Wednesday, 30 November 2016

අධ්‍යාපන ඇමති හත්වන ශ්‍රේණියේ සිසුන්ට උගන්වයි


1952 වර්ෂයේ සෞඛ්‍ය සතියේ වැඩ සටහන් රාශියක්‌ අපේ විදුහලෙත් සංවිධානය කර තිබුනා. මේ සඳහා අධ්‍යාපන ඇමති තුමාත් සහභාගී විය හැකි බව එක්‌ උදය රැස්වීමකදී විදුහල්පති තුමා අපට දැනුම්දී තිබුනා. ඒ කාලයේ ඇමති වරයෙක්  විදුහලකට එනවිට මහා පිළිගැනීම් උත්සව පවත්වන්නේ නැහැ. සෞඛ්‍ය සතියේ දෙවෙනි හෝ තුන්වන දිනයේදී ඇමති තුමා විදුහලට පැමිණියා. ඒ කාලයේ අපගේ 7ශ්‍රේණි  පන්තිය තිබුනේ විදුහල්පති කාර්යාලයට යාබද ශාලාවක. අපේ පන්තියට සෞඛ්‍යය ඉගැන්වූයේ විදුහල්පති තුමාමයි.  සතියකට එක කාල ඡේදයක් වූ සෞඛ්‍ය පාඩම විදුහල්පති තුමා ඉගැන්වූයේ ගුරුවරු අඩු කම නිසාද, පන්තියක ඉගැන්වීමට තිබුණු කැමැත්ත නිසාද, විදුහල්පති කාර්යාලයට කිට්ටුම පන්තිය නිසාද ඒ සියල්ලටම අමතරව අප පන්තිය කාගේත් ආදරය දිනාගත් පන්තිය නිසාද යන කිසිවක් කුඩා අය වූ අපි නොදැන සිටියෙමු.
එදා තුන්වන කාලඡේදය සඳහා  සෞඛ්‍ය පාඩම උගන්වන විදුහල්පතිතුමා පන්තියට නොපැමිණි  නිසා පන්තියේ තරමක නොසන්සුන් බවක්ද ඇති විය. ටික වේලාවකින් විදුහල්පතිතුමා විශේෂ අමුත්තෙකු සමග කාර්යාලයෙන් පිටට එනු අපි දුටුවෙමු. සුදු ජාතික ඇඳුමෙන් සැරසී උතුරු සලුවක්ද දමා සිටි  එම අමුත්තාට ප්‍රතාපවත් පෙනුමක් තිබිණ. ඝනට වැඩුණු සුදු උඩු රැවුල සහ පැළඳ සිටි රත්රන්  පැහැති රාමුව සහිත රවුම් ඇස් කන්නාඩි කුට්ටමද නිසා ඔහුගේ පෙනුමෙහි ප්‍රතාපවත් බව වැඩියෙන් දිස්විය. විදුහල්පතිතුමා සමග හෙමිහිට කතාකරමින් පටු මිදුල දිගේ ඉදිරියට ගමන් කළ ඔවුහු  අපගේ පන්ති කාමරය ඉදිරිපිට මඳක් නතර වූහ. විදුහල්පති තුමා යම කිසි දෙයක් පවසා අපගේ පන්තිය දෙසට ඇඟිල්ල දික් කර යමක් කී බව අපට දැනුනි. පන්තියේ සියලු දෙනාම බිරාන්තව මීයට පිම්බා සේ නිහඬව සිටියහ. ඒ සමගම විදුහල්පතිතුමා සහ අමුත්තා අපගේ පන්තියට ඇතුල්විය. බිය, සැක, භක්තිය, ගෞරවය ආදී සියලුම හැඟීම් සහිත වූ පන්තියේ අපි සියලු දෙනාම එක වර නැගී සිට සුපුරුදු ලෙස ‘ Good morning, Sir’ කියා ඔවුන්ට  ආචාර කර සිටගෙනම සිටියෙමු. අපට හිඳ ගැනීමට අතින් සංඥා කළ ඔව්හු පන්තිය ඉදිරියට පැමිණියහ. පන්ති නායකයා ඔහුගේ පුටුවද අමුත්තන් සඳහා  පන්තිය ඉදිරිපිටට  ගෙනයාමට සූදානම් වූ විට විදුහල්පතිතුමා එය නතර කර අපට අමුත්තා හඳුන්වා දුන්නේය. ඉංග්‍රීසියෙන් කළ හඳුන්වා දීම සිංහලෙන් මෙසේය.

”ළමයි කව්රුත් දන්නවා ඇති මේ අමුත්තා කව්ද කියා. මේ තමා අප රටේ අධ්‍යාපන ඇමති,  සී. වබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර   මැති තුමා. එතුමා අද මෙහෙ උත්සවයකට සහභාගී වෙනවා”.  
ඇමති තුමා පන්තියේ සිටයදී විදුහල්පතිතුමා නික්ම ගියේ ය.

කුඩා අපට ආදරයෙන්  ආමන්ත්‍රණය කළ එතුමා සෞඛ්‍ය සතිය ගැන පන්තියෙන් ප්‍රශ්න කළා. කව්රුත් කුමක් කිව යුතුද කියා සිතමින් සිටින විට පන්තියේ එක් ශිෂ්‍යාවක්  ඉංග්‍රීසියෙන්ම ඒ පිලිබඳ හොඳ උත්තරයක් දුන්නා. එයින් සතුටට පත් එතුමා

“මේ පන්තියේ සිටින ශිෂ්‍යත්වධාරීන්  අත් ඔසවන්න” යයි   කීවා.

මෙම විධානයට අපට තරමක බියක් සහ කුතුහලයක්ද ඇතිවූවා.  අපේ පන්තියේ ශිෂ්‍යත්වධාරීන් 15 දෙනෙක් සිටියා. අත් එසවූ කිහිප දෙනෙකුගේ ගම් පළාත් ගැනද  තොරතුරු ඇසූ ඇමති තුමා, 

"මමත් මේ පළාතේ කෙනෙක් බව දන්නවාද ?" කියා ඇසුවා.

ටික වෙලාවක නිශ්ශබ්දතාවයකින් පසුව,

"මම ලූල්බද්දුවේ, ඇමැතිතුමාත් අපේ ගමේ." යයි ජයසිංහ උත්තර දුන්නා.

"බොහොම හොඳයි. අපි එහෙනම් එක ගමේ මිනිස්සු" කියා  ඇමති තුමා  මඳ සිනහවක් පෑවා.

ජයසිංහ මහත් ආඩම්බරයකින් පන්තියේ වට පිට බැලුවා.


“සෞඛ්‍ය සතියේ තේමාව කුමක්ද?”  කියා ඊළඟට ඔහු පන්තියෙන් ප්‍රශ්න කළා.

අපගේ සගයෙක්   ‘Health is wealth’ යයි හෙමිහිට උත්තර දුන්නා.

“හරියට හරි ඒක හඬ නගා කියන්න” ඇමති තුමා  කීවා.  
                                                                                                                                      
මුළු  ශාලාවටම ඇසෙන ලෙස අප සගයා එය හඬ නගා කිව්වා. එයින් සතුටට පත්වූ ඇමති තුමා, පුටුවෙන් නැගිට සෞඛ්‍යය පිළිබඳව ඉතා අගනා පාඩමක් කියාදුන්නා.  ‘ආරෝග්‍යා පරමා ලාභා’ යන පාඨය භාෂා කිහිපයකින්ම මෙසේ කළු ලෑල්ලේ ලිව්වා. 

‘ආරෝග්‍යා පරමා ලාභා'
A healthy mind in a healthy body or Health is wealth’
නිරෝගී බව උතුම්  ධනයයි’
mens sana in corpore sano                                            
                                                                                                 
එතුමා පාලි, සිංහල, ඉංග්‍රීසි සහ ලතින් යන භාෂා හතරෙන්ම එම පාඨය ලියා උච්චාරණය කර  නිරෝගී බවෙහි වැදගත් කම ගැන තවත් තොරතුරු රාශියක් කියා දුන්නා. කාල ඡේදය අවසන් වීමට සීනුව වැදුණු විගසම ඇමති තුමා පන්ති වාර්තා පොතෙහිද සටහනක් තබා අත්සන යොදා ‘අධ්‍යාපන ඇමති’ කියා ඊට යටින් ලිව්වා.

අපේ පන්තියේ සිසුන් දක්ෂ බව ඇමති තුමා විදුහල්පති තුමාට කියා ඇති බව පසුවදා අපගේ පන්ති භාර ගුරුතුමියගෙන්  දැනගන්නට ලැබුනා.

අධ්‍යාපන ඇමති තුමාගේ සටහන සහිත එම පන්ති වාර්තා පොත තවමත් සුරක්ෂිතව තිබේනම් එය විදුහලට අගනා කෞතුක භාණ්ඩයක් වනු නොඅනුමානය. 

                                                                                                                                           
                                                                                                                                                                                                                         
                                                                                                                                                                                    
   



2 comments:

  1. වටිනා අත්දැකීමක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුමින්ද, දැක්කේ තරමක් ප්‍රමාද වෙලා.

      Delete