිහේදී,  ඇමෙරිකාව මෙනි. තාක්ෂණික අතින් පරිපුර්ණය.

·        වයස පනහේදී, යුරෝපය මෙනි. සියල්ල නටබුන්වී ගොස්ය

·      වයස හැටේදී, සයිබීරියාව මෙනි. සියල්ලෝම ඒ  ගැන දනිතත් කිසිවෙකුට එහි යාමේ අවශ්‍යතාවක් නොමැතිය


2.     මිනිසා   වාෂ්ප දුම්රියක් මෙනි......

          ඔහු:

§  වයස විස්සේදී, රේල් බසයක් මෙනි. සෑම දුම්රිය පලකම නතර කරයි.

§  වයස තිහේදී  අර්ධ ශිග්‍රගාමි දුම්රියක් මෙනි. එය නතර කරනුයේ ප්‍රධාන නගරවල පමණකි.

§  වයස හතලිහේදී   අධි  ශීඝ්‍රගාමි දුම්රියක් මෙනි. මහා නගර වල පමණක් නතර කරයි.

§  වයස පනහේදී,  පැරණි වාෂ්ප දුම්රියක් මෙනි. වතුර දැමීමට ... (පිටකිරීමට) නිරතුරුවම නතර කරයි.

§  වයස හැටේදී, අංගණයටම ගාල් වී ඇති දුම්රියක් මෙනි. අබල දුබලවී, යාන්ත්‍රික දෝෂ නිසා  ගමන් බිමන් නතර කර තිබේ......

එදා ඒ අද්භූත පුද්ගලයා, ජිවිතාවබෝධය පිළිබඳව මට කියාදුන් පාඩම (එහෙත් මට හරිහැටි අවබෝධ නොවූ), අද මට හොඳින් තේරුම් ගත හැකිය. අද මම, එදා ඔහු සිටි වයස පසුකර සිටිමි.  එදා ‘අර්ධ ශීඝ්‍රගාමි දුම්රියක්’ ලෙස සිටින්නට ඇති මා අද,  ‘අබල දුබලවී, යාන්ත්‍රික දෝෂ නිසා අංගණයටම ගාල් වී ඇති’ දුම්රියක් මෙනි.

එදා මා ඔහුගෙන් සමු ගනිද්දී

‘තරුණයෙකු වන ඔබට, අද එම අදහස් හාස්‍යයට කරුණු නිසා  අනවශ්‍යයයි සිතෙතත්, ඔබ මගේ වයසට ආ කාලයකදී ඒවායේ යතාර්ථය තේරුම් ගන්නට හැකිවෙවී’

එදා ඔහු පෙන්වා දුන් යතාර්ථය, අද මම, එහි පරිසමාප්ත අර්ථයෙන්ම දකිමි.

එදා ඔහු කළ ප්‍රකාශය කෙතරම් සත්‍යයක්ද යන්න මට ඉතා හොඳින් අවබෝධවී තිබේ.

මට මහඟු සත්‍යයක් පෙන්වා දුන්, ඒ මිනිසා ගැන වෙනත් කිසිම තොරතුරක්, අඩුම වශයෙන් ඔහුගේ නමවත් අසා නොගැනීම ගැන මම අදත් පශ්චාත්තාප වෙමි.

කෙන්යාවේ නිෂ්පාදනය කර තිබෙන මෙම පිඟන් ගඩොල් වල යොදා ඇති පාඨ කාගේ කියමන්ද යන්න මට සොයා ගත නොහැකිවිය. පසුව 

අන්තර්ජාලයේ https://i.pinimg.com/originals/d3/e4/ef/d3e4ef8545ee3f356757c2a0e54ef1e5.jpg  යන ඈඳිය (link) ඔස්සේ එම පුවරු දෙකම එක්රාමුවක ඇති, පින්තුරයක් සොයා ගත හැකි විය.

එය මෙසේය:

ඉතාමත් සරල දෙයකින් වුවද, ජීවිතය විනිවිද දැකිය හැකි නොවේද?

Friday, 1 June 2018

සමානාර්ථ පද (Synonyms) පිලිබඳ ගැටළුවක්.....


   ඉංග්‍රීසි විෂයය උගන්වන ගුරුවරයෙක් වූ, මගේ මිත්‍රයෙකු, තම සිසුන් විසින් නිතරම වැරදී සහගතව භාවිතා කරන, ඉංග්‍රීසි සමානාර්ථ පද යෙදුම් පිලිබඳ විස්තරයක්‌ මෑතදී මා සමග සාකච්ඡා  කළේය. එම යෙදුම්, භාෂා ව්‍යවහාරයේදීත් ලිවිමේදීත් දකින්නට ලැබෙන නිසා එයින් කිහිපයක් නිවැරදි කර ගැනීම සඳහා ප්‍රයෝජනවත් විය හැකි, විස්තර සහිත සටහනකි මේ.

1.     Great Britain and United Kingdom  (මහා බ්‍රිතාන්‍යය  සහ එක්සත් රාජධානිය)        

              
බ්‍රිතාන්‍ය දූපත් ආශ්‍රිත මෙම ගැටලුව විසඳා ගැනීම පිණිස   Anna Debenham විසින් සකස් කර තිබෙන ‘වෙන්’(Venn) සටහනක් යොදා ගත හැකිය.
(කහ-  මහා බ්‍රිතාන්‍යය, රතු -එක්සත් රාජධානිය, නිල්-බ්‍රිතාන්‍ය දුපත්, කොළ-අයර්ලන්තය)

බ්‍රිතාන්‍ය දුපත් - මෙහි තිබෙන රටවල් වන  එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය, උතුරු අයර්ලන්තය, අයර්ලන්ත සමුහාණ්ඩුව සහ කුඩා දුපත් දහස් ගණනක්‌ බ්‍රිතාන්‍ය දූපත් ලෙස නම් කෙරේ.  
මහා බ්‍රිතාන්‍යය - එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය, සහ කුඩා දුපත් සහිත ප්‍රදේශය මහා බ්‍රිතාන්‍යය වේ.
එක්සත් රාජධානිය - එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය, උතුරු අයර්ලන්තය සහ කුඩා දුපත් සහිත ප්‍රදේශය එක්සත් රාජධානිය නමින් හැඳින්වේ.
අයර්ලන්තය සහ  අයර්ලන්ත සමුහාණ්ඩුව - දකුණු අයර්ලන්තය පමණක්  යර්ලන්ත සමුහාණ්ඩුව ලෙස පෙනී සිටී.
එංගලන්ත, ස්කොට්ලන්ත, වේල්ස සහ උතුරු අයර්ලන්ත ජාතිකයෝ  මහා බ්‍රිතාන්‍ය පුරවැසියෝ වෙති. එහෙත් වෙනම රටවල් දෙකක් ලෙස සැලකෙන උතුරු අයර්ලන්තයේ සහ දකුණු  අයර්ලන්තයේ  පුරවැසියෝ අයිරිෂ් ජාතිකයෝ වෙති. ඉංග්‍රීසි ජාතිකයින් වනුයේ එංගලන්තයේ පුරවැසියන් පමණකි.

2.     Poisonous and Venomous  ( විෂ සහිත සහ විෂ ඝෝර)  
                 



දිලිරයක බිජාධරය ලෙස පැන නගින හතු වර්ග, පෝෂ්‍යදායි ආහාරයකි. එහෙත් අතරින් පතර දකින්නට ලැබෙන ‘නයි හතු’ වැනි හතු විශේෂ  විෂ සහිතය. විෂ හතු වල තිබෙන  α-amanitin නමැති විෂ රසායන සංයෝගය වකුගඩු සහ අක්මා ක්‍රියාකාරිත්වය අඩපන කරනු ලබයි. එසේම නියඟලා ශාකයේ අලයේ  යුෂය ශරීර ගත වුවහොත් මාරන්තික වේ. මෙම ශාක  පොදුවේ poisonous  (විෂ සහිත) ලෙස හැඳින්වේ.

නාගයින් පොළඟුන් වැනි විෂ ඝෝර සර්පයින් දෂ්ට කිරීමේදී, ඔවුන්ගේ   ඛේඨ  ග්‍රන්ථි වල සිට විෂ දළ ඔස්සේ  ගලායන  උග්‍ර විෂ නිසා එම සතුන්  (venomous) ලෙස හැඳින්වේ. නාග විෂ රුධිර පද්ධතිය හරහා ශරීර ගත වන අතර පොළොං විෂ ස්නායු පද්ධතියට හානි පමුණුවයි.

3.     Turtle and Tortoise  (කැස්බෑවා සහ ඉදිබුවා)
                    


කැස්බෑවා සහ ඉදිබුවා බාහිර ස්වරුපයෙන්ම පහසුවෙන් වෙන්කර හඳුනා ගත හැකිය. මොවුහු පෙනහැලි මගින් ස්වසනය කරන උරගයෝ වෙති. මුහුදු කැස්බෑවා මුහුදේ ජිවත් වන අතර බිත්තර දැමීම සඳහා පමණක් ගොඩ බිමට පැමිණේ. මිරිදිය විල් ආශ්‍රිතව ජිවත්වන කැස්බෑවන් දිය ගොඩ දෙකෙහිම වාසය සඳහා හැඩගැසී ඇත. පිහිනීම සඳහා අනුවර්තනය වි ඇති කැස්බෑවන්ට, ශරීරය සුමට හැඩයකින් යුක්ත වන අතර පිහිනීම  සඳහා සකස් වූ, පටලයකින් බැඳුනු ඇඟිලි සහිත පාද තිබේ. මුහුදේ වෙසෙන මත්ස්‍යයින්, ඉස්සන් ස්පන්ජි වැනි දේ ආහාරයට ගනිති.

ඉදිබුවෝ ගොඩබිම පමණක් වාසය කරන අතර ඔව්හු පිහිනීමට දක්ෂයෝ නොවෙති. ස්ථුල ශරීරයක්‌ ඇති ඉදිබුවන්ගේ පාද ස්ථම්භ ආකාරයට ගොඩබිම ජීවත්වීම සඳහා අනුවර්තනය වි තිබේ. බොහෝදුරට ශාක භක්ෂකයින් වන ඉදිබුවෝ බිම් මට්ටමේ වැඩෙන ශාක ආහාරයට ගනිති.  

4.     Weather and Climate  (කාලගුණය සහ දේශගුණය)

          
අපගේ වටපිටාවේ, එදිනෙදා, විටින් විට පවතින ස්වභාවය කාලගුණයයි. මෙය තීරණය වනුයේ යම්කිසි අවස්ථාවක පවතින වායු ගෝලීය උෂ්ණත්වය සහ පීඩනය, වර්ෂාපතනය, ආර්ද්‍රතාව, සුළඟ,  වළාකුළුවල විසිරීම වැනි කරුණු රාශියක බලපෑම නිසා ඇතිවන ස්වභාවික තත්ත්ව නිසාය.

දේශගුණය, කලගුණයට වඩා ඉඳුරාම වෙනස් ස්වභාවික සංසිද්ධියකි. එය දිගු කාලයක් තිස්සේ බලපැවැත්වෙන කාලගුණය සඳහා අවශ්‍ය සාධක සියල්ලේම, දිගු කාලීනව සිදුකරන බලපෑමයි. උෂ්ණත්වය, වර්ෂාපතනය වැනි සංසිද්ධි වල මිනුම් දිගු කාලයක් ඔස්සේ ලබාගෙන ඒ ආශ්‍රිතව හඳුනාගන්නා රටා අධ්‍යයනය කිරීමෙන් කාලගුණය පිලිබඳ පූර්ව නිගමන වලට එළඹිය හැකිය. 

5.     Prawn and Shrimp   (ඉස්සා සහ කුනිස්සා)

ඉස්සා සහ   කුනිස්සා බොහෝ දුරට එකාකාර වුවත් ඔවුන් අයත් වනුයේ විශේෂ දෙකකටය. ඉස්සාගේ පාද යුගල තුනක ඩැහි අඬු (forceps) වැනි නිය තිබීමත් කූනිස්සාගේ පාද යුගල දෙකක පමණක් එම නිය තිබීමත් පහසුම  හඳුනා ගැනීමේ ලක්‍ෂණය වේ. සමහර අවස්ථාවලදී ශරීර ප්‍රමාණය කුඩාවුන් කූනිස්සන් ලෙසද ශරීරය තරමක් විශාලවුන් ඉස්සන් ලෙසද නම්කරනු දකින්නට ලැබේ. එහෙත් කූනිස්සනට වඩා කුඩා ඉස්සන්ද, ඉස්සන්ට වඩා විශාල කූනිස්සන්ද සිටින බව වාර්තා වී ඇත. මිට අමතරව ඉස්සා තම බිත්තර ජලයට මුදා හරින අතර කූනිස්සා උගේ බිත්තර පරිණත වන තුරු උදරීය පැත්තේ කැදැල්ලක් මෙන් තබා ගනියි.

මෙම විශේෂ දෙකම අමෙරිකානුන් හඳුන්වනුයේ shrimps ලෙස වුවද ඔස්ට්‍රේලියාවේ සහ මහා බ්‍රිතාන්‍යයේ විශේෂ දෙකම prawans  යනුවෙන් හැඳින්වේ. කෙසේ වෙතත්, ජීව විද්‍යාත්මක කරුණු සඳහා  මොවුන් විශේෂ දෙකක් ලෙස සැලකේ.

6.     Capsules and Tablets  (බෙහෙත් කරල් සහ බෙහෙත් පෙති)



රෝගීන්ගේ අසනීප සුව කිරීම සඳහා, බටහිර වෛද්‍ය ක්‍රමයේ බෙහෙත් කරල් සහ බෙහෙත් පෙති බහුලව භාවිත වේ. අපගේ දේශීය වෛද්‍ය ක්‍රමයේද, අනාදිමත් කාලයක සිටම බෙහෙත් ගුලි සහ බෙහෙත් කුඩු භාවිත කර තිබේ. බෙහෙත් කරල සහ බෙහෙත් පෙති හැඩයෙන් පමණක් නොව තවත් ලක්‍ෂණ වලින් එකිනෙකට වෙනස් වේ. අදාල බෙහෙත් වර්ගයේ නියමිත මාත්‍රයක්‌ කුඩු වශයෙන් බෙහෙත් කරලක් තුළ තිබෙන අතර, බෙහෙත් පෙත්තක, කුඩු වශයෙන් සකස් කර නියමිත මාත්‍රය අධි පීඩනය යටතේ එකට තදින් බැඳී තිබෙන ලෙස යන්ත්‍රානුසාරයෙන් සකස් කර තිබේ.

බෙහෙත් කරලක ඇති ආවරණය, ජෙලටින් වැනි පහසුවෙන් දිය වන ද්‍රව්‍යයකින් සකස් කර ඇත. මෙම දෙවර්ගයේම ඇති ඖෂධ ගිලීමෙන් පසු ආහාර මාර්ගයේදී අවශෝෂණය වේ. බේත් කරල්වල ඇති ඖෂධ බෙහෙත් පෙති වල ඇති ඖෂධ වලට වඩා පහසුවෙන් අවශෝෂණය විය හැකිය.    

7.     Jam and Jelly  (ජෑම් සහ ජෙලි)


ජෑම් සහ ජෙලි යන ප්‍රණිත ආහාර දෙකම සකස් කිරීම සඳහා පාදක කර ගනු ලබන්නේ ඉදුණු පලතුරු වේ. මෙම දෙවර්ගයේ ප්‍රධානතම වෙනස වනුයේ ජෑම් සෑදීම සඳහා සිහිනියට අඹරා ගන්නා ලද පලතුරු භාවිත කරන අතර ජෙලි සඳහා පලතුරු යුෂ භාවිත කිරීමයි.

ජෑම් වල ඇත්තේ අඹරා ගත් පලතුරු සහ එම පලතුරෙහිම යුෂයත්  බැවින් උකු ස්වහාවයක පවතී. මේ  නිසා පාන් පෙත්තක් වැනි ආහාරයක ජෑම් පහසුවෙන් තවරා ගත හැකිය. ජෙලි වල ඇත්තේ පලතුරු යුෂ පමණක් නිසා එය උකු කර ගැනීම පිණිස සීනි සහ පෙක්ටින් මිශ්‍රකර උණු කර ගනු ලැබේ. මෙහිදී සිනි වලින් රස වැඩි කර ගැනීම සහ පෙක්ටින් වලින් උකු භාවය ඇතිකර ගැනීම සිදුවේ. මෙසේ සකස් කරනු ලබන ජෙලි  පාන් පෙත්තක් වැනි ආහාරයක පහසුවෙන් තවරා ගත හැකිය.  
----------------------------
මෙහි දැක්වුයේ උදාහරණ කිහිපයක් පමණකි. මෙවැනි, වැරදි ලෙස භාවිත කරන සරල යෙදුම් තව බොහෝ ඇත.

භාෂාව ව්‍යවහාරයේදී සහ ලිවිමේදී පැහැදිලි අවබෝධයකින් තොරව  කරනු ලබන මෙවැනි වැරදි, බොහෝ විට අසන්නට දකින්නට ලැබේ. විශේෂයෙන්ම,  පාසැල් සිසුන් මෙවැනි අව්‍යක්ත යෙදුම් හැකි තරම් දුරට මග හරවා ගැනීමට උනන්දු වන්නේ නම්, එය භාෂාව හරිහැටි අවබෝධ කර ගැනීම සඳහා මහත් රුකුලක් වනු ඇත. ඉංග්‍රීසි පමණක් නොව, මවු බස වන සිංහල යෙදුම් වලදීත් හමුවන මෙවැනි වචන පිලිබඳව විශේෂ අවධානයක් යොමු කරන මෙන් කාරුණික ඉල්ලීමක් කරමි.