Friday 20 April 2018

පැරණි ගැමියා, ගෘහාශ්‍රීත කර්මාන්තයක් ලෙස,අපනයනික මට්ටමේ ‘රබර් රොටි’ නිෂ්පාදනය කළ හැටි .....


    බර් නිෂ්පාදනය සහ රබර් ආශ්‍රිත භාණ්ඩ මගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ සැලකියයුතු ප්‍රතිශතයක් ආවරණය වේ. 2016  වසර වනවිට දිවයිනේ බිමෙහි හෙක්ටයාර් එක්ලක්ෂ පනස් දහසක පමණ රබර් වගාකර ඇති අතර, එම වර්ෂයේදී රබර් මෙට්‍රික් ටොන් අනූ දහසක් පමණ නිපදවා, මෙයින් මෙට්‍රික් ටොන් හතලිස් පන්දහසක් පමණ අපනයන කර ඇත. 2016 වර්ෂයේදී ස්වාභාවික රබර් සහ රබර් නිෂ්පාදන අපනයනය මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන අටසියයක පමණ ආදායමක් ලබා තිබේ. 2020 වන විට නව ක්‍රමෝපායයන් යෙදවීම් මගින්, මෙම ආදායම ඩොලර්   බිලියන විස්සක් පමණ ලබාගත හැකි වේයයි අනුමාන කර තිබේ. (ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්තාවකිනි.)

1876 වසරේදී ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යාණයේ, රබර් බීජ 1919 ක් රෝපණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ රබර් වැවීම ආරම්භ කර තිබේ. මෑතක්‌ වනතුරුම ශ්‍රී ලංකාවේ රබර් වගා කරන ලද්දේ රටෙහි තෙත් කලාපයට අයත් වන බස්නාහිර, මධ්‍යම, දකුණු සහ සබරගමුව පළාත් වළය.



දැනට රටෙහි රබර් නිෂ්පාදන ක්‍රියාවලිය උසස් මට්ටමක පවතින අතර, අදත් මෙයට දායක වන කුඩා රබර් ඉඩම් හිමියන්, දශක කිහිපයකට උඩදී මෙම ක්‍රියාවලියට උර දුන් ආකාරය මඳක් විමසා බැලීම මෙම සටහනෙන් බලාපොරොත්තු වේ.

විද්‍යාත්මකව රබර් ශාකය  Hevea brasiliensis යන නමින් හැඳින්වේ. මෙහි brasiliensis යන්නෙන් එයට  දකුණු ඇමෙරිකාවේ බ්‍රසීලය  නිජ භුමිය වී ඇති බව දැක්‌වේ. රබර් ගසෙන් වැගිරෙන කිරි, මිදුණු විට ප්‍රත්‍යස්ථ භාවයකින් (elastic) යුක්තය. වේලාගත් මිදුණු රබර් කෑල්ලකින්  පැන්සල් ඉරි හෝ පැන්සලකින් ලියන ලද දේ මැකිය හැකි නිසා එම ද්‍රව්‍යයයට - ‘rub’ - ‘මැකීම’ යන අර්ථය ඇතිව ‘rubber’ ලෙස නම්කර ඇතිබව විශ්වාස කළ හැකිය.

දැනට දශක හයකට හතකට ඉහතදී අපගේ ගම් පලාත්වල ගෘහාශ්‍රීත රබර් නිෂ්පාදනය ගැමියාටම ආවේණික ක්‍රමවේදයන්ට අනුකුලව කරන ලදී. මේ නිසාම රබර් කර්මාන්තය ආශ්‍රිත වාග් මාලාවක්ද කට වහරට පැමිණ ඒවා බොහෝ දුරට ඒ ලෙසටම භාෂාවටද එකතුවී තිබේ.

කිරි කැපීම, කිරි පිහිය, කිරි කට්ටිය, කිරි ඇකිලිම,  කිරි පෙරීම, ‘ඩයමන්’ රෝල, දිය රෝල, රොටි තැලීම, රොටි වේලීම, දුම් ගෙය, ඔට්ට පාල්, පොල්කටු පාල්, බ්ම් පාල්, රබර් කොළ නිවාඩුව ආදිය මෙම වාග් මාලාවේ පොදු වචන කිහිපයකි. රබර් කර්මාන්තය ආරම්භ කළ මුල් කාලයේදී විදෙශිකයින් විසින් රබර් වතුවල යොදවන ලද ඉන්දීය ද්‍රවිඩ කම්කරුවන් භාවිත කළ  සමහර වචන නිසා ඒවාට ද්‍රවිඩ ඌරුවක්ද තිබේ.

රබර් වැවීම ආරම්භ කළ කාලයේ සිටම බොහෝ ගැමියන් තම ඉඩම් වලද කුඩා රබර් වගාවන් ආරම්භ කර තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ පදිංචි කරුවන් වූ අපටද පාරම්පරිකව ගෘහාශ්‍රීත රබර් කර්මාන්තය ගැන හුරුවක් තිබුණි. පෙබරවාරි මාසය වන විට රබර් ගස්වල කොළ ඉදී වැටේ. මෙසේ සති තුනක් පමණ තිබී අලුතින් දළු ලා මල් හටගනී. ගස් වළ කොළ නොමැතිව ලා දළු පමණක් තිබෙන ඒ කාලයේ ‘කිරි කැපීම’ සිදු නොවේ. මේ නිසාම  පෙබරවාරි මාසය ‘රබර් කොළ නිවාඩුව’ වශයෙන් නම් කිරීමට  ගැමියා පුරුදු  විය. බොහෝ විට ඉඩමේ වල් පැල නෙලීම, සහ රබර් ගස් වලට පොහොර යෙදීම මේ කාලයේ දී කළ යුතු වැදගත් කාර්යයකි. ඒ සමගම කිරි කැපීමේදී ගස්වල  පොත්ත  පලුදු වී ඇති ස්ථානවල, අලුතින් පටක වර්ධනය සඳහාත් බැක්ටීරියා මර්දනය සඳහාත් ගොම මැටි සහ රසායනික ද්‍රවයක් ආලේප කිරීමද අවශ්‍යම දෙයකි.

ඊළඟ මාසයේදී  ‘කිරි කැපීම’ ආරම්භ කරනවිට ගසෙහි අනික්‌ පැත්තේ අලුතින් කැපුමක් ආරම්භ කිරීම සිරිතකි. කිරි පොල් කටුව සවි කිරීම සඳහාත්, කිරි ධාරාව ගලායාම සඳහාත්  ලෝහ පීල්ලද ගලවා නව කැපුමට සවි කිරීම ද අත්‍යවශ්‍ය දෙයකි. 
  
මෑත කාලයේදී වවනු ලබන PB  (Pure bred) 86 වැනි, ප්‍රමාණයෙන් කුඩා, කිරි වැඩියෙන් ලැබෙන, රබර් ගස් එකළ නොවිය. සමහර ගෙවතු වල රූස්ස රබර් ගස්ද සුලභ විය. සිටුවා වසර පහකින් පමණ, රබර් ගසකින් කිරි ලබාගත හැකිය. මේ සඳහා ගසේ මුල සිට අඩි හතරක් පමණ උසින්, ගසේ වටප්‍රමාණයෙන් අඩක පමණ පළමු ‘කැපුම’ දමනු ලැබේ.


මේ සඳහා විශේෂයෙන් සකස් කර තිබෙන ‘කිරි පිහිය’ භාවිත කෙරේ. වෑස්සෙන කිරි පහසුවෙන් ගලායාම සඳහා මෙම කැපුම අංශක 15 ක පමණ ආනතියකින් යුක්තය. මෙම කැපුමේ අවසානයේ සිට  අඩියක් පමණ පහලට නොගැඹුරු ඇලියක් කපා, එයට පහලින් කුඩා ලෝහ ‘පීල්ලක්’ සවිකෙරේ. කැපුමෙන් වැගිරෙන කිරි, පහලට ගලාගොස්, ඇලිය ඔස්සේ පීල්ලට වැටී, පීල්ලෙහි මැද කුඩා කොටසක් පහලට නමා  සකස් කළ ආධාරක නෙරීමටත්, ගසේ කඳටත් අතරින් සවි කෙරෙන, පොල් කටුවකට එකතු වේ.

ඝර්ම කලාපිය රටවල වැඩෙන බොහෝ ගස්වල තිබෙන, ක්ෂිරධර පටක (Laticiferous tissues) විශේෂයක් මගින් විවිධ ආකාරයේ යුෂ නිපදවනු ලැබේ. අමිහිරි රසයකින් යුක්ත විෂ සහිත යුෂ නිසා මෙම ශාක, ශාක භක්ෂක සතුන්ගෙන් ආරක්ෂා වේ. එසේම පරිවෘත්තිය අපද්‍රව්‍ය වන රෙසින, ඇල්කලොයිඩ සහ වෙනත් හයිඩ්රෝකාබන  ද යුෂ වල අන්තර්ගත වේ.  රබර් වල ප්‍රත්‍යස්ථ භාවයට හේතු වනුයේ එහි ඇති දික් හයිඩ්රෝකාබන් අණු ජාල නිසාය. 



කිරි ලබාගැනීම සඳහා ගසෙහි පොත්ත කැපිමද ප්‍රවේශමෙන් කළ යුත්තකි. කිරි වෑස්සෙන ක්‍ෂීරධර පටක පිහිටනුයේ, ගසෙහි දුඹුරු පැහැති වල්කමය පිටපොත්තට යටින් ඇති ද්විතිය ප්ලෝයම පටක ආශ්‍රිතවය. මීට යටින්  ඇති ගසෙහි වර්ධක පටක වන ප්‍රාථමික ප්ලෝයමට හානි නොවන ලෙස රබර් කැපුම සකස් කර ගැනීමට ගැමියා දක්ෂයෙකි.

රබර් කිරි කැපීම, හැකි තරම් උදෙන්ම ආරම්භ කිරීම සිරිතය. සාමාන්‍යයෙන් එක ‘රබර් කට්ටියක’ රබර් ගස් සියයක් පමණ තිබේ. උදෙන්ම කිරි කැපීම පටන් ගත් විට පෙරවරු දහය පමණ වන විට ‘කිරි ඇකිලිම’, නැතහොත් ගසින් ගසට ගොස් පොල්කටු වලට වෑස්සී තිබෙන කිරි, බාල්දියකට එකතු කර ගැනීම කරනු ලැබේ. පැයකදී පමණ ගස් සියල්ලේම කිරි එකතු කර ගත හැකි වේ. ගසේ කැපුමේ ඉතිරි වන කිරි, කිරි එකතුකරන වේලාව වන විට කැපුම මත ඝනවී පට්ටයක් මෙන් සෑදේ. මෙම පට්ටය පසුදින කපන විට ගලවා වෙනම එකතු කර ගනී. ‘ඔට්ට පාල්’ලෙස හඳුන්වනුයේ මෙම පට්ටා විශේෂයයි. (හොඳින් ඇදෙනසුලු ‘ඔට්ට පාල්’ වෙසක් කුඩු බැඳීම සඳහා ඉස්තරම් පට්ටා වර්ගයකි.)

ඊළඟ පියවර වනුයේ එකතු කරගත් කිරි වලින් රබර් නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමයි. ගෙදරට හෝ සැකසුම් මධ්‍යස්ථානයට ගෙනෙන කිරි, පෙරණයකින් පෙරා, ඒ සඳහා විශේෂයෙන් සකසා ඇති ‘තැටි’ වලට වත්කර එයට තනුක ඇසිටික් අම්ලය හැඳි කිහිපයක් සහ ජලය නියමිත ප්‍රමාණයක් එකතු කරනු ලැබේ. (සාන්ද්‍ර අම්ලය නියම ප්‍රමාණයට තනුක කර ගැනීම ගැමියා දනී). ඊට පසු කිරි ද්‍රාවණය හැන්දෙන් හොඳින් කූරු ගා, පෙණ ඉවත් කර නිශ්චලව තැබිය යුතුය. නවීන ‘බඩ්’(budded) රබර් ගස් විස්සකින් පමණ ලැබෙන කිරි වලින්  එක කිරි තැටියක්‌ සකස් කළ හැකි වේ.

අම්ලය මිශ්‍ර කළ කිරි, පැය හතරකදී පමණ මිදී, මෘදු කැටියක් බවට පත්වේ. රබර් ෂීට් නිෂ්පාදනය සඳහා මෙම කිරි කැටිය හොඳින් තලා, තුනී කර ගත යුතුය. බොහෝවිට කුඩා ඉඩම් හිමියා, එය  ලෑල්ලක් මත තබා  අතින් තලා. බොරළු පුරවා බර වැඩිකරගත් බෝතලයකින් එය තවත් තුනීකර, අමු ‘රොටියක්’ සකස් කර ගනී. රොටිය තලා ගැනීම සඳහා අතින් කරකවනු ලබන ‘දිය රෝල්’ සමහර තැන්වල තිබේ. මිටපසු, තුනී කළ අමු ‘රොටිය’, ‘ඩයමන්ඩ් රෝල’ නමැති අතින් කරකවන තදීන් බර දැමිය හැකි විශේෂ උපකරණය තුලින් යවා තවදුරටත් තුනී කරගනු ලැබේ. මෙම ක්‍රියාව ‘රොටි ඇල්ලීම’යි මෙසේ කළ විට එහි ජලය බොහෝදුරට ඉවත් වී දාර සහිත තුනී අමු ‘රොටියක්’ ලැබේ. (diamond යන වචනය යොදා ඇත්තේ රොටිය මත ඇතිවන දෙපැත්තට සකස් වන දාර වලින් සෑදෙන හැඩතල නිසාය) බොහෝ විට කිරි කැපීමේ සිට මේ දක්වා ඇති කාර්යයන් සියල්ලම කරනුයේ රබර් කිරි කපන තැනැත්තා විසින්මය.

මේ ආකාරයට සාදාගන්නා ‘අමු රොටි’ වේලීම මීළඟ කාර්යයයි. කුඩා රබර් ඉඩම් හිමියා මේ සඳහා තමන්ගේම දුම් ගෙයක් ප්‍රයෝජනයට ගනී. බොහෝ විට, කටු මැටි ගසා ආවරණය කළ ගැල්වනයිස් තහඩු සෙවිලි කළ කුඩා කාමරය ‘දුම් ගෙය’ යි.

රබර් ‘දුම්ගෙය’ තුළ ඉහලින් සෑදු මැස්සක, හරස් අතට දැමු පොලුවල එල්ලා වැටෙන සේ රඳවනු ලබන ‘අමු රොටි’දුම් ගසා වේලීම පිණිස, පහලින්  ලී කොට දමා ගිනි අවුලවනු ලැබේ. දින දෙක තුනක් තිස්සේ දුම් ගැසීමෙන් පසු ජලය සම්පූර්ණයෙන් ඉවත්වූ ‘රොටි’, ලා දුඹුරු පැහැයක් ගනී. මේවා ‘ශීට් රබර්’ ලෙස හැඳින්වේ. ආනයනය කරනු ලබන මෙම ‘ශීට් රබර්’ විදේශ වෙළඳ පලේ හඳුන්වනු ලබන්නේ ‘දුම් ගැසූ දාර රොටි’ (RSS - Ribbed smoked rubber) යන නමින්ය.

එකළ රටෙහි රබර් වගා කළ සෑම ප්‍රදේශයකම, ගම් වල  ගැමියා විසින් නිෂ්පාදීත  ‘දුම් ගැසූ දාර රොටි’ මිලදී ගෙන ආනයන කරුවන් වෙත යවන වෙළෙන්දෝ සිටියහ. මෙම වෙළඳ සැල්වල ‘අවසර ලත් රබර් වෙළඳ තැන’ (Licenced dealer in rubber) යන දැන්වීම දකින්නට ලැබිණ. රබර් නිෂ්පාදකයාට තම භාණ්ඩ  මෙම වෙළඳ සැල් වලට අළෙවි කර, එවලේම මුදල් ලබාගත හැකි විය. නිෂ්පාදනයේ අතුරු ඵලයක් ලෙස සැලකිය හැකි ‘ඔට්ටපාල්’ ද  අළෙවි කර මුදලක් ලබා ගත හැකි අපද්‍රව්‍යයක් විය.

‘දුම් ගැසූ දාර රොටි’ වලට, විදේශ වෙළඳ පලේ ඉතා හොඳ ඉල්ලුමක් තිබේ. විශේෂයෙන්ම වාහන වල ටයර් සහ වෙනත් ගෙවී යාම් වලට තුඩු දෙන ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා මෙම රබර් ප්‍රභේදය ඉතාමත් සුදුසු බව නිර්දේශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදනයේ පුරෝගාමිකයන්වු, පැරණි ගැමියන් විසින් කරගෙන ආ ‘දුම් ගැසූ දාර රොටි’ නිපදවීම, අද බොහෝ දුරට අක්‍රිය වෙමින් පවතී. මහා පරිමාණයේ රබර්  කර්මාන්ත ශාලා මගින් ‘අමු කිරි’ එකතු කර යන්ත්‍ර සුත්‍ර භාවිතයෙන් ‘ක්‍රේප් රබර්’ නිෂ්පාදනය කෙරෙහි යොමුවීම මෙයට ප්‍රධාන හේතුවයි. කෙසේ වෙතත් මේ මගින් රබර් නිෂ්පාදනයේදී ගැමියා මත තිබුණු බර බොහෝ දුරට අඩුවී ඇත. රබර් මුදවා ගැනීම, රොටි සකස් කිරිම, දුම් ගසා වේලීම වැනි භාරදුර ක්‍රියාවලියන් අද ඔහුට නැත. තම රබර් ඉඩමෙන් ලැබෙන අමු කිරි කෙලින්ම එකතු කිරීමේ මධ්‍යස්ථානයකට සැලකියයුතු මිලකට ලබාදී, අද ඔහුට සවස් වරුවේ විවේකයක් ගත හැකිය.

ස්වාභාවික රබර් කර්මාන්තය, ශ්‍රී ලංකාවේ ඉතාමත් සාර්ථක, එමෙන්ම තිරසාර සහ සමාජ-ආර්ථික වශයෙන්  වැඩදායි, අධිරාජ්‍යවාදීන්ගෙන් ලැබුණු අගනා සම්පතක් ලෙස සැලකිය හැකිය. රබර් කර්මාන්තයේ නියැලි රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රාශියක මෙහෙය වීමෙන් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නොඅඩුව ලැබේ. අගලවත්තේ, ‘ඩාර්ටන් ෆීල්ඩ්’ වතු යායේ පිහිටුවා තිබෙන රබර් පර්යේෂණායතනය, ලොව ඇති පැරණිම රබර් පර්යේෂණායතන වලින් එකකි. ශ්‍රී ලංකාවේ ස්වාභාවික රබර් නිෂ්පාදන අංශය, රටෙහි විදේශ විනිමය උපයන තුන්වන කර්මාන්තය වී තිබේ. මෙය මගින් රටෙහි විවිධ මට්ටම්  වල වෘත්තිකයින් තුන් ලක්ෂයකට පමණ රැකියා පහසුකම් සලස්වා දී ඇත.  
  
(සියලුම ඡායාරූප අන්තර්ජාලයෙනි. ඒවා වෙනුවෙන්, අදාළ ආයතන වලට ස්තුතිය පළ කරමි.)        

29 comments:

  1. https://gadyanohothkavi.blogspot.com/2018/04/blog-post_489.html

    ReplyDelete
    Replies
    1. හිතවත් ප්‍රියන්ත (Mathalan)
      මගේ Blog සටහන වැඩි පිරිසකට කියවීම සඳහා ඔබගේ 'ගද්‍ය නොහොත් කවි' https://gadyanohothkavi.blogspot.com/2018/04/blog-post_489.htmlඅඩවියට පිටපත් කිරීම ගැන ස්තුතියි.
      මගේ ඉහත දැක්වෙන එම Blog පොස්ටුවේ මාතෘකාවේ දෝෂයක් තිබී ඉක්මණින්ම නිවැරදි කළා. එහි 'ආනයනික' යන වචනය 'අපනයනික' කියා වෙනස් විය යුතුයි. මගේ මුල් සටහන ඔබ පිටපත් කර ඇත්තේ වරද නිවැරදි කිරීමට පෙර බව පෙනෙනවා. කරුණාකර මේ ගැන අවධානය යොමු කරන්න

      Delete
  2. මේ පැත්තෙත් ඔය රබර් ෂීට් මිලදී ගන්න තැන් කීපයක් තිබුණත් දැන්නං ඒවට මිනිස්සු බඩු ගේනව අඩුයි වගේ පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      ෂීට් රබර් නිෂ්පාදනය අඩුවී තිබෙන්නේ, දැන් සෑම තැනකම වගේ 'අමු කිරි' එකතු කිරීමේ මධ්‍යස්ථාන ආරම්භ කර තිබෙන නිසයි. මේ නිසාම මුල් කාල වලදී කුඩා පරිමාණයේ නිෂ්පාදන කළ ගැමියාට විඳින්නට සිදුවූ ගැහට බොහෝ දුරට අඩුවී තිබෙනවා.

      Delete
  3. Replies
    1. ස්තුතියි තඩි මල්ලි

      Delete
  4. " 2020 වන විට නව ක්‍රමෝපායයන් යෙදවීම් මගින්, මෙම ආදායම ඩොලර් බිලියන විස්සක් පමණ ලබාගත හැකි වේයයි අනුමාන කර තිබේ. (ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්තාවකිනි.)"


    දවල් හීන තමයි.

    ශීට්
    ශීට් රබර් කිලෝව 185, කුඩා වතු හිමියො විටරක් නෙමෙයි විශාල වතු වලත් රබර් කපන්නෙ නැ.

    කිරි කපපු මිනිස්සු කුලී වැඩට යනවා.

    රබර් ගලවල තේ හිටවනවා නැතිනං විකුණල දානව කට්ටි කරල

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චාමර,
      කාරයක්ෂම ආයතනයක් වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් 2018 ජනවාරි මාසයේ සකස් කර ඇති වාර්තාව 'දවල් හීනයක්' ලෙස ඉවතටම දමන්නත් බැහැ. මෙතෙක් රබර් වගා නොකළ, ඌව,වයඹ වැනි පළාත්වල දේශගුණයටත් ගැලපෙන නව රබර් ප්‍රභේද කිහිපයක්ම අගලවත්තේ රබර් පර්යේෂණ ආයතනය මගින් හඳුන්වා දී තිබෙනවා. 2020 වනවිට මේ වගාවලිනුත් පලදාව ලැබෙනවා ඇති.

      Delete
    2. ///මෙතෙක් රබර් වගා නොකළ, ඌව,වයඹ වැනි පළාත්වල දේශගුණයටත් ගැලපෙන නව රබර් ප්‍රභේද කිහිපයක්ම අගලවත්තේ රබර් පර්යේෂණ ආයතනය මගින් හඳුන්වා දී තිබෙනවා. 2020 වනවිට මේ වගාවලිනුත් පලදාව ලැබෙනවා ඇති.///
      මීට අමතරව මම දැක්කා වීරවිලත් (හම්බන්තොට) රබර් වවල තියෙනවා...
      තෙත් කලාපෙට වඩා වියළි කලාපේ රබර් වලින් වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් වේවි...
      මොකද තෙත් කළාපෙ වැස්ස නිසා කිරි කපන්න බැරි වෙන දවස් ගණන ඉතා වැඩියි...

      Delete
    3. ස්තුතියි ලොකු පුතා,
      ඔබ හරි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකම සාර්ථක රබර් වගාවන් කරගෙන යන බව දැනගන්නට ලැබුණා. මේ සඳහා යොදාගෙන ඇත්තේ ශ්‍රී ලාංකික විද්‍යාඥයින් විසින් අභිජනන මගින් සකස් කර ගත් සුවිශේෂී බිජ වලින් වීම විශේෂත්වයක්.

      Delete
  5. Replies
    1. ස්තුතියි රසික,
      ඔය Leave leave කතන්දරය මම අසා තිබෙනවා. EB විභාගයක ප්‍රශ්න පත්‍රයකත් තිබුනා මතකයි. ඒ උනත් තවම මොකක්ද කියා හරි වැටහීමක් නැහැ.

      Delete
    2. ඔබ ම ලියා ඇත.


      /* කිරි කැපීම, කිරි පිහිය, කිරි කට්ටිය, කිරි ඇකිලිම, කිරි පෙරීම, ‘ඩයමන්’ රෝල, දිය රෝල, රොටි තැලීම, රොටි වේලීම, දුම් ගෙය, ඔට්ට පාල්, පොල්කටු පාල්, බ්ම් පාල්, රබර් කොළ නිවාඩුව ආදිය මෙම වාග් මාලාවේ පොදු වචන කිහිපයකි. */

      Delete
  6. දැනෙන විදියට නම් රබර් කියන්නෙ බහිනකලාවෙ තියෙන කර්මාන්තයක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මද්දා,
      ලෝකයේ හොඳම රබර් පර්යේෂණායතනයක් තිබෙන, එසේම ලෝකයේ හොඳම ගුණාත්මකභාවයකින් යුක්ත රබර් නිපදවන අපට, එහෙම වේයයි අනුමාන කළ හැකිද? එසේ වුවහොත් රටේ ආර්ථිකය බොහෝ අවදානම් තත්ත්වයකට වැටෙන්නට හැකියි.

      Delete
  7. වගෙයි රබර් වටිනා වස්තුවක් වගෙයි
    අගෙයි එගැන මේ සටහන බොහොම අගෙයි
    සුභයි වසර වැඩ අරඹනු බොහොම සුභයි
    හොඳයි පරිසරේ ලිපි තව ලියනු හොඳයි..

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,
      රබර් වලට ලැබී තිබුණි හොඳ කාලය කලකට පෙර
      වගාවක් ද වුවා එය සමතුලිතය දෙන පරි සර
      යලි ඒ ගැන හොඳින් සිතා කොයි කාගෙත් සිත් යොමුකර
      පිබිදීමක් ඇති කරවමු ලබනට එහි පල තිරසර !

      ඔබට ජයම !

      Delete
  8. ඉතාම රසවත් සටහනක් දයා මහත්මයා..ඔබට ස්තූතියි..

    ඩබ්. ඒ සිල්වා මහත්මයාගෙ "කැළෑ හඳ" නවකතාවෙ ඔය රබර් රොටි ඩයමන් ගැසීම ගැන විස්තරයක් තිබ්බා මතකයි.මාලිනීගෙ ගමේ කොලු ගැටයෙක් වන අන්දා අරණායක කඩපොලට විකුණන්නට ගෙනියන රබර් රොටී මිටියක් ජෝන් ජයපාල ඔහුගෙන් උදුරා මාඔයට වීසිකිරීමේ සිද්ධිය ඔබට මතක ඇති.

    මම පොඩි කාලෙ දිනමිණ පත්තරේ අන්තිම පිටුවට කලින් පිටුවෙ "ඊයේ වෙළඳ ද්‍රව්‍ය මිලගණන්" තීරුවෙ රබර් මිල ගණන් යටතෙ තිබ්බ R.S.S. -1 මිල රාත්තලක් මෙච්චරයි R.S.S. - 2 මිල රාත්තලක් මෙච්චරයි කියල. ඒත් R.S.S. කියන්නෙ මොකක්ද කියල මම දැනගත්තෙ ඔන්න අද...Thanks...:)

    අපි කෑගල්ල නගරය මැදින් ඉස්කෝලෙ යද්දි එද්දි තැපැල් කන්තෝරුව කිට්ටුව රබර් රොටී මිළට ගන්න වෙළඳ සැල්වල දුඹුරු පාට රොටී ගොඩගහල තියනවත් මතකයි.

    අපේ හිටපු ගෙදරට උඩහින් තිබ්බ රබර් වතු යායක්.ඒකෙ ඔට්ටපාලු එකතුකරල රවුම් ගලක් වටේ එතුවම අපූරු බෝලයක් හදා ගත්තෑකි. ඒත් එව්ව පොලා පනිනව (Bump) වැඩියි. ක්‍රිකට් ගහන්න එහෙම බෑ.

    මම ඔය කියපු රබර් වත්ත මැද තිබ්බ අත් ඇරල දාපු මහ විසාල ෆවුන්ඩේෂන් එකක්.පස්සෙ මම දැනගත්තු විදිහට 1950/52 කොරියන් යුද්ද කාලෙ රබර් මිල තුන් හතර ගුණයකින් එකපාරටම වැඩි වුනාලු.

    ඒ කාලෙ ඔය රබර් වත්ත අයිති අය ඔය විසාල බංගලාවක් වගෙ ගෙයක් හදන්න අරගෙන රබර් මිල ආයම බැස්සම වැඩේ අතෑරල දැම්මලු.

    Thanks again Sir for a really well written and interesting article..:)

    ReplyDelete
  9. ස්තුතියි රවී,
    ඔබ වගේම මාද හැදුනේ වැඩුනේ, රබර් වගා කරන වට පිටාවකයි. රටේ දිස්ත්‍රික්ක දෙකක වූවත්, එකාකාර සිදුවීම් රාශියක් අපට නිරීක්ෂණය කරන්නට ලැබී තිබෙනවා. එසේ මතකයේ ඇති දේවල් මෙලෙස ලිවීමේදී, නැවත ඒ සොඳුරු අතීතයට එබී බැලීමෙන් ආශ්වාදයක් ලැබෙනවා. මෙසේ ලිවීමට මා උනන්දු කිරීම ගැන ඔබටත් ස්තුතිය පුද කරනවා.
    'කැලෑ හඳ' නවකතාවේ රබර් මිටිය ගඟට විසි කිරීමේ සිද්ධියත් මට අමතකවී තිබුණේ. ඒ වගේම 'ඔට්ට පාල්' ඔතා සාදා ගන්නා බෝලයෙන් අපි සවස් කාලයේ පැය ගණන් 'රවුන්ඩස්' ගැහුවාත් මතකයට නැගෙනවා.
    මට මතක හැටියට අපේ රබර් නිෂ්පාදන ඒ කාලයේ ගමේ කඩේ මුදලාලි වර්ග කළේ R.S.S-3 ලෙසටයි. කළුතර හෝ හොරණ රබර් 'ඩිපෝ' එකේ ගබඩාවට ගෙනගිය විට ඒවාම R.S.S-2 ලෙස වර්ග කර මුදල් ගෙව්වා.
    ඔබට ජය !

    ReplyDelete
    Replies
    1. /// මට මතක හැටියට අපේ රබර් නිෂ්පාදන ඒ කාලයේ ගමේ කඩේ මුදලාලි වර්ග කළේ R.S.S-3 ලෙසටයි. කළුතර හෝ හොරණ රබර් 'ඩිපෝ' එකේ ගබඩාවට ගෙනගිය විට ඒවාම R.S.S-2 ලෙස වර්ග කර මුදල් ගෙව්වා.///

      එකම කිරෙන් හදන රොටියේ තියෙන අපද්‍රව්‍ය ප්‍රමාණය නිසා නේද ඔය විවිධ කාණ්ඩ වලට වැටෙන්නේ, අපේ මිනිස්සු කිරි පෙරන්නේ කැකිල්ල කොළ වලින් හදා ගත්තු පෙරණයකින්. ඉතින් හරියට පෙරෙන්නේ නැහැ. වේළුණු රොටියේ අපද්‍රව්‍ය පැහැදිලිව පේනවා...
      හොඳ පෙරණයක් පාවිච්චි කළානම් ගුණාත්මක බව වැඩි කරගෙන වැඩි මුදලකට විකුණගන්න තිබුනා...

      Delete
    2. ගුණාත්මක බව අඩුවෙන්නේ අපද්‍රව්‍ය නිසාම තමයි. මුලදී මුලදී හිල් පොල් කටුවකට පොල් කෙඳි දමා පෙරණ සකස් කර ගත්තා. පසු කාලයේදී පෙනේරයක වගේ සිහින් සිදුරු සහිත දැලක් අඩියට ගසා සකස් කළ උපකරණයක් භාවිත කළා. ගැමියා මෙයට කිව්වේ 'සැල්ලඩය' කියා. මේකෙන් අපද්‍රව්‍ය බොහෝ දුරට අඩු වෙනවා.
      ගමේ සහ නගරයේ බොහෝ භාණ්ඩ වල ඔය මිල පරතරය අදත් තියෙනවා.

      Delete
  10. රබර් නිෂ්පාදනය ලංකාවේ සිදුකරන අන්දම ගැන හොඳ ලිපියක්. අපි කෑගල්ලේ ඉද්දි රබර් වත්තක් ඉදිරිපිට සිටිය. රබර් ඇට ඇහිඳ බඹර සැදීමත්, ඔට්ටුපාලු බෝල වලින් සෙල්ලම් කිරීමත්, වෙසක් කුඩු බැඳීමත් කළා මෙය ෆේස්බුක් ගෘප් එකක ශෙයා කරනවා

    ReplyDelete
    Replies
    1. අරුණාලෝකය ... The Dawn ..... ගෘප් එකට ඇවිත් ප්‍රතිචාර බලන්න.

      Delete
    2. ස්තුතියි රසුදැල්, (ආමන්ත්‍රණය හරිද?
      අරුණාලෝකය ... The Dawn ..... ගෘප් එකට ගිහින් කියවා බැලුවා. Comments ගොඩක් තියෙනවා. උනන්දු කරවීම සහ එයට සම්බන්ධ කිරීම ගැන ස්තුතියි. අපිත් කුඩා කාලේ බඹර සෑදීම සඳහා රබර් වත්තේ ඇවිදලා මද නැති 'පුහු' රබර් ඇට සොයා ගන්නවා. මේරු රබර් ගෙඩි එයටම ආවේණිනික ශබ්දයකින් පුපුරා ඇට (බිජ) විසිරි යනවා. පුපුරා නොගිය ගෙඩි දෙකක් කෝටු කබෙල්ලකින් එකට යා කර තල්ලු කර ගෙන යන කරත්තයක් හදන්නත් පුළුවනි. මේ සියල්ල යටගියාවේ මතක.

      Delete
  11. අපේ ගම්පළාත් වල රබර් වැව්වේ නැහැ. ඒ උනාට අපේ අම්මලගේ ගමේ බෝතලේ තිබුණෙම රබර් වතු. අපේ අම්මගේ අම්මා රබර් වලට කිව්වෙ රබොට් හරි සබොට් හරි කියල. තැටියෙ දාල මුදවා ගන්න රබර් රොටිය ඩයිමන් ගහන්න ඒ ළඟ තියෙන මැසිමකට ගෙනිහින් ඩයිමන් ගහපු රබර් රොටි වතුර පෙරි පෙරි කර තියාගෙන එනවා මට අද වගේ මතකයි. මිහිරි මතකයක් වුණාට දැන් ඒ මොකුත් නෑ නේද කියල හිතෙනකොට පොඩියට දුකක් හිත කොනිත්තනවා. පැරණි මතකයක් අවදි කළාට ඔබට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලප මල්ලි,
      අපේ පැරණි අය ගැමි උරුවට සකස් කර ගත් ඉංග්‍රීසි වචන නිතර භාවිත කළා. මට මතකයි රබර් ඉඩමට කියන්නේ 'රොබොක් හේන' කියලා. ඇසිඩ් වලට කිව්වේ 'ඇසිට්' කියලා. මේ මතකයන් බෙදා හදා ගෙන සතුටු වෙන්න පුළුවන්නේ. ඔය කියන ගම, මිරිගම බෝතලේද? බුලත්සිංහල බෝතලෙගමද?

      Delete
  12. ඉස්සර නෑදෑයෙක්ගේ ගෙදර තිබුන දුම්ගේ හා රෝල මතක්වුනා. දුම් ගහන්න ඉස්සර හා පස්සෙ සුවඳ වෙනස්.

    ප්‍රශ්නෙ තියෙන්නෙ ස්වාභාවික රබර් මිල තීරණවෙන්නේ කෘතිම රබර් මිල (පෙට්‍රෝලියම් ද්‍රව්‍යවල මිල ) සමග වෙන එක. එක කාලයක් ඉතා සුලු කාලයකට රු 600 ගාණක් මෙරට රබර් කිලෝ එකකට ලැබුනා. 400ගාණකට ස්ථාවර වුනා. තේ ගලවල රබර් හිටෙව්වා සමහරු. තෙල් මිල අඩු වීමත් එක්ක 200ගාණකට බැස්සා. සමහරු කිරි කැපීම නැවැත්තුවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay,
      ඔය කියන රබර් රෝල් පසු කාලයකදී පරණ යකඩ වලට අලෙවි උනා. දුම් ගෙවලුත් කඩා දැම්මා. කර්මාන්ත ශාලා වලින් අමු කිරි මිලදී ගන්නට ආරම්භ කළ පසු ඒ සියල්ල යට ගියාවට තල්ලු වී ගියා. රබර් මිල රු. 600 ට තිබෙන කාලේ ගැමියාට හරි ජය උනා. බොහොම දෙනෙක් අලුත් ගෙවල් එහෙමත් හදා ගත්තා. පස්සේ රු.150 විතර වෙන කොට කිරි කපන අයට පඩි ගෙවන්නටත් බැරිව ගියා.

      Delete
  13. I want to what is the meaning virgin bark and renewed bark. What are the difference between those two.

    ReplyDelete