විදේශයක රැකියාවක් කිරීම
සඳහා වැටුප් රහිත නිවාඩු ලබාදීමේ අධ්‍යාපන අමාත්‍යාංශ,චක්‍ර ලේඛය අනුව මටද දකුණු ඉන්දියන් සාගරයේ
පිහිටි, කුඩා රටක් වන සීෂෙල්ස් රාජ්‍යයේ වසර කිහිපයක් සේවය කිරීමට ලැබුණි. අධ්‍යාපනය
සහ සංස්කෘතික අගයයන්ගෙන් එතරම් ඉහල මට්ටමක නොතිබුණු රටක් වුවද එහි මිනිසුන් අවංක
නීති ගරුක පිරිසක්ම වුහ. මාහට මුහුණ පෑමට සිදුවූ එක්තරා සිද්ධියක් මගින් ඔවුන්ගේ
අවංක භාවය පැහැදිලිවම දැක්විය හැකිය.
මට එරටට යාමට අවස්ථාව ලැබුනේ 1983 වසරේ මුලදීය. එහි
ප්‍රධාන නගරයේ තිබුණු මහජන පුස්තකාලයේ සාමාජිකත්වය ලබාගත් මම, කියවීම සඳහා නිතුරුවම
පුස්තකාලයෙන් පොත් ලබාගැනීමට පුරුදුව සිටියෙමි. පුස්තකාල සාමාජිකත්වය ලබා මාස පහකින්
පමණ, මා සේවය කළ ආයතනය හරහා මට පුස්තකාලයෙන් දුර කථන පණිවුඩයක් ලැබිණ.
එය මෙසේය
‘වැදගත් කරුණක් සඳහා, කරුණාකර මහජන පුස්තකාලයේ
පුස්තකාලයාධිපතිනිය හමුවන්න.’
රටට අලුතින් පැමිණි කෙනෙකු වශයෙන් මෙය මට තරමක
ගැටළු සහගත පණිවුඩයක් විය.
එදිනම සවස මම පුස්තකාලයට ගොස් පුස්තකාලයාධිපතිනිය
හමුවීමි. මා සමග ඉතාමත් සුහද ව කථාකළ ඇය ලාච්චුවක් විවෘත කර මුද්දර කිහිපයක් ගෙන
මේසය මත තබා,
‘මේ මුද්දර හඳුනා ගත හැකිද ?’ කියා මගෙන් ඇසිය.
එහි මුද්‍දර කිහිපයක් විය. ඒවා සියල්ලම ශ්‍රී
ලංකාවේ අප නිතර දැක පුරුදු මුද්දර විය. ඒ මුද්දර ශ්‍රී ලංකාවේ ඒවා බව හඳුනාගත් මම
‘මේ මුද්දර කිහිපය එතරම් වැදගත් කරුණක් වන්නේ
කෙසේද?’ කියා එක් වරම ඇයගෙන් විමසීමි.
මගේ පන්තියක සිටි, මුද්දර එකතු කිරීම විනෝදාංශයක්
වශයෙන් කරන ශිෂ්‍යාවකට දීම සඳහා, ඊට මාස කිහිපයකට ඉහතදී මට ලැබුණු ලියුම් වලින්
ගලවා එකතු කළ, මුද්දර කිහිපයක් අස්ථාන ගතවූ බව මට මතක් විය. මට පෙන්වූ මුද්දර
කිහිපය නැවතත් හොඳින් පරික්ෂා කිරීමේදී එයින් එකක මා ලංකාවේ පදිංචි නගරයේ තැපැල්
මුද්‍රාව ඇති බව පැහැදිලිවම දැක ගත්තෙමි.
‘මේ මුද්දර, මේ රටේ මුද්දර එකතු කරන කෙනෙකුට දීම
සඳහා, මට ලැබුණු ලියුම් වලින් ගලවා ගත් ඒවා යි. මාස කිහිපයකට ඉහතදී ඒවා අස්ථානගත වී මට සොයා ගන්නට බැරි උනා.’
මම සිද්ධිය ඇයට පැහැදිලි කළෙමි.
‘ඔබ හරි, ඒවා ලාංකිකයෙකුගේ විය හැකි බව මුද්දරයේ “Sri Lanka” යන වචන වලින් අප දැනගත්තා. මේ මුද්දර තිබුණේ, ඔබ
කියවීම සඳහා ලබාගත් පුස්තකාල පොතක් ඇතුලේ. ඊට පසුව ඔබට පසුව එය කියවූ කෙනෙක්, මුද්දර සහ මුදල්
නෝට්ටු අපට ගෙනැවිත් භාර දුන්නා.’
කියා මඳ සිනහවක් පෑ ඇය, මා මාස කිහිපයකට ඉහතදී පුස්තකාලයෙන් ලබාගෙන, කියවා ආපසු භාරදුන් Dale Carnegie ගේ ‘How to win friends and influence people’ නම්
පොත මට පෙන්වූවාය. එහි අවසාන පිට කවරයේ ඇතුල් පැත්තේ එම පොත පාඨකයින් විසින් ලබාගෙන
ඇති දින සඳහන් කර තිබිණ. (ඒ කාලයේ පුස්තකාල කටයුතු සඳහා පරිගණක පාවිච්චියක් නොවිය)
අස්ථාන ගතවී යයි මා කලින් සිතු මුද්දර, පොතක් ඇතුලේ දමන ලද බව මට එවලේ සිහි විය.
මුද්දර කිහිපය සාක්කුවට දමාගත් මා ඇයට ස්තුති කර
ආපසු ඒමට සුදානම් වුවිට ඇය,
‘එහෙම යන්නට දෙන්න බැහැ. තවත් මීට වඩා වැදගත්
දෙයක් ගැන ගැන කතාකර, ඔබට තෑග්ගක් දෙන්නට තිබෙනවා’ යයි කියා මට මොහොතක් නතර වන ලෙස
අතින් සන් කළාය.
පුදුමයට පත්වූ මම සිදුවන්නේ කුමක්දැයි සිතා ගැනිමටවත්
නොහැකිව, නැවතත් පුටුවේ හිඳ ගතිමි.
ඇය, එවර ලාච්ච්චුව නැවත විවෘත කර, කුඩා කවරයක් මා ඉදිරිපිට තබා
‘මෙන්න ඔබට ‘තෑග්ගක්’. එයට මා ‘තෑග්ගක්’ කීවාට එය ඔබට අයිති දෙයක්’
කියමින් කවරය විවෘත කළාය.
කවරය තුළ වුයේ රුපියල් සියයේ නෝට්ටු දෙකකි. මට
කිසිවක් සිතා ගත නොහැකි විය. පුස්තකාලයට නවකයෙකු වූ මා, දැනුවත් නොවූ, පොත්
කියවීමේ තරඟයකින් ජයග්‍රහණය කර තිබේදැයි මට සැකයක්ද පහල විය. මා තුෂ්නිම්භුතව බලා
සිටින විට ඇය මට සියල්ල හෙළි කළාය.
‘මේ මුදල් නෝට්ටු දෙක තිබුනෙත් ඔබ කියවූ පොත
ඇතුළේ. මෙය ඔබගේ විය යුතුයයි අප අනුමාන කළා. දැන් එහි අයිති කරු ඔබ බව සැක රහිතව
ඔප්පු වූවා. කරුණාකර එය භාර ගන්න.’
මට සියල්ල තේරුම් ගත හැකි විය. ඊට මාස කිහිපයකට
පෙර, මා මගේ බැංකු ගිණුමෙන් රුපියල් දෙසියයක් ලබාගෙන, එදින මාගේ මුදල් පසුම්බිය සාක්කුවේ
නොතිබුණු බැවින්, එම නෝට්ටු අතෙහි තිබුණු පුස්තකාලයෙන් ලබාගත් පොත තුළ දමාගත් බව සැනයකින්
සිහි විය. එතෙක් මා සිතා සිටියේ එම මුදල් නෝට්ටු මග තොටේදී බිම වැටෙන්නට ඇත කියාය.
ඒ ගැන මට තරමක කනස්සල්ලක් ඇතිවුවත් ටික දිනකින් එය අමතක කර දැමීමි. එසේ නැතිවූ
මුදල් ආපසු ලැබේ යයි, මා කිසි විටකත් සිතුවේ නැත. (එකළ එරට රුපියල් දෙසියය අපේ මුදලින් රුපියල් දෙදහසක් පමණ
විය.)
‘ඔබ පොත ආපසු භාරදී මාසයකට පසු පොත කියවීම සඳහා
ලබාගත් වෙනත් පාඨකයෙක් පොතෙහි තිබී හමුවූ මුද්දර සහ මුදල් නෝට්ටු අපට ආපසු ගෙනැවිත් භාර
දුන්නා. ඊට ප්‍රථමයෙන් පොත කියවා ඇත්තේ ශ්‍රී ලාංකිකයෙකු විය හැකි බවට අප මුද්දර
වලින් සැක කළා. පුස්තකාල සාමාජිකයෙකු ලෙස ඔබ විසින් සම්පූර්ණ කර දෙන ලද තොරතුරු
පත්‍රිකාව අනුව අපට ඔබ සොයා ගැනීමට හැකි වුවා. ඔබට දුර කථන පණිවුඩයක් දුන්නේ ඊට පසුවයි. ඔබට අයිති මෙම මුදල් සතුටින් භාරගන්න.’
කියා මුදල් සහිත කවරය මා අත තැබුවාය.
නැතිවූ මුදල් ආපසු ලැබීම ගැන ලැබුණු සතුටට වඩා
කිහිප ගුණයක සතුටක්, එම මිනිසුන්ගේ අවංක භාවය පිළිබඳව මට ඇතිවිය. තව දුරටත් කල්පනා
කළ මා හට එම මුදල පුස්තකාලයටම පරිත්‍යාග කිරීමට සිත්වී,
‘මට මේ මුදල පුස්තකාලයටම පරිත්‍යාග කළ හැකිද?’ කියා
මම නිහතමානිව පුස්තකාලයාධිපතිනියගෙන් ඇසීමි.
‘ඔය මුදල් අයිති ඔබට. අපට හමුවූ එය, හැකි ඉක්මනින්, අයිති
කරු සොයා නැවත එය ඔහු අත පත් කිරීම අපගේ
යුතුකමක්. ඇරත්, අපට පුස්තකාලය වෙනුවෙන් මුදල් භාර ගැනීමට අයිතියක් නැහැ.’ කියා ඇය
මාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.
‘කරුණාකර මුදල භාරගත් බවට මෙහි අත්සන් කරන්න.’
කියා ඇය මට කුවිතාන්සියක් ඉදිරිපත් කළාය.
එය අත්සන් කළ මා ‘පුස්තකාලය වෙනුවෙන් මට කළහැකි
වෙනත් යමක් තිබේද?’ යන්න ඇයගෙන් ඇසීමි.
‘ඔබට අවශ්‍යම නම් පලාත් පාලන ආයතනයෙන් අවසරයක් ලබාගෙන, ඔවුන් නිර්දේශ කරන සාමාන්‍ය මිලක
පොතක් පුස්තකාලයට පරිත්‍යාග කළ හැකියි.’ ඇය කීවාය.
‘එසේ නම් ඒ සඳහා අවශ්‍ය කටයුතු කර මට දන්වන්න’ කී
මම
මට පසුව පොත කියවා ඇති, මුද්දර සහ මුදල් නෝට්ටු සමග පොත ආපසු භාරදුන් තැනැත්තා හඳුනාගත හැකිදැයි ඇයගෙන් විමසීමි.
‘ඒ තැනැත්තා කැමතිනම් පමණක් අපි එසේ කරමු’ යයි කී
ඇය මගේ ලිපිනය සහ ගෙදර දුර කථන අංකය ලියා ගත්තාය.
කිහිප දිනකට පසු, මට පළාත් පාලන ආයතනයෙන් ලිපියක්
ලැබිණ. එම ලිපියෙහි සඳහන් කරුණු කෙරෙහි මගේ සිත තදින් ඇදී ගියේය.
'ඔබගේ අස්ථානගතවූ මුද්දර සහ මුදල් අප පුස්තකාලයට
ලැබී, ආපසු ඔබහට ලබාදීමට හැකිවීම ගැන අපි මහත් සතුටට පත්වීමු. ඒ වෙනුවෙන් පුස්තකාලයට
පරිත්‍යාගයක් කිරීමට ගන්නා ලද, ඔබගේ තීරණය අපි ඉතාමත් අගය කරමු. පුස්තකාලයාධිපතිනියගේද නිර්දේශය අනුව, දැනට පුස්තකාලයේ නොමැති Dale Carnegie විසින්ම ලියන ලද ‘How to stop worrying and
start living’ යන රුපියල් 35 ශත 50 ක් වටිනා පොත පුස්තකාලයට ලබාදීමට හැකිනම් එය සතුටින් බාරගන්නා බව දන්වමි.’
මම වහාම ක්‍රියාත්මක වීමි. දින කිහිපයකින්, යෝජිත
පොත මිලදී ගෙන පුස්තකාලයට භාර දුනිමි.
නැවතත්, මට ස්තුති කර පුස්තකාලයෙන් ලිපියක් ලැබිණ. එය ඉතාමත් ප්‍රසන්න
සහ සිත් ඇද ගන්නා සුළු එකක් විය.
“පුස්තකාලයෙන් කරනලද යුතුකම ඉටු කිරීමක් වෙනුවෙන්
පාඨකයෙකු විසින් පරිත්‍යාග කරන ලදී.”
යන වාක්‍යය ලියු තීරුවක් පොතෙහි මුල්
පිටුවේම අලවා ඇත.
පසු කාලයේදී පොත කියවීම සඳහා ලබාගන්නා බොහෝ
දෙනෙකු ඒ ගැන විපරම් කර ඇති බව මට පුස්තකාලයාධිපතිනියගෙන් දැනගන්නට ලැබිණ.
එසේ විපරම් කරන සෑම අවස්වථාකදීම, මුද්දරයක් හරහා ශ්‍රී ලාංකික පාඨකයකු හඳුනාගත් ආකාරය විස්තර කර දෙන බව මට දැනගන්නට ලැබිණ.
එසේ විපරම් කරන සෑම අවස්වථාකදීම, මුද්දරයක් හරහා ශ්‍රී ලාංකික පාඨකයකු හඳුනාගත් ආකාරය විස්තර කර දෙන බව මට දැනගන්නට ලැබිණ.
මට පසුව, පොත කියවා එය පුස්තකාලයට භාරදුන් මා
කිසිදිනක දැක නොමැති පුස්තකාල පාඨකයාගෙන්ද දුර කථන ඇමතුමක් ලැබිණ. ඔහු නගරයේම
විදුහලක ගුරුවරයෙකි. මම ඔහුටද ස්තුති කළෙමි.පසුව හමුවූ අපි හොඳ මිතුරන් වීමු.
Dale Carnegie ගේ ‘How to
stop worrying and start living’ යන පොතෙහි නවතම මුද්‍රණයේ පිටපතක් පුස්තකාලයට
ලබාදීම පිළිබඳවද ඔහු මට ස්තුති කළේය.
තැපැල් මුද්දරයකට මෙතරම් දෙයක් කළ හැකි බව මට අදහා ගත නොහැකි විය.
මෙම සිද්ධිය වී වසර තිස් දෙකකට පමණ පසුව, මාගේ
මුණුපුරෙකු ‘How to win friends and
influence people’ නම් පොත කියවනු දැක, සිද්ධිය පිලිබඳ මගේ මතකය අලුත් විය. පැරණි කතන්දරය
ඔහුට පැවසූ ආකාරයෙන්ම මෙහි සටහනක් තැබීම
උචිතයයි සිතුවෙමි.
මේ එම සටහනයි.
Dale Carnegie ගේ ‘How to win friends and
influence people’ යන පොතෙහි හුවා දක්වන වැදගත් දර්ශනය වනුයේ ‘මිතුරන් දිනා ගැනීම’ යන සංකල්පයයි එසේම ඔහුගේ ‘How to stop worrying and start living’ නම්
පොතෙහි දැක්වෙන්නේ ‘කනස්සලු භාවයෙන් මිදීම’
ලඟාකර ගන්නේ කෙසේද යන්නයි.
මේ පොත පිලිබඳ සිද්ධියෙන් මට එම කතුවරයා සඳහන් කර ඇති, අවස්ථා දෙකම පහසුවෙන් ළඟාකර ගැනීමට හැකිවීම
පිළිබඳව අදටත් සිතෙහි මහත් ප්‍රබෝධයක් ඇතිවේ.
ලොව සෑම තැනකම තම යුතුකම ඉටුකරන අවංක මිනිසුන්
සිටීම කෙතරම් භාග්‍යයක්ද?
++++++++++
ReplyDeleteස්තුතියි තඩි මල්ලි,
Deleteඅහන් නත් සතුටුයිනෙ ඔබහට සිද්ධවූ දේවල් ගැන
ReplyDeleteරටෙන් රටකට වෙනස් වූවද මිනිස්කම ඇත අපමණ
හදින් හදකට තාම හොඳ ගති අප රටෙත් වෙයි පෙර පින
ඉතින් ඔබටත් සුභ පතන්නෙමි ඔබේ මනුසත්කම දැන....
ජයවේවා!!!
ස්තතියි දුමී,
Deleteඅසුරු සැනින් කාලය පියඹා යනවා
ගතකළ දිවියෙ රස මුසු තැන් සිහිවෙනවා
ඒවා නිසා නිරතුරු සිත සැනසෙනවා
අවසර ලැබෙන අයුරින් සටහන් වෙනවා
Wow!
ReplyDeleteඡායාව අනපායිනී!
ස්තුතියි රසික,
Deleteමනෝ පුබ්භංග මා ධම්මා - මනෝ සෙට්ඨා මනොමයා !
හිතවත් රසික,
ඔබගේත් ඉයන් සහෝදරයාගේත් මග පෙන්වීම නිසා මට වසරකදී Blog සටහන් සියයක් පමණ ලියන්නට හැකි උනා. මේ සඳහා මාගේ ස්තුතිය.
එක් කෙනෙකුගේ එක් යහපත් ක්‍රියාවක් නිසා කීදෙනෙක් සතුටු වුණාද.
ReplyDeleteස්තුතියි ඉයන්,
Deleteඇත්තෙන්ම කෙනෙකුගේ යහපත් වැඩක් නිසා තවත් බොහෝ දෙනෙකු එවැනි යහපත් දේ සඳහා පෙළඹෙනවා ! මෙය ප්‍රතික්‍රියා දාමයක් වගෙයි.
හිතවත් ඉයන්,
ඔබගේත් රසික සහෝදරයාගේත් මග පෙන්වීම නිසා මට වසරකදී Blog සටහන් සියයක් පමණ ලියන්නට හැකි උනා. මේ වෙනුවෙන් මාගේ ස්තුතිය.
++++
ReplyDeleteThank you Diyon,
Deleteමුද්දරයක් ගිය දුරක්.
ReplyDeleteඑවැනි අවංක මිනිසුන් සිටිනවානම් රටක් ලස්සන වේවි.
ස්තුතියි ප්‍රසන්න,
Deleteඇත්තෙන්ම මුද්දරයක් ගිය දුරක්! කුඩා වුවත් මුද්දරයේ Sri Lanka නම ඉංග්‍රීසියෙන් තිබුණු නිසයි, පුස්තකාලයේ අයට මා පහසුවෙන්ම සොයා ගන්නට හැකි වූයේ. අප බොහෝ විට නොසිතන ඉතා සුළු දේවල් වලින් සොයාගත් විශ්මයජනක සිදුවීම් අසන්නට ලැබෙනවානේ. මට මුදල ආපසු ලැබුනාටත් වඩා ඒ අය අවසානයක් දකින තුරු අවංකවම දිගින් දිගට ඒ ඔස්සේ තොරතරු සෙවු එක තමයි වඩාත් වැදගත් වන්නේ.
මුද්දර සහ මුල්දින කවර එකතුව කුඩා කල මගෙත් එක් විනෝදාංශයක්...
ReplyDeleteස්තූතියි දයා මහත්මයා අපූරු කථා පිංචක් අප හා බෙදා හදා ගැනීම ගැන...
70 දශකයේ නවයුගය පත්‍රයේ මෙවන් කුඩා කථා පලවූවා ඔබට මතකද " පුංචි ලිඳේ වතුර රසයි" යන මැය යටතේ?...
ස්තුතියි රවී,
ReplyDeleteමුද්දර එකතු කිරීම මගේත් විනොදාංශයක්ව හිබුණු නිසයි, පසු කාලයේදී වුවත් ලැබෙන මුද්දර කාටහරි බෙදා දුන්නේ. මගේ මුද්දර එකතුවනම් බාලදක්ෂයෙකුට තෑගී කළා. නවයුගය පත්‍රයේ "පුංචි ලිඳේ වතුර රසයි" ලිපිපෙළ මතකයි. මාත් ඒකට 'ආරේ ගුණ නෑරේ' යන නමින් ලිපි කිහිපයක් ලිව්වා.
මුද්දරයක ඇති තොරතුරු කෙතරම් වටින්නේද යන්න මේ සිද්ධියෙන් මට හොඳට වැටහුනා. කොහොම වෙතත් අද මුද්දර එකතු කරන අය බොහොම අඩු නේද?
//අධ්‍යාපනය සහ සංස්කෘතික අගයයන්ගෙන් එතරම් ඉහල මට්ටමක නොතිබුණු රටක් වුවද එහි මිනිසුන් අවංක නීති ගරුක පිරිසක්ම වුහ.//
ReplyDeleteලංකාවෙ නම් අධ්‍යාපනය ඉහලයිලු. සංස්කෘතියත් හරි ලොකුයි, පරණයිලු.
ඒ නිසා වෙන්න ඇති ඉතුරු ඒවාට ඉඩ නැත්තෙ
ස්තුතියි Pra Jay,
ReplyDeleteලෝකයේ වෙනත් එවැනි පද්ධති ගැන කිසිම වග විභාගයක් නොමැතිව, අප විසින්ම ඉහලයයි කියා ගන්නා, අපගේ පැරණි දේවල් වල ගැබ්වී තිබෙන හරය උකහා ගනිමින් ප්‍රයෝගිකව ජීවිතයට සම්බන්ධ කර නොගැනීම නොවේද අපගේ දුර්වල කම ?